Wednesday, February 1, 2017

ළිඳේ බබා...

සලාං බලාං හඬින් වීදුරු පොඩි වන ශබ්දයක් ඇසුන්නේ කොහෙන්දැයි විමසන්නටවත් වෙලාවක් නැත. මා වැරෙන් එම අවුරුද්දකුත් මාස තුනක් වයසැති  නොනවත්වා ගැහෙන ළදරුවා වම් පැත්තට හරවා අල්ලාගෙන සිටින අතර ඇඳේ අනෙක් පසින් ආ හෙදිය විසින් ගුදමාර්ගය ඔස්සේ ෆිට් එක නැවතීම සඳහා ලබා දෙන ඩයසපෑම් නම් ඖෂධය දරුවාට ලබා දෙන ලදී. ඊළඟ මිනිත්තු කීපයේදී ගැස්ම නතර විනි.
එදින ආරම්භ වුනේ බොහෝ සාමකාමීවය. වෙසක් පොහෝ දින නිසා වාට්ටුවේම වැඩ බලන ලද්දේ මා විසිනි. වාට්ටුවේ නතර වී සිටියේ යවන්නම බැරි තරම් අසාධ්‍ය වූ දරුවන් කිහිප දෙනෙක් පමණි. ඔවුන්ද මවෙත රැවුම් ගෙරවුම් දමමින් සිටියේ වෙසක් කූඩු දන්සැල් සහිත උත්සව අවස්ථා අහිමි කරමින් ඔවුන් මෙසේ මෙහි රඳවා තබා ගන්නේ මගේ උවමනාවටම බව හිතා ගෙනය. උදෑසන දහයයි තිහ පමණ වෙද්දී මට ඇමතුමක් ආවේ හදිසි ප්‍රතිකාර අංශයෙනි.

අවුරුදු එකහමාරක බබෙක් ළිඳට වැටිලා. ... මෙහෙ ඩොක්ටර් ඉක්මනට එන්න කියනවා... මිස් කෙනෙක් මට කීවේ හදිසි ප්‍රතිකාර අංශයේ වෛද්‍ය වරයා දරුවා සමග රැඳෙමින් ප්‍රතිකාර කරන බව ය.
ළමා රෝග අංශයේ ප්‍රතිකාර ක්‍රම වෙනස් නිසා නිරතුරුව අපට එහි එන්නට කියා ඇමතුම් ලැබේ. රෝගියාට සිදු කළ යුතු හොඳම දේ අදාල අංශයේ වැඩි පළපුරුද්දක් දැනුමක් සහ හදිසි අවස්ථා පිළිබඳ පුහුණුවක් ලැබූ අයෙක් එවැනි ජීවිතයත් මරනයත් අතර පොරබදන අවස්ථාවකදී රෝගී සත්කාරයේ යෙදීමෙන් එම තත්වය හොඳ අතට හැරීමේ වාසිය තිබේ. එහිදී පොතේ දැනුම පමණක් නොසෑහේ. අත් දැකීම් සහ ක්‍රියාවෙන්ම ලද පුහුණුව අත්‍යාවශ්‍ය ය. ඒ සඳහා වෛද්‍ය විද්‍යාලයේ පටන් සීමාවාසිකය දක්වාත් ඉන් පසුත් නිරතුරුව ප්‍රායෝගික පුහුණුවක් ලදිමු.

මා වහ වහා හදිසි අනතුරු ඒකකය වෙත යන විට දුටුවේ ඓහි දොරටුව වසාගෙන පිරී ඇති මහා ජනකායකි.
දරුවා වැටී තිබී හමුවී තිබුනේ මවට ය. ඒ ගෙදර පසුපස ඇති අත හැර දැමූ මඩ පිරි කණ්ඩියක් හෝ නොමැති ළිඳට ය. දරුවා මුනින් අතට පාවෙමින් සිටිනු දැක තිබේ. කොපමණ වෙලා එහි සිටියේදැයි නොදනී.

ඒ වන විටත් ඔක්සිජන් සපයමින්, දරුවාගේ ශ්වසන මාර්ගය අවහිර කරමින් පිරී තිබුණු වතුර ශ්‍රාවයක් සේ කටෙන් පෙරේ. ඒවා ඉවත දමන්නේද නළ මගින් එළියට අදින යන්ත්‍රයේ ආධාරයෙනි.
දරුවා ප්‍රකෘති තත්වයේ නොසිටී. කළු ඉංගිරියාව ආලෝකයට ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැත. මේ අතර දරුවා වරින් වර ගැහෙන්නට වූයෙන් ෆිට් එකක් හෙවත් වලිප්පුව වැනි තත්වය පාලනය කිරීමට එන්නත් මගින් විවිධ ඖෂධ ශරීරගත කරමින් තිබිනි.

ඒ වන විටත් දරුවාට ශ්වසනය කෘතිම ලෙස අප ලබා දෙමින් සිටියේ අත් මගින් තෙරපන බැලුම් ආකාරයේ මෙවලමකිනි.
වහා දැඩි සත්කාර ඒකකයක් වෙත දරුවා ගෙන යා යුතුය. එනමුත් ඒ සඳහාද නොයෙක් රෙගුලාසි තිබේ.
හතර වටේට කෝල් දැමිය යුතුය. ප්‍රථමයෙන් ඇඳක් සොයා ගත යුතුය.
ඉන්පසු එම ඒකක වල වෛද්‍යවරු ඔවුන්ගේ විශේෂඥ වෛද්‍යවරු හා කතා බස් කළ යුතුය. හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයා  එසේ කතා බස් කොට වෙන් කරගන්නා අතර මම සිහි විසඥ තත්වයෙන් සිටි දරුවාගේ තත්වය පාලනය කරගනිමින්, සිටියෙමි. ඔය අතර දොර ඔස්සේ එබිකම් කරන නෑයින්ද, හඬා වැටී හැපෙන මව් පියන් ද අස් වැසිය යුතුය. ඔවුන් විටෙක එතනින් ඉවත් කරමින් ද කටයුතු කළ යුතු විය.
අර වීදුරු බිඳෙන හඬ ඇසුනේ එවිට ය.
"එළියේ දෙන්නෙක් ගහ ගන්නවා." අප වෙත පණිවිඩය පැමිණියේය.
හදිසි ප්‍රතිකාර අංශයේ වීදුරු දොරක් හෝ ජනේලයක් බිඳෙන්නට ඇති. ගහගෙන තිබුනේ දරුවාගේ තාත්තා සහ ලොකු මාමා බව කියැවිනි. හේතු අසන්නට වෙලාවක් නැත.

දරුවාට කෘතිම ශ්වසනය දෙමින් මම ද හෙදියද මාරුවෙන් මාරුවට ස්ථාන මාරු කරගනිමින් ඇම්බියුලන්ස් රථයට දමාගෙන අගනුවර ළමා රෝහල වෙත පැමිනියේ මග දිගට රුධිරගත ඔක්සිජන් ප්‍රතිශතය පහළ බසිද්දී සකර් එකක් හෙවත් ජලය ද්‍රාවන උරාගන්නා පොම්පය මගින් නලයක් දරුවාගේ ශ්වසන මාර්ගයට සම්බන්ද කළ බටය තුලට දමා මඩ පැහැ ගත් ශ්‍රාවයන් ඉවත් කිරීමෙනි.
මව පැවසුවේ ජලයෙන් ගොඩ ගත් දරුවාට මුඛ ශ්වසනය දුන් අවස්ථාවේ පවා විශාල ප්‍රමාණයක් මඩ පැහැ ජලය එළියට ආ බව ය.

ළමා රෝහලට ගොස් බසින්නත් කලියෙන් එළියට පැමිණි එහි හදිසි ප්‍රතිකාර අංශයේ වෛද්‍යවරියක් පැවසුවේ. එහි ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් නොමැති හෙයින් සහ සීටී ස්කෑන් පරීක්ශාවක් අවශ්‍ය හෙයින් අප දරුවා එහි ගෙන ගොස් ඒ සියල්ල කළ යුතු බව ය. බොහෝ විට මේ අගනුවර ප්‍රධාන රෝහල් වල ඈයෝ අප මේ රෝගීන් අපේ ගෙවල් වල සිට ගෙන එනවා යැයි සිතාගෙන අප ලවාම සියලු රස්තියාදුවීම් සිදු කිරීම අපට අරුමයක් නොවන නිසා ( මීට පෙර ලද අත්දැකීම් බොහෝමයි)

අප දරුවා එසැනින් මහ රෝහල වෙත ගෙන ගියෙමු. එහි ගිය සැනින් එතැන සිටි විශේෂඥ වෛද්‍යතුමන් ඇතුලු කණ්ඩායම දරුවා කෘතිම ශ්වසන යන්ත්‍රයට සම්බන්ද කලේ පුපුරු ගසන ඇඟිලි තුඩුවලින් ද නවාගත් කොඳු වලින්ද බොහෝ වෙලාවක් තිස්සේ කෘතිම ශ්වසනය දෙමින්  පැමිණි අප දෙදෙනාට විවේකය දෙමිනි.

ස්කෑන් එක සඳහා වෙලාව පැමිනි විට එය කරගන්න දරුවා සහිත ට්‍රොලිය ගෙන ගියේ ආවේද අප ය. මේ සියල්ල් කර හමාර වන විට සවස තුන පමණ විය. දැඩි සත්කාර ඒකකයක වහා ඇඩ්මිට් කළ යුතු එම දරුවා සඳහා දැඩි සත්කාර ඒකකය ඇමතුවේද අනවශ්‍ය ලෙස අප සමග සීටී සඳහා මෙහි එවා රස්තියාදු කිරීම ගැන දොස් කියා එම රෝහලේ හදිසි අනතුරු අංශය ඇමතුවේද විශේෂඥ වෛද්‍යවරයා විසිනි. සී ටී ස්කෑන් එකක අවශ්‍යතාවය තිබුනේ එම දරුවාගේ මොළයට යම් හානියක් සිදුවීද බැලීමට ය. 

සවස හතරහමාර පමන වන විට අපි දරුවා දැඩි සත්කාරකයට ඇතුල් කළ පසු අප නිදහස් වූ පසු දැඩි කුසගින්නක් දැනිනි.රෝහලේ කැන්ටිමේ කෑම නොතිබිනි. සිසිල් බීම බෝතල් පමණක් තිබුනෙන් අපි එයින් කුස ගිහින් නිවාගෙන නැවත අප රෝහල වෙත ළඟා වීමු
ඒ අම්මා සමග පසුව කතා බස් කරන්නට හැකි වූයෙන් ගෙදර සිදුවූ අලකලංචි ආරංචි විය. රෝහල් හදිසි අනතුරු ඒකකයේ වීදුරු බිඳගෙන රන්ඩු ඇල්ලුවේ තාත්තා සහ ලොකු මාමා ලු. ලොකු මාමාට දරුවන් නැති ලු. "දරුවා හරියට බලාගන්න බැරි නම් මරාගන්නෙ නැතුව මට දියන් " කියා කීවාලු.

මේ මව කියන්නේ. .. දරුවා වෙනදාටත් තනියම වත්තේ සෙල්ලම් කරන බවත් එනිසා විශේෂයෙන් සොයා නොබැලූ බවත් ය.
කුඩා දරුවන් ගැන ඇස ගසාගෙන සිටින්නට වැඩිහිටියන් වග බලා ගත යුතුයි. අනතුරු සිදුවෙන්න ගත වෙන්නේ ඇහි පිල්ලමක් ගසන ප්‍රමාදය බව මම දනිමි.

අක්කාගේ මොන්ටිසෝරියේ කොන්සර්ට් එක බලන්න ගිය අම්මා සහ අවුරුදු එකයි මාස 6 ක පමණ දරුවා මව අනික් දරුවාට වතුර දෙන අතර ඇවිද ගොස් අසල තිබූ බිත්ති පේන්ට් කරන්න එම ශාලාවෙහි බිම තිබූ භූමිතෙල් පිරවූ බෝතලයක් කටේ තබාගෙන බී අප වෙත රැගෙන ආවේ එම මොන්ටිසෝරියේම ගුරුවරිය සහ මව ය. භූමිතෙල් ගඳ මට රොහල් වාට්ටුවේ එහා කොනටම දැනිනි. හොඳ වෙලාවට දරුවාට කිසිඳු අතුරු ආබාධයක් ඇති නොවිනි.

භූමිතෙල් වල පාට නිසාත් දමා ඇති බොතල් බොහෝ විට දරුවන්ට අත පොවන මානේ තබන නිසාත් එවැනි අනතුරු නිසා රෝහල් ගත වන දරුවන් ගණන මෙතැකැයි කිව නොහැක. සමහර දරුවන් අම්මලා ආච්චිලාගේ බෙහෙත් පෙති ගිල දමා පැමිණේ.

මෙලෙස දියේ ගිලී පැමිණෙන දරුවන්ගෙන් ආන්තරාවක් නැතිව සුවපත් වෙන්නේ නම් එය මහත් ආශ්චර්යයකි. මන්ද මොළයට සිදුවන ඔක්සිජන් සැපයුම අඩු වීම මගින් අතුරු ආබාධ රැසක් පසුවට ඇති වෙන්නට හැකි හෙයිනි.

අපි එදා බේරාගත් දරු පැටියා දින විස්සක් පමණ දැඩි සත්කාර ඒකකයේ ගත කර තව සතියක් දෙකක් පමන රොහල් වාට්ටුවේ හිඳ කිසිඳු අතුරු ආබාධයක් නැතිව ගෙදර ගියාය. ඇයත් ඇගේ ආච්චි හෝ අම්මා මසකට වරක් හෝ දෙකක් රොහලට කුමන හේතුවක් නිසා පැමිණියද අප බලා යන්නට පැමිණේ... ඇයට ළිඳේ බබා.. යනුවෙන් අනවර්ථ නමක් ද පට බැඳ තිබුනේ ඇගේ නෑයින් විසිනි.

18 comments:

  1. ඇත්ත අක්කේ... එක තත්පරය නොසැලකිල්ල මුලු ජීවිතේටම බලපැමක් කරන්න තරම් බලවත් වෙන්න පුලුවන්...

    ඔයා කරන්නේ විශිෂ්ඨ සේවයක් අක්කේ.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගී... ඒක තමා ඒක ජීවිත ය සහ මරණය වෙන් කරන තත්පර කිහිපය..

      Delete
  2. යම් අනතුරක් උනාම ගොඩක් අය නිකරුනේ කලබල ඇති කර ගන්නවා.සමහරවිට ඒ අනතුර නිසා ඇතිවෙන පීඩනය හින්දා වෙන්නත් ඇති එහෙම කලබලකරගන්නේ.
    රෝහලකින් රෝහලකට රෝගින් මාරු කිරීමත් සෙල්ලම් වැඩක් නොවෙන හැඩයි."ළිඳේ බබා" හොඳින් ඉන්න එක ලොකු සතුටක් අපිටත් ඇති කළා.

    ReplyDelete
    Replies
    1. ඒක තමා නමුත් බහුතරය නොදැනීම නිසා කලබල වෙනවා. උණ සමග එන වලිප්පුව ගැන උනත් එහෙමයි.

      Delete
  3. සතුටුයි ඔබගේ සේවය ගැන...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙහි පැමිණීම ගැන

      Delete
  4. අන්තිම ටික කියවනකල් හිත තිබ්බෙ තිගැස්මෙන්.....දෙයියන්ට නෙවේ ඔයාලට පින්සිදු වෙන්න දරුවා එහෙම බේරුන එක ගැන අප්‍රමාන සතුටක් හිතට ආවා.....වැදගත් ම අවවාදයන් මේවා දෙමවුපියන්ට

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බොහෝ දරුවන් බේරෙන්නේ ප්‍රාතිහාර්යයකින් වගේ

      Delete
  5. පොත් දාස් ගානක් ලියන්න බැරිය මේ අත්දැකීම් වලින්...

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් කොච්චර ද ? ලියන්න වෙලාව ? හරිම අඩුයි !

      Delete
  6. නිසංසල අරණක ඉඳන් කියවද්දි මේ ඔබ හැම ජීවයක් ගැනම දැනෙන්නේ අනුකම්පාවක්..

    ReplyDelete
    Replies
    1. මටනම් අපි ගැන දුකයි !

      Delete
    2. ඇත්තෙන්ම දුකයි අනිත් කොන..එයම තමයි මා කියා ඇත්තෙත්...

      Delete
  7. අපි එදා බේරාගත් දරු පැටියා දින විස්සක් පමණ දැඩි සත්කාර ඒකකයේ ගත කර තව සතියක් දෙකක් පමන රොහල් වාට්ටුවේ හිඳ කිසිඳු අතුරු ආබාධයක් නැතිව ගෙදර ගියාය. ////// Thanks for your efforts

    ReplyDelete
    Replies
    1. ඒක ප්‍රාතිහාර් යයක් වගේ ... එච්චරට අමාරු වුන බබෙක් !

      Delete
  8. දරුවන්ගේ ජීවිතය බේරා ගන්නට ඔබ වැනි වෛද්‍යවරුන්/වරියන් කරන සේවය බොහෝ අගය කොට සලකනවා!

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !