Life, work, stress and Stories from the other end - සායනික සටහන් නොවේ, මේ ජීවිත සටහන් ගොන්නකි....
Wednesday, December 12, 2012
තාවකාලික සමුගැනීම්....
එදින මට වැඩි වැදගත්කමක් නැති වුවද, උදෑසන ජේෂ්ඨ වෛද්‍යවරුන් දෙදෙනා නගරයේ කේක් කඩයට ගිය බවට ආරංචි පැමිණියාය. "අනේ කේක් විතරක් හරියන්නේ නෑ මොනවා හරි එහෙනම් දෙන්න වෙනවා" සෙසු යහළුවන්ද පැවසූයෙන් අප පේස්ට්‍රි රෝල් සහ වඩේ රැගෙන පැමිණියෙමු. කිසිදාක උපන්දින සාද පවත්වා නැති මුත් එදින වෝඩ් එකේ කුඩා තේපැන් සංග්‍රහයක් ඔවුන් මා වෙනුවෙන් ලෑස්ති කර තිබිනි. මා කුඩා රසකැවිලි සහිත රෝල් පේස්ට්‍රි පාර්සලය රැගන වාට්ටුවට යත්ම එහි සිටි හෙදි සොයුරිය, අනේ ඩොක්ටර් කියා මුහුණ රතු කරගෙන ඔවුන්ගේ විවේක කාමරයට දිව ගියාය. පසුව ආරංචි වුනේ ඇය එහි අඬමින් සිටින බවය. "මේ මොකද මිස් අඬන්නේ ?" මා විමසූ විට. "ඩොක්ටර් ට්‍රාන්සර් ඇවිත් යනවා නේද? කියමින් ඉකි ගසමින් අඬන්නට විය. දැන් එයට ඇටෙන්ඩන්වරියද එකතු වී ඇත. මොවුන්ගේ ලෙංගතුකම කොතරම්ද යනු, ට්‍රාන්සර් අද හෙට ඒවියැයි බලාපොරොත්තුවෙන් සිටින අප, මේ සමුගැන්මේ සාදය පවත්වන්නට යනවා යැයි මොවුන් සිතා ඇත. " ට්‍රාන්සර් ආවේ නෑ, අද මගේ උපන්දිනය නේ" කියූ විට යන්තම් ඔවුන්ගේ ඇඬුම් නැවතිනි. "අපට මෙහෙට වෙලාම ඉන්නත් බෑනේ. ගෙවල් වල අය බලන් ඉන්නවා නැවත ළඟ පාතකට එනකම්" අපේ කාලය ඉවර වුනු විට නැවත මේවා අත හැර නව තැනක වැඩ බාර ගන්නට වෙයි. තව මාස කිහිපයකින් යන්නට බලා සිටින අපටද මේ පළාත් අත හැර අපේ ඉතින් අනිත් කොණෙන් සමුගැන්ම නම් ඉතා අමාරු වෙන හැඩයි. මේ තාවකාලික සමුගැනීම් , හමූවීම් වෙන්වීම් අපේ රැකියාව සමග නිරන්තරයෙන් බැඳුනු දේ වෙයි.
ජීවිතයේ නොයෙක් අවදි පසුකර අද තරුණ විය ඉක්මවමින් සිටින අපට රැකියාව නිසා ලංකාව පුරා නොයෙක් තැන ඇවිදින්න වුනා. ඒත් ඒ සමග ලැබුනු ජීවිත අත්දැකීම්, විවිධ සංස්කෘතීන් විවිධ ජාතින් මෙන්ම විවිධාකාරයේ මානසික තත්ව සහිත මිනිසුන් සමග වැඩ කරන්න ලැබීම නිසා බොහෝ දේවල් අත්දැකීම් ගොන්නට එකතු කරගත්තා. ඒ අත්දැකීම් මෙලෙස අකුරු කරන්නට කියා දුන් මුල් ගුරුවරුන් නිසා අන්තර්ජාලය හරහා අපට රෝහල් වල මුණ ගැසුනු ජීවිත ගැන කතා බහ කළා. ඒනිසාම මේ අන්තර්ජාලය ඔස්සේ අනිත්කොණ වටා ගොඩ නැගුනු හිතවත්කම් සහ මනුස්සකම්, අප සමග මේ අනිත්කොණ වැසියන්ගේ දුක බෙදා හදා ගැනීම දක්වාම වර්ධනය වුනා. සමහරුන් සැබෑ ජීවිතයේ යහළුවන් බවට පත්වුනා. එසේ අවුරුදු දෙකක පමණ සිට ඉතා සෙමින් ලියවුනු මේ කතා ගොන්නේ අද පළ කරන්නේ පණස් වැනි 50 වැනි පෝස්ට් එක.
(ඔය අතරේ හිත රිදෙන සිදුවීම් ද ඇති පදම් සිදු විනි. )
මෙහෙත් දුක් විඳිනවා මිනිස්සු එහෙත් දුක් විඳිනවා මිනිස්සු. ලෝකේ කොහෙත් එහෙමයි. ලෝකේ පුරාම සැප මෙන්ම දුකද එක ලෙස පවතිනවා. මා දකින ජීවිත තුලින් යමක් ලියා තැබුවේ ඔබේ උදව් ඉල්ලන්න නොවේ. අප සිටින පරිසරයේ අප සිටින ප්‍රදේශයේ අවට තිබෙන කරදර නැති කරන්න සැහැල්ලු කරන්න අපටම දායක වෙන්න පුළුවන් බව පෙන්වන්නයි. ඇත්තටම අපට පුළුවන් ආකාරයට ඔවුන්ගේ දුකට පිහිට වෙනවා වගේම ඔබටත් ඔබ සිටින ගම නගරයේ... සමහර විට අල්ලපු ගෙදර සිටින මිනිසුන් වෙන්න පුලුවන් දුකකින් කරදරයකින් සිටිනවානම් පිහිට වෙන්න. ඔබට වැඩියෙන් යමක් ඇත්නම් මේ අනිත්කොණටම එන්න උවමනා නෑ. ඔබට සිටින අවට ඕනෑ තරම් දුක් කරදර ඇති අය ඉන්නවා වෙන්න පුළුවන් ඔවුන්ට පිහිට වෙන්න ඔබට එය මහඟු ආශිර්වාදයක් වෙනවා නො අනුමානයි.
අපට හැම තැනම දුක කරදර පෙනෙනවා. පත්තර වලින්, අන්තර්ජාලයෙන්, කෝච්චියේ යන එනකොට, බස් එකේ යන එනකොට, ගෙදර අහල පහළින්, බඩු ගන්න පොළට ගියවිට... රූපවාහිනියෙන්, මුහුණු පොතෙන්, විටෙන් විට අනුන්ගේ දුක් කරදර දකිනවා විඳිනවා. එනිසයි අපට හැකි පමණින් අප අවට සිටින්නන්ගේ දුකට යම් සහනයක් ගෙන දෙන්න කුමක් හෝ කරන්නේ. ඒ කළ කී දෑ ඔබ සමග බෙදා හදා ගත්තේ ඔබටත් යමක් කළ හැකියි කියා කියන්නටයි. නැතුව අප මෙසේ කලා යැයි පුරාජේරු කියවීමට නොවේ. සමහර විට මේ දෙසට උදව් උපකාර කිරීමට අපේක්ෂාවෙන් ඔබ එවූ ඊ මේල් එකට ප්‍රතිචාර නොදැක්වූයේ හිතේ ඇති වූ කලකිරීම නිසා. ඇත්තටම උදව් අවශ්‍ය අය ඔබ අවට ඕනෑ තරම්....
ඔබ අවට බොහෝ දුක් කරදර තියෙන්න පුළුවන් එකම වෙනස ඔබට ඒවා නොපෙනීමයි. එනිසා ඔබට මේ සංවේදී කතා කියවා හිත් සසල විනි නම්, මටත් යමක් අනුන් වෙනුවෙන් කරන්නට හැකි යැයි සිතුනා නම් ඔබට හැකි පමණින් ඔබ අවට සියල්ලන්ට උදව් උපකාර කරන්න. රෝහලේ වාට්ටුවලටම කොටුවී දවසේ බොහෝ පැය ගණනක් ගත කරන අපට කළ හැකි දේ සීමිතයි. අප කරනා සේවය බොහෝ සේ අගය කරමින් දිරි දුන් සැමට ස්තූතියි. ඔබ පිළිගත්තත් නැතත් වෛද්‍යවරු තවමත් මේ රටේ ඈත එපිට රෝහල් වල බොහෝ කරදර මැද්දේ තවමත් සේවය කරයි. ඒ කරනා සේවයට මේ ලිපි උපහාරයක්ම වේවායි පතමු.
Subscribe to:
Post Comments (Atom)
අනිත් කොණ ලියන්නෙත් වෛද්‍ය වෘත්තියට සම්බන්ධ කෙනෙක් බව දැනගත්ත එක සතුටක්. ඒවගේම 50 වන සටහනටත් සුබ පතනවා
ReplyDeleteලිපියේ අවසානයේ කර තිබෙන ඉල්ලීම නම් හරිම වටිනවා ... උදව් අවශ්‍යද අය අපි අවටම ඕන තරම්... ඔයාට මාරුවක් ලැබුණත් ‘‘අනිත් කොණ” දිගටම ලියාවි කියල හිතනවා... වෘත්තිකයන්ට එහා ගිය උතුම් වෛද්‍යය සේවයක තොරතුරු අපි ඔබ වෙතින් දැන ගත්තා. එවැනි වෛද්‍ය.වරු ඉන්න බව දැන ගන්න ලැබීමත් සතුටක්... සුබ පතනවා ඔබේ ඉදිරි දිවියට... ඒ වගේම සුබම සුබ උපන්දිනයකටත් ආසිරි. දෙවි පිහිටයි සොයුරිය.
ReplyDeleteඔව්, උදව් අවශ්‍ය අය අප අතර ඕනෑ තරම්. ඇහැ ඇරලා බලනවා නම්.
ReplyDeletecongrats and good luck akka!
ReplyDeleteඔබ කරනා මෙහෙය ඉත අනර්ගයි, සදා ජය ... !
ReplyDeleteනගරයට ආවත් ඔය මෙහෙය ඔහොමම කර ගෙන යන්න ආසිරි පතනවා ... ! හා නගරයේදී දොස්තර මුදළාලි කෙනෙක් නොවේවා... !
Belated wishes for your b'day
ReplyDeleteමාරුවක් ආවත් ඔබේ බ්ලොග් එක නවත්තන්න එපා. දොස්තරල කොච්චර කැපවෙනවද කියල ඔබේ පොස්ට් වලින් තේරුම් ගියා. අවන්කව කරන රාජකාරියට සුබ පැතුම්.
ReplyDelete50 වැනි පෝස්ටුවට සහ උපන්දිනේට සුභපැතුම්. ඇත්තම කතා කරනවා නම් අක්කේ හැමදාම අනිත්කොණට වෙලාම ඉන්නත් බෑනේ.අපිට ගෙවල් දොරවල් වගේම වගකීම් සහ යුතුකම් තියනවා. ඒත් මේ පළාතේ වැඩ කරන කාලය තුල කිසිදා අමතක නොවන අත්දැකීම් ගොඩාක් ජීවියට එකතුවෙනවා. ආපසු හැරී බලලා සතුටුවෙන්න පුළුවන්. නව පත්වීම ලෙසට ඉතා හොඳ තැනක් ලැබෙන්නට පතනවා
ReplyDeleteබ්ලොග් අඩවිය තුල පසු කරන කඩඉමට මගෙනුත් සුභ පැතුම් අක්කා.
ReplyDeleteමම හිතන්නෙත් අපට වැඩියෙන්ම නැවත නැවත මතක් කරල සතුටු වෙන්න පුලුවන් අපි කාට හරි කල උදව්වක් හො අපි කල යහපත් දෙයකින් විතරයි.
අක්කගෙ ලිපියෙ අවසානයේ දෙන පණිවිඩය ඇත්තෙන්ම වැදගත්, මම දකින විදිහට නගර ආශ්‍රිතව මුදල් මූලික කරගෙන වෘත්තීය කරන වෛද්‍යවරුනට වඩා රටේ නොපෙනෙන අහුමුලු වල දහසක් බාධා අතරේ කැපවීමෙන් සේවය කරන වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔව්න්ව අමතක කරන්න නරකයි.
තව තවත් ලිපි ලියන්නට මෙන්ම අනෙකුත් සියලු කටයුතු සාර්ථකව කර ගන්නට අක්කට ශක්තිය ධෛයය නොඅඩුව ලැබේවා!
ජය වේවා අක්කේ.......මාරුවෙලා කොළඹ පැත්තටද එන්නේ??
ReplyDeleteදවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ReplyDeleteලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!
තව තවත් මිනිසුන්ගේ දුක් වේදනා නිවන්නට හැකි වන... ඒ වගේම අළුත් ලිපි ලියන්නට හැකිවන, ජීවිතේ පැතුම් ඉටු වන සුබ නව වසරක් වේවා ...
ReplyDeleteඔබ අවසන් වැකිවලින් කියන් දේ ඇත්තයි.. ඇස් දල්වා හදවත විවර කර බලනවා නම් උදවු අවැසි අය වැහි වැහැලා. මම නම් රැවටිලි වලටත් අහුවෙනවා. ඒත් අර විදිහට දෙයක් දීමෙන් ලැබෙන සැනසීම අප්‍රමාණයි..
ReplyDelete