Tuesday, July 26, 2011

ජීවිතය සොයා ....

"මේ ඩක්ටර් තමයි මුල්ලි වයික්කාල් වලදී මගෙ වම් උරහිසට වෙඩි වැදුනම බෙහෙත් කළේ..." ගීතාගේ(අනවර්ථ නමකි) සුපුරුදු කච කචය හැමදාම. කිහිප ගමනක්ම මම, සිංහල බවත් මා එකළ කොළඹ වාසය කළ බවත් එවිට ශිෂ්‍ය අවදියේ සිටි බවත් මේ පැත්තකට විනෝදෙට හෝ පැමිණ නැති බවත් පැහැදිලි කළෙමි. ඇය එවෙලෙට එය පිළිගන්නා නමුත් ඊළඟ දවසේ මා දුටු ගමන් පෙර වාදනය වූනු තැටිය නැවත වාදනය වෙයි.
ඔවුන් යුද්ධ කළ කාලයේ මා වැනිම පෙනුම ඇති වෛද්‍යවරයෙක් ඔවුන්ටද බෙහෙත් කරන්න ඇතැයි මම සිතුවෙමි. මෙහි සිටින අනිත් වෛද්‍යවරයා පෙන්වමින් ඔහු පුදුකුඩියිරිප්පු රෝහලේ සේවය කළ බවද ඇය සඳහන් කරයි. අප දෙදෙනාටම මෙය හැමදාම දවසේ විහිළුව විය. මන්ද ඒ සඳහන් කළ කාලය වන විට සීමාවාසික වෛද්‍යය කාලය බලාපොරොත්තුවෙන් කොළඹ සිටි හෙයිනි හෙයිනි.
ඩක්ටර් ලෙස අපව අමතන අමුතුව නිසා කොතෙක් ඩොක්ටර් කියා ඇගේ උච්චාරණය හැදුවත් හැමදාම ඩක්ටර් ඩක්ටර් යන්න නම් වෙනස් වෙන්නේ නැත.

අද පුනුරුත්ථාපන කඳවුරු වල සිටින්නන් නිරන්තරයෙන් ගෙනෙන්නේ අප මහ රෝහල වෙතය. ඒ අය බොහෝමයකට සිංහල හොඳින් හසුරුවන්න්ට පුළුවනි. ඇතැම් දිනවල රැඳවියන් 5-10 ප්‍රමාණයක් දින 1, 2 උණ කැස්සට පැමිණ රෝහල්ගත වෙති. අමාරු ලෙඩුන් සිටින දිනවල ඔවුන්ගේ මේ රෝහල්ගතවීම් ඇඳන් සීමිත අප වාට්ටු වලට ඇතැම්විට දරාගත නොහැකි තරම්‍ ය.

ගීතා මට මුලින් මුණ ගැසුනේ කායික රෝග වාට්ටුවේය. ඒ වේදනා නාශක පෙති ගොන්නක් බී දිවි නසා ගන්නට හැදූ නිසාය. තනියම කිවන ගමන් විටක දෙවියන් ඇය හා කතා කරන බව නාට්‍යානුසාරයෙන් රඟ දක්වයි.

ගීතා ඈත කෙළවර තිබෙන බංකුවක වාඩිවී ඔහේ බලාගත්තු අත බලාගෙන සිටී. ඇය ඒ ලෙවල් සඳහා ඉතිහාසය, භූගෝල විද්‍යාව සහ දමිල බස ඉගෙන ගෙන ඇත. හොඳට රටේ ඉතිහාසය ගැන කියයි. රජවරු සහ කාල වකවානූ ඉතා හොඳින් පැහැදිලි කර දෙයි. "සිංහයාගේ සිද්ධිය විශ්වාස කරන්න අමාරුයි නේද ඩක්ටර්?" ඇය විටෙක අසයි. ඒ ගැන මා හා වාද කරයි.

"පව් නේද ගීතා" මට කියැවෙයි.
මා හවස් කාලයේ වාට්ටුවේ හෙද සොයුරියන් සිටින තැනට ගොස් ඔවුන් හා කදේ දාගෙන ඉන්න අතර අපේ සාත්තු සේවිකාවක් වන මාලිනීද(අනවර්ථ නමකි) අපේ කතා බහට විඩෙන් විඩ එකතු වෙයි.

" අනේ ඩොක්ටර් කොච්චරනම් පව් කියලා හිතුවත් මට තාම මතක් වෙන්නේ අපේ ගමේ එක ගොන්නේ මරලා දාපු හැටි. මයෙ මේ අවුරුදු 34 ජිවිතේට දැන් තමයි සැනසීමෙන් ඉන්නේ ඕං"

" බොරු නෙමෙයි ඩොක්ටර් උයාගන්න ගත්තු බත් එක කන්න නෑ. රෑට කැලෑවට වැදිලා ඉන්නේ හැබැයි දෙයියනේ කියලා සතෙක් සර්පයෙක්ගෙන් කවදාවත් කරදරයක් නම් උනේ නෑ ඩොක්ටර් ඔච්චර අපි කැලේ ඉඳලත්."මාලනී ඇගේ යුධ කාලයේ වාර්ථාව ගෙන හැර පායි.

"ඇත්තට..... මාලිනීලටත් කරදර වුනාද? " කතා අහන්න මම උපන්ගෙයි රුසියෙක්මි. මාත් පලිප්පු දමමින් ඇගේ කතාව අහන්නට හරි බරි ගැහුනාය.

"අපේ අම්මාට මං ලැබිලා මාස 3 , මේං මේ වගේ සයිස් මම හරහට වඩාගෙන කැලේට දුවලා තියෙන්නේ.අපිට හරියකට ඉගෙන ගන්නවත් ලැබුනේ නෑනේ. ඩොක්ටර්ට කියන්නේ.. අපේ මහත්තයත් ග්‍රාමාරක්ෂක වැඩ කලානේ. එයා නිවාඩු දවසේ රෑ ඒ බංකරේම හිටපු තුන්දෙනෙක්ම මැරුවනේ. මයෙ අම්මෝ හිටියනම් මහත්තයත් ඉවරයි. ඒ පවුලේ අය එක දිගට එක ගෙදර අයියා මල්ලි තියලා තිබ්බේ. මට දැනුත් මතක් වෙද්දී පපුව හෝස් ගාලා යනවා " මේ ඇගේම වචනයි. අපි අගනුවර ඉගෙනුම ලැබ එහිම සිට යුද්ධයේ එක පැතිකඩක් දකිද්දි. රෑට වන වැද දිවි රැකගත් මේ කොණේ මිනිස්සුන්ගේ කතා අසද්දී අනේ අපිට දැනුනේ මොනවාදැයි මට සිතේ. සිංහල දෙමළ මුස්ලිම් සෑම ජාතියකම සීයලූම මිනිසුන් මෙන්ම සත්වයින්ද මේ අවාසනාවන්ත කාලපරිච්ඡේදයේ උපරිම දුකක් වින්දෝය. අද ඔවුන් සියල්ලන් සැනසීමෙනි.

පේරා මෙඩීකල් ෆැකල්ටියට තේරී පටන් ගන්නා තුරු ගෙදර හිඳි කාලේ බලෙන් අල්ලාගෙන ගොස් මාස 2, 3 පසු පුදුකුඩුඉරිප්පු සටන අතර තුර දිවි ගලවාගත් මතීෂ්වරන් (අනවර්ථ නමකි) තවම ඉන්නේ රැඳවුම් කඳවුරේය. ඔහුට ඉගෙන ගැනීමට නිරවුල් මනසක් නැත. " එදා ගෙදර ඉන්නෙ නැතුව මම වෙන කොහේ හරි හිටියනම්... මම අද ඔයාලා වගේ ඩොක්ටර් වෙන්න ඉගෙන ගන්නවනේ" ඔහූ දුක්බරව පවසයි. අද ඔහු PTSD (post traumatic stress disorder) යන රෝගී තත්වයට පත්වී ඇත. ඒ ඔවුන් මුහුණදුන් කරදරකාරි ඛේදජනක අත්දැකීම් නිසාවෙනි. බංකර් වල රැය පහන් කරමින් තමන්ට නුහුරු දෑ කරමින් අනාගතය විනාශ වී යන අයුරු දරාගෙන සිටි ඔහුට අද යන්නට මගක් නැති සෙයකි. "තනියම ඉන්නකොට ගොඩක් බය දැනෙනවා " සායනයට පැමිණෙන ඔහු පවසයි.

වැසි සමයේ එළි බට වෛරස් උණ හෙම්බිරිස්සා කැස්ස ආදිය නිසා කඳවුරු වල සිටි ඔවුන් නිරන්තරයෙන් රෝහල් ගත වේ. එසේ පැමිණි හැමෝම වගේ අප සමග හොඳින් කතා බස් කරයි. හැමෝගෙම කතාව එක වගේය. ඒ එකල ඔවුන් විඳි දූක අපේක්ෂා භංගත්වය රැගත් හෙටක් නැති අවිනිශ්චිත ජීවිතයද , අද නිදහස හිමි වුවත් තම සමීපතයින් අහිමි ජීවිතය සමග ඔවුන් තනිවී ඇත. ඔවුන් බොහෝ දෙනෙක් ළඟ එන උසස් පෙළ විභාගයට හරි හරීයට පාඩම් කරති.

පසුගිය දිනක හවස් වරුවේ අපට නිවාඩු වේලාව තිබුනු නිසා ඔවුන් බලන්නට ගියෙමු. අම්මෙක් තාත්තෙක් නැත. ඔවුන් පාසැල් ඇරී පැමිණ සිටියේ අප එන බව අසා නිල ඇඳුම්වත් මාරු නොකරය. අප එහි ගියේ අප විශේෂඥ වෛද්‍ය තුමාගේ මිතුරෙක් වන ප්‍රසිද්ධ ක්‍රීඩා ශූරයෙක් සමගය. සර් මුණ ගැසීමට පැමිණි ඔහු අප සමග යෑමටම ලකලැහැස්තිවූයේ ඉතා කැමැත්තෙනි. ඔහු ගැන ඔවුන්ගේ පාසැල් පොත පතේ සඳහන් වන නිසා ඔවුන්ට ඔහූ සජීවීව දකින්න ලැබීම අපූරු අත්දැකීමක් වේවියැයි අපටද සිතුනි.

මේ දරුවෝ දැන් පාසැල් යති. ඉගෙනීමේ වැඩ වල යෙදෙති. බොහෝමයක් දෙනා සාපෙල සහ උසස්පෙල කරති. මුල් කාලයේ ඔවුන් සිටියේ බය බිරාන්තවය. අවශ්‍ය මොනවාදැයි ඇසූ විට කිසිවක් ඉල්ලුවේ නැත. නමුත් දැන් ඔවුන් ඔවුනට අවශ්‍ය දෑ පවසයි. පොඩි උන් ටික මෙවර ඉල්ලා සිටියේ ෆුට් බෝලයකි. ෆුට් බෝලයක් (පා පන්දුවක්) පමණක් නොවේ, දැල් පන්දු බැඩ්මින්ටන් කැරම් සහ චෙස් බෝඩ් ද ඔවුන්ට මිලදීගෙන පැමිණෙන බව ක්‍රීඩා තරුව පවසයි.

මේ ළඟදී පැවති ක්‍රීඩා උත්සව වලින් ජය ලැබ ගත් කුසලාන සහ සහතික අපට පෙන්වීම සඳහා ඔසවාගෙන පැමිණෙයි. ක්‍රීඩා තරුව දෙස දෑස් දල්වා බලා සිටී. ඔහුගේ හපන්කම් සහ කුඩා කාලය ගැන විමසයි. ඔහුත් උස්මහත් වුනේ මේ කොණේ දිළිඳු ගමක බව ඔහූ කියයි ඔහු දුක් විඳ ජීවිතය ජය ගත් අයුරු කියද්දී ඔවුන්ගේ බලාපොරොත්තු සහගත දෑස් දීප්තිමත්වේ. ඔවුනට ඔවුන්ගේ ළමා කාලය හිමි වීම තරම් භාග්‍යයක් තවත් කොහින් ද ?
......................
(නම් ගම් සියල්ල අනවර්ථ නාමයන්‍ ය)

12 comments:

  1. අපේ අම්මලත් ඉස්සර ගමේ ඉද්දි කොටි එනව කියල දැනගත්තම කට්ටිය එක්ක කැලේට ගිහින් හැංගිලා ඉන්නවලු.අපිත් වඩාගන දුවනවලු.ඒ 80 දශකේ මුල් කාලෙවල වෙන්න ඕනෙ.දවසක් ඔහොම අල්ලපු ගමේ මුස්ලිම් මිනිස්සු කීප දෙනෙක්ම මරලා කොටි ගිහින් තිබ්බෙත් අම්මලා කැලේ හැංගිලා හිටපු තැන පහුකරගනලු.

    ReplyDelete
  2. 'thousand yard stare' කියන බැල්ම තියන අයව පරීක්ෂා කරලා ඇති නේද? මම දැක තියෙන්නෙ පින්තූර වලින් පමණයි. ළමා කාලය හිමිවීම තරම් භාග්‍යයක් වෙන නැහැ සත්‍යයකින් ම.

    ReplyDelete
  3. රෝගීන් වෙනුවෙන් ඇති ඔබගේ කැපවීම ඉතාමත් අගය කොට සලකමි. ඔබ වැන්නවුන් අද සමාජයේ විරලයහ. බොහෝ දෙනෙක් වෛද්‍යවරුන් වෙන්නේ මුදලට ඇති ගිජු කම සහ සමාජයේ උසස් තැනක් ලබා ගැනීම සඳහාය. මීට වසර ගණනකට පෙර මට හමු වූ 'පැච් ඇඩැම්ස්' වෛද්‍ය වරයා මට පැවසූවේ සානුකම්පිකව යමෙක් කියන දෙය අසා සිටියි නම් රෝගියාගේ ව්‍යාධිය (illness, NOT the disease ) එයින්ම සුව වන බවයි. මම එය සම්පූර්ණයෙන්ම පිලිගනිමි.

    ReplyDelete
  4. යුද්දයෙන් උන ජීවිත විනාසයට වඩා වැඩි විනාසයක් මිනිස්සුන්ගේ මනසට වෙලා තියෙනවා.. ඒ තුවාල කවදා සුව වේවිද ? අපේ සාමාන්‍ය මිනිස්සු නම අතීතය අමතක කරලා ඉස්සරහට යාවි එත් නායකයෝ ? කලයුතු කුමක්ද කියා වැටහීමක් ඇති බවක් නම් පෙනෙන්නේ නැහැ කරන කියන දේවලින්..

    ReplyDelete
  5. අනුවේදනීය කතාන්දර ගොඩක් දෙස සානුකම්පිත බැල්මක්.
    බොහොම ස්තුතියි මෙවැනි දරුවන් වෙනුවෙන් සටහනක් තැබුවාට.

    ReplyDelete
  6. නදී - අපි කාලයකදී අහපු පුවත්පත් වලින් කියවපු විස්තර සැබෑ ජීවිතේ විඳපු දැකපු මිනිස්සුන්ගෙන් අද ඒවා ගැන දැනගනිද්දි දැනෙන හැඟීම විස්තර කළ නොහැකි තරම්.කොයි තරම් නම් පිරිසක් පණ බයෙන් රෑ එළි කරන්නට ඇතීද?

    අරූණි - ඔව් දුටිමි දුටිමි. එවැනි සමහරෙක් නම් තවම අමතක වෙන්නේ නෑ. ඒ බැල්ම මෙන්ම නිහඬ බව දරා ගන්න අමාරුයි. කිසිම හැල හොල්මනක් නැතිව සමහරු නම් බෙහෙත් වලට ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා. සමහරු නම් කොහොමත් අපට ප්‍රතිචාර දක්වන්නේ නෑ.

    ReplyDelete
  7. අදයි අහම්බෙන් මේ පැත්තට අවේ ... හරිම හැඟුම්බර ලිපි පෙළක් එක දිගට කියවන ගියා...
    කොහොමහරි දිගටම ලියන්න...

    ReplyDelete
  8. සරත් ගුණතූංග - ඔබේ අවවාද අගෙයි. සේවය කිරීම විතරක් නොවේ අප ජීවත් වෙනවා යැයි සැබැවින් දැනෙනවා. ඒ අනුන් වෙත කරනා හොඳ පමණක්ම සදාකල් ඉතිරි වෙන නිසා. ස්තූතියි.

    සරත් ලංකාප්‍රිය - මනසේ තුවාල සුව කරන්න නම් ඉතා අමාරුයි. සමහර විට සදහටම ඒ තුවාල වණ වෙමින් දුක් දෙනවා.

    ගිම්හානි - ස්තූතියි නංගී, මේ අයගේ ජීවිත දිහා බලාගෙන හිඳීම දුකක්. ඒත් ඒ දුකට පොඩ්ඩක් හරි සහනයක් ගෙනෙන්නට රජයේ වෛද්‍යවරුන් හැටියට අපිට පුළුවන් වීම අප ලද භාග්‍යයක්.

    දිනූෂා - ඔබේ පැමිණීම වගේම අදහසත් ගොඩක් වටිනවා. ඉඩ ලැබෙන පරිදි ලියන්න ඕනේ. ස්තූතියි නංගී

    ReplyDelete
  9. වැදගත් ව්‍යායාමයක්..
    යථාර්ථය අත් දකින එක ලොකු දෙයක්..

    ReplyDelete
  10. මිනිසත් ලක්ෂණ විහිදෙන සුන්දර සත්‍ය කතාවක් , ඔබේ සටහන ඔබේ තුල පවතින සංවේදී මානුශීය ගුණාංග වල කැඩපතක් වගේ කියලයි මට හිතෙන්නේ , අද කාසියත් එක්ක හඹායන රටාවක් පවතින සමාජයක ඔබේ මේ වදන් හරියට සීතල දිය දහරක් වගේ සුන්දරයි , සිසිලසයි ,

    ReplyDelete
  11. indi - යතාර්ථය අත් දකින බව දකින එකත් ලොකු දෙයක් !

    මහේෂ් - ස්තූතියි ඔබට. අපේ මේ වෑයම තවම නිම නෑ. තවමත් අපි සහ අපේ ඒකකය මගින් ඔවුන් ගැන සොයා බලමින් ඔවුන්ට අවශ්‍ය සෑම සහයෝගයක්ම දෙනවා. ලීයනවාට වඩා අපි ක්‍රියාත්මක නිසා සතුටුයි. ලියන්නේ අන් අයව දැනුවත් කිරීමට , මේ ලියමන නිසා අපි සමග එකතු වූනු පිරිස් ද බොහෝමයි.

    ReplyDelete
  12. සමහරු පත්තර වලට ලිපි ලිව්වට ඒ ලිපිය යථාර්තයක් කරන්න උත්සහ කරන්නේ කීයෙන් කීදෙනාද? නමුත් ඔබ බ්ලොග් එකේ සටහනක් තියන ගමන් ඒවා ක්‍රියාවෙනුත් ඔප්පු කරලා ලෝකයට පෙන්වන එක තමා වටිනාකම. දිරියෙන් ඉදිරියට යන්න ඔබට ධෛර්යය ලැබේවා !!!

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !