Friday, February 16, 2018

වන්නි හදවත් පුපුරවන්න එපා

"මම වැඩ කළේ පොලීසියේ"

මාංචු ගැලවූ අත් අඩංගුවේ සිටි මිනිසා මට පැවසීය. මීට ස්වල්ප වේලාවකට කළින්.. "ඩොක්ටර් අපිට සිංහල තේරෙනවා" කීවේත් මොහුය.
බස් පුරවා සෙනග පැමිණෙන ඒ කාලයේ , වාට්ටුව ඉදිරිපිට කොරිඩෝවේ පෝලිම් ගැසී සිටින ජනකාය දුටු විට ඩියුටි ඉන්න එකම එක නේවාසික වෛද්‍යවරයාට
"අනේ අපොයි "කියැවෙනවා.
"ඇයි මේ" කියා මුල් කාලයේ අපි වික්ෂිප්ත වෙනකොට තමයි අපි දැනගත්තේ බහුතරයක්පොඩි පොඩි අමාරුත් ලොකු කරගෙන ඇඩ්මිට් වෙන්නේ , කඳවුරෙන් මිදෙන්න. ටික කාලෙකට හරි ඒ පරිසරයෙන් මිදෙන්න.
එහෙම විස්තර කතා කරද්දි තමයි ඔවුන් අතරෙන් කෙනෙක් කීවේ සිංහලත් පුළුවන් බව.
මට කතා කළ ඒ පුද්ගලයා ltte ත්‍රස්තවාදී සංවිධානයේ පොලීසියේ වැඩ කළ කෙනෙක්. "දැන් අපිට නරක කාලයක් උනාට අනික් අයට හොඳයිනේ " ඔහු කීවා. "මට බබාලා දෙන්නයි, මෝටර්සයිකලයක් තිබ්බා, .............පාරේ ගෙවල් තිබුනේ, දවල්ට මා බලන්න එයාලා එයි. " ඔහු අපට දරුවන්, බිරිඳ ආ විට ඔවුන් හඳුන්වා දුන්නා. ත්‍රස්තවාදය තමන්ගේම ජාතික වැසියන්ට පවා හානි කිරීම නිසා සමස්ථ ගමන් මග වැරදුණු බව ඔහු පැවසුවා. තමිලිනී ජෙයකුමාරන් ද් ඈ ලියූ පොතෙන් ඒ වග කියා තිබුනා.

යුද්ධය නිමා කළ යුතුව තිබුනා. අවුරුදු ගාණක් ඒ වෙද්දි අපි හෙම්බත් වෙලා මියැදෙමින් හිටියේ. මේ සියල්ලට මූලික වූ ත්‍රස්තවාදය නැවැත්විය යුතුව තිබුනා.
උතුරෙත් දකුණෙත් මළ ගෙවල් ඕසෙට තිබුනා. කොයි හංදියේ පිපිරෙයිද කෑලි කැඩෙයිද විසිවෙලා සුන් වෙයිද බයෙන් අපි මේ කොනේ හිටියා.
කේඬෑරි අත් වලින් අවි ඔසවන් වන්නියේ නොදන්නා කැලෑවල ගීතලා, රාජිතන්ලා නොවැටහුණු යුද්ධයක කුරුමානම් ඇල්ලුවා. සමහර අම්මලා තමන්ගේදූවරුන් වැඩිවියඑළඹෙද්දීම කවුරු හරි නෑයෙක්ට බන්දලා දුන්නා. ඇයි ඇහුවම කීවේ එහෙම නොකළානම් ඔවුන් ළමා ළමා සොල්දාදුවන් කරන්න පැහැරගෙන යන වගයි. ඔවුන්ට සිදු වුනේ ළමා මව්වරුන් වෙන්න. (අනිත්කොන තනි වුන ළමා මව්වරු)

ඒකොනත් මේ කොනත් එක වගේ ගිනි ගත්තා. හැදූ දරුවන් සේරම යුද්ධෙට බිලිවෙනකම් වන්නියේ අම්මලාත් දකුණේ අම්මලාත් කඳුළු සැළුවා. කිසි අඩුවක් නැතිව උස් මහත් කළ පුතුන් පෙට්ටි වල ගෙදර එද්දී මේ අම්මලා කඳුළු සැළුවා. ස්වාමිවරු භාර් යාවන් දූ පුතුන් අහිමි වෙමින් අවුරුදු තිහක් මේ රටේ අපි නැත්තටම නැති උනා.

එනිසා යළිත් කියමි, යුද්ධය නිමා කළ යුතුව තිබුනා.. ත්‍රස්තවාදය නැවැත්විය යුතුව තිබුනා. ඒත් මේ කාරණා දෙකෙන් ඔබ්බට අපි, ඔවුන් සියල්ලෝම එක මිනිස් ජාතියක්, මේ රටේම පුර වැසියන්. මේ ප්‍රශ්න විසඳෙන්නේ නැති වෙන්න එක හේතුවක් තමයි මේ ජයග්‍රහණය පොදු වුනේ නැති එක, පොදු කළේ නැති එක. ඔවුන් ඒ ගිය මග දොසක් ලෙස පසුතැවිලි නොවුනේ බොහොම කළාතුරකින් කෙනෙක්.

රටක් වශයෙන් ගත්තම මිනිස් සංහාරය මින් ඉදිරියට නවත්වපු එකම ලොකු දෙයක් ලෙස වන්නියේ නිහඬ ගුවන් ගැබ අපට කියා දුන් පාඩමයි . ඒ නැසෙන වැනසෙන එකට නැවතුමක් තිබිය යුතුමයි.

හදිසියේ පිපිරී නොමැරෙන එකම කොයි තරම් හොඳයිද කියලා හැමෝටම දැනිය යුතු වුනා .
හා හා පුරා උතුරු කොනට පත්වීම් ලැබූ අපි... තවත් නොපිපිරෙන නොමැරෙන නිසා අපේ අම්මලා සැනසීමෙන් උන්නා...උතුරේ කතාව හරියටම කියන්න පුළුවන් එහි ගිය අයට මිස කොළඹ පුටු රත් කළ අයට නොවේ.
මැදහත් හිතින්, ප්‍රශ්නයේ දෙපැත්තට බර නොවී කතා කරන්න පුළුවන් ඒ නිසයි.
අපි ගිනි නිවන්නන් වූ නිසා උතුරට රැගෙන ගියේ දයාව සහ සෙනෙහස... එනිසාමයි ඒ මිනිස්සුන්ගේ හිත් වලට සහනයක් ගෙනෙන්නට වැඩ කළේ.

නිර්වින්දක වෛද්‍යවරයාගේ සිට ප්‍රසව හා නාරිවේදය දක්වා සිටි වෛද්‍යවරුන් සම්මිශ්‍රණයක් සිටියේ. බහුතරය සිංහල වුනත් එහි ජාති බේදයක් තිබුනේ නෑ. සිංහල වෛද්‍යවරයාට තමන් සිහිනැති කරන්න දුන්නා , තමන්ගේ දරුවා නිරුපද්‍රිතව ඉපදීමට සහය පැතුවා. ඔවුන්ට බියක් හෝ සැකක් තිබුනේ නෑ ඔවුන්ට වෙනසක් වේවි කියලා.
මුහුණ බලන්නැතිව, අනින්නට පිහි වීදුරු කෑලි තියාගෙන පරුෂ ලෙස බැන වැදුණු හිටපු ත්‍රස්තයින් අවසානේ අප හා මිතුරු වුනා.

"ඔබ බෞද්ධ නිසාද ඉවසන්නේ" කියා එක් තරුණියක් මගෙන් ඇසුවා.
"ඉවසීමට ආගමක් නැතැයි" මා ඇයට කියා දුන්නා.

කොළඹ අපි බෝමබ නිසා සසල වූ හැටි කියද්දී, සාත්තු සේවිකාව ඔවුන්ගේ මායිම් ගමේ, ඇලවල කැලෑ වල හැංගුන හැටි කියද්දී, වන්නියේ කැලෑවක වෙඩි වැදුන ගීතා, මා වැනිම පෙනුමැති වෛද්‍යවරියක් ඒ තුවාල මහලා බෙහෙත් කළ හැටි කීවා.
"ගීතාට පව් කියන්නේ කොහොමද?" අසමින් සුළු සේවිකාව විස්සෝප වුනා. ඔවුන් දෙදෙනාටම මා තුල ඇති එකම ප්‍රේමයක් බව මා වටහා ගත්තා. නිරපේක්ෂ සෙනෙහස නම් මෙයමැයි කියා මා වටහා ගත්තා. (අනිත් කොන පොතේ ගීතා)

සිංහල වචනයක් ඇහෙද්දී ගහන්න පනින මනුස්සයා කොයි වෙලේ මට හරි සිංහල හෙදියට හරි ගසාවි යැයි බියෙන් සිටියා කියා අපේ ලොකු සර් කීවා. නමුත් කිසිම දිනක ඔහු එසේ අපට වචනෙකින් හෝ හානියක් කළේ නෑ.
"ඔබේ දෙවියන් ඔහුද ?" අසමින් බුදුන් දකින්නට අපි හැදූ බුදුමැදුර වෙත ඔහු ගියේ ඒ නිසා වෙන්න ඇති.
බුදුන් ද මිනිසෙක් බව මා ඔහුට කීවා
තමන් තුල ද බුදුන්, ජේසුන්, ක්‍රිශ්ණා හෝ විශ්නු ඉන්න බව මා ඔහුට කීවා.

වාට්ටුවට ගෙන ආ ගමන් මුහුණට කෙළ ගැසූ එක් කොල්ලෙක්ට මොකුත් නොකියා මා කළේ , මුහුණ සෝදා ගැනීමයි. ඔහු පසු දින සිට මා හා මිතුරු වූ අතර ඔහුගේ දෙවියන් ඔහුට කියන පණිවිඩ සහ මගේ ආරක්ෂාව පිණිස දෙවියන්ගෙන් කල්තියා අහලා දැන ගන්නා අනාවැකි පවසන්නත් , හානිදායකදිනයක් නම් මා කොහේ ඉන්නවද විමසා සැරෙන් සැරේ විත් , "තවම හොඳින් නේද?" කියා විමසන්නත් වුනා .
අපේ හිත් උනත් විස්සෝප කරන කලබල කරන සුළු සිදුවීම් නොතිබුනාම නොවෙයි.

 අපිට ගෙදර යන්න කියලා තර්ජන ආවත් එක්ක...  ඒත් අපි තව දුරටත් එහිම සිටියා. හිස මූණ අතගා, "නන්ඩ්‍රි අම්මා" කියන අත්තම්මලා ද , අත් දෙක එකතුකර ට්‍රොලියේ එළියට යන ගමන් අපිට ස්තූති කරන අම්මලාද අපේ හිත් වල සතුට පිරෙව්වා.
සමහර දවස් තිබුනා, කාමරෙන් එළියට බැහැලා, ටොයිලට් එකට යන ටිකට නිරාවරණය වුණු කොරිඩෝවෙන් වෙඩිල්ලක් ඒවිද බියෙන් හිටි දවස්. එළියේ සින්ක් එකෙන් කෑම පිගාන හෝදන ටිකට කම්බි වැටෙන් එහා කළු පාට වන රොදෙන් බුලට් එකක් වදීද බය හිතුන දවස්. කොහෙන් හෝ ගිනි පුපුරු විසිකරගැන්මට බලා සිටින්නන් බොහෝ වූ නිසා එදවස සොඳුරු වූයේ නම් නැත.
මිනිස් හදවත් වල සුව නොවූ තුවාල නෙතින් දකිමින් ඒ වින්ද දුක් කන්ද අපේ කරගනිමින් ඒ දවස් ගෙවුනා.

අනිත්කොන වුනේ ඒ කතා ගොන්නෙන් ස්වල්පයයි.
යළිත් ලොකු කෑල්ලම ඉල්ලන ඔබට මා කියන්නේ වන්නියට පැමිණ ඔවුන්ගේ දුක දකින ලෙසයි පුතුන් තිදෙනාගෙන් දෙන්නෙක්ම ත්‍රස්තයින් පැහැරගෙන ගොස් මැරී ගිය පසු ඉතිරි වූ අන්තිම පුතා ද මී උණ දරුණු වී මැරුණ විට වාට්ටුවේ තාප්පයට ඔළුව ගසා මියැදෙන්නට ඕනෑ යැයි කෑ ගැසූ පියවරුන්ගේ දුක එවිට ඔබට පෙනේවි. පිටරට ඉන්නා දරුවන්ගෙන් සැලකුම් නොලැබ, මහළු නිවාසවල ගාල් වුණු මව්වරුන්ගේ පියවරුන්ගේ දුක ඔබට පෙනේවී. පුපුරාගිය වන්නියක මව් පියන් අහිමිව, ළමා නිවාසවල තනිවී වැඩෙන දරුවන්ගේ දුක ඔබට පෙනේවි. ඔවුන් ආයුධ අත දරා මියැදෙන්නට තිබුන නමුත් දෛවයේ හාස්කමකට ඔවුන් යළි ජීවිතය ලද බවත් ඔබට පෙනේවි.
"අක්කා මං ඒ ලෙවල් පාස්" ,
"අක්කා මේ මම ලිරික්ස් ලියපු චිත්‍රපට ගීතය" ,
"අක්කා මම ප්‍රෙස් එකක් පටන් ගත්තා"
කියා පණිවිඩ එවයි. මග දිග වැරදුණු තැන් වලට මේ තාවකාලික පැලැස්‍තරවෙන්නත් ඇති.
එහෙත්, බෙදී මියයන එකට වඩා එක්ව ගොඩ නැගෙන එක හොඳ බව මා උගත් දහමයි.
ඉතින් යන්තම් හිස ඔසවන වන්නි හදවත් නැවත පුපුරවන්න එපා යැයි මා ඉල්ලන්නේ එහෙයිනි.

වෛද්‍ය බෝධිනී සමරතුංග
අනිත්කොන මතක...

9 comments:

  1. Dr. Bodhini
    After long silence, you took us back to the war ridden dark period of our Country. Is it b's present political unrest in the country has refreshed your memories of that Darkest Period of our Country ?

    ReplyDelete
  2. ඉවසීමට ආගමක් නැත...මිනිස්සුන්ට මෙන්න මේ වැකිය තේරෙනවා නම් ඒ ප්‍රමාණවත් නංගි....

    ReplyDelete
  3. යුද්ධය බඩ වියත උදුරාගෙන නොරටුන්ගේ බැංකු පොත් පුරවයි.

    ReplyDelete
  4. අතිශයිම සංවේදීවූ ලිපියක්! කන්තෝරුවේ අනිත් වුන්ගෙන් දෑස් සඟවාගෙන කියැවූයේ! ලියන්නට බොහෝ දේ ඇත ! මේ ඊට වෙලාව නොවන්නේය! ලියන්නම් අන්තිමට සියළු දේ කැටිකොට එක් වදනක්!
    "මිනිසත්කම....!"

    ReplyDelete
  5. සොයුරිය, ඔබ දුන් පණිවුඩය ඉතා ම වැදගත්. ඔවුන් පිළිබඳ මෙවැනි සංවේදී කරුණු අප සමාජය වෙත ගලා එන්නේ ඉතා අඩුවෙන්. බොහෝ විට දෙගොල්ලන් ම අතර ඇති මෙම සන්නිවේදන බාධක නිසාම යි අනවබෝධයන් ඇතිවන්නේත්. ඒත් ඔබගේ ලිපියේ අවසාන වැකියෙන් කරන ඉල්ලීම තවත් ටිකක් පැහැදිළි කළ හැකිද? මන්ද යත්, මට පෙනෙන්නේ ම, ඔවුන් තුල ගිනි අවුළුවන්නේ ඔවුන්ගේ බලලෝභී දේශපාලකයන් හා යටි අරමුණු සහිත, ඔවුන්ගේ විදේශගත ප්‍රජාව බවයි. මා හට මීට පිළිතුරක් ලබා දෙන්න. ඔබගේ එහි අත්දැකීම් අනුව, අපට එක් වර ම නොවැටහෙන දෑ පිළිබඳ ව වඩාත් පුළුල් අවබෝධයක් ඔබට ඇති.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !