Wednesday, April 21, 2021

පපුව හිරවෙන ස්මාරක

"අක්කා, මේ වෝඩ් එක හදලා තියෙන්නේ පයිලට් කෙනෙක් සිහි වෙන්න..."
අසල පඩි පෙල නඟින තැන තිබූ ස්මාරකය පෙන්වමින් මගේ සහෝදර වෛද්‍යවරයා පවසද්දී තමා එය මගේ ඇස ගැටුනේ. 

"මම ඒක සම්පූර්ණයෙන් කියෙව්වා. මේ පැත්තේ අහිමිවීම් ඒ පැත්තේ අහිමිවීම් වගේම සැරයි. දරුණුයි. ඒක මතක් කරන්නේ මේවගේ අහිමිවීම් දුක් කඳුළු රැගත් ස්මාරක. බලලෝභී දේසපාලනය නිසයි මිනිස්සු හැමෝම දුක් වින්දේ, අපි එහෙ ඉන්නකොට හිතුවේ යුද්දෙ නිසා දුක් කරදර අපට විතරයි කියලා. ඒත් දකුණෙත් මිනිස්සු එකම විදිහට දුක් වින්දා නේද " ඔහු කියන්නේය. ඔහු යාපනේ වැසියෙකි.

" ඒක සම්පූර්ණයෙන් ඇත්ත මල්ලී. මම වැඩ කරන්න  උතුරට යනකම් මමත් කුඩා කාලයේ ඉඳන් දැක්කේ අපේ අහිමිවීම් විතරයි. අපි මරණ ගනන් කරමින් අපේ පැත්ත ගැන විතරක්ම දුක් වුණා. මුළු රටක මළගම ලියාදුන් යුද්ධයෙන් අවසානයේ ඉතිරි වුණේ මේවගේ පපුව හිරවෙන ස්මාරක පමණයි මල්ලී"  හිතේ නැගෙන සංවේගය සමග මම කීවෙමි. 

ඒ දෙමහල් ගොඩනැගිල්ලේ වාට්ටු සංකීර්ණය ගොඩ නගා තිබුනේ 1995 ඇන්ටනෝව් යානයේ ගුවන් නියමුවෙක් ලෙස සේවය කරමින් සිටියදී, අහිමි වූ රංජිත් ප්‍රනාන්දු නම්, අවුරුදු 23 පැහපත් කඩවසම් තරුණයා සිහිවෙන්න ය. බිත්තිය මත ඇති ඒ සෞම්‍ය රුව අප දිහා මන්දස්මිතය රැඳි මුහුණින් බලාගෙන සිටී.  එංගලන්තයේ ගුවන් නියමු අධ්‍යාපනය හදාරා ස්වේච්ජාවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳී සේවය කළ ඔහු, ප්‍රහාර දියත්වන මොහොතක තවත් ගුවන් යානා අනතුරට පත්වූ මොහොතක යාපනය පලෙයි දක්වා යානා මෙහෙයවීම නිසා වීර වික්‍රම විභූෂණ සම්මානයෙන්පුදන ලදී. 

යුද කාලයේ වෙනත් රටකට වී සිට ඉන්පසු පැමිණ පදක්කම් පැළඳි අය සිටින්නට ඇත. එහෙත්  ඔහු ස්වේච්ඡාවෙන්ම පැමිණ යුද්දය බුර බුරා ඇවිලෙන කාලයක රට රකින්නට තම සහය දුන් අයෙකි. දෙමාපියන් හට තම එකමපුතු අහිමිවීම නිසා වන්දියක් ලෙස රුපියල් මිලියනයක් ලබා දී ඇත. ලෙහිහොවා වැදු පුතුන් අහිමිව කාසි කොපමණ ලදද් කුමට ද ? ඒ දෙමාපියන් සහ සොයුරිය විසින් මේ කරුණාබරිත මනුෂ්‍යයාගේ කැපවීම සහ ජීවිත පරිත්‍යාගය සිහිවීම පිණිස ඇඳන් විසි තුනක් සහිත වාට්ටුවක් සාදා ප්‍රධානය කර තිබිණි. 

Ranjith Fernando jr. , studied at royal college colombo and qualified through the civil aviation authority of the united kingdom and obtained the commercial pilots license in 1994. He joined SLAF as a volunteer pilot. In april 1995 volunteering to fly to palay jaffna immediately after a missile attack, he was awarded weera wikcrama vibhushana. in 1995 november, The antonov aircraft which he ws the co -pilot, went missing with 68 army commandos. The SLAF has awarded 1 million as the compensation for the loss of his only son. The father mother and his sister utilised these funds to utilize this ward with the feverent hope that this kind hearted human being's name dedication and contribution to his country will be perpetually remembered. 

යුද්ධය විසින් මේ බිමේ ලියැවුණේ අහිමිවීම්ය, දුක්ක දෝමනස්ස පිරුණු ඛේදවාචකයන් ය. දෙමාපියන්ට දරුවන් අහිමි කළ , දරුවන්ට දෙමාපියන්ට අහිමි කළ මේ අකාරුණික කාලය ගැන ලියන්නට කතා එමට ය. 
ඒ අහිමිවීම් පපුපුතුරෙහි සඟවා කෙසේ හෝ ජීවිතේ ඉතිරි කාලය ගෙවා ගන්නා මිනිසුන් ඒ කොනෙත් මේ කොනෙත් අඩු නැති ය. 
එහෙත් මේ රටේ අප්‍රබ්‍රංස දේසපාලුවන් තවමත් ගිනි පුපුරු විසිකරගන්නෝය. කොහෙන් හෝ අවුලුවා තම ගොඩ වැඩි කරගන්නෝය. 

මා ලියන්නේම උතුර ගැනය, යුද්ධය ගැනය... දැන් ඕවා ඇති යැයි පවසන, සැප පහසුව ආරක්ෂිතව උන් අයවලුන් බොහෝ වෙත්. එහෙත් මේ ටික ලිවිය යුතුමය. 

රන්ජිත් ප්‍රනාන්දු ගුවන් නියමුවාද , උතුරු කොන යෞවන යෞවනියන්ද , දකුණේ 71, 89 දී ගිනිබත් කළ යෞවන යෞවනියන්ද නැවත නොඑන බව දරාගනිමින් දැවෙමින් දෙමාපිය සහෝදර හිත් බොහෝ මේ භූමියේ විසිරී ඇත. එහෙත් ඒ හිත්වලට සුව සැදුවේ කවුරුන්ද ? 

අප අපේ ඊළඟ පරම්පරාවට ඉගැන්විය යුත්තේ  මේ අහිමිවීම්වල බරපතල කම ගැන ය. අප පාසැල්වල පරිච්ජේද වෙන්කළ යුත්තේ මේ මිනිස් ඛේදවාචකය ගැන උගන්වා සහවේදනය සපිරි මිනිසුන් බිහි කිරීමට ය. 

තමන්ගේ දරුවන් අහිමි දුකින් මුලතිව් හි දුක්වෙන අම්මා ද මැදවච්චියේ දුක්වන අම්මා ද එක තැනක හිඳ මේ අහිමි වූ දුවා දරුවන් මතක් කර බණපදයක් කියා පහනක් පත්තු කරන්නට මේ රටේ හිත් හැදෙන්නේ කවදාද ? එවන් සැමරුමක් අප පිරිය යුතු නොවේද ?
ගෙදරින් එක් අයෙක් ත්‍රස්ත සංවිධානයට බැඳෙන ලෙස අණ කළ විට තම සොයුරු සොයුරියන් රැකගන්න තමන්ගේ ජීවිතය කැපකරමින් සංවිධානයට බැඳී ආයුධ ඔසවාගත් සොයුරන් සොයුරියන් මට වන්නියේදී හමුවිය. 

අවි ඔසවාගත් දහසක් දුවා දරුවන් එතැනට ඇද දැමූ යුද්ධය නැවතුන සහනය එසේ සියලු ජාතීන්ට එක සේ දැනිය යුතු නොවේද ? එසේ දැනෙන්න නම් ඔවුනට අහිමිවූ ඔවුන්ගේ මිනිසුන් අමතක කරන්න යැයි අප කියන්නේ කෙසේ ද ? 

ඔවුන්ද අපද එකම කාසියක දෙපැත්තක හිඳ එක සේම විසල් දුක් කරදර දෝමනස්සයන්  විඳි බව වටහාගත් දිනක සැබෑ සංහිදියාව හිමි වනු ඇත.

අද , ඔබ අහිමිව අවුරුදු විසි හයකට පසු, උපන් බිමේ මිනිසුන්ගේ ජීවිත රැකීම උදෙසා දිවි පිදූ ඔබ සිහිවීම පිණිස හැදූ වාට්ටුව අභියස හිඳ මේ බිමට අහිමි වූ ඔබ වැනි ආත්මාර්ථයෙන් තොර වූ එඩි බල විර් යය සහිත දූ පුතුන්  දස දහස් ගණනක් අහිමි වූ අතීතය සංවේගයෙන් සිහි කරමි.

 - වෛද්‍ය බෝධිනී සමරතුංග

3 comments:

  1. ඒ වුනාට කරුණා අම්මාන් නම් කිව්වේ උතුරේ එවුන් යුද්දේ පටන් අරන් වැඩේ අමාරුයි කියලා පෙනුනාම මග හැරියා,
    මඩකලපුවේ අපි තමයි මැරුනේ කියලා.

    ඔයා එක්ක ඔය දාර්ෂණික කතා කියන උතුරේ දෙමළ මල්ලියා අනුන්ගේ පහනින් එලිය දකින ගමන් පොතක් පෙරලනවා වගේ.

    ReplyDelete
  2. අද කාලේ මෙවැන්නක් කියවන්න ලැබීමත් සතුටක්.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !