අවුරුදු තුනක විතර පොඩ්ඩෙක්, ෆිට් එකක් එක්ක ඇඩ්මිට් කරලා හිටියා... එයාගේ අතේ කොයි වෙලෙත් අම්මාගේ ස්මාර්ට් ෆෝන් එක තිබුනා. මේ දවස් දෙකක්ම මම දැන් මේක දැක්කා. අම්මාට සෑහෙන්න සැර දාන ටිකක් අමුතුම තාලේ ළමෙක්.Life, work, stress and Stories from the other end - සායනික සටහන් නොවේ, මේ ජීවිත සටහන් ගොන්නකි....
Monday, February 20, 2017
පොඩි පොඩි කතා එක්ක ලොකු අදහස් !
අවුරුදු තුනක විතර පොඩ්ඩෙක්, ෆිට් එකක් එක්ක ඇඩ්මිට් කරලා හිටියා... එයාගේ අතේ කොයි වෙලෙත් අම්මාගේ ස්මාර්ට් ෆෝන් එක තිබුනා. මේ දවස් දෙකක්ම මම දැන් මේක දැක්කා. අම්මාට සෑහෙන්න සැර දාන ටිකක් අමුතුම තාලේ ළමෙක්.Saturday, February 11, 2017
අම්මා සුම්මා වෙන මොහොත....
මේ මොන කෝලමක් දැයි සිතමින් මා අඩුම කුඩුම අප කාමරයේ තබා වාට්ටුව දෙසට නැවත පැමිණියෙමි. මෙන්න කුඩා පැංචො දෙන්නෙක් අපේ මේසෙ අසල ඇති මෙට්ට දෙකේ නිදි...
ඔවුන් රෙදි පොරවන් සිටි නිසා මගේ හදිසියට මට නොපෙනුනේ.මේ දරුවන් මෙහි එවා තිබුනේ බාහිර රෝගී අංශයෙන්. ඇත්තටම ඔවුන්ට බාරකාරයෙක් නොමැති වීම තමා ඔවුන් මෙහි එවීමට ප්‍රධාන හේතුව.
ඔවුන්ගේ මව ඒ වෙන විටත් වැඩිහිටි කායික රෝග වාට්ටුවට ඇතුල් කර තිබුනේ සියදිවි නසා ගැන්මට පැනඩෝල් පෙති පණහක් පමන බීම නිසයි. අම්මා නොමැති කල අප්පා කවර කල යන කියමන යලි යලිත් සනාථ කරමින් ඔවුන්ගේ පියා වෙනත් ගැහැණියක හා ගොසිනි. අගනුවරින් බැහැර සිටි මොවුන් මෙහි පැමිණ ඇත්තේ පියා බැලීමට ය. පියා වෙන ස්ත්‍රියක් සමග පවුල් කෑම නිසා උරණව බහින් බස් වුණු මව මෙලෙස සිය දිවි නසා ගැන්මට තැත් කර තිබිනි.
ඔවුන් අපූරු කුඩා දරුපැටව් දෙන්නෙක් ! බෙදා දෙන බත් පත කවන්න කිසිඳු කරදරයක් දුන්නේ නැත.
"මෙයාලගෙ අම්මට කොහොමද යනුවෙන් අප කතා බස් කරද්දි.. " මගෙ අම්මා නෑනේ" යනුවෙන් ලොකු දරුවා කියනවිට හිතට දැඩි දුකක් ඇති විය.
මට මේ තාත්තලා වීමට නුසුදුස්සන් ගැන ඇත්තේ දැඩි කළකිරීමකි. දරුවන් හදන්නන් වාලේ සාදා අත හැර යෑම පවකි. දරුවන් නැති මව්පියන් බොහෝ අය දැඩි සොවින් සිටී.
එක් තාත්තෙක් "හදා ගත්තේ මොකටද ?" කියා මවකට බැන වැදුණු අයුරු ඇසූ දරුවන් නැති යුවලක වන මගේ මිතුරියක් පැවසූවේ ඇගේ සැමියා කොයි තරම් තමන්ගේ දරුවෙක් හදන්න රැකබලාගන්න ආසාවෙන් සිටිනවා ද යන්නය. අප ජීවත් වෙන්නේ නැති තැන් වලට පුරවා අඩු නැතුව දරුවන් දී ඔවුන්ද කඳුළු දුක් සාගරයක ගිල්වන යුගයක ය. ප්‍රකට මහාචාර් ය වරයෙක් වරක් දේශනයකදී " if they dont have money they dont deserve kids" කීවේ, නළ දරු උපත් ගැන කතා බහක දී ය. ඒක ටිකක් පරස්පර විරෝදී කතාවක් වුව ද, ඇතැමුන් ලක්ෂ ගණන් වැය කර නවීන විද්‍යාවේ සහයෙන් මව් පිය පදවි ලබති. ඇතැමුන් කිසි ආයාසයකින් තොරව ලැබූ දරුවන් අගු පිල් වල අතැර යති.
පොලීසිය මෙහි එන තෙක් අප දරුවන් දෙදෙනා රැක බලා ගතිමු. ඔවුන්ගේ මවගේ අභිලාෂය රැකියාවක් සොයාගෙන දරුවන් පරිවාසයෙන් බාරගැනීම ය.
ඇතැම් මවක් තම දරුවාට ද වස පොවා තමන්ද පානය කරගෙන තිබුනේ ඔවැනිම කතාවක දී ය. ඒ දරුවා එලොව ගොස් මෙලෝව ආවේ ය. ඒ ගැන මුහුණු පොතේ මා මෙසේ ලියා තැබුවා මතක ය.
( මවක් තම කුඩා පුතුට වස පොවා, තමනුත් වස පානය කර, රෝහලේ )කෝ අපට ඉස්පාසුවක් ,
මොනිටරේ දිහා බල බල,
ඇට්රොපින්, ප්රැලිඩොක්සිම්,
එන්නත් කටු, සිරින්ජර් පොම්ප
සැරින් සැරේ ශරීරගත කරන,
අම්මා කොහෙද විමසන දෑස,
දුන් කෝප්පේ කට සැරට දැනුනත්
නොදනී තවම අම්මා දුන්නේ වස බව..
බීවාලු නුඹ උගුරු දෙක තුනට
ලෙහි හොවා වැදු පුතුන් අතරමග තනි නොකර
තිරිසන් ඉමෙන් මිදෙන මග බලපු අම්මා
යන ගමන තනි නොකර හැදූ දරු පණ රැගෙන
මරු වසඟයට කොහොම ගියා නොදනිම්මා
පියෙක් නැත, පුතෙක් ඇත ඒ බරත් නුඹ මතම
තුන් මසක දරු ගැබක් කුස දැරූ අම්මා
පොහොර තෙල් බෝතලෙන් මිදෙන්නට දැනුනු දුක
සංසාර පාපයක ගිලී නොව නිම්මා
බෝධිනි සමරතුංග..."
තවත් එවැනි තනිවූ මවකගේ අම්මා, තම මිණිපිරිය සමග පාරේ එද්දී ඇය ඇලකට වැටුනු පසු , ඔහේ දරුවා ගිලී මැරෙන්නට දී බලාගෙන සිටියේලු, අසල බෝධියක් නාවමින් සිටි උපාසක උන්නැහේ කෙනෙකුගේ ඇස ගැටී දරුවා බේරාගෙන රෝහල වෙත ගෙනැවිත් තිබීනි. මවගේ හෝ මිත්තනියගේ රැකවරණය මේ දරුවාට නොලැබෙන බව මම පසුව එහි හඬා වැටී දිව ආ පියාගෙන් දැන ගතිමි.
මව පියා බාරකරුවෙක් නොමැතිව අපට වාට්ටුවේ කිසිඳු දරුවෙක් ඇතුල් කරගත නොහැක. එනිසා අර දරුවන් දෙදෙනාගේ මව සනීප වෙන්නට ප්‍රථම ඔවුන් පොලීසිය බාරයට ලබා දීමු.
පසුදිනම මවගේ ඥාතී යැයි ගැහැණුන් එහී දිව ආ නමුදු ඔවුන්ටද දරුවන් බාරගැනීමට ඕනෑ කමක් තිබුනේ නැත. ඔවුන් දුර බැහැර බවද අගහිඟකම් ඇති බවද කියමින් හෙමින් මග හැර ගියේ පසු දින එන බව කියමිනි ... නමුත් කිසි දින ආවේ නම් නැත. මවට ද දරුවන් බාර ගත හැකි තත්වයක් නැතිය කියා දරුවන් පොලීසියටම බාර දුන් බව අපට පසුව දැන ගන්නට ලැබිනි.
මේ රටේම ඛේ දවාචකයකි. මා හැම දාම ලියන්නාක් මෙන්... මව පියා හෝ නිසි රැකවරණයක් ආදරයක් නැතිව හැදෙන මේ දරුවන් අන්තිමේ සමාජයට වෛරකරන පිරිසක් බවට පත් වනු ඇත. පරිවාස නිවාස වල හැදෙන දරුවන් ගැන බොහෝ තොරතුරු දනිමි. ඔවුන් කිසිවෙක් ජීවිත සර්ව සාර්ථක කරගෙන සිටිනු නොදුටු අතර, ඒවායේ ප්‍රමිතිය ගැන ද සෑහීමකට පත් විය නොහැකි බව වැටහේ.
සෑම මවකට සෑම පියෙකුටම අද විශාල වගකීමක් ඇත. ඒ තමන්ගේ උවමනාවෙන් උපදින කිරිකැටි දරුවා වෙනුවෙන් කැප වීමය. සෑම කෙනෙකුටම හොඳ අම්මෙක් හෝ හොඳ තාත්තෙක් විය නොහැක. ඒ බවත් මම හොඳින්ම දනිමි.
Thursday, February 9, 2017
ජීවිත බේරාගන්න ඉගෙන ගන්න !
හරියට කන්න බොන්න වෙලාවක් නෑ.
ඉතින් මෙවැනි සියලු දේ එක දිගටම සිදු කළ යුත්තේ වාට්ටුව භාරව සිටින වෛද්‍යවරයා විසිනි. එය බොහෝ විට වෛද්‍යවරු කිහිපදෙනෙක් පමණක් සේවය කරන රෝහල් වල සිදුවන දෙයකි. එ කල සිටියේ අපි හතර දෙනෙක් පමණි එයින්ද එක් අයෙකු සති අන්තයේ නිවාඩු ගොසිනි. එනිසා සීමාවාසිකය නම් වන මහ එපා ම කරපු දුෂ්කර කාල සීමාවේ නිසි ලෙස පුහුණුවක් ලැබිය යුතුම වේ. අවශ්‍ය මොහොතේ අවශ්‍ය පියවර සුදුසුම පියවර ගැනීමට වාට්ටුවේ සේවයේ නියුතු වෛද්‍යවරයා හට හැකි විය යුතුය. මේ වන තෙක් අපට සිටි ගුරුවරු අප පුහුණු කළේ හොඳ වෛද්‍යවරයෙක් වීම තමා වටින්නේ එයයි සාර්ථකත්වය කියා කියමිනි.
ඉතින් පුද්ගලික වෛද්‍ය විද්‍යාල හෝ රජයේ වෛද්‍ය විද්‍යාල තුලින් බිහි වෙන වෛද්‍යවරු ඔවුන් සැබැවින්ම හොඳ වෛද්‍යවරයෙක්ද කියා ඔවුන්ටම තමා ගැන තක්සේරුවක් තිබිය යුතුයි.
එවැනි සිදුවීම් ඕනෑ තරම් වේ. එකල මහ රෝහලක සේවය කළ සමයේ, ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍යවරයෙක් සිටියේ අප රෝහලේ පමණි. එවිට සැම දිස්ත්‍රික්කයකම හදිසි කටයුතු සියල්ල සැත්කම් සියල්ල අප වෙත එවයි. විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අනුදැනුම සහ අධීක්ශනය නොමැතිව සෙසු වෛද්‍යවරුන්ට සැත්කම් සිදුකිරීමට අවසරයක් නැත. එක් දිනක් අවසානයේ අප දුටුවේ ඒ වන විට අප පැය විසි හතරක් තුල සීසර් සැත්කම් 10ක් පමණ සිදු කර තිබුනු බවය. ඉන් 5 ක්ම ප්‍රාදේශීය රෝහල් වලින් එවූ හදිසි තත්වයන් ය. දෙකක්ම කෝඩ් ප්‍රොලැප්ස් හෙවත් දරුවාගේ පෙකිණි වැල ප්‍රසූත මාර්ගයෙන් පිටට කලින්ම පැමිණි අවස්ථාය. එවිට සාමාන්‍ය ආකාරයෙන් දරු උපත සිදු වීම දරුවාගේ ජීවිතයට තර්ජනයකි. යොඔනි මාර්ගය පරීක්ශා කර බලන වෛද්‍ය වරයා විසින් හඳුනාගත යුතු තත්වයකි. දරු උපතකදී හිස ප්‍රථමයෙන් ඒම සාමාන්‍යයෙන් පහසු දරු උපතක් සිදු වීමට ප්රමාණවත්ය. නමුත් එහිද විවිධ වූ රටා තිබේ. මේ එළියට එන කොටස හඳුනා ගන්නේ වෛද්‍යවරයා විසින් තම ඇඟිලි තුඩු දෙකක් මගින් පරීක්ශා කිරීමෙනි. එහිදී පුහුණුව නොලැබුනොත් නිසි කළ අවධානම හඳුනාගන්න බැරි වීමෙන් ජීවිත දෙකක් අහිමි වෙන්නට වුවද පුළුවන.
කොතරම් පොත් පත් දැනුම තිබුනත් ප්‍රායෝගිකව ඒ දේවල් හසුරුවාගැනීමට මෙන්ම භාවිතා කිරීමට හැකි ලෙස තම පුහුණුව ලැබිය යුතුයි. සීමාවාසික කාලය පුරා පැය විසිහතරම වාට්ටු වල රැඳෙමින් සියලු වැඩ කටයුතු ඉටු කරන්නට සිදුවීමෙන්ම ඒ පන්නරය ලැබේ. නමුත් වාසනාවකට සියලු කර්තව්‍යයන්ට ඉහළින් ජේ ්ය්ෂ්ඨ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සිටිති. එනිසා සීමාවාසික වෛද්‍යවරුන් නිරන්තරයෙන් අධීක්ෂනය යටතේ මග පෙන්වීම් යටතේ සිටී. එයින් පසු ලියාපදිංචි වෛද්‍යවරයෙක් වුන පසු තමන් හට ඇතැම්විට විශේෂඥ වෛද්‍යවරු නොමැති රෝහල් වල සේවය කරන්නට සිදු වෙනවා ඇති. අපට ද එවැනි අවස්ථා බොහෝ ලෙස හමු වී තිබිනි. ප්‍රසව හා නාරි ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයා නිවාඩු ගිය විට සියලු සැත්කම් නවත්වන අතර හදිසි තත්වයන් කිසිවක් සිදු නොකරයි. නමුත් ජීවිත අවධානමක් ඇති වෙලාවට ශල්‍ය වෛද්‍යවරයාගේ අධීක්ශනය යටතේ සැත්කම් සිදු කර ජීවිත බේරා ගැනීමට සිදුවේ. එම අවස්ථාව තෝරා බේරා ගැනීමට තරම් වෛද්‍යවරයෙක් දක්ෂ විය යුතුය.
මන්ද... කොයිම හෝ වෙලාවක් එනවා රෝගියාගේ ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක පුරුක වෛද්‍යවරයා බවට පත් වන. අන්න ඒ මොහොතේ තමන්ට පසුතැවිලි විය නොහැකි ලෙස සේවය කිරීමට හැකියාවක් ඔබ සතුවිය යුතුය.
Tuesday, February 7, 2017
මව්වරු සතුටු වෙන්නේ කවදාද ?
සැරෙන් සැරේ මට එහෙම දරුවන් සහ මිනිසුන් හමුවෙනවා. ඔවුන් ඒ දරුණු තුවාල එක්ක, ඔව් ඒ හිස් ඉඩ නිසා දරුණු ලෙස පෑරුණු ඕජස් ගලන තුවාල සහිත හිත් එක්ක සමාජයේ යනෙන තැන ආසාධනය කරමින්.
ඔබට සමහර විට කියන්න පුළුවන් "නෑ මම නම් සැබැවින්ම සතුටෙන් සිටින, දුකක් කඳුළක් අහලක නොදුටු කෙනෙක් " කියලා. එහෙනම් මේ සටහන ඔබ ගැන නොවේ. මට ඔබ එසේ සතුටෙන් සිටීම ගැන බොහෝම ආඩම්බරයි ! ඔබ ඇත්තෙන්ම වාසනාවන්තයි. මේ ඔබ ගැන නොවේ.
ඇය මානසික රෝගයකින් (ස්කිසොෆ්‍රීනියා) පෙළෙන අතර ඇය රෝහල්ගතව සිටින කාලයේ හමුවන එම රෝහලේම සුළු සේවකයෙක් නිසා ගැබ්බර වී ඒ වන විටත් දෙදරු පියෙක් වන තමාට වඩා වසර විස්සක් වයසැති, මානසික රෝගියෙක් වන ඔහුත් සමග දීග යනවා. ඒ ලැබෙන දියණියන් දෙදෙනා අපට හමුවන විටත් ඉතියෝපියාවේ දර්ශන වල දක්නට ලැබෙන ඔළුව ලොකු බඩ ඉදිරියට නෙරා ඇති ඇටසැකිළි දෙකක් වන් උපත් බරටත් වඩා බොහෝ අඩු බරක් ඇති මාස දෙක තුනක දරුවන්.
මේ මන්ද මානසික රෝගී මවට දරුවන් හදාගන්නවත් දරුවන් බලා ගන්නවත් කොටින්ම ඇය ගැන බලා ගන්නවත් පුළුවනිද ?
දරු දෙදෙනාට ළදරු කිරි පිටි ඉතා අඩු ප්‍රමාණ වලින් වතුර වැඩියෙන් දමා දියකර දී තිබුනේ... හැබැයි ඔවුන්ගේ වාසනාවට හෝ අවාසනාවට රෝහල්ගත කලේ නැත්නම් මිය යන්න වුවද ඉඩ තිබුනා. ඇය නිවුන් දියණියන් දෙදෙනෙක් හදා වඩා ගන්නේ කොහොමද ?
සමාජය ඇය දෙස අම්මෙක් උනානම් උස් මහත් කරපන් රැක ගනින් කියනවා මිසක ඒ මව විඳවන අයුරු හෝ ඇයට කළ හැකි දේ කුමක්ද යන්න වත් සොයා බැලුවාද ? නැත.
එය අප සෞඛ්‍ය ක්ශේත්‍රයේම ගැඹුරු ආගාදයක් වැනි අතපසු වීමකි. සමාජගත නීති රීති තිබිය යුත්තේ මෙවැනි සියල්ලන්ටම හිතැති යන අරමුණෙන් ය.
ගබ්සාව සමාජගත කිරීම යන කරුණත් මේ ගමන්ම මට මතක් වේ. අඩු තරමේ නිවැරදි මනසකින් ක්‍රියා කරන්න බැරි හිතා බලන්න තීරණ ගන්න බැරි කෙනෙක්ට ඔවුන්ගේ ජීවිත තව තවත් අපායවල් කරගන්න සිදුවෙනවා නම් ඒක මේ සමාජ යාන්ත්රනයේ අවුලකි.
දරුවන් හදපු අම්මලා ඇතැමෙක් පසු ප්‍රසව විශාධිය නිසා මනස වියවුලෙන් ය. ඇතැමෙක් ආර්ථික ප්‍රශ්න හමුවේ රට හැර ගොස් විදේශගතව මෙහෙකාර සේවයේ යෙදේ.
මේ අම්මලා ගැන රටක් වශයෙන් අප ප්‍රකෘති සිහියෙන් සිටින්නේද ?
මේ කරුම සමාජ යාන්ත්‍රණය නවත්වන්නේ කවුරුන්ද ? කවදා ද?
නැත මට නම් මව්වරුන්ගේ දවසක් නැත. මව්වරුන්ට ඒ වෙනුවෙන් සුභ පතන්නට කියා අමුතුවෙන් ඕනෑකමක්ද නැත ! එය සතුටු දායක යමක් නොවේ.
Wednesday, February 1, 2017
ළිඳේ බබා...
සලාං බලාං හඬින් වීදුරු පොඩි වන ශබ්දයක් ඇසුන්නේ කොහෙන්දැයි විමසන්නටවත් වෙලාවක් නැත. මා වැරෙන් එම අවුරුද්දකුත් මාස තුනක් වයසැති නොනවත්වා ගැහෙන ළදරුවා වම් පැත්තට හරවා අල්ලාගෙන සිටින අතර ඇඳේ අනෙක් පසින් ආ හෙදිය විසින් ගුදමාර්ගය ඔස්සේ ෆිට් එක නැවතීම සඳහා ලබා දෙන ඩයසපෑම් නම් ඖෂධය දරුවාට ලබා දෙන ලදී. ඊළඟ මිනිත්තු කීපයේදී ගැස්ම නතර විනි.
එදින ආරම්භ වුනේ බොහෝ සාමකාමීවය. වෙසක් පොහෝ දින නිසා වාට්ටුවේම වැඩ බලන ලද්දේ මා විසිනි. වාට්ටුවේ නතර වී සිටියේ යවන්නම බැරි තරම් අසාධ්‍ය වූ දරුවන් කිහිප දෙනෙක් පමණි. ඔවුන්ද මවෙත රැවුම් ගෙරවුම් දමමින් සිටියේ වෙසක් කූඩු දන්සැල් සහිත උත්සව අවස්ථා අහිමි කරමින් ඔවුන් මෙසේ මෙහි රඳවා තබා ගන්නේ මගේ උවමනාවටම බව හිතා ගෙනය. උදෑසන දහයයි තිහ පමණ වෙද්දී මට ඇමතුමක් ආවේ හදිසි ප්‍රතිකාර අංශයෙනි.
අවුරුදු එකහමාරක බබෙක් ළිඳට වැටිලා. ... මෙහෙ ඩොක්ටර් ඉක්මනට එන්න කියනවා... මිස් කෙනෙක් මට කීවේ හදිසි ප්‍රතිකාර අංශයේ වෛද්‍ය වරයා දරුවා සමග රැඳෙමින් ප්‍රතිකාර කරන බව ය.
ළමා රෝග අංශයේ ප්‍රතිකාර ක්‍රම වෙනස් නිසා නිරතුරුව අපට එහි එන්නට කියා ඇමතුම් ලැබේ. රෝගියාට සිදු කළ යුතු හොඳම දේ අදාල අංශයේ වැඩි පළපුරුද්දක් දැනුමක් සහ හදිසි අවස්ථා පිළිබඳ පුහුණුවක් ලැබූ අයෙක් එවැනි ජීවිතයත් මරනයත් අතර පොරබදන අවස්ථාවකදී රෝගී සත්කාරයේ යෙදීමෙන් එම තත්වය හොඳ අතට හැරීමේ වාසිය තිබේ. එහිදී පොතේ දැනුම පමණක් නොසෑහේ. අත් දැකීම් සහ ක්‍රියාවෙන්ම ලද පුහුණුව අත්‍යාවශ්‍ය ය. ඒ සඳහා වෛද්‍ය විද්‍යාලයේ පටන් සීමාවාසිකය දක්වාත් ඉන් පසුත් නිරතුරුව ප්‍රායෝගික පුහුණුවක් ලදිමු.
මා වහ වහා හදිසි අනතුරු ඒකකය වෙත යන විට දුටුවේ ඓහි දොරටුව වසාගෙන පිරී ඇති මහා ජනකායකි.
දරුවා වැටී තිබී හමුවී තිබුනේ මවට ය. ඒ ගෙදර පසුපස ඇති අත හැර දැමූ මඩ පිරි කණ්ඩියක් හෝ නොමැති ළිඳට ය. දරුවා මුනින් අතට පාවෙමින් සිටිනු දැක තිබේ. කොපමණ වෙලා එහි සිටියේදැයි නොදනී.
ඒ වන විටත් ඔක්සිජන් සපයමින්, දරුවාගේ ශ්වසන මාර්ගය අවහිර කරමින් පිරී තිබුණු වතුර ශ්රාවයක් සේ කටෙන් පෙරේ. ඒවා ඉවත දමන්නේද නළ මගින් එළියට අදින යන්ත්‍රයේ ආධාරයෙනි.
දරුවා ප්‍රකෘති තත්වයේ නොසිටී. කළු ඉංගිරියාව ආලෝකයට ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැත. මේ අතර දරුවා වරින් වර ගැහෙන්නට වූයෙන් ෆිට් එකක් හෙවත් වලිප්පුව වැනි තත්වය පාලනය කිරීමට එන්නත් මගින් විවිධ ඖෂධ ශරීරගත කරමින් තිබිනි.
ඒ වන විටත් දරුවාට ශ්වසනය කෘතිම ලෙස අප ලබා දෙමින් සිටියේ අත් මගින් තෙරපන බැලුම් ආකාරයේ මෙවලමකිනි.
වහා දැඩි සත්කාර ඒකකයක් වෙත දරුවා ගෙන යා යුතුය. එනමුත් ඒ සඳහාද නොයෙක් රෙගුලාසි තිබේ.
හතර වටේට කෝල් දැමිය යුතුය. ප්‍රථමයෙන් ඇඳක් සොයා ගත යුතුය.
ඉන්පසු එම ඒකක වල වෛද්‍යවරු ඔවුන්ගේ විශේෂඥ වෛද්‍යවරු හා කතා බස් කළ යුතුය. හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයා එසේ කතා බස් කොට වෙන් කරගන්නා අතර මම සිහි විසඥ තත්වයෙන් සිටි දරුවාගේ තත්වය පාලනය කරගනිමින්, සිටියෙමි. ඔය අතර දොර ඔස්සේ එබිකම් කරන නෑයින්ද, හඬා වැටී හැපෙන මව් පියන් ද අස් වැසිය යුතුය. ඔවුන් විටෙක එතනින් ඉවත් කරමින් ද කටයුතු කළ යුතු විය.
අර වීදුරු බිඳෙන හඬ ඇසුනේ එවිට ය.
"එළියේ දෙන්නෙක් ගහ ගන්නවා." අප වෙත පණිවිඩය පැමිණියේය.
හදිසි ප්‍රතිකාර අංශයේ වීදුරු දොරක් හෝ ජනේලයක් බිඳෙන්නට ඇති. ගහගෙන තිබුනේ දරුවාගේ තාත්තා සහ ලොකු මාමා බව කියැවිනි. හේතු අසන්නට වෙලාවක් නැත.
දරුවාට කෘතිම ශ්වසනය දෙමින් මම ද හෙදියද මාරුවෙන් මාරුවට ස්ථාන මාරු කරගනිමින් ඇම්බියුලන්ස් රථයට දමාගෙන අගනුවර ළමා රෝහල වෙත පැමිනියේ මග දිගට රුධිරගත ඔක්සිජන් ප්‍රතිශතය පහළ බසිද්දී සකර් එකක් හෙවත් ජලය ද්‍රාවන උරාගන්නා පොම්පය මගින් නලයක් දරුවාගේ ශ්වසන මාර්ගයට සම්බන්ද කළ බටය තුලට දමා මඩ පැහැ ගත් ශ්‍රාවයන් ඉවත් කිරීමෙනි.
මව පැවසුවේ ජලයෙන් ගොඩ ගත් දරුවාට මුඛ ශ්වසනය දුන් අවස්ථාවේ පවා විශාල ප්‍රමාණයක් මඩ පැහැ ජලය එළියට ආ බව ය.
ළමා රෝහලට ගොස් බසින්නත් කලියෙන් එළියට පැමිණි එහි හදිසි ප්‍රතිකාර අංශයේ වෛද්‍යවරියක් පැවසුවේ. එහි ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් නොමැති හෙයින් සහ සීටී ස්කෑන් පරීක්ශාවක් අවශ්‍ය හෙයින් අප දරුවා එහි ගෙන ගොස් ඒ සියල්ල කළ යුතු බව ය. බොහෝ විට මේ අගනුවර ප්‍රධාන රෝහල් වල ඈයෝ අප මේ රෝගීන් අපේ ගෙවල් වල සිට ගෙන එනවා යැයි සිතාගෙන අප ලවාම සියලු රස්තියාදුවීම් සිදු කිරීම අපට අරුමයක් නොවන නිසා ( මීට පෙර ලද අත්දැකීම් බොහෝමයි)
අප දරුවා එසැනින් මහ රෝහල වෙත ගෙන ගියෙමු. එහි ගිය සැනින් එතැන සිටි විශේෂඥ වෛද්‍යතුමන් ඇතුලු කණ්ඩායම දරුවා කෘතිම ශ්වසන යන්ත්‍රයට සම්බන්ද කලේ පුපුරු ගසන ඇඟිලි තුඩුවලින් ද නවාගත් කොඳු වලින්ද බොහෝ වෙලාවක් තිස්සේ කෘතිම ශ්වසනය දෙමින් පැමිණි අප දෙදෙනාට විවේකය දෙමිනි.
ස්කෑන් එක සඳහා වෙලාව පැමිනි විට එය කරගන්න දරුවා සහිත ට්‍රොලිය ගෙන ගියේ ආවේද අප ය. මේ සියල්ල් කර හමාර වන විට සවස තුන පමණ විය. දැඩි සත්කාර ඒකකයක වහා ඇඩ්මිට් කළ යුතු එම දරුවා සඳහා දැඩි සත්කාර ඒකකය ඇමතුවේද අනවශ්‍ය ලෙස අප සමග සීටී සඳහා මෙහි එවා රස්තියාදු කිරීම ගැන දොස් කියා එම රෝහලේ හදිසි අනතුරු අංශය ඇමතුවේද විශේෂඥ වෛද්‍යවරයා විසිනි. සී ටී ස්කෑන් එකක අවශ්‍යතාවය තිබුනේ එම දරුවාගේ මොළයට යම් හානියක් සිදුවීද බැලීමට ය.
සවස හතරහමාර පමන වන විට අපි දරුවා දැඩි සත්කාරකයට ඇතුල් කළ පසු අප නිදහස් වූ පසු දැඩි කුසගින්නක් දැනිනි.රෝහලේ කැන්ටිමේ කෑම නොතිබිනි. සිසිල් බීම බෝතල් පමණක් තිබුනෙන් අපි එයින් කුස ගිහින් නිවාගෙන නැවත අප රෝහල වෙත ළඟා වීමු
ඒ අම්මා සමග පසුව කතා බස් කරන්නට හැකි වූයෙන් ගෙදර සිදුවූ අලකලංචි ආරංචි විය. රෝහල් හදිසි අනතුරු ඒකකයේ වීදුරු බිඳගෙන රන්ඩු ඇල්ලුවේ තාත්තා සහ ලොකු මාමා ලු. ලොකු මාමාට දරුවන් නැති ලු. "දරුවා හරියට බලාගන්න බැරි නම් මරාගන්නෙ නැතුව මට දියන් " කියා කීවාලු.
මේ මව කියන්නේ. .. දරුවා වෙනදාටත් තනියම වත්තේ සෙල්ලම් කරන බවත් එනිසා විශේෂයෙන් සොයා නොබැලූ බවත් ය.
කුඩා දරුවන් ගැන ඇස ගසාගෙන සිටින්නට වැඩිහිටියන් වග බලා ගත යුතුයි. අනතුරු සිදුවෙන්න ගත වෙන්නේ ඇහි පිල්ලමක් ගසන ප්‍රමාදය බව මම දනිමි.
අක්කාගේ මොන්ටිසෝරියේ කොන්සර්ට් එක බලන්න ගිය අම්මා සහ අවුරුදු එකයි මාස 6 ක පමණ දරුවා මව අනික් දරුවාට වතුර දෙන අතර ඇවිද ගොස් අසල තිබූ බිත්ති පේන්ට් කරන්න එම ශාලාවෙහි බිම තිබූ භූමිතෙල් පිරවූ බෝතලයක් කටේ තබාගෙන බී අප වෙත රැගෙන ආවේ එම මොන්ටිසෝරියේම ගුරුවරිය සහ මව ය. භූමිතෙල් ගඳ මට රොහල් වාට්ටුවේ එහා කොනටම දැනිනි. හොඳ වෙලාවට දරුවාට කිසිඳු අතුරු ආබාධයක් ඇති නොවිනි.
භූමිතෙල් වල පාට නිසාත් දමා ඇති බොතල් බොහෝ විට දරුවන්ට අත පොවන මානේ තබන නිසාත් එවැනි අනතුරු නිසා රෝහල් ගත වන දරුවන් ගණන මෙතැකැයි කිව නොහැක. සමහර දරුවන් අම්මලා ආච්චිලාගේ බෙහෙත් පෙති ගිල දමා පැමිණේ.
මෙලෙස දියේ ගිලී පැමිණෙන දරුවන්ගෙන් ආන්තරාවක් නැතිව සුවපත් වෙන්නේ නම් එය මහත් ආශ්චර්යයකි. මන්ද මොළයට සිදුවන ඔක්සිජන් සැපයුම අඩු වීම මගින් අතුරු ආබාධ රැසක් පසුවට ඇති වෙන්නට හැකි හෙයිනි.
අපි එදා බේරාගත් දරු පැටියා දින විස්සක් පමණ දැඩි සත්කාර ඒකකයේ ගත කර තව සතියක් දෙකක් පමන රොහල් වාට්ටුවේ හිඳ කිසිඳු අතුරු ආබාධයක් නැතිව ගෙදර ගියාය. ඇයත් ඇගේ ආච්චි හෝ අම්මා මසකට වරක් හෝ දෙකක් රොහලට කුමන හේතුවක් නිසා පැමිණියද අප බලා යන්නට පැමිණේ... ඇයට ළිඳේ බබා.. යනුවෙන් අනවර්ථ නමක් ද පට බැඳ තිබුනේ ඇගේ නෑයින් විසිනි.
Tuesday, January 31, 2017
බොරු නොකියන දරුවෝ....නොකන ළමයින්ගේ අම්මලාට
උදෑසන පාසැලේදී ක්ලාන්ත වී ඇද වැටුණු දරුවෙකි.
ඉක්මනින් ඔහු පරීක්ෂා කරන අතරේ දරුවා කියන්නේ තවම උදෑසන ආහාරයවත් කෑවේ නැති බවයි. අසල සිටියේ පාසැලේ දරුවන් බලා ගන්න පැමිණෙන මවකි. ඇය මේ දරුවා ගැන කිසිත් නොදනී.
"උදේට කන්නේම නැද්ද ?"
"නෑ"
"කිරි , තේ ?"
"නෑ" දරුවාගෙන් ඉතා කෙටි උත්තර ලැබේ.
" හරි එහෙනම් ඊයේ රෑ මොනවද කෑවේ ? " දරුවාගේ ආහාර පුරුදු ගැන මට නම් ඇති වුනේ පුදුමයකි එනිසාම වඩා වැඩියෙන් ප්‍රශ්න කරන්නට සිදු වුනා. " රෑ කෑවේ පරිප්පුයි බතුයි. " දරුවා පිළිතුරු දුන්නේය. අප වෙත එන බොහෝ දරුවන් දැඩි ආර්ථික අපහසුතා ඇති පවුල් වලින් පැවත එන්නන් ය. ඔවුන්ගේ ගෙවල් වල ඉදෙන බත හොදි ගැන විමසූ විට සැලෙන්නේ අපේ හිත් ය. බොහෝ දරුවන්ට උදෑසන ආහාරය ලෙස තේ එකක් වත් නොලැබෙයි. රටක් ලෙස අප සිටින තැන වැටහෙන්න මෙවැනි සමාජයේ බහුතරය ගැවසෙන තැන් වල සේවය කළ යුතුයැයි මට සිතේ.
ඇතැම් දරුවන් හට පාසැලෙන් උදේ ආහාරය ලැබෙන බව පවසයි. එයද උදෑසන නමය පසු වී ලැබෙන බවක් වැටහේ.
ඉතින් පරිප්පුයි බතුයි කන දරුවන් ප්‍රමාණය සමග බර ප්‍රස්තාර වල අඩු බර කොටසේම තිත් පේළි ඇඳෙන මේ කාලයේ... ඇතැම් මධ්‍යම පාන්තික දරුවන් පිරිසක් ක්ෂණික ආහාර සහ පිෂ්ඨය සහිත කෙටි කෑම බීම කා බී දවසෙන් වැඩි කාලයක් පුටු මත ගත කර අධි ස්ථූලතාවයට පත් වී ඇති බවද මම කිව යුතුම ය.
ඉන් පැය බාගයක් පමණ ගත වන තැන පැමිණියේ අර දරුවාගේ මව ය.
ඇයගෙන් ප්‍රශ්න කිරීමද සිදු කළ යුත්තේ සායන ඉතිහාසය ලියන කොටසේ දරුවාගේ මුල් කාලයේ රෝගාබාද සහ වර්ධනය ගැන අදහසක් ගැනීමට ය.
"දරුවා හොඳට කෑම බීම ගන්නවද අම්මා ? " සුපුරුදු ප්රශ්නය වෙනත් ආකාරයකින් ඇයට යොමු කළෙමි.
"ඔව් මම කවනවා. කන්න නම් අකමැතී.. එනිසා කොහොම හරි බත් කටක් දෙකක් කවනවා උදේට. "
"අද උදේ කෑවද?"
" මම කිරි එකක් හදලා පෙව්වා..."
"ඊයේ රෑ මොනවද කෑවේ "
"බතුයි මස් මාළු පිනි ..."
දරුවා කියන්නේ උදේට කිසිවක් නොකෑ බව ය. කිරි එකක් බොන්නේත් නැති බව ය.
"ඊයේ රෑට වත් බත් කෑවද අම්මා... මොනවා එක්කද කෑවේ ?"
" බතුයි බෝංචියි මාළුයි.... "
බොහෝ මිනිසුන් තමන්ගේ අඟහිඟතා සඟවන්නේ ලැජ්ජාවට විය යුතු ය. රටක් වශයෙන් මෙවැනි බොහෝ පෝෂණ ඌණතා මෙන්ම අඩු බර සහ අධි බර නිසා ද රෝගී තත්වයන් උදගත වන දරුවන් බොහෝමයක් සිටින සමාජයක අනාගත පරම්පරාවම රෝගීන් වීමෙන් රටක ආර්ථිකයට ඇති වන හානිය කෙතරම් දැයි ඔබ සිතා බලන්න. සෞඛ්‍යය අංශය නිදහස් නොමිලේ ප්‍රතිකාර ක්‍රමයක් පවතින අප රටට මෙවැනි රෝගී ශ්‍රම බලකායක් තුලින් ඇති කරන තත්වය සිතා බලන්න.
ඔය අතර ගෙන එන තව දරුවෙක් කලාන්ත බව පවසයි, පරීක්ෂා කරද්දී මා දුටුවේ ඔහුගේ ඉනේ තඩි සුරයකි... දවස් 3 උණ බවත් කිසිත් නොකන බවත් පවසයි. රුධිර සාම්පලයේ රිපෝට් එක කියන්නේ නීරක්තිය ඇති බවය ... දරුවා කන්න අප්‍රිය බවත් කවා ගන්න අමාරු බවත් පවසන අම්මාත් බර පොතේ පහලට දිවෙන බර ලකුනුත් කියා පාන්නේ මේ නොදැනුවත්කම සහ නො සැලකිල්ලය. දරුවන්ට කවන්න අපහසුය ඒ බව මාත් දනිමි.
මෙවැනි දරුවන් නිතර ලෙඩ වීම සුලභ ය. ඒ ඔවුන්ගේ ඇඟේ නිසි පෝෂනයක් හෝ ප්‍රතිශක්තියක් නොමැති හෙයිනි. ගිල්ලවන්නේ දරුවන්ට නොසුදුසු දෑය. සෑම දරුවෙක්ගේම අතේ බිස්කට්ටුවක් නොවරදී. මේ බොහෝමයක් මව්වරුන් රැකියාවක නොයෙදෙන අය ය. ඔවුන්ට කවා පොවා දරුවන් බලා ගැනීමට ඇති තරම් වේලාව තිබෙන බවද මට දැනේ.
නමුත් ඔවුන්ගෙන් එය සාර්ථකව ඉටු නොවන බව මට දැනේ. අමාරුවෙන් නිදා ඉන්නා දරුවන් කර පින්නාගෙන අර රූපවාහිනී යන්ත්‍රය ඇති කොටසට ගාටන මව්වරු දකින මට සිතෙන්නේ මොවුන් නිවෙස් වලද මෙයාකාරයෙන් සිටින බව ය.
දරුවන් ලෙඩ වෙන විට තමන්ගේ චර් යා රටා ගැන විමසුමක් නොකර කට්ටඬි පසු පස යමින් සුර යන්ත්‍ර සාදා බෙල්ලේ එල්ලයි... ඒවා බොහෝ විට දරුවාගේම දත් පහරට කටට දියවී තැලුණු ඒවා බවට පත් වේ. යන්ත්‍රයේ සියල්ල නවතින්නේ දරුවාගේ බඩේ ය. විෂ සහිත තෙල් දියර නොදමා ඇතැයි අපි උපකල්පනය කරමු. නැත්නම් අර දරුවන්ට දැමූ යන්ත්රයම දරුවන්ගේ විනාශයට මුල් වේ.
"අම්මා උයන ඒවා රස නෑ"
"එකම කෑම කන්න බෑ"
වැනි වදන් මව්වරුන් ඉදිරිපිටම දරුවන් පවසා සිටී.
ඔවුන්ට කන බොන හැටි කියා දෙන්නට පශ්චාත් උපාධිය පෝෂන අංශයෙන් ලබා ගත් වෛද්‍යවරියක් ද අපට සිටී. ඇය මේ අය සමග පැය ගණන් කතා බස් කොට උපදෙස් සිංහලෙන්ම ලියා කියා දෙනු මට දකින්න ලැබේ. ඇතැමෙක් බොහෝ උනන්දුවෙන් අසා දැන වෙනස් කම් සිදු කොට තම දරුවන්ගේ බර සහ අනෙක් ප්‍රශ්න විසඳාගනී. තව සමහරු නම් ඉන්පසු මේ දෙස එන්නේම නැත.
ඇතැම් දරුවන්ගේ ආහාර රටා ගැන විමසද්දී .. මව්වරු ද දරුවන්ද ඇත්ත කියන්නේ කියා විමතියක් ඇති වේ.
දරුවෙක්ට ආහාර දීමේදී සැලකිය යුතු කරුණු කීපයක් මෙසේ ලියා තබමි
මාස 6න් පසු අමතර ආහාර දීම යනු පිටි කිරි දීම නොවේ.
එම ළදරුවන්ට මුළින් බත් කැඳ, පෙරහන් ගාන ලද බත්, තැම්බූ එළවළු, හූරා පොඩි කරන ලද පළතුරු වැනි දෑ දීම යි වැදගත්. නමුත් අපේ මව්වරු කරන්නේ ඔය රූපවාහිනීයේ පෙන්වන තලප පවුඩර් පැකට් දිය කරමින් අර දරුවාට කවා පෙවීමයි, මේවා අමතර ආහාර නොවේ. කෙටි ආහාරයි. දරුවෙක්ට නිසි පෝෂනය ලැබෙන්නේ ස්වභාවික ආහාර තුලින් බව මව්වරුන් වටහා ගත යුතු වේ. බතල, වට්ටක්කා, අල කැරට් වැනි දෑ තම්බා පෙරහන් ගා එක දිගට එකම ආහාරය දින කීපයක් දිය යුතු බව අන්තර්ජාලය තුලින් මා දුටුවා. එවිට දරුවා එම රසට පුරුදු වන බවක් එහි දක්වා තිබුනා.
එමෙන්ම ඕනෑම ආහාරයක් දරුවෙක් ප්‍රථම වතාවේදී කටින් ඉවත දැමීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු කරයි. නමුත් දරුවන්ද පුරුදු පුහුණු වෙන පිරිසක්. එනිසා එක වරම අත හැර නොදමා දිගින් දිගටම කැවීම සිදු කළ යුතුයි. අද බත් ප්‍රතික්ෂේප කරන දරුවා ඊළඟ වේලේදී එය අපූරුවට ගිල දමනු මා දැක අත්විඳ ඇත්තේ මටද දෑවුරුදු පොඩ්ඩෙක් සිටින බැවිනි. ( babies need training and they need time tables too)
කන්නේ නෑ කන්නේ නෑ කියමින් කන් කෙඳිරි ගෑම මම ද කළ ඇත්තෙමි. බත් මාළු කොළ වර්ග එළවලු කන්නේ නැත්නම් සියල්ල කැබලි කර කුඩාවට කපා හෝ බිත්තරයක් ගෙන එයට මුසු කොට ඔම්ලට් එකක් ලෙස සාදා දෙන්න ... කට්ලට් එකක් ලෙස සාදා දෙන්න. අපූරුවට ගිල දමනු ඇත.
බත් ටිකක් තෙල් හෝ බටර් පොඩ්ඩක් දමා තෙම්පරාදු කර දෙන්න. ඔවුන් කැමැත්තෙන් කනවා ඇති. මගේ මව තව අපූරු ක්‍රමයක් අනුගමන ය කළා. එළවලු බත් කේක් සෑදීම. ඇය කරන්නේ කේක් තැටියකටම තැම්බූ බත් අල එළවළු මස් මාළු තට්ටු පිට තට්ටු බැගින් අතුරා බිත්තර , පාන්කුඩු ආවරණයක් යොදා එය බේක් කර ගැනීමයි ( එකළ අපට තිබුනේ ගෑස් ලිප මත තබන පෙට්ටියක් වැනි තහඩු ආවරනය කි. එය 80 ගණන් වල ප්‍රසිද්ධ මෙවලමකි)
මෙවැනි විජ්ජා උපක්‍රම බොහොමයක් අන්තර්ජාලය තුල හමුවේ. මම නිතර අම්මලාට කියන්නේ නිර්මාණශීලී වෙන්න කියා ය. පළතුරු කපා කැබලි දරුවන්ටම අතින් ගෙන කන්නට සලස්වන්න. අවුරුද්ද පසු වන විටම දරුවන්ට නිදහසේ තනිව කන්න බත් එළවළු මිශ්‍රකර තබන්න ඔවුන් අපූරුවට කන බව ඔබට වැටහෙනු ඇත. ඔව් ටිකක් හැඩි කරන ගතියක් සහ ඉවත දමන බව ද මම නොදන්නවා නොවේ. නමුත් විශේෂඥ වෛද්‍ය මතය නම් රවට්ට රවට්ටා.. වත්ත පුරා දුවමින් කෑම ගුලි කර ගිල්ලනු වෙනුවට දරුවා මේසයේ ඉන්දවා පිඟානක ආහාර ලබා දිමෙන් දරුවා කෑම සමග විනය ඉගෙන ගන්නා බව ය.
මේ දක්වා ඇත්තේ එවැනි උදාහරණ කීපයක්. පහත ලින්ක් පරීක්ෂා කර බලන්න.
http://mumsgrapevine.com.au/2011/10/20-creative-food-ideas-for-kids/
මම මේ ක්‍රම අත් හදා බැලුවෙමි. සාර්ථක ය !
Saturday, December 17, 2016
කස්ටඩ් සහ බොරු වැලි එකම වගේ...
කස්ටඩ් වලත්, බොරු වැලි වලත් සංඝටක එකම බව පැවසේ ඒත් වෙනස් වෙන්නේ එහි අණු අතර පවතින බන්ධන (බැඳුම්) වල වෙනසය.
ජීවිතයත් මේ වගෙයි මට සිතේ... බන්ධන නො තිබුනා නම් ජීවිතේ අප ගත කරන මොහොතවල්... කරන බොහෝ දේ එකකට එකක් පරස්පර වුනත් මොකක්දෝ සමානකමක් වේ. වෙනස් වෙන්නේ බැඳීම් නිසා ඇතිවන්නාවූ වෙනස්කම ය.
"some times it lasts in love , some times it hurts instead. "
ඒ වන විටත් ඇය ඉතා කෘෂව සුදුමැලිව සිටියා... නිතර ක්ලාන්ත ගතියෙන් පෙළුනා.
" කන්න හරියකට හම්බුවෙන්නෙ නෑ.. උදේ පාන්දර ගෙදරින් එන්නේ.. හවස යනකොටත් කඩෙන් කන්නේ"
ඇය මට පැවසුවා.
"මම හිටියේ බොහොම සතුටෙන්. ගොඩාක් අයට උදව් කරගෙන. මගේ විවාහය මාව කණපිට පෙරළුවා... නැන්දම්මා මාව පණ පිටින් පිච්චුවා" ඇය කඳුළු සලන්නට විය. “දෙවෙනි ගමන දාම මට කීවේ ඔය කාමරේට වෙලා ඕනෙ දෙයක් කරගෙන ඉන්න්මේ ගෙදර වෙන කිසිම දෙයක් වෙනස් කරන්න එපා කියලයි. ම්ා ජීවත් වුනේ සිරකාරියක් වගේ. අච්චර ජරාජීර්ණ වෙච්ච ගෙදරක. මගේ දෙමාපියන්ටවත් මේ ගැන කීවේ නෑ ඒ අයගේ හිත රිදෙයි කියලා.”
දැන් ඇය සිව් මස් ගැබිණියක්.... "ඉතින් මෙච්චර ප්‍රශ්න තියෙද්දී.. ස්වාමියා ඔයාව නොසලකා හරිද්දී ඇයි දරුවෙක් හදන්නේ " ඇය සිටියේ කබලෙන් ලිපට වැටෙමිනි.
"විවාහයක් කැඩුනම ගැහැණියට හිරිහැර වැඩී. දරුවෙක් හිටියනම් සමහර විට සැමියා ටිකක් හරි වෙනස් වෙයි කියලා හිතුනා , කොහොමත් අන්තිමට මට දරුවා හරි ඉතිරි වෙයිනේ" ඇය මෝරා එමින් තිබූ උදරය අතගාමින් කීවා ය.
එසේ පැවසූ ඇය යළිත් හමුවෙන්නේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් බෙහෙත් අහුරු ගිලමින් ඇයට මානසික ලෙඩක් යැයි ඇය අතැර දැමූ සැමියා යලි ඒව්වි යැයි බලාපොරොත්තු වෙමින් අප හා වාද කරමින් දරුවා කරපින්නාගෙන ඇවිදින දිරාපත් වූ ගැහැණියක ලෙසය.
ඇගේ සැමියා ඇය අතැර ගොසිනි.
" ඉතින් දැන් මම බලන් ඉන්නවා ආයේ එනකම් කවදා හරි දරුවායි මාවයි මතක් වෙලා"
චිත්ත සන්තානයේ ඉපදෙන සිතුවිලි පුදුමාකාර ය. ගැහැණිය, එක එක අයගේ ඕනෑ එපාකම් ඔස්සේ තම ජීවිතය සකසා ගනී. ඇතැම් විශිෂ්ඨ චිත්ත ශක්තියක් හිමි අයවලුන් තම සිතැඟි ඔස්සේ ජීවිතය සොයා යයි.
මට හමුවෙන්නේ එවන් අය නොවේ... මා සිටින මේ ලංකා සමාජය තුල හමුවෙන ස්ත්‍රී න්බොහෝ පීඩන හමුවේ ගොළුවී සිටී. සමාජය විසින් ඔවුනට හිමි කර දී ඇත්තේ එවැනි අනාරක්ෂිත බවකි.
ඇතැම් විට දරුවන් වෙනුවෙන්, දෙමාපියන් වෙනුවෙන්, සමාජයේ ජීවත් වීම වෙනුවෙන් පවුල් රකින... නොරැඳෙන බන්දන රකින ස්ත්‍රීන් බොහෝ වෙති.
තමන්ට ඒ දේ වෙනකම් විඳිනකම්ම තේරුම්ගන්න අමාරුයි ගැහැණියක් තනිවුනාම කොයි තරම් ප්‍රශ්ණ මැද්දේ ජීවත් විය. යුතුද කියලා. මේ අකුරු මේ ලියවිල්ලට සීමා නොකර මා හමුවන බොහෝ කාන්තාවන් හට ශක්තියක් වෙන්නට යොදාගන්නේ එහෙයිනි.
හිතට ශක්තිය ගන්න , මීට වඩා ස්ට්‍රෝන්ග් වෙන්න කියලා කියන්න නම් ඕනෑ තරම් අය ඉන්න බව මම හොඳාකාරවම දන්නවා. නමුත් වෙන කෙනෙක්ගේ ශක්තිමත් බව අගයන්න කෙනෙක්ට ඇති නොහැකියාව මිසක් අනුන්ව ඔවුන් ඉන්න තැනින් ඔසවා වඩා හොඳ තැනක තියන්න පුළුවන් පිරිස අඩුයි.”
There are two kinds of pain.. the pain which makes u strong and the other that makes u suffer and rotten.
මට හමුවෙන බොහෝ ස්ත්‍රීන් හුදෙකලා වූවෝ ය. ඔවුන්ගේ චිත්ත සන්තානයේ දිග පළල ගැඹුර විනිවිද පෙන්වන කතන්දර බොහෝ අප ඒකකය තුලදී දිග හැරේ.
ආශා පවුලේ වැඩි මහළු දරුවා ය. වයස අවුරුදු 18 කි. සියදිවි නසා ගැනීමට තැත් කිරීම් රෝහල් ගත කිරීම් අවසානයේ ඇගේ මනෝ ව්‍යාධියේ තරම කොයිතරම්ද කීවොත් ඇවිදින මළ මිනියක් මෙන් ඒ මුහුණේ කිසිඳු පේෂියක් සෙලවුනේවත් නැත. හරියට ඝන වෙස්මුහුනක් පැළඳියාක් මෙනි.
ඇය ගේ පියා මසකට කිහිප වරක් නොයෙක් තැන ඇවිදින ව්‍යාපාරිකයෙක් වූ හෙයින් ඔහු නිතර නිවස රැඳුනේ නැත. ඇය යම් වයසක දී ඇගේ පියා ඇගේ මව මෙන්ම පුංචි අම්මාද (මවගේ නැගණිය) සමග පවුල් කන බව දැන ගන්නට ලැබී තිබේ. මේ ප්‍රදේශයේ තිබුන යුධ තත්වයත් එයට හේතු වෙන්නට ඇති. ඒ පවුල මීට බොහෝ ඈත දිස්ත්‍රික්කයක සිටින අතර දරුවන් ලොකු මහත් වන තෙක්ම මේ ගැන දැනගන්නට ලැබී තිබුනේ නැත. ආශාගේ මව මේ ගැන දැනගත් වහාම සිය දිවි නසාගෙන තිබුනු අතර ඉතිරි දරුවන් පිරිස රැක බලාගෙන තිබුනේ මේ දියණියයි.
අවසන ඇයට මවගේ මරණයත් සමග තම පියාගේ හැසිරීම ගැන වෛරයක් හට ගන්නවා. ඒ වෛරය නිසාම ඇය සිය ජිවිතයෙන් සමුගන්න පවා සැරසෙනවා. ඒ ලැජ්ජාවට බවයි ඇය පවසන්නේ. මම ඒ රෝහලෙන් සමුගෙන පැමිණෙන කාලයෙත් ඇය නේවාසිකව ප්‍රතිකාර ගත්තා.
ඒ තාත්තා පැමිණි දිනක දියණිය ඔහු ඉදිරියේ හඬා වැටී බැණ වැදී "මගේ අම්මා මරාගත්තේ ඇයි " අහද්දී ඒ තාත්තා හඬන්නට වුනා.
සිලාසිනී.. එලෙස මට අනිත් කොන රෝහල් සේවය කරද්දී හමුවූ ස්ත්‍රියකි. අප නිතර යන එන මහළු නිවාසයක රැකියාවක් කරමින් තම දරු දෙදෙන රකී. සැමියාද කම්කරුවෙකි. ඔහුගෙන් ශ්‍රමය හෝ සැලකිය යුතු මුදලක් තම දරු පවුල වෙනුවෙන් නොයෙදේ. ඒ වන විටත්, අනියම් සබඳතා මෙන්ම අධික ලෙස මත් පැනට ගිජුවූ මිනිසෙකි. සිලා නිසාම අපි ඔහුට අප ඒකකය වෙත එන්න යැයි පැවසුවත් ඔහු ආවේ පණිවිඩ කිහිප වරක් යැවූ පසුව ය.
පිරිමියෙක් පිට යන්නේ ගැහැණියගේ වරදින්.. ඕකට සියයට පනහක් දෙගොල්ලොම වැරදියි... එහෙම කියමනක් ද ඇසෙයි. එහෙත් පුදුමය නම් අපි අද ජීවත් වෙන්නේ ඉර හඳ තරු වන්දනා නොකරන, සමානාත්මතාවය සොයන... ගැහැණිය ද පිරිමියාද උරෙනුර ගැටී එක සේ වැඩ රාජකාරි කරන... අභ්‍යවකාශ ගමනේ යෙදෙන ඩිජිටල් සමාජයක වීම ය.
ඉතින් දැන් අපි මේ පවුල දෙසට හැරෙමු.ඔහු මෙලෙස හැසිරෙන්න ඇගෙන් මදි පාඩුවක් විනි දෝ යැයි අපි මුලින් ඇසුවෙමු. ඔහු කියන පරිදි ඇය දරුවන් රැකගෙන දහඩිය මහන්සියෙන් උපයා ගෙදර බත් මාළු පිනි උයා , ඔහුගෙන් වෙන්න තියෙන යුතුකම් පවා නොපිරිහෙලා ඉටු කරයි.
"මට මේ ඕනෑ කම නවත්වන්න ඕනේ නෝනා." ඔහු පවසයි. ඒ අනියම් සබඳතා ගැන ය.
"ඔය බීමට, ගෑණුන්ට වියදම් කරන මුදල ඉතිරි කරලා දරුවන්ට යමක් කරන්න. කවදා හරි මහළු වෙද්දි දරුවො නැත්නම් කියාවි අපේ අප්පා.. මෙහෙමයි අම්මා තමයි අපිව රැක්කේ කියලා"
එකින් එක අපි ඔහුට හරි වැරදි කියා දුනිමු. බටහිර සමාජයේ නම්, මෙවැනි සබඳතා ගැන දැඩිව විමසිලිමත් නොවන්නාක් මෙන්ම ගැහැණියක හෝ පිරිමියක අතර පවතින සබඳකම් වලදී සමාජය ඔවුන් එකිනෙකාගේ පෞද්ගලිකත්වයට , ස්වාධීනත්වයට ගරු කරනු මම කොතෙකුත් දැක ඇත.
නමුත් ලංකා සමාජය ඊට හාත් පසින් වෙනස් ය. ඕපා දූප මෙන්ම එකිනෙකා කා කොටා ගැනිලිත් අඩු නැත. වෙන්වූ නළු නිලි ප්‍රසිද්ධ පුද්ගලයින් කොතෙකුත් පුවත්පත් මගින් බැන ගන්නායුරු දිස්වේ.
ඉහත බ්ලොග් ලිපිය ලියන අතරේ මා මිතුරියක් සමග කතා බහ කරද්දී ඇගේ මතය වුනේත්.. හොඳ ගෑණුන්ට ලැබුනු නරක පිරිමිත් ඉන්නවා.. නරක ගෑණුන්ට ලැබුන හොඳ පිරිමිත් ඉන්නවා. පිට යනවා නම් කොයි කවුරුත් කොහොම උනත් එහෙමයි. ගෑණු නරකයි, ගෙදරින් අඩු පාඩු වෙනවා කියා පිට යන පිරිමිත් ඉන්නවා
එහෙම වුනත් පවුල රැකගෙන ඉන්න පිරිමිත් ඉන්නවා.
ඕකේ අනිත් පැත්ත ගත්තත් එහෙමමයි" කියා ය.
වරද ඇත්තේ අනුන්ගේ ඕපාදූපය සොයන්න විවේචනය කරනන් පෙළඹෙන පටු දූපත් වාසී මානසිකත්වයක් හිමි අයවලුන්ගේ ය.
ps : ඔහ් මේක 100 වෙනි පෝස්ටුව.... සීයක් ලියා ගත්තේ කොයි තරම් අමාරුවෙන් ද ?





