“කොච්චර කිව්වත් ඔයා ඔය කියන තරම් මේ ලෝකේ හොඳ නෑ ඩොක්ටර්’
කමලා කොරිඩෝවේ පුටුවේ ඉඳගෙන එහෙට මෙහෙට පැද්දෙන ගමන් තමන්ගේ අතේ තිබුණු තණකොළ ගහ මා දිහාට පෙන්වමින්,
“මේ තණකොළ ගස් ඊට වඩා හොඳයි” කීවාය.
කමලා ඇතුළු බොහෝ දෙනෙක් ඒ වෙනකොට නිතර නිතර වාට්ටුවට ආවේ ගියේ ඔවුන්ගේ මනස මූලිකව පැවති ගැටළු නිසා. බොහෝ හිතවත්ව කතා කරන නමුදු ඇතැම් විට තරහා ඇවිස්සී බැන වදී. එවිට එතෙක් හොඳ මිනිසුන් ලෙස ඇයම හැඳින්වූ අප හැම බොහෝම නරක එවුන් යැයි කෑ ගසන්නීය.
“ගෙම්බෝ කපලා කුරුමිණියෝ මරලා තමා ඕගොල්ලෝ දොස්තරලා වෙලා ඉන්නේ. එහෙම වෙලත් කරන්නේ සත්තු මරන එක. අපි කළෙත් මිනී මරපු එක ඩොක්ටර්ලත් මිනී මරුවෝ මිනී මරුවෝ මිනී මරුවෝ” ඇගේ මේ ගෝරනාඩුව මට මුලදී බොහෝ සංකා ගෙන ආවාය. අප කොයිතරම් ඔවුනට කාරුණික වුවද ඔවුන්ගේ මනසේ ඇතිකරන පෙරළිය තුළ තමන්ට දරා ගත නොහැකි තරම් කම්පනයන් සහ කලබල ඇති කළ බව පෙනෙන්නට තිබුණි.
“අපි බංකර් වල ඉන්නකොට මට හිතුනෙම ඔළුවට කඩං වැටිලා වැලලෙයි කියලමයි.” ඔවුන් අවසන් කාලයේ ගත කළ මතක එකිනෙක දිග හරී. ශරීරයේ තුවාල සුව වී තිබුනද කඳවුරෙන් නිදහස ලබා පැමිණියද යන්නට තැනක් හෝ බාර ගන්නට නෑයෙක් නොවූයෙන් ඇයට සිදුවුණේ වැඩිහිටි නිවාසයකට යාමට සහ සුව නොවූ මනසට බෙහෙත් ලබා ගැනීමට ය.
පශ්චාත් ව්‍යසන ක්ලමත අක්‍රමතාවය හෙවත් Post Traumatic stress disorder යනු පුද්ගලයෙකු හට කම්පන සහගත සිදුවීමකට නිරාවරණය වීමෙන් පසුව වර්ධනය විය හැකි මානසික ආබාධයකි. ලිංගික අතවර, යුද්ධ, රථවාහන ගැටුම්, ළමා අපයෝජන වැනි සිදුවීම් සම්බන්ධ සිතුවිලි, මෙවැනි බොහෝ දේ කම්පන ඇති කරවන සුළුය. ඒ සිදුවීම සමග ඇතිවූ හැඟීම් නිරන්තරයෙන් ඔවුන් තුල කම්පනයක් ඇති කරන අතර ඒ හැඟීම් සිතුවිලි හෝ සිහින නිසා තමන්ටම මානසික හෝ ශාරීරික පීඩා ඇතිකරති. එම ගැටළු නොයෙක් ආකාරයෙන් ඔවුන් තුළින් මතුවේ. ඇතැම් විට තම කිට්ටුම අය හා උරණ වෙමින් හිංසා පැමිණවීම වැනි ලක්ෂණ යුද වැදී විශ්‍රාමිකව සිටින සෙබලුන් කෙරෙන් දැක තිබුණු බව ඇමෙරිකාවේ පලවූ වාර්තාවල සඳහන් වේ. එමෙන්ම පීටීඑස්ඩී ඇති පුද්ගලයෙකු සියදිවි නසාගැනීම් හා හිතාමතාම ස්වයං හානියක් කරගැනීමේ ද වැඩි අවදානමක් ඇත.
අපේ රටේ ඇතිවූ අවුරුදු 30ක යුද්ධයෙන් පසු ඒ යුද්ධයට මැදිවූ රණවිරුවාගේ සිට සිවිල් වැසියා දක්වා යුද්ධයේ බිහිසුණු මතක සමග පශ්චාත් යුද කාලයේ මේ මානසික රෝගයට ගොදුරුවූ පිරිස් අපට මුණ ගැසිණි. ඔවුන් වෙනුවෙන් බොහෝ ක්‍රමවේදයන් මනෝවෛද්‍ය සායන හරහා ක්‍රියාත්මක කෙරිණි. සංගීතය, චිත්‍ර සහ නැටුම් ගැයුම් යන මේ දේවල් අඩංගු වැඩමුළු සහ කලා උළෙල ඔවුන් වෙනුවෙන් ලැහැස්ති කළ හැටි මට මතක් වේ. බොහෝ චිත්ත ආවේග සහ දුක් දොම්නස්, තම මනස කලාකාමී යමකට යොමු වීමෙන් අඩුකරගත හැකිවූ බව බොහෝ දෙනෙක් මට පැවසුවෝය. මේ තත්ත්වයට පත් වූයේ ත්‍රස්ත කණ්ඩායමේ සිටි පිරිස පමණක් නොවේ. යුද හමුදා සෙබළුන්ද , හිටපු ත්‍රස්තවාදී කණ්ඩායමේ අයවලුන්ද මේ බිහිසුණු යුද්ධයට මැදිව ජීවිත සහ තම ළබැඳියන් අහිමි කරගත් සිවිල් වැසියන්ද යන මේ සියල්ලෝම මනසින් බොහෝ පීඩා වින්දෝය.
වැඩිහිටියන් පමණක් නොව කුඩා දරුවන්ද මේ ව්‍යසනවලදී දැඩි ලෙස මනසින් රෝගාතුර විය. බොහෝ පිරිසකට තම මව හෝ පියා අහිමි වූ අතර ඇතැමෙකුට කිසිවෙක් නැතිව අනාථ නිවාසවල දිවිගෙවන්නට සිදු විය. එවැනි අනාථ නිවාසවලට ගොස් ඔවුන්ගේ සුවදුක් විමසා බැලීම එකල අප ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයා විසින් නිරන්තරයෙන් සිදු කළේය.
“හීනෙන් පේනවා බංකරේ ඉන්නවා කියලා. වතුර ගලනවා පේනවා. බංකරේ වතුර පිරෙනවා පේනවා. පීනගෙන අපි උඩට එන්න විදිහක් හොයනවා හොයනවා ඩොක්ටර් මට හෙලවෙන්නවත් බැරි වෙනවා. බයවෙලා නැගිටිනවා” මේ සිහිනය එවන් යුද්ධෙට මැදි වූ දකුණේ තරුණයෙකුගේ ය. මොවුන් තවමත් උතුරේත් දකුණේත් හුදෙකලා සටනකය. ඔවුන්ගේ හිත් හදාගන්නා යුද්ධයට පිළියම් ගෙනෙන්නේ කෙසේදැයි නොයෙක් තැන කතා බහ කරන බව දකිමි. ලංකාවේ සෑම රජයේ රෝහලකම මනෝවෛද්‍ය සායන තුළින් මොවුන් වෙනුවෙන් ප්‍රතිකාර සහ ක්‍රමවේද ක්‍රියාත්මක කෙරේ. මනෝ උපදේශනය ඉන් එකකි. පුහුණු මනෝ උපදේශකවරුන් සෑම රෝහලකම සිටිති. සාර්ථක උපදේශනය තුළින් ඔවුන්ගේ ගැටළු හඳුනාගැනීමට මෙන්ම, කම්පන පිරි අතීතය අමතක කර දමා යතාර්ථයට මුහුණ දීමට අවශ්‍ය සුවපත් වීමේ ප්‍රායෝගික ක්‍රමවේද පුහුණු කිරීමට හැකිවේ.
පසුගිය සතියේ සාහිත්‍ය උළෙලකදී මට මුණ ගැසුණු උතුරු කොන සහෝදර සහෝදරියන් අප හමුවේ ගෙන හැර දැක්වූ කතා සිත බොහෝ සුවපත් කරවන සුළු ය. සන්නිවේදනයේ දුර්වලතා නිසා දෙමළ අකුරු සිංහලයට හැරවෙද්දී සිදුවන අලකලංචි නිසා ඔවුන් අපහසුතාවයට පත්වන අයුරුද එහිදී පැවසූහ. රටක ඉතිහාසය ලියන්නේ ඒ කාලවකවානුවේදී ජීවත් වූ ජන කොට්ඨාශය විසිනි. මේ ලියැවෙන වර්ථමානයේදී අප බොහෝ ඉවසීමෙන් දරාගත යුතුය. මන්ද මේ රටේ උතුර දකුණ අවුලමින් නැගුණු යුද්ධයේ ගිනි දැල් මුළුමනින්ම නිවී ගොස් නැති බැවිනි.
වෛද්‍ය බෝධිනී සමරතුංග
(ලේක් හවුස් - රැස පුවත්පතේ පලවිය)
No comments:
Post a Comment
ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !