Wednesday, July 25, 2012

මම වහ බිව්වේ තාත්තා හින්දා කියූ ඇය අන්තිමට අපිවත් රැවැට්ටුව හැටි.


සුපුරුදු පරිදි අනිත්කොණ මනෝ වෛද්‍ය ඒකකයේ සිටියදී හවස් වරුවම ගත වුනේ අනෙක් වාට්ටු වලින් අප වෙත යොමු කරන රෝගීන් හෙවත් රිෆරල් බැලීමටයි. එහෙම වෙලාවට පුරුද්දක් වශයෙන් සිංහල රෝගීන් මා විසින්ද  දමිළ රෝගීන් දමිළ අයියා විසින්ද බලනු ලබන්නේ, වස බී හෝ පෙති බී හෝ ගෙල වැලලාගෙන හෝ ඔවැනි නොයෙක් ආකාරයට දිවි නසාගන්න තැත් කර බේරාගෙන කායික, ශල්‍ය වාට්ටු වල ප්‍රතිකාර කල තරුණ තරුණියන් බොහෝමයක් අප වෙත එවෙලාවට කවුන්සලින් හෙවත් උපදේශනය සඳහා යොමු කරන නිසාවෙනි. බොහෝ තරුණියන් පෙම් සබඳතාවලට පවුලේ විරෝදයට ප්‍රති උත්තර ලබා දී තිබුනේ දිවි නහ ගන්න ගිහින්. හුඟක් අය එහෙම කරන්නේ මැරෙන්න තියෙන උවමනාවටම නොවේ. අන් අය බිය වද්දා හෝ අනුකම්පාව ලබා ගන්නටයි.
වහ බීලා එන හැමෝටම වගේ මගෙන්නම් ලැබෙන්නේ පොඩ්ඩක් සැර උපදෙස් මාලාවක්. හොඳට තියෙන ශරීර කූඩුව නරක් කරගන්න හදනවා මෙන්ම රටට දැයට වැඩදායක යමක් කරන්න තරුණ ජීවිත කාලය යෙදෙව්වොත් හොඳයි නේද කියන එක මේ අයට ඒත්තු ගන්වන්න මම උපරිමයෙන් ක්‍රියා කරනවා.
එකළ බොහෝ විට පෙම් සබඳතා බිඳී පැමිණෙන්නන් මුහුණින්ම අපට කියන්නට පුළුවන් කමක් ලැබී තිබිනි. අවුරුදු 16, 17 වයස් වල ගැහැණු දරුවන් 3 දෙනෙක් පමණ අනිවාර් යයෙන් දිනකට එලෙස ඇඩ්මිට් වෙයි. එලෙස කෘමිනාශක වර්ගයක් බී දිවිනහගන්න ගිහින් හදිසි අනතුරු වාට්ටුවටත් එතැනින් කායික රෝග වාට්ටුවටත් ඇතුල් කළ ඇය අප වෙත උපදේශනයට එවා තිබිනි.

ඇය බොහොම පැහැපත් ලස්සන අවුරුදු 18ක් වයසැති ළමයෙක්. ඇඳ ඉහ පත හෙවත් BHT  එක සමග අප වාට්ටුවට එවා තිබුනේ වස බීමෙන් අනතුරුවයි.

“මොකද දරුවෝ මේ වගේ මෝඩ වැඩ කරගන්නේ ?” මම සුපුරුදු ලෙස කතා බහ ඇරඹුවෙමි.
“ඩොක්ටර් හිතනවා වගේ මෝඩ වැඩක් නෙමෙයි. මම වහ බිව්වෙ ප්‍රේම සම්බන්දතාවෙකට නෙමෙයි. අපේ තාත්තා හින්දා”
ඇය හරි වේගෙන් මුහුණට දමලා ගහන්නා වගේ ඒ කිව් කතාවට මට පුදුම හිතිනි.

“හරි එහෙනම් කියන්නකො බලන්න මොකෝ ආවේ කියලා.” මම ඇසුවෙමි.

“අනේ අපේ තාත්තා හරි වසයි ඩොක්ටර්. මගෙ ප්‍රශ්නෙකට තාත්තා මා එක්ක තරහ ගිහින් ඉන්නේ. තාත්තා මොනවා හරි කරගනියි කියලා මට බයයි එනිසා මම වහ බිව්වා. අපේ ගමේ කතාවක් ගිහින් මම කොල්ලෙක් එක්ක ලොජ් එකකට ගියා කියලා. ඒක බොරුවක් ඩොක්ටර්, මම එහෙම ගියේ නෑ. එයා එක්ක සම්බන්දතාවයක් තිබුනා ඒත් ගෙදරින් කැමති නැති නිසා මම ඒක නැවැත්තුවා. මට මේ අවුරුද්දේ ඒ ලෙවල් කරන්නත් බැරි වුනා ඒ නිසා. අන්තිමට ක්ලාස් යන එකත් ඉස්කෝලේ යන එකත් නැවැත්තුවා තාත්තා. මාව ගෙදරටම කොටු කරලා තියා ගත්තා.”

ඇය මා හමුවේ ඇගේ ප්‍රශ්න එකින් එක දිග හරින්නට විය.

ඊට පස්සෙ එයා එක්ක සම්බන්දයක් තිබ්බෙම නෑ . ගමේ හැම තැනම මට කතා හදලා.” 

එසේ කියූ ඒ ගැහැණු දරුවා මගේ පය පාමුළ වැටී

 “ අනේ ඩොක්ටර් මගෙ ටිකට් කපන්න එපා. මට ඉස්පිරිතාලේ ඉන්න දෙන්න අනේ ඩොක්ටර් , ගෙදර යැව්වොත් තාත්තා මාව මරයි. අනේ ඩොක්ටර් මාව බේර ගන්න” යනුවෙන් විලාප තියනන්ට විය. 
මෙය අදහා ගන්නට බැරි විය. අසළ සිටි හෙදි සොයුරියද ඇය වත්තම් කොට නැගිටුවා කෑ නොගසන ලෙස පවසනු ඇසිනි.

ඇය පැමිණ සිටියේ ඇගේ අම්මා සමගය. ඒ මව කියූ ආකාරයට ඒ පවුල ගමේ මොහොම නම්බුකාර ලෙස ජීවත් වෙන පවුලකි. ඇය ප්‍රේම සබඳතාවය පැවැත්තූ කොලුවා බොහොම දුප්පත්  සා පෙළ වත් පාස් නැති කෙනෙකි. ඉතින් මේ සම්බන්දතාවය දැන ගත් විගස ගෙවල් වලින් විරුද්ධ වී ඇය පාසැල් යාම පවා නවත්වා තිබිනි.

“ඉතින් දරුවෝ ඔයා එහෙම තැන තැන ගියේ නැතිනම් ඇයි තාත්තා මෙතරම් කෝපයෙන් ඉන්නේ”

“මම එයා එක්ක සම්බන්දේ නවත්තපු නිසා එයා ඉන්නේ තරහෙන්. එයා ගමේ කිය කියා ගිහින් මම ගමේ ඉන්නෙ හයි කාරයෙක් දණ ගැස්සුවා. දුවට මෙහෙම දෙයක් කලා කියලා. මටයි බෑණා කියන්න වෙන්නේ” කියලා.

“අනේ ඩොක්ටර් මෙයාගේ තාත්තා කියනවා ගෙදර එන්න එපා. ආවොත් අම්මවයි දුවවයි දෙන්නම මරණවා කියලා. මම මොනවා කරන්නද මේ දරුවෝ කරන දේ වලට.ගෙදර පොඩි උන් කෑවද දන්නේ නෑ. ඉස්කොලේ ගිහිනුත් නැතිව ඇති. ” අර අම්මා ඉකිබිඳ හඬයි.

“ගෙදරක වැඩිමහළු දරුවා හරියට හැදෙන්න ඕනෑ. එතකොටයි පවුලක් දියුණු වෙන්නේ. පිටිපස්සෙන් එන සහෝදරයින්ට  තමන් ආදර්ශයක් වෙන්න ඕනෑ. බලන්න හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමයෙක් නේද. ඉගෙන ගෙන ඉහළට ගිහින් හොඳ රස්සාවක් ලැබුනම කාටවත් යටත් නොවී තමන්ගේ අම්මාට තාත්තාට සහෝදරයින්ට සලකගෙන ඉන්න පුළුවන්නේද?” 

ඇගේ සා පෙල ප්‍රථිපල ඇසූ මම ඇයට උපදෙස් දුනිමි. කිසිම දුකක් නොදී හදා වඩා තිබුනු මේ දරුවන්ට ගෙදරම සිටින අම්මා කවා පොවා සියළු වැඩපල කර දී තිබිනි.

මම නම් මෙවැනි කතා අනන්තවත් අසා කියවා ඇත ඒ ටෙලි නාට්‍ය වල සහ නවකථා වලය. කොහොම නමුත් මෙය බැරෑරුම් ප්‍රශ්ණයක් නිසා මම පසු දින අප විශේෂඥ වෛද්‍යරවරයා හමුවට ඔවුන් යොමු කළේ එම පියාටද අප හමුවීමට එන්නැයි පණිවිඩයක් යවමිනි.

“ඩොක්ටර්ට පිං සිද්ධ වෙනවා” ඇය නැවත ඇය සිටි වාට්ටුවට යද්දී එසේ කීවාය.
----------------------------------
පසුදින ඇය සහ මව පැමිණ වාට්ටුවේ උපදේශන ශාලාවේ එක කොණක සිටි අතර පියා අනෙක් කොණට වී අහක බලාගෙන සිටියේය. පළමුවෙන් අපි ඇගේ පියා සමග කතා කෙරුවෙමු.

“මට හිටියා ලොකු දුවෙක්. එයා දැන් මැරිලා. ඔය ඉන්න එකී ගෙදර ආවොත් මම මරණවා. අම්මවයි දුවවයි දෙන්නවම මරණවා. එහෙම නැත්නම් එයාලම දිවි හානි කරගෙන මැරෙන්න ඕනේ ඒකයි මගේ නියමය. එයාට වෙන දඬුවමක් නෑ”

මට කන් අදහා ගනන්ට බැරි විය. තමන් හැදූ දරුවෙකු ගැන පියෙකු එසේ කියයි නම් එය ඉතා ශෝකජනකය.

විශේෂඥ වෛද්‍යතුමාටත් අනෙක් ජේෂ්ඨ වෛද්‍යවරයාටත් ඔහුගේ හිත හදන්නට සමතයකට පත් කරන්නටම බැරි විය.

“ඔයාගේ දුව කියනවනේ එයා එහෙම දෙයක් කරේ නෑ කියලා. ඔයාට ඔයාගේ දරුවා විශ්වාස කරන්න පුළුවන් නේද” අපි ඇසුවෙමු.
“බෑ මට එහෙම දරුවෙක් නෑ.” ඔහු කුඩා දරුවෙක් මෙන් ඉකි ගසමින් හඬයි. පපුවට අත් ගසමින් හඬයි.

“ටිකට් කපලා එව්වොත් ගෙදර මම මරණවා අම්මවයි දුවවයි. අරූවයි ඔක්කොම මරලා මමත් මැරෙනවා එක්කෝ මම හිරේ යනවා” ඒ පියා ඒ වචන පෙළ පමණක් වරින් වර දොඩයි.

“හරි මහත්මයා එහෙනම් ගෙදර ගිහින් හෙට එන්න ආයෙම කතා කරමු.” අපි එසේ කියා පිටත් කර හැරියෙමි.
කායික රෝග වාට්ටුවෙන් ටිකට් කැපූ හෙයින් , ගෙදර ගියොත් මිනී මැරෙන බැවින් ඇය අපේ වාට්ටුවට මාරු විනි. හවස් වරුවේ නිදහස් නිසාවෙන් ඇය පැමිණ අපේ මේසය අසළ තිබෙන බංකුවේ හිඳගෙන ඇගේ දුක පවසයි.
“මට ඕනේ ඩොක්ටර් කිව්වා වගේ දැන් ඉගෙනීම හොඳින් කරගන්න. උසස් පෙළ මේ පාර ලියලා. කැම්පස් ගිහින් හොඳ රස්සාවක් කරන්න”

දින ගණනක් නිතර දෙවේලේ මම සහ හෙදි සොයුරියන් කළ දේශනා අසා අවසානේ, අනේ මේ දරුවා හරි පැත්තට වැටිලා නේද මටත් සිතුනි. දෙවෙනි තුන්වෙනි දින වලත් අර තාත්තා පැමිණ බැණ වැදී මරණ තර්ජ්න කර ගියේය. 

“ඩොක්ටර් විශ්වාස කරනවද ඔය කෙල්ල කියන ඒවා. බොරු බේගල් ඇද බාන්නෙ. බලන්නකෝ අන්තිමට අපිට බොරු කරන තරම” මැදිවියේ ඇටෙන්ඩන්වරිය සහ හෙදි සොයුරියන් නිතර මට අනතුරු ඇඟවීය.

 ඒ අතර නිතර අප නිදහසේ සිටින වෙලාවට ඇය පැමිණ මා සහ හෙද සොයුරියන් හා කතා බස් කර ජීවිතය ගැන බොහෝ උපදෙස් ලබා ගත්තාය. 

ඔය අතර අප විශේෂඥ වෛද්‍යතුමන් හා කතා බස් කර ඒ පියාද දිනෙන් දින දියණිය කෙරෙහි දයා හදවත් ඇත්තෙක් බවට පත් විය. අවසන හඬා වැටුනු ඔහු පැවසුවේ. පොලිස් පරීක්ෂණ ඉවර වෙලා අදාල පුද්ගලයා හිරේ ගිය පසු ඒ ගමේ ඉඩම් කඩම් විකුණා දමා වෙන පළාතකට ගොස් ඇය හා අනෙක් දරුවන්හට ඉගෙනීමට පාසැල් සොයා ඔවුන් හා හොඳින් ජීවත් වෙන බවය.

“මට දුක ඩොක්ටර් ඇහැක් වාගේ පරිස්සම් කරපු මගේ දරුවා විනාස කරපු ඒ කොල්ලා ගමේ තැන තැන කියනවා මම ගමේ හයි කාරයෙක් දණ ගැස්සුවා කියලා” ඒත් එහෙම කියුවත් පියා ඇගේ මුහුණ බලන්නට එකඟ නොවීය. එනිසා ඔහු පෙර දිනවල මෙන්ම ආ පාරෙන්ම හැරී ගියේය.

අපට බොහෝ සතුටු හිතිනි. සාර්ථක ලෙසින් ප්‍රශ්ණ විසඳෙද්දී ඇත්තටම ඒවා හොඳ අතට පත් කිරීමට දායක වීම ගැන සතුටු හිතිනි.

එහෙත් දින කිහිපයක් යාමට මත්තෙන් එක් සවස දිනක් මිස් අපට කතා කර පැවසුවේ ඇය වාට්ටුවේ නොමැති බවය. විගසින් වෛද්‍යවරුන් සියල්ලෝම එතැනට ගියෙමු. ඇඳුම් බෑගයත් සිම් පතකුත්, අප වාට්ටුවේ තිබී කියවන්නට කියා මගෙන් ඉල්ලාගත් ජීවිතය ජය ගන්න දහම් මග , නමැති පොතත් ඇඳ මත වෙයි. ඇය සොයන්නට සියල්ලෝ රෝහල පුරා දිව ගියෝය. හැම තැනින් ඇසුනේ ඈ වාට්ටු වල අමුත්තන් පැමිණෙන වෙලාවේ ගැහැණු ළමයින් දෙදෙනෙකු හා කතා කරමින් සිටි බවය.

ඔය අතර අප ඇයගේ පියාට මේ බව දැනුම් දුන් ගමන් ඔහු පැමිණියේය. “ මයෙ දරුවා මම ගෙදර ගෙනිච්චනම් ඉවරයි.මෙහෙ තිබ්බ එකයි වැරැද්ද. ඔගොල්ලොන්ට බලාගන්න බෑ කිව්වනම් ගෙනියනවනේ.” කියමින් අඬන්නට විය. අපට බනින්න සැරසෙන මොහු ගැන මට ඇති වූනේ විමතියක්. මුලින් මරන්නම ඕනෑ යයි කියමින් , ඉන්පසු ගෙනියන්න බෑ කියමින්. පසුව වෛද්‍ය පරීක්ෂණ ඉල්ලා සිටි පියා දැන් හරියට අපි නිසා දරුවා නැති වුනා වගේ කතා කරමින් එයි.

“ඔයාලම නේද දරුවා මෙහෙ දාලා ගියේ. මැරෙන්න කියලා. බලන්නකෝ දැන් කතා කරන හැටි”
අපේ හෙදි සොයුරියන්ට සහ ඇටෙන්ඩන් වරියට බොහෝ තරහ ගොස් තිබිනි. සියල්ලෝම වාග් ප්‍රහාර එල්ල කරගනිති.

“ඉතින් තාත්තමනේ දරුවා ගෙනියන්න බෑ කිව්වේ” ඔහුගේ කියමනට මම ද කිව්වෙමි.

“වැඩක් නෑ නංගී ඒ තාත්තා එක්ක කතා කරලා. ආවේගශීලී වුනාම කවුරුත් ඔහොමයි. කමක් නෑ ඔහේ බනින්න දෙන්න. තව ටික දවසකින් එයාටම තේරෙයි කාගෙද වැරැද්ද කියලා.” අපේ ජේෂ්ඨ අයියා එහෙම කීවේය.

“අපි කිව්වනේ ඩොක්ටර් ට ඒ කෙල්ල බොරු කරන්නේ කියලා. ඔන්න ඩොක්ටර් ගේ අනුකම්පාවට වෙච්ච වැඩේ. තව උපදෙස් දුන්නා හැම දාම, අපි හිතුවා ඩොක්ටර් කියන දේ අහගෙන හිටි හැටියට කැම්පස්ම යයි කියලා. ඩොක්ටර් එයාට ජීවිතේ ගැන කියා දුන්නු ඒවා අහලා අපි දෙන්නා හැදුනා. අපි හිතුවේ අපිට මෙහෙම කියා දෙන්න කෙනෙක් හිටියනම් කියලා ” යෙහෙළියන් මෙන් මා හා සිටින අපේ හෙදි සොයුරියන් දෙදෙනාම මට ඔලොක්කුවට මෙන් කියයි.

අප හැමටම බැන වැදී ඒ තාත්තා පිටවී ගියේය. ඔය අතර අපේ ඇටන්ඩන්වරියෙක් ඒ ගමේ සිටි නිසා ඇයත් මහත්මයත් ඒ ගෙදරට ඇගේ මාමා බාප්පා සමග ගොස් ඔච්චර උදව් කරපු දොස්තරලාට බැණ වැදීම ගැන දොස් කියා තිබිනි.

ඉන්පසු කිහිප ගමනක් මේ තාත්තා අප සොයා වාට්ටුවට ආවේ අපෙන් සමාව ඉල්ලීමටය. “මයේ දරුවොන්ගේ වයසේ හිටියට ඔබ තුමන්ලාගෙන් මම කරපු වැරැද්දට කකුල් දෙක අල්ලලා වැඳලා සමාවගන්න ඕනේ” කියූ විට අපි,
“එහෙම ඕනේ නෑ තාත්තේ කවුරු උනත් කරදර අවස්තාවල හැසිරෙන්නේ එහෙමයි කියා” හිත සනසා යැව්වෙමු. දරුවා මරණ බවට තර්ජනය කරද්දී නපුරු තාත්තෙක් කියා සිතුනත් පසුව ඔහු ගැන දුක සිතුනි. 

ඉන්පසු, අනිත්කොණ එම රෝහලෙන් සමුගන්නා දිනයට කලින්දා හවස අපි අවසන් වරන වැඳ මල් පහන් පූජා කිරීම සඳහා ප්‍රදේශයේ මහ විහාරයට ගිය විට ඒ තාත්තාද එහි පැමිණ සිටිනු දකින්නට ලැබිනි.
අපි එහෙන් යන බව කියූ විට ඔහු බොහෝ දුක් වුනා. ඇය ගැන අපි ඇසුවේවත් නෑ. ඒත් ඒ තාත්තාම පැවසුවේ.

“එයා ඒ කොල්ලත් එක්කම යන්න ගිහින්. කොහේ ඉන්නවද දන්නේ නෑ. මට බයේ දෙන්නම හැංගිලා ඇති. මට තවත් එහෙම දරුවෙක් හිටියා කියලා හිතෙන්නේ නෑ ඩොක්ටර්. මේ තාත්තට අම්මට දුන්න දුක, වේදනාව. ගමටම අපිව ලැජ්ජා කරපු හැටි එයාට මතක් වෙයි දවසක”

ඇස් වල කඳුළු පුරෝගෙන බිම බලාගෙන ඒ තාත්තා වඳිනු දුටු විට මට පුදුමාකාර දුකක් දැනිනි. අපේ දෙමාපියන්ට අපි ඒ ආකාරයේ දුකක් නොදුන් එක ගැන සහනයක් දැනිනි. ඇය වාට්ටුවේ ඇඳ උඩ දමා ගිය මගේ බණ පොත දකින හැම සැරේම මට ඒ දැරිය මතක් වෙයි.

ප.ලි. නිතර නොලිවීම ගැන සමාවෙන්න. අධික කාර් ය බහුල කම සහ අන්තර්ජාල පහසුකම් නොමැති කම එයට හේතුවක්. නමුත් කොහොම හරි සතියකට එක කතාවක් හෝ ලියන්නට උත්සහ කරන්නට මම අදිටන් කර ගත්තෙමි. අදගස් දක්වන කියවන සැමට ස්තූතියි.

Friday, July 20, 2012

හතුරු හිත් මිතුරු කළ බෙහෙත...අනිත්කොණ සිට


මිත්‍රත්වයේ පාළම….

පසුගිය කොටසෙන් මා ලියූ ලෙස මල්ලී කෙනෙක් (පුනුරුත්ථාපනය වූ හිටපු ත්‍රස්ත ළමා සොල්දාදුවෙක්) කතා කර ඔවුන්ගේ උත්සවයකට ආරාධනා කරා. ඒ අප විශේෂඥ වෛද්‍යතුමා විසින් ඔවුන් ගේ ජීවිතද, මනෝ සෞඛ්‍ය පිළිබඳවද ලියන ලද සතුට නැමැති ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයටයි. මා මේ වන විට වෙනත් මහ රෝහලක ජේෂ්ඨයෙක් ලෙස වැඩ කළද ඔවුන්ගේ ඉල්ලීම අහක දමන්නට බැරි නිසා එහි ගියෙමි.

කොළඹ පැවති එම උත්සවය බොහෝ උත්කර්ෂ ලෙස පැවැත්විනි. මා ශාලාවේ පිටුපස කොණකට වෙන්නට ඉඳගෙන සිටියේ පෙර දින මෙහි බසයෙන් පැමිණෙද්දී දැනුනු වෙහෙසද සමගිනි. උත්සවය අවසානයේ පොත් පිළිගැන්වීමේදී, ඔවුන්ගෙන් කෙනෙකු වේදිකාව මතට පැමිණ කියා සිටියේ…යුද්ධයෙන් බොහෝ සේ බැට කා, අන්ත අසරණ වූ ඔවුන්ගේ ජීවිත නැවත යහමගට ගන්නට අප වූ වෙහෙසද, පෙන්වූ හරි මාර්ගයද, ඔවුන්ගේ සිතේ තුවාල හොඳ කර අමතක කරවීමට අප දුන් සහයද අති මහත් ය කියාය. එක සිංහල වෛද්‍යවරියක්, අපට අක්කා කෙනෙක් වී අවවාද උපදෙස් සහ සහයෝගය ලබා දුන්නා. ඇය නිවාඩු දමා පැමිණ  මෙ තැන ඉන්නවා. ඇයට අපි මේ පොත පිළිගන්නනවා කියාය. මා ඒ හඬින් තිගැස්සුනා. අන්තිමේ අත්පොළසන් මැද වේදිකාව මතට ගොස් ඔවුන්ගේ අතින් පොතක් මට ලැබුනා. ඔවුන් හා අප අතර බේදය දුරු කරන්නට කදිම මග කුමක්දැයි මට දැන් වැටහේ.

එක කලෙක , සිංහල අජීර්ණයකින් පෙළුනු සෞන්දරාජා (අනවර්ථ නමකි) මට මතක් වේ. ඔහුගේ අයියා කෙනෙකු යුද්ධයෙන් මිය ගිය ත්‍රස්ත නායකයෙකි. එනිසාම 40 හැවිරිදි මොහුට සිංහලුන් පෙන්නනට බැරිලු. මානසික රෝගයකින් පෙළුනු ඔහු රෝගය උත්සන්න වී කායික වෛද්‍ය වාට්ටුවට ඇතුල් කළ පසු සිංහල කතා කරන සියල්ලන්ටම පහර දුන්න්නේය. එහි නේවාසික වෛද්‍යවරයා, සුළු සේවකයින් මේ පහර කෑමට ලක්විය. රෝගියෙක් කියා අනුකම්පා කර ඔහු අපේ වාට්ටුවට විගසින් මාරු කළේය. සිංහලෙන් කතා බස් නොකරන්නැයි අපට උපදෙස් ලැබිනි. දෙමළද යම් තරමකට කතා බස් කළ හැකි මා සමග සියලු රෝගීන් මිතුරු වී සිටියෝය. මොහුද  උදෑසන වෝඩ් රවුන්ඩ් එකේදී බලෙන්ම මා හා කතාවට පැමිණේ. අපේ පිරිමි සුළු සේවකයින් සහ හෙද සොයුරන් ඔහු වටේ වලල්ලක් මෙන් සිට ගෙන සිටියේ මට ගහන්නට සැරසුනොත් බේරා ගන්නටය. නමුත් ඔහු ඉදිරියේම අමතක වී හෙදි සොයුරියන් හා හරි හරියට සිංහලෙන් කතා කරන මට කිසි දිනෙක  බැන වැදීමක් හෝ ඔහු කළේ නැත.

අන්තිමේ වාට්ටුවෙන් බැහැර කෝවිල වෙත යද්දී පොලිස් නිළදාරී මහතෙකුට සහ නිළදාරිනියකුට පහර දී ඔහු කුදලාගෙන ආවේ මෙහෙම රෝගියෙක් නිදැල්ලේ යැව්වේ ඇයිදැයි අප වාට්ටු බාර හෙද පාලකවරයාට දෝස්මුරයකුත් සමගය.  අන්තිමේ අප ඔහු මීට එහා පිහිටි මානසික රෝහලට ඇතුල් කරන්නට තීරණය කෙරුවෙමු.
“ඩොක්ටර් ඔච්චර කතා කරලත් සිංහලෙන් කිසිම කරදරයක් කරේ නෑනේ”
“මටත් පුදුම මේ සිංහල ඩොක්ටර් ට කිසිම කරදරයක් නොවුනු එකයි” අපේ විශේෂඥ වෛද්‍යතුමා පුදුමයෙන් කීවේය.

 ඔය අතර.....

"ඩොක්ටර්ගෙත් කං ඇහෙන්නෙ නැති වුනාම තේරෙයි..." කන ඇහෙන්නෙ නැති "කලා" හෙවත් අපේ වාට්ටුවේ සේවය කරන මැදිවියේ සුළු සේවිකාව අපට බනිමින් යයි. දැන්නම් ඉවසන්න ඔන්නේ සීමාව පනිමින් සිටී. 

මීට පෙරද මෙ ආකාරයෙන් වෛද්‍යවරුන්ට බැණ වැදී ඇති අයෙකි. හෙදි සොයුරියන්ටද එකටෙක කියමින් බැණ වදිනවා මගේ කන වැටී තීබුනි. "මෙහෙ එන්න" මම ඇය කැඳවූයෙමි. ඇයට කතා කරන්න නම් බොහෝ වැර වීරියෙන් කෑ ගැසිය යුතුයි. ඒ ඇයට කන ඇහෙන්නේ නැති නිසාවෙනි. ඇය සමග වාට්ටුවේ වැඩ කරන්න සියලු දෙනා බොහෝ පරිශ්‍රමයක් දැරිය යුතුයි. මන්ද අපි කියන කිසි දෙයක් ඇහෙන්නේ නැති නිසා මොකක් හරි පිස්සුවක් අන්තිමට කරන නිසාවෙනි. "තමුන් ඉස්සෙල්ලා දැන ගන්න වැඩ කරද්දී කන ඇහෙන්න දාන්න දෙන උපකරණය පළදින්න. ඒක දාගෙන එන්න " මම මීට පෙරද ඇය හා කතා කර ගත නොහැකි අවස්ථාවක පැවසුවෙමි. “ ඒක දාන්න බෑ ඩොක්ටර් කන රිදෙනවා” නිතරම කියන නිදහසට කාරණාව එයයි.

වාට්ටුවේ හදිසි අවස්ථා එමටයි. එවිට අරක කරන්න , මේක ගේන්න. මේක තියන්න. අරක ගේන්න. යැයි නියෝග කරද්දී ඒ දේ ඇහෙන්නේ නැත්නම් අපට උදව්වට සිටින සුළු සේවකයින්ගෙන් පලක් නැති තරම් ය.
ඇය තවත් මොනවදෝ කියවමින් මා අසලට පැමිණියා ය.
“ තමුන් තේරුම් ගන්න , අපි දොස්තරලා අපිට ඕනෙ නෑ කාගෙවත් ආබාධ තත්වයකට හිනාවෙන්න. ලොකු සර් ඇහුවේ ඇයි මේ මනුස්සයගේ කන ඇහෙන්නේ නැද්ද කියලා විතරයි” මම ඇයට පැහැදිලි කර දුන්නෙමි.
ඇය හතලිස් හැවිරිදි වේ. ඇගේ ස්වාමි පුරුෂයාට සහ ඇයට දරුවන් නොමැති නිසා. ( ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ තත්වයක් හේතුවෙන්) අධිකරණය මගින් දරුවෙක් ගෙන හදා ගැනීමට ඒ ගැන සඳහන් කර මෑතකදී ලියුමක් අපෙන් ඉල්ලා සිටියාය. ඒ ලියුම ලියන්න කරුණු අසද්දී අප විශේෂඥ වෛද්‍යතුමා දැනගත්තේ ඈ කන් ඇසීමේ දුර්වලතාවයකින් පෙලෙන බව.
“ඔයාලාට ඉඩම් ප්‍රශ්ණයක් තිබ්බේ නෑනේ. යුද්ධයෙ නිසා ශෙල් පිපිරීම් නිසා මගේ කණ ඇහෙන්නේ නැතිව ගියේ, ඕගොල්ලො අපි වගේ දුක් වින්දේ නෑනේ”  ඇය දොඩවයි.
ඇය මා අසලින් පිටවී ගිය පසු අප වාට්ටුවේ ජේෂ්ඨ සනීපාරක්ෂක සේවිකාවක් පැමිණ,
“ඩොක්ටර් එයා ඕනෙ කමින් ඩොක්ටර්ලා කියන දේ අහන්නේ නැතුව ඉන්නේ. ඔය කණ ඇහෙන්නෙ නැත්තේ ෂෙල් පුපුරලා නෙමෙයි. එයයි මහත්තයයි කලේ ගම්වල පොඩි එවුන් අල්ලාගෙන ගිහින් බලහත්කාරෙන් ළමා සොල්දාදුවෝ හැටියට එල් ටී ටී එකට බාර දෙන එක. ඒකයි ඔය මිනිස්සුන්ට ළමයි නැත්තේ ඒ කරපු පව් වැඩ වලට. ඔය කණ ඇහෙන්නේ නැත්තේ එහෙම ළමයෙක් බලනෙ අල්ලගෙන යද්දී ඒ ළමයගේ තාත්තා ඇවිත් මෙයාගේ ඔළුවට ගහලා ළමයා බේරගත්තු නිසා”
මගේ ඇඟේ හී ගඩු පිපුනි. භයානක ඉතිහාස නිරන්තරයෙන් මා හමුවේ දිග හැරෙයි. එහෙනම් ඇය අප හා එකටෙක කියන්නෙත්, ගෞරවයක් නැතිව හැසිරෙන්නෙත් අපේ අණ නියෝග බැහැර හරින්නෙත් තාම හිතේ තිබෙන කේන්තිය නිසා වෙන්න පුළුවනි.

යුද්ධය නිමවූ කාලයේම අපි අනිත්කොණ රෝහලේ වැඩ බාරගත් නිසා, අයි ඩී පී රැකවරණයේ සිටින ත්‍රස්තයින් එහෙමත් නිරතුරුවම අප රෝහලට පැමිණියා. ඔවුන් ඇතැම් විට අපේ මුහුණ බැලුවේවත් නැත. කතා කෙරුවේද නැත. එහෙම අයටත් ඔවුන්ගේ ඒ හයිකාරකම් විඳ දරාගෙන බෙහෙත් කරන්නට අපි වෛද්‍යවරුන් මෙන්ම හෙදි සොයුරියන්ටද සිදු වුනා. අවසන වාට්ටුවෙන් පිටවෙද්දී අපට කියුවේ , අපි හිතන් හිටියට වඩා සිංහල මිනිස්සු ගොඩක් හොඳයි. කියාය.

හැකිතරම් අනුකම්පා කරන්න, හැකි තරම් ඇයට කාරුණික වන්න. සතුරු වී වෛර කළ, යුද්ධ කළ මිනිසුන් දිනා ගත් අපට, ඇය දිනා ගන්න බැරි වෙන එකක් නෑ ! මගේ හිත මට කිව්වා.

ඒ කිව්වා වගේම දින දෙක තුනක් යද්දී ඇය බොහෝ යටහත් පහත්ව අප හමුවේ සිටියා. ඒ ඇය එතරම් අකාරුණික වුවද අපි ඇයට අවශ්‍ය ලියුම සාදා දුන් නිසා.බයෙන් බයෙන් මා අසලට විත් කතා කරේ මම බැන වදී යැයි බියෙනියි සිතිනි. නමුත් පෙර සේම සිනහ වී කතා කරන්නට මට හැකි නිසා ප්‍රශ්ණයක් වුනේ නැත.

 වෛර කරන්නෝ වෛරයෙන්ම නැසෙති , අවෛරය සියලු දේ දිනයි...කියා කියමනක් කුඩා කල අසා තිබුනාට එහි ප්‍රායෝගික බව දුටුවේ ෆැකල්ටියේ සහ ඉන්පසු රැකියාවේ යෙදෙනවිටයි.


Thursday, July 5, 2012

හොඳ නරක , Some doctors are mad !





අපි අනිත් කොණ ඉන්දෙද්දී කරපුවා ලියද්දී කාට උනත් හිතෙන්න පුළුවන් අපි පම්පෝරි ගහනවා කියලා… ඒක ගැන නම් අනේක වාරයක් සමාවෙන්න. ඉන්න තැන වෙනසක් කරන්න පුළුවන් කෙනෙක් හැටියට මේවා ලියන්නේ අපි මෙහෙමත් කලා කියලා කියන්න මිසක් ලොකු කමකට නම් නෙමේ. 

අපි අනිත්කොණ රෝහලේ ඉන්නකම් පටන් ගත්තු පෝයදා බණ සඳහා වැඩම කළ පන්සලේ පොඩි හාමුදුරුවෝ හැම තිස්සෙම කිව්වේ මේ තරුණ දොස්තර මහත්තුරු නෝනලා ටික , මග මානවකයෝ වගේ කියලා. මොකද ඒ පැත්තේ අවුරුදු 40 පුරා කරගන්න බැරිව තිබ්බ බොහෝ සමාජමය දේවල් අප සුළු පිරිසකගේ එකමුතුවෙන් සිදු වුන නිසා. පින්තූර සහ විස්තර වැඩියෙන් ලියන්න තිබ්බා නම් හොඳයි නමුත් පින්තූර සහිත ලැප්ටොප් එක අඩපණ වී ඇති නිසා එය අළුත්වැඩියාවට දුන්නෙමි. එය යථා තත්වයෙන් ලැබුනොතින් පින්තූර සමග මින් පසු විස්තර වැඩියෙන් ලියන්නම්.

“පුළුවන්ද මට උදව්වක් කරන්න” මා සමග වැඩ කරන තවත් යහළුවෙක් වන ඩොක්ටර් අපේක්ෂා හදිසියේම කෝල් කලා.

“ඔයානේ මේ සති අන්තේ ගෙදර යන්නේ, ඒ වෙනුවට මට යන්න දීලා සෙනසුරාදා තියටර් ලිස්ට් එක ඔයා කරනවද?” සාමාන්‍යයෙන් ශල්‍යකර්ම වලට ඉතා යුහුසුළුව සහභාගි වන අපේක්ෂා මගෙන් එහෙම ඇහුවම මට දැනුනේ පුදුමයක්.

මම සිද්ධිය පස්සේ කියන්නම්…. ඇය මට කීවාය.

කොහොම හරි දින හුවමාරුවෙන් පසු ශල්‍යාගාරයේදී එක් රෝගී කතක් ඇගේ ශල්‍ය කර්මයට ප්‍රථම මගෙන් විමසුවේ ඩොක්ටර් අපේක්ෂා ඉන්නවද කියාය.
පසුව මම අසා දැන ගත්තේ ඉහත සඳහන් ස්ත්‍රිය අපේක්ෂාගේ ඥාතී කෙනෙක් බවද, අපේක්ෂා ඉගෙන ගන්නවාට ගොඩක් කරදර කළ කෙනෙක් බවය.

“ඒ ලෙවල් කරන කාලේ නිතරම ඒ නැන්දා කිව්වේ… සයන්ස් කරලා මොකටද ? නාකි වෙන්න වෙන්නේ ගෙදරටම, කැම්පස් යන්න නම් එපා. කියලා. මම මෙඩිකල් ෆැකල්ටි ඉන්න කාලේ, එයාගේ දුවට බලෙන්  බයෝ කෙරෙව්වා ඒ ලෙවල් වලට ඒළමයා පාස් වුනේම නෑ. අන්තිමට ඒ නංගි කියලා තිබ්බා අපේක්ෂා අක්කට විරුද්ධවනේ මට බයෝ කරන්න කිව්වේ අම්මා කියලා. මම පත්වීම ලැබිලා දොස්තර කෙනෙක් හැටියට සේවය කරන්න පස්සේ අපිත් එක්ක කිසිම ඇයි හොඳයියක් තිබ්බේ නෑ. පස්සෙ කාලෙක ආරංචි උනා, හදි හූනියම් කොඩි වින ගොඩාක් අපිට විරුද්ධව කළා කියලත්. අනේ මම නම් ඕවා ගණං ගත්තෙ නෑ. අපිට ඉන්න එකම පිහිට බුද්ධ ධර්මය විතරයිනේ.”

“කොහොම හරි මේ ඉස්පිරිතාලෙටම ඇවිත් ඇඩ්මිට් උන දවසේ මම දැක්කම එයාගේ මූණ හතරැස් උනා. ඒත් ළඟට ඇවිත් කතා කළා. එයාට කැන්සර් එකක්. අන්තිමට සර්ජරි එකේ මොකක් හරි උනොත් කියයි මම හිතලම මොකක් හරි කළා කියලා.”

අපේක්ෂාගේ කතාව ඇත්තය. කොහොමත් සමහරුන්ගේ ඉරිසියාව නිසා අහස පොළොව නුහුලන අපරාධ කරති. අන්තිමේ ඔවුන්ම දුක් විඳිති.

“මට නම් එයාලා ගැන තියෙන්නේ අනුකම්පාවක්…” අපේක්ෂා අන්තිමට කිව්වා.

“ඔව් ඔයා මග ඇරලා හිටි එක හොඳයි.” අපිට හැඟුනෙත් එහෙමයි.

ගොඩක් මිනිස්සු තමන් ගැන හොයනවාට වඩා අනුන් ගැන සොයති. අනුන්ගේ දියුණුව දැක ඉරිසියා කරති. අන්තිමේ ඒ පවින් තමන්ටම වින කර ගනිති. හොඳ නරක කොහෙත් තියෙනවා. අප සේවය කළ අනිත්කොණ රෝහලේ විශේෂඥ වෛද්‍යතුමා නිතර කියූ දෙයක් නම්.. 

"Some doctors are bad, some doctors are mad, the rest is sad because of previous 2 categories " කියලා.

 "සමහර දොස්තරලා නරකයි. සමහරුන්ට පිස්සු, අනිත් සේරමලා දුකින් අර කළින් කියූ දෙපිරිස නිසා" කොයි තරම් ඇත්තද ? 

Tuesday, July 3, 2012

ඕස්ට්‍රේලියානුවන්ගේ අත්පොළසන් සමග රාජිතන් අපරාජිත විය !


ජීවිතේ බොහෝ දුක් පීඩා මැද ඉගෙනුම ලැබූවෙමි. වෛද්‍යවරියක්/වෛද්‍යවරයෙක් වූ පසුද දුක පීඩාව වෙනස් වූයේ නැත. නමුත් ඒවා මම පිළිගන්නා ආකාරය වෙනස් කෙරුවෙමි. තව දුරටත් දුක හෝ පීඩාව මට වෙහෙසකර වුනේ නැත. මා ඊට ගොදුරක් වෙන්නට ගියේද නැත.

දිගු කලකින් දන්නා හඳුනන මල්ලියෙක් කතා කළේය. "ආයුබෝවන් අක්කා" 

"ආ දැන් සිංහලෙන්ම කතා කරනවා" මට එක වරම කියැවිනි.  

මුලින්ම මා දකිද්දී ඔවුන් සිටියේ වයස 13, 14, 15 වියේදීය.පළමු දින වලදී ඔවුන් මා හා කතා කළේම නැත. පසුව බොහෝ සෙයින් ලෙංගතු විය. මුලින් මැඩම් යැයි ආමන්ත්‍රණය කල ඔවුන්ට මා පැවසුවේඅක්කා කියන්න කියාය. ඔවුන් කටපුරා අක්කා කියති. දැන් අවුරුදු 3 ඉක්ම ගොස් ඇත. අප ඒකකයමේ ඉසව්වේ මනෝ සෞඛ්‍ය ය ගැන ක්‍රියා කරන එකම රෝහලේ විය. එනිසා ඔවුන්ගේ සෞඛ්‍ය ගැටළු සියල්ල සොයා බැලුවේ රජයේ රෝහලේ අප ඒකකයෙනි. මුලින් ඔවුන් මා සමග කතා කලේ බියෙන් බව දැනිනි, නමුත් මා ඔවුන්ගේ බසින් කතා කළ නිසා වඩා හොඳින් ඔවුන් හා කතා කරන්නට පුළුවන් විය. පසුව ඒ බිය පහ විය. 

 සමහර දිනක ටවුමට පැමිණි විට අප ඒකකය වෙත පැමින හලෝ! කියා යනන්ට ඔවුන් අමතක නොකළෝය. සියල්ලන්ම පුනුරුත්ථාපනයෙන් පසු නිදහස ලබා සිය මාපියන් නෑසියන් සමග සතුටින් සිටී. අඩි 6 පමන උස ශිවා ( අනවර්ථ නමකි) පැමිණ කියූවේ නිදහස් වෙන්නට ප්‍රථම ඔවුන් ලොකු ට්‍රිප් එකක් ගිය බවය. නුවර එළිය කොළඹ මෙන්ම ගාල්ල මාතර ප්‍රදේශ වලද ඔවුන් සංචාරය කර තිබුනි. 
"අරලිය ගහ මන්දිරේටත් ගියා ඩොක්ටර්ප්‍රසිඩන්ට් එක්ක කතා කලා. හරිම සතුටුයි. " ජනාධිපතිතුමා ඔවුන් හා ළඟට පැමිණ කතා කර තිබුනි. එය ඔවුන් හට මහ ලොකු දෙයකි. ඔවුන් මොන තරම් නිදහසක් සතුටක් දැන් භුක්ති විඳිනවාදඑදා අපිට ඇසුනේ වෙඩි හඬ සහ බෝම්බ හඬ අපි හිටියේ මර බියෙන්. නමුත් දැන් අද අපි නව ජීවිතයක් ලබාආකාසය වෙත පියා සලන්නට බලාගෙන ඉන්නවා. ඔවුන්ගෙන් එකෙක් ලියූ නිසඳැසක එහෙම තිබුනා. මොන තරම් තාඩන පීඩන ගොඩක් මැද්දේ ජීවිත ගෙව්වාද ඔවුන්. 

ඔවුන් සිටි කෑම්ප් එකේ ලොක්කා හෙවත් ඔවුන් පියෙකු සේ සලකන හමුදා නිළදාරි මහතා කියූවේ. "මට ඕනෑ මේ දරුවෝ... අනාගතයේ මගේ දරුවන් සමග යුද්ධ නොකරන්න ඔවුන්ගේ සිත සහ ජීවිතය හරි මගට යොමු කරන්නයි" 

ඒ සිතිවිල්ල කොතරම් උතුම්ද ?

"අක්කේ උත්සවයට එනව ද?" පසුගිය දිනක ඔවුන් ඇසීය.

"කොළඹනේ තියෙන්නේ හරි මම එන්නම්.

 රජයේ වෛද්‍යවරුන් ලෙස යුද්ධයේ සැබෑ තත්වය සහ ඉන්පසු මෙහෙ ජන ජීවිත ගැන මේ ප්‍රදේශ වල සිටම දැකපු නිසා යුද්ධය ඉවර වීම ගැන තිබෙන්නේ සතුටක්. 
 ඔය අතරේ වැඩ අධික වූ එක් දිනක් හවස  විශේෂඥ වෛද්‍යතුමා දුරකථනයෙන් කතා කොට පැවසුවේ. යම් පිරිසක් මා හමුවීමට පැමිණෙන බවත් ඒ අය අප ඒකකය වෙත එද්දී මම ඇතුලු අනෙක් වෛද්‍යවරු එහි පැමිණ සිටිය යුතු බවත් ය. 
රෝහලේ ප්‍රධාන ගොඩ නැගිල්ලේ තිබූ අප සායනය වෙත අපි ගොස් එහි ජනේලයෙන් පාර දෙස බලා සිටියේ කවුද මේ කැන්දන් එන පිරිස කියාය. මොන කෝලමක් නටන්නද මන්දා කියමින් අපේ අනෙක් වෛද්‍ය අයියාද සිටියේය. දුර ගමන් යන විශාල බස් රියක් පැමිණ රොහල් ගේට්ටුවෙන් ඇතුල් කලේ එවිටයි. වෛද්‍ය අධිකාරිතුමාත් ගේට්ටුව දෙසට දුවනවා අපි දුටුවේ එවිටයි. ඔන්න නැවැත්තූ බස් එකෙන් ඉතා උස යෝධයන් වැනි විදේශික තරුණ තරුණියන් 25 පමණ පිරිසක් පිටතට පැමිණ අපේ සර්සහ වෛද්‍ය අධිකාරී පළාත් පාලන ලොක්කෝ සමග අප දෙසට පැමිණෙන්නට විය. 

"කෝලමක් වගෙයි " අපටද කියැවිනි. ඒ පැමිණ සිටියේ ඕස්ට්‍රේලියානු පා පන්දු කණ්ඩායම් කිහිපයක ක්‍රීඩකයන් සහ විශ්ව විද්‍යාල මහාචාර් ය වරුන් ය. ඔවුන් මෙහි පැමිණ ඇත්තේ අනිත් කොණ පුනුරුත්ටාපන වැඩමුළු වලට සහය දී ඒ දරුවන් හා ක්‍රීඩා වැඩමුළු පවත්වන්නටයි. විශාල පතාක යෝධයන් වැනි ඔවුන් පැමිණ තිබුනේ අප හමුවී අප මෙ කොණ කරන දෑ ගැන දැන ගැනීමටයැයි මට සිතිනි. නමුත්  ඕස්ට්‍රේලියාවට මසක වැඩමුළුවකට සහ සම්මන්ත්‍රණයකට ගිය විශේෂඥ වෛද්‍යතුමා අපි වෛද්‍යවරුන් තිදෙනා මෙහි කරන ලද සහ කරමින් සිටිනා සියල්ල ඔවුන් හා පවසා තිබුනේ පරිගණක සැකසුම් සහ පවර් පොයින්ට් සමගිනි. 
 ඕස්ට්‍රේලියාවේ පැවති, national reconciliation conference එකේදී අප යුද්ධයෙන් පසු ඒ ප්‍රදේශ වල කරනා සේවය අගයමින් එම පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එක එහිදී ප්‍රදර්ශනය කෙරුනාලු. ඒ පතාක යෝධයන් වැනි ක්‍රීඩකයින් ක්‍රීඩිකාවන් පිරිස (පාපන්දු ක්‍රීඩකයින් ඉතා විශාලයිනේ) පැමිණ අප ඉදිරියේ සිට ගෙන අත්පොලසන් දී  කිව්වේ අප කරන මෙහෙය ඉතා අගය කරන බවය. එම ඒකකයේ එකම සිංහල වෛද්‍යවරිය හැටියට මා මේ ප්‍රදේශයට පැමිණි දින සිට මා ලැබූ අත්දැකීම් මට ඔවුන් හා කියන්නට වුනා. රජයේ නියෝජිතවරියද ඇත්තටම ඔවුන් හට ඇත්ත හරියට කියා දෙන්නට යුහුසුලු වුනා. එවන් නිළදාරිනියන් සිටීම ඉතා අගය කරමි.
 ඇත්තටම ඒක අපූරු සැන්දෑවක් ! 

"අක්කාරාජිතන් මතකද ?" දුරකථනයෙන් කතා කළ මල්ලී කියවයි.

"ඔව් මල්ලී මතකයි" මම කීවෙමි.

 "එයා ඒ ලෙවල් හොඳට පාස්ඒ එකයි බී එකයි සී එකයි. කැම්පස් තේරුනා. සුහාෂන් අක්ක දුන්නු පැන්සල් සෙට් එකට ස්තූති කලා " මල්ලී කියුවේය. 

මා චිත්‍ර අඳින බව දැන එංගලන්තයේ සිටින යහළුවෙක් විවිධ  පැන්සල් 54 සහිත චිත්‍ර කට්ටලයක් එවා තිබිනි. අප ඒකකයේ බිත්ති හැඩවී ඇත්තේ සුහාෂන්ගේ චිත්‍ර වලිනි. ඔහු ඉතා දක්ෂ දරුවෙකි. මා එම පැන්සල් කට්ටලට ඔහු වෙත යැව්වෙමි.

අවුරුදු 13,16 වියේදීම ගිනි අවි අත දරාමිය යන්නට පවා තිබුනු ඒ දරුවන්ගේ ජීවිතඅද කළ එළි වී ඇත. ඔවුන් හට නැතිවූ ජීවිතය නැවත ලැබී ඇත. අද සියලු දෙනා නිදහස්වී තම නෑ සියන් සමග ගෙවල් වල සිටී. අවුරුදු 30ක යුද්ධයේ අවසාන අදියරේදී හමුදාව විසින් මුදා ගත් එම ළමයින් නැවත අද පාසැල් යයි. විභාග ලියයි. නිරන්තරයෙන් අපි හා කතා බස් කරයි. අද ඒ ප්‍රදේශයේ මා නොසිටියද ඔවුන් දුරකථනය ඔස්සේ කතා කර මා හා විස්තර පවසයි. සිංහලයින් ගැන ඔවුන්ගේ හිතේ තියෙන්නේ ආදරයකි. ඒ ඔවුන්ට හමූවූ සොඳුරු සිංහල මිනිසුන් නිසාය. තවමත් ඔවුන් තම තාත්තා යැයි පවසන කඳවුරු බාර මේජර්වරයාද එවන් සොඳුරු මිනිසෙකි ! 


Sunday, June 24, 2012

You are your country ! අපිට තියෙන ප්‍රශ්ණ...

බයිසිකල් පැදීම සම්බන්ධයෙන් ලියූ ලිපියට බොහෝ ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම සිතට ඒක අස්වැසිල්ලක්. උඩුගං බලා පීනන අය දිහාවපර ඇසින් බලන අයද, තමන්ගේ ගොඩට දමාගණන්ට ඉහළ නගින අය කපා කොටා බිම හෙළන අයද බහුල සමාජයේ හිතකර වෙනසදිහා හිතකර ලෙස බැලූ ලිපි කියවන ඔබ වන්නන් සිටීම භාග්‍යයක්.

කිහිප ගමනක් A 9 ප්‍රධාන මාර්ගයේ ගමන් කළද දැන්නම් ඒ වෙනුවට අතුරු මාර්ග යොදා ගනිමින් මාර්කට් එකට, ෆුඩ් සිටි එකට ළඟාවෙන්නේ හැමෝගෙන්ම ලැබූ අවවාද සහ සතියේ සෑම දිනකම දකින්න ලැබෙන අනතුරු හා මරණ නිසා.

අහෝ A9 ලිපිය ලියූ දිනට පසුවදා… වාට්ටු වල වැඩ අවසන් කොට පහළට පැමිණෙද්දීම A9 ප්‍රධාන මාර්ගයේම පිහිටි ප්‍රාදේශීය රෝහලකඇම්බියුලන්ස් රථයක් නැවැත්තුවා. අපේ හිතවතියක් වන ඒ රෝහලේ වෛද්‍යවරිය කඩිමුඩියේ එළියට බැස, කෑ ගසා සියල්ලන් රැස් කරඇතුළේ තිබූ ස්ටෙචරය සමග රෝගියා හදිසි සත්කාර ඒකකය වෙත තල්ලු කරගෙන ගියාය.

දහවල් 12 පමණ වූයෙන් ETU (emergency treatment unit) හෙවත් හදිසි සත්කාර ඒකකය එවෙලාවේ බොහෝ කලබල නිසා අපි තිදෙනාදනිල නිවාසයට යන ගමන නවත්වා එහි දිව ගියේ උදව් කිරීමටය.
රෝගියා දුටු මතින්ම බොහෝ අසාධ්‍ය යැයි සිතුණි. අපේ හිතවත් වෛද්‍යවරිය කීවේ,  බයිසිකලයේ ගමන් ගත් ඔහු, ටිපර් රථයක් හප්පාගෙන ගොස් ඇති බවය. ඔළුවට හානි සිදු වී ඇත. ඔක්සිජන් ප්‍රතිශතය බලාගෙන ඉඳෙද්දී පහළ බසී. නාසයෙන් කටින් ලේ ගලයි.ශ්වසන මාර්ග සියල්ලම අවහිර වී ඇත. මොළයට දැඩි හානි සිදුවූ බවක් පෙන්වයි. ඔහුට සිහියක් නැත. නිර්වින්දන වෛද්‍යවරයා බටයක්දමා ශ්වසනය යථා තත්වයට පත් කරන්නට උත්සහ ගත්තද බටය දිගේ පැමිණෙන්නේ ලේ පමණි. හර්දයද අකර්මණ්‍ය වී ඇත. අනෙක් අයවටවී කෘතිම හර්ධ ස්පන්දනය ඇති කිරීමට උරස් ප්‍රදේශය තෙරපයි. එහෙත් රිද්මයේ වෙනසක් නැත. දෙතුන් පාර විදුලි සැර මගින් හෘදයක්‍රියාත්මක කිරීමට උත්සහ ගත්තද එය සාර්ථක වූයේ නැත. ඔහු මිය ගොසිනි. අපි පිටතට පැමිණියෙමු.


එක දරුවෙක් වඩාගෙන තවත් දරුවෙක් අතින් අල්ලාගෙන ඔහුගේ බිරිඳ ETU එකේ දොරකඩ බලාගෙන සිටී. ඇය සිතන්නේ ඔහු ජීව්ත්වේය කියාය. අප නැවත නිල නිවස වෙත ගියෙමු. දැන් රෝහල දෙසින් මහත් විලාප හඬක් ඇසේ. නිර්වින්දක වෛද්‍යවරයා පිටතට පැමිණඔහුගේ බිරිඳට කනගාටුදායක පුවත පවසන්නට ඇති.

තරුණ මව දරුවන් දෙදෙනෙකු සමග තනිවී සිටී. කුලී වැඩ කර එදාවේල සරි කරගත් ඒ 32 හැවිරිදි තරුණ පියා, ටිපර් රථ බයිසිකල්ගැටුමෙන් ලොව හැර ගොසිනි !

මගේ යෙහෙළියක් මා දෙස බලා “ පේනවා නේද.. තව බයිසිකල් පදිනවා” යැයි මා දෙස ඔරවාගෙන දොඩවයි. ඔව් එය ඇත්තෙන්ම භයානකයි ! (අත්දැකීමෙන් දනිමි.) රජය හෝ වගකිවයුතු ආයතනයක් මේ දේවල් ගැන සැලකිලිමත් වෙනවානම් හොඳයි සිතේ.

රටේ නායකයින් කීප දෙනෙක් මාස කිහිපයකට කලින් මේ අනිත්කොන රෝහලට පැමිණියා මතකය. ඒ පැමිණෙද්දී නම් දින 3 ඇතුළතරෝහල කළ එළි වී අමුතුම සිරියක් ගෙන ආවේ අපේ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට පින් සිදු වෙන්නටයි. උත්සවයට කලින් දින එක්ලේකම්වරයෙක් රෝහලේ පිවිසුම් කොරිඩෝවේදී, අපි හවස වැඩ ඉවරවෙලා නිල නිවාසයට යමින් සිටියදී මුණ ගැසිණි.

“මම අහවලාගේ ලේකම් , ඩොක්ටර්ස්ලා කොහේද, කොහොමද කොයි පළාතේද. මෙහෙ හොඳද” යනුවෙන් ඇරඹි කතා බහ අවසානයේ.

“මොනවද ඩොක්ටර් තියෙන අඩු පාඩු” යැයි ඇසුවේය.

“අඩු පාඩු නම් එමටයි. අපට තියෙන්නෙ එකම එක ශල්‍යාගාරයයි.(operation theatre) ඉතින් හදිසි සැත්කම් අවස්ථා පැමිණි විට ඇතුළේකරමින් ඉන්න සැත්කම නවත්වා ඒ ලෙඩා එළියට අරගෙන අර හදිසි සැත්කම කරන්න වෙනවා. එහෙම නැත්නම් ඇතුළේ එක ඉවරවෙනකම් එළියේ ලෙඩා ජිවත්කරන්න සෑහෙන සටනක් දෙන්න වෙනවා”

“ඒ කිව්වේ”

“දැන් හිතන්න, කකුලක් කැඩිච්ච රෝගියෙක්ගේ සැත්කම කරමින් ඉන්නකොට, බබෙක් හම්බුවෙන්න ඉන්න අම්මා කෙනෙක්ගේප්‍රශ්නයක් වෙලා හදිසියෙන් සීසර් කරන්න උණොත්. මිනිත්‍තු කිහිපයකින් ඒ දේ කරනන් ඕනේ. හැකි තරම් ඉක්මනින්. ඉතින් එතකොටඅර තියටර් එකේ ඇතුළේ ඉන්න ලෙඩා ඉක්මනින් සිහි ගන්වා එළියට ගන්න වෙනවා.”මම පැහැදිලි කළෙමි.

“ආ හරි. ඔව් ඩොක්ටර් ඒක ගැන මම සටහන් කරගන්නම්”

“තව.. මේ රෝහලේ ලිෆ්ට් එකක්වත් වැඩ කරන්නේ නෑ. දැන් යුද්දෙ ඉවර වෙලා අවුරුදු 3ක්. වාට්ටු සහ ශල්‍යාගාර තියෙන්නේ දෙවෙනි තට්ටුවේ. ස්ටෙචර් පිටින් කර මතින් උස්සගෙන තමයි පඩිපෙළ නගින්නේ. හදිසියෙවත් රෝගියා වීල් චෙයා එකේ ගෙනාවොත්, සුළු සේවකයන්ට තේරෙන්නේ නෑනේ රෝගියාගේ තත්වය, එයාලා රෝගියා පයින් පඩිපෙළ දිගේ ගෙනියනවා. මේ ළඟදි දවසකත් පඩිපෙළ පාමුල අම්මා කෙනෙක් බබෙක් ප්‍රසූත කළා. අපි සේරම පල්ලෙහාට දුවලා තමයි දරුවා ගත්තේ. ඒකට අපිට කාටවත් බනින්න බෑ. දරුවෙක්ප්‍රසූත කරද්දී වීල් චෙයා හෝ ස්ටෙචර් එකේ ඒ අම්මව උඩට උස්සගෙන එන්න බෑනේ. සමහර විට හදිසි ප්‍රතිකාර ඒකකයෙන් ශල්‍යාගාරයට ගෙන යන හදිසි රෝගීන් පවා කර මතින් පඩිපෙලින් ගෙන යද්දී කොයි තරම් අමාරුද ඒකට විකල්පයක් නෑ. එනිසා පුළුවන්නම් මේ ලිෆ්ට් දෙකක් බිල්ඩිමේ දෙකොනේ තියෙනවා ඒ දෙක හරි ගස්සලා දෙන්න.”

“හොඳයි ඩොක්ටර්.. මම ඇහුවේ ඩොක්ටර්ස්ලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද මෙහේ. ඉඳුම් හිටුම් , පහසුකම්” එතකොටයි මට තේරුණේ මොහු අසන්නේ අපේ පුද්ගලික අවශ්‍යතා ගැන කියා.

“ඕ සමාවෙන්න. නෑ අපිට නම් එහෙම කියන්න තරම් අපහසුකමක් නෑ. කියන පරක්කුවෙන් අපට අවශ්‍ය සියල්ල අපිට සපයන්න මෙහෙ පිරිස ඉන්නවා. එකම දේ මේවායේ තියෙන දේවල් ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න ඕනෙකම තියෙන අය හෝ පිරිස නෑ. ඒකියන්නේ maintenance, මේ දේවල් හරියට maintain කරනවානම් හොඳයි. එතකොට ගොඩක් කල් පවතිනවා. අනික අපිට කොහොම හරි එදා වේල කාලා බීලා ඉන්න හැකියාව තියෙනවා, ඒ උණත් මේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ට නම් සෑහෙන්න අමාරු ඇති. දැන් පාරවල් හැදෙන නිසා වාහන යනවා නෙමෙයි පියාඹනවා. දවසකට එකක් හෝ දෙකක් මාර්ග අනතුරු මරණ” මම ආයෙත් මාතෘකාවෙන් පිට කියවනවා.

පිටි ටින් රැගෙන වාට්ටුවටආපු ඩ්‍රග් රෙප් මල්ලී මා එක්ක කතා කළාට පසු ආයේ පැත්ත පළාතේ නො ආවා මෙන්. මොහුද හිතන්න ඇතිකතා කරපු මෝඩකම කියා. “අපේ ට්‍රාන්සර් ඉක්මනින් හරි ගස්සාගන්න බලන්න තිබ්බනේ කියලා” මේ කතා බහ ගැන කියූ විට අපේඑකෙක් කියයි.

තවත් කිරි පිටි කොම්පැනියකීන් මෑතකදී අප සොයා පැමිණියා. ඉතා මිල අධික අධි පෝෂණ කිරි පිටි එකක් වන එම ටින් එකක් නොමිලේමගේ මේසය මත තියන්නත් ඔවුන් අමතක කළේ නෑ. මේ පළාතේ පෝෂණ ඌනතා තියෙන අම්මලා කොතෙකුත්ද. ඔවුන් මා හට ටින් එකදුන් විටම මම කළේ අප වාට්ටුවේ සිටින එවන් මන්ද පෝෂණය සහ දැඩි රක්ත හීනතාවයෙන් පෙළෙන, රුධිර පාරවිලයනය කරමින් සිටිනඅම්මා කෙනෙකු කැන්දා ඔවුන්ට ඇගේ තත්වයද පහදා දී මට ලැබුණු ටින් එක ඇයට පිරි නැමීමයි. "ඔයාලටත් ලොකු පිනක් ! මම කීවෙමි.

"ඩොකටර්ට සහන මිලකට ලබා දෙන්න පුළුවන්" ඔවුන් කියයි.

"අපි දොස්තරලා අපිට කොහොම හරි මේ දේ අවශ්‍යනම් ගන්න පුළුවන් මල්ලී, ඒ උණත් මේ මිනිස්සු හරිම දුප්පත් එයාලට අවශ්‍ය යකඩපෙති උණත් නොමිලේ දෙන නිසා එයාලා බොනවා. නමුත් අපිට ඊට වඩා දෙයක් කරන්න බෑ.මං දන්නවා ඕගොල්ලොන්ට පුළුවන්නම් මීටවඩා මේ සත්කාර වලට උදව් කරන විත්තිය. ඕගොල්ලො මේ කරන ප්‍රජා සත්කාර උණත් ගොඩක් හොඳයි මම සුබ පතනවා." ඔවුන් අපකරන සමාජ සත්කාර වලට කියූ සැණින් පැමිණ පුළුවන් තරමින් උදව් උපකාර කරයි.

"ඩොක්ටර් නම් මහ පුදුම වැඩ කරන්නේ... මං දැක්කා කරපු දේ" අපේ නර්ස් මිස් කෙනෙක් කියයි.

ඒ අතර අපි ම් මාස ගණනාවක් ලියුම් ලියා… මීටින් තබා, වගකිවයුත්තන් දැනුවත් කර, අපේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු දෙදෙනා සහවිශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරු දෙදෙනා යන මේ හතර දෙනාගේ මැදිහත් වීම නිසා දැන් අපට ශල්‍යාගාර දෙකක් ලැබී තිබේ.එනිසා දැන් හදිසි සැත්කම් එසැනින් සිදු කරන්නට අපට හැකියාව තිබේ. නමුත් ලිෆ්ට් දෙකනම් තාම වැඩ කරන්නේ නැත. ඒකත් අපිම කෑගසා හදාගත්තොත් මිසක් !
අප ඒකකයට අලුතෙන් පැමිණි විශේෂඥ වෛද්‍යතුමා කියුවේ… අඩු තරමේ මේ රෝහලේ සියල්ල අප කියූ සැණින් ක්‍රමානුකූලවසිදුවෙනවා. වෙන ප්‍රධාන රෝහලක මෙහෙමවත් පහසුකම් නෑ කියලයි. ඒ කතාව නම් සෑහෙන්න ඇත්ත. මෙහෙ දොස්තරලාට නියමගෞරවය සහ සැලකීම නො අඩුවම ලැබෙනවා. මොකද මේ මහ රෝහලේ කොඳු නාරටිය වන්නේ අපි නිසා.

Im doing what ever I can to change the unwanted into something productive and healthy.


Tuesday, June 12, 2012

අහෝ A9 සහ බයිසිකල් පදින දොස්තරලා



 “ඩොක්ටර් රාජන් ගේ නංගියි දරුවයි හැප්පිලා එතනම මැරිලා මල මිනී දෙක ඕ ඩී එකට ගෙනාවේ . එවෙලේ රාජන් තමයි ඇඩ්මිෂන් රූම් එකේ හිටියේ, ඩොක්ටර්ට හිතා ගන්න බැරි උනා. අපි ඒ වේගෙන්ම ඇක්සිඩන්ට් වෝඩ් එකට ගෙනිච්චා ඒත් දෙන්නම එතනමයි.”

ඕ.පී.ඩී එක හෙවත් බාහිර රෝගී අංශයේ වැඩ කරන මගෙම හිතවත් දොස්තර කෙනෙක් එදා හවස අප වෙත ගෙන ආපු ආරංචියෙන් අපට අනේ අපොයි කියවුනා. A9 මාර්ගය දැන් වඩා හොඳින් පිළිසකර කර තිබෙන නිසා මේ මාර්ගයේ යන එන රියදුරන් රථ වාහන ධාවනය කරන්නේ හරියට අත්තටු ලැබුනා වගෙයි.

රාජන්ගේ නැගණිය සහ දරුවා මෝටර් බයිසිකලයේ ගමන් කරද්දී ටිපර් රථයක් විසින් යට කර දමා තිබුනේ රෝහල පෙනෙන මානයේ තිබුනු කහ ඉරක් අසලමයි. එපමණක් නොව දිනකට එක වරක් හෝ තුවාල වීම් නිසා ඇතුල් කරන රෝගීන්ද මසකට මරණ කීපයක්ද සිදුවේ.

අද උදේ ශල්‍යාගාරයේ සැත්කම් සිදු කරන අතර කණ වැටුනේ මීට දිනකට උඩදී බයිසිකලය ටිපරයක හැපී මෙහි ගෙන ආ දරුවා මිය ගිය බවය. මෙවැනි මරණ නිරන්තරයෙන් සිදුවේ. 

යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ විශ්‍රාමික ශ්ල්‍යාගාර සිස්ටර් හෙවත් ප්‍රිපාලන හෙද සොයුරියගේ එකම පුතා යාපනයේ සිට ගෙදර එද්දී වෑන් රථයක හැපී මිය ගියේ ඔහු බයිසිකලයක ගමන් කරද්දීය. එම සිදුවීම අපට බොහෝ සංකා ගෙන දුන්නා මන්ද ඇය අප නිතර ඇස ගැටෙන දොඩන කෙනෙක් නිසා. නන්නඳුනන කවරෙකු උනත් මේ සියල්ලන්ගේම ජීවිත වටිනාකම කියා නිම කළ නොහැක. නොසැලකිලිමත් කමට වඩා ටිපර්, බස් රථ වල තිබෙන්නේ වේගයෙන් ධාවනයයි. සමහර විට ඇම්බියුලන්ස් රථයෙන් හදිසි රෝගීන් ප්‍රවාහනය කිරීමේදි පවා බස් රථ අපට ඉඩ දෙන්නේම නැති තරම්. එවෙලෙට එම බස් රථ අංක සටහන් කරගෙන පොලිසියට ලබා දීමට තරම් තරහවක් ඇති වෙනවා. ඇම්බියුලන්ස් හදිසි ගිලන් රථයක් යනු කුමක්දැයි කියාවත් ඉගෙනුමක් නොලැබූ බස් රථ රියදුරන් A9 මාර්ගයේ සිටී කියා මම බය නැතුව ඕනෑම තැනක කියන්නේ එහෙයිනි.


මේ ප්‍රදේශයේ බොහෝමයක් පිරිස පුස් බයිසිකලයෙන් ගමන් බිමන් යති. එය සාමාන්‍ය ජනයාගේ වාහනයයි. ගැහැණු පිරිමි බේදයකින් තොරව , ඇතැම්විට පිරිමින්ට වඩා ගැහැණු පුස් බයිසිකලයෙන් ගමන් බිමන් යති. එහෙත් උතුර දකුණ යාවීමත් සමගම වාහන එන්න එන්නම වැඩි වීමත් එක්කම පුස් බයිසිකල් වල ගමන් කරන මිනිස්සුන්ට සිදුවන අනතුරුද වැඩිවේ.

බයිසිකලයක් පදින මම...

මම ද අනිත්කොණ පැමිණි පසු ගෙදර තිබෙන බයිසිකලය මෙහෙ ගෙනෙන්නට හැදුවෙමි. ඔව් මම කුඩා කල සිටම එක එක ජාතියේ බයිසිකල් කිහිපයක සාඩම්බර අයිතිකාරයෙක් වීමි. මම වැඩෙනවාත් සමගම බයිසිකලයේ ප්‍රමාණයත් වැඩි විය. ඒත් ප්‍රවාහන අවහිරතා නිසා දිනෙන් දින දැනට මා ගෙදරදී පාවිච්චි කරන්න අම්මා අරගෙන දූන්නු බයිසිකලය මෙහි ගෙන එන එක කල් ගියාය. 
අනෙක් හැමෝම කාර් ගන්න හීන මවද්දී මගේ සිහිනය වුනේ බයිසිකලයක් ගැනීමයි. ඒ එය පරිසරයට හිතකාමී එකම වාහනය වන නිසාය. පරිසරයට හානි නොකර ජීවත්වෙන්න පොඩි කාලේ ඉඳන්ම පුරුදු වී ඇති නිසා දුම් දමන ඛණිජ තෙල් බොන වාහන වලට කොහෙත්ම ආසා නැත. එමෙන්ම එය සෞඛ්‍යයටද හිත කරය. මා බයිසිකලයක් පදින බව දැනගත් ඇතැම් පොෂ් යැයි කියා ගන්නා මිතුරෝ “අපොයි ලැජ්ජා නැද්ද ඩොක්ටර් කෙනෙක් වෙලා බයිසිකල් පදින්න” යැයි කීවෝය.

“ඉතින් මම තමයි ගන්නම ඕනේ. මෙච්චර ඉගෙන ගෙන කාර් එකක් පදිනවානම් මගේ ඉගෙනීමෙන් ඇති වැඩේ මොකක්ද ? මම ආඩම්බර වෙනවා මම ඩොක්ටර් කෙනෙක් වෙලා බයිසිකලයක් ගත්තු එක ගැන. මම ජීවිතේ දිනා ගත යුතු සියල්ල දිනා ගත් කෙනෙක්. උපරිම වශයෙන් ආදරයද රැකවරණයද ලබන අතර සාමකාමීව ජීවිතය ගෙන යන්නට හැකියාව ලැබුනු කෙනෙක්. අනික මම ඉගෙන ගත්තු කෙනෙක්. බුද්ධිමත් අය දන්නවා පරිසරයේ වටිනාකම” 

මගේ උත්තරයෙන් සියල්ලෝම කටවල් පියා  ගත්තෝය. මම විතරක් නොවේ, තව බොහෝ වෛද්‍යවරුද පෙර කල සිටි ශල්‍ය වෛද්‍ය විශේෂඥතුමා වැනි විශේෂඥ වෛද්‍යවරු පවා බයිසිකලයෙන් රෝහලට පැමිණේ.අපි කුඩා කල සිටම පරිසරයට ආදරය කිරීමට පුරුදු වූ අය වන්නෙමු. මිහි මඬලේ දරුවෝ කථාවෙන් ඒ බව මගේ මුල් කථාවලදී කියා ඇත්තෙමි. 





එවන් දෙයක් වටහා ගත නොහැකි උන් කියන දේ අසා මම නිහඬව සිනහ නගා සිටියෙමි. ඒ මෝඩයින් දාහක් සමග තර්ක කර දිනිය නොහැකි බැවිනි. ඉතින් ඔන්න ඔහොම මම බයිසිකලයක් පැද්දත් බොහෝ වෙලාවට A9 ප්‍රධාන මාර්ගයේ ධාවනය කරන්නම නො හැකිය. බොහෝ විට කරන්නේ අතුරු පාරවල ගමන් කර අදාල ස්ථානයට යන එකයි. එහෙම නැත්නම් මාර්ගයෙන් එපිට කැලෑ පාරේ ගමන් කරන එකයි. මොකද A9 එකේ බයිසිකලයෙන් ගියානම් එහෙම  A9 එකේ යන ටිපර් සංඛ්‍යාවයි බස් පෝළිමයි , බස් තරඟයයි නිසා අපේ රෝහලට තව දොස්තර කෙනෙක් අඩු වෙන එකයි වෙන්නේ. දොස්තරලා අඩු මේ දවස් වල එහෙම දෙයක් උනොත් කොහොමත් අමාරුවේ වැටෙන්නේ රෝහල නිසා. සියල්ලන්ගේම ආයාචනයෙන් මම හැකිතාක් දුරට A9 වලින් මිදී සිටින්නෙමි. එමෙන්ම බයිසිකලයෙන් නගරය දිහාට යද්දී, අප හඳුනාගෙන අතවනන රෝගීන් බොහෝය.

අපේ රටේ දේශපාලකයින් රට රටවල සංචාරය කරනවා යැයි මම සිතමි. එහෙත් ඔවුන් අනිත්කොණ කියවනවා යැයි මම නොසිතමි. 


කෙසේ හෝ වෙනත් රටවල බයිසිකල් පදින්නට පදික වේදිකාවේම වෙන් කළ තීරුවක් තිබෙනවා. ඉතින් ඒක මහ මාර්ගයේ සෙසු වාහන වලටද පහසුවක් වගේම බයිසිකල් පදින අයටද හිතකරයි. අපේ රටේ මාර්ගවල ආරක්ෂාව වැඩිනම් මෙලෙස විකල්ප මාර්ග තීරුවක් තිබේනම් මීට වඩා බයිසිකල් පදින්නට මිනිස්සු උනන්දු වෙනවා ඇති යැයි මට සිතේ.


ඉඳගෙන පමණක් වැඩ නොකරන, ශල්‍යාගාරයේදී පැය ගණන් සිටගෙන සිටින අපට වෙරිකෝස්  , අධික රුධිර පීඩනය, දියවැඩියාව මෙන්ම තරබාරුව වැනි තත්වයන්ට ඉක්මනින් ළඟා වීමේ අවධානමක් තිබෙනවා. එමෙන්ම පරිගණක ආශ්‍රිතව වැඩ කරන අයටද මේ අවධානම වැඩියෙන් තිබෙනවා. එනිසා බයිසිකලයක් පැදීමෙන් බොහෝ දුරට මේ තත්වය අඩු කරගන්න පුළුවන් වෙන එකනම් ෂුවර්.  මොකද හැමෝම ජිම් එකකට හෝ ශරීර සුවතාවයට කියලා වයායාම් නොකරන නිසා. අනික අපේ රටේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ, ෆ්‍රයිඩ් රයිස් , කොත්තු රොටී, පරාටා වැනි පිටි තෙල් අධික කෑම වලින් කුස පුරවාගන්නයි එනිසා වෙන්නේ තවත් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන එකයි.




උතුරු කොණේ සියල්ලන්ගේම වගේ හිතකර වාහනය බයිසිකලයයි. එනිසා පොදු ජනයාටද අපි වැනි බයිසිකල් පදින දොස්තරලාටද හිත සුව පිනිස A9 මාර්ගයේ භයානක බව අඩු කළ යුතුය.


මෙය හදිසියේ හෝ කවුරු හරි පරිසර හිතකාමි මහතෙකුගේ හෝ සංවිධානයක ඇස ගැටුනොත්, මහ මාර්ගයට යාබද ව බයිසිකල් මංතීරුවක් සකසන එක ගැන මීට වඩා අපේ රටේ මිනිස්සුන්ගේ හිත් වල අවධානයක් ඇති කරන්න. බයිසිකල් පදින එක මීට වඩා මිනිස්සුන්ට කිට්ටු කරන්න උත්සහ ගත්තොත් හොඳයි කියලා හිතනවානම් ඔබලා කරන කැම්පේන් එකකට අපිද (බයිසිකල් පදින දොස්තරලා ) උපරිම වශයෙන් සහය දක්වන්නෙමු.
මිහිකත සම්පතක්. දිනෙන් දින වැඩි වෙන පරිසර හානියට සමගාමීව පරිසරය දැන් අපිට අහිතකර වෙන්නට පටන් අරගෙන. එක්කෙනෙක් හෝ මේ ගැන හිතා කටයුතු කරන්නේනම් මොන තරම් හොඳ ද?

මම නිතරම සිතුවේ… “ලෝකේ ඔබ දකින්න ඕනේ වෙනස ඔබම වෙන්න” කියාය. 
Be the change you want to see in the world !

ඒ නිසාම මම නිතරම හිතකර වෙනසක් බවට පත්වීමි.
ඔබත් පුළුවන්නම් කරන්න !


Image credit.. Earthian  on face book.and the rest from google search.

Sunday, June 10, 2012

Dont worry ! we'll save them all ! කොයි මොහොතෙත් කල්පනාකාරීව !


"ඩොක්ටර් ලේබර් රූම් ඉන්දුමතී අම්මාගේ බබාගේ FHS අඩුවෙනවා" ප්‍රසූතිකාගාරයේ සේවයේ නියුතු හෙදි සොයුරිය එළියට පැමිණ කියූ සැනින් අප සියල්ලන් එදෙසට දිව්වෙමු. පරීක්ෂා කර බැලුවෙමු. තව දුරටත් බල බලා ඉන්නට බැරිය. ගර්භාශය තුලින් ශ්‍රාවය වන ඇම්නියොටික තරලයද අඳුරු පැහැ ගැන්වී ඇත. මෙකෝනියම් යනුවෙන් මේ තත්වය හඳුන්වයි. දරුවා ප්‍රසූත කිරීමට තරම් ගැබ් ගෙලද ප්‍රමාණයෙන් විශාල වී නොමැත. ඉක්මනින් සීසර් කර දරුවා එළියට ගත යුතුය. කඩිනමින් ඇය ශල්‍යාගාරය වෙත ගෙන ගොස් සීසර් සැත්කම මගින් දරුවා එළියට ගත්තෙමු. ඒ ඇගේ පළමු දරු උපතය. දරුවාද මවද සුව සේ සිටී. දරු ප්‍රසුතියක් යනු ස්වභාවික සිදුවීමකි. එයට විශේෂ මැදිහත්වීම් වෙදකම් පෙර කාලයේදී සිදු නොකල තරම් ය. එය ස්වභාවික සිදුවීමක් වුවද ප්‍රසූත සංකූලතා නිසා මරණයට පත්වන මව්වරුන් ගණනද ළදරුවන් ගණනද පෙර කල ඉතා විශාල විය. අවසානයේ නමුත් අද වෙන විට වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා, මාතෘ හා ළදරු මරණ අවම කරමින් දරු ප්‍රසූතිය වඩා විශ්වාසනීය ලෙස සහ සුවදායක ලෙස සිදු කිරීමට ක්‍රම වේද සහ නිර්නායක යොදා ඇත. හදිසි අවස්ථාවකදී ඉක්මන් සැත්කමක් කර දරුවා එළියට ගැනීමට හැකියාව ඇත. ඉන් දරුවාගේ ජීවිතයද, අනික් අතින් මවගේ ජීවිතයද බේරේ. 

ඇතැම් විට ගර්භාෂයෙන් පිටත සිදුවූ පිළිසිඳ ගැනීම් සමග අම්මලා පැමිණේ. ඔවුන් එන්නේ එක්කෝ සිහි නැතිව අධික ලෙස ලේ වහනය වෙමිනි. එසේ නැත්නම් ඉවසා ගත නොහැකි ලෙස බඩේ කැක්කුමක් සමගය. එවිට ඉක්මනින් රෝගියා ශල්‍යාගාරය වෙත ගෙන ගොස් ගර්භාෂයෙන් පිටත පුපුරා ගොස් ලේ ගලමින් තිබෙන ඒ සියල්ල ඉවත් කොට ලේ වහනය වන තැන සොයා පිලිසකර කිරීමට සැත්කම් කළ යුතුය. මේ සියල්ල ජීවිතයත් මරණයත් අතර දෝලනය වන කාල පරාසයන්‍ ය. සුළු වරදකින්, සුළු ප්‍රමාදයකින් අහිමි වෙන්නේ මිනිස් ජීවිතය. ඇතැම් විට එනිසා සෙසු දරුවන් හට මවක අහිමි විය හැකිය. ප්‍රසව හා නාරි වේද වාට්ටු වල සේවය කිරීම මෙනිසාම අධික පීඩනයක් ගෙන දේ. කොයි මොහොතෙත් සිටිය යුත්තේ කල්පනාකාරීවය.

අනිත්කොණ ප්‍රසව හා නාරි වේද වෛද්‍යවරයකු ලෙස "පස්තාච්චි" හදාරන අතරෙම වැඩ කරන්නට වුනා. මෙහෙට ස්ථිර ලෙස පත්වෙලා ආපු හැමෝටම උවමනාව තිබුනේ ඉක්මනින් පස්චාත් උපාධියේ පලවෙනි කොටස පාස් වෙලා කොළඹට යන්න. මාසෙකටම හම්බුවෙන නිවාඩු වලින් ගෙදර දුවන්න බලාගෙන ඉන්නකොට හැමොගෙම හිත්වල නිතර තිබුනෙ නොරිස්සුමක්. ඒත් මෙහෙ බොහොම කැමැත්තෙන් හිටපු අපි කිහිප දෙනෙක්ට නම් මෙහෙ සේවය කරන එක හිතට සැනසුමක් ගෙන දුන්නා. ඒ අපි ඉන්න තැන සතුටෙන් සිටින්නට පුරුදු වී සිටි නිසයි. 

සීසර්, වන්දීකරණ මෙන්ම අනෙක් සියලු ශල්‍යකර්ම කරනන්ට සිදුවුනේ පෙර පුහුණුව ලැබූ අප දෙදෙදෙනාට සහ මේ ක්ෂේත්‍රයේ වසර 6 පමණ පලපුරුද්ද ඇති අපේ ජේෂ්ඨ අයියාටයි. ඔහු යුද්ධය පැවති කාලයෙත් ඉන් පසුවත් දිගටම අනිත් කොණ සේවය කරන කෙනෙක්. 2009 දී මේ රෝහල කොටින් යටත් කරගෙන මෙහි සේවයකයින් සියලු දෙනා සමග ශල්‍ය උපකරණ සහ බෙහෙත් පුදුකුඩු ඉරිප්පු දක්වා ගෙන ගිය ගමනේදී අයියාත් අනිත් හෙදි සොයුරියනුත්, මිඩ් වයිෆ් මිස්ලාත් වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා යටත් වී ඔවුන් සමග කියන කියන තැනට යන්නට වුනාලු. රෝහලට පැමිණ වැඩ බාරගත්තු කාලයේ සිට මගේ වැඩේම මේ කතා හාර හාර අහන එකයි. ඒ කාලේ අන්තිමට විශ්වමඩු වලට එහා පාසැලක් තුල පරිඝණක ශාලාවේ වායුසමණ යන්ත්‍ර පණ ගන්වා සීසර් කිරීම් සහ හදිසි සැත්කම් සියල්ල සිදු කරාලු. නිර්වින්දක වෛද්‍යවරුන් නොමැති කල, අයියා කොන්දට විදින නිර්වින්දක ක්‍රමය (spinal anesthesia)  පාවිච්චි කරමින් ඔහුම නිර්වින්දනය කර සීසර් සැත්කම කර අම්මලා සහ දරුවන් බේරා ගත්තාලු. ඔහුට මේ ප්‍රදේශයේ මෙන්ම සියලු කාර්යය මණ්ඩලය අදටත් බෙහෙවින් ගෞරව කරති.  

ඉතා නිහඬ නිහතමානි පුද්ගලයකු වන ඔහු අපට වඩා ජේෂ්ඨ වුවද තවම අප හා උරනුර ගැටී වැඩ කරයි. කොහොම හරි 2009, අවසාන සටනට කලින් විශ්වමඩු ප්‍රදේශයේදී ඔහු ඇතුලු වෛද්‍යවරුන් පිරිස නිරුපද්‍රිතව නැවත අප හමුදා මගින් මුදාගන්නා ලදී. දැන් දෙවෙනි තුන්වෙනි ප්‍රසූතියට පැමිණෙන බොහෝ මව් වරුන්ගේ ප්‍රථම දරුවා ඉපිද තිබුනේ අර පෙර කියන ලද ශල්‍යාගාරයක් වූ පරිඝණක කාමරයේය. දෙවිවරුන් වැනි වෛද්‍යවරුන් සිටිනවා යැයි මා විශ්වාස කරන්නේ මෙවැනි පුද්ගලයින් හමුවූ නිසාය. නැවත මේ ප්‍රදේශයට සාමය උදාවීමත් සමගම, මීට එහා උතුරු මැද පලාතේ අගනුවර රෝහලේ සේවය කරමින් සිටි ඔහු සහ ජේෂ්ඨ වෛද්‍යවරයෙක් පැමිණ නැවත මේ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකය (obstetrics and gynecology unit) ස්ථාපනය කර,  UN and UNICEF එකේ අධාර ඇතිව ශල්‍යා ගාරය සහ ප්‍රසූතිකාගාරය යථා තත්වයට පත් කල හැටිනම් අපූර්ව විශ්මිත වැඩකි. සියල්ල මුදල් මත පද නම් කර සල්ලි කාක්කන් මෙන් චැනල් කරමින් දුවන වෛද්‍ය මුදලාලිලා සිටින අප රටේ, මෙවැනි වෛද්‍යවරුන් අප රටට වාසනාවකි. ඔහුගෙන් ලද පන්නර අපටද වඩා හොඳ වෛද්‍යවරුන් වීමට ලද මහඟු භාග්‍යයකි.
 අපගේ සති සායන , නොම්මර ප්‍රමාණයකට සීමා නොකර ගර්බණී සායනයට  පැමිණෙන සියලුම ගැබිණි මවුවරුන් මෙන්ම නාරිවේද සායනයට පැමිණෙන සියලුම ස්ත්‍රී රෝගීන් පරීක්ෂා කරන්නෙමු. මෑතකදී අලුතෙන් පමිණි අප විශේෂඥ වෛද්‍ය තුමන්ලා දෙදෙනාම පැවසුවේ මෙලෙස ලංකාවේ කිසිම රෝහලක සිදු නොකරන බවයි. මන්ද  සායන දිනකදී අප 300 පමණ දෙනා පරීක්ෂා කරන හෙයිනි. මේ සේවා කාලය ඉතා වෙහෙසකර වුනත්  , රෝගීන්ගෙන් අප වෙත ලැබෙන පැසසුම් නිසා ඒ වෙහෙස ඉවසාගන්නට පුලුවන් තරමේ එකකි. හදිසි සැත්කම් අවසානයේ, රිකවරි රූම් එකේදී අපේ අත ගෙන සිඹ අපට ස්තූති කරන අම්මලා ද, තම දරුවා නිරුපද්‍රිතව ප්‍රසූත කරන්නට උපරිම වශයෙන් ඇප කැපවූ නිසා වැඳ ස්තූති කරන අම්මලාද බොහෝය. අවසානයේ අපට ඉතිරි වෙන්නේ අනුන් වෙනුවෙන් තම දිවි නොතකා කරන ලද කැපවීම පමණි.
ක්ලිනික් වල ස්කෑන් කිරීමට බොහෝ වෙලා ගත වේ. තිබෙන්නේ එක ස්කෑන් යන්ත්‍රයක් පමණි. බොහෝ විට සවස 5 වන තෙක් ස්කෑන් කරන්නෙමු.  සැරෙන් සැරේ මාරුවෙන් මාරුවට අපි එකිනෙකා  පැමිණෙන සියලුම ස්කෑන් අවශ්‍ය අම්මලා ස්කෑන් කරන්නෙමු.  මන්ද ඔවුන් දුර බැහැර සිට අතේ මුදල වියදම් කරගෙන පැමිණෙන්නන් වන අතර අපමණ දුක් කරදර මැද දිවි ගෙවන්නන්ද වන නිසාය. මනුස්සකම සහ අනුන්ගේ දුක නොහඳුනන වෛද්‍යවරුන් ඇතැම් විට " ඔහොම කොහොමද වැඩ කරන්නේ.. ගිහින් හෙට එන්න කියන්න අනේ මටනම් බෑ හවස හතරෙන් පස්සේ නම් රෑ වෙනකම් ස්කෑන් කරන්න " යැයි පවසයි. "බැරි නම් නිකම් ඉන්න අපි පුළුවන් අය ඒ දේ කරන්නම්" කියා අපි අපේ සේවය උපරිම ලෙස කරන්නෙමු. 
අපේ විශේෂඥ වෛද්‍ය වරයා මෙවැනි වෙහෙසකර දිනක අපට කියුවේ "ඔව් , අම්මලා 500 පමණ හිටියත් අපි හැම කෙනාවම පරීක්ෂා කරමු. කමක් නෑ... වෙහෙස වුනත් , අපි හැමෝගෙම ජීවිත රැකගත්තා කියලා අපට සතුටු වෙන්න පුළුවන්" කියාය.("dont worry , there may be 500 mothers but be happy that we'll save them all at the end of the day") ඒ වදන් අපට මහා සවියක් විය.