Tuesday, August 2, 2011

මේ මනූස්සයා මැරුනොත් හොඳයි ඩොක්ටර්....

ප්‍රාදේශිය රෝහලකින් අප වෙත එවා තිබුනු රෝගියෙක් වාට්ටුවා වෙත එවා තිබූනේ සිහිසුන්ව ඔක්සිජන් සිලීන්ඩරයකට සම්බන්ද කළ නල පද්දතිය මුහුණු වැස්ම සමගින්. හදිසියේ සිහිනැතිවීමක් නිසා රෝහල් ගත කල බවක් ඔහුගේ නෑයෝ පවසයි. රෝගියාගේ ඇස් පරීක්ෂා කළ අපිට මෙහි ඊට වඩා යමක් ඇති බව වැටහුනේ කළු ඉංගිරියාවට ටෝච් එක ඇල්ලූ විටයි. ඉතා කුඩා වෙච්චි කළු ඉංගිරියාව (pin point pupils )කුමක් හෝ opioid අඩංගු දෑ (මත්ද්‍රව්‍ය හෝ පෙති) ඕනැවට වඩා ගත් විට, හෝ organophosphate කෘමි නාශක ශරීර ගත වුනු විට ඇති වන ලක්ෂණයකි. වේලාව හවස 6 පමණ ඇත. ඔහූ හූස්ම ගන්නේද අමාරුවෙනි. පෙනුම අවලස්සනය. රැවුල වැවී ඇත. කඩිනමින් කළයුතු දෑ කරමින් සිටි මම විශේෂඥ වෛද්‍යතුමියගේ උපදෙස් පරිදි ඔහු මීට එහා ඇති මහ රෝහල වෙත සී. ටී. ස්කෑන් පරීක්ෂණයකට යොමු කරන්නට ට්‍රාන්සර් කිරීම සඳහා අවශ්‍ය ලිය කියවිලි සකස් කරමින් සීටියෙමි. ඔහු ගෙන ආ අයෙක් මා අසලට පැමිණෙයි.

"ඩෝක්ටර් ලෙඩා මැරෙයිද ?" එලෙස අසන බෝහෝ අයගේ කටහඬේ තිබෙන හැඬුම් ස්වභාවය ඔහුගේ හඬේ නොවීය.මා දෙස එක එල්ලේ බලාගෙන හිඳී.

"ලෙඩා ගේ තත්වය එතරම් හොඳ නෑ. මෝළයේ ලේ ගැලීමක් වෙලාද බලන්න වෙනවා. ඒකයි අපී ...ර යවන්නේ"

"මේ මනූස්සයා මැරුනොත් හොඳයි ඩොක්ටර්." මමද ඒ අසල ඇඳ ඉහපතක යමක් සටහන් කරමින් සිටි හෙදියද ගල් ගැහුණාක් මෙන් බලාගෙන සිටියෙමු. ලෙඩෙක් ඉස්පිරිතාලේ ගෙන එන්නේ ජීවිතය බේරා ගැනීමටයි. මොහූ කියා සිටින්නේ වෙන දෙයක්.

"ඇයි එහෙම කියන්නේ මේ ඥාතියේක් නෙමෙයිද ?"
සාමාන්‍යයෙන් රෝගියෙක් රෝහලට ගෙන ආ කෙනෙක්ම එසේ කීම අපට පුදුමය දනවන සුළු විය.

"මේ මිනිහා කරන්නේ ගංජා කසිප්පු විකුණන එක. මේ පැත්තෙම තරුණ ළමයි. ඉවරයි නෝනා" ඔහු කියයි.

" මේ මිනිහගේ ගෑණිත් ඒවට හවුල් . ඔය අද ඔහොම ඉන්නෙත් මේ මිනිහත් ගංජා ගහනවා. කාටවත් මූට ඉහළීන් යන්න බෑ.ඔක්කොම කරන්නේ ජරා වැඩ. මුළු ගමටම හෙණයක් වෙච්ච මූ මැරුනොත් හොඳයි නෝනා. දැන් ඔය සිහි නැති වෙලා ඇත්තෙත් ගංජා ගහලා වෙන්නැති. අපි උදව් වෙලා ගෙනාවේ ලතෝනිය අහං ඉන්න බැරුව. මේකා මැරෙනවනම් හොඳයි කිව්වේ ඒකයි නෝනා."

මට දෙන්නට පිළිතුරක් නැත. අපට සෑම රෝගියෙක්ම එකය. නමුත් ඔහු ගත කළ ජීවීතය ගැන ඇසූ විට මහ අප්‍රසාදයක් ඇති විය. ඔහූ කළ පාප කර්ම වලට දැන් ඇස් පනා පිට දුක් විඳිමින් ඉන්නා බව පැමිණි අය පවසයි. අපට ඔවුන් කියන ආකාරයෙන් කටයුතු කළ නොහැකියි. කුමන තරාතිරමක වුවත් කුමන ජාතියක වුනත් කවුරුන් පැමිණියත් ඔවුන් අපට රෝගීන්ම පමණකි.

මත් පැන් බී අවසිහියෙන් නගරයේ තැන තැන වැටී සීටින අය සේරම වරින් වර පොලිසිය හෝ යම් අයෙක් මෙහි ගෙන එයි. ඔවුන් සියල්ල අප දත්ත සටහන් කරගනිද්දී පරීක්ෂා කරද්දී සිටින්නේ වෙරි මතිනි. වෙරි හිඳුනු විට කිසිවකුට නොදන්වා ඔවුන් " missing "අතුරුදහන් වේ. සමහර විට අප දැක දැකම තම කැමත්තෙන් වාට්ටුවෙන් පිට වී යයි. එයට අපි යොදාගන්නා පදය ලාමා හෙවත් LAMA - leave against medical advice යනුවෙනී.

අර ගංජා මුදලාලිව නම් අපි සී.ටී. පරීක්ෂණය සහ වැඩිදුර සත්කාර සඳහා ඒවා තිබෙන තව නගරයක මහ රෝහල වෙත යැවූවා. නමුත් ආරංචිය ඔහු එහිදී මීය ගිය වගය. ඒ ගමට ආසන්න ගමක සිටින අපේ සුළු සේවකයෙක් පැවසුවේ අපට එදා ගමේ කෙනෙකුගෙන් අසන්නට ලැබුනු කතාව ඇත්ත බවය.
______________

තවත් දිනක අප මහ රෝහලේම පෙර කලෙක පරිපාලනයට සම්බන්ද රැකියාවක් කළ පුද්ගලයෙක් හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුල් වී තිබුනේ ලේ වමනේ යෑම නිසයි. අධික කාලයක් තිස්සේ මත්පැන් පානය කරමින් සිටි හේ අක්මා රෝගී තත්වයක් වන සිරෝසීස් සහ ඒ නිසා ඇතිවන අක්මාවෙන් රුධිරය ගෙන යන නාල වල පීඩනය වැඩිවීමේ තත්වයට ගොදුරු වී අන්නස්‍රෝතය අවට රුධිර ශිරා වල ඉඳිමී පිපිරීමේ තත්වයක් ඇතිවී ආහාර මාර්ග පද්ධතිය තුල ලේ වහනය වී සෑහෙන්න අමාරු තත්වයෙන් මෙහි ඇතුලත් කර සිටියදී ඔහු ගොඩ ගන්නට අප දැරූ වෙහෙස මතක් වේ.

එදා නම් මත් පැන් බොන මිනිසුන් ගැන ඇතිවූයේ කියා නිම කල නොහැකි කෝපයකී. ලේ පයින්ට් දෙක තුනක් දුන්නත් ඇතුලත ලේ ගැලීම් අධික වීම නිසා (අක්මාව අකර්මණ්‍ය වීම නිසා රුධිරය කැටි ගැසීමට අවැසි රසායනික දෑද සිරුරේ හීන වේ) අර පිපිරී ලේ ගලන ශිරා ගැට ගැසීම සඳහා කළයුතු හදිසි ශල්‍ය කර්මය කිරීමට මොහොතකට පෙර ඔහු මිය ගියේ බොහෝ දුක් විඳිමිනි. දැන් ඔහුගේ තරුණ බිරින්දෑද දරුවන්ද තනිවී ඇත. ඔවුන් සැමගේ ජීවිත අඳුරේ ය.රෝහලක සිටියත් ලෙඩ දුක් දකිමින් බොහෝ දැනුමක් ලැබුනත් මත්පැන් බීම නවතා ගන්නට බැරි තරම් ඔහු ඇබ්බැහී වී තිබූ හැටි !
_________________

මේ ළඟදී අප වාට්ටුව වෙත අපූරු ඇබ්බැහිවීමකට පුරුදු වෙච්චි දරුවෙක් ආවේය. වයස අවුරුදු 16 යි. ඔහු සිහිසුන්ව පසුවෙද්දී පවුලේ අය විසින් හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුල් කොට සුව ලැබුනු පසු අපේ වාට්ටුවට එවා තිබිනි. ඉතා කෙට්ටු ඔහු ගත් කටටම කීවේ " මම අහවල් බෙහෙත බිව්වා මාස 2 තිස්සේ " යන්නයි. දරුණු කැක්කුම් පෙත්තක නමක් ඔහු පවසයි. මෙවැනී ඇබ්බැහිවීම් ගැන ලිවීමේදී බෙහෙත් වල නම් මෙහි ලිවීම කෙතරම් උචිතදැයි මා නොදනිමි. එනිසා සඳහන් නොකරම ඉන්නට කල්පනා කෙරුවෙමි. මානසික රෝගීන් වෙත දෙන පෙත්තක නමක්ද පවසයි.

" මට ගොඩක් කල් ඉන්න වෙයිද ඩොක්ටර්. "

"තමන් විහින් කරගත්තු දේ නේ.තරුණ ළමයි මොකටද මේ වගේ කරගෙන එන්නේ. දැන් ඉතින් ඉන්න වෙයි දවස් කීපයක්."
ඔහු බය බිරාන්ත වී ඔබ මොබ හාත්පස බලයි. වාට්ටු තුල සිටින අසාධ්‍යය රෝගීන් දෙස බලයි.

"දැන් මේ හොඳට තියෙන අත පය, ශරීර ඉන්ද්‍රිය , මේ පොඩි වයසෙම නාස්ති කරගෙන අර වගේ තමයි ඉන්න වෙන්නේ. " නහයෙන් බට දමා හර්ද ස්පන්දනය මනින මැෂින් වලට වයර් මගින් සවිකළ රෝගීන්, කෘෂ ශරීර ඇතිව අමාරුවෙන් හුස්ම ගනිමින් සිටි රෝගීන් මම ඔහුට පෙන්වමින් පැවසීය.

"අනේ අම්මෝ මටනම් බෑ මෙහෙ ඉන්න"

ඒ දරුවාගේ පියා මෙවිට ඔහු පාවිච්චි කළ පෙති ඇති බෑග් එකක්ද සමග අප වෙත පැමිණේ. ඒවා පරීක්ෂා කළ අපිට ඔහු ගන්නා පෙති වර්ග පෙර සඳහන් කල ඒවාම බව වැටහුනි.
ඔහු මේ පෙති වර්ග ගැන දැනගෙන තිබෙන්නේ සා පෙල ලකුණු එන තෙක් නගරයේ පිහිටි පරිගණක පාසැලේ ඉගෙනූම ලබන කාලයේය. කථාවේ හැටියට ඒ වයසේ බොහෝ පිරිස් මේ පෙති වර්ග පාවිච්චියට් ඇබ්බැහි වී සිටිති.

"ඉස්සෙල්ලම එක එක පාවිච්චි කලේ. අන්තිමට සති දෙකකින් විතර ඒ පෙති නොගෙන සෙල්ලම්වත් කරන්න බැරි තත්වයක් ඇති වූනා. මට තේරුනා මම මේකට ඇබ්බැහි වෙනවා කියලා. ඒත් කුඩු ගහනවා ගංජා බොනවා වගේ නෙමෙයිනේ ඩොක්ටර්." ඔහු කළ ක්‍රියාව සාධාරණීකරනය කරන්නටත් සැරසේ.

" මත්ද්‍රවය පාවිච්චි නොකරනවා කියලා වැඩක් නෑ. දැන් ඔයා මෙහෙම මේ පෙති වලට ඇබ්බැහි උන එකත් පුතේ හරියට මත්ද්‍රව්‍ය ගන්නවා වගේ තමයි" ඉතා කෙට්ටූවී සූදු මැලි වී සීටි මේ දරුවා අප අවධානය යොමු නොකර පැත්තක් අපට විවෘත කළේය.

"පුතා දන්නවද මේ පෙති දෙන්නේ විශාල ඔපරේශන් කරලා ලොකු කැක්කුමකින් ඉන්න අයට. සාමන්‍යයෙන් ලෙඩක් නැතිව මේවා බොන්න හොඳ නෑ. කොහොමත් මේවා බිව්වොත් කැරකිල්ල එනවා. වමනේ යන්න එනවා. දැන් ඔයා බිව්ව අනිත් පෙත්ත මානසික රෝගීන් බොන එකක්. වඩා හොඳ මානසික රෝග වාට්ටුවේ හීටියනම් නේද ?" මම කියද්දී ඔහු බයවී මාදෙසද පියා දෙසද බලයි.

" අනේ මට ඉන්නේ එකම පුතා ඩෝක්ටර් මට කොහොම හරි දරුවා සනීප කරලා දෙන්න. මම මීට පස්සෙ පුතා එක්කම එයා පස්සෙන්ම ඉන්නවා." පියා කඳුළු පුරවාගෙන හඬා වැටෙයි.

"මට මේක නවත්තන්න ඕනේ. ඒකට මම මොනවද කරන්නේ ? " ඔහූ ඉතා ඕනැ කමින් වීමසයි.

මේ සටහන කියවන අම්මේ තාත්තේ, ඔබේ දරුවන් ගැන වඩා වීමසිලිමත් වෙන්න. ගෑණු දරුවන්ට වඩා සා පෙල උසස් පෙල අවධියේ පසුවන ඔබේ පිරිමි දරුවන් යන එන තැන් ඇසුරු කරන යහළුවන් ගැන වඩා සෙවිල්ලෙන් ඉන්න. ඔවුන්ට අනුන්ගෙන් දැන ගන්න කලින් මෙවැනි දේ සමාජයේ ඇති බවත් ඉන් සිදුවන හානියත් පැහැදිලි කර දෙන්න. විශ්වාස කරන්න, අපට හමුවෙන සියලූම දරුවන් මෙවැනි දේ සෑම පෙදෙසකම ව්‍යාප්ත වී ඇති බවට සාක්ෂි සපයයි.

" මට ආයෙ ඉස්කෝලේ යන්න ඕනේ හොඳින් උසස් පෙළ කරන්න ඕනේ" ඔහුගේ හිතේ බලාපොරොත්තු එකින් එක ඔහු පවසයි.

නගරයේ පීහීටි ෆාමසි සියල්ලක්ම පාහේ වෛද්‍ය නිර්දේශය අඩංගූ තුංඩුවක් (prescription)අනිවාර් යයෙන් ගන්නා බව ෆාමසි හීමියන්ගෙන් ඇසූ විට පවසයි. නමුත් මේ දරුවා එසේ නියමිත තුංඩුවක් නැතිව මෙවැනි බෙහෙත් වර්ග ඔහේ ඕනෑම ප්‍රමාණයක් දෙන ෆාමසි මොනවාදැයි අප හා කියයි. ගංජා සහ මත්කුඩු වලට ඇබ්බැහි වුන ඔහූගේම පන්තියේ යහළුවන් ගැන පවසයි. මේ බෙහෙත ගන්නට බැරි වුනොතින් එදිනෙදා කරනා වැඩ කරගන්නට සවියක් ශක්තියක් ඇඟට දැනෙන්නේ නැති බවද පවසයි.

ගංජා මත් කුඩු , මත්පැන් සහ හෙරොයින් යන මේවාට ඇබ්බැහි වුනු පිරිස් බොහෝමයක් අප වාට්ටුවට ඇතුල් කරයි. බෙහෙත් සමගම උපදේශනය මගින්ද ඔවුන් ඉන් ගලවා ගැනීමට අප උත්සහ ගන්නෙමු. අර ගංජා කසිප්පු විකුණන ජාවාරම් කාරයා මිය ගියත් කවුරුන් හෝ ඔහුගේ තැන ගෙන යළිත් ඒ වෙළදාම ජයටම පවත්වාගෙන යනවා ඇති. සාමාජයේ යථාර්තය ඒකයි. නරක මුලිනුපුටා දමන්නත් වලක්වන්නත් හැකි අපිටමයි, එහෙම නැත්නම් කර්මය අනුව සමාජයට අවැඩ කරන්නන්ට පව පල දේවියැයි අත් බැඳගෙන සිටින එකනම් කරන්න බැරිම වැඩකි.

පාසැල් වල ඉගෙනුම ලබන දරුවන්ට උපදේශන මාලාවක් කරන්නට යැයි පළාත් සෞඛ්‍ය කාර්යාලයෙන් අප රෝහල් ඒකකයෙන් කළ ඉල්ලීම හැකි ඉක්මනින් නුදුරු දිනකම ඉටු කරමින් එම දේශන මාලාව පටන් ගත යුතුයැයි අපි අදිටන් කර ගත්තෙමු.

16 comments:

  1. ඇත්තටම Doctor ඔබ කියන විදිහට මේකනම් ඉතා දරුණු තත්වයක්... උපදේශන මාලාව ඉක්මනින්ම පටන් ගන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  2. එල බ්ලොග් එකක්නේ. ඩොකෙක් මෙහෙම එකක් කරනව කියන්නේ ඉතින් මරු. ඉගෙන ගන්න දෙවල්. සමජ අත්දැකිම් එක්කම බෙදාගන්නව කියන්නේ මාරම වටිනව. සුබ පැතුම් දොස්තර මහත්තයො. ඔන්න මාත් පස්සෙන් එනවා...

    ReplyDelete
  3. වැදගත් අනතුරු ඇඟවීමක් , ඔව් මට මීට දින කිහිපයකට පෙර අපේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඔසුසැලක හිමි කරුවෙක් කියා සිටියේ දිනපතා ඔබ කියන ඖෂධය ඉල්ලා , (වැඩි මිලට ඉල්ලා) විත් වැඳ වැටෙන තරුණ පිරිස ක්‍රමයෙන් වැඩි වන බවයි  , මෙම තත්ත්වය පාසල් තුලට රිංගුව හොත් විය හැකි විනාශය මතුකුඩු වලටම , සමහර විට ඊටත් ඉහළ ගිය සමාජ ව්‍යසනයක් වනු ඇති , පාසල් දරුවන් දැනුවත් කිරීම ඉතා අගනා සහ ප්‍රායෝගික ඉක්මණ් ක්‍රියාමාර්ගයක් ලෙස දකින අතර ඒ සඳහා සියළු පහසුකම් , දිරි ගැන්වීම් ලැබී , ඉක්මණින් ක්‍රියාත්මක තලයට ගෙන එන්නට අවස්ථාව ලැබේවායි පතමි , අපිටත් යමක් කළ හැකි නම් කියන්න අපිත් හැකි පමණින් සහයෝගය දක්වන්නම් , ...

    ReplyDelete
  4. මේ මත් උවදුරට නාගරික පාසැල්වල දරුවන් තමා බොහෝවිට ගොදුරු වෙන්නේ.දෙමාපියන් බොහෝම අවදානයෙන් ඉන්න ඕන තම දරුවන් ගැන.තමන්ගේ දරුව උනත් ඕනවට වඩා විශ්වාස කරන්න
    හොද නෑ..මෙහෙම උනාම තමා අවසානෙට යනකම්ම දෙමාපියන් දන්නේ නෑ තම දරුවත් මේ වියසනයට ගොදුරු වෙලා කියල. දරුවන් ඇසුරු කරන යාලුවන් කවුරුද කියල හොද අවධානයෙන් ඉන්න ඕන.
    හොද ලිපියක්. ස්තූතියි.....

    ReplyDelete
  5. ඉතාම වැදගත් මම කැමතියි මේ ලිපිය කියවන කවුරුත් මේකට උපරිම ප්‍රචාරයක් දෙනවා නම්......
    බෙහෙත්වල නම් ලියන්න එපා. ඒත් ඔබ කරනදේ ඉතාමත් වටිනවා. අපි තමයි මේ රට ගලවගන්න ඉන්නේ. මමත් මේකට ආයුර්වේද පැත්තෙ තොරතුරු ටික ඉක්මනටම ලියන්නම්. තවත් මෙවැනි ලිපි ලියන්න ශක්තිය ලැබේවා!!!

    ReplyDelete
  6. හරිම සංවේදී මාතෘකාවක් තමයි..සමාජයේ හැම ස්තරයම වගේ හැම දෙනෙක්ම මෙයට සම්බන්ධ කරගෙන දැනුවත් කරන්න ඕනි.හැම මාධ්‍යයක්ම එකතු කර ගෙන.එතකොට මේ වසන්ගතය අවම මට්ටමේ තියා ගන්න පුලුවන්..ඊ ලඟ ගොදුර මගේම දරුව, මල්ලි, ඥාතියා වෙන්න පුලුවන් කියන එක හැමෝගෙම හිතට කා වද්දන්න ඕනි..ඔබලාගෙ මේ දේශන මාලාව ඉතාමත් සාර්ථක වේවා කියල පතනව..

    ReplyDelete
  7. දුවේ, ඔබ තවම ඔබගේ වෘත්තීය ජීවිතේ පටන් ගත්තා පමණයි... ඔබට දකින්නට අහන්නට අත් විඳින්නට සිදු වනදේ බොහොමයි. ඔබ පවසන දේවල් ගැන සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. මම ඉස්සරවෙලා හිතුවෙ , මේ රටවල්වල මේ මත්ද්‍රව්‍ය භාවිතා කලත් අනේ අපේ ලංකාවෙ නෑ කියල. ලෝකෙ වෙනස් වෙනව කියන්නෙ දැන් ලංකාවෙත් එහෙමම තමයි. එක අතකින්, බලන කොට මේ තමයි ලෝකයේ හැට. ඒ කියන්නෙ එක එක තැනැත්තාගේ කර්ම විපාකයේ හැටි. කොහෙන් වැට බැන්දත්, ඒවායේ ආදීනව කියා දීලම තමයි හදන්න වෙන්නෙ. එක වරක් මම වැඩ සටහන්ක් පටන් ගත්තා 'ඇති සැටි දැකීම' වශයෙන්. ඒක නිකම් විදර්ශනා වශයෙන් හඳුන්වන්න පුලුවන්. ඒකෙන් ටෙමසෙපෑම්, ඩයසෙපෑම් වගේ පෙති ගත් අයට පෙති නැතිව නිදා ගන්නත් බටහිර ලෝකයේ ඉතාමත් පිලිගත් බෙහෙත් වන SSRI බෙහෙත් ගත් අයත් ඒවා නැතුව ජීවිතය ගත කරන්න පුලුවන් වුනා. අන්තිමට බලන කොට අවශ්‍ය සිත පුහුනු කිරීමක් විනා, සෛල පුහුනු කිරීමක් නොවෙයි.

    ReplyDelete
  8. මෙවැනි දෙයට ඇබ්බැහි වීමට පෙර ඔවුන් ගළවා ගැනීම තමයි හොඳම පිළිවෙත. නමුත් ඒ සඳහා හොඳ වැඩපිළිවෙලක් ඕන.
    වැදගත් ලිපියක්.

    ReplyDelete
  9. දිනූෂා - අනිවා ! මේ ව්‍යසනය නවත්වන්න ඕනේ. මොකද මේවා එළිපිට විකුණන්න තියෙන තහනමක් නැති දේ. ඉතින් කොහොම හරි සපයා ගැනීමේහැකියාව තියෙනවා. ස්තුතියි දිරි ගැන්වීමට

    පිස්සු පූසා - ආවටත් අදහස් ලිව්වටත් ස්තූතියි.

    මහේෂ් නිශාන්ත - අනිවාර්‍යයෙන් ඔබටත් දැනුවත් කිරීමක් කළ හැකියි ඔබ රෝහලේ උනත් අදාල අංශවල නිළධාරීන්. විශේෂයෙන්ම දෙමාපියන් මේ ගැන දැනුවත් විය යුතුයි කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
  10. Gimhani - දරුවන්ට ළංවිය යුතුයි. ඔවූන්ට අධ්‍යාපනය වගේම අනෙක් ගුණ ධර්මත් කියා දිය යුතුයි. නැත්නම් ඉතින් කොයි තරම් ඉහළ කෙනෙක් උනත් වැඩක් නෑ නේද.

    මහ වෙදානෝ - ඔබතුමාගේ අදහසට ගොඩක් ස්තූතියි. පුළුවන්නම් ලියන්න ගොඩක් පින් මෙවැනි සමාජ ව්‍යසන වලින් අපි අපේ බාල පරම්පරාව ගලවා ගන්න ඕනේ. ඒකට පුටු මේස වල ඉඳගෙන උදේ හවස ලෙඩ්ඩු බලලා හරියන්නේ නෑ කියලයි වැටහූනේ

    Weni - ස්තූතියි. දේශන මාලාව ගැන තොරතූරු පසුවට ලියන්නම්.

    සරත් ගුණතුංග - ඔබ වැනි හසල උගත් සහ බොහෝ අත්දැකීම් සහිත කෙනෙකුගෙන් මේ ලැබෙන උපදෙස් හා අවවාද මම ඉතා අගය කොට සලකනවා. තවම අත්දැකීම් අඩු අපිට මේ දේවල් කියලා දෙන එකනම් ඉතා අගෙයි. ස්තුතියි !

    නලිනි චන්දිමා - ඔව් අක්කා නිකම් පැලැස්තර ගහනවා වගේ සැරෙන් සැරේ මොනවත් කරලා හරියන්නේ නෑ. හොඳ වැඩ පිළිවෙලක් ඕනෑ. ස්තූතියි අදහසට.

    ReplyDelete
  11. වැදගත් ලිපියක්.උපදේශන මාලාව ඉක්මනින්ම පටන් ගන්න ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  12. kiyawanna asa widihata liyala thiyenawa AK. we r proud of u. may u get all the support and blessings to carry out your extraordinary measures to make life better

    ReplyDelete
  13. ඔබේ මෙවැනි ලියවිලි වඩාත් ප්‍රසිද්දියට පත්වියයුතුයි කියල මන් හිතනවා. ඔබේ බ්ලොග් එකට අමතරව සිතුවිලි පවුර වගේ එකකටත් දාන්න. ඒ මොකද අපේ වල් පල් වගේ නෙවෙයි ඔබේ ලියවිලි. සැබෑ වශයෙන්ම කියවන්නන්ට ප්‍රයෝජනවත්. බලයත් දනයත් ඇති අය මත් ද්‍රව්‍ය ප්‍රචලිතකිරීමේ යෙදිලා ඉන්න අපේ රටේ මේ තත්වය වැඩිවෙනවා මිස අඩු වෙනවා දැකීම උගහටයි කියල මට හිතෙනවා..

    ReplyDelete
  14. දොස්තරලට මේ වගේ වැඩ වලටත් වෙලාව තියෙනව කියලා දැන ගත්තෙ අදනෙ! බොහොම සන්තෝසයි! :)
    ඇත්තටම ඇබ්බැහි වෙන්න කලින් ඒ දරුවන් ව දැනුවත් කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.
    මේ වගේ ලිපි අන්තර්ජාලෙත් ජනප්‍රිය වෙන්න ඕනෙ. මොකද පිරිමි ළමයින්ට නරක ආදර්ශ ගොඩක් තියෙනව මේකෙ..
    මේ වැඩත් දිගටම කරන් යන්න ඔබට සුබ පතනව දොස්තර මහත්තයො!

    ReplyDelete
  15. ඔව් ඇත්තටම වටින උපදේශයක්...! අශ්වයා ගියාට පසු ඉස්තාලෙ වහන්නට හදන්නේ නැතිව ඊට කලින් පිළියම් යෙදීම තමා වැදගත්..
    අර කිව්වත් වගේ වෛද්‍ය නිර්දේශ නැතිව රුපියල් ශතවලට වහල් වෙලා ඔයවගේ බෙහෙත් දෙන ෆාමසි සැබෑ ලෝකෙ ඕන තරම් තියනවා.. මමත් මේවගේ අය ඕන තරම් දැකලා තියනවා. ඒනිසා අක්ක කිව්ව මනෝ උපදේශන සේවාවන් ගොඩාක් ව්‍යාප්ත කිරිම ඉතා කාලෝචිතයි

    ReplyDelete
  16. මෙ ලිපිපෙල කියවගෙන යද්දි මට හැගුනු දෙනම්.එක් එක් කෙනා වශයෙන් අපි හැමොම අපෙ ලමයින්ව (ව්ශෙෂයෙන් අපෙ දරුවන් ඇසුරු කරන සියලුම දරුවන්) කැදවා යම්කිසි උපාය මාර්ග වලින් මෙවායෙ ආදීනව කියාදීම වැදගත් වෙ. ඔබ තුමාට ගොඩාක් පින් ලැබෙවා! ස්තුතියි.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !