Monday, June 11, 2018

ජීවිතය පැකට් කරලා දෙන්න පුළුවන් බව ඔබ දන්නවාද ?

ජීවිතය පැකට් කරලා දෙන්න පුළුවන් බව ඔබ දන්නවාද ?
මහ රෑ දොළහට පමණ ප්‍රසව හා නාරිවේද වාට්ටුවට, ප්‍රාදේශීය රෝහලකින් ගෙන ආවා ප්‍රෙශර් තිබ්බ සති 39 පමණ ගර්භණී අම්මා කෙනෙක්. ඒ ගෙනා ස්ට්‍රෙචර් ඒකේ ලේ ගංගාවක් ගලලා තිබුනා. අපි දැක්ක ගමන් දැනගත්තා අපිට තියෙන අභියෝගය මොකක්ද කියලා.
ඒ අම්මාට සංකූලතා බොහොමයක් තිබුනා, වැඩිමහළු කම , ප්‍රෙශර් සහ ගිය වර දරු උපත සිසේරියන් සැත්කමකින් සිදු කර තිබුනා. ඒ ඔක්කොම එක්ක, ඕ නෙගටිව් කියන රුධිර ඝණය තිබුනේ. මිනිත්තු කිහිපයක් ඇතුලත සොයා ගත්තේ කුසේ දරුවා මිය ගොස් ඇති වග. සති තිස් හතෙන් රෝහල්ගත වෙන්නට සැලසුමක් දීලා තිබුනත් ඒ අම්මා සුපුරුදු පරිදි ගමේ ඉඳලා , මහ රෑ ලේ වහනය වෙන්න ගිය නිසා ප්‍රාදේශීය රෝහලට ගිහින්. මම ඇයට දරුවා කුසේදීම මිය ගොස් බව
කියද්දී ඇය කීවා දවස් දෙක තුනක් දරුවා දැඟලුවේ නැති බවත්.
ඇය සුදු මැලිව සිටියා. මුළු උතුරෙම රෝහල් වල තිබ්බ ඕ නෙගටිව් ලේ හොයා මහ රෑ දොළහට රෝහලේ ලේ බැංකුව මගින් මහා සංග්‍රාමයක් ලෑස්ති කරා. එසැනින් ශල්‍යාගාර සූදානම් කළා. ඒ වෙද්දිත් ඒ අම්මා ප්‍රසව සංකූලතාවයක් වන ඩී අයි සී හෙවත් disseminated intravascular coagulopathy යන රුධිරය කැටි නොගැසීමේ තත්වයට පත් වී තිබුනා. ඒකට බොහෝ හේතු තියෙනවා. සිසේරියන් සැත්කම කරද්දිත් මළ දරුවා සමගම අතොරක් නැතුව පයිපයක් ඇරලා වගේ රුධිරය වහනය වන ගර්භාශය ඉවත් කරද්දිත්, නිර්වින්දක හෙවත් anesthesia වෛද්‍යවරයා රුධිර පැකට් හෙවත් රතු සෛල, ප්ලාස්මාව, පට්ටිකා සැරෙන් සැරේ ඒ අම්මාගේ අත් දෙකේ තිබූ කැනියුලා ඔස්සේ ශරීරගත කරනවා.
සියලු විශාල වාහිනී මසා ගර්භාශය ඉවත් කළ අපි දැක්කේ කුස පුරාම ඇති සියලු තැන් වලින් රුධිරය වහනය වන අයුරුය. විශේෂඥ වෛද්‍යවරයා සහ මම , ගෝස් පැක් සහ කුඩා නාලිකා වලිනුත් රුධිර වහනය නවත්වන ද්‍රව්‍ය කුස පුරා අතුරා කුසේ කැපුම අත් වලින් දෙපැත්තෙන් තද කරගෙන හිටියා.
එහෙම කරන අතරේ විශේෂඥ වෛද්‍යවරයා පවසනවා "මම හිටියේ සුදු කොඩි පෙනි පෙනී" කියලා.
ඒත් උදේ පාන්දර හතර වෙනකොට ඒ අම්මාගේ තත්වය හිතුවට වඩා හරිගියා. රුධිර වහනය නැවතුනා.... . අයිසීයූ එකට දැම්මා. උතුරු පළාතේ ඉන්නා ඕ නෙගටිව් රුධිර දායකයින් බොහෝ අය මහ පාන්දර ලේ දෙන්න ඇවිත් තිබුනා. ඒ අය අන් කවුරුවත් නෙමේ, ත්‍රිවිද හමුදා වල සෙබළුන්. (එහෙම රෙජිස්ට්‍රියක් තියෙනවා. ඔවුන් බොහෝමයක් ඕනෙම වෙලාවක ලේ දෙන්න සූදානමින් ඉන්නේ )
ඒ වෙද්දි රතු සෛල පැකට් 15 කට වඩා දීලා තිබ්බා අනික්වා නම් ඉතා විශාල ප්‍රමාණයක්.
මේවගේ අත් දැකීම් නම් ටොන් ගණනක් තියෙනවා.ඇසිල්ලකින් ජීවිත 4ක් බේරන්න ඔබ දෙන රුධිර පැකට් එකකින් පුළුවන. ඒකට හේතුව ඒ එක පැකට් එකකින් සංඝටක වෙන් කරලා පැකට් හතරක් හැදෙන නිසා.
මගේ නෑදෑ පොඩි අක්කා මිය ගියෙත් දරු ප්‍රසූතියේදී අධික රුධිරවහනය නවත්වන්න බැරුව. දැන් අම්මා නැතුව හැදෙන දරුවට වයස අවුරුදු පහයි. 

මේ සතිය පුරාම මම මේ වගේ කතා ලියන්න හිතුවා. ඒකට හේතුව ජාතික රුධිර පාරවිලයන සේවයේ එම සේවා අඛන්ඩව පවත්වාගෙන යන්නේ එහි රුධිර දායකයන් හෙවත් රුධිර පරිත්‍යාගශීලීන් නිසා.
ලෝකය පුරා මේ උතුම් මිනිසුන් සමරන්නේ ජූනි 14 වැනි දින. ඉතින් අපිත් ජාතික රුධිර මධ්‍යස්ථානය ලෙස අති උත්කර්ෂවත් ලෙස මේ සැමරුමට ලක ලැහැස්ති වෙනවා.
තමන්ගේ අත කටුවකින් සිදුරු කර ලේ පයින්ට් එකක් දන් දෙන්න එන අය මට පෙනෙන්නේ දෙවිවරුන් වගේ. එහෙම දායකයින් දුටු පළමු දින මා මේ කවිය ලියා තැබුවා.
නමක් නැති බෝසත්
පියාපත් නැති දෙව් පුත්
මිනිස් හදවත් රැගෙන
විටෙන් විට මෙහි එති
සිරුර විද රුහිරු බිඳු
මෙත් සිතින් දන් දෙති
නන්නාඳුනන ගතක
දන්න අඳුනන වෙන්න
බිඳෙන් බිඳ එකතු වී
ආදරය දන් දුන්න
නන්නාඳුනන ගතක
හුස්ම පොද රැකදෙන්න
පියාපත් නොලද ඒ
දෙව්, මිනිස් රූ ගත්තු
නමක් නැති බෝසත්තු
ඇවිද යති එති මෙබිම
ජීවිතය පැකට් කර
මෙහි තබා පිට වෙතී
බෝ 2018
Do share your story as a post with #blooddonorstory
#worldblooddonorday2018
Let’s make it a collection of stories

6 comments:

  1. ෆැකල්ටි ඉන්න කාලෙත් ලේ දෙන්න උවමනාව තිබ්බත් මගේ බර අවශ්‍ය ප්‍රමාණයට තිබ්බේ නෑ. දැන්නං දෙන්නම ඕනේ. ඉස්තූතියි දිරිමත් කිරීමට.

    ReplyDelete
  2. මමත් ලේ දීලා තියෙනවා...

    අපේ ආයතනයේ වාර්ශිකව ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කරනවා.

    ReplyDelete
  3. ලේ දන්දෙන හැටි මුලින්ම දකිනකොට මම එක වසරේ ඇති... ඒකාලේ දුරුතු පින්කම් එක්ක කැළණියෙ වාර්ෂික ලේ බැංකුව සංවිධානය කලේ අපේ ලොකු තාත්තා. ඒකාලෙ ඉතින් හැම අවුරුද්දෙම එන ස්ටාෆ් එක දවල් සංග්‍රහයට එන්නෙ ලොකු තාත්තලයි ගෙදර. ඒ අතරෙ මං පොඩි මෑන් ලේ බැන්කුවෙ අරුම පුදුම බස් එක වටේ කැරකෙනවා. ඇයි ඉතින් ඒකෙ අමුතු ගැජට් ගොඩයිනේ.

    අවාසනාවට ලොකු තාත්තා හදිස්සියෙම නැති උනාට පස්සෙ ඒ මතකයන් අතීතෙටම සින්න උනා

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !