ආසනික් සහ වකුගඩු රෝගය ගැන හැමෝම කතා බස් කරන මේ කාලයේ , වකුගඩු රෝගය එක්ක ඔට්ටු අල්ලන අපිට ඒ ගැන කියන්න කතා බොහෝමයි. ඒ හැම එකකම අවසානය දුකක් ! ඒකතා සේරම ජීවිතයක් බේරන්න ජීවිත ගොඩගන්න කරනා අරගලයන් ය.
අප වාට්ටුවේ බොහෝ කලක් නැවතී සිටි සිරිසේන මියගොස් තිබුනු ආරංචිය අප වෙත ගෙන ආවේ අප රෝහලේම වැඩ කරන ඔහුගේ ඥාතියෙක් විසින්. දරුවන් තිදෙනෙක් සිටින ඔහු කුඹුරු වැඩ කළ දක්ෂ ගොවියෙක්, වයස අවුරුදු 45 කි. ඔහු වකුගඩු රෝගයේ අවසාන අඩියේ (end stage renal failure ) සිටි අයෙකි. රුධිරය පෙරීම (heamodialysis) සඳහා අනුරපුර මහ රෝහල වෙත නොයෙක් වර ඇතුල් වී සිටි ඔහුට වකුගඩුවක් බද්ධ කළහොත් තව කලක් ජීවත් වීමේ භාග්‍යය හිමි වෙන බවද ඒ සඳහා උනන්දුනම් පමණක් නැවත එවිය යුතු බවද එම රෝහලෙන් අප වෙත ලියා දන්වා තිබුනි. වකුගඩුවක් බද්ධ කිරීමටනම් තමන්ගේ කෙනෙකුන් ඒ සඳහා ඉදිරිපත් විය යුතුය. නැත්නම් වකුගඩු රෝගය විසින් ඔවුන් මරණය කරා කැන්දන් යන තෙක් නොයෙක් පෙතිවර්ග ගනිමින් ජීවත් විය යුතුය. මේ දෙනු ලබන පෙති වල උනත් වකුගඩු වල තත්වය හොඳ කරන පෙත්තක් නොමැත. වකුගඩු අකර්මන්‍ය වීම නිසා ශරීරයේ අඩුවන කැල්සියම් සහ හිමෝග්ලොබින් තත්වය පවත්වාගෙන යෑමට අවශ්‍ය මුලික පෙති වර්ග පමණක් රෝහල් වලින් ලබා දේ , ඒවාද ඇතැම් විට රෝහල් වල නොමැත, out of stock ය.
වකුගඩු රෝගයෙන් පෙළෙන මේ උතුරු මැද , සහ උතුරු ප්‍රදේශයේ සිටින මේ වැසියන් බොහෝ දෙනෙකුගේ ඉරණම එසේය. හැම කෙනෙක්ටම haemodialysis , peritoneal dialysis නමින් හඳුන්වන වකුගඩු වලින් පෙරා ඉවත් කරන ශරීරයට අහිතකර විස සහිත දෑ ශරීරයේ ගොඩ ගැසුනු විට එම රුධිරය පෙරා ඒවා ඉවත් කිරීම සිදු කරන්න යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර , විශේෂඥ වෛද්‍යවරු හෝ ප්‍රාග්ධනය නොමැති වීම නිසා බොහෝ විට වයස , වකුගඩු රෝගයේ තත්වය, සහ වකුගඩු බද්ධ කිරීමට ඇති හැකියාව සලකා බලා ඔවුන්ව අනුරපුර වකුගඩු සායනයට යොමු කරනවා.
අවසාන අවස්ථාවේ ආසාධ්‍යය තත්වයෙන් රෝහල් ගත වෙන අයහට බොහෝවිට අත්වන්නේ මරණය යි. සමහර පුද්ගලයින් තමන් පෙළෙන රෝගය ගැන වටහාගෙන බද්ධ කිරීමක් හෝ විශේෂ ප්‍රතිකාර අවැසි නැතැයි කියා මරණයට සූදානමින් කල් ගෙවනවා. එලෙස අප අනුරපුර වෙත යොමු කල එක් කාන්තාවක් අප වාට්ටුවට ඇතුලත් කර තිබුනේ ඇගේ සායනික සටහන් ගොන්නත් සමගින්. 52 වියේ පසුවූ ඇය ඇඳකට දමා රුධිර පීඩනය ආදිය පරීක්ෂා කර බලද්දී අප විමසුවේ “ඇයි වකුගඩුවක් බද්ධ කරගත්තේ නැත්තේ” කියායි.
“මම නිසා දරුවෙක්ට කරදර කරන්න ඕනේ නැහැ. ඉන්න ටිකේ පිනක් දහමක් කරගෙන සිටියාම අහවරයි” යන්න ඇගේ පිළිතුර විය. ඇගේ රුධිරයේ පරීක්ෂා කරන්නට අවශ්ය ක්රියැටිනින් අගය , හිමොග්ලොබින්. සහ K+ පොටෑසියම් යන මේවා පරීක්ෂා කිරීමට ලැබ්, lab එකට රුධිරය යවා අප මදක් විවේකීව සිටියේ එය රෝගීන් බැලීම සඳහා අමුත්තන් පැමිණෙන වේලාව බැවිනි. සවස හය වෙනවාත් එක්කම අප විවේක කාමරය වෙත දුරකථනයෙන් කතා කල හෙදිය පැවසුවේ මැණිකේ නැමැති එම කාන්තාව හුස්ම නොගන්නා බවය. එවිට විවේක කාමරේ සිටි අපි තිදෙනෙක්ම හැකි ඉක්මනින් ඇය වෙත දිව ගියෙමු.
අමුත්තන් සියල්ල ඇය වටකරගෙන ලතෝනි තියන්නට පටන් ගෙන තිබුනි. ඇගේ ස්වාමියා අපට ඇය වෙත ළංවීමටවත් නොහැකි ලෙස ඇය බදාගෙන අඬමින් සිටියේය. මෙවැනි විටකදී අප ඉතා තදින් ක්‍රියා කිරීමට පුරුදු වී සිටියෙමු. පළමුව රෝගියා ! ඉන්පසු අනෙක් ඕනෑම දෙයක් යන්න අපේ සිතුම් පාඨය විය. උස් හඬින් කෑ ගසා වැලපෙන්නන් ඉවත් කරන්නට වූයේද අපටමය. ඉන්පසු හර්ද ස්පන්දනය , හුස්ම වැටීම සහ නාඩි බලා ගැන්මට විශේෂ මොනිටරයට සවි කර කෘතිම ස්වසනය දෙමින් රෝගියාව දැඩි සත්කාර ඒකකය වෙත තල්ලු කළෙමු. කොරිඩෝව පුරා අමුත්තන් පිරී තිබුනු එවේලේ එක් අයෙකු හර්ද ස්පන්දනය සඳහා පිටතින් මසාජ් කරමින්ද මම කෘතීම ස්වසනය සඳහා නහය කට වටේ තද කරන කෘතිම ස්වසන මෙවලමද (air bag ventilation) එක අතකින් එහි බැලූනය ඔබමින්ද තව කිහිප දෙනෙක් ට්රොලිය තල්ලුකරමින් ද හදිසි සත්කාර ඒකකය වෙත ගියෙමු. එහිදී සිටි ජේෂ්ඨ වෛද්‍යවරිය සමග දෙවරක් පමණ හර්දය වෙත විදුලි සැර දී ඇගේ හර්දය පණ ගන්වා ගත්තෙමු. දැඩි සේ වෙහෙසව සිටි අපට මොනිටරයේ හර්ද ස්පන්දනය ඇහෙනවාත් සමග ඒ හර්ද තරංග රේඛාව දුටු විට හැඬුම් ආයේය. ඒ ජීවිතයක් බේරා ගත් සතුටටය. එ වේලේ විවේකාගාරයේ සිටි අපි වෛද්‍යවරුන් තුන් දෙනාම (දෙදෙනෙකු අනිත් වාට්ටුවක සේවය කරන අයය) එතැනට ගිය නිසා අපට ඉක්මනින් ක්‍රියාත්මක වී ඇගේ ජීවිතය බේරාගත හැකි විනි. නමුත් බොහෝ විට එක වාට්ටුවක සේවය කරන්නේ එක වෛද්‍යවරයෙකු පමණි. එක වෛද්‍යවරයෙකුට ඒසා සියල්ල සිදු කිරීම අපහසුය. එවැනි අවස්ථාවක පුහුණු හෙද, හෙදියන් මෙන්ම සාත්තු සේවකයින්ද සිටිය යුතුමය. සීමාවාසික වෛද්‍යවරයෙකු සේ සේවය කරද්දී මෙවැනි අඩුලුහුඬුකම් බොහෝමයක් දුටුවෙමි. වෛද්‍ය පුරප්පාඩු මෙවැනි මහා රෝහලකත් බොහෝ ඇති නිසා රෝගීන්ට සිදුවන අසාධාරණය කොතරම්දැයි කිව නොහැක. පසුගිය දිනෙක පුවත්පතක මා දුටුවේ අප රටේ රෝගීන් 1334 කට සිටින්නේ එක වෛද්‍යවරයෙකු බවයි. එනමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇති නිර්ණායකය වන්නේ රෝගීන් 400කට එක වෛද්‍යවරයෙක් යන්න ය.
හදිසි සත්කාර ඒකකයෙන් (ETU)අපි පිටතට පැමිණියේ වීරයන් මෙනි. එයින් පිටත බලාගෙන සිටින මැණිකේ මහත්මියගේ ඥාතීන්ට කියන්නට අපට ඇත්තේ සතුටු පණිවිඩයක් හෙයිනෙ. එනමුත් වකුගඩු රෝගයේ අසාධ්‍යම තත්වයේ සිටි ඇයට මේ අප රැක දුන් පණ කෙන්ද තව ඉතා කෙටි කාලයකට බවද අපි දැන සිටියෙමු..... !
අනේ දෙයියනේ
ReplyDelete