Wednesday, July 25, 2012

මම වහ බිව්වේ තාත්තා හින්දා කියූ ඇය අන්තිමට අපිවත් රැවැට්ටුව හැටි.


සුපුරුදු පරිදි අනිත්කොණ මනෝ වෛද්‍ය ඒකකයේ සිටියදී හවස් වරුවම ගත වුනේ අනෙක් වාට්ටු වලින් අප වෙත යොමු කරන රෝගීන් හෙවත් රිෆරල් බැලීමටයි. එහෙම වෙලාවට පුරුද්දක් වශයෙන් සිංහල රෝගීන් මා විසින්ද  දමිළ රෝගීන් දමිළ අයියා විසින්ද බලනු ලබන්නේ, වස බී හෝ පෙති බී හෝ ගෙල වැලලාගෙන හෝ ඔවැනි නොයෙක් ආකාරයට දිවි නසාගන්න තැත් කර බේරාගෙන කායික, ශල්‍ය වාට්ටු වල ප්‍රතිකාර කල තරුණ තරුණියන් බොහෝමයක් අප වෙත එවෙලාවට කවුන්සලින් හෙවත් උපදේශනය සඳහා යොමු කරන නිසාවෙනි. බොහෝ තරුණියන් පෙම් සබඳතාවලට පවුලේ විරෝදයට ප්‍රති උත්තර ලබා දී තිබුනේ දිවි නහ ගන්න ගිහින්. හුඟක් අය එහෙම කරන්නේ මැරෙන්න තියෙන උවමනාවටම නොවේ. අන් අය බිය වද්දා හෝ අනුකම්පාව ලබා ගන්නටයි.
වහ බීලා එන හැමෝටම වගේ මගෙන්නම් ලැබෙන්නේ පොඩ්ඩක් සැර උපදෙස් මාලාවක්. හොඳට තියෙන ශරීර කූඩුව නරක් කරගන්න හදනවා මෙන්ම රටට දැයට වැඩදායක යමක් කරන්න තරුණ ජීවිත කාලය යෙදෙව්වොත් හොඳයි නේද කියන එක මේ අයට ඒත්තු ගන්වන්න මම උපරිමයෙන් ක්‍රියා කරනවා.
එකළ බොහෝ විට පෙම් සබඳතා බිඳී පැමිණෙන්නන් මුහුණින්ම අපට කියන්නට පුළුවන් කමක් ලැබී තිබිනි. අවුරුදු 16, 17 වයස් වල ගැහැණු දරුවන් 3 දෙනෙක් පමණ අනිවාර් යයෙන් දිනකට එලෙස ඇඩ්මිට් වෙයි. එලෙස කෘමිනාශක වර්ගයක් බී දිවිනහගන්න ගිහින් හදිසි අනතුරු වාට්ටුවටත් එතැනින් කායික රෝග වාට්ටුවටත් ඇතුල් කළ ඇය අප වෙත උපදේශනයට එවා තිබිනි.

ඇය බොහොම පැහැපත් ලස්සන අවුරුදු 18ක් වයසැති ළමයෙක්. ඇඳ ඉහ පත හෙවත් BHT  එක සමග අප වාට්ටුවට එවා තිබුනේ වස බීමෙන් අනතුරුවයි.

“මොකද දරුවෝ මේ වගේ මෝඩ වැඩ කරගන්නේ ?” මම සුපුරුදු ලෙස කතා බහ ඇරඹුවෙමි.
“ඩොක්ටර් හිතනවා වගේ මෝඩ වැඩක් නෙමෙයි. මම වහ බිව්වෙ ප්‍රේම සම්බන්දතාවෙකට නෙමෙයි. අපේ තාත්තා හින්දා”
ඇය හරි වේගෙන් මුහුණට දමලා ගහන්නා වගේ ඒ කිව් කතාවට මට පුදුම හිතිනි.

“හරි එහෙනම් කියන්නකො බලන්න මොකෝ ආවේ කියලා.” මම ඇසුවෙමි.

“අනේ අපේ තාත්තා හරි වසයි ඩොක්ටර්. මගෙ ප්‍රශ්නෙකට තාත්තා මා එක්ක තරහ ගිහින් ඉන්නේ. තාත්තා මොනවා හරි කරගනියි කියලා මට බයයි එනිසා මම වහ බිව්වා. අපේ ගමේ කතාවක් ගිහින් මම කොල්ලෙක් එක්ක ලොජ් එකකට ගියා කියලා. ඒක බොරුවක් ඩොක්ටර්, මම එහෙම ගියේ නෑ. එයා එක්ක සම්බන්දතාවයක් තිබුනා ඒත් ගෙදරින් කැමති නැති නිසා මම ඒක නැවැත්තුවා. මට මේ අවුරුද්දේ ඒ ලෙවල් කරන්නත් බැරි වුනා ඒ නිසා. අන්තිමට ක්ලාස් යන එකත් ඉස්කෝලේ යන එකත් නැවැත්තුවා තාත්තා. මාව ගෙදරටම කොටු කරලා තියා ගත්තා.”

ඇය මා හමුවේ ඇගේ ප්‍රශ්න එකින් එක දිග හරින්නට විය.

ඊට පස්සෙ එයා එක්ක සම්බන්දයක් තිබ්බෙම නෑ . ගමේ හැම තැනම මට කතා හදලා.” 

එසේ කියූ ඒ ගැහැණු දරුවා මගේ පය පාමුළ වැටී

 “ අනේ ඩොක්ටර් මගෙ ටිකට් කපන්න එපා. මට ඉස්පිරිතාලේ ඉන්න දෙන්න අනේ ඩොක්ටර් , ගෙදර යැව්වොත් තාත්තා මාව මරයි. අනේ ඩොක්ටර් මාව බේර ගන්න” යනුවෙන් විලාප තියනන්ට විය. 
මෙය අදහා ගන්නට බැරි විය. අසළ සිටි හෙදි සොයුරියද ඇය වත්තම් කොට නැගිටුවා කෑ නොගසන ලෙස පවසනු ඇසිනි.

ඇය පැමිණ සිටියේ ඇගේ අම්මා සමගය. ඒ මව කියූ ආකාරයට ඒ පවුල ගමේ මොහොම නම්බුකාර ලෙස ජීවත් වෙන පවුලකි. ඇය ප්‍රේම සබඳතාවය පැවැත්තූ කොලුවා බොහොම දුප්පත්  සා පෙළ වත් පාස් නැති කෙනෙකි. ඉතින් මේ සම්බන්දතාවය දැන ගත් විගස ගෙවල් වලින් විරුද්ධ වී ඇය පාසැල් යාම පවා නවත්වා තිබිනි.

“ඉතින් දරුවෝ ඔයා එහෙම තැන තැන ගියේ නැතිනම් ඇයි තාත්තා මෙතරම් කෝපයෙන් ඉන්නේ”

“මම එයා එක්ක සම්බන්දේ නවත්තපු නිසා එයා ඉන්නේ තරහෙන්. එයා ගමේ කිය කියා ගිහින් මම ගමේ ඉන්නෙ හයි කාරයෙක් දණ ගැස්සුවා. දුවට මෙහෙම දෙයක් කලා කියලා. මටයි බෑණා කියන්න වෙන්නේ” කියලා.

“අනේ ඩොක්ටර් මෙයාගේ තාත්තා කියනවා ගෙදර එන්න එපා. ආවොත් අම්මවයි දුවවයි දෙන්නම මරණවා කියලා. මම මොනවා කරන්නද මේ දරුවෝ කරන දේ වලට.ගෙදර පොඩි උන් කෑවද දන්නේ නෑ. ඉස්කොලේ ගිහිනුත් නැතිව ඇති. ” අර අම්මා ඉකිබිඳ හඬයි.

“ගෙදරක වැඩිමහළු දරුවා හරියට හැදෙන්න ඕනෑ. එතකොටයි පවුලක් දියුණු වෙන්නේ. පිටිපස්සෙන් එන සහෝදරයින්ට  තමන් ආදර්ශයක් වෙන්න ඕනෑ. බලන්න හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමයෙක් නේද. ඉගෙන ගෙන ඉහළට ගිහින් හොඳ රස්සාවක් ලැබුනම කාටවත් යටත් නොවී තමන්ගේ අම්මාට තාත්තාට සහෝදරයින්ට සලකගෙන ඉන්න පුළුවන්නේද?” 

ඇගේ සා පෙල ප්‍රථිපල ඇසූ මම ඇයට උපදෙස් දුනිමි. කිසිම දුකක් නොදී හදා වඩා තිබුනු මේ දරුවන්ට ගෙදරම සිටින අම්මා කවා පොවා සියළු වැඩපල කර දී තිබිනි.

මම නම් මෙවැනි කතා අනන්තවත් අසා කියවා ඇත ඒ ටෙලි නාට්‍ය වල සහ නවකථා වලය. කොහොම නමුත් මෙය බැරෑරුම් ප්‍රශ්ණයක් නිසා මම පසු දින අප විශේෂඥ වෛද්‍යරවරයා හමුවට ඔවුන් යොමු කළේ එම පියාටද අප හමුවීමට එන්නැයි පණිවිඩයක් යවමිනි.

“ඩොක්ටර්ට පිං සිද්ධ වෙනවා” ඇය නැවත ඇය සිටි වාට්ටුවට යද්දී එසේ කීවාය.
----------------------------------
පසුදින ඇය සහ මව පැමිණ වාට්ටුවේ උපදේශන ශාලාවේ එක කොණක සිටි අතර පියා අනෙක් කොණට වී අහක බලාගෙන සිටියේය. පළමුවෙන් අපි ඇගේ පියා සමග කතා කෙරුවෙමු.

“මට හිටියා ලොකු දුවෙක්. එයා දැන් මැරිලා. ඔය ඉන්න එකී ගෙදර ආවොත් මම මරණවා. අම්මවයි දුවවයි දෙන්නවම මරණවා. එහෙම නැත්නම් එයාලම දිවි හානි කරගෙන මැරෙන්න ඕනේ ඒකයි මගේ නියමය. එයාට වෙන දඬුවමක් නෑ”

මට කන් අදහා ගනන්ට බැරි විය. තමන් හැදූ දරුවෙකු ගැන පියෙකු එසේ කියයි නම් එය ඉතා ශෝකජනකය.

විශේෂඥ වෛද්‍යතුමාටත් අනෙක් ජේෂ්ඨ වෛද්‍යවරයාටත් ඔහුගේ හිත හදන්නට සමතයකට පත් කරන්නටම බැරි විය.

“ඔයාගේ දුව කියනවනේ එයා එහෙම දෙයක් කරේ නෑ කියලා. ඔයාට ඔයාගේ දරුවා විශ්වාස කරන්න පුළුවන් නේද” අපි ඇසුවෙමු.
“බෑ මට එහෙම දරුවෙක් නෑ.” ඔහු කුඩා දරුවෙක් මෙන් ඉකි ගසමින් හඬයි. පපුවට අත් ගසමින් හඬයි.

“ටිකට් කපලා එව්වොත් ගෙදර මම මරණවා අම්මවයි දුවවයි. අරූවයි ඔක්කොම මරලා මමත් මැරෙනවා එක්කෝ මම හිරේ යනවා” ඒ පියා ඒ වචන පෙළ පමණක් වරින් වර දොඩයි.

“හරි මහත්මයා එහෙනම් ගෙදර ගිහින් හෙට එන්න ආයෙම කතා කරමු.” අපි එසේ කියා පිටත් කර හැරියෙමි.
කායික රෝග වාට්ටුවෙන් ටිකට් කැපූ හෙයින් , ගෙදර ගියොත් මිනී මැරෙන බැවින් ඇය අපේ වාට්ටුවට මාරු විනි. හවස් වරුවේ නිදහස් නිසාවෙන් ඇය පැමිණ අපේ මේසය අසළ තිබෙන බංකුවේ හිඳගෙන ඇගේ දුක පවසයි.
“මට ඕනේ ඩොක්ටර් කිව්වා වගේ දැන් ඉගෙනීම හොඳින් කරගන්න. උසස් පෙළ මේ පාර ලියලා. කැම්පස් ගිහින් හොඳ රස්සාවක් කරන්න”

දින ගණනක් නිතර දෙවේලේ මම සහ හෙදි සොයුරියන් කළ දේශනා අසා අවසානේ, අනේ මේ දරුවා හරි පැත්තට වැටිලා නේද මටත් සිතුනි. දෙවෙනි තුන්වෙනි දින වලත් අර තාත්තා පැමිණ බැණ වැදී මරණ තර්ජ්න කර ගියේය. 

“ඩොක්ටර් විශ්වාස කරනවද ඔය කෙල්ල කියන ඒවා. බොරු බේගල් ඇද බාන්නෙ. බලන්නකෝ අන්තිමට අපිට බොරු කරන තරම” මැදිවියේ ඇටෙන්ඩන්වරිය සහ හෙදි සොයුරියන් නිතර මට අනතුරු ඇඟවීය.

 ඒ අතර නිතර අප නිදහසේ සිටින වෙලාවට ඇය පැමිණ මා සහ හෙද සොයුරියන් හා කතා බස් කර ජීවිතය ගැන බොහෝ උපදෙස් ලබා ගත්තාය. 

ඔය අතර අප විශේෂඥ වෛද්‍යතුමන් හා කතා බස් කර ඒ පියාද දිනෙන් දින දියණිය කෙරෙහි දයා හදවත් ඇත්තෙක් බවට පත් විය. අවසන හඬා වැටුනු ඔහු පැවසුවේ. පොලිස් පරීක්ෂණ ඉවර වෙලා අදාල පුද්ගලයා හිරේ ගිය පසු ඒ ගමේ ඉඩම් කඩම් විකුණා දමා වෙන පළාතකට ගොස් ඇය හා අනෙක් දරුවන්හට ඉගෙනීමට පාසැල් සොයා ඔවුන් හා හොඳින් ජීවත් වෙන බවය.

“මට දුක ඩොක්ටර් ඇහැක් වාගේ පරිස්සම් කරපු මගේ දරුවා විනාස කරපු ඒ කොල්ලා ගමේ තැන තැන කියනවා මම ගමේ හයි කාරයෙක් දණ ගැස්සුවා කියලා” ඒත් එහෙම කියුවත් පියා ඇගේ මුහුණ බලන්නට එකඟ නොවීය. එනිසා ඔහු පෙර දිනවල මෙන්ම ආ පාරෙන්ම හැරී ගියේය.

අපට බොහෝ සතුටු හිතිනි. සාර්ථක ලෙසින් ප්‍රශ්ණ විසඳෙද්දී ඇත්තටම ඒවා හොඳ අතට පත් කිරීමට දායක වීම ගැන සතුටු හිතිනි.

එහෙත් දින කිහිපයක් යාමට මත්තෙන් එක් සවස දිනක් මිස් අපට කතා කර පැවසුවේ ඇය වාට්ටුවේ නොමැති බවය. විගසින් වෛද්‍යවරුන් සියල්ලෝම එතැනට ගියෙමු. ඇඳුම් බෑගයත් සිම් පතකුත්, අප වාට්ටුවේ තිබී කියවන්නට කියා මගෙන් ඉල්ලාගත් ජීවිතය ජය ගන්න දහම් මග , නමැති පොතත් ඇඳ මත වෙයි. ඇය සොයන්නට සියල්ලෝ රෝහල පුරා දිව ගියෝය. හැම තැනින් ඇසුනේ ඈ වාට්ටු වල අමුත්තන් පැමිණෙන වෙලාවේ ගැහැණු ළමයින් දෙදෙනෙකු හා කතා කරමින් සිටි බවය.

ඔය අතර අප ඇයගේ පියාට මේ බව දැනුම් දුන් ගමන් ඔහු පැමිණියේය. “ මයෙ දරුවා මම ගෙදර ගෙනිච්චනම් ඉවරයි.මෙහෙ තිබ්බ එකයි වැරැද්ද. ඔගොල්ලොන්ට බලාගන්න බෑ කිව්වනම් ගෙනියනවනේ.” කියමින් අඬන්නට විය. අපට බනින්න සැරසෙන මොහු ගැන මට ඇති වූනේ විමතියක්. මුලින් මරන්නම ඕනෑ යයි කියමින් , ඉන්පසු ගෙනියන්න බෑ කියමින්. පසුව වෛද්‍ය පරීක්ෂණ ඉල්ලා සිටි පියා දැන් හරියට අපි නිසා දරුවා නැති වුනා වගේ කතා කරමින් එයි.

“ඔයාලම නේද දරුවා මෙහෙ දාලා ගියේ. මැරෙන්න කියලා. බලන්නකෝ දැන් කතා කරන හැටි”
අපේ හෙදි සොයුරියන්ට සහ ඇටෙන්ඩන් වරියට බොහෝ තරහ ගොස් තිබිනි. සියල්ලෝම වාග් ප්‍රහාර එල්ල කරගනිති.

“ඉතින් තාත්තමනේ දරුවා ගෙනියන්න බෑ කිව්වේ” ඔහුගේ කියමනට මම ද කිව්වෙමි.

“වැඩක් නෑ නංගී ඒ තාත්තා එක්ක කතා කරලා. ආවේගශීලී වුනාම කවුරුත් ඔහොමයි. කමක් නෑ ඔහේ බනින්න දෙන්න. තව ටික දවසකින් එයාටම තේරෙයි කාගෙද වැරැද්ද කියලා.” අපේ ජේෂ්ඨ අයියා එහෙම කීවේය.

“අපි කිව්වනේ ඩොක්ටර් ට ඒ කෙල්ල බොරු කරන්නේ කියලා. ඔන්න ඩොක්ටර් ගේ අනුකම්පාවට වෙච්ච වැඩේ. තව උපදෙස් දුන්නා හැම දාම, අපි හිතුවා ඩොක්ටර් කියන දේ අහගෙන හිටි හැටියට කැම්පස්ම යයි කියලා. ඩොක්ටර් එයාට ජීවිතේ ගැන කියා දුන්නු ඒවා අහලා අපි දෙන්නා හැදුනා. අපි හිතුවේ අපිට මෙහෙම කියා දෙන්න කෙනෙක් හිටියනම් කියලා ” යෙහෙළියන් මෙන් මා හා සිටින අපේ හෙදි සොයුරියන් දෙදෙනාම මට ඔලොක්කුවට මෙන් කියයි.

අප හැමටම බැන වැදී ඒ තාත්තා පිටවී ගියේය. ඔය අතර අපේ ඇටන්ඩන්වරියෙක් ඒ ගමේ සිටි නිසා ඇයත් මහත්මයත් ඒ ගෙදරට ඇගේ මාමා බාප්පා සමග ගොස් ඔච්චර උදව් කරපු දොස්තරලාට බැණ වැදීම ගැන දොස් කියා තිබිනි.

ඉන්පසු කිහිප ගමනක් මේ තාත්තා අප සොයා වාට්ටුවට ආවේ අපෙන් සමාව ඉල්ලීමටය. “මයේ දරුවොන්ගේ වයසේ හිටියට ඔබ තුමන්ලාගෙන් මම කරපු වැරැද්දට කකුල් දෙක අල්ලලා වැඳලා සමාවගන්න ඕනේ” කියූ විට අපි,
“එහෙම ඕනේ නෑ තාත්තේ කවුරු උනත් කරදර අවස්තාවල හැසිරෙන්නේ එහෙමයි කියා” හිත සනසා යැව්වෙමු. දරුවා මරණ බවට තර්ජනය කරද්දී නපුරු තාත්තෙක් කියා සිතුනත් පසුව ඔහු ගැන දුක සිතුනි. 

ඉන්පසු, අනිත්කොණ එම රෝහලෙන් සමුගන්නා දිනයට කලින්දා හවස අපි අවසන් වරන වැඳ මල් පහන් පූජා කිරීම සඳහා ප්‍රදේශයේ මහ විහාරයට ගිය විට ඒ තාත්තාද එහි පැමිණ සිටිනු දකින්නට ලැබිනි.
අපි එහෙන් යන බව කියූ විට ඔහු බොහෝ දුක් වුනා. ඇය ගැන අපි ඇසුවේවත් නෑ. ඒත් ඒ තාත්තාම පැවසුවේ.

“එයා ඒ කොල්ලත් එක්කම යන්න ගිහින්. කොහේ ඉන්නවද දන්නේ නෑ. මට බයේ දෙන්නම හැංගිලා ඇති. මට තවත් එහෙම දරුවෙක් හිටියා කියලා හිතෙන්නේ නෑ ඩොක්ටර්. මේ තාත්තට අම්මට දුන්න දුක, වේදනාව. ගමටම අපිව ලැජ්ජා කරපු හැටි එයාට මතක් වෙයි දවසක”

ඇස් වල කඳුළු පුරෝගෙන බිම බලාගෙන ඒ තාත්තා වඳිනු දුටු විට මට පුදුමාකාර දුකක් දැනිනි. අපේ දෙමාපියන්ට අපි ඒ ආකාරයේ දුකක් නොදුන් එක ගැන සහනයක් දැනිනි. ඇය වාට්ටුවේ ඇඳ උඩ දමා ගිය මගේ බණ පොත දකින හැම සැරේම මට ඒ දැරිය මතක් වෙයි.

ප.ලි. නිතර නොලිවීම ගැන සමාවෙන්න. අධික කාර් ය බහුල කම සහ අන්තර්ජාල පහසුකම් නොමැති කම එයට හේතුවක්. නමුත් කොහොම හරි සතියකට එක කතාවක් හෝ ලියන්නට උත්සහ කරන්නට මම අදිටන් කර ගත්තෙමි. අදගස් දක්වන කියවන සැමට ස්තූතියි.

36 comments:

  1. හරිම සංවේදී කතාවක් සහෝ..අනේ මන්ද..හිතට ලොකු දුකක් දැනුනා..

    ReplyDelete
    Replies
    1. මටත් ලොකු දුකක් දැනෙනවා ඒ දෙමාපියන් ගැන. ස්තූතියි කියෙව්වාට සහ අදහස් ලිව්වාටත් හිරු හිමාවි..

      Delete
  2. ඔන්න දරුවො.දෙමව්පියන්ට වඩා කොහෙවත් යන එකෙක් ලොකු උනාමනං අමතක කරලා දාන එක තමයි කරන්න වෙන්නේ.ටික ටික හරි ලියන්න.අපි කියවන්නම්.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ... ලියන්න නම් පුළුවන්. බලමු..

      Delete
  3. අනේ මෙහෙමත් ළමයි! මුන් අම්මලා උන දවසක තේරෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඒත් ඊට පසුව ගොඩක් පසු තැවෙයි එතකොට ප්‍රමාද වැඩි වෙයි.

      Delete
  4. කතාව මුල සිට අගටම කියෙව්වා.. මේ ගැන කුමක් කියන්නද කියලා මටත් එකපාරටම හිතාගන්න බෑ, කතාව ඒතරම්ම ස0කීර්ණයි... ඇය අවසානයේ ඔහු සමඟ විවාහවී හොඳින් ජීවිතය ගත කරනවා නම් හොඳයි. ඒත් එසේ නැතිනම්??? දෙමාපියන්ගේ පිළිසරණක් නොමැතිව ඇය කෙසේ ජීවිතයට මුහුණදෙනු ඇතිද? හැබැයි මොන ප්‍රශ්න තිබුණත් ඇය දෙමාපියන් හමුවට එක්වරක් හෝ ආවානම් කොතරම් දැඩි හිතක් වුනත් උණුවෙන්නට පුළුවන් කියලා මට හිතෙනවා. ඔවුන්ගේ දිවියට දෙමාපිය ආශ්‍ර්වාදය ගන්න වුනත් බැරිකමක් නෑ. මන්දයත් දරුවන් මොන වැරැද්ද කළත් ඔවුන් විනාශවෙනු බලා නිකම් හිඳිනට කිසිම දෙමාපියෙකුට නොහැකි බැවිනි..

    ReplyDelete
  5. පව් ඒ තාත්ත..නාලිනී ට කවදා හරි ගොඩාක් පසුතැවෙන්න වෙනවා..එහෙම නොවේවා කියා පතමි..

    ReplyDelete
    Replies
    1. දරුවෙක් කවදාවත් ඒවගේ දුකක් දෙන්න හොඳ නෑ හැදූ වැඩූ දෙමාපියන්ට

      Delete
  6. /* “වැඩක් නෑ නංගී ඒ තාත්තා එක්ක කතා කරලා. */

    මං හිතුවේ මේ ලියන්නේ කොල්ලෙක් කියලයි!

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණයක් නෑ නමක් ගමක් සඳහනක් නෑනේ. රාජකාරියට බාදා වෙයි කියලයි නමින් නොලියා ඉන්නේ.

      Delete
    2. මමත් හිතුවෙ අනිත් කොණ ලියන්නෙ අය්යෙක් කියල :) පුලුවන් හැම වෙලේම ලියන්න.අපි ආසාවෙන් කියවනවා....

      Delete
  7. මෙහෙම ලියුවහම Doctor patient confidentiality එකට කෙල වෙන්නෙ නැද්ද

    ReplyDelete
    Replies
    1. ඔබ කියූ දේ සැලකිල්ලට ගත්තා. ස්තූතියි. නම ගම සත්‍ය විස්තර නොමැතිව කථාව ටිකක් වෙනස් කර මේ ලියන්නේ අවුරුදු ගණනාවකට කලින් වෛද්‍ය ජීවිතේ වෙච්චි දේවල්. මේවා ලියන්නේ ජීවිතයට පාඩම් ඉගෙනගන්නත් එක්කම මෙසේ ලියන්න කියා ඒකක භාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ පවා අනුදැනුම සහ අවසරය ඇතිව. මාව මේ කතා ලියන්න යොමු කරෙත් අපේ හිටපු ගුරුවරයෙක් ඒ වගේම විශේෂඥ වෛද්‍යතුමියක්. කවුළුව වැදගත් ප්‍රශ්ණයක් මතු කරා. මම වැඩිහිටි අපට ඉහළ වෛද්‍ය හැමෝගෙන්ම වගේ ඔය ප්‍රශ්නෙ ඇහුවා ඒ අය කිව්වෙත් සත්‍ය තොරතුරු නැතුව ලිවීම ප්‍රශ්ණයක් නොවෙයි කියා. නමුත් ඔබට හිතෙනවනම් කියන්න, පෙන්වා දෙන්න මම අවශ්‍ය වෙනස් කම් කරන්නම්. එහෙම උනොත් මම නොලියා ඉන්නම්.

      Delete
    2. ඩොක්ටර් හා පේශන්ට් කෙනෙක් අතර තියෙන්නේ ෆිඩියුශරි රිලේශන්ශිප් එකක් .ඒ කියන්නේ පේශන්ට් ඩොක්ටර්ගේ ක්ලයන්ට් වීම කියන කාරණාව උඩ ඩොක්ටර් කෙනෙක් ට්‍රස්ටි කෙනෙක්ක්වෙනවා ඒක අමුතු නීතියකින් නෙවේ මොරල් එතික්ස් වලින්ම

      මෙතැන එතික්ස් බිඳෙන්නේ ඩොක්ටර් මේ ලමයගේ නම ගම ,පිංතූර ,වෛද්‍ය වාර්තා , බෙඩ් හෙඩ් ටිකට් විස්තර දැම්මනම් .ඒත් එහෙම දෙයක් මම දැකලා නෑ .ඒ එක්කම කියන්න ඕනේ ගිහින් බලන්න මෙහෙම දෙයක් වුනාම ලංකාවේ මාද්‍යවල එතික්ස් .ලමයාගේ නම ගම වයස යාලු වුන කොල්ලගේ නම ගම , අසල් වැසියො කිව්ව ඒව , ඔය ඔක්කොම එක්කනේ මෙහෙම සිද්ධි වාර්තාවෙන්නේ . ඔය එක සත්‍ය කතා වගේ ඒවා ලියැවෙන්නේ පත්තර වල ඔය ඔක්කොම එක්ක .

      වෘතීය ආචාරධර්ම කිව්වොත් ඒව හැම වෘතිකයෙක්ම දන්නවා .වෘතීය ආචාරධර්මයක් බිඳෙන්නේ නෑ බ්ලොග් එක ලිව්වට තමන්ගේ ලිමිට්ස් දැනගෙන :)

      Delete
  8. මෙතන තිබිලා තියෙන්නෙ love කෙසේවෙතත් lust කියලා නම් තේරෙනවා. මුලදි මමත් ඒ තාත්තා වැරදියි කියලා හිතුවත්, පස්සෙ ඒ අදහස වෙනස් කර ගත්තා. නාලිනි කොච්චර බොරු කිව්වද නේද?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. Dr. House කොච්චර කිව්වත් Every body lies කියලා... මම ඒ කාලේ හිතන් හිටියෙම මට පේෂන්ට්ලා ඇත්තම කියනවා කියලා. හැමෝම හරි හොඳට විශ්වාස කළා.

      Delete
  9. අනිත්කොණ මට කියන්න ඇයි Bead Head Ticket එක බෙඩ් හෙඩ් එකේ කෙසේ වෙතත් ඇඳ පාමුල තියෙන්නෙ කියලා.
    My other ID
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඉස්සර මං හිතන්නේ කොහේ උනත්. ඇඳ විට්ටමේ ඕක තියෙන්න ඇති. අපේ අනිත්කොණ සමහර අයනම් අපරාදේ කියන්න බෑ අපිට බලන්න පය පාමුල තියන අර ඇඳ විට්ටමටම අල්ලලා තියන මේස කෑල්ලේ තියලා යන ටිකට් එක අරගෙන කොට්ටෙ යටින් තියා ගන්නවනේ... වෝඩ් රවුන්ඩ් එකේ ටිකට් හොයන්න ඕනේ කොට්ටය අස්සෙන් ටිකට් එක ලැබෙනකම්ම..ගොඩක් අය කකුළ තියෙන පැත්තේ තියන එක හොඳ නෑ කියලා හිතනවාලු.

      Delete
    2. I really do not believe that this could hurt to the patient's identity or confidentiality. How could you spot the patient from this story without revealing patient's full name, national id number , and date of birth. I believe at least we need these details.

      Delete
  10. ඇත්තටම ඒ කෙල්ල අර කොල්ල එක්ක ගියේ ආදරේ හින්දමද, මරණ භයේද එහෙම නැත්තම් රටට මුහුණ දෙන්න තියන ලැජ්ජාවටද දන්නේ නෑ. කොහොම වුනත් අන්තිමට දුක ඉතුරු වෙන්නේ වදාපු හදාපු අම්මටයි තාත්තටයි.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ හැමෝම ආවේගශීලී වෙලා ප්‍රශ්ණය ගොඩක් අවුල් කරගත්තා... අපි මෙහෙම කතා බොහෝමයක් හොඳින් විසඳුවා.

      Delete
  11. තරුණ වයසේදී ආවේගෙට ගන්න තීරණ . . බටහිර රටක වුනා නම් මහා දෙයක් නෙමේ . දුවට බොරු කියන්න වෙන්නේ නැහැ . තාත්තට වේදනාවකුත් නැහැ . හැබැයි බටහිරත් අඩු වයසෙන් අම්මලා වෙලා ජිවිතේ නාස්ති කරගන්න අය නැතුවා නෙමේ . ඒ හන්දා කොයි ක්‍රමේ හරිද කියල කියන්න බැහැ. දුව හරි කියන්න බැහැ . ඒ වුනත් තාත්ත හැසිරුණ විදිහ නිසා වලට වැටෙන කෙනා වල පල්ලටම වැටුනා වගේ මට දැනෙන්නේ .

    ReplyDelete
    Replies
    1. අපට හිතුනෙත් ඒ වෙලාවේ සේරමලා ආවේගශීලී වෙලා හැසිරුනේ.. අපි හැදුවේ මේ දරුවා ගෙදර තත්වය පොඩ්ඩක් සැර බාල වෙනකම් ඉවසයි කියලා

      Delete
  12. බොරු කියන කෙනෙකුට කරන්න බැරි දෙයක් නැහැ කියනවානේ...

    ReplyDelete
  13. මමත් හිතන්නේ දෙමාපියන් ඒ දරුවාගේ ප්‍රශ්නය දිහා බැලු විදිහත් එය පාලනය කල විදිහත් වැරදියි කියලයි..මේ වගේ දෙයක් උනාම පියෙක් මේ විදිහට හැසිරෙන්න ගත්තාම ගැහැණු දරුවෙක් බොහොම අනාත වෙනවා. තවදුරටත් අර පිටස්තර පිරිමියා වෙතටම ඇදෙනවා. ඒක ස්වාභාවිකයි.. තාත්තා ගැහැණු දරුවෙකුට යහළුවෙක් වෙන්නත් ඕනා කියලා මම විශ්වාස කරනවා. ඒ විදිහේ සම්බන්ධයක් තියෙනකොට දරුවෝ නොමග යාම පාලනය වෙනවා. මගේ දුව සියලුම සතුටුදායක කතාබහ කරන්නේ අම්ම එක්කයි. හැබැයි වලි සීන් අප්සෙට් දේවල් කචල් බචල් අඬන දොඩන එවුවාට තාත්තා ඕනා. ඉතින් හදිසියේ වත් නම ටෙලිෆෝන් එකේ දැක්කම මම දන්නවා ඔන්න කචල් එකක් කියලා. එකට සුදානමින් තමයි මම කතාකරන බොත්තම ඔබන්නේ,.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මාත් හිතන්නේ මවෙක් පියෙක් දරුවන්ට කිට්ටු වෙන්න ඕනෙ එතකොට එයාලා පිට අයගේ උදව් උපදෙස් ආදරය බලාගෙන ඉන්නේ නෑ. මට හිතෙන්නේ මට දෙන්න ඕනෙ වුන පණිවිඩය හොඳින් ගියා කියලයි අනික් අය අතරට... මෙහිදි දුව කල දේ හරියි කියන්නත් බෑ.තාත්තා හැසිරිනු විදිහ හරිමත් නෑ.

      Delete
  14. මෙහෙමත් දරුවෝ :/

    ReplyDelete
    Replies
    1. මෙතන දි හැමෝම හැසිරුනු විදිහෙ වැරදි තියෙනවා.

      Delete
  15. නැණවත් දෙමාපියන් ලබන්ටත් වාසනාව තියෙන්ට ඕනැ. හැමදේම දීලත් බැහැ නොදිත් බැහැ

    ReplyDelete
  16. මේවගේ දරුවෝ හම්බවෙන එකනම් පවක්.. මෙතැනදී දෙමව්පියන් හැසිරුණු විදිහ නිසා ඒ ළමය එහෙම දෙයක් කරන්න යොමුවෙන්න ඇති... නමුත් කිසිම දුකක් නොදී මල් වගේ හදපු , යාලුවෝ වගේ ලගින් හිටපු දෙමව්පියන් ඉන්න, අපි දන්න ළමයිනුත් ඉන්නවා මේ වගේ වැඩ කරපු... අන්තිමේදී ඒ දෙමව්පියෝ සමාජෙට මූණ දෙන්න බැරිව ගොඩක් අසරණ වෙලා දුකෙන්ම ජීවිතේ ගෙවිල යනවා...
    මම හිතන්නේ මේ කලින් ආත්මවල සතුරන්, දැන් ළමයි වෙලා ඉපදිලා කියල...
    මොනවා උනත් මේ ළමය ඔයාලවත් රවටමින් කරපු බොරු රඟපෑම නම් දෙමව්පියන් ආවේගශීලි හින්ද නෙමෙයි එයාගේ තියන නරක ගතිය හින්දයි කියල මට හිතෙන්නේ..
    දෙමව්පියන්ට ආදරේ කරන්න බැරි කෙනෙක් තවත් කෙනෙක්ට කොහොම ආදරේ කරන්නද...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... මාත් හිතුවේ ඕකමයි. දෙමාපියන්ට නොසලකන අය අන් අයට කොහොම සලකයිද ?

      Delete
  17. I cant believe these stories ! and this tend to change my thinking on the doctors. Now I know there are (few) good doctors. I was on the opinion that i will never allow my children to become a doctor in the future (they are too small now). But you changed my mind!.

    ReplyDelete
  18. නන්දා මාලනී මහත්මියගේ මේ සින්දුව අහන්න, මේ කතාව කියවලා ඉවර වෙලා,

    " හිතු මතේට් දීග ගිය දුවේ, ....."

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !