Tuesday, January 2, 2018

මොකක්ද මේ GBV


//හිස් බැල්මෙන් ඔහේ බලාගෙන ඉන්න ඇගේ මුහුණ දෙස යලිත් වතාවක් මම බැලුවෙමි. "අපි කිසි දෙයක් මේ අම්මාගේ කැමැත්තෙන් පිට කරන්නේ නෑ. මෙහෙම වහ බීලා ඇවිත් ඒ ගැන පොලිස්සියට පැමිණිල්ලක් කරොත් ඔයාගේ මහත්තයට වෙන දේ පොඩ්ඩක් හිතන්න."
"මට අද දවල් ඉඳන් හොඳටම බැන්නා. බිම ඉඳගෙන වලං හෝද හෝද ඉන්නකොට තඩි ගලකින් ගැහුවා. දැන් කොන්ද රිදෙනවා. මේ ටිකේම රතිඤඥා පත්තු කරලා ඇඟට දානවා."
මේ මනුස්සයාට මානසික ලෙඩක්ද ? ඇගේ කතාව අසාගෙන සිටි අප හැමටම හිතුනේ එහෙමයි. ඇගේ හය හැවිරිදි දියණිය අම්මාගේ වටේ දැවටෙමින් සිටියාය. මාස 4 ගැබිණියක් වූ ඇය අප වාට්ටුවේ සිටියේ අවුරුදු 8 තිස්සේ සිටි තම සැමියාගේ අඩම්තෙට්ටම් ඉවසාගත නොහැකි තැන මැලතියොන් නැමැති රසායනික විෂ ශරීරගත කරගෙනය. වාසනාවකට ඇගේ කුසේ සිටි දරුවාට හානියක් සිදුව තිබුනේ නෑ.
"අම්මේ බැඳපු මුල ඉඳන්ම මහත්තයා මෙහෙම කරදර කරාද ?"
"ඔව්. ඒත් අපි බැඳලා නෑ. " ඇගෙන ලැබුනේ අප විශ්මිත කරවන සුළු උත්තරයක්.ඇය අවුරුදු 8 තිස්සේ මෙලෙස බොහෝ කරදර විඳගෙන ජීවත්වී සිටින්නේ ඇය නීතියෙන් විවාහ කර නොගත් මිනිසෙක් සමගය.
"බැඳලා නැත්නම් මොන එහෙකට මෙහෙම කරදර විඳගෙන ඉන්නවද ?" මා අසල සිටි තව අයෙක් ඇසුවා.
"ලොකු දුව නිසා ඉවසගෙන හිටියා. ඒ කොහොම වුනත් මම මහත්තයාට ආදරෙයි. මට පැමිණිලි කරන්න ඕනේ නෑ.මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ"
කිසිම හැඟීමක් ඉරියව්වක් නැති ඒ මුහුණේ හිනාවක්වත් දුකක්වත් සටහන් වී තිබුනේ නෑ. "බිව්වම තමයි කරදර වැඩි." අප හා කතා බස් කරමින් සිටින අතරේ ඇය පැවසුවා මතකය. 

උපුටා ගැනීම, මා විසින් රචිත "අනිත් කොන" පිටු අංක 69-70
Gender based violence කියන දේ ගැන කාන්තාවන් ලෙස අප දැනගෙන සිටිය යුතුමයි.

වත්මන් ශිෂ්ට යැයි සම්මත සමාජය තුල, මානුෂීය ගුණාංග, සත්පුරුෂ බව, කරුණාව මෛත්‍රීය බොහෝ සෙයින් උසස් කොට සැලකේ. එනිසා බොහෝ රටවල රාජ්‍ය ව්‍යවසායකය තුල, රාජ්‍ය ආයතන තුල හිංසනය පිටු දැකීමේ වැඩ පිළිවෙලවල් දියත් කෙරේ.


ගැහැණු පිරිමි හෝ කිසිම කෙනෙක් හිංසනයට ලක්විය යුතු නොවේ යන්න අද ලෝකයේ ප්‍රබලතම ගුණාංගයයි. එය ධර්මිෂ්ඨ චින්තනයකි. හිංසනය තුලින් කායික මෙන්ම මානසික දුබලතාවයන් ඇති වේ. එය සමාජයක ගුණාත්මක භාවයට දැඩි හානියක් ඇති කරයි

විශේෂයෙන්ම කාන්තාවන්ට සිදුවන හිංසනය , ඇයගේ සැමියාගෙන් හෝ නිවසේ සිටින ඔහුගේ හෝ ඇයගේ පවුල්වල සාමාජිකයින්ගෙන් සිදුවිය හැක. පවුල රැකීම හෝ නම්බුවරැකීම කියා ඒ දේ ඉවසීම හෝ, අනුබල දීම හෝ දරාගැනීම සිදු කළ යුතු නොවේ.

අවුරුදු ගණනාවක්, කාන්තා, ළමා සහ මනෝවෛද්‍ය අංශ තුල වැඩ කර ඇති මම, මේ සමූහය තුල දුටු යම් යම් මතිමතාන්තර ඔස්සේ මේ දේ ලියන්නම ඕනෑ යැයි සිතුනා.
මාගේ ලියැවීම් දන්නා අය , මා අවුරුදු ගණනාවක් තිස්සේ ගැහැණුන් සහ දරුවන් ගැන ලියන අත්දැකීම් කියවනවා ඇති... මේ කොටස මා උපුටා ගත්තේ එවන් එක් කතාවකින්, අනිත්කොන පොතෙන් (මා විසින් රචිත)

//"බීමත් සැමියාගේ අඩම් තෙට්ටම් වලට ලක්වී අවසන ඔහු විසින් ගිනි තබා පුළුස්සා තිබූ දේවි ඇඟ පුරා පිළිස්සුම් තුවාල සහිතව කෙඳිරි ගාමින් ඉල්ලුවේ මැරෙන්නට පෙත්තක් දෙන්න කියාය. මුලදී සැමියා ඇය පීළිස්සූ බව කියූවද පසුව කල් ගත වෙද්දී තමාම ඇඟට ගිනි තියාගත් බව කීවාය. ඇගේ සැමියා රෝහලට පැමිණෙද්දී පවා බීමත්ව සිටි බවද නොයෙක් වර වාට්ටුවෙන් පිටතට එලවූ බවද වාට්ටු බාර හෙදියන් අප හා පැවසීය. දින 15 මුළුල්ලේ දුක් විඳි ඈ අවසන අවසන් සුසුම් හෙළුවේ පාසැල් යන කුඩා දරු තිදෙනෙකු අර බීමත් පියා වෙත තනි කරමිනි.

ගැහැණුන් හට දුකක් නොදෙන අනූපම ප්‍රේමයෙන් බිරිය සහ දරුවන් රකින බෝසත් ගුණ ඇති මිනිසුන් සිටිති. එවැනි සොඳුරු මිනිසුන් විරලය. දිනපතා සැමියාගේ අඩම් තෙට්ටම් නිසා කායික මානසික අඩම් තෙට්ටම් නිසා රෝහල් ගත වන කාන්තාවන් බොහෝය. ඔවුන් වෙනුවෙන්ම මේ වන විට රෝහල මගින් gender based violence desk යනුවෙන් පැමිණිලි විශ්ලේෂණය කර උපදේශනය සහ අවැසි උපකාර ලබා දෙන පිළිවෙලක් සකස් කොට ඇත්තේද එහෙයිනි....//


උපුටා ගැනීම අනිත් කොන පිටු අංක 164
අපේ රටේ මේ ගැන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ?

gender based violence desk යනුවෙන් වෙනම කාර් යාංශයක් සෑම ප්‍රධාන රෝහලකම තිබෙනවා. ඒ ඔස්සේ කායික, ශල්‍ය ප්‍රසව හා නාරි හෝ මනෝවෛද්‍ය මේ කුමන අංශයකදී හෝ හිංසනයට ලක් වූ කවුරුන් හෝ හඳුනාගතහොත් ඒ අය ගැන වඩා කැපවී ඔවුන් ඒ පීඩාවෙන් මුදවාගැනීම වෙනුවෙන්, ඔවුන්ට යළි ඒපීඩා සිදු නොවීම වෙනුවෙන් ක්‍රියා කරනවා.
උදාහරණයක් ලෙස, එවන් කෙනෙක් මුණ ගැසුනොත් හෝ එවන් කෙනෙක් යැයි අපට හැඟුනොත්, මනෝවෛද්‍ය අංශයේ වෛද්‍යවරයෙක්ට ඇය යොමු කර උපදේශනය මගින් ඇගේ විඳවීම හෝ පීඩනය වටහා ගන්නවා. පොලීසිය දක්වා මේ ප්‍රශ්න ගෙන යෑමට අකමැති ගැහැණු සිටිනවා. එවිට ඔවුන්ගේ පවුලේ අය ගෙන්වා කතා බස් කිරීම , සැමියාගේ හො නැන්දම්මාගේ හෝ මස්සිනාගේ එම හැසිරීමට හේතු සෙවීම සිදුකරනවා, එලෙස හඳුනාගත් ඇතැම් සැමියන්, බීමත්කම නිසා මෙලෙස හැසිරෙනවා, එහෙමත් නැත්නම් මානසික ව්‍යාදීන් නිසා මෙහෙම අනුන්ව පීඩාවට පත් කරනවා. එවිට ඒ සඳහා වඩා අත්දැකීම් සහ පරිණතභාවය ඇති විශේෂඥ මනෝවෛද්‍යවරයෙකුගේ මැදිහත්වීමත් ලබා ගන්නවා, එලෙස අප මැදිහත් වූ සිදුවීම් බොහෝමයක් සාර්ථකව විසඳුවා.

මේ කාලයේ, වඩා ආගමික හෝ ධාර්මික අධ්‍යාත්මික දියුණුවක් ගැන වෙහෙසෙන බුද්ධිමත් කාන්තාවන් ලෙස ඔබ, කායික හෝ මානසික හිංසනය කොහොම කොයි ප්‍රමාණයෙන් සිදුවුනත් පිටු දැකිය යුතුය.

“ එය පොඩි පාරක් නේ, තට්ටුවක් නේ, පොඩ්ඩක් බැන්නානේ, එහෙම තමයි සැමියා උනාම , බිරිඳ උනාම” කියා ඉවසිය යුතු නොවේ. පෙර කාලේ එහෙම ගොඩ නැගිච්ච සමාජයක් තිබුනා, නමුත් ඒක හරි දේ නොවේ. අපි හරි දේ හරි විදිහට දැක්කම, ඒ දේවල් අපේ සමාජයේ උන්නතිය වෙනුවෙන් යොදා ගන්න ඕනේ.

අද අපි වෙනස් වුනොත්, ඉදිරි සමාජය වෙනස් වේවි. රාජ්‍ය නීති රීති තුලින් මේ හිංසනය වැලැක්වීමට අපි කටයුතු කරන්නේ නම්, ඔබ එයට අනුබල දෙන කෙනෙකුනම් මේ සමාජය හරියාකාරව හදන්නේ කෙසේද ? "මගේ මහත්තයා මට පහරක් ගැහුවා, " කියන ගැහැණු කෙනාට, "අනේ ඉවසන්න, ඔයාගේ වැරැද්දනේ, ඔයාගේ වැරැද්ද කල්පනා කරලා බලන්න කලබල වෙන්න එපා " කියා පිළිතුරු දෙන එක වැරදියි. පළමු පහරදීමෙන්ම ඔහුට වැරැද්ද වටහා දිය යුතුයි. රෝහල්ගත කරන්න තරම් දරුණුලෙස පහර දීම් වලට ලක්වූ ගැහැණු දැරිවියන්, මිනිසුන් මා දැක තිබේ. හමුවී කතා කර තිබේ. ඒ සියලු හිංසනයන් එක රැයින් සිදුවූ දේවල් නොවේ. දිනපතා නිතිපතා කෙමෙන් කෙමෙන් දරුණු වූ ඒවා වේ.


කාන්තාවන් ලෙස අපි ගෘහස්ථ හිංසනය ඉවසන්න කියා කියන්නේ නම් එය සමස්ථ සමාජයට කරන්නාවූ අන්තරාවකි. 

Image sources -
https://www.8womendream.com/wp-content/uploads/
http://serac-bd.org/wp-content/uploads/2014/12/
http://unfpa.org

3 comments:

  1. තමන්ගෙ හෝ පවුලේ නම්බු ගැන සිතා හැමදේම ඉවසා දරා ඉන්නා ගැහැණු අදටත් ඉන්නවා... ඒ වගේම “මේක මගේ කරුමෙ.. කරුම ගෙවන්න තියනවා නම් ගෙවන්නම එපා.”මේ විදිහට හිතන කතා කරන අය හමු වෙලා තියනවා.. ඒ ගැන ගොඩක් කනගාටුයි.. මේ තැන් වෙනස් විය යුතුයි..

    ReplyDelete
  2. ගැහැණුන්ගේ ආත්ම ශක්තිය ගොඩ නගන ඔබේ මේ ලිපි ඉතා වට්නවා.
    ගැහැණියට ගරුත්වයකින් යුතුව සලකන්න තමා හා සමව සලකන්න පුළුවන් ආත්ම ශක්තියක් පිරිමින් තුල වර්ධනය කිරීමත් ඉතාම වැදගත්. මේ ප්‍රශ්නයේ පිළිතුර ගැහැණුන් දැනුවත්කිරීමෙන් එහාට ගිහින් ආත්ම ශක්තියක් ඇති පිරිමින් ගොඩ නැගීම දක්වා ගෙන යායුතුයි.

    ReplyDelete
  3. ලංකාව තුල කතා කළ යුතුම මාතෘකාවක් , විශේෂයෙන්ම පසුගිය දශක කිහිපය තුල සිදුවන සමාජයීය පරිව්ර්තනයන් සමඟ ගෘහස්ථ හිංසනයන් (ස්ත්‍රී මෙන්ම පුර්ෂ පාර්ශවය වෙතද සිදුවන) ප්‍රමාණාත්මකව වගේම එම හිංසනයන්ගේ තත්ත්වයන් අනුවත් වැඩි වෙන බවක් දිනපතා පුවත්පත් ඔස්සෙ දකින දේ අනුව වැටහෙනවා.
    ස්තුතියි ඔබේ කාළය සහ වෙහෙසෙ මේ සරු ලිපිය වෙනුවෙන් කැප කළ.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !