Thursday, September 13, 2018

ටිපීගේ සමයං samaga හරි දඟ පොඩි කාලේ


ප්‍රභානී තෙන්නකෝන් සොයුරිය විසින් රචිත,

ටිපීගේ සමයං
හරි දඟ පොඩි කාලේ
යන කෘති ද්විත්වය ගැන කතා කරන්නට ඇගේ පොත් දොරට වැඩුමේදී මට අවස්ථාව ලැබුනා. මේ පොත් දෙක ගැන මගේ කතා බහ මම හිතුවා ලියා තබන එක හොඳයි කියලා.

මොකද මේ පොත් දෙක වැඩිහිටියන් වශයෙන්ද, දෙමාපියන් වශයෙන්ද මම ,ඔබ අපි සෑම දෙනාම කියවිය යුතුම පොත් දෙකක් නිසා.
මේ පොත් ගැන මට කතා කරන්න තියෙන්නෙ වෙනස්ම මාතෘකාවක්. “ළමා මනස සහ මව්පිය භාවය“ මූලික කරගෙන මේ පොත් ගැන කතා කරන්න පුළුවන්දැයි යෝජනාවක් ලැබුනා. ඉතින් ඒ ගැන කියන්න මම ටිපීගේ සමයං පොතෙන් මෙන්න මේ කියමන් ටික එකතු කරගත්තා

ටිපී මහතාට එක තැනක එක විදිහකට ඉන්නවා යනු මරන්න දෙයකි.
ටිපී මහතා පරිසරය කෙරෙහි මහත්වූ ආදරයෙන් සිටින දරුවෙකි. ටිපී බොහෝ සේ ආදරණීය දරුවෙකි එමෙන්ම ඉතාමත් දඟ දරුවෙකි
“ටිපී මහතා ඉතාමත් කුතුහල පැංචෙකි.
ටිපී මහතා හා මග බැසීම යනු මහ අතුරු කරදර තොගයක මුලකි. ඔබ කවුරුත් දන්නා පරිදි ටිපී මහතා උපන්ගෙයිම දඟයෙකි

මේ සමාජයේ වැඩිහිටියන් බවට පත් වෙන්නේ යම්කිසි කාලයක දරුවන් හැටියට සමාජයේ හිටපු අය. සමාජයේ සියළු දේ විඳ දරාගෙන ලොකු මහත් වූ අය. මේ ලොකු මහත් වීමේදී අම්මා කෙනෙක් කියන කෙනාට ලොකු භූමිකාවක් තියෙනවා දරුවෙක් වෙනුවෙන්.  අම්මා සහ දරුවා අතර බැඳීම හරි විශාලව දැනුණු දෙයක්. මුහුණු පොතෙන් මම ප්‍රභානිගේ කතා කියවලා තියෙනව, හැම දෙයින්ම මම දකින්නේ තමන්ගේ ලෝකයම දරුවා කරගත්ත අම්මා කෙනෙක්.  සාර්ථක ලේඛිකාවක් මෙන්ම මේ දරුවාගේ ලෝකය ඉතා සුන්දරව විඳින මවක්.

නමුත් ලංකා සමාජය තුල මෙහෙම අම්මලා මම දකින්නේ හරිම අඩුවෙන්. මම පහුගිය අවුරුදු 4 ම වැඩ කළේ ළමා වාට්ටු වල , නමුත් මම ඒ කිසිම තැනක දැක්කේ නෑ, දරුවන්ගේ ලෝකය සුන්දරව විඳින අම්මලා. මොකද ඒක මම හිතන්නේ අපේ රටේ, අපේ සමාජයේ  ප්‍රශ්නයක්. මේ මම වුනත් වෛද්‍යවරියක් හැටියට ජීවිතය සහ රැකියාව එක්ක ඔට්ටු වෙන ගමන් මගේ දරුවාගේ ලෝකය විඳින්න කාලය අවස්ථාව මට අඩු වෙලා තියෙනවා. හෙදියන් ගුරුවරියන් මේ හැමෝටම තියෙන්නේ මේ ජීවන බරත් එක්ක මේ ආර්ථික යුද්ධයත් එක්ක අපේ රට පත්වෙලා තියෙන සාමාජීය ප්‍රශ්නත් එක්ක ගැටෙන ගමන් දරුවනේ ලෝකයට හදිස්සියේ එබෙන්නන් බවට පත් වෙලා.

නමුත් ටිපී හරිම වාසනාවන්තයි ! එයාට ඉන්නවා අම්මා කෙනෙක්, එයා පසුපස සෙවනැල්ලක් වගේ ඉඳගෙන එයා ගැන දකින, විඳින.  එයාගේ ඒ සුන්දර ළමා කාලය ඒ විදිහට විඳින්න ඉඩ දෙන අම්මා කෙනෙක්. ටිපී ගේ කතාව එහෙම ලියවෙනකොට ප්‍රභානිගේ පොඩි කාලේ ගැන කියවෙන හරි දඟ පොඩි කාලේ තුළින් අපිට ගමක ගම්බද පරිසරයත් එක්ක ගැටෙමින් හරි අපූරුවට ළමා කාලය ගත කරන දරුවෙක්  මුණ ගැහෙනවා. එතකොට සාහිත්‍යය ළමා මනස සහ මව්පිය බාවය කියන කාරණය ගැන කොහොමද සම්බන්දය ඇති කරගන්නේ කියලා හිතනකොට මට කතා කිහිපයක් මතක් වෙනවා.
එකක් මගේ මිතුරෙක් ගැන, ඔහු කිසි විටක අපි එක්ක කතා බහට එන්නෙ නෑ. වෙන්ව සිටින්නයි කැමති , කා එක්කවත් මුසු වෙන්න කැමති නෑ, වෙනම තමන්ගේ ලෝකයක ඉන්න කැමති කෙනෙක්, ෆෝන් එක දිහා බලාගෙන ඉන්න සිරිතක් තිබුනා. කාලයක් ගිය තැන ඔහු මා සමග මිතුරු වුන නිසා කියනවා. “ මට ගෑණු අය එක්ක හරි වෛරයි ඒකයි මට ඕගොල්ලොන්ව අල්ලන්නැත්තේ” කියලා. ඉන්පසුව කියනවා මගෙ අම්මා එක්ක මම දැඩි වෛරයකින් ඉන්නේ කියලා. තව ඔහොම කතා කරගෙන යද්දී කියනවා මගෙ අම්මා මම පොඩි කාලේ ළඟට අඬගහලා ඔළුව අත ගාලා කතන්දරයක් කියලා දීලවත් නෑ. මම වෛද්‍ය විද්‍යාලයේ ඉන්නකොට පවා මම කොහේ ඉන්නවද කියලවත් එයාට දැනුමක් තිබ්බේ නෑ. එයා කළේ බත් ටික උයලා කඳු ගහලා කෑම පිඟන් දෙන එක, රෙදි හෝදලා දෙන එක. ඒ වගේ වැඩ කරනවා මිසක් අපි එක්ක කතා බහ කරේ නෑ කියලා .  මේ කතාවෙන් අපට ලොකු පණිවිඩයක් දෙනවා. ඒ එහෙම හැදුණු දරුවා සමාජයෙන් අයින් වෙලා සමාජය සමග වෛරයෙන් ගැහැණු කෙරෙහි වෛරයෙන් ඉන්න කෙනෙක් බවට පත්වෙන්න සිදුවුනේ අම්මාගෙන් ලැබිය යුතු සෙනෙහස සහ මග පෙන්වීම නොලැබුණු නිසයි කියලා.
තව දරුවෙක් හමුවෙනවා අම්මා තාත්තා හරිම පොහොසත්, ඒ දරුවාට අවුරුදු තුනක් පමණ ඇති. ඒ දරුවා වාට්ටුවට ගෙනා විට, ඒ දරුවා හැසිරුණේ, කූඩු කළ සතෙක් ඉන් එළියට ගෙනාවා වගේ. කිසිම වචනයක් ඒ දරුවා කතා කළේ නෑ. අපි ඒ මව්පියන් සමග කතා බස් කළ විට අපිට තේරුණේ ඒ දරුවා හදන්නේ, වැසුණු පරිසරයක හෙවත් closed environment එකක කියලා. ඒ කියන්නේ කිසිම සමාජ ඇසුරක් නැතිව ඒ දරුවා හැදෙන්නේ. කවුරුත් ගෙදර එන්නේ නෑ ඒ අය බලන්න, පුළුල් තිර ඇති රූපවාහිනියෙන් කාටූන්  පෙන්වනවා. ගෙදර තියෙන්නේ අති විශාල සෙල්ලම් බඩු, ඔවුන් කුඩා සියුම් දේවල් කිසිම දෙයක් අල්ලන්න හෝ සෙල්ලම් කරන්න දෙන්නෙ නෑ ඒකට හේතුව ළමයා ගිළියි කටේ දමයි කියලා, අපි පරීක්ෂා කරද්දි තේරුණු දෙයක් තමයි ඒ දරුවට කුඩා සියුම් දේවල් අතේ ඇඟිලි වලින් හසුරුවන්න පෑනක් අල්ලන්න බොත්තමක් දාගන්න ඒ කිසිත් බැහැ. කාල සටහනකට ඒ දරුවව හදන්නේ, ඒ දරුවා ඒ වෙද්දිත් වචනයක් කතා කරන්නෙ නෑ මොකද ඒ දරුවා එක්ක කවුරුත් කතා කරන්නේ නෑ.
ඔය වගේ දහස් ගණන් දරුවෝ මට මුණ ගැහෙනවා මේ සමාජය තුල අතරමං වුණු. ඔවුන් දන්නේ නෑ ඔවුන් කළ යුත්තේ කුමක්ද කියලා. සමහර දෙමාපියෝ ඔවුන්ව පාසැලට ඇරලලා ගියාට පසුව ඔවුන් ආයේ දරුවන් දකින්නේ මහ රෑට. ඔය වගේ තත්වයන් තුල අපට ළමා සාහිත්‍යයක් ගැන කතා කරන්න සිදුවෙනවා. අධික වේගයෙන් මේ සමාජ තරඟයේ විභාග සහ අනෙකුත් දේ අතර දුවන දරුවන්ට කතන්දර පොත් කියවන්න කියනවා ඒක කොච්චර අමාරුද කියලා මම අත් දුටුවා. මොකද මම සේවය කළ වාට්ටුවේ තිබ්බ පොත් කබඩ් එකෙන් පොතක් අරන් කියවන්න කියලා දරුවන්ට ඇවිලිටි කරන්න අපට සිදු වුණා. දරුවන්ට පොත් අවශ්‍ය වුනේ නෑ ඔවුන් පුරුදු වෙලා තිබ්බේ තමන්ගේ මවගේ ජංගම දුරකථනයෙන් ගේම් ගහන්න. එක්කෝ වාට්ටුවේ රූපවාහිනිය ඉස්සරහ ඉඳගෙන වැඩිහිටි නාට්‍ය බලන්න. අපේ හෙද සොයුරියන් ඒ වෙනුවෙන් කැප වුනා. ඔවුන් පොත් කියවන්න උනන්දු කළා. කාලයක් යනකොට වාට්ටුවට ඇතුල් වෙන දරුවන්ට පොත් කියවන එක හුරුවෙලා ඔවුන් ඉල්ල ඉල්ල පොත් කියවන්න පුරුදු වුණා
මං හිතන්නේ දරුවෙක් කියන්නේ ගහක්.  ගහක් වැඩෙන්න හිරු එළිය ජලය හැමදේම අවශ්‍යයි වගේ. දරුවා වැඩෙන්නත්, දෙමාපියන්, වැඩිහිටියන්,පරිසරය සහ වටපිටාවෙන් ලැබෙන ආභාෂය ගොඩක් වැදගත්.
කෙනෙක්ගේ වර්ධනයක් වෙන්න නම් ඔහු අවට පරිසරය සමග ගැටෙන්න ඕනෙ අවට පරිසරයෙන් එන බාදා හඳුනාගන්න ඕනේ. ඒකට හොඳ උදාහරණයක් මට මේ පොතෙන් හමුවෙනවා. මේ පොතේ ඉන්න ටිපී මහතා දන්නේ නෑ කුකුලා හෝ කටුස්සා කවුද කියලා. එනිසා ඔහු ඔවුන් වැළඳගෙන සිපගන්න උත්සහ ගන්නවා. නමුත් ඉන්පසු ඔහු මේ පරිසරය තුලදී සත්වයින් හඳුනාගන්නවා.
අපේ දරුවන්ට වෙන්නේ මෙන්න මේ ටිකයි. ඔවුන් දන්නේ ටීවී එකේ යන කාටූන් ටිකයි , ජංගමයෙන් බලන ගේම් ට්කයි පමණයි, ස්ක්‍රීන් එකක කතාවක් බලද්දී ඒ කතාව ඔවුන් ඉදිරියේ රූප මට්ටමෙන් තිබෙනවා. එය මවා ගන්න විශේෂ වෙහෙසක් ගන්න ඕනේ නෑ. නමුත් පොතක අකුරෙන් අකුර ඒවා කියවද්දී මනස තුලින් මේ කතා රූපමය වශයෙන් මැවී පේනවා. අන්න එතකොටයි පරිකල්පන ශක්තිය වර්ධනය වෙන්නේ. විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා මේ දෙකෙන් දරුවෙක්ගේ මොළය වර්ධනයට අවශ්‍ය වෙන්නේ, මේ කතා කියවීම සහ කතන්දර ඇසීම තුලින් බව.
අද අපි දකින ඕටිසම් හෝ බුද්ධි හීන දරුවෙක් තුලින් දකින ලක්ෂණ අපි දකිනවා එක දිගට ටීවී හෝ පරිගණක තිරයකට ඇබ්බැහි වුණ දරුවන්ගෙන්. විද්‍යාඥයින් පෙන්වලා දෙනවා මේ ස්ක්‍රීන් ටයිම් එක කියන එක පුළුවන් තරම් අඩු කරලා මේ දරුවන්ව පොත පතට යොමු කරන්න කියලා. චිත්‍ර අඳින්න, කුරුටු ගාන්න දෙන්න කියලා. ඒවගේම පොතක් කියවන්න දෙන්න කියලා කියනවා සුරංඟනා කතා පොත් වැඩියෙන් කියවන්න දෙන්න කියලා කියනවා.

මේවායින් දරුවෙක් තුල තාර්කික බුද්ධිය, අවබෝදයෙන් අනතුරු වලකා ගන්න, වගකීම් ගන්න, මේ සියළු දේ ළමයා තුල වර්ධනය වෙනවා
ළමා මනසක වර්ධනයට විශේෂයෙන්ම සුරංඟනා කතා කියවන්න දීම ගැන, ඒ සුරංගනා කතා වල තිබෙන මනෝ විද්‍යාත්මක පසුබිම මොවුන් පැහැදිලි කරනවා. ඇල්බට් අයින්ස්ටයින් පවා කියා තිබෙනවා වැඩිපුර දරුවන්ට සුරංගනා කතා කියවන්න කියලා.
දැන් අපි දකින ටිපී ගත්තොත් ඔහුට මේ හැමදේම ලැබෙනවා, ප්‍රභානි ට ඇගේ අම්මගෙන් තාත්තගෙන් ලැබුණ ඒ දේවල්. මං එහෙම කියන්නේ මේ පොත් දෙකේ ඇති අපූරුම කතා ගොන්න නිසා.  අපිට මේ පොත තුලින් ගොරක යක්කු , මායා බෝංචි ඇට,ලොකට් ගෙඩි, පළා පොළඟා , එස්කොමෝ ගෙවල් හමුවෙනවා.  මේ දේවල් තුලින් අපිට ගෙනෙන්නේ ඒ සුන්දර ළමා කාලය ගැන සංඥා.
ඒත් මට අද සමාජයේ  හමුවෙන දරුවොන්ට මේ දේවල් ලැබෙන්නෙ නෑ.  සමහර විට ඔවුන් රෝහලේ වාට්ටුවේ ඉන්න තමා වඩා කැමති. මොකද ඔවුන්ට ගෙවල් වල නිදා ගන්න මෙට්ටයක්වත් නෑ. අපි සමහර විට බෙහෙත් බොන්න අදිමදි කරන දරුවන්ව බය කරන්න කියනවා,
“මේ බෙහෙත බිව්වේ නැත්නම් ගෙදර යවන්නේ නෑ, එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් දෙනවා කියලා”
මට හමුවෙන මේ අපූරු දරුවෝ කියන්නේ  “ හරි අපිව තියාගන්න අපි කැමතියි මෙහෙ ඉන්න” කියලා
මේ දරුවන්ගේ ලෝකය ඒ තරම් දූෂිත සහ දරුණු සමාජ වටපිටාවක් නිසා.
ඊළඟට මට හිතෙන දෙයක් තමා, ටිපීගේ සමයං කතාව කියවිය යුත්තේ අපේ රටේ අම්මලා තාත්තලා බව.  අම්මා කෙනෙක් දරුවෙක් කෙරෙහි සංවේදී විය යුත්තේ කොහොමද ඒදේවල් ඉවසිය යුත්තේ කොහොමද , අවශ්‍ය තැනදී දඬුවම් දිය යුත්තේ කෙසේද කියලා අපිට මේ කතා තුලින් වැටහෙනවා හරි දඟ පොඩි කාලේ කියවිය යුත්තේ අපේ ළමාවියෙන් නව යොවුන් වියට එළඹෙනදරුවන්.
කියමනක් තියෙනවා, our main task is to raise kids who don’t have to recover from their childhood කියලා.

අපි දෙමාපියන් වශයෙන් දරුවෝ හදන්න ඕනේ ඒ දරුවොන්ට තමන්ගේ කුඩා කාලයේ සිදුවෙච්ච දේවල් වලින් මිදෙන්න පුළුවන් දරුවෝ ඒ කියන්නේ  අපි බහුතරයක් ගත්තොත් මේ සමාජයේ වැඩිහිටියන් බවට පත් වුනාට, කුඩා කළ ඉඳන් අපට සිදු වෙච්ච අකරතැබ්බ , අකටයුතුකම්, දුක්කරදර හිරි හැර වලින් අපි අපේ මනස අසනීප කරගෙන ඉන්නේ. 

මේක තමයි අපේ රටේ ප්‍රධානම තියෙන සමාජ ප්‍රශ්නය.
ඒ අසනීප වුණු තුවාල වුණු මනසත් එක්ක වැඩිහිටියෝ බවට පත්වුනත්, සමාජයේ බහුතරයක් දන්නේ නෑ ඒ තුවාල හොඳ කරගන්න. පරිණත බවක් කොහෙත්ම දකින්න ලැබෙන්නෙ නෑ. මේ පරිණත බව නැති හින්දා තමයි අපි දකින්නේ, තාමත් දරුවෝ වගේ රණ්ඩු කරන පිරිස්, හැමදෙයින්ම හිත රිදෝගන්න පිරිස් සහ අනුන් කෙරෙහි සංවේදී නොවන පිරිස්. 

නමුත් මම හිතනවා මෙවැනි මේ පොත්  තුලින්  දෙමාපියන්ට ලොකු පණිවිඩයක් දෙනවා, සාර්ථක දරුවන් බිහි කරන්නේ කොහොමද කියලා, ඒ කියනෙනෙ පොත පතේ දැනුමෙන් සාර්ථක දරුවන් නොවේ සමාජ දැනුමෙන් පිරිපුන් දරුවන් බිහි කරන්නේ කොහොමද කියලා.
ඊළඟට මම මේ පොත් වල රසවත් තැන් දෙක තුනක් මම උපුටා ගන්නවා
එකක් තමා , ටිපී ගේ ටිපිකල් වැඩ, කියලා මට හිතුන තැන්. මම හිතලා බැලුවා ඇයි මේ ළමයට ටිපී කියන්නේ කියලා,
එකක් තමා ටිප්සි කියනවා විනෝදකාමී, බරක්පතලක් නැති හැසීරීම් වලට
තව තේරුමක් ලැබුනා, ඕනෑම මොහොතක නොපිට පෙරලෙන්න පුළුවන් කියන තේරුම.
ඔන්න අම්මා දවසක් ටිපීව මිත්තනියට බාරදීලා ගමනක් ගිහින් එනකොට මිත්තනියත් ඉන්නවලු ටිපීත් ඉන්නවලු, ගෙදර බඩු මුට්ටු විසිරිලා හතර අත. ටිපීගෙන් මේ සන්තෑසිය මොකක්ද ඇහුවම ලැබෙන පිළිතුර

“ෂ් ෂ් ෂ් කිටී දොයි” කියලා
“ඉලක්කම් ලිව්වද “
“කිටී දොයි අම්මේ”
“මේ සෙල්ලම් බඩු”
“කිටී දොයි අම්මේ සද්ද කරන්න එපා”

මෙලෙස අහන හැම ප්‍රශ්නෙටම පිළිතුර කිටී දොයි කියන ටිපීගෙන් අහලා වැඩක් නැති තැන මේ අම්මා තාත්තාගෙන් අහනවා, මෙච්චර විනාශයක් කරනකම් ඔයා මොකද කළේ කියලා.. එතකොට තාත්තා අම්මා දිහා බලලා කියනවලු “ෂ් කිටී දොයි” කියලා
මේ අපි දකින ටිපී. මේ වගේ කතා ගොන්නක්ම කියවන්න පුළුවන් ටිපීගේ සමයං පොතෙන් ඒ එක්කම මේ තරම් ඉවසීමක් සහ සාහිත්‍ය ගැන සංවේදී වෙන මේ අම්මා කුඩා කල, සාලය පුරාම සබන් පෙණ හලාගෙන තාත්තා ගෙනා සීත කබායක් ඇඳගෙන එස්කිමෝ ගෙවල් හදපු කතාව අපිට හමුවෙනවා හරි දඟ පොඩි කාලයෙන්.
පුතා කරන දඟ වැඩ ලියන අම්මා කළ දඟ වැඩ හමුවෙද්දි මට ඒ සිදුවීම් වල වෙනසක් පෙනෙන්නේ නෑ

ප්‍රභානි තමන්ගේ දරුවා කෙරෙහි සංවේදී අම්මා කෙනෙක්. ඒක එහෙම වෙද්දී මට හමුවෙනවා දරුවෝ , ඔවුන්ගේ දෙමාපියන් එක්ක ගැටුම් ඇතිකරගෙන යම් යම් විනාශකාරී දේවල් ඔවුන්ගේ ජීවිත වලට කරගත්තු.
අපේ වාට්ටු වලට එනවා දරුවෝ, අවුරුදු පහළොවේ 16 පමණක් නොවේ, අවුරුදු හතේ අටේ ළමයි අම්මලාට පාඩම් උගන්වන්න පැනඩෝල් බීලා වස බීලා.

එක දරුවෙක්ගෙන් ඇහුවම ඇයි පුතේ මෙහෙම කරගත්තෙ කියලා.
“අම්මා අයියට කිරි තේ දීලා මට ප්ලේන්ටි දුන්නා නිසා”
තව කෙනෙක් කියනවා, “අල්ලපු ගෙදර හරකා අල්ලන්න ගිය නිසා අම්මා බැන්නා ඒකයි”කියලා.
අද අම්මලාගේ දරුවන්ගේ විරසකය දැඩිව පෙනෙන්නට තියෙනවා.
දරුවෙක් කෙරෙහි මවක් ඉවසන්නේ කොහොමද කියන එක මේ පොත කියවද්දී අපිට මේ කතා තුලින් අපූරුවට වැටහෙනවා.
සමහර අම්මලාට තේරෙන්නෙ නෑ දරුවාගේ මනස තුල ඇතිවෙන සිතුවිලි කොහොම වෙයිද කියලා. අම්මා තමන්ගේ දුක හෝ කෝපය පිටකරගන්න වදන් හසුරනවා, ඒ දරුවාගේ මනස තුල ඒකෙන් සිදුවෙන හානිය ඇය දන්නෙ නෑ.  මේ සමාජයේ තියෙන ප්‍රචාරන රැල්ලත් එක්ක ඔවුන් පෙළඹෙනවා මොනවා හෝ දරුණු දෙයක් කරගෙන ජීවිතේ හානි කරගෙන අම්මට පාඩමක් උගන්වන්න.
එක පැත්තකින් අපි දරුවන්ට දොස් කියනවා දරා ගන්න ශක්තියක් නෑ කියලා අනිත් පැත්තෙන් අපේ දෙමාපියන් තුලදරුවන් තේරුම් නොගැනීම කියන දුර්වලතාවය පෙන්නුම්කරනවා.
ඉතින් ප්‍රභානි, මවක් හැටියට තමන්ගේ දරුවාගේ ළමාකාලය සුන්දරව ගෙවෙන්න අවශ්‍ය උපදේශනයසහ මගපෙන්වීම ලබා දෙනගමන්, අපිවරසවත් කරනවා මේවා ලියා තැබීම තුලින්
ඇගේ කුඩාකාලය ගැන මේ කෘතිය තුලින් අපට විශ්වාස කරන්න බැරි තරම් සුන්දර ළමා කාලයක් ගැන අපිව මොහොතකට වෙනස් සමාජයකට ගෙනයනවා. මොකද අපට මේවගේ ළමාකාලයක් තිබුනේ නෑ. අපි නාගරික සමාජය තුලදැඩි අර්බුධකාරී තත්වයන්ට මුහුණ දුන්නා. ප්‍රබානි හරි වාසනාවන්තයි. ඉතින් මේ වගේ සුන්දර ළමා කාලයක් අපේ දරුවන්ට ලබා දෙන්න පුළුවන්නම්, ඔවුන් සමාජය ගැන සංවේදී මිනිස්සු, සාහිත්‍යය ගැන ඇල්මක් ඇති මිනිස්සු සහ අනුන්ගේ දුක කෙරෙහි සානුකම්පිත මිනිස්සු බවට පත්වෙනු නො අනුමානයි.
හරි දඟ පොඩි කාලේ,
ටිපීගේ සමයං
මේ පොත් ද්විත්වය තුලින් අපිට මග හැරුණු දෑ, හරි ගැස්විය යුතු දෑ, කපා ඉවත් කළ යුතු දෑ, ළඟට ගෙන බදා වැළඳගතයුතු දෑ මේවා යැයි කියා දුන්නාට ප්‍රභානි තෙන්නකෝන් සොයුරියට ස්තූති වන්ත වෙමි.


වෛද්‍ය බෝධිනී සමරතුංග


Thursday, September 6, 2018

ළදරුවන්ගේ නින්ද




 ළදරුවන් වෙනම කාමරයක නින්ද පුහුණු කිරීම සුදුසු ද ?

මහාචාර්‍ය ජේම්ස් ජේ මැකෙනා යනු   co- sleeping හෙවත් මව සහ ළදරුවා එකම කාමරයේ නිදා ගැනීම ගැන, මව් කිරි දීම ගැන සහ SIDS හෙවත් හදිසියේ සිදුවන ළදරු මරණ ගැන පර් යේෂණ රාශියක් කළ කෙනෙක්. ඔහුගේ පැහැදිලි කිරීම් වල සංශිප්තයක් සමග නොයෙක් පර්යේෂන පත්‍රිකා උපයෝගී කරගෙන මේ සටහන මම ඔබ හැම වෙනුවෙන් සකස් කළේ කාන්තා සමූහයක ඇතිවූ වාද විවාදයක් ඇස ගැටුණු නිසා.
මේ කතා කරන්නේ අවට ලෝකය ගැන කොහෙත්ම වැටහීමක් නොමැති, කුඩාම බිළිඳුන් ගැනය. අවුරුදු 4 , 5 පසුවූ වැඩුණු දරුවන් ගැන නොවේ. එනමුත් ඔබේ දරුවාගේ වර්ධනය අනුව ඔවුන් ගැන ඔබ තීරණ ගන්න.
මේ විවිද ක්‍රම ගැන ලෝකේ හැම තැනම කතා බහ කෙරෙනවා. නමුත් පර් යේෂන සහ ක්‍රමෝපායන් මගින් විවිද කාල තුලදී හිතන් ඉන්න මතයේ හරි වැරදි සාකච්ජා කෙරෙනවා

අද වන විට ලෝකයේ බොහෝ අය (විශේෂඥ වෛද්‍යවරුන් පවා) කියන්නේ මව සහ ළදරුවා එකම කාමරයේ නිදා ගැනීම තමයි වඩාත් ම සුදුසු කියලා. හැබැයි මේ කියමන,  එකම ඇඳේ  වැඩිහිටියන් සහ බිළිඳුන් නිදියෑම කියා කියන්නේ නෑ. ඒක නම් අප කවුරුත් එකඟ නොවන දෙයක්. මමත් ළදරු සහ ළමා වාට්ටු වල වෛද්‍ය වෘත්තිකයෙක්ලෙස සේවය කළ අයෙක් මෙන්ම අවුරුදු තුනක කුඩා දරුවෙක්ගේ මවක්, එනිසා මේ ගැටළු ගැන වැඩිපුර සොයා බලනවා.  මම අන්තර්ජාලය තුල නවීන පර්යේෂන කියවනවා, එමෙන්ම ඇතැම් දේ එහෙම වෙන්නේ හෝ කියන්නේ ඇයි කියා සොයා බලනවා. ඒවාට විද්‍යාත්මක කරුණු සහ පදනම් සොයනවා.

ඇමෙරිකාවේ දී කරන ලද බොහෝ පරීක්ෂන වලදී, මරිකානුවන් තම දරුවන්ට හැකි ඉක්මනින් ස්වාධීන වීමට උගැන්වීමට උනන්දු වුවද, තනිවම දරාගැනීමට ළදරුවාට හෝ ඉතා කුඩා දරුවාට බල කිරීම ස්වාධීනත්වය පෝෂණය කිරීමේ ක්‍රමයක් නොවන බව මේ පර්යේෂන වලදී සොයාගෙන තිබෙනවා. ස්වාධීනත්වය ඇති වෙන්නේ ළදරුවාගේ අවශ්‍යතාවයන් ප්‍රමාණවත් පරිදි සපුරාලීම තුලින් එළබෙන සුරක්ෂිත බව මුසු වූ සම්බන්ධතාවයකින්. ඒ කියන්නේ දරුවාට මව/පියා සමග ඇති සබඳතාවය වැඩි දියුණු කිරීමෙන් බව මෙහිදී අවධාරණය කරනවා.

කිසිවක් කරගත නොහැකි ළදරුවකුට (සහ කුඩා දරුවකුට), නොසැලකීම හා නොසලකා හැරීම මගින් ඉතා ආවේගාත්මක පීඩනයක් සිතට ගෙන දේ. සුළු මානසික ආතතියෙන් පටන් ගෙන ඔවුන්ට දරාගත නොහැකි තරම් මානසික ආතතියක් ළදරුවන් කෙරෙහි ඇති කිරීම මොළයේ වර්ධනයට හානිකර බව මේ පර්යේෂන මගින් කියනවා.



මාස 6 කට අඩු ළදරුවන් සඳහා නිදාගැනීමේ වැඩසටහන් ක්‍රමානුකූලව සමාලෝචනය කරන ලද, සංවර්ධන හා හැසිරීම් යන අංශ රැසක පර්යේෂන පත්‍රිකා මෑතකදී ප්‍රකාශයට පත් කර තිබුනා . එම පර් යේෂන පත්‍රිකාවක සඳහන් පරිදී ළදරුවන් වෙනම නිදි කිරීමේ උපාය මාර්ගයන් මගින් එම ළදරුවන් මුල් ළමා වියේදී හෝ, පසුව ළමා කාලය තුළ තනිව හොඳින් නිදා ගැනීම හෝ,ඇඬීම අඩු වීම හෝ හැසිරීමේ ගැටළු වළක්වා ගැනීම වැනි දෑ වල වෙනසක් සිදු නොවන බව පෙන්නුම් කර ඇති බව නිගමනය කර ඇත. ළදරුවා මෙන්ම මව ද දරුණු මානසික අවපීඩනයෙන් ආරක්ෂා වීම එකට නිදාගැනීම තුලින් සිදුවෙන බවද සඳහන් වේ . සැබවින්ම, ළදරුවන්ගේ ජීවිතයේ මුල් සති හා මාසවලදී තනිව නිදාගැනීමේ දී SIDS ( sudden infant death syndrome)  හෙවත් හදිසියේ සිදුවන ළදරු මරණ ඇතිවීමේ අවදානමක් ඇතිවීම, මව්කිරි දීමේ ගැටළු වැඩිවීම, මවගේ කනස්සල්ල වැඩි වීම වැනි දෑ එහිදී අනාවරණය වී ඇත.

නෝත්‍ර ඩෑම් විශ්ව විද්යාලයේ මව්-බිළිදරු චර්යාත්මක නින්ද පිළිබඳ පර්යේෂන විද්‍යාගාරයේ අධ්‍යක්ෂ මහාචාර්‍ය ජේම්ස් මැකෙනා පවසන්නේ ජීව විද්‍යාත්මකව නිවැරදි ක්‍රමය නම් මව ළදරුවා එක ළඟ නිදා ගැනීම හෙවත් co sleeping බවත් , එය කිසිසේත්ම sleep training හෙවත් නින්ද පුහුණු කිරීම නොවන බවත් ය.
තාක්ෂණික වශයෙන්, එකට නිදා ගැනීම යනු ළදරුවා හා මව්පියන් එකිනෙකාගේ සංවේදක පරාසය තුළ ඇති අවකාශයේ නිදා ගැනීම ලෙස අර්ථ දැක්වේ.
බොහෝ විට එය එකම ඇඳ බෙදා ගැනීමට අදහස් කර නැත. එලෙස එකම ඇඳ බෙදා ගැනීමේදී අවදානම් බොහෝමයක් ඇත. වර්තමානයේ මහාචාර්‍ය මැකෙනා සහ තවත් බොහෝ අය එක්සත් ජනපදය තුළ කරන ලද පර් යේෂන අනුව ළදරුවා සහ මව්පියන් එකම කාමර අවකාශයේ නමුදු වෙන් වූ මතුපිටක් ඇති හෙවත් වෙන් වූ ඇඳක, බැසිනෙට් එකක කොට් එකක නිදා ගැනීම නිවැරදි බව පවසයි. නිදසුනක් වශයෙන්, බිලිඳු දරුවෙකු , දෙමාපියන්ගේ ඇඳ උඩ වෙනම කූඩයක හෝ ඇඳ අසල කුඩා ඇඳක් තුල තැබීම ගත හැක.

ළදරුවන්ට එසේ මව වඩා ළඟ වීම වැදගත් වන්නේ ඇයි?

උපතෙන් පසු, ළදරුවන් සහ මව විවිද අවස්ථා වලදී භෞතිකව සම්බන්ධ වන අතර, මෙම බැඳීම තුලින් ළදරුවන් ගේ මානසික වර්ධනය වඩා හොඳ වේ. උදාහරණයක් ලෙස මව්කිරි දීම, මොළයේ වර්ධනය හා අනාගතයේ දරුවාගේ සෞඛ්‍යය සඳහා ඉතා යෝගය. මව රැය පුරා ඇහැරෙමින් කිරි දීමේදී ළදරුවා කාමරය හෝ ඇඳ අසල සිටීමෙන් එය වඩා පහසුවේ. මමද එසේ කර ඇත්තෙමි. ඇත්තෙන්ම ඇයට මාස හතර පහ පමණ වන විට ඇඳ මත තියා ඇලවී කිරි දීම මට වඩා පහසු විය. රාත්‍රියේ දැඩි මහන්සියක් නොදැනිනි. ළදරුවන්ට සිදුවන හදිසි අනතුරු සහ හදිසි ළදරු මරණ සින්ඩ්රෝම් (SIDS) මව් කිරි දීම තුලින් අඩු වෙන බව ද පසු කාලයේ දියවැඩියාව සහ වෙනත් බරපතල සෞඛ්ය තත්වයන් ඇති වීම අඩු වන බව ද අපි ඉගෙන ගතිමු .

 මව්කිරි දීමෙන් මව්වරුන්ට පවා පසු ප්‍රසව මානසික පීඩන තත්වයන්, හෘද රෝග, දියවැඩියාව හා අධි රුධිර පීඩනය අවම කරන බව පර් යේෂකයින් පෙන්වා දේ . පියයුරු වල කිරි අඩු කැලරි (නමුත් ජීර්ණයට පහසුය). එබැවින් දරුවන් පැය දෙකකට  හෝ දෙකහමාරකට පමණ පෝෂණය වේ. ළදරුවා සමීපයේ නිදා සිටින විට මවට වුවද සැහැල්ලුවෙන් නිදා ගන්නට පුළුවන් බවද ඔවුන් පෙන්වාදෙන්නේ මවගේ මනසේ ඇති අනාරක්ෂිත බව පිළිබඳ සැකය සහ ආතතිය ඉන් ඉවත් වන නිසා ය . ළදරුවා සමීපයට හෝ ආසන්නව සිටීමෙන් පහසු ප්‍රවේශයක් ද ලබා දේ. ළදරුවාට භෞතික වශයෙන් සුරක්ෂිත පරිසරයක්ද ඉන් සකස් වේ.

ළදරුවා එක දිගට නිදාගන්න එක හොඳ ද ?

ඊළඟට එක් පර්යේෂනයකදී මහාචාර්‍ය මැකෙනා පෙන්වා දෙනවා ළදරුවන් රාත්‍රී කාලයේ  13-15 වාරයක් පමණ අවදි වෙනවාය කියා. එහෙත් එයට එකම හේතුව කිරි ඕනෑ වීම නොවන බවත් දරුවන් එසේ ඇහැරෙන විට ඔක්සිජන් මට්ටම සහ හෘද ස්පන්දන වේගය ඉහළ යන අතර , එය දරුවාගේ මොළය වර්ධනය, මාංශපේෂී වර්ධනය සහ ප්‍රතිශක්තිය වැඩිවිම සහ එහි ක්රියාකාරීත්වය සඳහා ඉතා හොඳ බව ඔවුන් පෙන්වා දේ. (නොමේරූ ළදරු ඒකක වල වැඩ කර ඇති නිසා මෙය අත්දැක තිබේ ) සැහැල්ලු නින්ද අවදිවීම තුලින් ශ්වසන අපහසුතා හෝ ශ්වසනය නැවතුම් අඩු කරන අතර දිගුකාලීනව මාරාන්තික විය හැකි ආශ්වාසය නතර කිරීම වළක්වයි. එනම් හදිසි ළදරු මරණ වලක්වාලනු ඇත.
නිතර නැගිටීමට හේතුව දරුවාගේ පමණක් නොවේ. 

මහාචාර්‍ය මැකෙනා,  පර්යේෂන වලදී එම මව්වරුන් 40% වාරයක් පමණ ළදරුවන් ඇහැරවන බව සොයාගෙන ඇති අතර, එම කාලය තුළ ළදරුවන් 60% වාරයක් පමණ මවුවරුන් අවදි කර ඇති බවත් නිරීක්ෂනය කර ඇත. ඔවුන් සිය පරීක්ෂණාගාරයේ නිදාගෙන සිටින විට රාත්‍රියට පෙනෙන කැමරා මගින් පෙන්නුම් කර තිබුනේ මව්වරුන් බොහෝ විට මවුවරුන් සංවේදීව දරුවන්"ස්පර්ශ කිරීම, අත ගෑම , පරික්ෂා කිරීම, කනට කෙඳිරීම වැනි සෙනෙහසින් කරන ඉඟි මගින් ළදරුවන් හොඳින් දැයි බලන බවත් ඉන් බිළිඳාගේ හෘද ස්පන්දන අනුපාතය හා ඔක්සිජන් මට්ටම ඉහල නැංවෙන බවත් ය.
එහෙත් දරුවා වෙනම කාමරයක හුදකලා කරවා ළදරුවන් කෘතිමව නින්දට දමන විට, මෙම සමීප අන්තර්ක්රියාකාරිත්වය හා එහි ශාරීරික හා මානසික ප්‍රතිලාභ අහිමි වනවා පමණක් නොව, SIDS වල අවදානමද ඉහල යන බව පර් යේෂකයින් පෙන්වා දෙයි. ඒ අතරම ළදරුවා තමන් සමීපයේ නිදි කරවාගැනීම කරනා සංස්කෘතීක හුරුව ඇති රටවල සමාජ වල මේ sids සිදුවීම බොහෝ දුරට අඩුවක් හෝ නැත්තටම නැති බව ඔවුන් පෙන්වා දෙයි.

දරුවන්ට ඕනෑ තරම් හඬන්නට දීම සුදුසු ද ?

දරුවන් හැඬීම යනු වෙනස් කළ යුතු හැදිය යුතු යමක් නෙමේ.  ළදරුවෙක් හඬනවා කියන්නේ ළදරුවා තුල යම් අපහසුතාවක්, යමක් හරියට නෑ කියා නිකුත් කරන කායික සංඥාවකි. ඇඬීම යනු වචන ඉගෙන ගන්නා තෙක් ඔවුන්ගේ සන්නිවේදන ක්‍රමය වේ. ඔවුන්ගේ හැඬීමට හරි ප්‍රතිචාරයක් පෙන්වා, ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කිරීම මගින් ළදරුවන් වටහා ගන්නවා ඔවුන්ගේ දෙමාපියන් තමන්ගේ සංඥාවට ප්‍රතිචාර දක්වන බව ,එවන් දරුවන් දිගු කාලීනව අඩුවෙන් අඬනු ඇති බවත් දැක ගන්නට ලැබේ. අනික් අතට, දරුවාගේ ඇඬීම නිරතුරු නොසලකා හරිනු ලැබුවහොත්, ඇගේ සංඥා පද්ධතිය අකාර්යක්ෂම වන බවත්  එක් පත්‍රිකාවක සඳහන් වේ. එවිට ඇගේ ස්වාභාවික ඉල්ලීම් ඉටු නොවීමෙන් වඩ වඩාත් කනස්සල්ලට පත්විය හැකිය. ළදරුවෙකුගේ සාමාන්ය රීතිය වන්නේ ඔබට ළදරුවෙක් නරක් කළ නොහැකි බවයි.

ඒවගේම අප මතක තියාගන්න ඕනේ එකට නිදා ගැනීම කියන්නේ ළදරුවන් තමා සමීපයේම එකම ඇඳ මත තබා ගැනීමම නොවන බව. එය අනාරක්ෂිත වන අවස්ථාද තිබෙනවා

  • දෙමාපියන්ගේ දුම්බීම, මත්පැන් පානය සහ මත් ද්‍රව්‍ය භාවිතය අසල නිදා සිටින ළදරුවාට අනතුරුදායක විය හැකිය. 
  • ළදරුවා මත පෙරලී හුස්ම ගැනීමට නොහැකිව දරුවන් මිය යා හැක. 
  • එනිසා තමන්ගේ ඇඳ අසල වෙන්කළ වෙනම ඇති ඇඳක හෝ ලීපටි ගසා වෙන්කළ ඇඳක, කොට් එකක දරුවන් තබන්නේ නම් සුදුසු බව අවධාරනය කළ යුතුය.
  • ළදරුවන්ට ඇඳෙන් ලිස්සා යා හැකි ස්ථාන, ඇඳන් හෝ මෙට්ට අතර ඇති හිඩැස් වැනි ස්ථාන සොයා බලා ඒවා අයින් කළ යුතුය.

ඉතින් දැන් ඔබලාට හිතෙනවා ඇති co sleeping හෙවත් මව සහ ළදරුවා එකම කාමරයේ නිදා ගැනීම මෙච්චර හිතකර සහ වර්ධනයට හොඳ ආකාරයෙන් බලපාන දෙයක්නම් තවමත් සමහර ළමා රෝග විශේෂඥයින් , නින්ද පුහුණු කිරීම හෝ වෙනම නිදි කිරීම කරන්න යැයි කියන්නේ ඇයි කියලා. ඒකටත් හේතු ලෙස පෙන්වා දෙන්නේ දැඩි ලෙස ආතතියට හෝ වෙහෙසට පත් වූ මව්වරුන්ට එයින් යම් තරමක සහනයක් ගෙන දෙනවා කියාය. හැබැයි ඒක ළදරුවාට කරන අගතියක් බව මහාචාර්‍ය මැකෙනා පෙන්වා දෙයි

මව සහ දරුවාගේ ජෛව විද්යාත්මක සංහිඳියාව biological harmony වර්ධනය වීමට ඉඩ නොදී තමන්ට ඕනෑ ලෙස නින්ද පුහුණුව ආරම්භ වන්නේ දෙමව්පියන් සහ ඔවුන්ගේ දරුවන් අතර ඇති මානසික සම්බන්ධතාවය පළුදු කරමින් යැයි ඔහු පෙන්වා දෙනවා . එයින් අනන්‍යතා අර්බුදයක් ඇතිවෙන්නේ නැද්ද කියන ප්‍රශ්නය පැන නගිනවා ළදරුවාට අනන්‍ය වූ හැසිරීම වෙනුවට අපට ඕනෑ ලෙස ළදරුවා වෙනස් කිරීමක් ඉන් සිදුවෙනවා යැයි ඔහු පෙන්වා දෙනවා. තවද, උත්ප්රාසාත්මක ලෙස, මවගේ නින්දේ කාර්යක්ෂමතාවය යනු ඇය කී වාරයක් නැගිට්ටේද යන්න නොව ඔවුන්ගේ සමස්ත මානසික ආතතිය බව ඔහු කියයි; නිදසුනක් වශයෙන්, මව්කිරි පමණක්ම දෙන මව්වරුන් රැයෙහි වැඩි වාරගනනක් ඇහැරුනත් ඔවුන් හොඳ ශරීර සෞඛ්‍යයකින් මානසික සමතුලිතතාවයකින් ඉන්නා බව ඔහු පෙන්වා දේ .

මම ද ගිය අවුරුද්දේ පවා සාකච්ජා කරද්දී මේ ගැන විශේෂඥ වෛද්‍යතුමිය පැවසුවේ co sleeping ළදරුවන්ට යෝග්‍ය බව දැන් පවතින මතය කියාය.

හැබැයි , මේ සටහන් බිළිඳුන් ළදරුවන් ගැනය. දරුවන් වැඩී උස් මහත් වන විට ඔවුන්ට ස්වාධීන වීමට කියා දිය යුතුය. ඒ ක්‍රියාකාරකම් සහ කතා බහ කිරීම තුලිනි. ඔවුන් වෙනම නිදා ගන්නේ කොයි කාලයේදැයි ඔබ දෙමාපියන් වශයෙන් තීරණය කළ යුතුය. හැබැයි ඒ සඳහා කිසිම දෙයක් නොතේරෙන කාලය සුදුසු දැයි ඔබම තීරණය කරන්න.


උපකාර කරගත් ලිපි සහ පර් යේෂන


http://cosleeping.nd.edu/safe-co-sleeping-guidelines/

https://www.ncbi.nlm.nih.gov/pubmed/24042081

http://www.mothering.com/articles/cosleeping-and-breastfeeding-the-perfect-combination/

http://www.developmentalscience.com/blog/2015/3/31/safe-cosleeping-is-better-for-babies-development


Monday, June 11, 2018

ජීවිතය පැකට් කරලා දෙන්න පුළුවන් බව ඔබ දන්නවාද ?

ජීවිතය පැකට් කරලා දෙන්න පුළුවන් බව ඔබ දන්නවාද ?
මහ රෑ දොළහට පමණ ප්‍රසව හා නාරිවේද වාට්ටුවට, ප්‍රාදේශීය රෝහලකින් ගෙන ආවා ප්‍රෙශර් තිබ්බ සති 39 පමණ ගර්භණී අම්මා කෙනෙක්. ඒ ගෙනා ස්ට්‍රෙචර් ඒකේ ලේ ගංගාවක් ගලලා තිබුනා. අපි දැක්ක ගමන් දැනගත්තා අපිට තියෙන අභියෝගය මොකක්ද කියලා.
ඒ අම්මාට සංකූලතා බොහොමයක් තිබුනා, වැඩිමහළු කම , ප්‍රෙශර් සහ ගිය වර දරු උපත සිසේරියන් සැත්කමකින් සිදු කර තිබුනා. ඒ ඔක්කොම එක්ක, ඕ නෙගටිව් කියන රුධිර ඝණය තිබුනේ. මිනිත්තු කිහිපයක් ඇතුලත සොයා ගත්තේ කුසේ දරුවා මිය ගොස් ඇති වග. සති තිස් හතෙන් රෝහල්ගත වෙන්නට සැලසුමක් දීලා තිබුනත් ඒ අම්මා සුපුරුදු පරිදි ගමේ ඉඳලා , මහ රෑ ලේ වහනය වෙන්න ගිය නිසා ප්‍රාදේශීය රෝහලට ගිහින්. මම ඇයට දරුවා කුසේදීම මිය ගොස් බව
කියද්දී ඇය කීවා දවස් දෙක තුනක් දරුවා දැඟලුවේ නැති බවත්.
ඇය සුදු මැලිව සිටියා. මුළු උතුරෙම රෝහල් වල තිබ්බ ඕ නෙගටිව් ලේ හොයා මහ රෑ දොළහට රෝහලේ ලේ බැංකුව මගින් මහා සංග්‍රාමයක් ලෑස්ති කරා. එසැනින් ශල්‍යාගාර සූදානම් කළා. ඒ වෙද්දිත් ඒ අම්මා ප්‍රසව සංකූලතාවයක් වන ඩී අයි සී හෙවත් disseminated intravascular coagulopathy යන රුධිරය කැටි නොගැසීමේ තත්වයට පත් වී තිබුනා. ඒකට බොහෝ හේතු තියෙනවා. සිසේරියන් සැත්කම කරද්දිත් මළ දරුවා සමගම අතොරක් නැතුව පයිපයක් ඇරලා වගේ රුධිරය වහනය වන ගර්භාශය ඉවත් කරද්දිත්, නිර්වින්දක හෙවත් anesthesia වෛද්‍යවරයා රුධිර පැකට් හෙවත් රතු සෛල, ප්ලාස්මාව, පට්ටිකා සැරෙන් සැරේ ඒ අම්මාගේ අත් දෙකේ තිබූ කැනියුලා ඔස්සේ ශරීරගත කරනවා.
සියලු විශාල වාහිනී මසා ගර්භාශය ඉවත් කළ අපි දැක්කේ කුස පුරාම ඇති සියලු තැන් වලින් රුධිරය වහනය වන අයුරුය. විශේෂඥ වෛද්‍යවරයා සහ මම , ගෝස් පැක් සහ කුඩා නාලිකා වලිනුත් රුධිර වහනය නවත්වන ද්‍රව්‍ය කුස පුරා අතුරා කුසේ කැපුම අත් වලින් දෙපැත්තෙන් තද කරගෙන හිටියා.
එහෙම කරන අතරේ විශේෂඥ වෛද්‍යවරයා පවසනවා "මම හිටියේ සුදු කොඩි පෙනි පෙනී" කියලා.
ඒත් උදේ පාන්දර හතර වෙනකොට ඒ අම්මාගේ තත්වය හිතුවට වඩා හරිගියා. රුධිර වහනය නැවතුනා.... . අයිසීයූ එකට දැම්මා. උතුරු පළාතේ ඉන්නා ඕ නෙගටිව් රුධිර දායකයින් බොහෝ අය මහ පාන්දර ලේ දෙන්න ඇවිත් තිබුනා. ඒ අය අන් කවුරුවත් නෙමේ, ත්‍රිවිද හමුදා වල සෙබළුන්. (එහෙම රෙජිස්ට්‍රියක් තියෙනවා. ඔවුන් බොහෝමයක් ඕනෙම වෙලාවක ලේ දෙන්න සූදානමින් ඉන්නේ )
ඒ වෙද්දි රතු සෛල පැකට් 15 කට වඩා දීලා තිබ්බා අනික්වා නම් ඉතා විශාල ප්‍රමාණයක්.
මේවගේ අත් දැකීම් නම් ටොන් ගණනක් තියෙනවා.ඇසිල්ලකින් ජීවිත 4ක් බේරන්න ඔබ දෙන රුධිර පැකට් එකකින් පුළුවන. ඒකට හේතුව ඒ එක පැකට් එකකින් සංඝටක වෙන් කරලා පැකට් හතරක් හැදෙන නිසා.
මගේ නෑදෑ පොඩි අක්කා මිය ගියෙත් දරු ප්‍රසූතියේදී අධික රුධිරවහනය නවත්වන්න බැරුව. දැන් අම්මා නැතුව හැදෙන දරුවට වයස අවුරුදු පහයි. 

මේ සතිය පුරාම මම මේ වගේ කතා ලියන්න හිතුවා. ඒකට හේතුව ජාතික රුධිර පාරවිලයන සේවයේ එම සේවා අඛන්ඩව පවත්වාගෙන යන්නේ එහි රුධිර දායකයන් හෙවත් රුධිර පරිත්‍යාගශීලීන් නිසා.
ලෝකය පුරා මේ උතුම් මිනිසුන් සමරන්නේ ජූනි 14 වැනි දින. ඉතින් අපිත් ජාතික රුධිර මධ්‍යස්ථානය ලෙස අති උත්කර්ෂවත් ලෙස මේ සැමරුමට ලක ලැහැස්ති වෙනවා.
තමන්ගේ අත කටුවකින් සිදුරු කර ලේ පයින්ට් එකක් දන් දෙන්න එන අය මට පෙනෙන්නේ දෙවිවරුන් වගේ. එහෙම දායකයින් දුටු පළමු දින මා මේ කවිය ලියා තැබුවා.
නමක් නැති බෝසත්
පියාපත් නැති දෙව් පුත්
මිනිස් හදවත් රැගෙන
විටෙන් විට මෙහි එති
සිරුර විද රුහිරු බිඳු
මෙත් සිතින් දන් දෙති
නන්නාඳුනන ගතක
දන්න අඳුනන වෙන්න
බිඳෙන් බිඳ එකතු වී
ආදරය දන් දුන්න
නන්නාඳුනන ගතක
හුස්ම පොද රැකදෙන්න
පියාපත් නොලද ඒ
දෙව්, මිනිස් රූ ගත්තු
නමක් නැති බෝසත්තු
ඇවිද යති එති මෙබිම
ජීවිතය පැකට් කර
මෙහි තබා පිට වෙතී
බෝ 2018
Do share your story as a post with #blooddonorstory
#worldblooddonorday2018
Let’s make it a collection of stories

Sunday, March 11, 2018

නොපෙනෙන ලෝකය පෙනෙන වුන් සේ ජයගත් ඔවුන්....

ඔබ සතුටින්ද  ඉන්නේ සහ වෙනත් කතා

ජීවිතේට අභියෝග කරන්න පුළුවන් මිනිසුන් විරලය..... නෙතින් අප දකිනා ලෝකය ඔවුන් අසා විඳ ගත් අයුරු විශ්මය ජනකය.
මේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාදිත ජන සම්මේලනයේ , කාන්තා ජාතික සංසදයේ කාන්තා දින උත්සවයයි. එහිදී මා කළ කතාව

The sri lanka federation of visually handicapped held their womens day conference today. They launched their audio magazine and appreciated their fellow members with special talents. We were invited as guest speakers.
 මේ මගේ කතාවයි...

------------------------------------

ප්‍රථමයෙන්ම මම ස්තූති වන්ත වෙනවා, ම මෙහි ප්‍රධාන ආරාධිතයා හැටියට ඇවිත් කතාවක් කරන්නට ඉඩකඩ ලබා දීම ගැන.  මෙහි රැස්ව සිටින වීරවරියන් හට කතා බහ කිරීමට ලැබීම මා ලද භාග්‍යක් ලෙසසලකනවා

මමත් කාන්තාවක්, අන්තර්ජාලය තුල සමාජ ක්‍රියාකාරිනියක් බවට නොදැනීම පත්වුණ මට , ලංකා සමාජය තුල රජයේ වෛද්‍යවරියක් හැටියට ක්‍රියාකරන මම, බ්ලොග්, පොත් සහ පුවත්පත් ඔස්සේ ලිපි ලියන කියවන මම ඔබ හැම සහ ඔබේ ක්‍රියාකාරකම් නරඹමින්, අන්තර්ජාලය ඔස්සේ ඔබේ ලියැවීම් තුලින් ජීවිතය විඳිමින් ඔබ සැම ගැන අවබෝදයෙන් මා සිටිනවා.  මට ඔබ හැම දැනෙන්නේ ජීවිතයට අභියෝගයක් එල්ල කළ වීරත්වය කියන දේ නිතැතින්ම උරුම කරගෙන ඉන්නා පිරිසක් ලෙසයි.

මේ ලෝකේ ගත්තම මේ ලෝකේ කාන්තාවන් සහ පිරිමින් කියා දෙකොටසක් හිටියට, අපිට ලැබෙන අභියෝග කාන්තාවන් සහ පිරිමින් කියලා දෙකකට බෙදලා දීලා නෑ. එහෙම දීලා තියෙන එකම දේ තමා දරුවන් හැදීමේ හැකියාව.

මේ දරුවන් බිහි කිරීමේ කිරි දීමේ හැකියාව ඇරුණු කොට අනික් සියලුම දේ කාන්තාවන්ටද පිරිමින්ටද එකවගේ කළ හැකියි කියා මම විශ්වාස කරනවා.

එහෙම ලෝකෙක තවමත් කාන්තාවන්ව දුර්වල කණ්ඩායම බවට පත්වෙන්න හෝ නිතැතින්ම පත් කරන්න උත්සහ කිරීමක් මා දකිනවා.

කාන්තා දිනය යෙදී ඇති මාර්තු 8 වැනිදා වගේම මේ කාල සීමාවේත්, කවි කතා, වැකි ලියා පළ කරමින් අපි මේ ගැන මතක් කරනවා. අපි සුවිශේෂ කට්ටියක් අපි ගැනත් කතා කරමු කියලා ගෑණු අපි එක එක කණ්ඩායම් වලට බෙදිලා කටයුතු කරනවා. කට්ටියක් සම තැන ඉල්ලනවා කට්ටියක් නිසි තැන ඉල්ලනවා. සමහරු කියනවා පිරිමින්ට යටත් නොවී ඉමු කියලා. පුරුෂාධිපත්‍යය, ගෘහස්ථ හිංසනය වගේ බරසාර වචන ඇහෙනවා. මේ ඔක්කොම අස්සේ, “අපොයි හරි අමාරුයි ජීවිතේ, මේකනම් වැඩක්ම නෑ, මම හරි කරුමක්කාරියක් , කාලකන්නියෙක් , මට කිසි දෙයක් හරියන්නේ නෑ, “ කියාගත්ත පිරිසකුත් ඉන්නවා.

හැබැයි ඔය නිසි තැන සම තැන ඉල්ලන කෑ කොස්සන් ගැහිළි අස්සේ මම මෙහෙම දෙයක් කියනවා

“අපි අපේ ගැන හිතන් ඉන්න විදිහ හෝ තැන තමයි ලෝකය අපිව දකින හැටි තීරණය කරන්නේ, අපි අපිව මනසින් දාන තැන තමයි ලෝකය අපිව තියන්නේ”

The way in which we think of ourselves has everything to do with how our world sees us and how we see ourselves successfully acknowledged by the world.”- Arlene Rankin

බරසාරකතා නැතිව මම හිතුවා කතන්දර කීපයක් කියන්න.

ගොවි මහත්මයෙක්ට හමුවන උකුස්සාගේ බිත්තරයේ කතාව මට මතක් වෙනවා. ගොවි මහත්මයෙක්ට උකුස්සෙකුගේ බිත්තරයක් හමුවෙනවා. ඔහු ඒක රකින්න කිකිළියන්ගේ කොටුවෙන් තියෙනවා. ඒක රැකලා යම් කාලයකදී උකුසු පැටියෙක් එළියට එනවා. හැබැයි මේ උකුසු පැටියා ඉන්නේ කිකිළියන් අතරේ. මේ පැටියා කිකිළියන්ගේ ගති අනුගමනය කරනවා. ඔවුන් හැසිරෙන විදිහට හැසිරෙනවා. තමන්ගේ කිකිළි අම්මාගේ හැසිරීම් ඒ විදිහටම අරගෙන වැඩි දුර පියාඹන්න පවා මේ උකුස්ස්සාට නොහැකි වෙනවා. එක දවසක් ඈත අහසේ පියාසර කරන උකුස්සෙක් දැකලා එයාට හිතෙනවා. අනේ බලන්න කොච්චර ප්‍රතාපවත් කුරුල්ලෙක්ද, කෝච්චර ඉහළ අහසේ පියාඹනවද අනේ මම ලබන ආත්මෙවත් ඒවගේ කුරුල්ලෙක් වෙලා ඉපදෙන්න ඕනේ “ කියලා

මේ කතාවෙන් අපිට ගන්න වැදගත් කතාවක් තියෙනවා. අපි බොහෝ අය මේ උකුසු පැටියා වගෙයි. අපි හුරුවෙලා ඉන්නවා සමාජය විසින් අපව තියන්න උත්සහ කරන තැන හෝ අපව සංස්කෘතිය විසින් සීමා කරන තැන ඉඳගෙන “අනේ අපිට කමක් නෑ මෙහෙම හොඳයි “ කියලා හිතන්න.

මම කියන්නේ අපි එසේ විය යුතු නෑ. අපට පුළුවන් අපි කැමති ඕනෑම දෙයක් කරන්න සහ අපිට ඕනෑ තැනට  යන්න. තියෙන්න ඕනේ බොහොම දරුණු ඕනෑකමක් විතරයි. මම එහෙම කියන්නේ මේ කතා කරන මම උනත් මගේ සීමාවට පිට බොහෝ දේ කළ නිසා තමයි අද මම මෙතන ඉන්නේ.

දැන් මෙතන ඉන්න ඔබ කණ්ඩායමේ බහුතරයක් ජීවිතේ උපතින් හෝ පසුව ඔයාලට එල්ලවුන විශාල අභියෝගයක් සහ බාධකයක් , සුනුවිසුනු කර, ජය ගෙන සිටිනවා. සමාජයට බරක් නොවී ආදර්ශමත් ජීවිත ගත කරනවා. ඔයාලා අර උකුසු පැටියා වගේ වුනේ නෑ.

ඔයාලා ඉදිරියට දැම්ම NO කියන තීරණයටට why not…කියා අභියෝග කරලාතියෙනවා. ඒ නිසා කාන්තාවන් හැටියට මේ සමාජයේ අන් අයට වඩා ලොකු ආත්ම දහිරියක් සහ අභිමානයක් ඔබලා සතුයි කියා මා සිතනවා

ඒනිසා අපි අපි ගැහැණුන් හැටියට අපිට තියෙන ප්‍රශ්න මොනවද කියා කතා කරලා බලමු,  ඒවගේම ඒ ප්‍රශ්න වලට අපි මේ ජීවත් වන කාලයේ ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කොහොමද කියා බලමු. දැන් මේ කතා කරන මම උනත් සර්ව සම්පූර්ණ බොහොම ශක්තිමත් හෝ උසස් කෙනෙක් කියන්න මම කැමති නෑ. මොකද අපි හැමෝ තුලම අඩු පාඩු කියන දේවල් අඩුවක් නැතිව තියෙනවා. එක්කෝ අපේ ශරීර හැකියාවන්, එක්කෝ අපේ අධ්‍යාපන හැකියාවන්, මේ හැම දෙයින්ම අපි වෙනස් වෙනවා. ඒවගේම තමයි සංවේදනාවන් තුලිනුත් අපි එකිනෙකා බොහෝ වෙනස්

එතකොට මට හිතෙනවා දෘශ්‍යාබාදිත පිරිසක් හැටියට අපට වඩා ඒ බාධක ඔයාලට බාදා වන බව මට වැටහෙනවා. මේ සමාජයේ නැති බැරි කම කියා පාමින් තමන්ට බෑ බෑ කියන මිනිස්සුන්ට ඔබ සැම හොඳ උත්තරයක් දීලා තියෙනවා. එනිසා මම හිතනවා මේ ජාත්‍යන්තර කාන්තා දිනයේ ආඩම්බර විය හැකි කාන්තාවන් පිරිසක් සිටිනවානම් ඒ ඕගොල්ලොන් කියලා

අපි ජීවත් වන සමාජය කිසිම විටෙක අනෙකා කෙරෙහි සංවේදී නොවන තැනක් බවට පත් වෙලා. අනෙකාගේ දුක කරදරය වෙනුවෙන් සහකම්පනය නොවන අය බවට පත් වෙලා. තමන්ගේ අල්ලපු වැටේ ඉන්න කෙනාගේ දුක් කරදර නොදකින මනුස්සයා, මුහුණු පොතේ සමාජ සත්කාර කරන බවට පින්තූර දානවා යොදුන් ගානක් ඈත ගම්මාන වලට ගිහින් පොත් පත් හෝ උපකරණ බෙදා දීලා. අන්න එහෙම සමාජයක තමයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.

ගැහැණු හැටියට දැරිවියන් කාලේ ඉඳන්ම අපට ආරක්ෂා වෙන්න සිදුවෙනවා සමාජයෙන් සහ අපේම අයගෙනුත්. මේ ලෝකය ඒ තරම්ම දූෂිත බොහොම තිරිසන් ගති ඇති තැනක් බවට පත් වෙලා.

එනිසා මම හිතනවා, ඔබ සැම ප්‍රථමයෙන් තමන් ආරක්ෂා කරගන්න උත්සහ ගතයුතුයි කියලා. කොයිම වෙලාවකවත් ප්‍රචන්ඩත්වයට ඉඩ දෙන්න එපා. මොකද අපි මේ ඉන්න ශිෂ්ඨ යැයි සම්මත සමාජය තුල මෛත්‍රීය කරුණාව හෝ උපේක්ෂාව කියන මේ ගුණාංග දකින්න ඇත්තේම නැති නිසා .

එනිසා, අපි ගැහැණුන් වශයෙන් එකිනෙකා ආරක්ෂා කරගනිමින් එකිනෙකාගේ ප්‍රශ්න ගැන එක්ව ක්‍රියාත්මක විය යුතුයි. විශේෂයෙන් සමාජයෙන් එල්ලවන ලිංගික හිංසනය කියන මේ ප්‍රචන්ඩත්වය කෙරෙහි අපි දැඩිව ක්‍රියාත්ක විය යුතුයි.

ඔබ සංගමය හරහා හෝ, අපි එසේ හිංසනයට ලක්වූ කවරෙක් හෝ වෙත්නම් ඒ ගැන ක්‍රියාත්මක විය යුතුයි කියා මම හිතනවා. කිසිම කෙනෙක් තමන්ට කරදරයක් දුකක් ගෙන දෙන පීඩාවක් ඉවසාගෙන සිටිය යුතු නොවේ. කෙනෙක්ගේ කරදරයක් දුකක් කියන්නට හොඳ උපදෙසක් ලබාගන්නට , උපදේශන සේවාවක් අපේ සමාජයේ තිබිය යුතුයි. එය නිරන්තරයෙන් අධ්‍යනයට ලක්විය යුතුයි කියා මා හිතනවා.

මට මතක් වෙනවා අපි කුඩා කාලයේ අපේ අම්මා, ගෙදරට වැඩිහිටි හෝ පිරිමි කෙනෙක් ආවොත්,  ඔවුන්ට සාලයේ නිදාගන්න ඉඩ සකස් කරලා දීලා, කුඩා අපි සියල්ලන්වම කාමරයක දාලා ලොක් කරගෙන තමයි නිදා ගන්නේ, අපි ඒ කාලේ ඇයට හිනාවෙනවා, “මේ මොන බයක්ද, මොන කරදරයක්ද, දාඩිය දාගෙන කාමරයක ගාල් වෙන්නේ ඇයි කියලා” නමුත් දැන් අපට තේරෙනවා ඒ අපිව ආරක්ෂා කරන්නයි කියලා

මම දිනක් එක්තරා ලිපියක් ලීවා “ඔබේ යට ඇඳුමේ පාට කුමක් ද ?” කියලා , මගේ දෘෂ්‍යාබාදිත යහළුවන් කිහිප දෙනෙක් කීවා, ඔයා මේ දේ ලීව එක ලොකු දෙයක් බෝධිනී, අපි බොහෝ අය නිවෙස් වලදී කුඩා කාලයේ ලිංගික හිංසනයට ලක් වූවා කියා. අන්න ඒ හින්දා කාන්තා දිනයේ අපි වැදගත් පණිවිඩයක් ඔළුවට ගන්න ඕනේ, අපේ නිවෙස් තුලම හිංසනයට ලක්විය හැකි බව. ඔබට පුළුවන් කාන්තා සංසදය හරහා මේ ප්‍රශ්න වලට උදව් උපකාර , වෛද්‍ය උපකාර සහ උපදෙස් ලබා ගන්න.

අපේ වගේ සංස්කෘතිය ගැන මහ ඉහළින් කතා කරන රටක ජීවිත අඳුරු කරන මේ ප්‍රශ්න ගැන අපි විවෘතව කතා කරන්නේ නෑ. මේ සමාජයේ ජීවත් වන කාන්තාවට පීඩා කරන්නම තමයි සියලු දෙනා සහ සියලු  ක්‍රමවේද සැකසිලා තියෙන්නේ.  කිසිම පිරිමියෙක්ගේ හව්හරණක් නැතිව ජීවත් වෙන්න බෑ කියන එක මේ අපේ ලංකා සමාජයේ මුල් බැසගත්ත දෙයක් මං කියන්නේ අපි කාන්තාවන් හැටියට අපිටම උරුම වෙච්ච අභිමානයක් ඔස්සේ අපිටම පුරුදු වුන ක්‍රමයක් ඔස්සේ, රැකියාවක හෝ ස්වයං රැකියාවක යෙදෙනවානම් අපිට තනිව නැගී සිටින්න බොහොම පහසුයි කියන එකයි මම කියන්නේ.

යුරෝපයේ රටක මා දන්නා කාන්තාවක් තම අවුරුදු හයක පුතනුවන් සමග තනිවෙන්න සිදු වෙනවා ඇයට ඒ වෙලාවේ රැකියාවක්වත් නෑ. ඒ උනත් වසර ගණනාවක් ඇයව බලාගන්නේ රජය විසින්. ඇයට සුදුසු රැකියාවක් ලැබෙනකම් මාසිකව මුදලක් ලැබෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජයෙන් වෙන් කෙරෙනවා. ඒවාට ක්‍රමවේද එහි තියෙනවා. තවත් යහළුවෙක් සිටිනවා ඇයට කතා කරන්න බැහැ නමුත් ඇය සංඥා ක්‍රමයට සන්නිවේදනයේ යෙදෙනවා. ඇයටත් රජය මගින් ජීවිත කාලය පුරාම වේතනයක් ගෙවනවා, නමුත් ඇය, බිහිරි සංචාරකයින්ට මග පෙන්වන්නෙක් ලෙස කටයුතු කරමින් වේතනයක් ලබා ගන්නවා. ඔවුන් තනිව ගෙවල් වල ජීවත් වෙනවා. තනිව සමාජයේ සියලු වැඩ කටයුතු සිදු කරගන්නවා. අපේ රටේ ඇයි එහෙම සුරක්ෂිත භාවයක් නැහැ. ආබාධ සහිත ව ජීවිතය දිනන්නන් නොයෙක් කරදර සහ හිංසන වලට ගොදුරු වෙනවා. අපේ රාජ්‍ය ප්‍රතිපත්ති තුලින් මේ වගේ තැන් ගැන සොයා බලනවාද ?මේ සංසදය තුලින් අපට මෙවැනි සංවේදී ජීවන කාරණා ගැන රජයේ අවධානය ලබා ගැනීමට කටයුතු කරන්න පුළුවන් කියා මට හිතෙනවා.

අපේ නිවෙස්වලදීම අපි හිංසනයට ලක් වෙනවා නම් මේ තරම් බණ කියන බණ අහන රටක අපි එකිනෙකා කෙරෙහි ප්‍රචන්ඩ කාරී ලෙස හැසිරෙනවානම් එක කොයි තරම් දුක්ඛදායී තත්වයක් ද?

මේ දරුණු වීම් කෝප වීම් සහ කලහාකාරී කම්වලට හේතු මොනවද. අපි ඒ දේ ගැනත් හොයන්න ඕනෙ. සමාජය පිරිහිලා කියලා කියන අපිම එහෙනම් මොනවද ඒගැන කරන්න ඕනෙ. අපි කොහොමද මේ ප්‍රශ්න විසඳගන්නේ කියලා ඒවාට විසඳුම් හොයන්න ඕනේ. එතකොට මම අවුරුදු ගණනාවක් යුරෝපා රටක විදෙස් අධ්‍යාපනය ලබද්දී මම හිටියේ බොහොම සාමකාමී සමාජයක, අපිට පළමු අවුරුදු දෙකේ ඉගැන්නුවා දර්ශනය හෙවත් ෆිලෝසොෆි ඒ තුලින් සමාජය ගැන අවබෝදයක් වගේම අධ්‍යාත්මික වශයෙන් අප තුල විශාල වෙනසක් ඇතිකලා. එකිනෙකා කෙරෙහි සහකම්පනය වීම සහ සංවේදී වීම කෙරෙහි අපි වඩාත් නැඹුරු වුනා.

ඒක අපේ රටේ අද නැත්තටම නැති වෙලා. හැම ක්ෂේත්‍රයක් තුලම අපි දකිනවා, සංයමයක් නොමැති කම නිසා ඇති වන කලබල . පසුගිය දිනවල ඇතිවුනු කෝලහලත් එහෙමයි. පිස්තෝලයක් අරගෙන පාරේ චන්ඩි හැසිරීමක යෙදුනු ගැහැණිය තුලින්ද අපි දකින්නේ එයමයි.

අපි සමාජයක් වශයෙන් අපේ සියළු පුරවැසියන්ට සාමකාමී දිවි පැවැත්මක් සහ නිවහල් බවක් අහිමි කරලා තියෙනවා

අපි එහෙනම් මේ ඉගෙනුම හදා ගන්නේ කොහෙන්ද ? අපි අපේ කුඩා දරුවන්ගෙන් ම මේ ඉගෙනුම සහ සැකැස්ම හදා ගත යුතුයි. අපේ පාසැල් අධ්‍යාපනය විෂය මූලික වෙලා තියෙනවා. ඒකට අපි මේ යහපත් ක්‍රියාවන්,සාරධර්ම සහ ඉවසීම කියන දේවල් එකතු කළ යුතුයි. මම ඉගෙන ගත් පාසැලෙන් අපව, අවුරුද්දකට කිහිප වතාවක්, ග්‍රේස් කුමරි හෝ වෙනත් අනාථ නිවාසයකට හෝ මහළු නිවාසයකට එක්කන් යනවා. අපි ඒ පරිශ්‍රය සුද්ධ පවිත්‍ර කර ඔවුන්ට තෑගි බෝග ගෙනගිහින් බෙදා දෙනවා. ඔවුන් සමග කාලය ගත කරනවා. කුඩාකල පටන් ආබාධ සහිත පුරවැසියන් කෙරෙහි අපි සංවේදී වෙනවා. ඔවුන් විශාල අභියෝගයක් ජයගන්නා පිරිසක් බව අපි කුඩා කල සිට ඉගෙන ගන්නවා. එහෙම හැදුණු දරුවා කවදාවත් ප්‍රචන්ඩ කෙනෙක් හෝ සමාජයක් පෙළන්නට පෙළඹෙන්නේ නෑ.

ඉතින් ඒ වගේ ඉගෙනුමක් අපි සමාජය තුල ඇති කළ යුතුයි. කාන්තාවන් වශයෙන් මම ඔබ අපි හැම දෙනාටම සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කළ හැක්කේ එවිටයි කියා මම විශ්වාස කරනවා.

ඒවගේම, රජය විසින්, අභියෝග සමග ජීවිතය ජයගන්න ඔබ වැනි දිවි විරුවන් වෙනුවෙන් විශේෂ වරප්‍රසාද සැලසිය යුතුයි කියා මට සිතෙනවා. උපාධිදාරීන් පවා බිහිව සිටින මෙවන් ප්‍රජාවක මා දන්නවා විරැකියාව දැඩි සේ තිබෙන බව. අපිට පුළුවන්නම් රාජ්‍ය ව්‍යවසාය තුලින් මේ අයගේ ජීවිත වලට හයියක් දෙන්න ඒක රටක් වශයෙන් අප අබාධ සහිත වූවන් ගැන සංවේදී බවට ලක්ෂනයක් කියා මම හිතනවා.

මම එක්තරා කාලයකදී ආබාද සහිත දරුවන් ජීවිත කාලය පුරාම රෝගාබාද සහිත දරුවන් එන යන වාට්ටුවක සේවය කරනවා. ඒ රෝගාබාද සුව කරන්න බැරි , ජීවිත කාලය පුරාම පවතින ජාන වලින් උරුම වෙන රෝගාබාද. මම දකිනවා එහි එන යන දරුවන්ගේ ඉඳන් තරුණයන් පවා හැමෝම ඉන්නේ ජීවිතය ගැන කලකිරීමකින් බව, “ඇයි මටම මෙහෙම වෙන්නේ “ කියා හිතමින් ඉන්නෙ.  අද මෙහෙම කතා කරන මේ මම උනත් මට කරදර කාලවලදී “ඇයි මෙහෙම වෙන්නේ?” කියා කම්පා වුනා. මම මේ දේවල් ඒ දරුවන්ගෙන් හොඳටම දැක්කා, එයාලගේ රෝගාබාද උත්සන්න වෙලා මේ ලෝකේ හැරයන්න පවා හිත කඩන් වැටුණු ඒ දරුවන්ට සිද්ධ වෙනවා. ඒ අතර මම දකිනවා දරුවන් පිරිසක් බොහොම උද් යෝගයෙන් ඉන්නවා. මම ඒ දරුවෙක්ගෙන් ඇහුවා “ කොහොමද ඔයා සතුටෙන් ඉන්නේ?” කියලා. ජීවිත කාලයම රෝගියෙක් ලෙස ජීවත් වෙමින්, මාසෙට දෙතුන් පාරක් රෝහල් ගත වෙමින් ඔවුන්ගේ ඒ සිටින දරුණු තත්වයත් එක්ක කොහොමද ඒ අය හිත හදාගෙන සතුටෙන් ඉන්නේ කියලා. එතකොට ඒ දරුවා මට කියනවා.

“ ඩොක්ටර් මම ඉගෙන ගත්තා මේ ඇතිවුණ දේ මට වෙනස් කරන්න බෑ කියලා, මට මේ රෝගය වෙනස් කරන්න බෑ කියලා. ඒක මගේ ජානවලින් ආපු දෙයක් ,හරියට අපි ඕගොල්ලොන්ට වුනත් ජාන මගින් එන නිදන්ගත රෝග තියෙන්න පුළුවන්. මට වෙනස් කරන්න බැරි ඒ දේ අයින් කරලා මම බැලුවා මට වෙනස් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. එතකොට මම දැක්කා, මට සතුටෙන් ඉන්න පුළුවන්, මට දුක් වෙන්නේ නැතුව ඉන්න පුළුවන්, ඊළඟට මම දැක්කා මට අනිත් අයට උදව් කරන්න පුළුවන් කියලා ඒ මගේ සතුට තුලින්. මම සතුටින් ඉන්නකොට ඒ මගේ අම්මා තාත්තා උනත් සතුටෙන් ඉන්නවා කියලා මට තේරුනා , මම සතුටෙන් ඉන්නකොට මගේ ඇඟේ පතේ අමාරුත් ටික ටික අඩු වෙනවා කියලා මට තේරුනා” අන්න ඒ දේවල් තමයි ඔහුගේ සතුටේ රහස.

ඊළඟට ඔහු කියනවා, “ඩොක්ටර් මේ ලෙඩේ සම්පූර්ණයෙන් නිට්ටාවට සුවකරන්න හැකි බෙහෙතක් තිබ්බත් මට දැන් ඒක ඕනෙ නෑ කියලා” ඔහු කියනවා ඔහුගේ මේ රෝගය තුලින් ඔහු ජීවිත අවබෝදය ලබා ගත්තා කියලා. ඉතින් මම හිතුවා අපි මේ අපට නැති දේ ගැනම දුක් වෙවී ඉන්නා අතරේ මේ වගේ පොඩි පුතෙක්ගෙන් අහගත්ත මේ ඔවදන් වලින් කොයි තරම් වෙනසක් අපේ මේ ජීවිත වලට ඇති කරගන්න පුළුවන්ද කියලා. මමත් එදා ඉඳන් මට නැත්තේ මොනවද කියා දුක් වෙන්නේ නෑ, මට තියෙන දේ ගැන සතුටු වෙනවා කියලා. මම නැගිටිනකොට මම ජීවත් වෙනවා කියලා දැනෙන එක මට හුස්ම වැටෙන එක, මගේ හිසට ඉහළින් වහළක් තියෙන එක, පිරිසිඳු ජලය , පයට පෑගෙන්න මහ පොළොව තියෙන එක අන්න සතුටු වෙන්න කාරණා.  නිවෙස් නැති පිරිස්, පිරිසිඳු වතුර නැති තැන් බොහෝමයක් තියෙනව. මම ඔය වගේ මට තියෙන දේවල් ලැයිස්තු ගත කළා,  ඔහොම මට පුළුවන් දේ සහ තියෙන දේවල් බැලුවම ඒවා ඉතා විශාල ප්‍රමාණයක් බව මට වැටහුනා. ඇත්තටම ඒකෙන් මගේ ජීවිතේ විශාල වශයෙන් වෙනසක් ඇතිවුනා. මම සතුටෙන් ඉන්නකොට මගේ අවට අයත් සතුටෙන් ඉන්න බව මට තේරුනා.

ඉතින් මම දන්නවා, මෙතන ඉන්න බොහෝ දෙනෙක් ජීවිතයට එල්ලවුන දෘෂ්‍යාබාදිත බව කියන පීඩනය ජයගෙන, දරුවෝ පවා හදලා, මම දැක්කා ඒ දරුවෝ උසස් ලෙස පාසැල් විභාග ජයගෙන තෑගි පවා දිනා ගන්නවා. ඒ තරම් විශාල ධෛර්‍යයකින් ක්‍රියා කරලා ඔබ අද මේ තැනට ඇවිත් ඉන්නවා. ඉතින් ඔබට සතුටු වෙන්න කාරණා එකතුකරන්න අමාරු වෙන්නේ නෑ.

 ඉතින් මම තව බොහෝ වේලා කතා කරන්නේ නෑ.මට මතක් වෙනවා එක කතාවක්... ඒක කියලා මගේ කතාව අවසන් කරන්න හිතනවා.

මම උතුරු පළාතේ රැකියාව කරද්දී, ඒ යුද්ධය අවසාන වුනත් එක්කම වගේ, අපිට යන්න සිදුවෙනවා මැණික් ෆාම් කියන තාවකාලික කඳවුරු ප්‍රදේශයට, එහිදී මම දැක්කේ බොහෝ දිරිමත් කාන්තාවන්. ඔවුන් බොහෝ දෙනෙක් ආබාධිත තත්වයට පත් වී සිටියා. නමුත් ඒවා මැඩගෙන ඔවුන්ට ඕනෑ වුනේ නැවත ඔවුන්ගේ ගම් බිම් වලට ගිහින් වගා කරන්න. ඊට අවුරුද්දකට පමණ පසු, අපිට සිදුවුනා ඔවුන්ගේ ගෙවල් දොරවල් වලට යන්න. ඇතැම් තැන් වලදී මා දැක්කා, අම්මලා දුවලා පමණක් ඉතිරි වුන පවුල් වල ඔවුන් කිසි බියක් නැතිව, කූඩාරම් අටවගෙන ඔවුන්ගේ ඉඩම් වල වගා කරනවා. ඔවුන් ඉන්නේ අර ලා නිල් පාට යුනිසෙෆ් කූඩාරම් වල... මට එක පාරට හිතුනේ මේ වගේ පාළු පැත්තක, තනියම කූඩාරමක ඉන්න එක ආරක්ෂිත නෑ නේද කියලා.

“ ඔයාලට බය නැද්ද මෙහෙම තනියම ඉන්න එක “ කියලා මෙහෙම අනාරක්ෂිතව ඉන්න එක ගැන බයක් නැද්ද කියලා, මම ඒ තරුණ දුවගෙන් ඇහුවා... ,” මට බය කියන දේ දැන් දැනෙන්නේ නෑ ඩොක්ටර්, මට බය කියන එක තේරෙන්නෙ නෑ” කියලා.

මම ඒකෙන් තේරුම් ගත්තා යම් කිසි දෙයක් අපි හිතන්නේ නැත්නම්, අපට  තෙරෙන්නෙ නැත්නම් අපිට දැනෙන්නේ නැත්නම අපි ඒ දේ ගැන වද වෙන්නේ නෑ නේද කියලා…. මට හිතුනා “ඒක ඇත්ත නේද ? “ කියලා බය කියන එක මම දන්නේ නැත්නම් ඒක මට කරදරයක් වෙන්නේ අනේ නේද කියලා.

ඉතින් මම දන්නවා, ජිවිතේ බොහෝ බාධක මැඩගෙන ඔබ ආපු ගමනේදී, ඔබේ මේ දිරිමත් ගමනේදී තනිව ආ දුර ගැන මම විමසුවත් ඔබ කියාවි...කරදර ? බිය ? ඒවා අපිට දැනෙන්නෙ නෑ කියලා. මම දන්නවා මෙතන ඉන්න බහුතරයක් දෙනා ඒ තරම් ශක්තිමත් හිත් ඇතී අය කියලා. නැත්නම් ඔබට ඔබේ හිත හදාගෙන මේ තරම් ලොකු වීර ගමනක් එන්න බෑ.

මම දන්නවා මෙතන ඉන්න බොහෝ අය , ඒ ජීවිතයට එල්ල වුණු දෘෂ්‍යාබාදිතබව කියන පීඩනය මැඩගෙන , කළ හැකි සියළු කර්තව්‍යයන් වල යෙදෙන බව, බ්ලොග් ලියන, කතන්දර ලියන, මැහුම් ගෙතුම් කරන, පුටු වියන, පරිපාලන සේවයේ යෙදෙන ඔබ බොහෝ දෙනා, මේ සමාජයේ ඉන්නා අප වෙත ලොකු පණිවිඩයක් දෙනවා. ඒ , කිසිම දෙයක් ජීවත් වෙන්න බාධාවක් නොවන බවයි

ඉතින් කාන්තා දිනය මූලික කරගෙන , මේ අද පැවැත්වෙන සැමරුම් උත්සවයට මා හට ඔබ සැම වෙනුවෙන් කතා කරන්නට ලැබීම මම මහත් භාග්‍යයක් සේ සලකන අතර. ඔබ සංගමයේ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියා සුබපැතුම් එකතු කරමින් දිරිමත් ගමනක යෙදෙන්නට ඔබ සැමට ධෛර්‍යය ශක්තිය ලැබේවා කියා පතමි

ස්තූතියි.

වෛද්‍ය බෝධිනී සමරතුංග

Friday, February 16, 2018

වන්නි හදවත් පුපුරවන්න එපා

"මම වැඩ කළේ පොලීසියේ"

මාංචු ගැලවූ අත් අඩංගුවේ සිටි මිනිසා මට පැවසීය. මීට ස්වල්ප වේලාවකට කළින්.. "ඩොක්ටර් අපිට සිංහල තේරෙනවා" කීවේත් මොහුය.
බස් පුරවා සෙනග පැමිණෙන ඒ කාලයේ , වාට්ටුව ඉදිරිපිට කොරිඩෝවේ පෝලිම් ගැසී සිටින ජනකාය දුටු විට ඩියුටි ඉන්න එකම එක නේවාසික වෛද්‍යවරයාට
"අනේ අපොයි "කියැවෙනවා.
"ඇයි මේ" කියා මුල් කාලයේ අපි වික්ෂිප්ත වෙනකොට තමයි අපි දැනගත්තේ බහුතරයක්පොඩි පොඩි අමාරුත් ලොකු කරගෙන ඇඩ්මිට් වෙන්නේ , කඳවුරෙන් මිදෙන්න. ටික කාලෙකට හරි ඒ පරිසරයෙන් මිදෙන්න.
එහෙම විස්තර කතා කරද්දි තමයි ඔවුන් අතරෙන් කෙනෙක් කීවේ සිංහලත් පුළුවන් බව.
මට කතා කළ ඒ පුද්ගලයා ltte ත්‍රස්තවාදී සංවිධානයේ පොලීසියේ වැඩ කළ කෙනෙක්. "දැන් අපිට නරක කාලයක් උනාට අනික් අයට හොඳයිනේ " ඔහු කීවා. "මට බබාලා දෙන්නයි, මෝටර්සයිකලයක් තිබ්බා, .............පාරේ ගෙවල් තිබුනේ, දවල්ට මා බලන්න එයාලා එයි. " ඔහු අපට දරුවන්, බිරිඳ ආ විට ඔවුන් හඳුන්වා දුන්නා. ත්‍රස්තවාදය තමන්ගේම ජාතික වැසියන්ට පවා හානි කිරීම නිසා සමස්ථ ගමන් මග වැරදුණු බව ඔහු පැවසුවා. තමිලිනී ජෙයකුමාරන් ද් ඈ ලියූ පොතෙන් ඒ වග කියා තිබුනා.

යුද්ධය නිමා කළ යුතුව තිබුනා. අවුරුදු ගාණක් ඒ වෙද්දි අපි හෙම්බත් වෙලා මියැදෙමින් හිටියේ. මේ කරුම යුද්ධය නැවැත්විය යුතුව තිබුනා.
උතුරෙත් දකුණෙත් මළ ගෙවල් ඕසෙට තිබුනා. කොයි හංදියේ පිපිරෙයිද කෑලි කැඩෙයිද විසිවෙලා සුන් වෙයිද බයෙන් අපි මේ කොනේ හිටියා.
කේඬෑරි අත් වලින් අවි ඔසවන් වන්නියේ නොදන්නා කැලෑවල ගීතලා, රාජිතන්ලා නොවැටහුණු යුද්ධයක කුරුමානම් ඇල්ලුවා. සමහර අම්මලා තමන්ගේදූවරුන් වැඩිවියඑළඹෙද්දීම කවුරු හරි නෑයෙක්ට බන්දලා දුන්නා. ඇයි ඇහුවම කීවේ එහෙම නොකළානම් ඔවුන් ළමා ළමා සොල්දාදුවන් කරන්න පැහැරගෙන යන වගයි. ඔවුන්ට සිදු වුනේ ළමා මව්වරුන් වෙන්න. (අනිත්කොන තනි වුන ළමා මව්වරු)

ඒකොනත් මේ කොනත් එක වගේ ගිනි ගත්තා. හැදූ දරුවන් සේරම යුද්ධෙට බිලිවෙනකම් වන්නියේ අම්මලාත් දකුණේ අම්මලාත් කඳුළු සැළුවා. කිසි අඩුවක් නැතිව උස් මහත් කළ පුතුන් පෙට්ටි වල ගෙදර එද්දී මේ අම්මලා කඳුළු සැළුවා. ස්වාමිවරු භාර් යාවන් දූ පුතුන් අහිමි වෙමින් අවුරුදු තිහක් මේ රටේ අපි නැත්තටම නැති උනා.

එනිසා යළිත් කියමි, යුද්ධය නිමා කළ යුතුව තිබුනා.. ත්‍රස්තවාදය නැවැත්විය යුතුව තිබුනා. ඒත් මේ කාරණා දෙකෙන් ඔබ්බට අපි, ඔවුන් සියල්ලෝම එක මිනිස් ජාතියක්, මේ රටේම පුර වැසියන්. මේ ප්‍රශ්න විසඳෙන්නේ නැති වෙන්න එක හේතුවක් තමයි මේ ජයග්‍රහණය පොදු වුනේ නැති එක, පොදු කළේ නැති එක. ඔවුන් ඒ ගිය මග දොසක් ලෙස පසුතැවිලි නොවුනේ බොහොම කළාතුරකින් කෙනෙක්.

රටක් වශයෙන් ගත්තම මිනිස් සංහාරය මින් ඉදිරියට නවත්වපු එකම ලොකු දෙයක් ලෙස වන්නියේ නිහඬ ගුවන් ගැබ අපට කියා දුන් පාඩමයි . ඒ නැසෙන වැනසෙන එකට නැවතුමක් තිබිය යුතුමයි.

හදිසියේ පිපිරී නොමැරෙන එකම කොයි තරම් හොඳයිද කියලා හැමෝටම දැනිය යුතු වුනා .
හා හා පුරා උතුරු කොනට පත්වීම් ලැබූ අපි... තවත් නොපිපිරෙන නොමැරෙන නිසා අපේ අම්මලා සැනසීමෙන් උන්නා...උතුරේ කතාව හරියටම කියන්න පුළුවන් එහි ගිය අයට මිස කොළඹ පුටු රත් කළ අයට නොවේ.
මැදහත් හිතින්, ප්‍රශ්නයේ දෙපැත්තට බර නොවී කතා කරන්න පුළුවන් ඒ නිසයි.
අපි ගිනි නිවන්නන් වූ නිසා උතුරට රැගෙන ගියේ දයාව සහ සෙනෙහස... එනිසාමයි ඒ මිනිස්සුන්ගේ හිත් වලට සහනයක් ගෙනෙන්නට වැඩ කළේ.

නිර්වින්දක වෛද්‍යවරයාගේ සිට ප්‍රසව හා නාරිවේදය දක්වා සිටි වෛද්‍යවරුන් සම්මිශ්‍රණයක් සිටියේ. බහුතරය සිංහල වුනත් එහි ජාති බේදයක් තිබුනේ නෑ. සිංහල වෛද්‍යවරයාට තමන් සිහිනැති කරන්න දුන්නා , තමන්ගේ දරුවා නිරුපද්‍රිතව ඉපදීමට සහය පැතුවා. ඔවුන්ට බියක් හෝ සැකක් තිබුනේ නෑ ඔවුන්ට වෙනසක් වේවි කියලා.
මුහුණ බලන්නැතිව, අනින්නට පිහි වීදුරු කෑලි තියාගෙන පරුෂ ලෙස බැන වැදුණු හිටපු ත්‍රස්තයින් අවසානේ අප හා මිතුරු වුනා.

"ඔබ බෞද්ධ නිසාද ඉවසන්නේ" කියා එක් තරුණියක් මගෙන් ඇසුවා.
"ඉවසීමට ආගමක් නැතැයි" මා ඇයට කියා දුන්නා.

කොළඹ අපි බෝමබ නිසා සසල වූ හැටි කියද්දී, සාත්තු සේවිකාව ඔවුන්ගේ මායිම් ගමේ, ඇලවල කැලෑ වල හැංගුන හැටි කියද්දී, වන්නියේ කැලෑවක වෙඩි වැදුන ගීතා, මා වැනිම පෙනුමැති වෛද්‍යවරියක් ඒ තුවාල මහලා බෙහෙත් කළ හැටි කීවා.
"ගීතාට පව් කියන්නේ කොහොමද?" අසමින් සුළු සේවිකාව විස්සෝප වුනා. ඔවුන් දෙදෙනාටම මා තුල ඇති එකම ප්‍රේමයක් බව මා වටහා ගත්තා. නිරපේක්ෂ සෙනෙහස නම් මෙයමැයි කියා මා වටහා ගත්තා. (අනිත් කොන පොතේ ගීතා)

සිංහල වචනයක් ඇහෙද්දී ගහන්න පනින මනුස්සයා කොයි වෙලේ මට හරි සිංහල හෙදියට හරි ගසාවි යැයි බියෙන් සිටියා කියා අපේ ලොකු සර් කීවා. නමුත් කිසිම දිනක ඔහු එසේ අපට වචනෙකින් හෝ හානියක් කළේ නෑ.
"ඔබේ දෙවියන් ඔහුද ?" අසමින් බුදුන් දකින්නට අපි හැදූ බුදුමැදුර වෙත ඔහු ගියේ ඒ නිසා වෙන්න ඇති.
බුදුන් ද මිනිසෙක් බව මා ඔහුට කීවා
තමන් තුල ද බුදුන්, ජේසුන්, ක්‍රිශ්ණා හෝ විශ්නු ඉන්න බව මා ඔහුට කීවා.

වාට්ටුවට ගෙන ආ ගමන් මුහුණට කෙළ ගැසූ එක් කොල්ලෙක්ට මොකුත් නොකියා මා කළේ , මුහුණ සෝදා ගැනීමයි. ඔහු පසු දින සිට මා හා මිතුරු වූ අතර ඔහුගේ දෙවියන් ඔහුට කියන පණිවිඩ සහ මගේ ආරක්ෂාව පිණිස දෙවියන්ගෙන් කල්තියා අහලා දැන ගන්නා අනාවැකි පවසන්නත් , හානිදායක දිනයක් නම් මා කොහේ ඉන්නවද විමසා සැරෙන් සැරේ විත් , "තවම හොඳින් නේද?" කියා විමසන්නත් වුනා .
අපේ හිත් උනත් විස්සෝප කරන කලබල කරන සුළු සිදුවීම් නොතිබුනාම නොවෙයි.

 අපිට ගෙදර යන්න කියලා තර්ජන ආවත් එක්ක...  ඒත් අපි තව දුරටත් එහිම සිටියා. හිස මූණ අතගා, "නන්ඩ්‍රි අම්මා" කියන අත්තම්මලා ද , අත් දෙක එකතුකර ට්‍රොලියේ එළියට යන ගමන් අපිට ස්තූති කරන අම්මලාද අපේ හිත් වල සතුට පිරෙව්වා.
සමහර දවස් තිබුනා, කාමරෙන් එළියට බැහැලා, ටොයිලට් එකට යන ටිකට නිරාවරණය වුණු කොරිඩෝවෙන් වෙඩිල්ලක් ඒවිද බියෙන් හිටි දවස්. එළියේ සින්ක් එකෙන් කෑම පිගාන හෝදන ටිකට කම්බි වැටෙන් එහා කළු පාට වන රොදෙන් බුලට් එකක් වදීද බය හිතුන දවස්. කොහෙන් හෝ ගිනි පුපුරු විසිකරගැන්මට බලා සිටින්නන් බොහෝ වූ නිසා එදවස සොඳුරු වූයේ නම් නැත.
මිනිස් හදවත් වල සුව නොවූ තුවාල නෙතින් දකිමින් ඒ වින්ද දුක් කන්ද අපේ කරගනිමින් ඒ දවස් ගෙවුනා.

අනිත්කොන වුනේ ඒ කතා ගොන්නෙන් ස්වල්පයයි.
යළිත් ලොකු කෑල්ලම ඉල්ලන ඔබට මා කියන්නේ වන්නියට පැමිණ ඔවුන්ගේ දුක දකින ලෙසයි පුතුන් තිදෙනාගෙන් දෙන්නෙක්ම යුදයට ගොස් මැරී ගිය පසු ඉතිරි වූ අන්තිම පුතා ද මී උණ දරුණු වී මැරුණ විට වාට්ටුවේ තාප්පයට ඔළුව ගසා මියැදෙන්නට ඕනෑ යැයි කෑ ගැසූ පියවරුන්ගේ දුක එවිට ඔබට පෙනේවි. පිටරට ඉන්නා දරුවන්ගෙන් සැලකුම් නොලැබ, මහළු නිවාසවල ගාල් වුණු මව්වරුන්ගේ පියවරුන්ගේ දුක ඔබට පෙනේවී. පුපුරාගිය වන්නියක මව් පියන් අහිමිව, ළමා නිවාසවල තනිවී වැඩෙන දරුවන්ගේ දුක ඔබට පෙනේවි. ඔවුන් ආයුධ අත දරා මියැදෙන්නට තිබුන නමුත් දෛවයේ හාස්කමකට ඔවුන් යළි ජීවිතය ලද බවත් ඔබට පෙනේවි.
"අක්කා මං ඒ ලෙවල් පාස්" ,
"අක්කා මේ මම ලිරික්ස් ලියපු චිත්‍රපට ගීතය" ,
"අක්කා මම ප්‍රෙස් එකක් පටන් ගත්තා"
කියා පණිවිඩ එවයි. මග දිග වැරදුණු තැන් වලට මේ තාවකාලික පැලැස්‍තරවෙන්නත් ඇති.
එහෙත්, බෙදී මියයන එකට වඩා එක්ව ගොඩ නැගෙන එක හොඳ බව මා උගත් දහමයි.
ඉතින් යන්තම් හිස ඔසවන වන්නි හදවත් නැවත පුපුරවන්න එපා යැයි මා ඉල්ලන්නේ එහෙයිනි.

වෛද්‍ය බෝධිනී සමරතුංග
අනිත්කොන මතක...

Tuesday, January 2, 2018

මොකක්ද මේ GBV

I have been working in government hospitals and always delt with this issue in a serious level. I have penned most of these stories in my books and thought of sharing them here with you.
GBV desks are found in most of the hospitals but women are unaware and also stigmatized by society to seek help out in the open.

කිසිවෙක් හිංසනයට ලක්විය යුතු නොවේ.

කවර ආකාරයේ සමාජ පැවැත්මක් තිබුනද කිසිම ගැහැණියකට පුරුෂයෙක් එසේ කිරීම බරපතල වරදකි. එය සමාජයක හැසිරීම කෙරෙහි බලපවත්නා ඛේදවාචකයකි. රත්නපුරේදී බට්ටීට වූ පහරදීම ඔබට මතක ඇති, ඉහළ නිලධාරියෙකු කියා හෝ සැමියා බිරිඳ කියා හෝ එසේ ඉවසා ගත යුතු නැත. අද කතා බහට ලක් වූ හිංසනයට ලක්වූ ඇය කෙරෙහි ඇත්තේද සෙසු සියල්ලන් කෙරෙහි වූ දයා අනුකම්පාවමය.
මේ මා අවුරුදු ගණනාවක් තිස්සේ අත්දුටු ලියූ සියල්ල කැටි කරගත් කතා කිහිපයකි. නැවත පල කරන්නේ කිසිවෙක් හිංසනයට ලක් වියයුතු නොවන නිසා ය.

//හිස් බැල්මෙන් ඔහේ බලාගෙන ඉන්න ඇගේ මුහුණ දෙස යලිත් වතාවක් මම බැලුවෙමි. "අපි කිසි දෙයක් මේ අම්මාගේ කැමැත්තෙන් පිට කරන්නේ නෑ. මෙහෙම වහ බීලා ඇවිත් ඒ ගැන පොලිස්සියට පැමිණිල්ලක් කරොත් ඔයාගේ මහත්තයට වෙන දේ පොඩ්ඩක් හිතන්න."
"මට අද දවල් ඉඳන් හොඳටම බැන්නා. බිම ඉඳගෙන වලං හෝද හෝද ඉන්නකොට තඩි ගලකින් ගැහුවා. දැන් කොන්ද රිදෙනවා. මේ ටිකේම රතිඤඥා පත්තු කරලා ඇඟට දානවා."
මේ මනුස්සයාට මානසික ලෙඩක්ද ? ඇගේ කතාව අසාගෙන සිටි අප හැමටම හිතුනේ එහෙමයි. ඇගේ හය හැවිරිදි දියණිය අම්මාගේ වටේ දැවටෙමින් සිටියාය. මාස 4 ගැබිණියක් වූ ඇය අප වාට්ටුවේ සිටියේ අවුරුදු 8 තිස්සේ සිටි තම සැමියාගේ අඩම්තෙට්ටම් ඉවසාගත නොහැකි තැන මැලතියොන් නැමැති රසායනික විෂ ශරීරගත කරගෙනය. වාසනාවකට ඇගේ කුසේ සිටි දරුවාට හානියක් සිදුව තිබුනේ නෑ.
"අම්මේ බැඳපු මුල ඉඳන්ම මහත්තයා මෙහෙම කරදර කරාද ?"
"ඔව්. ඒත් අපි බැඳලා නෑ. " ඇගෙන ලැබුනේ අප විශ්මිත කරවන සුළු උත්තරයක්.ඇය අවුරුදු 8 තිස්සේ මෙලෙස බොහෝ කරදර විඳගෙන ජීවත්වී සිටින්නේ ඇය නීතියෙන් විවාහ කර නොගත් මිනිසෙක් සමගය.
"බැඳලා නැත්නම් මොන එහෙකට මෙහෙම කරදර විඳගෙන ඉන්නවද ?" මා අසල සිටි තව අයෙක් ඇසුවා.
"ලොකු දුව නිසා ඉවසගෙන හිටියා. ඒ කොහොම වුනත් මම මහත්තයාට ආදරෙයි. මට පැමිණිලි කරන්න ඕනේ නෑ.මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ"
කිසිම හැඟීමක් ඉරියව්වක් නැති ඒ මුහුණේ හිනාවක්වත් දුකක්වත් සටහන් වී තිබුනේ නෑ. "බිව්වම තමයි කරදර වැඩි." අප හා කතා බස් කරමින් සිටින අතරේ ඇය පැවසුවා මතකය.
-- උපුටා ගැනීම,
මා විසින් රචිත "අනිත් කොන" පිටු අංක 69-70

Gender based violence කියන දේ ගැන කාන්තාවන් ලෙස අප දැනගෙන සිටිය යුතුමයි.

වත්මන් ශිෂ්ට යැයි සම්මත සමාජය තුල, මානුෂීය ගුණාංග, සත්පුරුෂ බව, කරුණාව මෛත්‍රීය බොහෝ සෙයින් උසස් කොට සැලකේ. එනිසා බොහෝ රටවල රාජ්‍ය ව්‍යවසායකය තුල, රාජ්‍ය ආයතන තුල හිංසනය පිටු දැකීමේ වැඩ පිළිවෙලවල් දියත් කෙරේ.

ගැහැණු පිරිමි හෝ කිසිම කෙනෙක් හිංසනයට ලක්විය යුතු නොවේ යන්න අද ලෝකයේ ප්‍රබලතම ගුණාංගයයි. එය ධර්මිෂ්ඨ චින්තනයකි. හිංසනය තුලින් කායික මෙන්ම මානසික දුබලතාවයන් ඇති වේ. එය සමාජයක ගුණාත්මක භාවයට දැඩි හානියක් ඇති කරයි

විශේෂයෙන්ම කාන්තාවන්ට සිදුවන හිංසනය , ඇයගේ සැමියාගෙන් හෝ නිවසේ සිටින ඔහුගේ හෝ ඇයගේ පවුල්වල සාමාජිකයින්ගෙන් සිදුවිය හැක. පවුල රැකීම හෝ නම්බුවරැකීම කියා ඒ දේ ඉවසීම හෝ, අනුබල දීම හෝ දරාගැනීම සිදු කළ යුතු නොවේ.

අවුරුදු ගණනාවක්, කාන්තා, ළමා සහ මනෝවෛද්‍ය අංශ තුල වැඩ කර ඇති මම, මේ සමූහය තුල දුටු යම් යම් මතිමතාන්තර ඔස්සේ මේ දේ ලියන්නම ඕනෑ යැයි සිතුනා.
මාගේ ලියැවීම් දන්නා අය , මා අවුරුදු ගණනාවක් තිස්සේ ගැහැණුන් සහ දරුවන් ගැන ලියන අත්දැකීම් කියවනවා ඇති... මේ කොටස මා උපුටා ගත්තේ එවන් එක් කතාවකින්, අනිත්කොන පොතෙන් (මා විසින් රචිත)

//"බීමත් සැමියාගේ අඩම් තෙට්ටම් වලට ලක්වී අවසන ඔහු විසින් ගිනි තබා පුළුස්සා තිබූ දේවි ඇඟ පුරා පිළිස්සුම් තුවාල සහිතව කෙඳිරි ගාමින් ඉල්ලුවේ මැරෙන්නට පෙත්තක් දෙන්න කියාය. මුලදී සැමියා ඇය පීළිස්සූ බව කියූවද පසුව කල් ගත වෙද්දී තමාම ඇඟට ගිනි තියාගත් බව කීවාය. ඇගේ සැමියා රෝහලට පැමිණෙද්දී පවා බීමත්ව සිටි බවද නොයෙක් වර වාට්ටුවෙන් පිටතට එලවූ බවද වාට්ටු බාර හෙදියන් අප හා පැවසීය. දින 15 මුළුල්ලේ දුක් විඳි ඈ අවසන අවසන් සුසුම් හෙළුවේ පාසැල් යන කුඩා දරු තිදෙනෙකු අර බීමත් පියා වෙත තනි කරමිනි.

ගැහැණුන් හට දුකක් නොදෙන අනූපම ප්‍රේමයෙන් බිරිය සහ දරුවන් රකින බෝසත් ගුණ ඇති මිනිසුන් සිටිති. එවැනි සොඳුරු මිනිසුන් විරලය. දිනපතා සැමියාගේ අඩම් තෙට්ටම් නිසා කායික මානසික අඩම් තෙට්ටම් නිසා රෝහල් ගත වන කාන්තාවන් බොහෝය. ඔවුන් වෙනුවෙන්ම මේ වන විට රෝහල මගින් gender based violence desk යනුවෙන් පැමිණිලි විශ්ලේෂණය කර උපදේශනය සහ අවැසි උපකාර ලබා දෙන පිළිවෙලක් සකස් කොට ඇත්තේද එහෙයිනි....//
--- උපුටා ගැනීම අනිත් කොන පිටු අංක 164

අපේ රටේ මේ ගැන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ?

gender based violence desk යනුවෙන් වෙනම කාර් යාංශයක් සෑම ප්‍රධාන රෝහලකම තිබෙනවා. ඒ ඔස්සේ කායික, ශල්‍ය ප්‍රසව හා නාරි හෝ මනෝවෛද්‍ය මේ කුමන අංශයකදී හෝ හිංසනයට ලක් වූ කවුරුන් හෝ හඳුනාගතහොත් ඒ අය ගැන වඩා කැපවී ඔවුන් ඒ පීඩාවෙන් මුදවාගැනීම වෙනුවෙන්, ඔවුන්ට යළි ඒපීඩා සිදු නොවීම වෙනුවෙන් ක්‍රියා කරනවා.

උදාහරණයක් ලෙස, එවන් කෙනෙක් මුණ ගැසුනොත් හෝ එවන් කෙනෙක් යැයි අපට හැඟුනොත්, මනෝවෛද්‍ය අංශයේ වෛද්‍යවරයෙක්ට ඇය යොමු කර උපදේශනය මගින් ඇගේ විඳවීම හෝ පීඩනය වටහා ගන්නවා. පොලීසිය දක්වා මේ ප්‍රශ්න ගෙන යෑමට අකමැති ගැහැණු සිටිනවා. එවිට ඔවුන්ගේ පවුලේ අය ගෙන්වා කතා බස් කිරීම , සැමියාගේ හො නැන්දම්මාගේ හෝ මස්සිනාගේ එම හැසිරීමට හේතු සෙවීම සිදුකරනවා, එලෙස හඳුනාගත් ඇතැම් සැමියන්, බීමත්කම නිසා මෙලෙස හැසිරෙනවා, එහෙමත් නැත්නම් මානසික ව්‍යාදීන් නිසා මෙහෙම අනුන්ව පීඩාවට පත් කරනවා. එවිට ඒ සඳහා වඩා අත්දැකීම් සහ පරිණතභාවය ඇති විශේෂඥ මනෝවෛද්‍යවරයෙකුගේ මැදිහත්වීමත් ලබා ගන්නවා, එලෙස අප මැදිහත් වූ සිදුවීම් බොහෝමයක් සාර්ථකව විසඳුවා.

මේ කාලයේ, වඩා ආගමික හෝ ධාර්මික අධ්‍යාත්මික දියුණුවක් ගැන වෙහෙසෙන බුද්ධිමත් කාන්තාවන් ලෙස ඔබ, කායික හෝ මානසික හිංසනය කොහොම කොයි ප්‍රමාණයෙන් සිදුවුනත් පිටු දැකිය යුතුය.

“ එය පොඩි පාරක් නේ, තට්ටුවක් නේ, පොඩ්ඩක් බැන්නානේ, එහෙම තමයි සැමියා උනාම , බිරිඳ උනාම” කියා ඉවසිය යුතු නොවේ. පෙර කාලේ එහෙම ගොඩ නැගිච්ච සමාජයක් තිබුනා, නමුත් ඒක හරි දේ නොවේ. අපි හරි දේ හරි විදිහට දැක්කම, ඒ දේවල් අපේ සමාජයේ උන්නතිය වෙනුවෙන් යොදා ගන්න ඕනේ.

අද අපි වෙනස් වුනොත්, ඉදිරි සමාජය වෙනස් වේවි. රාජ්‍ය නීති රීති තුලින් මේ හිංසනය වැලැක්වීමට අපි කටයුතු කරන්නේ නම්, ඔබ එයට අනුබල දෙන කෙනෙකුනම් මේ සමාජය හරියාකාරව හදන්නේ කෙසේද ? "මගේ මහත්තයා මට පහරක් ගැහුවා, " කියන ගැහැණු කෙනාට, "අනේ ඉවසන්න, ඔයාගේ වැරැද්දනේ, ඔයාගේ වැරැද්ද කල්පනා කරලා බලන්න කලබල වෙන්න එපා " කියා පිළිතුරු දෙන එක වැරදියි. පළමු පහරදීමෙන්ම ඔහුට වැරැද්ද වටහා දිය යුතුයි. රෝහල්ගත කරන්න තරම් දරුණුලෙස පහර දීම් වලට ලක්වූ ගැහැණු දැරිවියන්, මිනිසුන් මා දැක තිබේ. හමුවී කතා කර තිබේ. ඒ සියලු හිංසනයන් එක රැයින් සිදුවූ දේවල් නොවේ. දිනපතා නිතිපතා කෙමෙන් කෙමෙන් දරුණු වූ ඒවා වේ.

කාන්තාවන් ලෙස අපි ගෘහස්ථ හිංසනය ඉවසන්න කියා කියන්නේ නම් එය සමස්ථ සමාජයට කරන්නාවූ අන්තරාවකි.