Tuesday, November 3, 2015

ලෙඩ වෙලා බලන්න, ඔයාට එපා වෙන්නේ නැද්ද කියලා

මා ශිෂ්‍ය අවධියේ සිටියදී සටහන් කළ ජීවිත සටහන් අතරෙන් මේ කතාව සොයා ගතිමි...

මානව චින්තනයේ වර්ධනය හරියාකාරව සිදු නොවීම නිසා අද වෙන කොට ලොව බොහෝ සෙයින් වෙනස් වී ඇත. සැනසිය යුතු තැන්හි වැනසීමටත්, කරුණා පෙරදැරි කොටගැන්මට අවැසි තැන්හි කෝප ගිනි ඇවිලීමටත්, නිකරුණේ අනුන් සැක කිරීමටත් එකිනෙකා කෙරෙහි නොනිම් වෛරයෙන් පසු වීමටත් සිදුවී ඇත. දවසකට, නොසෑහෙන තරම් විවිද වූ චරිත හා ගැටෙන්නට සිදු වන විට, අර පරෙස්සමෙන් කටයුතු කිරීම බොහෝ වටින බව නිරන්තරයෙන් මතකයේ තබා ගන්නා කරුණක්. එක වචනෙකින්, දාහක් ගිනි ඇවිලෙන්න පුළුවන්, බොහෝ සිත් රිදෙන්න පුළුවන්. ඒත් බොහෝ පිරිස් සතුටට සැනසීමට පත්කරන්න යාමේදී අන්තිමේදී සිදුවෙන්නේ අපේ හිත් දුක්බර වීමයි.

මම මේ ලියන කතා පුවත වැනි දස දහසක් කතා මා අධ්‍යයන ජීවිතය පුරාවට අසා ඇත්තෙමි සටහන් කර ඇත්තෙමි. ඒ හැම ජීවිතකයම දුකක් වේදනාවක් සටහන් වී ඇත. ඒ මතින් ඇතිවන දුක් කන්ද විශාල කර පෙන්වීමට මට උවමනාවක් නෑ ඒ මා මෙන්ම ඔබ සියල්ලන්ද අනේක දුක් දෝමනස්සයන් කරපින්නාගෙන සිටින නිසාවෙනි.


ඇය මට හමුවුනේ අහම්බෙන්, බිත්තිය අල්ලාගෙන වැසිකිළිය වෙත ගොස් නැවත යන ගමන් වැටෙන්නට යද්දී ඇගේ දුබල වත වත්තම් කරගත් මම "ඔබට කොහොමද ?" කියා ඇසුවා.

" ඒක අහන්නත් ප්‍රශ්නයක්ද? මම හොඳින්නම් මෙහෙ ඉන්නේ නෑනේ ?" ඇය නුරුස්සනා බැල්මෙන් පිළිතුරු දුන්නා.

මේ ප්‍රශ්නය නැවත නොඇසිය යුතු ප්‍රශ්ණයක් ලෙස මම හිතේ සනිටුහන් කර ගත්තා.

" දන්නවද ? මගේ වයස 23 "ඇය බිම බලාගෙන පවසද්දි මටත් වඩා ලාබාල ඇගේ මුහුණ දෙස මම බලා සිටියා. කෙට්ටු , කේඬෑරු චැහැරුනු ගතින් ඈ නැවත මවෙතට ඇගේ අත දිගු කලා. නාඩි බලන්න ඕනෙද ? "

"නෑ මම ඔබත් එක්ක කතා කරන්නම්. " මම ඈ අසලින් හිඳ ගත්තා.

" මම පොඩි කාලෙ ඉඳන් දියවැඩියා රෝගයෙන් පෙළෙනවා. නිතර බෙහෙත් විදින්න ඕනා, කෑම පාලනය කරන්න ඕනෑ. මට මාවම වදයක් වෙලා. මම අනිත් හැමෝටම වදයක් ඒක මම දන්නවා. ඒ නිසයි මම ආහාර නොගෙන සිටියේ.සිහිසුන් වෙලා ඉන්දෙද්දී, ආයෙත් ගෙදර අය මෙහෙ නැවැත්තුවා. මීට වසරකට පෙර මම බෙහෙත් වැඩිපුර ගත්තා. ඒත් මම මැරුනේ නෑ. ගෙදර අය ඇම්බියුලන්ස් එකට කතා කර මාව ඉස්පිරිතාලේ නැවැත්තුවා."

"ජීවිතෙන් පලා යන එක ප්‍රශ්න වලට විසඳුම නෙමෙයි" මම නැවත කියුවෙමි.

"ගෙදර හැමෝටම මම වදයක්. එයාලට මාව බරක්. මට රස්සාවක් නෑ. ලෙඩ නිසා රස්සාවක් දෙන්නේ නෑ.මම කෙට්ටුයි, මම කැතයි. මගේ හම රැලි වැටිලා මට කවුරුත් ආදරය කරන්නේ නෑ"

ඇගේ සෙසු සොයුරි සොයුරියන්ගේ සාර්ථක ජීවිත ගැන ඈ මා සමග දොඩයි. තම පවුලේ අය, තමන් කිසිම වැඩකට නැති කෙනෙක් බව නිතර කියන බව ඇය කියයි. කොහේ හෝ ලොකු වැරදීමක් වෙලා ඇති බව මට වැටහෙයි, දියවැඩියාව කියනෙනෙ පාලනය කර හැකි රෝගී තත්වයක්. මේ රෝගය පොඩි කාලේ ඉඳන් තිබුනත්, නිසි පාලනයක් මගින් සාර්ථකව ජීවිතයට මුහුණ දෙන්න හැකි බවත්, සාමාන්‍ය ජීවිතයක් ගෙවීමට ඇයට ඇති හැකියාවත් , මිනිස් ජීවිතයක තිබෙන වටිනාකමත් මම ඇයට පසක් කර දුනිමි.

"ලෙඩ වෙලා බලන්න, ඔයාට එපා වෙන්නේ නැද්ද කියලා "

" ආදරය කරන කෙනෙක් නැතිකොට බලන්න කොහොමද ජීවිතේ දැනෙන්නේ කියලා"

"ජීවිතේට කරන්න බැරි දේවල් දැක්කම , අනිත් අය ඒවා හිමි කරගෙන ඇති බව දැක්කම, බලන්න ඔයාට දුක හිතෙන්නේ නැද්ද කියලා"

ඇය මට අභියෝග කරයි.

කොයි තරම් උපදෙස් දුන්නත්, හිත් හයිය කරන්න,ඇත්තටම ඒ ප්‍රශ්ණය අපේ කරගෙන බැලුවොත්, තත්‍ය ස්වභාවයට ගිහින් බැලුවොත් , ඒ උපදෙස් වලින් වැඩක් තියේද?

මෙලොව ඇති සෑම ජීවිතයකින්ම පලක් තියෙනවා. ඇය මේ ලොවට අවශ්‍ය කෙනෙක් බව ඇයට වටහා දිය යුතුමයි. ඒ සඳහා, නිසි මනෝ වෛද්‍ය උපකාර අවශ්‍යයි. නමුත් අවුරුදු 10 ක් පමණ රෝගී බවින් පීඩා විදින ඈ යථා මනෝ ස්වභාවයකට ගැනීමට දිගු කලක් යන බව මනෝ වෛද්‍යවරියගේ අදහසයි.

දිගින් දිගටම රෝගීන්ගේ ප්‍රශ්න පිළිබඳව විමසද්දී, කතාබහ කරද්දී එක් ජේෂ්ඨ වෛද්‍යාචාර්‍යතුමෙක් මට දවසක් මෙසේ පැවසුවා.
"අපට කිසිවෙක් 100%( සියයට සීයක්) සුව කරන්න බෑ. ඒකට වෙහෙසෙන්න, ඒත් ඒක එහෙම කරන්න බෑ . සම්පූර්ණ මානසිකමය සහ භෞතිකමය සුවයක් අපට ගොඩනගන්න බෑ. . we cant cure them 100%!"
"But we can try ! අපට උත්සහ කරන්න පුළුවන්"

13 comments:

  1. /* ලෙඩ වෙලා බලන්න, ඔයාට එපා වෙන්නේ නැද්ද කියලා */

    මේ කතාව කියන්න ඕනෑ හිටපු ජේවීපීකාරයින්ට. ඒ සමහරු වත්මන් නායකයා රෝහලේ බව අසා කියන කතා දැක්කාම සසර එපා වෙනවා!

    ReplyDelete
  2. Sometimes we don't want to be cured. Sometimes the reality bites.

    ReplyDelete
  3. ඇත්තටම එපා වෙනව.

    ReplyDelete
  4. ලස්සන කතා වලින් ඔවුන්ව උස්සලා කකුල් දෙකෙන් හිටවන්න ලේසි නැහැ. ඒ කතාව ඇත්ත. නමුත් අපිට පුළුවන් පොඩි වැඩසටහනකින් ඒ දේවල් කරන්න. උදාහරණයක් විදියට ඕනේ තරම් නෙට් එකේ තියෙනවා ආබාධ සහිතව මේ ලෝකෙට ඇවිත් උනත් ජිවිතේ ගැන බලාපොරොත්තු නැතිකරගත්තේ නැති මිනිසුන් ගැන. ඒ දේවල් කියනවාට වඩා පෙන්නුවම ඒක ලොකු බලපෑමක් කරනවා. මම එකපාරක් දැක්කා ( කොහෙදිද කියල මතක නැහැ) යෝගා වලින් ඇවිදගන්න බැරුව හිටිය කෙනෙක් ආයෙමත් ජිවත් වෙන්න බලාපොරොත්තු ඇතිකරගත්ත විදිය. මම හම්බුනොත් ඒ ලින්ක් දාන්නම්.

    ඔහොම අයගේ පොදු ලක්ෂණයක් තමයි අභ්‍යන්තරාවර්ති වීම. ඒ කියන්නේ පිටට සංවාදයක් ගොඩනැගීමේ අකමැත්ත. ඔවුන් හිතනවා ඒ දේවල් වෙන්නේ තමුන්ටමයි කියලා. අර කතාවක් තියෙනවා නේ අලුත් සපත්තු ඉල්ලලා ඇඩුව , කකුල් දෙකක් වත් නැති ළමයෙක් දකිනතුරා කියලා. ඔවුන් පිටත සිද්දවෙන දේවල් වලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. 'ඇයි මටම මෙහෙම වෙන්නේ' වගේ කතා කියන අය තමයි වැඩි. ඇත්තටම එහෙම වෙන්නේ ඇයි කියලා හොයන්නෙත් අඩු ප්‍රතිශතයක්. පවුලේ බලපෑමත් එක හේතුවක් වෙන්න පුළුවන්. නමුත් එය එකම හේතුව නෙවෙයි. උඩ ඩුඩ් කියලා තියෙනවා වගේ සමහර මිනිස්සු කාලයත් එකක් ඒ ලෙඩේ හිරවෙනවා. ඊට පස්සේ ඒ බලකොටුවේ මිසක් එලිය ගැන සංවේදී වෙන්නේ නැහැ.

    මේ සටහන මගේ මතකයක් අලුත් කළා.

    ReplyDelete
  5. සුවයට ප්‍රතිකාර විධි පමණක් ම නොව ලෙඩාගේ උවමනාව ද ඕනෑ ය...

    ReplyDelete
  6. උත්සාහය තමා වැදගත්... හැම දේකට ම ...

    ReplyDelete
  7. එක පුංචි සිද්දියකින් ලොකු කතාවක් කියනවා. මේ ලෝකේ කිසිම කෙනෙක් 100% ක් නීරෝගී නැති බවත් රෝගීන්ට තේරුම්කර දෙන එක හොඳයි නේද ?

    ReplyDelete
  8. මට මේක කියවනකොට මතක් වුනේ මේ ඩෙට් ටෝක් එක.

    කාට හරි පුලුවන්නම් මේවා සිංහළ උපසිරිසි ගන්වන්න ගොඩක් වටිනවා https://www.youtube.com/watch?v=36m1o-tM05g

    ReplyDelete
  9. අනුන්ගේ ප්‍රශ්නයක් මොහොතක් අපේ කර ගත්තම කොහොමට තියෙයිද? මිනිස්සු පුදුමාකාරයි, මට හම්බ උණු මිනිස්සු බොහොමයක් ජීවත් වෙන්නේ අතීතයේ, එහෙමත් නැත්තන් අනාගතයේ, වර්තමානයක් ගැන ජීවත් වන හුස්ම වැටෙන මොහොත ගැන යතාවබෝධයක් ඔවුන්ට නැහැ, එයාල බලාපොරොත්තු නම් මායාවෙන් ගොඩනගාගත්ත එයාලගෙම ලෝක වල අතර මන් වෙලා, බලාපොරොත්තු බිඳ වැටීම නම් කඩාවැටීම් එක්ක කඩාගෙන වැටෙන්නේ එයාල මවාගත්තු ලෝකය, ඒක එයාලට දුකක්, මාවගත්තු ලෝක කඩාගෙන වැටෙන කොට තව තවත් බලාපොරොත්තු වලින් එයාල මුක්කු ගහනවා, ඒවා හයියද දරා ගන්න පුලුවන්ද කියලා වගක්වත් නැහැ.

    මිනිස්සුන්ට බලාපොරොත්තු ඕනා, අනාගතය සැලසුම් කරන්න ඕනා, නමුත් ඒමත ඇලෙන්න ගැලෙන්න නරකයි, ඒවා එහෙම්මම වෙයි, වෙන්න ඕනා කියලා බලාපොරොත්තු වෙන්න නරකයි. එහෙමම කරන්න ඕනා කියලා කටයිතු කරන එක හරිම වෙහෙසයි විදාවයි, නිවනක් නැහැ.

    මම එක උදාහරණයක් කියන්නම්, අපිට අපිවත් නතු නොවන කොට අපි කොහොමද අපී අවට සිටින අය මම කැමති දේම කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ, එහෙම බලාපොරොත්තු වෙලා එහෙම නුනම කොපමණ දුකයිද, තරහයිද, එහෙම නේද? අපිට කරන්න පුළුවන් කෙනෙකුට නියෝග කරන්න විතරයි රැකියාව තනතුර හෝ කවරම කාරනෙකදී, එත් ඔහු හෝ ඇය ඒ දේ එහෙමම කරයි කියලා බලාපොරොත්තු වෙන්න නරකයි.

    මේ දේ තේරුම් ගත්තනම් ජීවිතය සරලයි සුන්දරයි.

    ReplyDelete
  10. එකිනෙකාගෙ හිතේ තියෙන ධනාත්මක බව නේද අක්කා මේකට හේතුව.
    මට හමුවෙලා තියෙන විවිධ රෝගීන් අතරෙ එකම රෝගී තත්වය තියෙන අයට ඒ බව දැන්වුවහම ලැබෙන ප්‍රතිචාර විවිධයි.
    තව විදිහකට හිතිවොත් එක් එක් අය රෝගී බව ( sick role ) තුල හැසිරෙන ආකාර විවිධාකාර වෙනවා. කෙනෙක් ඇඳට වෙලා විඳින දුක ගැන සියවරක් හිත් හිතා දුක් වෙමින් ඉන්නවා. තවත් කෙනෙක් ඒ කාලය විවේකයක් කියල හිතාගෙන අඩු ගානෙ පොතක් කියෝනව, අමාරු කම් තිබුනත් හැකිතාක් දුරට උද්යෝගීව ඉන්නවා. ඉතින් අක්කා කියල තියෙනවා වගේ මේ දරාගැනීමේ හැකියාව අඩු වැඩි වීම අනුව ලබා දිය යුතු මානසික සහයත් අඩු වැඩි කරන්න වෙනවා.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !