"ගුඩ් මෝනින්ග් ඩොක්ටර්" ඉන්දු (මෙය අනවර්ථ නාමයකි) මා දුටු විගස කරමින් සිටි වැඩය නවත්තා කොහේ හිටියත් කෑ ගසයි. ඇය මෙම රෝහලට අමුත්තියක් නොවේ. ගෙදර තියාගෙන ඉන්න බැරි වුන නිසා රෝහලටත් එතැනින් රැඳවුම් නිවාසයකත් එතැනින් පැන ගොස් අසුවූ විට නැවත රෝහලටත් මාරුවෙන් මාරුවට දෝලනය වෙමින් සිටින ඈ එක තැනක රඳවා ගැනීමට ඇති අපහසුව නිසා අප අංශයට ලොකුම හිසරදයක් වී සිටී. රෝගීන් බැලීමට අමුත්තන් එන වෙලාවට ඈ ගැන විශේෂයෙන් සැලකිලිමත්ව සිටිය යුතු වේ. අමුත්තන් රොත්තට එකතුවී වාට්ටු කාර්‍යය මණ්ඩලයේ ඇස් වසා, රෝහලෙන් පිට ගිය වාර අනන්තය. කොරිඩෝ වල ඇවිදිමින් සිටියදී අප පැමිණෙන වෙලාවට අපි එක්කරගෙන ආ වාර අනන්තයි.
ඇය 30 හැවීරිදිය. ඉතා ලස්සනය. නමුත් 23 හැවිරිදි කාලයේ සිටම ස්කිසොෆ්‍රේනියා (schizophrenia ) නම් මානසික රෝගයෙන් පෙළෙන්නියකි. සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත්වී වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරපු අයෙකි. උසස් පෙළ විභාගය ගැනීමට පෙර මානසික රෝගය උත්සන්න වූයෙන් මෙහි පැමිණියාය. තවමත් ඇයට සම්පූර්ණ සුවයක් නැත. මූලිකම හේතුව අම්මාගේ ආදරය හෝ පවුලේ අන් අයගේ ආදරය නොමැතිව තැන් තැන් වල හැදෙන නිසාය.
ඇගේ මවටද මෙම රෝගයම ඇති නිසා අම්මා සහ ඉන්දු එකට එකතු කරන්නට අපි ගන්නා වෑයම ගඟට කැපූ ඉණි මෙන් නිරර්ථක වන්නේය.
මෙවර ඈ එකතු කරගෙන ආවේ ඇය සිටි රැඳවුම්/අනාථ නිවාසයෙන් තුන් වෙනි වතාවටත් පැන ගොස් ඒ අසල ගමක බොක්කුවක් යට සිටියදීය. ගැහැණියක් නිසා අපචාරයට ලක්වීමට ඇති ඉඩකඩද වැඩිය. හරියට පවුලෙන් හෝ හිතවත් අයගෙන් සහයෝගයක් නැතීව හැදෙන නිසා ඇගේ මානසික රෝගයේ අඩුවීමක් දකින්නට අමාරුය. තමන් ගැන හෝ වට පිටාව ගැන වගක් නැත. දැනෙන දේ සියල්ල එලෙසින් කියවයි(Hallucinations), මැවී පෙනෙන දේ සියල්ලද කියවයි. කිසිම දෙයක් ගැන ඇල්මක් බෑල්මක් නැත.
කොන්ඩය හොඳින් පීරා තරහ ගිය වෙලාවට ඉරලා නැතිව ඉතිරී වුන ඇඳුමක් ඇඳගෙන රෝහලේ මල් පැල තවානට වතුර දමයි. තරහ ගිය වෙලාවට කා එක්ක හෝ රණ්ඩු ඇල්ලීමට මාන බලයි. ඇඳගෙන ඉන්නා ඇඳුම් පවා ඉරා දමයි. තරහ නිවුන පසු ඉරිච්ච ඇඳූම් තුරුලු කරගෙන වැලපෙයි. ඇයට කෝපය එන එකටත් , නිදිමත නොඑන විටදිත්, නිදි මත වැඩි විටදිත් යන සියල්ලටම පළි වෛද්‍යවරු වන අප සහ බෙහෙත් දෙන නර්ස් මිස්ලාය.
ඇය මෙලෙස කලබල කරද්දී වාට්ටුවේ තනි කාමරයට ඇයව දමා වසනු හැරෙන්න යමක් කිරීම අපහසුය නැත්නම් අවට සිටින සියල්ලන්ටම ගුටි බැටදෙයි.
කාමරයේ තනි වූ විට "ඇයි අම්මේ මාව මෙහෙම තනි කරලා අත ඇරලා ඉන්නේ. මම අම්මාගේ දරුවෙක් නෙමෙයිද.. අම්මාට මාව එපා නම් පොඩි කාලේ මරලා දැම්මේ නැත්තේ ඇයි. මට ජීවත් වෙන්න එපා වෙලා අම්මේ .. මෙහෙම අනුන්ගේ තැන්වල" කිය කියා ඉන්දු විලාප තියයි. එවා අසා ඉන්න හරිම අමාරුයි. සංවේදී හදවත් ඇති කාගේ උනත් දෙනෙතට කඳුළක් නැංවෙනවා නියතයි.
ලැප්ටොප් එකත් උස්සාගෙන මම රාත්‍රී වැඩ මුරය නියමිත දින වල හවසට එහි යන්නෙමි, වෛද්‍ය හිඟය නිසා මෙම මානසික සෞඛ්‍යය වාට්ටුවේ වැඩබලන වෛද්‍යවරයා ලෙසද උන්නු ගමන් මමද සේවය කරමි. මම ලැප්ටොප් එක දිග ඇරගෙන බ්ලොග් සටහන් ලියන අතරම මූණු පොතේද එහෙ මෙහෙ යන්නෙමි. නර්ස් මිස්ලා වැඩ කරන මේස දෙකින් එකක් ළඟ තිබෙන ප්ලග් පොයින්ට් එකේ, බැටරිය මිය යමින් පවතින ලැප් ටොප් එක ප්ලග් කරගනීමි. අප වෛද්‍යවරුන්ගේ කාමරයේ ප්ලග් පොයින්ට් එකක්වත් වැඩ කරන්නේ නැත. ඒවාට කොතරම් පැමිණිලි ලිව්වත් හදන්නේද නැත එක්කෝ ඒවා හැදෙන්නේ නැතිවා ඇති.
ඉන්දු ද එහෙ මෙහෙ කැරකෙන ගමන් මා අසලට පැමිණ ලැප් ටොප් එක දිහාට එබෙයි.
"මොකද්ද මේ" face book පෙන්වමීන් ඇය මගෙන් අසයි. මම මුහුණු පොත ගැන විස්තර කර දුනිමි.
"මොකටද මෙහෙම ඒවා ?" ඇය මගෙන් විමසයි.
"මුණගැහෙන්න බැරි යාලුවන්ගේ විස්තර දැනගන්න. කතා කරන්න to stay connected" මම ඇයට විස්තර කරමි.
මගේ යහළුවෙකුගේ මගුල් ගෙදරක්. දරුවෙකුගේ උපන්දිනයක් වගේම, එදිනෙදා ජීවිතයේ නොයෙක් ෆොටෝ සහ පළ කල දේ මම බලමින් සිටියෙමි.
"මගුල් ගෙවල් ගන්න එකනම් මහම මහ මෝඩ වැඩක් නේද ?" ඉන්දු මගෙන් අසයි.
"ඇයි එහෙම කියන්නේ" මම මගේ හිනාව තද කරගෙන ඇසූවෙමි.
"බොරු සල්ලි නාස්තියක් විතරයි"
"ඉන්දුට විතරයි ඒක තේරුනේ" මමත් නර්ස් මීසුත් ඇයට ප්‍රශංසා කරද්දී ඇය කියන දේට එකඟ වීම ගැන ඇයට සතුටක් ඇතිවුනු බව මුහුණෙන්ම පෙනේ.
"ඇයි මෙහෙම පොටෝ දාන්නේ" ඇය ලැප් ටොප් තිරය මත දිස්වූ පින්තූර රොත්ත පෙන්වමින් විමසයි
"අනිත් අයට බලාගන්න."
"ඉතින් වැඩක් නෑනේ. එහෙම වෙන දේවල් ඔක්කොම හැමෝටම පෙන්නන්න ඕනෙ ඇයි ?" ඇය විමසයි.
"හොඳ ප්‍රශ්ණයක් ! මමත් තාම හරියටම උත්තරේ දන්නේ නෑ. සමහර විට සතුටක් දැනෙනවා ඇති " මම පිළිතුරු දුනිමි
"කාටද සතූටු ? "
"බලන අයටයි , ෆොටෝ දාන අයටයි " මම කීවෙමි.
"හි හී ...පිස්සුනේ ..." එහෙම කියමින් මහ හඬින් හිනා වෙමින් ඇය වාට්ටුව වෙත දිව ගියාය.
මගේ හිත මොහොතකට හිටිවනම නැවතුනේය. මානසීක රෝගී ලේබලය අලවා බෙහෙත් කරන ඇය අප මේ කරන දේවල් පිස්සු වැඩ ලෙස දකී, වැඩක් නැති නිසරූ දේවල් කියා කියයි ! වරද ඇත්තේ කොතැන ද ? ඇය කියන දේ හරිද ? අපි හරීද ?
ඇත්තෙන්ම ඔව් ..විටෙක ඔවුන් නඟන පැනයන්ට පිළිතුරු දෙන්නට බැහැ .. සමහර විමසුම් දුක් බර වුවත් බොහොමයක් හොඳ අර්ථාන්විත කරුණු අසන මානසික රෝගීන් බොහොමයි ...
ReplyDeleteරසවත් කතා බහක් ...ස්තුතියි
ගොඩක් වෙලාවට අපි හිතන්නේ අපි කරන දේවල් හරි කියල නේ.. එත් මේ වගෙ ප්‍රශ්ණ ආපුවම අපි එවාට උත්තර හොයන්න කැමති වෙන්නේ නැ.. අපි දේවල් වැරදි කියලා දැන දැනත් ඒවම කරන්නේ..
ReplyDeleteහිත එක පාරටම නතර උනා වගේ . . .
ReplyDeleteඉන්දු හරිද . . .?
අපි හරිද . . ?
ලොකු කම පෙන්වන්න, සතුටක් ලබපු නැති ට්‍රිප් එකක් හරි ජොලි ට්‍රිප් එකක් කියලා පෙන්වන්න, බ්ලා බ්ලා බ්ලා වගේ හේතු නිසා මූනු පොතේ පින්තූර එකතු කරන එකේ නියම තේරුම දැකපු ඇය මානසික රෝගියෙක්ද?
තමන්ගේ මානසික ව්‍යාධි නියමාකාරයෙන් හඳුනා ගන්න බැරි උනු මම මානසික රෝගියෙක්ද?
ඔව් පිලිතුරු නැති ප්‍රශ්නයක් . . .
තවත් අපූරු ලිපියක් . .
ස්තූතියි . .
හි හී ...පිස්සුනේ...
ReplyDeleteබැලුවම අපිටත් අඩු වැඩි වසයෙන් පිස්සු
මං හිතන්නේ මානසික ආබාදයකට ලක් උනාම මනසේ සාමාන්‍යයෙන් විවර නොවෙන පැති විවර වෙනවා කියලයි එතකොට ඒ යට දේවල් පෙනෙන්නේ අපිට පේනවට වඩා වෙනස විදිහටයි..සමහර විට අපිට වඩා තර්කනුකුලව හිතන්නත් පුළුවන් ඒ මොකද මනස ගමන් කරන්නේ එක මාර්ගයක නිසා. හොඳ සිහියෙන් ඉන්නවා කියල හිතන අපේ ඔලු ගෙඩි ඇතුලේ කෝටියක් දේවල් එකවර දුවනවා නේද ? එහෙම නැහැනේ මේ අයට..
ReplyDeleteකරකවලා අතැරිය වගේ....ඔන්න ඔය නිසා වෙන්න ඇති අපි හැමෝම පිස්සෝ කියලා කවුදෝ කිව්වේ.
ReplyDeleteස්තූතියි කියෙව්ව්ව හැමෝටම.
ReplyDeleteබහුතරයක් මිනිස්සු හිතට එන දේ වහගෙන බොරුවක් කියද්දි, ඇත්ත කතා කරන මනුස්සයාට ලේබල් වැදිලා.
ReplyDelete@මහෙෂ් - ඔව් ඔව් හරීම අර්ථාන්විත කතා කියන්නේ. වෙන කිසිම වාට්ටුවක නොලබපු අත්දැකීම්. මෙයාලා ඩිරෙක්ට් සහ වෙනස්
ReplyDelete@ ශ්‍රී - සහතික ඇත්ත.
@ ගලායන ජීවිතය - පිස්සූම තමයි.. බලාගෙන යනකොට... අපිට
@ දුකා - මම මෙහෙම ගල් ගැහෙන වාර ගනන අනන්තයි අප්‍රමාණයි. ඉස්සරනම් කඳුළු ටොන් ගනන් දැන්නම් පුරුදු වෙලා.
@ sarath බොහෝ විට ඔවුන් රෝහල් ගත වන විට ඉන්නෙ රෝගයේ උච්චතම අවස්ථාවේ එහෙම කොට ටිකක් තර්කානුකූල වෙනවා නම් අඩුයි.ගොඩක් වෙලාවට කෑ ගසමින් විලාප තබමින් හතර අතේ හැමෝටම ගුටි බැට දෙමින් තමයි වාට්ටුවට එවන්නේ. හුඟක් වෙලාවට opd එකේ වෛද්‍යවරයා අනිවාරයයෙන් පහර දීමට ලක් වෙලා. ඒත් තමන්ගෙ රෝග තත්වය තේරුම් ගත්තු අය ලක්ෂණ පහල වෙද්දීම පැමිණ නතර වෙනවා.
ඉන්දු නම් ඉන්නෙ කොයි වෙලාවෙ හරි පැනලා යන්න බලාගෙන.
නලීනි අක්කා ... ඔව් ගොඩක් වෙලාවට මට හිතෙනවා ගොඩක් සිතුවිලි කපා කොටා පුරුද්දා ඔප මට්ටම් කර පිට කරන අපියි එයාලගෙයි වෙනස ඒක තමයි. මොනා කරන්නද මේ මිණුම් නිර්නායකත් අපිම හදා ගත්තුවනේ
@ deeps - සබ්බේ පෘථග්ජනා උන්මත්තකා කියලා අහලා තිබුනා මතක් වුනා.
ReplyDeletegood writoo dr AK and u keep talking to her while she analyze all of us as crazies. AK is better than calling you mal. we never go into their deeper layers and we dont spend much time with them. i find it difficult cause most of them are diagnosed by some senior doc and we just go on repeating and adjusting dosage which has been going on like for ever
ReplyDeleteමට අංගොඩ රෝහලේදී රෝගී නීති ශිෂ්‍යයෙක් සමග කතාබහ කරන්න ලැබුනා.(ඒ වෙනත් රෝගියෙකු බැලීමට ගිය අවස්ථාවේ)
ReplyDeleteඔහු මාත් සමග කී කතාව මීට තරමක් සමානයි.
"පිස්සුව කියන්නේ සාපේක්ෂ දෙයක්. අපිට පිස්සු කියලා අනිත් අය කියන්නේ තමන් නිවැරදියි, තමන්ට පිස්සු නැහැ කියන මතයේ ඉඳලා. ඒත් අපිත් එහෙමෙ හිතුවොත් , ඒ කියන්නේ අපි නිවැරදියි අපිට පිස්සු නැහැ කියලා අනිත් අය සාපේක්ෂව පිස්සන් වෙනවා. පිස්සුව කියන්නේ බහුතරය සාමාන්‍යයි කියන මතේ ඉඳලා බහුතරයෙන් වෙනස් අය අසාමාන්‍ය දේ කිරීමත් ඒ ආකාරයට හැසිරීමත්..."
දිල් - තෑන්ක්ස් මචං... AK is better ! yes u r absolutely right !
ReplyDeleteඉඳුනිල් - ඔව් හැබෑමයි. හැම දේම බලාගෙන යනකොට සාපේක්ෂයි. නිර්නායක සේරම අපිම හදාගත්තු ඒවනේ. නිරපේක්ෂ මිණුම් දඬු නැහැන්නේ.
බලාගෙන ගියාම...කරන කරන හැම දේම fb දාන අපිටනේ පිස්සු......::::::) :D
ReplyDeleteමම නම් එහෙම හිතන්නේ නැහැ. ඉස්සර කාලේ ගෙවල් වල ටීපෝ මත අටෝරාසියක් ඇල්බම් ගොඩ ගහලා තියෙනවා. ගෙදරට එන අයට පෙන්වන්න. කෙනෙකුගේ සතුටක්, ගිය ගමනක්, හෝ ලොකු කමක් වෙන්න පුළුවන්. ඒකෙන් පෙන්වන කෙනාටත් බලන කෙනාටත් සතුටක් දැනෙනවා නං එච්චරයිනේ. ඔය කිව්ව රෝගී තත්ත්වය ගැන වැටහීමක් මට නැහැ. ඒත් ඒ බෙදා හදා ගැනීම නැති කම ආදි දේවල් දුරදිග ගිහින් ඒ වගේ රෝගී තත්ත්වයක් කරා දක්වාම කෙනෙක් යා හැකියි නේද?
ReplyDeleteහුටා..මට හොඳටම පිස්සු...
ReplyDeleteඉන්දුත් වැරදි නෑ.. ඒත් හරියි කිව්වොත්.. අපි හැමෝම ඉන්දුගේ ඇසින් පේන මානසික රෝගීන් තමයි...
ReplyDeleteම්ම්ම්ම් ඇත්තටම මට ඇය ගැන දුකක් ඇති වුනා.. ඇයි හොඳ බුද්ධිමත් කෙනෙක් මනස නිරවුල් නැතිවුනත්