Saturday, February 11, 2017

අම්මා සුම්මා වෙන මොහොත....

මම වාට්ටුවට ඇතුල් වෙනකොටම දුටුවේ අපේ මේසය ළඟ ඇති පුටු ඉවත් කර මෙට්ට කොට්ට පුරවා ඇති ආකාරයකි.

මේ මොන කෝලමක් දැයි සිතමින් මා අඩුම කුඩුම අප කාමරයේ තබා වාට්ටුව දෙසට නැවත පැමිණියෙමි. මෙන්න කුඩා පැංචො දෙන්නෙක් අපේ මේසෙ අසල ඇති මෙට්ට දෙකේ නිදි...
ඔවුන් රෙදි පොරවන් සිටි නිසා මගේ හදිසියට මට නොපෙනුනේ.මේ දරුවන් මෙහි එවා තිබුනේ බාහිර රෝගී අංශයෙන්. ඇත්තටම ඔවුන්ට බාරකාරයෙක් නොමැති වීම තමා ඔවුන් මෙහි එවීමට ප්‍රධාන හේතුව.

ඔවුන්ගේ මව ඒ වෙන විටත් වැඩිහිටි කායික රෝග වාට්ටුවට ඇතුල් කර තිබුනේ සියදිවි නසා ගැන්මට පැනඩෝල් පෙති පණහක් පමන බීම නිසයි. අම්මා නොමැති කල අප්පා කවර කල යන කියමන යලි යලිත් සනාථ කරමින් ඔවුන්ගේ පියා වෙනත් ගැහැණියක හා ගොසිනි. අගනුවරින් බැහැර සිටි මොවුන් මෙහි පැමිණ ඇත්තේ පියා බැලීමට ය. පියා වෙන ස්ත්‍රියක් සමග පවුල් කෑම නිසා උරණව බහින් බස් වුණු මව මෙලෙස සිය දිවි නසා ගැන්මට තැත් කර තිබිනි.

ඔවුන් අපූරු කුඩා දරුපැටව් දෙන්නෙක් ! බෙදා දෙන බත් පත කවන්න කිසිඳු කරදරයක් දුන්නේ නැත.

"මෙයාලගෙ අම්මට කොහොමද යනුවෙන් අප කතා බස් කරද්දි.. " මගෙ අම්මා නෑනේ" යනුවෙන් ලොකු දරුවා කියනවිට හිතට දැඩි දුකක් ඇති විය.

මට මේ තාත්තලා වීමට නුසුදුස්සන් ගැන ඇත්තේ දැඩි කළකිරීමකි. දරුවන් හදන්නන් වාලේ සාදා අත හැර යෑම පවකි. දරුවන් නැති මව්පියන් බොහෝ අය දැඩි සොවින් සිටී.

එක් තාත්තෙක් "හදා ගත්තේ මොකටද ?" කියා මවකට බැන වැදුණු අයුරු ඇසූ දරුවන් නැති යුවලක වන මගේ මිතුරියක් පැවසූවේ ඇගේ සැමියා කොයි තරම් තමන්ගේ දරුවෙක් හදන්න රැකබලාගන්න ආසාවෙන් සිටිනවා ද යන්නය. අප ජීවත් වෙන්නේ නැති තැන් වලට පුරවා අඩු නැතුව දරුවන් දී ඔවුන්ද කඳුළු දුක් සාගරයක ගිල්වන යුගයක ය. ප්‍රකට මහාචාර් ය වරයෙක් වරක් දේශනයකදී " if they dont have money they dont deserve kids" කීවේ, නළ දරු උපත් ගැන කතා බහක දී ය. ඒක ටිකක් පරස්පර විරෝදී කතාවක් වුව ද, ඇතැමුන් ලක්ෂ ගණන් වැය කර නවීන විද්‍යාවේ සහයෙන් මව් පිය පදවි ලබති. ඇතැමුන් කිසි ආයාසයකින් තොරව ලැබූ දරුවන් අගු පිල් වල අතැර යති.




පොලීසිය මෙහි එන තෙක් අප දරුවන් දෙදෙනා රැක බලා ගතිමු. ඔවුන්ගේ මවගේ අභිලාෂය රැකියාවක් සොයාගෙන දරුවන් පරිවාසයෙන් බාරගැනීම ය.
ඇතැම් මවක් තම දරුවාට ද වස පොවා තමන්ද පානය කරගෙන තිබුනේ ඔවැනිම කතාවක දී ය. ඒ දරුවා එලොව ගොස් මෙලෝව ආවේ ය. ඒ ගැන මුහුණු පොතේ මා මෙසේ ලියා තැබුවා මතක ය.

"ලෝක ළමා දිනයට පහුවෙනිදා...
( මවක් තම කුඩා පුතුට වස පොවා, තමනුත් වස පානය කර, රෝහලේ )

කෝ අපට ඉස්පාසුවක් ,
මොනිටරේ දිහා බල බල,
ඇට්‍රොපින්, ප්‍රැලිඩොක්සිම්,
එන්නත් කටු, සිරින්ජර් පොම්ප
සැරින් සැරේ ශරීරගත කරන,
අම්මා කොහෙද විමසන දෑස,
දුන් කෝප්පේ කට සැරට දැනුනත්
නොදනී තවම අම්මා දුන්නේ වස බව..
බීවාලු නුඹ උගුරු දෙක තුනට

ලෙහි හොවා වැදු පුතුන් අතරමග තනි නොකර
තිරිසන් ඉමෙන් මිදෙන මග බලපු අම්මා
යන ගමන තනි නොකර හැදූ දරු පණ රැගෙන
මරු වසඟයට කොහොම ගියා නොදනිම්මා

පියෙක් නැත, පුතෙක් ඇත ඒ බරත් නුඹ මතම
තුන් මසක දරු ගැබක් කුස දැරූ අම්මා
පොහොර තෙල් බෝතලෙන් මිදෙන්නට දැනුනු දුක
සංසාර පාපයක ගිලී නොව නිම්මා

බෝධිනි සමරතුංග..."


තවත් එවැනි තනිවූ මවකගේ අම්මා, තම මිණිපිරිය සමග පාරේ එද්දී ඇය ඇලකට වැටුනු පසු , ඔහේ දරුවා ගිලී මැරෙන්නට දී බලාගෙන සිටියේලු, අසල බෝධියක් නාවමින් සිටි උපාසක උන්නැහේ කෙනෙකුගේ ඇස ගැටී දරුවා බේරාගෙන රෝහල වෙත ගෙනැවිත් තිබීනි. මවගේ හෝ මිත්තනියගේ රැකවරණය මේ දරුවාට නොලැබෙන බව මම පසුව එහි හඬා වැටී දිව ආ පියාගෙන් දැන ගතිමි.

මව පියා බාරකරුවෙක් නොමැතිව අපට වාට්ටුවේ කිසිඳු දරුවෙක් ඇතුල් කරගත නොහැක. එනිසා අර දරුවන් දෙදෙනාගේ මව සනීප වෙන්නට ප්‍රථම ඔවුන් පොලීසිය බාරයට ලබා දීමු.

පසුදිනම මවගේ ඥාතී යැයි ගැහැණුන් එහී දිව ආ නමුදු ඔවුන්ටද දරුවන් බාරගැනීමට ඕනෑ කමක් තිබුනේ නැත. ඔවුන් දුර බැහැර බවද අගහිඟකම් ඇති බවද කියමින් හෙමින් මග හැර ගියේ පසු දින එන බව කියමිනි ... නමුත් කිසි දින ආවේ නම් නැත. මවට ද දරුවන් බාර ගත හැකි තත්වයක් නැතිය කියා දරුවන් පොලීසියටම බාර දුන් බව අපට පසුව දැන ගන්නට ලැබිනි.

මේ රටේම ඛේ දවාචකයකි. මා හැම දාම ලියන්නාක් මෙන්... මව පියා හෝ නිසි රැකවරණයක් ආදරයක් නැතිව හැදෙන මේ දරුවන් අන්තිමේ සමාජයට වෛරකරන පිරිසක් බවට පත් වනු ඇත. පරිවාස නිවාස වල හැදෙන දරුවන් ගැන බොහෝ තොරතුරු දනිමි. ඔවුන් කිසිවෙක් ජීවිත සර්ව සාර්ථක කරගෙන සිටිනු නොදුටු අතර, ඒවායේ ප්‍රමිතිය ගැන ද සෑහීමකට පත් විය නොහැකි බව වැටහේ.

සෑම මවකට සෑම පියෙකුටම අද විශාල වගකීමක් ඇත. ඒ තමන්ගේ උවමනාවෙන් උපදින කිරිකැටි දරුවා වෙනුවෙන් කැප වීමය. සෑම කෙනෙකුටම හොඳ අම්මෙක් හෝ හොඳ තාත්තෙක් විය නොහැක. ඒ බවත් මම හොඳින්ම දනිමි.


17 comments:

  1. ලංකාවේ පරිවාස ක්‍රමය හරියට කරනවානම් ඔය වැනි දරුවන්ට ඉතා යහපත් අනාගතයක් උදා කරන්ට පුළුවන්. මගේ නෙදර්ලන්ත මිතුරියකගේ ළමයි දෙදෙනාන ලංකාවෙන් නයිතිකව ලබාගත් දරුවන් දෙපලක්. ඔවුන් ඉතා ලස්සන ජිවිතයක් ගත කරනව. හැබැයි මීට වසර 20 කට කලින් ගත්ත ළමයි.

    හැබැයි දැන්නම් ඔය සිස්ටම් එකත් පගාවට ගිහිල්ලද දන්නෙ නෑ ඩොක්ට.

    ඉඩ තියෙන වෙලාවක LION ෆිල්ම් එක බලන්න. ඔය හා සමාන ලස්සන ෆිල්ම් එකක්..

    👊🏽

    ReplyDelete
    Replies
    1. පරිවාසේ ගැනත් එක එක කතා.... එනිසා ඒකත් හොඳම විසඳුම නොවේ යැයි සිතෙනවා. මෙහි ආ එකට තුති තිලාන්...

      Delete
  2. ඔය පරිවාසේ ඉන්නේ යක්කු අප්පා ළමයින්ට නං හොදක් එ මිනිස්සුන් ගෙන් වෙන්නේ නැ

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම ආරංචිත් අඩු නෑ...

      Delete
  3. තාත්තලා වීමට නුසුදුස්සන් ගැන ඇත්තේ දැඩි කළකිරීමකි. දරුවන් හදන්නන් වාලේ සාදා අත හැර යෑම පවකි. දරුවන් නැති මව්පියන් බොහෝ අය දැඩි සොවින් සිටී.////// athha

    ReplyDelete
    Replies
    1. අපේ රටේ ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් එනවා මේ වගේ බැලන්ස් නැති ට්‍රෝමටික් ළමා වියක් සහිත දරුවන් වැඩිහීටියන් බවට පත් වීම නිසා.

      Delete
  4. මම කාසල් විදියේ කාන්තා රෝහලේ වැඩ කරද්දී මෙහෙම දාලා ගිය ළදරුවන් කිහිපදෙනේකම පොස්ට්- නේටල් වෝර්ඩ් එකේ හෙද කාමරයේ තියන් හිටියා මතකයි . ඒ ළමයි මාස කිහිපයක් වයස වෙනකම් රෝහලේ හැදිලා පරිවාසයට යවනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් කිසිවෙකුත් නැති බිළිඳුන් එසේ හදනවා. කිහිප තැනකදී දැක ඇත.

      Delete
  5. දුකයි. ඇත්තටම හිතාගන්න බැරි තමන්ගෙ දරුවන්ව මෙහෙම අසරණ කරන්න තාත්තලාට පුලුවන්ද කියන එක.

    ReplyDelete
  6. මම දවසක් ළමා නිවසෙකට ආධාර වගයක් දෙන්න කතා කලා. ටිකක් වැඩිපුර කථා කරනකොට ඒ නිවාසේ පාලිකව කිව්වා අපි මේ ළමයින්ට කියන්නේ අන්වොන්ටඩ් චිල්ඩ්රන්ස් (අනවශ්‍ය දරුවෝ) කියලා. මට එතැන ඉන්න ළමයි ගැන ඇතිඋනේ පුදුමාකාර දුකක්.

    ReplyDelete
    Replies
    1. එයාලගෙ හිතෙත් එහෙම එකක් ආවොත් හරි පව්.. ඉස්සරහට මොකක් හරි කරන්න ඕනේ මේ අය වෙනුවෙන්

      Delete
  7. අද මේ ප්‍රශ්නෙ ගොඩාක් තියනව. ඒ අතින් අපිට අපේ අම්මල ගැන ආඩම්බර වෙන්න පුලුවන්. මොකද අපි පොඩි කාලෙ අපේ අම්මල තාත්තල වේලක් ඇර වේලක් හරි කන්න දීල දාහක් ප්‍රශ්න මැද්දෙ වුනත් අපිව උස්මහත් කරපු එකට අමාරුවෙන් හරි හොඳ අධ්‍යාපනයක් දුන්න එක ගැන.

    ReplyDelete
    Replies
    1. ඒක තමා ඇතැම් විට අපිට හමුවෙන්නෙම ප්‍රශ්න සහිත පවුල් සහ ළමයින් !

      Delete
  8. මේ තත්වය එන්න එන්නම අද බරපතල වෙනවා .....දරුවන් මල් වැනියි කිව්වාට ඒ මල් හැමදාම තැලිලා පොඩි වෙලා යනවා....නොදනිමි කාගෙ දොසා

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට මුළු රටක් ලෝකයක් මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක් !

      Delete
  9. මොනවා කරන්නද බෝ. කවද හරි දවසක රට ආර්ථික අතින් හොඳ වුනහම වත් ඕවගේ දේ නොවෙයි කියා හිතෙනවා? නමුත් ආර්ථික ප්‍රශං නැති රටවලත් ඔයවගේ ළමයි දාල යන අවස්ථා අනන්තයි.

    ReplyDelete
  10. මින්සුන් එන්න එන්නම වඩ වඩා තනිවෙමින් පැවතීම ලොකු ඛේදවාචකයක් බවට පත්වේවි ද

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !