Friday, March 4, 2016

සිඟිති සෝ සුසුම් කුමටද ?

උදෑසන වාට්ටුවට පැමිණි මා, රෝගී දරුවන් පරීක්ෂා කර බලා, ඉන්පසු අප විශේෂඥ වෛද්‍යතුමිය සමග සායන වටයට සහභාගී වෙමින් සිටියදී හෙදිය විසින් මා කැඳවාගත්තේ, " ඩොක්ටර් ස්ටැට් ඇඩ්මිෂන් එකක්" කියමිනි.
ස්ටැට් නම් එවෙලේම එසැනින් බැලිය යුතුය !

අවුරුදු එකොළහක ගැහැණු දැරිවියකි. කලාන්ත වූ බවක් පවසයි. සිනහවක් නැති මුහුන වේදනාවෙන් සිටින බවක් පෙන්වයි.
"මොකද පුතේ උනේ" මම අසද්දී
"දන්නෙ නෑ ඩොට්ටර් " යනුවෙන් ඇය අසල සිටි වයස්ගත කාන්තාව පිළිතුරු බඳින්නට විය.
"ඔයා කවුද අම්මා ද?

මේ දරුවාගේ වැඩිහිටියා ලෙසින් ඉදිරිපත් වී සිටියේ ආච්චී ය.

එකකට එකක් නොපෑහෙන අමාරුකම් බොහෝමයක් ඇය පවසයි. පාසැල් යන්නට ද අකමැති ය. ඇය කියූ ආකාරයට මේ දරුවා බොහොම සතුටෙන් කිසි දුකක් නැතිව ඇති දැඩි වේ. එනමුත් මෙවැනි කතා සිය ගණනක අත්දැකීම් ඇති අපට නම් බොරු කියන අය තෝරා බේරා ගන්න බොහෝම ලේසි බව ආච්චීට වැටහෙන්නේ නැත. හෝරා කිහිපයකින් අම්මා පැමිණියත් ඇය පැවසුවේ දරුවන් සිටින්නේ ආච්චිත් සමග බවය.  දරුවන් මව්පිය සෙනෙහස් ආදරය නැතිව වැඩෙන බවක් වැටහේ.

පසුව ඇති වූ කතාබහකදී මානසික වෛද්‍ය ඒකකයේ වෛද්‍යතුමන්ට මේ දරුවා පැවසුයේ ජීවිතය නැති කරගන්නට පවා සිතෙන බවකි.
අවුරුදු එකොළහක දරුවෙක්ට ජීවිතේ නැති කරගන්න හිතෙනවානම්, නිවස අත් හැර දමා කොහේ හෝ යන්න හිතෙනවානම් එය බරපතල ඛේදවාචකයක් යැයි මට සිතේ. ඇගේ කතාව අගමුල සොයා ගැන්ම අපහසු වී ඇත්තේ හරියාකාරව ඇත්ත දකින්නට අපොහොසත් වැඩිහිටි පිරිසක් නිසා ය. දැන් ඔවුන් මේ දරුවාගේ මානසික ආතතිය නිසා ඇති වී ඇති මේ තත්වයට පිළියම් සොයන්නට යන්නේ තොවිල් පවිල් වලිනි.

වෛද්‍යවරුන් ලෙස අප කරන්නේ රෝගාබාද මැඩලීම පමණක් නොවේ. සමාජ සාධන කටයුතුත් ඒ අතරේ වේ. බොහෝමයක් එහෙමයි. සුළුතරයක් එහෙම නොවන අයත් සිටින බව අවබෝදයෙන් දනිමි. කිසිවෙක් කර දෙන තෙක් සිටින්නේ නැතිව අපිම පිළියම් සෙවීමට උත්සුක වන්නෙමු. මන්ද අප මේ ගොඩ නගන දේ අපට නොව අපේ අනාගත දරු පරපුරට පමණක්ම නිසා ය.

මෙහි ඇතුල් වෙන බොහෝ දරුවන් අඩු බර සහිතය. ඔවුන්ගේ ගිලී ගිය දෙනෙත් කෝටු අත පය මවෙත ඉතිරි කරන්නේ දැඩි දුකකි.  දැන් නම් පෝෂණය සම්බන්ධ පශ්චාත් උපාධිධාරී වෛද්‍යවරියක් සිටින නිසා ඇය මේ දරුවන් සහ භාරකරුවන් සියල්ලන්ම තනි තනිව හමුවී ඔවුන්ගේ ආහාර වේලෙහි අඩුපාඩු සොයා බලයි. නමුත් ආර්ථික අහේනියකින් පෙළෙන බොහෝ පවුල් වල මේ පෝෂ්‍යදායි ආහාර වට්ටෝරුව දෙනවදැයි සිතිය නොහැකිය.
මේ දරුවන් බොහෝමයක් ආත්තම්මා හෝ ආච්චිගේ සෙවනෙහි ඇති දැඩි වේ. මව රට යෑම හෝ දෙන්නා දෙමහල්ලන්ගේ ආරවුල් නිසා දුක් විඳින්නේ තැලෙන්නේ මේ සිත් පොඩිති ය.

ඔය අතරේ තමයි මේ කවි පද පබඳින්නේ... සායන වලදී වාට්ටුවේදී මුණ ගැහෙන මේ කුඩා දරුවන් මගේ දෙනෙතට කඳුළු ගෙන දේ.

කඳුළු සිතුවම්…. (මනුපුර සක්මන කවි පොත )

කාසි පස්සෙම දුවන ජීවිත කෙරූ පව් ගැන නෑ හොයන්නේ
ගෙන්දගම් නගරයේ රස්නෙට නොවෙද හදවත තව දැවෙන්නේ
දුකින් බර නෙත් කඳුළු සිතුවම් කෝටු අතපය ඇස ගැටෙන්නේ
සැපක් සතුටක් නොමැති ලෝකෙක අනේ පොඩි උන් අපි තැවෙන්නේ

අම්මෙ දරුවා කන්නෙ නැද්දෝ නිතර එන උන් හා අහන්නේ
අම්ම නොව මං ආත්තම්මා මුන්ගෙ අම්මා නෑනේ නෝනේ
එක්කො එතෙරය නැතොත් මෙතෙරය එතෙර ගිය උන් නැහැනෙ එන්නේ
මෙතෙර දෙන්නා මරා කා ගෙන අම්මා වෙනතක රැඳී ඉන්නේ

කුණු කරත්තේ තල්ලු කරලයි මාත් නෝනේ දිවි ගෙවන්නේ
ඒකි ගිය හැටි අනේ පුදුමයි දරුවො දෙන්නත් මං බලන්නේ
අප්පා බස් වල ටිකට් කඩලයි පුංචි උන්ගේ බඩ පිරෙන්නේ
වැඩිය විස්තර ඔබට මොකටද බෙහෙත් වඩියක් ලියලා දෙන්නේ 

දැවුනු හිත් දැලි අඟුරු විලසට බොහෝ වියළිව සුසුම් ලන්නේ
නොවක් කරදර දරා ගන්නට මෙහෙම ගොරහැඩි වෙලා ඉන්නේ
බිමට බරවූ, කඳුළු පිරි නෙත් මගේ හදවත දවාලන්නේ
අත හැරුනු මව් සෙනෙහෙ සුවඳක් පුංචි හිත තවමත් තලන්නේ

පද බැඳුනු කවි පදත් අත ගා බලමි නෑ නොවැ හිත හැදෙන්නේ
වෙද නලාවත් අතේ දවටන් සැබෑ ලොව වෙත යලි දුවන්නේ
සිනා විසිරෙන හිතක් පුපුරා ඉකි ගසන හඬ තව ඇසෙන්නේ
රෝග දුක් මැඩලනා පුරයට හෙමින් පා ඔසවමින් යන්නේ


ලේන්සුවෙන් වැසූ දරුවාගේ කතාවට පසු, එවැනි අඟ හිඟපාඩු ඇති දරුවන් සඳහා පාවිච්චි කරන ලද එහෙත් ඉවත නොදැමූ ඇඳුම් සහ සෙල්ලම් බඩු බොහෝමයක් සොඳුරු හිත් ඇත්තන් අප වාට්ටුවට විටින් විට ගෙනැවිත් දේ.

අගනුවර රෝහලක් වුනාට, ළඟදී මහ රෝහලක් බවට පත්වුනාට මෙහි බොහෝ අඩුපාඩු තිබේ... වාට්ටුවේ තවම ඇත්තේ සිමෙන්ති බිමකි.

විටින් විට අපි සිටින මේස තබා ඇති කොටස සහ කොරිඩෝ, වාට්ටු බිම රතු පේන්ට් ආලේප කරත් ඒවා වියැකී යන්නේ බොහෝම ඉක්මනිනි.. ඒ මේ රෝහල් වල බිම සහ බිත්ති නිතර නිතර හෝදන පිරිසිඳු කරන නිසාය. මං හිතන්නේ දිනකට දෙවරක්වත් මේ බිම මොප් කරති.

දැන් අපි වෙහෙසෙන්නේ මේ  වාට්ටු බිම ටයිල් කර ගැනීමට උදව් උපකාර ලබා ගැනීමය ( රජයෙන් නොකරනවා නොවේ.. කරදෙන්න ගතවෙන කාලය බොහෝ දිගු ය. ආණ්ඩුවෙන් කර දෙන තෙක් බලා ඉන්න වුනොත් එය සිදුවන්නේ අවුරුදු ගණනාවකට පසුවය. එය අද ඊයේ නොව පෙර සිටම එසේමය)

ඊළඟට කොරිඩෝ වල දැල් ආවරන පමණක් තියෙන නිසා වැස්සකට හාත්පස තෙමේ... මේවාට ආවරණ
සපයන්න බොහෝ දෙනෙකුට අපි දැනුම් දුන්නත් එය තවම නම් සිදුවුනේ නැත.. රෝගී දරුවන්ට ඇති පුස්තකාලයත් සෙල්ලම් කරන ප්ලේ රූම් එකත් ඇත්තේ එවැනි කොරිඩෝවකට දැල් ආවරණ යෙදූ කොටසකය. මීයන් ඔහේ ඇතුල් වේ පිටවේ. සර්පයින් පවා වාට්ටුවට ඇතුල් වෙන්නේ ඒවායෙනි. එකෙක් දෙන්නෙක් රාත්‍රියේ පොළවේ නිදා උන් මව්වරුන් අසලින් යද්දී ඇස ගැටුනු නිසා විනාශයක් සිදු නොවීය. 


ඒ අතරම එච් අයි වී ඇතැයි සැක සිතමින් දරුවෙක්ට පාසැලක් පවා අහිමි කරන්නට තරම් මා පිය පිරිසක් සහාසික වී තිබේ.
"කොයි දව්වත් දව්වෙක්" යැයි පවසමින් බලු පැටව් පූස් පැටවුන්ට පවා කරුණාව පෑ ආත්තම්මලා අත්තලා සිටි රටක, බුදු දහමේ සීල සමාධි ප්‍රඥා වෙන් ආලෝකය ලබන්නට, පෝය දාට පන්සල් පිරී ඉතිරෙන රටක ඇත්තෝ මෙසේ හැසීරීම කොයි තරම් නම් විහිළුවක් දැයි මට සිතේ.

විපතට පත් දරුවාට සහනයක් සලසමින් අන්තර් ජාල සහෘදයෙක් පවසා සිටියේ ඔවුන් මේ අයට උපකාර කරන්නට සිතන බවය. ඒ නිසා වගකිවයුතු අංශවලට කල විමසීම් වලදී හෙලි වුනේ මේ දරුවාට හෝ මවට (මිය ගිය පියාට වත්) HIV වෛරසයෙන් ආසාධිත නොවන බවට පරීක්ෂන වලින් ඔප්පු වී ඇති බව ය. මේ ගැටළු සහගත තත්වය හරියාකාරව කරුණු කාරනා නොදන්නා, හෝ නො පිළිගන්නා වැඩිහිටි සමාජයක් විසින් ඇති කරන ලද්දකි. දැන් මේ දරුවා සහ මව සමාජයේ, ගමේ සෙසු පිරිස වෙත ඇතිකරගන්නේ වෛරයකි.

දරුවාට පීඩාවක් නොවන පරිදි මේ තත්වය මැඩලන්නට උත්සුක වුනානම් කෙතරම් අගනේ ද ?
වෛරස්, බැක්ටීරියා, දිලීර පරපෝෂිතයන් කොතෙකුත් පරිසරයේ සිටිති. ඔවුන් සංසරනය වන සහ අප ශරීරයට ඇතුල් වන අයුරු වෙනස් ය. HIV නම් රුධිර පාරවිලයනයකදී හෝ, රුධිරය ආසාධිත තරල ශරීරගත වීමෙන් පමණක් මේ රෝගයෙන් ආසාධිත වෙන්නට පුළුවනි. එන්නත්, හෝ පාරවිලයන වැනි ආකාරයේ රුධිර ශරීරගතවීමක් මගින්, ලිංගික සබඳතා මගින්, ආසාධිත මවකගෙන් දරුවාට මව් කිරි ඔස්සේ ලෙස මේ තුන් ආකාරයෙන් එය ශරීරගත විය හැක.
මේ මිනිසුන්ට ඇත්තේ අනියත බියකි. කැස්ස හෙම්බිරිස්සාව හැදෙනවා වගේ වාතය මගින් ඒඩ්ස් බෝ නොවේ. ඒවාගේම වැළඳුනු කෙනෙන් ඇල්ලුවාය කියාත් බෝ නොවේ ( වෛද්‍ය ශිෂ්‍ය අවධියේ අපිට නම් ආසාදන ගැන තියෙන පාඩම් මාලාවේදී ඔවුන් මුණ ගැසී පරීක්ෂා කර බලා, කුඩා දරුවන්නම් වඩාගෙනත් තිබේ)  ඇල්ලූ හෝ එක ළඟ වාඩිවී සිටි පමණින් බෝ වෙන්නේ නැත. අප රටේ සෞඛ්‍ය අධ්‍යාපනය ගැන ද මානුෂීය ගුණධර්ම ගැන ද ඇතිවෙන්නේ කම්පාවකි.

අනිත් කොන කතා පොතට මා ලියූ යුධ අවසානයේ උතුරේ රෝහල් අත්දැකීම් කතාන්දරයක කොටසක් මතක් වේ...

                    සැත්කම් කරද්දී බොහෝ විට ඉඳිකටු අතේ ඇනෙයි. සමහර විට රුධිර නාලිකා පිපිරේ. බොහෝ විට පෙකණිවැල කපද්දී රුධිරය දස අත විදිමින් විසිරේ.. අපේ නිරාවණය වූ මුහුණේ කොටසේ , ඇස්.. වල තැවරේ. මාතෘ හා ගැබිණි වාට්ටුවල සෑම අම්මෙක්ටම VDRL පරීක්ෂණය කර නොතිබිනි. (යුද්ධය හමාර වූ කාලයේ ය. ඔවුන්ගේ සායනික කාඩ් පත පවා නැතිව පැමිණේ.) හදිසි අවස්ථාවක කිසිවක් පරීක්ෂා නොකෙරේ. ඔවුන්ගේ රුධිරය කැපුම් තුවාල ඔස්සේ අප ශරීර ගත වේ. HIV , ඒඩ්ස් තිබෙනවාදැයි වත් නොද නී.
සීමාවාසික කාලය පටන් ගත් මුලදී නම් කැපුමක් මසද්දී අතේ ඉඳිකටුවක් නො ඇනුනු දිනක් නොවීය.
දිනක් සීසේරියන් සැත්කමක් අවසානයේ අත් වැසුම් ගලවද්දී මා දුටුවේ ඉඳිකටු පාරක් ඇනී ඇති අන්දම. ඉතා දුක්බරව..
"අපොයි අම්මාට භයානක ලෙඩ නොවේවායි ප්‍රාර්ථනා කරනවා " යි මම කියද්දී , නිර්වින්දක වෛද්‍යවරයා මා වෙත එමින් පැවසුවේ. රුධිර නාලිකාවට කැනියුලාව ඇතුල් කිරීමටයද්දී ඒ අම්මා දැඟලූ නිසා කටුව ඔහුගේ ඇඟිල්ලේ ඇනුනු බවයි. " මගෙත් ඇනුනා, හැදුනොත් අපි දෙන්නටම ..." ඔහු හිනාවෙමින් පැවසුවේය.
~ අනිත් කොන - a doctor's heart sutra ...

Tuesday, January 26, 2016

දැන් ඉතින් විසිකරන්න යෑ !



දහවල් එකොලහට පමණ ප්‍රසූතිකාගාරයෙන් මට ලැබෙන දුරකථන ඇමතුමෙන් කියවෙන්නේ දිනයක් හෝ වයසක් නොදන්නා දරු ගැබක් සහිත කාන්තාවක් ඇතුලු වූ බවත් ඇය දරුවා ලැබෙන්න ආසන්නයේ සිටින බවත් ය. මාස 8ක පමණ ගැබිණියක් වන මම හනි හනික  එදෙසට දිව ගියෙමි.

දරුවා ලැබෙන්නට ඔන්න මෙන්න නිසා දරුවාගේ ප්‍රමාණය ස්කෑන් කර බලා සති ගණන නිර්ණය කිරීමටද නොහැක. නොමේරූ දරුවෙක් බිහි වුනොතින්, නොමේරූ ළදරු ඒකකයකට හෙවත් PBU / NICU එකක දරුවා ඇතුල් කළ යුතුය. එවැනි ඒකකයක් අප මූලික රෝහලේ නොමැත. දැන් ඉතින් කරන්නට තියෙන්නේ මේ අවදානම් තත්වයෙන් මව වෙනත් රෝහලකට යැවිය නොහැකි නිසා දරුවා ඉපදුනු පසු තත්වය අනුව ක්‍රියා කිරීමය යන්න විශේෂඥවරයාගේ මතය විය.

මහ රෝහල් කිහිපයක නොමේරූ ළදරු ඒකක හා දුරකථනය ඔස්සේ සම්බන්ධ වී මෙවැනි තත්වයක් ඇති නිසා අවශ්‍ය වුනොත් එන බව පවසා දැනුවත් කර තැබුවෙමි. හදිසි තත්වයකට අවැසි උපකරණ, මෙවලම් ලැහැස්ති කර ගත්තෙමි. කෘතිම ස්වසනය දෙන්න අවශ්‍ය දෑ මෙන්ම උණුසුම ලබා දෙන විශේෂ ළදරු වෝමර් එකද ලැහැස්තිය. දැන් ඇත්තේ, මවට සහ දරුවාට කිසි කරදරයක් නොවේවා යැයි ,  සිතමින් බලා සිටීමය.

මේ අම්මා කිසිම දිනක සායනයකට හෝ වෛද්‍යවරයෙකු හමුවට ගොස් නැත, කොටින්ම දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටි කෙනෙකු නොවේ. විටමින් පෙති, පෝෂණය අවැසි ලෙස ලැබුනාදැයි නොදනී. ගෙදර තව දරුවන් දෙදෙනෙකු සිටින බව පැවසේ. ඇය පදිංචි වී සිටින්නේද මහා දුරකින් නොවේ. හරිනම් පවුල් සෞඛ්‍ය නිළදාරිනියන් මෙවැනි කතුන් ගැන සොයා බලා අදාල වෛද්‍ය නිළදාරීතුමන්ට දැන්විය යුතු නොවේද ?

මෙවැනි කතන්දර ඇසෙන පළමු අවස්ථාව මෙය නොවේ. ඕනෑ තරම් ස්ත්‍රීන් බඩේ කැක්කුමට බෙහෙත් ගන්නට බාහිර රෝගී අංශය වෙත පැමිණ, එසැනින් හදිසි ප්‍රතිකාර ඒකකයේ හෝ, අප වාට්ටුවට ගෙන එද්දී ට්‍රොලිය මත හෝ, ත්‍රීවීල් වල දරුවන් ප්‍රසූත කරති. ඔවුන් හැමෝටම ඇත්තේ  එකම එක කතාවකි. දරුවෙක් ලැබෙන්න සිටි බවක් දන්නේ නැත ! යන්නයි.
මේ කියවන ඔබට ද, අපට ද එය විශ්වාස නොකළ හැකි බව මම දනිමි. නමුත් ඔවුන් එක හෙලා පවසා සිටින්නේ එයයි.

සමහරුන් අවිවාහක තරුණියන් ය. අම්ම ලා තම දියණියන් රැගෙන එන්නේ ඉවසාගත නොහැකි බඩේ කැක්කුමට බෙහෙත් අරන් දෙන්න ය. නමුත් කැඳවීමක් ලැබෙන්නේ ප්‍රසව හා නාරි අංශයේ වෛද්‍යවරුන් වන අපට ය. බොහෝ විට පරීක්ශා කිරීමේදී.. දරුවාගේ හිස පිටතට පැමිණීමට ආසන්නය. එවිට, මේ බව පැවසූ විගස අර දියණියගේ අම්මාවරු හදිසි ඒකකය හෝ අප වාට්ටුව දෙවනත් වෙන්න කෑ කෝ ගසයි, බැණ වදියි. එක්කෝ අර දරුවා ලැබෙන්න ඔන්න මෙන්න අමාරුවෙන් සිටින දුවට ගුටි පූජාවක් කරයි. ඒවා බේරන්න වෙන්නේත් අපටමයි. සමහරුන් කලාන්ත වේ. ඔවුන් සියල්ලෝම මාස 8 ක් හෝ 9 ක් ගෙදර සිටින දරුවා ගැබ්බර බව නොදැන සිටි බව අපට කියති.

 ඉතින් අර මා මුලින් සඳහන් කළ අම්මා ! ඇය තව මිනිත්තු දහයකින් පමණ ඇය දරුවා ප්‍රසූත කළාය.... වේගයෙන් ගැහෙන හදවත් වලින් සහ බලාපොරොත්තු සහගත හිතින් සිටි අප සැම සනසමින් ඒ දරුවා ඉපදුනේ දෙවනත් වෙන්න අඬමිනි, නිසි ප්‍රමාණයට වැඩී තිබුනි. වෙනත් සංකූලතා නොතිබිනි.
දැන් දරුවා පරීක්ෂා කර ඉවත යන්නට කලින් ඇයවෙත පැමිණ දරුවා හොඳින් යැයි පැවසූ විට ඇය මට ද පෙර කතාවම පැවසුවාය. මාද එවිට අට මස් ගැබිණියකි.

"මට දැනුනෙවත් නෑ බඩේ බබෙක් ඉන්නවා කියලා " ඇය පවසයි.

 .....අනේ අම්මා ඔයා මටම කියනවනේ බබෙක් දඟලනවා දැනෙන්නේ නෑ කියලා....
කියන්නට බොහෝ දෑ තිබුනත් මා සිතින් සිතුවේ එයයි.
"දරුවා නිරෝගීයි, හොඳින් රැක බලා ගන්න අම්මේ, ප්‍රශ්නයක් තියෙනවා නම් අපට කියන්න අපි උදව් කරන්නම් " යැයි පවසා  ඉවත ගියේ, දරුවන් නැතිව කොතරම් ස්ත්‍රීන් ප්‍රමාණයක් දුක්වෙනවාද යන්න සිහිපත් කරමිනි.

 ඔවැනි ම තවත් සිදුවීමකදී දරුවා ලැබුනු පසු ඒ අම්මා කීවේ " දැන් ඉතින් වැඩී කියලා විසි කරන්නයෑ..." යනුවෙනි.
ඇයද සායනයකට හෝ වෛද්‍යවරයෙක් හමුවට ගොස් තිබුනේ නැත. දරුවා උපන්නේ හර්දයේ සංකූලතා සහිතවය. උපන් වෙලේ සිට වෙහෙසුනේ, වෛද්‍යවරුන් සහ හෙදියන් ය.
ඔක්සිජන් නල සම්බන්ද කර, විවිධ පරීක්ෂන, ඖෂධ දෙමින්, මොනිටර් දිහා දින ගණනක් බලාගෙන සිටියේ අපය. වෙහෙසුනේ අප ය. ඇය නොවේ. අවසන අපට ඇය පවසන්නේ "
දැන් ඉතින් හදා ගන්නට එපැයි, විසිකරන්න යෑ" යනුවෙනි.

අවධානම් තත්වයෙන් මිදුනු දරුවාට , හරියට කිරි ටිකක් දෙන්නේ නැත, දරුවා තුරුලු කරගන්නේම නැත. ඒ සඳහා නිතර විමසා බලන්නේ ද හෙද සොහොයුරියන් සහ අප ය. ඇතැම් විට, මළපහ කරගත් දරුවා සෝදා පිරිසිඳු කර දෙන්නේද අප හෙද සොයුරියන් ය. නාවන්නේ ද ඔවුන් ය.
ඇතැම් විට තවත් බරක් වෙන මේ දරුවන් අනවශ්‍ය නම් ඔවුන් කරන්නට තිබුනේ, අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වන පවුල් සැලසුම් ක්‍රමවේදයක් අනුගමනය කිරීමය. ඒවා ගැන සමාජයේ දැනුවත් කිරීමද දැනුවත් වීමද අඩුය.
දරුවෝ නැති අම්මාවරු , දරු සුරතල් දකින්නට සිහින දකිමින් බලාපොරොත්තුවෙන් සිටී. මට මතක් වෙන්නේ ඔවුන් ය.
දැන් මේ දරුවන් හැදෙන්නේ, ඔවුන්ව ඕනෑ නැති වුන පරිසරයක, දෙමාපියන් හෝ මවෙක් සමග ය. ඒ පුංචි හිත හැදෙන හැටි, විඳින දෑ ගැන සිතා මා කම්පා වෙමි.

 ඔවුන් බොහෝමයක් දැඩි ආර්ථික අපහසුතා ඇති පවුල් ය. දැන් මේ දරුවන්ගේ අනාගතය කෙසේ වේදැයි අපට අනුමාන කල හැක. නමුත් මේ දරුවන් රැක ගැනීමට ක්‍රම වේදයක් අප රට තුල ක්‍රියාත්මක නැත. එළඹ ඇත්තේ දරුවන් ගැන වැඩියෙන් සිතිය යුතු කාලයකි !

Thursday, January 14, 2016

ලේන්සුවෙන් වැසූ දරුවා...


එක දිගටම වෙහෙසෙන්න සිදුවුනා, අවුරුදු දෙකක පමණ දරුවෙක්, තමන්ගේ ආච්චිගේ බෙහෙත් පෙති බෝතලෙන් බෙහෙත් පෙති කාලා... මුලින් අහන කොට සෙමට ගත්ත බෙහෙත් බව කීවත් දරුවාගේ අසාධ්‍ය රෝග ලක්ෂන හමුවේ, අම්මා පවසනවා ඇගේ මවට මානසික රෝගාබාධයක් ඇති බවත් ඒ සඳහා දිගටම බෙහෙත් බොන බවත්.. ඒවා බී ඇති බවත්.
උදරය සෝදා,(gastric lavage)  නහයෙන් බටයක් දමා (NG tube), විෂ උරාගන්නා ඖෂධීය රසායන උරාගන්නා ක්‍රියාකාරී අඟුරු (ඇක්ටිවේටඩ් චාකෝල්) දීම වැනි මූලික ප්‍රතිකාර වලට අමතරව... බෙහෙත කුමක්දැයි නොදන්නා නිසා විශේෂයෙන් සැලකිල්ලෙන් පරීක්ෂා කරමින් සිටින්නට වුනා.... .... බෙහෙත් වගේ දේවල් ප්‍රවේශම් තැනක, අල්මාරියක වගේ ලොක් කරන්න යතුරු දාන්න පුළුවන් තැනක තියන්න ඕනේ...විශේෂයෙන් ගෙදර කුස්සියේ ඇති භූමිතෙල්, විෂබීජනාශක, කෘමි නාශක මදුරු කොයිල් වැනි දේවල් දරුවන්ට ගන්න අතපොවන්න හැකි තැන් වල තියන්න එපා... දැන් මම ඒ අම්මට කියා දෙනවා. ඒ දරුවාගේ ඇඟ වැහෙන්න එලා තිබුනේ අම්මාගේ ලේන්සුව... ඒකත් පහළ කොටස විතරයි.. ඇයි ඇහුවම "හදිසි ඒකකයෙන් වමනේ කරව්වානේ... බඩ සේදුවා එතකොට ඇඳුම් තෙමුන නිසා ඉවත් කරා ගෙදරින් ගෙනෙනකම් ඇඳුමක් නෑ " කියන උත්තරේ දුන්නේ. වාට්ටුවේ දෙන්න කියලා ඇඳුමක් රෙදි කඩක් තිබුනේ නෑ.

යන්තම් ඒ දරුවා සුව අතට හැරෙනවිට... රෑ එකොළහට පමණ තව දරුවෙක් ගෙනෙනවා අවුරුදු 3 ක පමණ.... භූමිතෙල් බීලා ඇඟේ හලාගෙන... හැබැයි බීලා තියෙන්නේ හවස 5 පමණ ලු. ඇයි මෙච්චර පමා උනේ ඇහුවම අනිත් දරුවෝ දෙන්නත් එක්ක එන්න බැරි නිසා සැමියා වැඩ ඇරිලා එනකම් හිටියා කියලයි. අතේ මාස 3ක දරුවෙක් නිදි.. මේ දරුවා එක්ක තව අවුරුදු 5ක පමණ දරුවෙක්... මේ ඔක්කොමලා ඉතා කිලිටි ඇඳුම් ඇඳගෙන හිටියේ... දැන් ඉතින් කොහොමත් භූමිතෙල් පෙවුනාම වමනය කරවීම හෝ බඩ සේදීම කරන්නේ නැති නිසාත්, පෙවී ඇති ප්‍රමාණය ගැන නිනවුවක් නැති නිසාත්, වේලා ගත වී පැමිණි නිසාත් දරුවා මොනිටර් කිරීම හෙවත් සුපරීක්ෂා කාරීව බැලීම පමණයි අපට කරන්නට තිබුනේ.. පොඩ්ඩා නම් බොහොම දඟකරමින් හිටියා. සැමියා කම්කරුවෙක්...
දැන් ඊළඟ ප්‍රශ්නේ, “නවතින්න වෙයිද ඩොකටර්, ඇඳුම් ගෙනාවේ නෑ” අනේ ඉතින් අපේ ඇඟේ ලේ වතුර වෙන සුළු විදිහට දරුවෝ ගැන සැලකිලිමත් නොවන, ආර්ථික අපහසුතා ඇති මෙවැනි පවුල් වල මෙවැනි අඩු සමාජ අවබෝධයක් සහිත මව්වරු එක්ක කතා බහ කරලම දැන් විඩාවට පත් වෙලා ඉන්න අපි, වාට්ටුවේ අපි තියා ඇති ඇඳුම් වල මේ පැංචාට හරියන ඇඳුමක් තිබුනේ නැති නිසා... මුළු රෑම ඒ පැටියා අර ඇඳුමෙන්ම සිටියා..
කලින් මා කියූ පෙති බී පැමිණි දරුවාගේ අම්මා, මානසික රෝගියෙක් වන ආච්චී ළඟ දරුවා දමා යන්නේ..කඩේක වැඩට... තාත්තා කම්කරුවෙක්.. තව අවුරුදු 10 පමණ අයියා තමයි.. මල්ලී පෙති කනවා දැකලා කටට අත දාලා පෙති අරන් දාලා තියෙන්නේ... ඊළඟට...අම්මාට දේශනයක් දුන්නා ආච්චීත් මානසික රෝගියෙක් නිසා ඇයට දරුවන් බලා ගන්න දමා යන්න එපා කියලත්...
අද උදෑසන ඔවුන් බලන්න පැමිණි අල්ලපු ගෙදර වැඩිහිටියෙක් මට කියනවා... "අනේ ඩොක්ටර් බලන්න, අර වයසක ගෑණු කෙනාට ළමයි බලන්න බෑ.. පෙති බීලා නිදි මතේ ඉන්නේ වැඩි හරියක්... දැන් මේ බබා, වැටි වැටී ඇවිදිනකොට මත් වෙලා වගේ නිසා අපියි දැකලා ඇහුවේ අනිත් බබාගෙන් පුතේ මල්ලිට මොකද කියලා.. එතකොට ඒ ළමයා තමයි කීවේ මල්ලී ආච්චිගේ පෙති බීලා බව... අපි ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනාවා..."
ඒත් දැන් ඒ අම්මා අපිට ඔය කතා මොකුත් කීවේ නෑ... දරුවා දැන් බීවා උස්සගෙන ආවා වගේ තමා කතා කලේ... ඒ දරුවාටත්, ඇඳුම් ගෙනත් නෑ... ලේන්සුවක් පෙරවලා ! 
දෙමාපියන් ආර්ථික යුද්ධෙක... රටේ පාලකයන්ට මේවාගේ සංවේදී කතා අහන්න අත්දකින්න ලැබෙන්නේ නැතිවා ඇති... බොහෝමයක් අයට දරුවන්ට ඇඳුමක් පැළඳුමක් ලබා දෙන්නවත් මුදල් නෑ... ඒ අය දකින අපේ හිත් තමයි හඬා වැටෙන්නේ.. 
රටේ මිනිසුන් වෙනුවෙන් ක්‍රියා කල යුතු කාලයක... බහුතරයක් දෙනා බොහෝ දුක් විඳිමින් ජීවත් වෙන බව දකිනවා. මේ ගැන අපි මොකද කරන්නේ ? අසරණ අයට සහන සලසන ක්‍රමයක් අපේ රටේ රෝහල් තුල ඇති කරලා තියෙන්නේ එක්කෝ රෝහල් කාර් යය මණඩලයේ උත්සහයෙන් එහෙම නැත්නම් එන් ජී ඕ එකක හරි සහන පුණ්‍ය ආයතනයක අනුග්‍රහයෙන්. 
කිරි දරුවන් අරගෙන එන අම්මලා බොහෝමයකට නැපීස් නෑ.. අපි වාට්ටුවේ එකතුකරලා තිබෙන දේවල් වලින් ජීවානුහරණක කර කර දෙන්නේ... සමහර අම්මාලාට බෙඩ් ජැකට් නෑ... එකම එක කුණු ගඳ ගසමින් ඇඳගෙන ඉන්නවා... චීත්ත බෙඩ් ජැකට් මම කීප වරක් ගෙනැවිත් දුන්නා.. මා ඇන්ද ඒවා පවා ... සෝදා මැද ගෙනත් දුන්නා.
මට වෙලාවකට හීල්ලෙනවා... මේවගේ දරුවන් ඇස ගැටෙද්දී.. ඔවුන් පරික්ෂා කරද්දී, හිත පුරා බොහොම ලොකු දුකක් ඇතිවෙනවා. මට මගේ දරුවා මතක් වෙනවා. මගේ දරුවා දකිද්දී, දුක් විඳින මේ පොඩි ජීවිත මතක් වෙනවා. “රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ” කියන වචන ටික හිතේ දෝංකාර දෙනවා.
තව මොනවද අපට මේ ගැන කරන්න පුළුවන්... මතකනේ උතුරු කොනේ ජීවිත ගැන මම ලීවා. ඒ හා සමානව දුක් විඳින පිරිසක් මේ දකුණු කොනෙත් ඉන්නේ......
 "ඇයි මේ අපිරිසිඳු ඇඳුම් අන්දවන්නේ. ?"  අපේ ප්‍රශ්ණ ඇසීම් හමුවේ ඔවුන් නිරුත්තරයි... අසරණයි
හැමදාම අපි ගෙවල් පීරලා ඇඳුම් එකතු කරගෙන දෙනවා, සල්ලි වලට අරගෙන දෙනවා.. ...නමුත් එය සෑහෙන්නේ නෑ... එනිසයි මම මෙහෙම ලියන්න හිතුවේ... 
මේ සටහන කියවන සංවේදී හිත් ඇත්තවුන්ගෙන් මා ඉල්ලන්නේ.. ඔබේ කුඩා දරුවා ඇඳලා ඉවත දමන කුඩා වූ ඇඳුම් තිබේනම්... මා සේවය කරන රෝහල් ළමා වාට්ටුවට ලබා දෙන්න...ළදරු පැම්පර්ස් උනත් කමක් නෑ. ඒක විශාල පිනක්... මේ කුඩා අසරණ ජීවිත දැක්කම මට බොහෝම දුකක් දැනෙනවා.. අනේ උන් ඇති හැකි තැනක උපන්නා නම්... කියලා ! මේ කොළඹ ආසන්නම තිබෙන අති දුෂ්කර ජීවිත ගත කරන බොහෝ දුගී අයවලුන් යන එන රෝහලක් !

පසු සටහන : 
මේ සටහන ලීවේ මුහුණු පොතේ... මගේ යහළුවන්ට, නෑ හිතවතුන්ට... මෙහෙම ලියලා මුහුණු පොතේ දින දෙක තුනක් ඇතුලත බොහෝ සත්කාර හිත් තියෙන අයවලුන් අප රෝහලවෙත ආවා. අඳින්න බැරි නමුත් වෙනකෙනෙකුට ඇඳිය හැකි බොහෝ දෑ රැගෙන ආවා. සෙල්ලම්බඩු, පිටිකිරි ළදරුවන්ට අවශ්‍ය සනීපාරක්ෂක දෑ රැගෙන පැමිණි ඔවුන් ගෙනා දෙයින් වාට්ටුවේ තිබෙන එකම කබඩ් එක පිරී ඉතිරී ගියා. දැන් මේවා සැරෙන් සැරේ අවශ්‍යම කෙනෙක්ට පවුලකට ලබා දෙනවා. ඊළඟට අලුත උපන් බිළිඳුන් සිටින වාට්ටුවට ඔවුන් පරීක්ෂා කිරීමට ගිය විට එතැන තිබෙන දුෂ්කර බොහෝ දුගී අම්මලා, බිළිඳුන් වෙනුවෙන් අපේ වාට්ටුවෙන් ගෙන්වා නැපී, තුවා සහ අනෙකුත් දේ ලබා දෙනවා. 
ඔබ හැම දන්නවා රජයේ රෝහල් වලට එන්නේ දරිද්‍රතාවයේ බොහෝ ගිලී ඇති ජීවිත. අනුන් කරනකම් බලා නොසිට අපෙන් රටට සිදු විය යුතු දේ කරන එකයි වැදගත්කම !

Tuesday, November 24, 2015

හඬක් නැත්තන් වෙනුවෙන් ! Stand for Kesara



"මම හිතුවා මගේ ජීවිතය ගැන , මගේ වැඩ කටයුතු කොහොම වෙයිද ? සියයට අසූවක්ම ඕටිසම්  තත්වය ඇති මගේ දරුවා කොහොම හදන්නද ? අවුරුදු විස්සකට කලින්, මට කිසිත් නොවැටහුනු කලක, කියා දෙන්නට මග පෙන්වන්නට කිසිවෙකුත් සිටි නැති කාලෙක. ඔව් එය බොහොම දුෂ්කර දෙයක් !

නමුත් මට දැනුනා,  මොන දේ වුනත්, මා ඔහුගේ වීරයා විය යුතු බව, මා ඔහු වෙනුවෙන් නැගී සිටිය යුතු බව, මම දැන ඉගෙන ගත්තා ඕටිසම් යනු කුමක්ද කියා,  මම පොත් පත් කියෙව්වා, දේශන වලට සවන් දුන්නා, හරියට විභාගයකට පාඩම් කරනවා වගේ, ඒක පහසු ගමනක් නම් නොවේ, මම අඬපු නැති දවසක් නැති තරම්.

"ඔහු බැඳ දමන්න , ඔහු සතෙක් වගේ" කියන ඒ නරුම වචන ටික ! ඒත් මට කවදාවත් බයංකර වචන පෙල අහන්න ඕනෙ වෙන්නෙ  නෑ කියන දේ මගේ හිතේ තිබුනා. මගේ හිතේ දෙවියන් සහ විශ්මයන් ගැන ලොකු විශ්වාසයක් තිබුනා.  ඔව් ඒක තවමත් එසේමයි. මගෙ සැමියා මට විශාල සහයෝගයක් දුන්නා. ගෙදරින් ඈත වෙනත් රටක, තනිය සමග මම හැමදාම මේ ප්‍රශ්න වලට පිළිතුරු සෙව්වා. 


මගේ සුන්දර දරුවා දකින ලෝකය මම දැකිය යුතු බව මට වැටහුනා. මගෙ පුතා නොනවත්වා ඇඬුවා, ඔහුට කතා කරන්න හෝ ඇවිදින්න බැරි නිසා මට හැමවිටම ඔහුව වඩාගෙන යන්න සිදුවුනා. ඒත් ඒ හැම විටම මොහොතක් නවතින්න සිදුවුනා, මගෙ වෙහෙස මැඩගන්න හුස්මක් ගන්න. 

ඔහු පාසැල් ගියේ ටික කාලෙකට, ඒ හැම පාසැලකටම ඔහු එපා උන නිසා නොවේ. ඒ පාසැල් වලින් ඔහුට ගන්න පුළුවන් දේ කොපමණද කියා මා දැනන් උන්නා. එක පාසැලකින් ඔහු ඇඳුම් අදින හැටි ඉගෙන ගත්තා, තවත් පාසැලකින් තවත් ජීවන හැකියාවක්. එක පාසැලක ගුරුවරියකට සතිය පුරාම එකම සාරිය අඳින්න උනා, ඒ ඔහු රෝස පැහැයට කැමති නිසා. ඔහු ඉතා හුරුබුහුටි දරුවෙක් වුන නිසා ඔහුට හැමෝම ගොඩක් ආදරේ කලා, ඔහුගේ අක්කලා ඔහුට විශාල ශක්තියක් වුනා. …


ඔව් ඔහු විශේෂ අවශ්‍යතා ඇති ඕටිසම් ආබාධ තත්වය ඇති දරුවෙක්.. ඔහු ලෝකය දකින්නේ වෙනස්ම විදිහකට, නමුත් මම ඔහුට ලෝකය දකින්න අවශ්‍ය මෙවලම් සැපයුවා. මම බොහොම වාසනාවන්ත වුනා, ඒ ඔහුට සොඳුරු මිනිසුන් බොහෝමයක් ආදරය කරුණාව දැක්වූ නිසා. ඔවුන් මා විශ්වාස කරා, මට ශක්තියක් වුනා. ඒ මා කේසරගේ අම්මා නිසා.
ඒ දවස් වල , සමාජයේ ඕටිසම් ගැන විශාල අවබෝදයක් තිබුනේ නෑ. අද මම ඕටිසම් ඇති දරුවන් බොහෝ ගණනක් දකිනවා... මගේ එකම පැතුම ඒ දරුවන් වෙනුවෙන් කළ හැකි හොඳම දේ උපරිමය කරන්නට ඒ දරුවන්ගේ දෙමාපියන්ට හැකි වේවා යන්නයි. මට ලැබුනු සහයෝගය ඔවුන්ටත් ලැබේවා යන්නයි. 
මට ඒ දේ කරන්නට හැකි වුනේ මා ඔහු වෙනුවෙන් ශක්තිමත්ව නැගී සිටිය නිසායි.  මට ලැබුනු මහඟු ත්‍යාගය මට මහ මෙරක් තරම් වටින මේ ත්‍යාගය මගේ දරුවා ගැන... මා ඔහු වෙනුවෙන් කළ දේ ගැන මා බෙහෙවින් සතුටු වෙනවා... ඔහු අද තනිව නැගී සිටියත්, මා ඔහු ළඟ සිටීම අත්‍යාවශ්‍ය නොවුනත් ඔහුට මා නිරතුරුව ශක්තියක්  වෙනවා."

ඒ මා මුහුණු පොත ඔස්සේ දුටු අම්මා කෙනෙකුගේ සිතුවිලි. ඇය ගේ දරුවා විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් ! එසේ අදහස් ගොනු කරන ඈ, ඇගේ දරුවා සමාජයට වැඩදායක පුද්ගලයෙක් කරන්න වෙහෙසෙනවා. අවසානයේ ඔහු හැමෝගෙම සිත් ගන්නා කඩවසම් තරුණ සූපවේදියෙක් ලෙස රැකියාව ආරම්භ කරනවා. ඒ අගනුවර ප්‍රසිද්ධ ආපන ශාලා ව්‍යාපාරයකට හිමි ආපන ශාලාවක. 

මා දුටුවේ ලෝකයේ සතුටෙන්ම සිටින දරුවා. ඒ අම්මෙක්ගේ කැපවීම, සහෝදරියන්ගේ දරා ගැනීම... කේසර ! 
ඇත්තටම ඔහු මගේ ලෝකයේ වීරයෙක් වුනා. ඒ විතරක් නෙමෙයි. ඔහුගේ මව මා දුටු ධෛර්‍යවන්තම ස්ත්‍රීය කීවොතින් නිවැරදියි.

 
ඕටිසම් යනු දරුවෙකුගේ වර්ධනයේදී බාධා ඇති කරවන තත්වයක්. එය දරුවෙකුගේ මානසික වර්ධනයට, සන්නිවේදනයට, හැසිරීම් රටාවට බාධා ඇති කරවයි.  එයට හේතුවන කාරණා පැහැදිලිව නිගමනය කළ නොහැකි වුනත්, එය මුල් අවධියේදීම හඳුනා ගැනීමෙන් දරුවාට අවශ්‍ය නිසි ප්‍රතිකාර හා පුහුණුව තුලින් එයින් ඇතිවන සංකූලතා අවම කරගත හැකියි.

උපතීන්ම කෙනෙක් බුද්ධි හීනතාවයට හෝ මන්ද මානසික තත්වයකට පත් වුනොතින්... ඒ පුද්ගලයා කායිකව කොයි තරම් සෞඛ්‍ය සම්පන්නව සිටියත්, ඔහුට මේ සමාජයෙන් විඳින්න සිදුවෙන ගැහැට අති මහත් ය.එවැනි දරුවන්, අත හැර දමන, ළමා නිවාස වලට ගාල් කරන සමාජයක කේසරගේ මව, ඔහු සමාජයට වැඩදායක මනුෂ්‍යයෙක් කරන්නට වෙහෙසුනා.ටිකෙන් ටික උස් මහත් වෙන කේසර, රටට බරක් නොවී තනිවම රැකියාවක් කර උපයන්නට තරම් සමතෙක් වෙනවා. ඔහු සූපවේදියෙක් ලෙස ප්‍රසිද්ධ ආයතනයක සේවය කරනවා. මේ කතාව කෙතරම් සොඳුරුද ?

කේසර වැනි විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් වෙනුවෙන් දෙමාපියන් කළ යුතු කැපවීම විශාලයි. මේ කතාව කියවන අපිත් බොහෝ සෙයින් සැනසුනා, ඒ, අම්මෙක්ගේ තාත්තෙක්ගේ ධෛර්‍යය සම්පන්න බව හමුවේ සමාජයෙන් කොන්වෙන්නට ගිය ජීවිතයක්, සමාජයට බරක් වෙන්නට තිබුනු ජිවිතයක ජයග්‍රාහී කතාව කියවු හෙයිනි. 


නමුත් ලෝකය හැමවිටම එවැන්නන්ට කාරුණික හෝ සොඳුරු වෙන්නේ නැත. අද කේසර බොහෝ පසුගාමීව, කිසිවක් කරකියාගත නොහැකිව සිටී. ඔහු ලෝකයට බිය වී, තම මව හෝ සොයුරියන්ගේ පිහිට ආරක්ෂාව පතමින් සිටී. ටික කලකට කලින්ගොඩ නැගූ මේ තරුණ ජීවිතය , කුරිරු අමනුස්සයින් නිසා විනාශ වී ගොසිනි. ඒ ඔහු වැඩකරන ආපන ශාලාව තුලදීම, එහි තවත් සේවකයින් හතර දෙනෙක් විසින් ඔහුව දූෂණය කරනවා. මෙවැනි පහත් අධම තිරිසනුන්ගෙන් අහිංසක දරුවෙක්ට, ආබාධ සහිත, සුවිශේෂී දරුවෙක්ටවත් ගැලවිල්ලක් නැති වී තිබේ.

හය හතර නොතේරෙනෙ කුඩා දරුවාගේ පටන් මැහැල්ල දක්වාම විනාශ කරන්නට තැත දරන තිරිසනුන් පිරි ලොවක මන්ද මානසික හෝ බුද්ධි හීන මනුෂ්‍යයින්ට හිරිහැරයක් කරදරයක් නොමැතිව ජීවත් වීමට නොහැකි වී ඇත. ‍

පියා අහිමි ඔහුට, ඉන්න එකම ශක්තිය තම මව සහ සොයුරියන් ! ඔවුන් විසින් කේසර වෙනුවෙන් පිටුවක් ආරම්භ කර තිබෙනවා. 
Stand for Kesara 
ඒ මේ අයුක්තියට අසාධාරණයට, විරුද්ධවන්නට, සමාජය දැනුවත් කිරීමට. මේ සිදුවීම තවත් දරුවෙක් ට නොවීමට. මෙවැනි විශේෂ අවශ්‍යතා ඇති දරුවන් දෙමාපිය වෙර වීර් යයෙන් උස් මහත් කර සමාජයට වැඩ දායක පුරවැසියන් කර පසු සමාජය විසින් ඔවුන්ට ලබා දෙන්නේ කුමක්ද ? නැවත නැගී සිටිය නොහැකි තරමට තලා පෙලා විනාශ කර දැමීම ද ?

 නඩු අසන උසාවිය ඉදිරිපිට පවා ඔවුන් නිහඬ උද්ගෝෂනයක නිරත වෙනවා, ඒ කේසර වෙනුවෙන් යුක්තිය ලැබෙනු උදෙසාය. කේසරගේ ජීවිතය විනාශ කල තිරිසනුන් හට දඬුවම් ලැබීම උදෙසා ය. 

පසුගිය දිනෙක මට ඔහුගේ මව ලියූ වැකියක් ඇස ගැටෙනවා... 


What is Justice ..
We came to the court ..
It was 9 am
The place was buzzing ..
With every one talking ..
I just sat there ..
Expecting ..
What ....
The case to be called ..
So I can know how to move on !
My lawyer came ..
A young man who is with so much compassion ..
I had Hope !
He smiled and said ..
It will be soon ..
We waited and waited ..
My head was aching ..
Listing to all ...
I just could not comprehend
One case was for a fine for just 100 rupees!
They asked him to pay the fine ..
And he was free ..
Here I was sitting cramped up ..
Beside people who were just like Me !
I could not take it any more I just walked out to breath !
Our lawyer came up to me and said ..
Aunty I am sorry ...
The case file is misplaced ..
I could not believe the words ..
And asked how ?
For me is this justice ?
I want to be heard for my sons sake
Cos he is voiceless in many ways !
He see the world differently ..
For him Its Black or White !
My hear broke in that moment ..
Is this justice ...,
Making my son feel that he is unimportant ..just a case file !
I just felt I am worthless .. My son has no voice ..
I felt devastated I just left !
Leaving my daughters ..
Who wanted to see what will happen !
Thank you Sampath for the Lawyer you are ..
You gave up all that time and said
Aunty you go home and rest ..
I will be here and will let you know !
It should not have happened
But it did ..
They system should have worked
Cos the case was to be heard !
Now I have to wait till next year ....
I pray that I will be .....
To see Justice is done for the voiceless !

# from the page Stand for Kesara 

කේසර ගේ ෆයිල් එක නැතිවෙලා නිසා නඩුව අවුරුද්දක් කල් යන බව... දැන් ඔවුන් අවුරුද්දක් බලා සිටිය යුතුය... 

මේ රට අපට හිතකර වෙන්නේ කවදා ද ? 
මේ රටේ අහිංසක දරු දැරිවියන් විනාශයට පත් නොකරන සුදම් සමාජයක් බිහිවෙන්නේ කවදා ද ?  
විශේෂ අවශ්‍යතා ඇති.. ආබාධිත දරුවන්ටවත් සැනසීමෙන් ජීවත් විය හැක්කේ කවදා ද ?
මා මේ ප්‍රශ්න ටික ඔබ හමුවේ තබන්නේ හිතේ ඇතිවූ කලකිරීම් ගොන්නක් සමගිනි !
එන්න අපි ඔවුන් වෙනුවෙන් හඬ නගමු !


Tuesday, November 3, 2015

ලෙඩ වෙලා බලන්න, ඔයාට එපා වෙන්නේ නැද්ද කියලා

මා ශිෂ්‍ය අවධියේ සිටියදී සටහන් කළ ජීවිත සටහන් අතරෙන් මේ කතාව සොයා ගතිමි...

මානව චින්තනයේ වර්ධනය හරියාකාරව සිදු නොවීම නිසා අද වෙන කොට ලොව බොහෝ සෙයින් වෙනස් වී ඇත. සැනසිය යුතු තැන්හි වැනසීමටත්, කරුණා පෙරදැරි කොටගැන්මට අවැසි තැන්හි කෝප ගිනි ඇවිලීමටත්, නිකරුණේ අනුන් සැක කිරීමටත් එකිනෙකා කෙරෙහි නොනිම් වෛරයෙන් පසු වීමටත් සිදුවී ඇත. දවසකට, නොසෑහෙන තරම් විවිද වූ චරිත හා ගැටෙන්නට සිදු වන විට, අර පරෙස්සමෙන් කටයුතු කිරීම බොහෝ වටින බව නිරන්තරයෙන් මතකයේ තබා ගන්නා කරුණක්. එක වචනෙකින්, දාහක් ගිනි ඇවිලෙන්න පුළුවන්, බොහෝ සිත් රිදෙන්න පුළුවන්. ඒත් බොහෝ පිරිස් සතුටට සැනසීමට පත්කරන්න යාමේදී අන්තිමේදී සිදුවෙන්නේ අපේ හිත් දුක්බර වීමයි.

මම මේ ලියන කතා පුවත වැනි දස දහසක් කතා මා අධ්‍යයන ජීවිතය පුරාවට අසා ඇත්තෙමි සටහන් කර ඇත්තෙමි. ඒ හැම ජීවිතකයම දුකක් වේදනාවක් සටහන් වී ඇත. ඒ මතින් ඇතිවන දුක් කන්ද විශාල කර පෙන්වීමට මට උවමනාවක් නෑ ඒ මා මෙන්ම ඔබ සියල්ලන්ද අනේක දුක් දෝමනස්සයන් කරපින්නාගෙන සිටින නිසාවෙනි.


ඇය මට හමුවුනේ අහම්බෙන්, බිත්තිය අල්ලාගෙන වැසිකිළිය වෙත ගොස් නැවත යන ගමන් වැටෙන්නට යද්දී ඇගේ දුබල වත වත්තම් කරගත් මම "ඔබට කොහොමද ?" කියා ඇසුවා.

" ඒක අහන්නත් ප්‍රශ්නයක්ද? මම හොඳින්නම් මෙහෙ ඉන්නේ නෑනේ ?" ඇය නුරුස්සනා බැල්මෙන් පිළිතුරු දුන්නා.

මේ ප්‍රශ්නය නැවත නොඇසිය යුතු ප්‍රශ්ණයක් ලෙස මම හිතේ සනිටුහන් කර ගත්තා.

" දන්නවද ? මගේ වයස 23 "ඇය බිම බලාගෙන පවසද්දි මටත් වඩා ලාබාල ඇගේ මුහුණ දෙස මම බලා සිටියා. කෙට්ටු , කේඬෑරු චැහැරුනු ගතින් ඈ නැවත මවෙතට ඇගේ අත දිගු කලා. නාඩි බලන්න ඕනෙද ? "

"නෑ මම ඔබත් එක්ක කතා කරන්නම්. " මම ඈ අසලින් හිඳ ගත්තා.

" මම පොඩි කාලෙ ඉඳන් දියවැඩියා රෝගයෙන් පෙළෙනවා. නිතර බෙහෙත් විදින්න ඕනා, කෑම පාලනය කරන්න ඕනෑ. මට මාවම වදයක් වෙලා. මම අනිත් හැමෝටම වදයක් ඒක මම දන්නවා. ඒ නිසයි මම ආහාර නොගෙන සිටියේ.සිහිසුන් වෙලා ඉන්දෙද්දී, ආයෙත් ගෙදර අය මෙහෙ නැවැත්තුවා. මීට වසරකට පෙර මම බෙහෙත් වැඩිපුර ගත්තා. ඒත් මම මැරුනේ නෑ. ගෙදර අය ඇම්බියුලන්ස් එකට කතා කර මාව ඉස්පිරිතාලේ නැවැත්තුවා."

"ජීවිතෙන් පලා යන එක ප්‍රශ්න වලට විසඳුම නෙමෙයි" මම නැවත කියුවෙමි.

"ගෙදර හැමෝටම මම වදයක්. එයාලට මාව බරක්. මට රස්සාවක් නෑ. ලෙඩ නිසා රස්සාවක් දෙන්නේ නෑ.මම කෙට්ටුයි, මම කැතයි. මගේ හම රැලි වැටිලා මට කවුරුත් ආදරය කරන්නේ නෑ"

ඇගේ සෙසු සොයුරි සොයුරියන්ගේ සාර්ථක ජීවිත ගැන ඈ මා සමග දොඩයි. තම පවුලේ අය, තමන් කිසිම වැඩකට නැති කෙනෙක් බව නිතර කියන බව ඇය කියයි. කොහේ හෝ ලොකු වැරදීමක් වෙලා ඇති බව මට වැටහෙයි, දියවැඩියාව කියනෙනෙ පාලනය කර හැකි රෝගී තත්වයක්. මේ රෝගය පොඩි කාලේ ඉඳන් තිබුනත්, නිසි පාලනයක් මගින් සාර්ථකව ජීවිතයට මුහුණ දෙන්න හැකි බවත්, සාමාන්‍ය ජීවිතයක් ගෙවීමට ඇයට ඇති හැකියාවත් , මිනිස් ජීවිතයක තිබෙන වටිනාකමත් මම ඇයට පසක් කර දුනිමි.

"ලෙඩ වෙලා බලන්න, ඔයාට එපා වෙන්නේ නැද්ද කියලා "

" ආදරය කරන කෙනෙක් නැතිකොට බලන්න කොහොමද ජීවිතේ දැනෙන්නේ කියලා"

"ජීවිතේට කරන්න බැරි දේවල් දැක්කම , අනිත් අය ඒවා හිමි කරගෙන ඇති බව දැක්කම, බලන්න ඔයාට දුක හිතෙන්නේ නැද්ද කියලා"

ඇය මට අභියෝග කරයි.

කොයි තරම් උපදෙස් දුන්නත්, හිත් හයිය කරන්න,ඇත්තටම ඒ ප්‍රශ්ණය අපේ කරගෙන බැලුවොත්, තත්‍ය ස්වභාවයට ගිහින් බැලුවොත් , ඒ උපදෙස් වලින් වැඩක් තියේද?

මෙලොව ඇති සෑම ජීවිතයකින්ම පලක් තියෙනවා. ඇය මේ ලොවට අවශ්‍ය කෙනෙක් බව ඇයට වටහා දිය යුතුමයි. ඒ සඳහා, නිසි මනෝ වෛද්‍ය උපකාර අවශ්‍යයි. නමුත් අවුරුදු 10 ක් පමණ රෝගී බවින් පීඩා විදින ඈ යථා මනෝ ස්වභාවයකට ගැනීමට දිගු කලක් යන බව මනෝ වෛද්‍යවරියගේ අදහසයි.

දිගින් දිගටම රෝගීන්ගේ ප්‍රශ්න පිළිබඳව විමසද්දී, කතාබහ කරද්දී එක් ජේෂ්ඨ වෛද්‍යාචාර්‍යතුමෙක් මට දවසක් මෙසේ පැවසුවා.
"අපට කිසිවෙක් 100%( සියයට සීයක්) සුව කරන්න බෑ. ඒකට වෙහෙසෙන්න, ඒත් ඒක එහෙම කරන්න බෑ . සම්පූර්ණ මානසිකමය සහ භෞතිකමය සුවයක් අපට ගොඩනගන්න බෑ. . we cant cure them 100%!"
"But we can try ! අපට උත්සහ කරන්න පුළුවන්"

Wednesday, October 14, 2015

කල්ස් වර්ල්ඩ් දුටු අනිත් කොන

කල්ස් වර්ල්ඩ් .. ලියන කල්ස් දුටු අනිත් කොන http://kalssworld.blogspot.com/2015/08/blog-post.html

බෝධිනී සමග අනිත් කොන ගියෙමි....

A9 පාර දිගේ ගිලන් රථයක නැගීගියෙමි
ලෙඩුන් පිරුනු කොරිඩෝ දිගට
දිග ක්ලිනික් පොලිම් පසු කරමින් ගියෙමි
පැය ගනන් සිට ගෙන සිට කලන්තය හැදී වැටෙන මිනිසුන් පසු කොට ගියෙමි
ශෙල් වෙඩි කැබලි ඔලුවෙ සිරවු අම්මා කෙනෙක් ෆිට් එක සෑදී වෙව්ලමින් සිටියාය
යුද්ධයේ තවත් එක ශුද්‍ර අතුරුඵලයක් වූ සිහි විකල් රණ විරුවා ගී ගයමින් මා හා සිනාසුනේය
ළමා සොල්දාදුවෙක් වී ළමා විය අහිමි වූ ගීතාද තනිව හිනැහෙමින් එම වාට්ටුවේම තනි වී සිටියාය
වකුගඩුවක් බද්ධ කරන්නට කාසි නැති නාගම්මා අත වනන මරුවා දෙස හිස් දෑසින් බලා සිටියාය
මොහොතකට පෙර උපන් බිලිදා ඇද තනි කර සීසර් කල අම්මා එකම ඇදුම සොදමින් සිටියාය
අවසන
කිසිවක් කරකියා ගත නොහැකිව
මා හුන් තැනම නැවතී සිටි අතර,
සිනහ මුහුනින්, සුපුරුදු කඩිසර ගමනින්
බොධිනී ඉදිරියට යනු
බොද වූ දෑසින් මා
බලා සිටියෙමි

මා අවට ඉතිරි වූයේ හිස් කලුවර පමනි!
 
 

Thursday, September 24, 2015

හැමවිටම දුක්බර නොවේ !

"ඩොක්ටර් මට හොඳට සිංහල පුළුවන්" සත් මස් හැවිරිදි ගැබිනි මව ඉතා පැහැදිලි සිංහලෙන් කියද්දිත් මා විශේෂ පුදුමයක් , සතුටක් හෝ ප්රතිචාරයක් දැක්වූයේ නෑ. එහෙම කියද්දී මගෙන් ඈ එවැන්නක් බලාපොරොත්තු වූ වගක් මට හොඳටම තේරුනත්, නෑ මම "ආ" යනුවෙන් සඳහන් කොට ඊළඟ ප්‍රශ්නය ඇසුවා. ඒත් දෙමලෙන්...

 "ඩොක්ටර්ට පුදුම නැද්ද මං සිංහල කතා කරන එක... කඳවුරේදී මම ආමි එකට උදව් කලා දෙමළ සිංහල දෙකම මට පුළුවන් නිසා, මිනිස්සුන්ව ලියා පදිංචි කරද්දි, ඒ ඔෆිස් වලදි" ඇය නැවත පැවසුවේ ඇය ට විශේෂ සැලකිලි උවමනාවෙන්දැයි මට සිතුනා.

අපට සායන වලට එන සියල්ලන්ම එකය.  ඇයට ප්‍රතිචාර දැක්වීමෙන් අවට සිටින අනිත් මව්වරුන්ට ඇය කෙරෙහි අප විශේෂිත වේයැයි සිතෙන නිසා අපි එලෙස එවැනි දෑ වලට ප්‍රතිචාර නොදක්වමු.  ඇය මාගෙන් ප්‍රශ්න කරන්නේ පැහැදිලි සිංහලෙනි.

 "ආ ගොඩක් හොඳයි. අපිට සිංහලෙන් කතාකරන්න පුළුවන් වේවි. " එදින සායනය අවසන් වූ පසු ඈ පිටව ගියාය.

ඉන්පසු නැවත ඈ මුණ ගැසෙන්නේ දරුවා ලැබීමට රෝහල්ගත වූ පසුය.
"ඩොක්ටර් මතකද මාව" ඇය සිනා මුසු මුහුණින් ප්‍රශ්න කරයි.

"මොකද අමතක " මා කියද්දී ඇත්තටම සුරූපී ඇය ගේ මුහුණ තවත් විකසිත විය.

ඇතුලත් වීමේදී පිරවිය යුතු ඇඳ ඉහපත් සටහන් සියල්ල පුරවා, පරීක්ෂා කර අවසානයේ ඇයට ඇඳක් ලබා දුනිමු. ඉන්පසු රාත්රී වාට්ටුව බැලීමට පැමින සායන වටය අවසානයේ අප විශේෂඥ වෛද්‍යවරයා නික්ම ගිය පසු ඈ නැවත අප මේසය තිබුනු කොටසට පැමිණියා.

 "ඩොක්ටර් මේ..... මම ඩොක්ටර්ට පෙන්වන්න ගෙනාවා" ඇය මා වෙත පැමින ඇය අතේ තිබුනු බ්‍රවුන් පේපර් බෑග් එකකින් යමක් එළියට අදිමින් පැවසීය.

"මගේ ෆොටෝ" එය තුලින් ගත් ඇල්බමයක් මට දික් කළාය.

"මගෙ කතාව ඩොක්ටර්ට කියන්න ඕනේ" ඇය අසල තිබුනු ප්ලාස්ටික් පුටුව ඇද ගත්තාය.

පැහැදිලි සිංහල කතා කරන ඈ මා අසලට විත් ඇගේ කතාව බෙදාගන්නට හදයි. කතා අහන්නට කැමති මා ඇය වෙනුවෙන් තව කාලයක් වාට්ටුවේම රැඳුනෙමි.

" මේ මගේ ලොකු බබා, මේ එයාගේ ඉපදුනු කාලේ ගත්තු ෆොටෝ. මගේ ගම මෙහේ, ඒ කාලේ මෙහෙ නිදහස් නෑ.... මේ මගේ කලින් මහත්තයා. එයා දැන් නැහැ , එයා ත්‍රස්තවාදී සංවිධානෙට බැඳිලා හිටියේ. එයා මැරුණු බවක් තමයි දැන ගත්තේ. "

ඇය පෙන්වන ෆොටෝ වල සිටින අයවලුන් පෙන්ව පෙන්වා පවසයි.

"අපි පුදුම දුකක් වින්දේ ඩොක්ටර්.... එයා නැති වුනාට පස්සෙ මමයි පුතයි අනාථ වුනා. අන්තිම යුද්ධෙන් පස්සෙ අපි හිටියේ කඳවුරේ. මට සිංහල පුළුවන් මං ඉගෙන ගත්තේ කොළඹ, මට ලියන්නත් පුළුවන් එනිසා මාව කඳවුරේ ඔෆිස් වැඩට ගත්තා. " ඇයගේ දක්ෂකම් ගැන ඇය පවසයි.  ඇය ඔෆිස් වැඩ යනුවෙන් සඳහන් කරන්නේ, ලියාපදිංචි කිරීම්, ගණනය කිරීම් විය යුතුය. ඒ සඳහා භාෂා පරිවථකලාගේ සහාය අවශ්‍ය වනු ඇත.

"ඩොක්ටර් දන්නවද කඳවුරේ කොයි තරම් බිසී ද කියලා" ඇය කඳවුරු ජීවිතය ගැන පවසයි.

"මාත් ඇවිත් තියෙනවා සායන වලට" මම ද ඒ අතීතය සිහිපත් කරමින් පැවසුවෙමි.

එකළ කිලෝමීටර ගණනාවක් ගෙවාගෙන අපි කඳවුරු පරිශ්‍රයට යෑම් ඊම් කළෙමු. මානසික වෛද්‍ය ඒකකයේ සිටි එකම සිංහල වෛද්‍යවරිය නිසා ඒ ගමන් බිමන් වලදී මට වාහනයේ ඉදිරිපස අසුන හිමි විය. එය ගමන බිමනට වඩා පහසු විය. මුර කපොළු වඩා සුහද විය. කඳවුරක් කීවද,  එය කුඩා ගම්මානයක් මෙනි. දරුවන්ට පාසැල් පැවැත්විනි. ලෙඩ දුකට සායන, රෝහල් පැවැතිනි.

"කඳවුරේදි මගේ දැන් හස්බන්ඩ් හම්බුනේ. එයා දකුණේ, එයා ආමි එකේ. එයා හරිම හොඳයි " ඇය පවසද්දී සිතුවිලි ගණනාවක් මගේ හිත තුල සක්මන් කරන්නට විනි.

පලමු දරුවාගේ තාත්තා ත්‍රස්තවාදියෙකි. දෙවන දරුවාගේ තාත්තා සොල්දාදුවෙකි, දරුවා ලැබුනු පසු ඇය පිටවී ගියේ, මේ කතාව මෙලෙස ලියන්නටද කියා ඇසූ මට "අනේ ලියන්න" යැයි පවසමිනි.  ඉන්පසු ඇය නැවත මුණ ගැසුනේ කැන්ටිමේ දීය. මා දැක මසක් පමණ වුනු දරුවාද රැගෙන තවත් අවුරුදු 5 ක පමණ දරුවෙක් අතින් අල්ලාගෙන මා අසලට දිව විත්.

"මේ ඉන්නේ ලොකු පුතා, මේ ඩොක්ටර්... මේ බබාට මාසයක්... දැන් ක්ලිනික් ආවා"  සිනහා මුහුණින් පැවසුවාය. එහෙ මෙහෙ දුවන ඇගේ පළමු දරුවා හුරුබුහුටිය.
බිස්කට් චොකලට් රැසක් ගෙන ඔහුට දුන්විට ඒ කුඩා මුහුණ ආලෝකමත් විය.

"තැන්කූ" ඔහු පැවසුවේය.

"මම ඉගැන්නුවේ බබාට ඉංග්‍රීසි සිංහල" ඇය පැවසුවා ය.

"මහත්තයා ඇවිත් ගියා. එයා වැඩ , කොළඹ, එන මාසේ අපිව එහෙ එක්ක යන්න එනවා කීවා " ඇය මා දෙස බලාගෙන කියවයි. අතේ සිටින දරු පැටියා, මවට තුරුල් වී සිටී.

" ආයේ ආවම ඩොක්ටර් බලන්න එන්නම් " ඇය එසේ කියා පිටවී ගියා ය. නමුත් ඉන්පසු කිසි දිනක මට ඇය හමු නොවී ය. යුද්ධයේ අතුරු කතාන්දර හැම විටම දුක්බර නොවේ යැයි මට සිතේ.