Sunday, August 1, 2021

දැන් අත හෝදන්න ඕනෙ නැද්ද ?

"මහත්මයා මාස්ක් එක හරියට දා ගන්නවද ?" 

"මේ මම ෆේස් ශීල්ඩ් එකක් දාගෙන ඉන්නේ හරිද ?" 

රූපවාහිනී වැඩසටහන්වල ෆේස් ශීල්ඩ් විලාසිතාව නිසා සමාජගත වුණු තවත් අමනෝඥ වැඩක් ඒ. 

හපොයි ! 

මම අත හෝදමින් ඉන්න අතර කෙලින්ම සුපර් මාකට් එකට යන පිරිස දැක...
මුරකාර උන්නැහේගෙන්....

"මහත්මයා දැන් අත හෝදන්න ඕනෙ නැද්ද ?" 

අනේ අපි කීවට අහන්නෑ..
ඕක තමා මුරකාර උන්නැහේලාගේ උත්තරේ... 

කොහේ ගියත් ඇතුලේ සෙනඟ වැඩි නම් මම එතැන සිට දොර ළඟ හිටගෙන ඉන්නවා. 
එන එන කෙනාට පැහැදිලි කරලා කඩේ අයටත් පැහැදිලි කරනවා. හැකි තරම් ඔන්ලයින් ඩිලිවරි ක්‍රමයට ගෙදරට අවශ්‍ය කෑම බීම ගෙන්වා ගන්නවා. 

ඒත් මරණ සංඛ්‍යාව සහ පොසිටිව්  pcr දත්ත, අනේ මෙහෙමත් රටක්...කියා අපේ හිත්වල සුසුම් මවනවා. 🤷🤷🤷 

home quarantine කරන වැඩෙත් වෙනවා දැන් දැන් ඉස්පිරිතාලවලට දරාගන්නට බෑ මේ රෝගීන් ප්‍රමාණ. ඒත් ඉතින් ඒක ගැන හරි දැනුවත්භාවයක් නෑ. 

මේ පාරේ ගෙදරක් කොවිඩ් පොසිටිව්... සමහර අය හෝම් කොරන්ටයින් 
ඒ ගෙදර ගෑණු කෙනා පෙරේදා මම වැඩ ඇරී එද්දිත් මාස්ක් එකක් නැතුව ඉස්සරහ ගෙදරක ගේට්ටුවක් අල්ලන් කතාව...
අද උදෙත් තව ගෙදරකට ඇවිත් මුට්ටියක් ඉල්ලලා..mask එකක්නම් මළාට දාන්නේ නෑ.
ඊළඟ දවසේ හවස මාස්ක් එකක් නැතුව පාර අතුගානවා...
ඔක්කොම ගෙවල්වල ඇන්ටිලා කලබල වෙලා කෝල් කර කර එකිනෙකා සමඟ කියනවා.
මම ඇහුණ ගමන් PHI ට කෝල් කරලා කීවා.
මේවා අපිට නිතර පෙනෙන්නේ  නෑනේ අපි වැඩට ගිහින් නිසා ගෙවල්වල නෑනේ. 

ඔබ මේ ගැන හිතන්න ගන්න. කොහොමද අපි අප ඉස්සරහ ඉන්න මනුස්සයා හරි ප්‍රවේශම් කෙනෙක්ද කියලා සහතික වෙන්නේ. එනිසා ඔබ මාස්ක් එක පළඳින්න.මීටරකට වඩා ඈත් වෙන්න.
මේ ලියන මම ගෙදරින් පිටවුණාට පස්සේ කිසිම හේතුවකට මාස්ක් එක ගලවන්නේ නෑ. මුහුණු ආවරණය ගලවන්නේ නෑ.
ඒත් අපි සමඟ ගෙදර ඉන්න අනිත් අය ඒවගේම ප්‍රවේශම්ද කියා අපි දන්නේ නෑ. "අනේ මොන කොවිඩ් ද ඒ මනුස්සයට" කියා නොසැලකිල්ලෙන් හැසිරෙන්න පුළුවන්. 
සමහරු "එන්නත් ගැහුවත් හැදෙනවා.. බෝ වෙනවා ඉතින් මොකටද එන්නත්" කියලා කිසිම විද්‍යාත්මක පදනමක් නැති කතා කියමින් තර්ක කරනවා. එහෙම එහෙම සමාජයෙ ප්‍රවේශම් නොවන අය නිසා අති ප්‍රවේශම් අයත් අමාරුවේ වැටෙන්න පුළුවන්.

අදම එන්නත ලබා ගන්න. එන්නත් දෙකම විදලත් කොවිඩ් හැදුණු ප්‍රතිශතය ඉතාම අඩුයි කියල කියනවා ඇහුණා. 
එන්නත ලබා ගත්තත් ඔබේ ප්‍රවේසම පෙර පරිදිම පවත්වාගෙන යන්න 

කොවිඩ් දිනපොත 2021

Wednesday, April 21, 2021

පපුව හිරවෙන ස්මාරක

"අක්කා, මේ වෝඩ් එක හදලා තියෙන්නේ පයිලට් කෙනෙක් සිහි වෙන්න..."
අසල පඩි පෙල නඟින තැන තිබූ ස්මාරකය පෙන්වමින් මගේ සහෝදර වෛද්‍යවරයා පවසද්දී තමා එය මගේ ඇස ගැටුනේ. 

"මම ඒක සම්පූර්ණයෙන් කියෙව්වා. මේ පැත්තේ අහිමිවීම් ඒ පැත්තේ අහිමිවීම් වගේම සැරයි. දරුණුයි. ඒක මතක් කරන්නේ මේවගේ අහිමිවීම් දුක් කඳුළු රැගත් ස්මාරක. බලලෝභී දේසපාලනය නිසයි මිනිස්සු හැමෝම දුක් වින්දේ, අපි එහෙ ඉන්නකොට හිතුවේ යුද්දෙ නිසා දුක් කරදර අපට විතරයි කියලා. ඒත් දකුණෙත් මිනිස්සු එකම විදිහට දුක් වින්දා නේද " ඔහු කියන්නේය. ඔහු යාපනේ වැසියෙකි.

" ඒක සම්පූර්ණයෙන් ඇත්ත මල්ලී. මම වැඩ කරන්න  උතුරට යනකම් මමත් කුඩා කාලයේ ඉඳන් දැක්කේ අපේ අහිමිවීම් විතරයි. අපි මරණ ගනන් කරමින් අපේ පැත්ත ගැන විතරක්ම දුක් වුණා. මුළු රටක මළගම ලියාදුන් යුද්ධයෙන් අවසානයේ ඉතිරි වුණේ මේවගේ පපුව හිරවෙන ස්මාරක පමණයි මල්ලී"  හිතේ නැගෙන සංවේගය සමග මම කීවෙමි. 

ඒ දෙමහල් ගොඩනැගිල්ලේ වාට්ටු සංකීර්ණය ගොඩ නගා තිබුනේ 1995 ඇන්ටනෝව් යානයේ ගුවන් නියමුවෙක් ලෙස සේවය කරමින් සිටියදී, අහිමි වූ රංජිත් ප්‍රනාන්දු නම්, අවුරුදු 23 පැහපත් කඩවසම් තරුණයා සිහිවෙන්න ය. බිත්තිය මත ඇති ඒ සෞම්‍ය රුව අප දිහා මන්දස්මිතය රැඳි මුහුණින් බලාගෙන සිටී.  එංගලන්තයේ ගුවන් නියමු අධ්‍යාපනය හදාරා ස්වේච්ජාවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳී සේවය කළ ඔහු, ප්‍රහාර දියත්වන මොහොතක තවත් ගුවන් යානා අනතුරට පත්වූ මොහොතක යාපනය පලෙයි දක්වා යානා මෙහෙයවීම නිසා වීර වික්‍රම විභූෂණ සම්මානයෙන්පුදන ලදී. 

යුද කාලයේ වෙනත් රටකට වී සිට ඉන්පසු පැමිණ පදක්කම් පැළඳි අය සිටින්නට ඇත. එහෙත්  ඔහු ස්වේච්ඡාවෙන්ම පැමිණ යුද්දය බුර බුරා ඇවිලෙන කාලයක රට රකින්නට තම සහය දුන් අයෙකි. දෙමාපියන් හට තම එකමපුතු අහිමිවීම නිසා වන්දියක් ලෙස රුපියල් මිලියනයක් ලබා දී ඇත. ලෙහිහොවා වැදු පුතුන් අහිමිව කාසි කොපමණ ලදද් කුමට ද ? ඒ දෙමාපියන් සහ සොයුරිය විසින් මේ කරුණාබරිත මනුෂ්‍යයාගේ කැපවීම සහ ජීවිත පරිත්‍යාගය සිහිවීම පිණිස ඇඳන් විසි තුනක් සහිත වාට්ටුවක් සාදා ප්‍රධානය කර තිබිණි. 

Ranjith Fernando jr. , studied at royal college colombo and qualified through the civil aviation authority of the united kingdom and obtained the commercial pilots license in 1994. He joined SLAF as a volunteer pilot. In april 1995 volunteering to fly to palay jaffna immediately after a missile attack, he was awarded weera wikcrama vibhushana. in 1995 november, The antonov aircraft which he ws the co -pilot, went missing with 68 army commandos. The SLAF has awarded 1 million as the compensation for the loss of his only son. The father mother and his sister utilised these funds to utilize this ward with the feverent hope that this kind hearted human being's name dedication and contribution to his country will be perpetually remembered. 

යුද්ධය විසින් මේ බිමේ ලියැවුණේ අහිමිවීම්ය, දුක්ක දෝමනස්ස පිරුණු ඛේදවාචකයන් ය. දෙමාපියන්ට දරුවන් අහිමි කළ , දරුවන්ට දෙමාපියන්ට අහිමි කළ මේ අකාරුණික කාලය ගැන ලියන්නට කතා එමට ය. 
ඒ අහිමිවීම් පපුපුතුරෙහි සඟවා කෙසේ හෝ ජීවිතේ ඉතිරි කාලය ගෙවා ගන්නා මිනිසුන් ඒ කොනෙත් මේ කොනෙත් අඩු නැති ය. 
එහෙත් මේ රටේ අප්‍රබ්‍රංස දේසපාලුවන් තවමත් ගිනි පුපුරු විසිකරගන්නෝය. කොහෙන් හෝ අවුලුවා තම ගොඩ වැඩි කරගන්නෝය. 

මා ලියන්නේම උතුර ගැනය, යුද්ධය ගැනය... දැන් ඕවා ඇති යැයි පවසන, සැප පහසුව ආරක්ෂිතව උන් අයවලුන් බොහෝ වෙත්. එහෙත් මේ ටික ලිවිය යුතුමය. 

රන්ජිත් ප්‍රනාන්දු ගුවන් නියමුවාද , උතුරු කොන යෞවන යෞවනියන්ද , දකුණේ 71, 89 දී ගිනිබත් කළ යෞවන යෞවනියන්ද නැවත නොඑන බව දරාගනිමින් දැවෙමින් දෙමාපිය සහෝදර හිත් බොහෝ මේ භූමියේ විසිරී ඇත. එහෙත් ඒ හිත්වලට සුව සැදුවේ කවුරුන්ද ? 

අප අපේ ඊළඟ පරම්පරාවට ඉගැන්විය යුත්තේ  මේ අහිමිවීම්වල බරපතල කම ගැන ය. අප පාසැල්වල පරිච්ජේද වෙන්කළ යුත්තේ මේ මිනිස් ඛේදවාචකය ගැන උගන්වා සහවේදනය සපිරි මිනිසුන් බිහි කිරීමට ය. 

තමන්ගේ දරුවන් අහිමි දුකින් මුලතිව් හි දුක්වෙන අම්මා ද මැදවච්චියේ දුක්වන අම්මා ද එක තැනක හිඳ මේ අහිමි වූ දුවා දරුවන් මතක් කර බණපදයක් කියා පහනක් පත්තු කරන්නට මේ රටේ හිත් හැදෙන්නේ කවදාද ? එවන් සැමරුමක් අප පිරිය යුතු නොවේද ?
ගෙදරින් එක් අයෙක් ත්‍රස්ත සංවිධානයට බැඳෙන ලෙස අණ කළ විට තම සොයුරු සොයුරියන් රැකගන්න තමන්ගේ ජීවිතය කැපකරමින් සංවිධානයට බැඳී ආයුධ ඔසවාගත් සොයුරන් සොයුරියන් මට වන්නියේදී හමුවිය. 

අවි ඔසවාගත් දහසක් දුවා දරුවන් එතැනට ඇද දැමූ යුද්ධය නැවතුන සහනය එසේ සියලු ජාතීන්ට එක සේ දැනිය යුතු නොවේද ? එසේ දැනෙන්න නම් ඔවුනට අහිමිවූ ඔවුන්ගේ මිනිසුන් අමතක කරන්න යැයි අප කියන්නේ කෙසේ ද ? 

ඔවුන්ද අපද එකම කාසියක දෙපැත්තක හිඳ එක සේම විසල් දුක් කරදර දෝමනස්සයන්  විඳි බව වටහාගත් දිනක සැබෑ සංහිදියාව හිමි වනු ඇත.

අද , ඔබ අහිමිව අවුරුදු විසි හයකට පසු, උපන් බිමේ මිනිසුන්ගේ ජීවිත රැකීම උදෙසා දිවි පිදූ ඔබ සිහිවීම පිණිස හැදූ වාට්ටුව අභියස හිඳ මේ බිමට අහිමි වූ ඔබ වැනි ආත්මාර්ථයෙන් තොර වූ එඩි බල විර් යය සහිත දූ පුතුන්  දස දහස් ගණනක් අහිමි වූ අතීතය සංවේගයෙන් සිහි කරමි.

 - වෛද්‍ය බෝධිනී සමරතුංග

Monday, April 5, 2021

Jesus knew... but Judas ate too...

 ජේසු දැනන් හිටියා ඒත් ජුදාස්ව එලෙව්වෙ නෑ..

මා වැඩ කළ ආයතනයේ චීෆ් ෆාමසිස්ට් ‍එක්ක සේවය කළ ෆාමසිස්ට් මාරුවීම් ලැබ යද්දී සමුගැනීමේ සාදයක් පැවැත්වූවා. එතනදී ආයතනයේ අධ්‍යක්ෂතුමා හරි අපූරු කතාවක් කීවා.
සහයක ඩැනීලා ගැන ඒ අපූරු කතාවෙන් මතක හිටින ටික මම ලියා තැබුවා. 

"මේ සහය දුන්නු ෆාමසිස්ට් ගැන එයාගේ ඉහළ ඔෆිසර් කීව කතා කොච්චර ලස්සනද ? ටීම් එකක සහයෝගය දෙන්න ඕනේ එහෙමයි. ඒත් අද වෙන්නේ මොකක්ද ? කාලයක් තිස්සේ වැඩ කරගෙන කටු කාගෙන ඒකකය පවත්වගෙන එන නිලධාරියාට තව දෙවෙනියෙක් හෝ සහයට නිලධාරියෙක් පත් කළාම එයා සහයක් වෙනවා වෙනුවට අර වැඩ කරන් හිටපු මනුස්සයටත් වැඩ කරන එක නෙමේ ජීවිතේ එපා කරවන තැනට වැඩ සිද්ධ කරනවා. මුදුනා වෙන්න හදනවා. මූගේ තැන නැතිකරලා මම එක වෙන්නේ කොහොමද බලනවා,ඒත් මේ සහාය නිලධාරියා ගැන එහෙම ආකල්පයක් දැක්කේම නැහැ. එයා මේ කරගෙන ආපු දේ කරන්න සහය දුන්නා." 

මම මේ දේවල් කොතෙකුත් දකිනවා. සමහර විට දිගු කාලයක් තිස්සේ මනුස්සයකුගේ කැපවීම සහ ගොඩ නැංවීම දිහා හරි අපහසුවෙන් බලන් ඉඳලා තමන්ට ඒ තැන ගන්න හෝ අර වැඩ කරන මනුස්සයට අංචි අදින්නම තමයි වැඩ.

කාලයක් මම මහත් පසුතැවිල්ලක සිටියා. මගෙන් අප්‍රමාණ උදව් ලබාගෙන, මගෙන්ම බෙහෙත් පවා අහගෙන, ඔවුන්ගේ ජීවිතය පවා ඇතැම්විට බේරා ගත් අවස්ථා එමට තිබුනත් අනික් පැත්තට හිත රිදන සමහර විට ජිවිතය, රැකියාව පවා අවදානමේ යොදන දේ කළ මිනිසුන් ගැහැණුන් ගැන !

ඔවුන්ගේ ක්‍රියා හමුවේ මම මහත් කම්පා වුණා. එහෙම දේ කරද්දී ඔවුන්ගේ හෘද සාක්ෂිය කතා කරන්නේම නැද්ද කියා මම කම්පා වුණා. 
මෑතකදී පවා, ලොකුම ගොඩ ඉල්ලා නැහෙන මිනිසුන්, ඇසිල්ලකින් හිත් රිදවන මිනිසුන්, අනෙකාගේ වේදනාව ඉදිරියේ සහවේදනයක් නැති මිනිසුන් හමුවේ මම කම්පා වුණා. කිසිම කතාවක් නැතුව කිසිම සම්බන්දයක් තියා ගන්නැතුව අත් හැර දැම්මා. 

"ඔවුන් එහෙම කරන්නේ කොහොමද ?" හිත හිතා මගේ හිතේ සහනය නැතිකරගත්තා. ජේසුට වින කළ ජුදාස් ගැන හිතමින් මගේ ජීවිතේ ජුදාස් ලා හමුවෙන තරමට මම ඔවුන්ගෙන් ඈතට දිව්වා. මම මා ප්‍රවේසම් කරගත්තා. මූනිච්චාවට ආශ්‍රය කළා. 
එතකොට මම ජුදාස් කෙනෙක් වුනේම නැද්ද ? මම මාව ප්‍රශ්න කළා.

අවසානයේ එහෙම මිනිස්සුන්ට එහෙමම ඉන්න දෙන්න මම ඉගෙන ගත්තා. ඔවුන්, ඔවුන්ගේ අකුසල හෝ කර්ම ගොඩ වැඩි කරගත්තාවේ. මම මගේ කර්ම ගැන බලා ගන්නවා කියා ඒ සිදුවීම් එලෙසම තියෙන්න ඇරියා. ඒත් එවන් මොහොතවල් තුළ මම ජුදාස් කෙනෙක් වෙලාම නැද්ද ? මම මාව ප්‍රශ්න කළා.

අදටත් මා ප්‍රතික්‍රියාවක් නොදැක්වූ නිසා බොහෝ ප්‍රේමණීය ලෙස ඔවුන් මා හමුවේ රඟපෑම් කරනවා. සමහර විට ඇත්තටම වෙන්නත් ඇති සමහර විට ලාභ ප්‍රයෝජන දිගටම පවත්වා ගැනීම සඳහා, "අනේ මොනවා කීවත් කරත් එයා උදව් නොකර ඉන්නේ නෑ" කියා හිතනවත් ඇති. 

මගේ මෝඩකම කියලත් කියනවා ඇති. ඒත් සියල්ල දකිමින් දැනගනිමින් සිටින නිසා අපට ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ එක්කම ඔවුන් ගැන අහිතෙන් වුවද හිතවත්කම දක්වන මා ගැනත් මම දකින්න ගත්තා. මමත් ජුදාස් කෙනෙක් වෙලාම නැද්ද ? එහෙම අවස්ථා මතක් කරගත්තා.

ජේසුස්වහ්න්සේ දැනගෙන හිටියා ජුදාස් ඔහුව පාවා දෙන බව, ඔහුට විරුද්ධව කටයුතු කරන බව ඒත් ඔහු ට එන්න දුන්නා, ඔහුටත් අවසාන භෝජනයේදී ආහාර දුන්නා ඔහුටත් තම සුරතින් ආහාර කැව්වා. 

ජීවිතේ මොනයම් මොහොතක හෝ අපි කවුරුත් ජුදාස් කෙනෙක් වෙන්න ඇති...ඒ දේවල් එහෙමම දැනෙන්නත් ඇති. අපටත් එහෙම ජුදාස්ලා අනන්ත හමුවෙන්න ඇති. ඒ මොහොතේ අපි සියළු බැඳීම් කඩා බිඳ දමා අත්හරින්නත් ඇති. ඒත් අපි හැසිරිය යුත්තේ ජේසුතුමා හැසිරුණු ආකාරයට යි. 
ඒක මෝඩ කම, නිවට කම, රැවටෙන සුළු වීම කියා අපහාස කරන්නත් පුළුවන්. හැබැයි ඒක තමයි විදිහ. 

වෙලාවකට අපි හැමෝම ජුදාස් ලා, වෙලාවකට අපි හැමෝම ජේසුලා. 
ජේසු දැනන් හිටියා ඒත්  ජුදාස්ව එලෙව්වේ නෑ.
බුදුන් දැනන් හිටියා ඒත්  දෙව්දත්, අම්බපාලී හෝ චිංචිමාණවිකාව පස්සෙ දුව දුවා එලෙව්වේ නෑ.

Wednesday, March 24, 2021

තෙවන මුද්‍රණය

සායනික සටහන් නොවේ....නවතම මුද්‍රණය (තෙවන මුද්‍රණය) ඔබ වෙත 

"නංගී පොත වැඩිය යන්නේ නෑ නේද ?" පොත ගත්තා කියා සටහන් පෝස්ට් වැඩිය දකින්න ලැබුනේ නැතිවුණාම මම හිතේ ඇතිවුණු දුක සමඟ මගේ පොත් ප්‍රකාශක ග්‍රන්ථ ආයතනයේ හිමිකාරිය තනෝජා නංගිගෙන් ඇහුවා.

"ඔයාට තේරුනේ නැතිවුනාට අක්කේ පොත විකිණෙනනවා. අපි හිතුවට අක්කේ පෝස්ට් දැම්මේ නැතිවුනාට සේල් එකක් තියෙනවා" තනෝජා කීවා.
පොත out of stock වෙද්දී මට පණිවිඩ ආවා බලාපොරොත්තුවෙන් ඉන්නා පාඨකයන්ගෙන්. ඒක ඇත්තටම සතුටු ආරංචියක් වුණා. නිතර මතක් කිරීම් කරමින් පොත විකුණාගන්න වෙහෙසුනේ නැත්තේ කොවිඩ් වසංගතය හමුවේ එකදිගට වැඩ කරන්න වූ නිසාත් ආර්ථික අපහසුතා එමට පසුගිය අවුරුද්දේ අපි සියල්ලන් විඳ දරාගත් බව මා දන්නා නිසා. 

.....යුද්ධය අහවර වූ කාලයේ එක්තරා දිනක රාත්‍රි වැඩ මුරය අවසානයේ හදිසි සැත්කම් කිහිපයක් යෙදුණා. ඒ සියල්ල අවසන් වෙනවිට වාට්ටුවෙන් ඇමතුමක් ආවේ ප්‍රසූතිකාගාරයේ දරුවෙක් ලැබෙන්න සිටි අම්මා කෙනෙකුට ටිකක් අමාරු බවයි. එසැනින් මමද අප අලුත් විශේෂඥ වෛද්‍යවරයාද ඉක්මනින් වාට්ටුව වෙත දිව ගියෙමු.

“එක් වරම වාට්ටුව දෙස බැලූ ඔහු “ කෝ මේ මිනිස්සු, මොකද මේ ඇඳන් හිස්… කියා කෙටි බිත්තියට ඔබ්බෙන් පෙනෙන වාට්ටු දෙස බලා විමසුවේ පුදුමයෙන්. මීට කලින් මධ්‍යම රාත්‍රීයේ වාට්ටුව  නොදුටු අලුතෙන් පත් වී ආ අප විශේෂඥ වෛද්‍යවරයාට මෙය මහත් පුදුමයක් වුණා.

“ඔය ඔක්කොමලා බිම රෙදි, පැදුරු එළාගෙන බුදි… ඇඳන් වල නිදියන්න බයයි මේ අය වැටෙයි කියලා… අනික බොහෝ දෙනෙක්ට පුරුදු නෑ. ගෙවල් වල ඇඳන් නෑ.  කොහොමත්, ගස් යට, කැලෑ වැදිලා රැය පහන් කරපු මිනිස්සුනේ” අපිත් අපට ඇහුණු සහ මේ අම්මලා කීව හේතු පැහැදිලි කර දුන්නා.

කෙටි බිත්තියෙන් එබී බැලූ විට.. ඇඳන් අසල බිම සහ ඒ අවට ගුලි ගුලි ගැසී සිටින පිරිස දුටු විට ඔහුටද කාරණය වැටහුණා.
ඔවැනි සිදුවීම් කොතෙකුත් තිබුණා. ඒවා ඒ කාලයේ පටන් සටහන් කරගෙන ලීවා.

2009 එක්තරා දිනක මා ප්‍රථමයෙන් බ්ලොග් සටහනක් ලීවා….ඉර හඳ යට ආදරේ විඳින්න, from north with love… කියලා. ඉන්පසු මාසෙකට සැරයක් හෝ මාස දෙකකට සැරයක්… හෙමින් හෙමින් ලියැවුණු අනිත් කොනේ විත්ති මේ සටහන් කියවන සියලු දෙනා හරි ආදරයෙන් ආශාවෙන් වැළඳ ගත්තා. උතුරු කොනේ ජීවිත ගොඩ නැගීම් , ජයග්‍රහණ ලියවෙද්දී ඔල්වරසන් නැගූ ඔබ සැම, පරාජයන්, දුක්වැළපීම් වලදී දුක බෙදාගන්නත් අනිත් කොන සමග සිටියා. මට අවශ්‍ය වුණේ රටේ ඉතාම තීරණාත්මක කාලයක , යුද්ධය අවසානයේ රටගොඩ නැගීමේ කර්තව්‍යයට එක පැත්තකින් උර දුන් සෞඛ්‍යය ක්ෂේත්‍රයේ අපි මුහුණ දුන් දේවල් සහ අනිත් කොන වැසියන්ගේ ජීවිත වල හැඩතල ඔබ හා බෙදා ගන්නයි.

කවි ලියමින් ජීවිතේ සංවේදනා සටහන් කරමින් බ්ලොග් පිටුවක් ලියමින් හිටිය මට, යුද්ධය අහවර වුණු කාලයේම උතුරු කොනේ රෝහලක සේවය කරන්නට වුණු මම විටින් විට ලියූ උතුරේ කතන්දර රැස.. අනිත්කොන නමින්ද කවි පොත මනුපුර සක්මන නමින්ද පල වුනා.

ලේක් හවුස් - රැස පුවත්පතට ලියූ සායනික රෝගවල සායනික නොවන සටහන් අවුරුදු දෙකක් පුරා නොකඩවා ලියැවුණේ මා වෙනුවෙන් නිබඳව ඉඩ වෙන් කරන්නට යෙදුණු පුවත්පත සහ රසික ප්‍රජාවකගේ කියැවීම නිසා.

ජීවිතයෙ බොහෝ අඳුරු කාල පසුකරද්දී කඩා වැටෙන්න නොව දරාගන්නට සිත පුහුණු කළ මහා අමාරුම ව්‍යායාමය රෝගී සත්කාරය අතරතුර මේ කළ ලියැවීම්. 

දරුවන්ට කවන පොවන කිරි දෙන එකේ ඉඳන් හිත හදාගන්නට මහ මිනිස්සුන්ට උපදෙස් දෙන වෛද්‍ය කරුණු සරලව කතන්දර හා මුසු කර ලියා තැබූ, දොරට වැඩුමක් නැතිව ජනගත කළ මගේ තෙවැනි පොතේ නවතම මුද්‍රණය ග්‍රන්ථ වෙතින් ලබා ගත හැකියි කියන ආරංචිය අරගෙන ආවේ හිත පිරි සතුටින්.

මේ කවි ටිල ලීවේ පොත මුද්‍රණය වූ කාලයේ...

ඇවිත් මේ පොත ඔබත් අරගන්න
ඔබේ හිතවත් සවිය මට දෙන්න
ගිනි ගන්න මිනිස් හිත් මිස ඔන්න
මේ කතා සතුටු නැහැ සමරන්න

අඬ අඬා ජීවිතේ අත් හරින
රටක් හෙලනා සුසුම් අත ගන්න
මේ රටට නිදහසේ සැනසෙන්න
එහෙව් දුක මැඩිය හැකි මග ගන්න

පොත රැගෙන හෙමි හෙමින් කියවන්න
දුක දරන මිනිස් හිත් හඳුනන්න
නාඳුනන හුස්මකට වෙහෙසෙන්න
හැකි දාක අපට හැක හිනැහෙන්න 

ඉතින් සුබ දසුන් නැත මට දෙන්න
හද ගැහෙන හඬ ඔබත් විඳගන්න 
එහෙව් අකුරක් ඇවිත් ඇහිඳින්න 
පණ ගැහෙන කතා රැස අරගන්න 

පොත ගන්න හැකි තැන්...

සරසවි, සූරිය වැනි පොත් සැල්වලින්ද 

ග්‍රන්ථ.lk වෙබ් අඩවියෙන් නිවසටම ගෙන්වා ගැනීම හෝ මොරටුව ඔවුන්ගේ පොත් සැල වෙතින් ලබාගත හැක. එහිදී  30% වට්ටමක් හිමිවේ.

https://grantha.lk/sayanika-satahan-nowe-bodhini-samarathunga-grantha.html

Tuesday, March 23, 2021

ප්‍රේමණීය මිනිසුන්

ඔබ ගැන අපි ගැන කතාවක් !

රුධිරය වෙනුවෙන් කෘතිම ආදේශක නොමැති බව ඔබ දන්නවා ඇති. ඇස්, ලේ සහ අවයව දන් දෙමින් පාරමිතා පුරන්නාවූ බෝසත්වරුන් අපි මේ මානව සමාජයේ නිරන්තරයෙන් දකිමු. ජාතික රුධිර පාරවිලයන සේවය යනු එවන් බෝසත් දේව ගුණැති මිනිසුන්ගේ පරිත්‍යාගයන්ගෙන් මිනිසුන් වෙනුවෙන් සේවය ලබාදෙන්නාවූ තැනකි.

ප්‍රේමණීය මිනිසුන්, මානව වර්ගයා වෙනුවෙන් කැපකරන ලද තම සිරුරේ කොටස් බොහෝ පරිස්සමෙන් සකසා මිනිසුන්ටම පුදකරන තැනකි. 

ජාතික රුධිර පාරවිලයන සේවය යනු දිවයිනේ රුධිර අවශ්‍යතාවය සපුරන්නාවූ එකම ජාතික සේවයයි. එහි ලබා දෙන සෑම රුධිර බිඳුවක්ම මෙරටේ ස්වේජාවෙන් තම සුරක්ෂිත රුධිරය දානය කරන ලද පරිත්‍යාගශීලීන්ගෙනි.

“ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය” යනු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කරන ලද ලොව පුරා තම රුධිරයෙන් මිනිස් ජීවිත සුරකින් රුධිර පරිත්‍යාගශීලීන් සමරන දිනයයි. 

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අප රටේ විවිධ දිස්ත්‍රික්ක සහ ඇතැම් විට මුළු රටටම බල පැවැත්වෙන ඇඳිරි නීතිය, පූර්ණ හෝ අර්ධ වශයෙන් වූ වසා දැමීම් හමුවේ වුවද සෞඛ්‍ය අංශවල සියල්ලෝම රැකියා සඳහා පැමිණියේ කිසිඳු මැසිවිල්ලකින් තොරව ය.

පොදු ප්‍රවාහන සේවය ඇණහිට ඇති අවස්ථාවල වුවද ප්‍රවාහන පහසුකම් පවා සපයමින් සියළු සේවකයින් රැකියාව සඳහා ගෙන්වා ගැනීමට පවා සිදුවිය. 
රුධිරය හෝ රුධිර සංඝටක යනු කෘතිම ආදේශකයක් නොමැති දෙයකි. එමෙන්ම එයින්  වෙන් කරගන්නා මූලිකවම අවශ්‍ය වන රතු සෛල සහ පට්ටිකා යනු කෙටි ජීවී කාලයක් ඇති හෙයින් නිරන්තරයෙන් එකතුකරගත යුතු දේ ය.වර්ථමානයේ පවතින වසංගත කාලයේවුවද රුධිර අවශ්‍යතාවය සඳහා රුධිරය එක් රැස් කිරීම අඛණ්ඩව සිදු කරන ලද්දේ රුධිරය සඳහා කෘතිම ආදේශකයක් නොමැති නිසාය. 

කොවිඩ් 19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව එකෙන් එක වැඩිවෙමින් ගිය ඒ පළමු සති කිහිපය ඔබට මතක ඇති. ගෙවල්වලට වී සියළු ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් ඔබ සමාජයෙන් ඈත්වූ ඒ කාලය ඔබට මතක ඇති. එහෙත් අප රුධිර පාරවිලයන සේවයේ සේවකයින්ට එසේ නිවෙස්වල රැඳෙන්නට හෝ ආයතන තුල රැඳෙන්නට හැකිවූයේ නැත.
කොවිඩ් 19 අවධානම අතේ දරන් සමාජයට බහින්නට සිදුවූයේ ඒ කාලය මුළුල්ලේ ජංගම රුධිර කඳවුරු නොපැවැත්විය හැකි වුයෙන්, රුධිරය එක් රැස් කිරීමට වෙන විකල්පයක් නොවන තැන, ආයතන රෝහල් ලේ බැංකු තුලට බොහෝ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ගෙන් නීරෝගී බව සපත කරගත් රුධිර පරිත්‍යාගශීලීන් නව්‍ය ක්‍රමෝපායන් රැසක් භාවිතයෙන් ගෙන්වාගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලදි.

වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ සේවය කළ මගේ සහෝදර වෛද්‍යවරියක වෙත මා කීවේ පරිස්සමෙන් ආරක්ෂිතව සියල්ල සිදුකරන ලෙසය. එහෙත් ඇය පෙරලා මට පැවසුවේ, ප්‍රවේශම් විය යුත්තේ සමාජයේ සියලු ස්ථර හා ගැටෙන නිරෝගී යැයි උපකල්පනය කළ පුද්ගලයින් හමුවන, අප බව ය. ඒ එකල සමාජයේ තවමත් පරීක්ෂණ මඟින් තහවුරු නොකළ කොවිඩ් ලක්ෂණ නොපෙන්වන පිරිස් සිටිය හැකි නිසාය.

එහෙත් ජාතික රුධිර පාරවිලයන සේවයේ සෞඛ්‍ය සේවක කණ්ඩායම් පසුබට වූයේ නැත. මාස්ක් ග්ලවුස්, මුහුණු ආවරණ පළඳිමින්, අවදානම් අඩු කලාප තුල ජංගම රුධිර කඳවුරු සීමිත පිරිස් සහභාගිත්වයෙන් එක් රැස් වීමකින් තොරව පවත්වමින් කටයුතු කළ අතර, කොවිඩ් රෝගීන් සමාජයෙන් හමුවන කාලයේ වුවද ජංගම රුධිර කඳවුරු සඳහා සහභාගි වූ ඒ ලේ බැංකු සේවයේ සිටින වෛද්‍යවරුන් , ලේකඛාදිකාරී/ ඩිප්ලෝමා  වෛද්‍යවරුන්,  හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්, කණිෂ්ඨ සේවකයින්, රියැදුරන් සහ පිරිසිඳුකරන කාර්යය මණ්ඩලය යන මේ සියළු දෙනා ගැන බොහෝ කෘතවේදීත්වයක් දැනේ.

මිනිසුන් ගෙවල් ඇතුලටම වෙද්දී අපේ අය සමාජයේ ඕනැම තැනකට යා යුතු වුණා. ඒ හැඟීම කොයිතරම්නම් වීරකමක්දැයි සිතෙන්නේ මමද ඒ කුලයේ අයෙකු නිසා ඇතිවන සියුම් ආඩම්බරයද සමඟිනි.

“මම ගෙදර ගිහින් දරුවන් ළඟට නොගෙන හිටියා” 
ඒ වචන ඔබට අප ගත කළ කාලය ගැන අදහසක් දෙනු ඇතැයි සිතමි.

ඒ මතුද නොව, කොවිඩ් 19 ආසාදිත රෝගීන් සුවවූ පසු ඔවුන්ගේ ප්‍රතිදේහ සහිත රුධිර ප්ලාස්මාව , අසාධ්‍ය රෝගීන් වෙත ලබාදීම සඳහා එකතු කිරීම්, පරීක්ෂා කිරීම, බෙදාවෙන්කිරීම, අවශ්‍ය තත්ත්ව යටතේ ගබඩා කිරීම සහ පාරවිලයනය යන මේ සියල්ල සිදුකළේද ජාතික රුධිර පාරවිලයන සේවයට අයත් වූ රුධිර මධ්‍යස්ථානය සහ ලේ බැංකු තුලදීය. ඒ සඳහා මූලිකත්වය ගත් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලු කාර් යය මණ්ඩල සිහිපත් කළ යුතුම ය. ආරක්ෂිත ඇඳුම් මෙවලම් දවටන් ඒ කාර් යය සිදු කළ පර්යේෂණාගාර තුල සේවය කළ වෛද්‍ය පරීක්ෂණ තාක්ෂණිකවේදීන් ද කළ මෙහෙය මතක් කළ යුතුමය. තමන්ගේ රෝගී තත්ත්වයෙන් යන්තම් ගැලවෙද්දීම තමන්ගේ ප්ලාස්මාව පරිත්‍යාග කරන්නට තරම් ඒ මිනිසුන් තුළ දුටුවේ මානවීය ප්‍රේමයේ උතුම් පරිත්‍යාගයේ ගුණයකි.

මේ සියල්ල අතරතුර, ඇඳිරි නීතිය පැවති මොහොතේ වුවද අපේ කැඳවීම් සැලකිල්ලට ගනිමින්,පොදු ප්‍රවාහන සේවා නොමැති කාලයේ තමන්ගේ වියදමින් ප්‍රවාහනය සකසා ගනිමින් දහසකුත් බාධක මධ්‍යයේ දැයට රුධිරය දානය කළ පරිත්‍යාගශීලීන් අප ජාතියට සම්පතක්වෙන්නේ එහෙයිනි. 

 රුධිර අවශ්‍යතා සපුරාගැනීම සඳහා හඳුනාගත් ආරක්ෂිත ප්‍රදේශවල ජංගම රුධිර කඳවුරු  සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව සංවිධානය කළ සංවිධායකවරුන්ද දැඩි අර්බුද හමුවේ වුවද ඒ කළ මෙහෙයට ස්තූති කිරීමට වචන නැති තරම් ය. ත්‍රිවිද හමුදාවල, සිවිල් ආරක්ෂක බලකායේ සහ පොලීසියේ දායකත්වය ද රුධිර පරිත්‍යාගශීලීන් ලෙස ද, සංවිධානයේදී සහයෝගය සහ ආරක්ෂාව ලබා දෙමින් ද නිරන්තරයෙන් අප දිරිමත් කරමින් ජාතික සේවාව වෙත ලැබිණි.

බොහෝ පිරිස් 0112332153 දුරකථන අංකය ඔස්සේ අමතා දිනයක් වෙලාවක් වෙන්කර ගෙන පැමිණියෝය. ඒ සියල්ල වෙනුවෙන් දුරකථන ඇමතුම් ලබාගැනීමේ සිට රුධිර දානය දක්වා වෙහෙසුණු කාර් යය මණඩල මතකයට නැගේ.  (https://nbts.life)  ලියාපදිංචි වීමෙනි.
ඉතින් ඔබට හෘදයාංගම ගෞරවාදර ස්තූතිය පුද කරන්නට මේ සටහන ලියා තබන්නෙමි.

සටහන - වෛද්‍ය බෝධීනී සමරතුංග
ජාතික රුධිර මධ්‍යස්ථානය

Friday, March 19, 2021

හිර ගෙදර කලබලේ

ඒ කාලය අපි වෙහෙසකර සීමාවාසිකය අවසන් කරලා නිදහසක් ලැබූ කාලය යි. අපේ කණ්ඩායමේ එක්කෙනෙක් රාජ්‍ය සේවයෙන් අස් වූ අතර තව කෙනෙක් ගෙවල් ළඟ ඉස්පිරිතාලෙකට මාරුවීමක් රැගෙන තිබුනේ සියල්ලන්ටම හොර රහසේය.  වෛද්‍යවරු ඉල්ලා තිබූ විවිද වාට්ටුවලට ඉතිරිවූ අපි කිහිපදෙනා බෙදා දුන් නමුදු බාහිර රෝගී අංශයෙන් වෛද්‍යවරු ස්ථානමාරුවීම් සඳහා බෙදා හැරිය නිසා විටින් විට අපව එම කොටසට අනුයුක්ත කෙරිනි. ඒවනවිට උතුරේ යුද්ධය අහවරව තිබිණි

රෝහල්වල කෝකටත් තෛලය rho ලා ය. Rho යනු සීමාවාසියකය අහවර කළ වෛද්‍යවරුන්‍ ය.  මමත් මගේ කාමර සගයාත් opd හෙවත් භාහිර රෝගී අංශයේ වැඩ කළ ඉරිදා දිනයක හවස අප වෙත ආවේ අමුතු ඉල්ලීමකි.

"ප්‍රිසන් එකේ කිහිපදෙනෙක් උපවාසයක් කරනවා දවස් ගානක ඉඳන් එයාලට අමාරුයි එනිසා බලලා එන්න යන්න වෙනවා"

" අමාරුනම් කොහොමද බලලා එන්නේ. මෙහෙ ගේන්න එපැයි. ඇරත් ප්‍රිසන් එකේ ? ඇම්බියුලන්ස්වලින් මෙහෙට ගෙන්වමු" අපි කීවද ඔවුන් එකඟ වුණේ නැත.

"ඔගොල්ලො ගිහින්ම බලලා නිර්දේශ ලියලා එන්න, එතන ඉන්න ප්‍රිස්නර්ස්ලා වෙන කාවවත් විශ්වාස කරන්නේ නෑ ඩොක්ටර් කෙනෙක් එතනට ඇවිත් කිව්වොත් උපවාසේ නතර කරලා රෝහල්ගත වෙනවා කියා කියනවා. හරිම අසාධ්‍ය තත්‍ත්වයෙන් ඉන්නේ...එනිසා ඔය දෙන්නා යන්න" කාර් යය භාර වෛද්‍යවරයා අප වෙත දැනුම් දුන්නේය. ඔහු සිටියේ නිවාඩුවේ ගෙදර ගොසින් ය.

"අනේ ඔව් ඩොක්ටර් අපිව පේන්න බෑ , ඒ ගොල්ලොඅපි එක්ක සාකච්ජා කරන්නෙත් නෑ ඩොක්ටර් කෙනෙක් බලනකම් ඒක නවත්වන්නෙත් නෑ. අපි හරි අමාරු අඩියක ඉන්නේ" බන්ධනාගාර නිලධාරියා පැවසුවේය.

රෝහල් ඇම්බියුලන්ස් එකකින් එහි ගිය විට බන්ධනාගාර නිළදාරීන් පැවසුවේ, සිරකරුවන් පිරිස ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ අත්ඩංගුවට ගත් බවත් ඔවුන් ඉන්නා සිර මැදිරි තුලින් එළියට ඒම ප්‍රතික්ෂේප කරන බවත් අපට එහි ගොස් ඔවුන් බලන්නට සිදුවන බවත් ය.

සිර මැදිරි තියා පොලීසියකට අඩිය නොගැසූ ළාමක , සමාජ අත්දැකීම් අඩු ගැහැණු වෛද්‍යවරියන් දෙදෙනෙකුට මේ වෙලාවේ හිතෙන්න ඇත්තේ මොනවාද ඔබට තේරෙනවා ඇති. ඇත්තටම අපට තීරණයක් ගන්නට නොහැකිය.
අප බාහිර රෝගී අංශය භාර වෛද්‍යවරයාට කතා කර කීවේ කිසිඳු ආරක්ෂාවකින් තොරව සිර මැදිරි අස්සටයාමට අපට නොහැකි බවය.

උපවාස කරමින් බොහෝ අසාධ්‍යව සිටි සිර කරුවන් සමග පණිවිඩකරුවන් යවා සාකච්ජා කළ අතර ඔවුන් පැවසුවේ රෝහල්ගත කරන්නේ නම් අප ඇවිත් ඔවුන් පරීක්ෂාකර බලා නිර්දේශ ඉදිරිපත් කළ යුතු බවය. එතෙක් කිසිසේත් ඉන්නා තැනින් හොලවන්නට බැරි ය. ඔවුන් සිතන්නේ බන්ධනාගාර නිලධාරීන් බොරු කියා ඔවුන් එතැනින් ඉවත්කරන්නට තැත්කරන බව ය.
මේ තත්ත්වය සමඟ නිලධාරීන් බොහෝ සෙයින් කලබල වී ඇත.

"දැන් මේ අය අහන්නේ ඩොක්‍ටර්ස්ලා කියන දේ විතරයි. මේ අයගේ තත්වය එන්න එන්න බරපතල වෙලා. අපි ආරක්ෂාව ගැන ඇප වෙනවා. බය නැතුව යමු ඩොක්ටර්" ඔවුන් පවසයි

වෛද්‍ය අධිකාරිවෙත සහ බාහිර රෝගී අංශයේ කාර් යය භාර වෛද්‍ය නිලධාරියා වෙත දැනුම් දුන් පසු බාහිර රෝගී අංශ බාර වෛද්‍යවරයා කීවේ සති අන්තයේ බාහිරරෝගී අංශයේ සියල්ලෝ නිවාඩු නිසා ඉන්නේ අප දෙදෙනා පමණක් බවය. "දැන් ඔය ගිය එකේ බලලාම එන්න" ඉල්ලීම් කෙරුණි. සමාජ අත්දැකීම් අඩු නමුදු රෝගීසත්කාරයට ඕනෑම දුරක් දුවන අප දෙදෙනා පින්සෙන්ඩුවන සිරකරුවන් සහ ජේලර්වරු සමග ඔවුන්ගේ සිර මැදිරියට ගියෙමු. යන මඟ දෙපස සිරකරුවන් පිරී ඉතිරී අප දෙස දෑස් ‍යොමුකරගෙන සිටී...අපට හැකි තරම් ඉඩදී ඈත්වෙවී නමුත් පොදි කමින් බලා සිටී. ජේලර්වරු කිහිපදෙනෙක් අප වටේ ගමන් කරමින් සිටියෝය.


එකම කාමරයක එම උපවාස කළ සිර කරුවන් පිරිස සිටි අතර ඔවුන් බිම වැතිර සිටියෝය. අප ඇතුල් වූ පසු කාමරයේ අගුළු දැමීය...බිමට නැවී හිඳගෙන හර්ද රිද්මය සහ රුධිර පීඩනය මැන බැලූ අපට තරු පෙනුණි. විජලනය සහ ආහාර නොමැති වීම නිසා මොවුන් අසාද්‍ය වී සිටියහ. මැදිරියෙන් එළියේ සිරකරුවන් පොදි කමින් සිටිනු අපට පෙනුනි.
"ඔබ හැමෝගෙම ප්‍රෙෂර් අඩුවෙලා සෑහෙන ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා දැන්ම රෝහල්ගත නොකෙරුවොත්" අපි ඔවුන්ට කී බව මතකය.
ඔවුන් පරීක්ෂා කර බලා සිර මැදිරියෙන් එළියට එද්දී අතුරු සිදුරු නැතුව පිරී සිටි සිරකරුවන් අපට යන්නට  ගෞරවයෙන් ඉඩ සකස් කර දෑත් බැඳ ස්තූති කරමින් සිටියෝය. තවමත් ඒ අවස්ථා මතකයේ රැඳී ඇත්තේ  බොඳ වූ ජායාවක් මෙනි. කළු දුඹුරු නාවර පෙරුණු බිත්තිද බිම වැතිර සිටි සිරකරුවන්ද පමණක් මතක ය.

වහාම රෝහල්ගත කරන්න ! අපේ නිර්දේශ ලියා අප දෙදෙනා නැවත රෝහලට පැමිණියෙමු.
ඉන්පසු යම් කාලයක බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරීන් අතර ගැටුමකින් බන්ධනාගාරයේ prison break නාටකයක් ආරම්භවී තිබුණි. එය දුටු අප, එදා අපව යැවූ අනාරක්ෂිත ගමන ගැන අංශභාර වෛද්‍යවරයා වෙතින් විමසූ විට හේ බොහෝ කණගාටු වී සමාව අයැද සිටියේය. හදිසියේවත් ඔවැනි කලබලයක් අප එහි සිටියදී සිදුවුනානම් ? එහෙනම් අපේ ජීවිත පවා අවදානමේ නොවෙද  කියා බොහෝ වෛද්‍යවරු දොස් කීවෝය.

වෛද්‍ය සේවා කාලයේදී... අපට හිතන්නට බැරි තැන්වල සේවය කරන්නද හිතාගන්නට බැරි ස්ථානවලට ගොස් සේවය සපයන්නද සිදුවේ. ඒවා අප ජීවිතය සෞඛ්‍යය පවා අනතුරේ හෙලනසුළුය.
බෝවන රෝග බොහෝ විට අපටද වැළඳේ. නිරන්තරයෙන් රෝගකාරකවලට නිරාවරණය වන නිසා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් බොහෝ රෝග කාරක යටපත් කරනවා ඇතියැයි සිතේ.
මනෝවෛද්‍ය වාට්ටුවේ වැඩ කරද්දී සායන එන්නේ නැති හෝ අසාධ්‍ය තත්ත්වයන්ට ලක්වූ රෝගීන් සොයා ඔවුන්ගේ නිවෙස් වෙත පවා යාමට සිදුවූ විට, ඇතැම් රෝගීන් කැති පොලු අමෝරා අප පසුපස දිව ඒ.
බොහෝ විට මෙලෙස යන්නේ පොලිස් නිලධාරියෙක් සමඟය. වේගයෙන් දුවන්නට බැරි මට ඈතින්ම නවතින්න යැයි කියූ හැටිත් මතක් විය. සියල්ල සන්සුන් වූ පසු එහි එන්න යැයි අනෙක් සහෝදර වෛද්‍යවරයා පැවසූ පසු යන්නටත් පුරුදු වූයෙමි.
එහෙත් අදටත් බොහෝ අවදානම් තිබුනද සේවය නොපිරිහෙලා ඉටුකරන්නට අපි උපරිම උත්සහය ගන්නෙමු.
අවුරුදු ගණනාවක් මේ භූමියේ බොහෝ දුෂ්කර පරිසරවල දුක්විඳින මිනිසුන්ගේ දුක ඇසුවෙමි. පිළිසරණ වීමි. හොඳයි, නරකයි කියා බෙදෙන මිනිසුන්ගේ පවා ලෙඩ දුක් කරදර මගේ කරගෙන උදව් කළෙමි. මගේ ජීවිතේ පවා අඳුරේ හෙලමින් ඔවුන්ගෙන් කරදර වන අතර වුවද උදව් කළෙමි.
ඔබට සිතාගැන්මටවත් නොහැකි කාලයක උතුරේ සේවය කළ අතර ඒ කතා පොත් පත් පුවත්පත්වල ලීවා නොව ලියැවුණාය. තවත් මතකයේ රැඳි කතන්දර බොහෝ ය හැකි විටක ලියන්නම්.
(LankaTarget web අඩවිය සඳහා ලියූ ලිපි)

Saturday, March 13, 2021

පිපිරුණු හිත

 


“කොච්චර කිව්වත් ඔයා ඔය කියන තරම් මේ ලෝකේ හොඳ නෑ ඩොක්ටර්’ 

කමලා කොරිඩෝවේ පුටුවේ ඉඳගෙන එහෙට මෙහෙට පැද්දෙන ගමන් තමන්ගේ අතේ තිබුණු තණකොළ ගහ මා දිහාට පෙන්වමින්, 

“මේ තණකොළ ගස් ඊට වඩා හොඳයි” කීවාය. 

කමලා ඇතුළු බොහෝ දෙනෙක් ඒ වෙනකොට නිතර නිතර වාට්ටුවට ආවේ ගියේ ඔවුන්ගේ මනස මූලිකව පැවති ගැටළු නිසා. බොහෝ හිතවත්ව කතා කරන නමුදු ඇතැම් විට තරහා ඇවිස්සී බැන වදී. එවිට එතෙක් හොඳ මිනිසුන් ලෙස ඇයම හැඳින්වූ අප හැම බොහෝම නරක එවුන් යැයි කෑ ගසන්නීය. 

“ගෙම්බෝ කපලා කුරුමිණියෝ මරලා තමා ඕගොල්ලෝ දොස්තරලා වෙලා ඉන්නේ. එහෙම වෙලත් කරන්නේ සත්තු මරන එක. අපි කළෙත් මිනී මරපු එක ඩොක්ටර්ලත් මිනී මරුවෝ මිනී මරුවෝ මිනී මරුවෝ” ඇගේ මේ ගෝරනාඩුව මට මුලදී බොහෝ සංකා ගෙන ආවාය. අප කොයිතරම් ඔවුනට කාරුණික වුවද ඔවුන්ගේ මනසේ ඇතිකරන පෙරළිය තුළ තමන්ට දරා ගත නොහැකි තරම් කම්පනයන් සහ කලබල ඇති කළ බව පෙනෙන්නට තිබුණි. 

“අපි බංකර් වල ඉන්නකොට මට හිතුනෙම ඔළුවට කඩං වැටිලා වැලලෙයි කියලමයි.” ඔවුන් අවසන් කාලයේ ගත කළ මතක එකිනෙක දිග හරී. ශරීරයේ තුවාල සුව වී තිබුනද කඳවුරෙන් නිදහස ලබා පැමිණියද යන්නට තැනක් හෝ බාර ගන්නට නෑයෙක් නොවූයෙන් ඇයට සිදුවුණේ වැඩිහිටි නිවාසයකට යාමට සහ සුව නොවූ මනසට බෙහෙත් ලබා ගැනීමට ය. 

පශ්චාත් ව්‍යසන ක්ලමත අක්‍රමතාවය හෙවත් Post Traumatic stress disorder යනු පුද්ගලයෙකු හට කම්පන  සහගත සිදුවීමකට නිරාවරණය වීමෙන් පසුව වර්ධනය විය හැකි මානසික ආබාධයකි.  ලිංගික අතවර, යුද්ධ, රථවාහන ගැටුම්, ළමා අපයෝජන වැනි සිදුවීම්  සම්බන්ධ සිතුවිලි,  මෙවැනි බොහෝ දේ කම්පන ඇති කරවන සුළුය. ඒ සිදුවීම සමග ඇතිවූ හැඟීම් නිරන්තරයෙන් ඔවුන් තුල කම්පනයක් ඇති කරන අතර ඒ හැඟීම් සිතුවිලි හෝ සිහින නිසා තමන්ටම මානසික හෝ ශාරීරික පීඩා ඇතිකරති. එම ගැටළු නොයෙක් ආකාරයෙන් ඔවුන් තුළින් මතුවේ. ඇතැම් විට තම කිට්ටුම අය හා උරණ වෙමින් හිංසා පැමිණවීම වැනි ලක්ෂණ යුද වැදී විශ්‍රාමිකව සිටින සෙබලුන් කෙරෙන් දැක තිබුණු බව ඇමෙරිකාවේ පලවූ වාර්තාවල සඳහන් වේ.  එමෙන්ම පීටීඑස්ඩී ඇති පුද්ගලයෙකු සියදිවි නසාගැනීම් හා හිතාමතාම ස්වයං හානියක් කරගැනීමේ ද වැඩි අවදානමක් ඇත. 

අපේ රටේ ඇතිවූ අවුරුදු 30ක යුද්ධයෙන් පසු ඒ යුද්ධයට මැදිවූ රණවිරුවාගේ සිට සිවිල් වැසියා දක්වා යුද්ධයේ බිහිසුණු මතක සමග පශ්චාත් යුද කාලයේ මේ මානසික රෝගයට ගොදුරුවූ පිරිස් අපට මුණ ගැසිණි. ඔවුන් වෙනුවෙන් බොහෝ ක්‍රමවේදයන් මනෝවෛද්‍ය සායන හරහා ක්‍රියාත්මක කෙරිණි. සංගීතය, චිත්‍ර සහ නැටුම් ගැයුම් යන මේ දේවල් අඩංගු වැඩමුළු සහ කලා උළෙල ඔවුන් වෙනුවෙන් ලැහැස්ති කළ හැටි මට මතක් වේ. බොහෝ චිත්ත ආවේග සහ දුක් දොම්නස්, තම මනස කලාකාමී යමකට යොමු වීමෙන් අඩුකරගත හැකිවූ බව බොහෝ දෙනෙක් මට පැවසුවෝය. මේ තත්ත්වයට පත් වූයේ ත්‍රස්ත කණ්ඩායමේ සිටි පිරිස පමණක් නොවේ. යුද හමුදා සෙබළුන්ද , හිටපු ත්‍රස්තවාදී කණ්ඩායමේ අයවලුන්ද මේ බිහිසුණු යුද්ධයට මැදිව ජීවිත සහ තම ළබැඳියන් අහිමි කරගත් සිවිල් වැසියන්ද යන මේ සියල්ලෝම මනසින් බොහෝ පීඩා වින්දෝය. 

වැඩිහිටියන් පමණක් නොව කුඩා දරුවන්ද මේ ව්‍යසනවලදී දැඩි ලෙස මනසින් රෝගාතුර විය. බොහෝ පිරිසකට තම මව හෝ පියා අහිමි වූ අතර ඇතැමෙකුට කිසිවෙක් නැතිව අනාථ නිවාසවල දිවිගෙවන්නට සිදු විය. එවැනි අනාථ නිවාසවලට ගොස් ඔවුන්ගේ සුවදුක් විමසා බැලීම එකල අප ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයා විසින් නිරන්තරයෙන් සිදු කළේය. 

“හීනෙන් පේනවා බංකරේ ඉන්නවා කියලා. වතුර ගලනවා පේනවා. බංකරේ වතුර පිරෙනවා පේනවා. පීනගෙන අපි උඩට එන්න විදිහක් හොයනවා හොයනවා ඩොක්ටර් මට හෙලවෙන්නවත් බැරි වෙනවා. බයවෙලා නැගිටිනවා” මේ සිහිනය එවන් යුද්ධෙට මැදි වූ දකුණේ තරුණයෙකුගේ ය. මොවුන් තවමත් උතුරේත් දකුණේත් හුදෙකලා සටනකය. ඔවුන්ගේ හිත් හදාගන්නා යුද්ධයට පිළියම් ගෙනෙන්නේ කෙසේදැයි නොයෙක් තැන කතා බහ කරන බව දකිමි. ලංකාවේ සෑම රජයේ රෝහලකම මනෝවෛද්‍ය සායන තුළින් මොවුන් වෙනුවෙන් ප්‍රතිකාර සහ ක්‍රමවේද ක්‍රියාත්මක කෙරේ. මනෝ උපදේශනය ඉන් එකකි. පුහුණු මනෝ උපදේශකවරුන් සෑම රෝහලකම සිටිති. සාර්ථක උපදේශනය තුළින් ඔවුන්ගේ ගැටළු හඳුනාගැනීමට මෙන්ම, කම්පන පිරි අතීතය අමතක කර දමා යතාර්ථයට මුහුණ දීමට අවශ්‍ය සුවපත් වීමේ ප්‍රායෝගික ක්‍රමවේද පුහුණු කිරීමට හැකිවේ. 

පසුගිය සතියේ සාහිත්‍ය උළෙලකදී මට මුණ ගැසුණු උතුරු කොන සහෝදර සහෝදරියන් අප හමුවේ ගෙන හැර දැක්වූ කතා සිත බොහෝ සුවපත් කරවන සුළු ය. සන්නිවේදනයේ දුර්වලතා නිසා දෙමළ අකුරු සිංහලයට හැරවෙද්දී සිදුවන අලකලංචි නිසා ඔවුන් අපහසුතාවයට පත්වන අයුරුද එහිදී පැවසූහ. රටක ඉතිහාසය ලියන්නේ ඒ කාලවකවානුවේදී ජීවත් වූ ජන කොට්ඨාශය විසිනි. මේ ලියැවෙන වර්ථමානයේදී අප බොහෝ ඉවසීමෙන් දරාගත යුතුය. මන්ද මේ රටේ උතුර දකුණ අවුලමින් නැගුණු යුද්ධයේ ගිනි දැල් මුළුමනින්ම නිවී ගොස් නැති බැවිනි.

වෛද්‍ය බෝධිනී සමරතුංග 
(ලේක් හවුස් - රැස පුවත්පතේ පලවිය)