Tuesday, November 3, 2015

ලෙඩ වෙලා බලන්න, ඔයාට එපා වෙන්නේ නැද්ද කියලා

මා ශිෂ්‍ය අවධියේ සිටියදී සටහන් කළ ජීවිත සටහන් අතරෙන් මේ කතාව සොයා ගතිමි...

මානව චින්තනයේ වර්ධනය හරියාකාරව සිදු නොවීම නිසා අද වෙන කොට ලොව බොහෝ සෙයින් වෙනස් වී ඇත. සැනසිය යුතු තැන්හි වැනසීමටත්, කරුණා පෙරදැරි කොටගැන්මට අවැසි තැන්හි කෝප ගිනි ඇවිලීමටත්, නිකරුණේ අනුන් සැක කිරීමටත් එකිනෙකා කෙරෙහි නොනිම් වෛරයෙන් පසු වීමටත් සිදුවී ඇත. දවසකට, නොසෑහෙන තරම් විවිද වූ චරිත හා ගැටෙන්නට සිදු වන විට, අර පරෙස්සමෙන් කටයුතු කිරීම බොහෝ වටින බව නිරන්තරයෙන් මතකයේ තබා ගන්නා කරුණක්. එක වචනෙකින්, දාහක් ගිනි ඇවිලෙන්න පුළුවන්, බොහෝ සිත් රිදෙන්න පුළුවන්. ඒත් බොහෝ පිරිස් සතුටට සැනසීමට පත්කරන්න යාමේදී අන්තිමේදී සිදුවෙන්නේ අපේ හිත් දුක්බර වීමයි.

මම මේ ලියන කතා පුවත වැනි දස දහසක් කතා මා අධ්‍යයන ජීවිතය පුරාවට අසා ඇත්තෙමි සටහන් කර ඇත්තෙමි. ඒ හැම ජීවිතකයම දුකක් වේදනාවක් සටහන් වී ඇත. ඒ මතින් ඇතිවන දුක් කන්ද විශාල කර පෙන්වීමට මට උවමනාවක් නෑ ඒ මා මෙන්ම ඔබ සියල්ලන්ද අනේක දුක් දෝමනස්සයන් කරපින්නාගෙන සිටින නිසාවෙනි.


ඇය මට හමුවුනේ අහම්බෙන්, බිත්තිය අල්ලාගෙන වැසිකිළිය වෙත ගොස් නැවත යන ගමන් වැටෙන්නට යද්දී ඇගේ දුබල වත වත්තම් කරගත් මම "ඔබට කොහොමද ?" කියා ඇසුවා.

" ඒක අහන්නත් ප්‍රශ්නයක්ද? මම හොඳින්නම් මෙහෙ ඉන්නේ නෑනේ ?" ඇය නුරුස්සනා බැල්මෙන් පිළිතුරු දුන්නා.

මේ ප්‍රශ්නය නැවත නොඇසිය යුතු ප්‍රශ්ණයක් ලෙස මම හිතේ සනිටුහන් කර ගත්තා.

" දන්නවද ? මගේ වයස 23 "ඇය බිම බලාගෙන පවසද්දි මටත් වඩා ලාබාල ඇගේ මුහුණ දෙස මම බලා සිටියා. කෙට්ටු , කේඬෑරු චැහැරුනු ගතින් ඈ නැවත මවෙතට ඇගේ අත දිගු කලා. නාඩි බලන්න ඕනෙද ? "

"නෑ මම ඔබත් එක්ක කතා කරන්නම්. " මම ඈ අසලින් හිඳ ගත්තා.

" මම පොඩි කාලෙ ඉඳන් දියවැඩියා රෝගයෙන් පෙළෙනවා. නිතර බෙහෙත් විදින්න ඕනා, කෑම පාලනය කරන්න ඕනෑ. මට මාවම වදයක් වෙලා. මම අනිත් හැමෝටම වදයක් ඒක මම දන්නවා. ඒ නිසයි මම ආහාර නොගෙන සිටියේ.සිහිසුන් වෙලා ඉන්දෙද්දී, ආයෙත් ගෙදර අය මෙහෙ නැවැත්තුවා. මීට වසරකට පෙර මම බෙහෙත් වැඩිපුර ගත්තා. ඒත් මම මැරුනේ නෑ. ගෙදර අය ඇම්බියුලන්ස් එකට කතා කර මාව ඉස්පිරිතාලේ නැවැත්තුවා."

"ජීවිතෙන් පලා යන එක ප්‍රශ්න වලට විසඳුම නෙමෙයි" මම නැවත කියුවෙමි.

"ගෙදර හැමෝටම මම වදයක්. එයාලට මාව බරක්. මට රස්සාවක් නෑ. ලෙඩ නිසා රස්සාවක් දෙන්නේ නෑ.මම කෙට්ටුයි, මම කැතයි. මගේ හම රැලි වැටිලා මට කවුරුත් ආදරය කරන්නේ නෑ"

ඇගේ සෙසු සොයුරි සොයුරියන්ගේ සාර්ථක ජීවිත ගැන ඈ මා සමග දොඩයි. තම පවුලේ අය, තමන් කිසිම වැඩකට නැති කෙනෙක් බව නිතර කියන බව ඇය කියයි. කොහේ හෝ ලොකු වැරදීමක් වෙලා ඇති බව මට වැටහෙයි, දියවැඩියාව කියනෙනෙ පාලනය කර හැකි රෝගී තත්වයක්. මේ රෝගය පොඩි කාලේ ඉඳන් තිබුනත්, නිසි පාලනයක් මගින් සාර්ථකව ජීවිතයට මුහුණ දෙන්න හැකි බවත්, සාමාන්‍ය ජීවිතයක් ගෙවීමට ඇයට ඇති හැකියාවත් , මිනිස් ජීවිතයක තිබෙන වටිනාකමත් මම ඇයට පසක් කර දුනිමි.

"ලෙඩ වෙලා බලන්න, ඔයාට එපා වෙන්නේ නැද්ද කියලා "

" ආදරය කරන කෙනෙක් නැතිකොට බලන්න කොහොමද ජීවිතේ දැනෙන්නේ කියලා"

"ජීවිතේට කරන්න බැරි දේවල් දැක්කම , අනිත් අය ඒවා හිමි කරගෙන ඇති බව දැක්කම, බලන්න ඔයාට දුක හිතෙන්නේ නැද්ද කියලා"

ඇය මට අභියෝග කරයි.

කොයි තරම් උපදෙස් දුන්නත්, හිත් හයිය කරන්න,ඇත්තටම ඒ ප්‍රශ්ණය අපේ කරගෙන බැලුවොත්, තත්‍ය ස්වභාවයට ගිහින් බැලුවොත් , ඒ උපදෙස් වලින් වැඩක් තියේද?

මෙලොව ඇති සෑම ජීවිතයකින්ම පලක් තියෙනවා. ඇය මේ ලොවට අවශ්‍ය කෙනෙක් බව ඇයට වටහා දිය යුතුමයි. ඒ සඳහා, නිසි මනෝ වෛද්‍ය උපකාර අවශ්‍යයි. නමුත් අවුරුදු 10 ක් පමණ රෝගී බවින් පීඩා විදින ඈ යථා මනෝ ස්වභාවයකට ගැනීමට දිගු කලක් යන බව මනෝ වෛද්‍යවරියගේ අදහසයි.

දිගින් දිගටම රෝගීන්ගේ ප්‍රශ්න පිළිබඳව විමසද්දී, කතාබහ කරද්දී එක් ජේෂ්ඨ වෛද්‍යාචාර්‍යතුමෙක් මට දවසක් මෙසේ පැවසුවා.
"අපට කිසිවෙක් 100%( සියයට සීයක්) සුව කරන්න බෑ. ඒකට වෙහෙසෙන්න, ඒත් ඒක එහෙම කරන්න බෑ . සම්පූර්ණ මානසිකමය සහ භෞතිකමය සුවයක් අපට ගොඩනගන්න බෑ. . we cant cure them 100%!"
"But we can try ! අපට උත්සහ කරන්න පුළුවන්"

Wednesday, October 14, 2015

කල්ස් වර්ල්ඩ් දුටු අනිත් කොන

කල්ස් වර්ල්ඩ් .. ලියන කල්ස් දුටු අනිත් කොන http://kalssworld.blogspot.com/2015/08/blog-post.html

බෝධිනී සමග අනිත් කොන ගියෙමි....

A9 පාර දිගේ ගිලන් රථයක නැගීගියෙමි
ලෙඩුන් පිරුනු කොරිඩෝ දිගට
දිග ක්ලිනික් පොලිම් පසු කරමින් ගියෙමි
පැය ගනන් සිට ගෙන සිට කලන්තය හැදී වැටෙන මිනිසුන් පසු කොට ගියෙමි
ශෙල් වෙඩි කැබලි ඔලුවෙ සිරවු අම්මා කෙනෙක් ෆිට් එක සෑදී වෙව්ලමින් සිටියාය
යුද්ධයේ තවත් එක ශුද්‍ර අතුරුඵලයක් වූ සිහි විකල් රණ විරුවා ගී ගයමින් මා හා සිනාසුනේය
ළමා සොල්දාදුවෙක් වී ළමා විය අහිමි වූ ගීතාද තනිව හිනැහෙමින් එම වාට්ටුවේම තනි වී සිටියාය
වකුගඩුවක් බද්ධ කරන්නට කාසි නැති නාගම්මා අත වනන මරුවා දෙස හිස් දෑසින් බලා සිටියාය
මොහොතකට පෙර උපන් බිලිදා ඇද තනි කර සීසර් කල අම්මා එකම ඇදුම සොදමින් සිටියාය
අවසන
කිසිවක් කරකියා ගත නොහැකිව
මා හුන් තැනම නැවතී සිටි අතර,
සිනහ මුහුනින්, සුපුරුදු කඩිසර ගමනින්
බොධිනී ඉදිරියට යනු
බොද වූ දෑසින් මා
බලා සිටියෙමි

මා අවට ඉතිරි වූයේ හිස් කලුවර පමනි!
 
 

Thursday, September 24, 2015

හැමවිටම දුක්බර නොවේ !

"ඩොක්ටර් මට හොඳට සිංහල පුළුවන්" සත් මස් හැවිරිදි ගැබිනි මව ඉතා පැහැදිලි සිංහලෙන් කියද්දිත් මා විශේෂ පුදුමයක් , සතුටක් හෝ ප්රතිචාරයක් දැක්වූයේ නෑ. එහෙම කියද්දී මගෙන් ඈ එවැන්නක් බලාපොරොත්තු වූ වගක් මට හොඳටම තේරුනත්, නෑ මම "ආ" යනුවෙන් සඳහන් කොට ඊළඟ ප්‍රශ්නය ඇසුවා. ඒත් දෙමලෙන්...

 "ඩොක්ටර්ට පුදුම නැද්ද මං සිංහල කතා කරන එක... කඳවුරේදී මම ආමි එකට උදව් කලා දෙමළ සිංහල දෙකම මට පුළුවන් නිසා, මිනිස්සුන්ව ලියා පදිංචි කරද්දි, ඒ ඔෆිස් වලදි" ඇය නැවත පැවසුවේ ඇය ට විශේෂ සැලකිලි උවමනාවෙන්දැයි මට සිතුනා.

අපට සායන වලට එන සියල්ලන්ම එකය.  ඇයට ප්‍රතිචාර දැක්වීමෙන් අවට සිටින අනිත් මව්වරුන්ට ඇය කෙරෙහි අප විශේෂිත වේයැයි සිතෙන නිසා අපි එලෙස එවැනි දෑ වලට ප්‍රතිචාර නොදක්වමු.  ඇය මාගෙන් ප්‍රශ්න කරන්නේ පැහැදිලි සිංහලෙනි.

 "ආ ගොඩක් හොඳයි. අපිට සිංහලෙන් කතාකරන්න පුළුවන් වේවි. " එදින සායනය අවසන් වූ පසු ඈ පිටව ගියාය.

ඉන්පසු නැවත ඈ මුණ ගැසෙන්නේ දරුවා ලැබීමට රෝහල්ගත වූ පසුය.
"ඩොක්ටර් මතකද මාව" ඇය සිනා මුසු මුහුණින් ප්‍රශ්න කරයි.

"මොකද අමතක " මා කියද්දී ඇත්තටම සුරූපී ඇය ගේ මුහුණ තවත් විකසිත විය.

ඇතුලත් වීමේදී පිරවිය යුතු ඇඳ ඉහපත් සටහන් සියල්ල පුරවා, පරීක්ෂා කර අවසානයේ ඇයට ඇඳක් ලබා දුනිමු. ඉන්පසු රාත්රී වාට්ටුව බැලීමට පැමින සායන වටය අවසානයේ අප විශේෂඥ වෛද්‍යවරයා නික්ම ගිය පසු ඈ නැවත අප මේසය තිබුනු කොටසට පැමිණියා.

 "ඩොක්ටර් මේ..... මම ඩොක්ටර්ට පෙන්වන්න ගෙනාවා" ඇය මා වෙත පැමින ඇය අතේ තිබුනු බ්‍රවුන් පේපර් බෑග් එකකින් යමක් එළියට අදිමින් පැවසීය.

"මගේ ෆොටෝ" එය තුලින් ගත් ඇල්බමයක් මට දික් කළාය.

"මගෙ කතාව ඩොක්ටර්ට කියන්න ඕනේ" ඇය අසල තිබුනු ප්ලාස්ටික් පුටුව ඇද ගත්තාය.

පැහැදිලි සිංහල කතා කරන ඈ මා අසලට විත් ඇගේ කතාව බෙදාගන්නට හදයි. කතා අහන්නට කැමති මා ඇය වෙනුවෙන් තව කාලයක් වාට්ටුවේම රැඳුනෙමි.

" මේ මගේ ලොකු බබා, මේ එයාගේ ඉපදුනු කාලේ ගත්තු ෆොටෝ. මගේ ගම මෙහේ, ඒ කාලේ මෙහෙ නිදහස් නෑ.... මේ මගේ කලින් මහත්තයා. එයා දැන් නැහැ , එයා ත්‍රස්තවාදී සංවිධානෙට බැඳිලා හිටියේ. එයා මැරුණු බවක් තමයි දැන ගත්තේ. "

ඇය පෙන්වන ෆොටෝ වල සිටින අයවලුන් පෙන්ව පෙන්වා පවසයි.

"අපි පුදුම දුකක් වින්දේ ඩොක්ටර්.... එයා නැති වුනාට පස්සෙ මමයි පුතයි අනාථ වුනා. අන්තිම යුද්ධෙන් පස්සෙ අපි හිටියේ කඳවුරේ. මට සිංහල පුළුවන් මං ඉගෙන ගත්තේ කොළඹ, මට ලියන්නත් පුළුවන් එනිසා මාව කඳවුරේ ඔෆිස් වැඩට ගත්තා. " ඇයගේ දක්ෂකම් ගැන ඇය පවසයි.  ඇය ඔෆිස් වැඩ යනුවෙන් සඳහන් කරන්නේ, ලියාපදිංචි කිරීම්, ගණනය කිරීම් විය යුතුය. ඒ සඳහා භාෂා පරිවථකලාගේ සහාය අවශ්‍ය වනු ඇත.

"ඩොක්ටර් දන්නවද කඳවුරේ කොයි තරම් බිසී ද කියලා" ඇය කඳවුරු ජීවිතය ගැන පවසයි.

"මාත් ඇවිත් තියෙනවා සායන වලට" මම ද ඒ අතීතය සිහිපත් කරමින් පැවසුවෙමි.

එකළ කිලෝමීටර ගණනාවක් ගෙවාගෙන අපි කඳවුරු පරිශ්‍රයට යෑම් ඊම් කළෙමු. මානසික වෛද්‍ය ඒකකයේ සිටි එකම සිංහල වෛද්‍යවරිය නිසා ඒ ගමන් බිමන් වලදී මට වාහනයේ ඉදිරිපස අසුන හිමි විය. එය ගමන බිමනට වඩා පහසු විය. මුර කපොළු වඩා සුහද විය. කඳවුරක් කීවද,  එය කුඩා ගම්මානයක් මෙනි. දරුවන්ට පාසැල් පැවැත්විනි. ලෙඩ දුකට සායන, රෝහල් පැවැතිනි.

"කඳවුරේදි මගේ දැන් හස්බන්ඩ් හම්බුනේ. එයා දකුණේ, එයා ආමි එකේ. එයා හරිම හොඳයි " ඇය පවසද්දී සිතුවිලි ගණනාවක් මගේ හිත තුල සක්මන් කරන්නට විනි.

පලමු දරුවාගේ තාත්තා ත්‍රස්තවාදියෙකි. දෙවන දරුවාගේ තාත්තා සොල්දාදුවෙකි, දරුවා ලැබුනු පසු ඇය පිටවී ගියේ, මේ කතාව මෙලෙස ලියන්නටද කියා ඇසූ මට "අනේ ලියන්න" යැයි පවසමිනි.  ඉන්පසු ඇය නැවත මුණ ගැසුනේ කැන්ටිමේ දීය. මා දැක මසක් පමණ වුනු දරුවාද රැගෙන තවත් අවුරුදු 5 ක පමණ දරුවෙක් අතින් අල්ලාගෙන මා අසලට දිව විත්.

"මේ ඉන්නේ ලොකු පුතා, මේ ඩොක්ටර්... මේ බබාට මාසයක්... දැන් ක්ලිනික් ආවා"  සිනහා මුහුණින් පැවසුවාය. එහෙ මෙහෙ දුවන ඇගේ පළමු දරුවා හුරුබුහුටිය.
බිස්කට් චොකලට් රැසක් ගෙන ඔහුට දුන්විට ඒ කුඩා මුහුණ ආලෝකමත් විය.

"තැන්කූ" ඔහු පැවසුවේය.

"මම ඉගැන්නුවේ බබාට ඉංග්‍රීසි සිංහල" ඇය පැවසුවා ය.

"මහත්තයා ඇවිත් ගියා. එයා වැඩ , කොළඹ, එන මාසේ අපිව එහෙ එක්ක යන්න එනවා කීවා " ඇය මා දෙස බලාගෙන කියවයි. අතේ සිටින දරු පැටියා, මවට තුරුල් වී සිටී.

" ආයේ ආවම ඩොක්ටර් බලන්න එන්නම් " ඇය එසේ කියා පිටවී ගියා ය. නමුත් ඉන්පසු කිසි දිනක මට ඇය හමු නොවී ය. යුද්ධයේ අතුරු කතාන්දර හැම විටම දුක්බර නොවේ යැයි මට සිතේ.

Wednesday, August 26, 2015

හුස්ම ගන්න අකුරු ...with Ra.Ku.Sa


අවුරුදු 8 පාවිච්චි කරපු ලැප්ටොප් එකත් කැඩිලා ලිවීම ඇණ හිට තිබුනත් ෆෝන් ඇප් එකක් මගින් මෙසේ ලියන්නෙ හුස්ම ගන්න අකුරු වලට ඔක්සිජන් සපයන ඒ සොදුරු සහොදරකම වෙනුවෙන් නෑවිදින් කොහොමද .... 


මගේ පොත ගැන ඔහු ලියූ සංවේදී සටහන මා බ්ලොග් ලිපියක පළ කරන්නේ ඒ සහෝදර ලෙංගතුකමට උපහාරයක් ලෙසය... හුස්ම ගන්න අකුරු අප හිත් සසල කරනවාට පුදුමයක් නැත!

හැන්දෑවේ බේස්ලයින් වලින් සෙනඟ පිරුන කෝච්චියට නැගලා මහරගමට යන ටිකට මම 'අනිත්කොන' කියවා හමාර කළා.ඒ අතරේ කීප විටක්ම ඇස් තෙතබර කිරීමේ 'සොඳුරු දඬුවම'ඇය මවෙත උදාකොට දී තිබුණා.පොත එලිදැක්වීම මගහැරීමේ වරදට එම දඬුවම දුන්නාදැයි මට නොසිතුනාම නෙවේ.
ආශ්චර්්යයමත් රටක් හැදීමේ 'ප්රොජෙක්ට්'එකකින් හිරිවැටුන අපි මේ පුංචි රටේ මොනතරම් ඛේදනීය පරතරයක ජීවත් වෙනවාද?වකුගඩු නරක්වීමත් ඇස් පනාපිට මරණයේ සේයාව පෙනීමත් ඒ අතරේ ජීවත්වීමත්,දුප්පත්කමේ චණ්ඩ තාපයෙන් එක් කොනක් දැවෙන සේයාවත් ඇය 'ඇස් අසනීප'වෙන විදිහට ලියනවා.
ගුරුවරයෙක් අකුරු උගන්වන්නෙක් විතරක් නෙවේ......ගොවියෙක් කුඹුරු කොටන්නෙක් විතරක් නෙවේ,සොල්දාදුවෙක් ගිණිබිඳින්නෙක් විතරක් නෙවේ,වෛද්යවරායක් ශරීර ලෙඩට බෙහෙත් දෙන්නෙක් විතරක් නෙවේ කියලා ඔප්පු වෙන්න Bodhini අක්කා ලියපු මේ අසිරිමත් පොත් දෙක කියවන්නම ඕනා..."  රන්ජිත් කුමාර සමරකෝන් 

එපමනක් නොවෙ එවකට ගැබිනියක වුනු මා වෙහෙස නොකර දුරකථනය ඔස්සේ කතා කොට මගේ සම්මුඛ සාකච්ජාවකුත් ගෙන ලක්බිම පුවත්පතේ පල කරා කිසිදා නොදුටු අමුත්තෙක් වුනු මට ඒ දුන් සහය අනූපමේයයි... 

Tuesday, May 12, 2015

DNR වීම.

රෝග දුක් රජයනා පුරවර - මොටද සැනසුම් සුසුම් හරි බර...

රෝහල්වල ලු දකින්න පුළුවන් හදවතින්ම කෙරෙන යාඥා ... අහිමි වීම් ගැන ඒ තරම් දැනුනු තැනක් තවත් නම් නැතුව ඇති... මරණය හමුවේ සටන් වදින , ඇතැම් විට දිනන ඇතැම් විට පරදින ඇතැම් විට සටන අත් හර දමන්නට සිදුවන, DNR - Do not resuscitate ලේබලය සහිත ඇඳ ඉහපත් නිසා පණ අදින ලෙඩුන් බල බලා මරණයට දිනන්නට ඉඩ දී බලාගෙන ඉන්න වීම. මේ සියල්ලම අපේ ජීවිතේ කොටසක් වගේ... අප රෝහල් වල, රෝගියා හෝ ඥාතීන් විසින් විශේෂඥ වෛද්‍යවරයා දැනුවත් කර, අසාධ්‍ය වුනොතින් දිගින් දිගටම, පණ ගන්වන ක්‍රියාවලියේ යෙදෙන්නට එපා යැයි හෙවත්  do not resuscitate කියා ඉල්ලා තිබුනොතින් එවැන්නන්... අසාධ්‍ය වූ විට අපට ඔවුන්ට සැනසිල්ලේ ඒ ගමන යන තෙක් බලා ඉනන්ට සිදුවේ. බොහෝ විට මේ ලෙස ඉල්ලන්නේ දිගු කාලයක් රෝගාබාද වලින් දුක් විඳි පිරිසයි. ඇතැම් විට රෝගාබාද සමග බොහෝ මහළු වයසේ සිටින අයද, ඔවුන්ගේ ඥාතීන් දුවා දරුවන් මෙවැනි ඉල්ලීම් කරනවා. එහි තීරණය විශේෂඥ වෛද්‍යවරයා අතේ ය.

මධ්‍යම රාත්‍රී දොළහ පසුවෙද්දීම රාත්‍රී සේවයේ යෙදී සිටින මා වෙත දුරකථන ඇමතුමක් ලැබුනේ පැයක පමණ කෙටි නින්ද හමාර කරමින්. රාත්‍රී සේවයේ නියුතු වෛද්‍යවරයා සිටිය යුත්තේ වාට්ටුවේ වෛද්‍ය විවේක කාමරයේ ය.

"ඩොක්ටර් අර බෙඩ් 2 එකේ රුක්මනී පේෂන්ට් ගේ සැචුරේෂන් ඩ්‍රොප් වෙනවා, එයාගේ දුව කලබල වෙලා ඩොක්ටර්ට එන්න කියන්නලු... ඒත් ඩොක්ටර් ඩී එන් ආර් නිසා අපි මොකද කරන්නේ. තව වෙලා තියෙනවා. " හෙදිය පවසයි.

රුක්මනී (අනවර්ථ නමකි) හැත්තෑ වියේ පසු වේ. හෘද රෝග මෙන්ම වකුගඩු රෝගයෙන්ද දැඩි ලෙස පීඩා විඳ දැන් අවසාන අදියරේ සිටින්නියකි. වකුගඩු දෙකම අක්‍රිය වී ඇත. සෑම රෝහල්ගතවීමකදීම ඇයගේ දරුවන් බොහෝමයක් පැමිණ යයි. බොහෝ කල් දුක් විඳි ඇයගේ පැතුම වූයේ, නැවත පණ ගන්වන්නේ නැතිව මියැදෙන්නයි. ඒ බව සෑම රෝහල් ගතවීමකදීම අප වෙත දැනුම් දෙයි. ඇගේ දරුවන්ගේ පැතුම ද දුක් නොවිඳ මව ට සැපවත් මරණයක් අත් වීමය.

ඇය දින දෙකක් තිස්සේ සිටින්නේ සිහියක් නොමැතිවය. ඇස් ඇර බලන්නේද නැත. මූත්‍රා පිටවෙන්නේ නැත. රුධිරයේ අහිතකර එන්සයිම වල අගයන් විශාල ලෙස ඉහළ ගොස් තිබේ. බෙහෙත් කිසිවකට දැන් කළ හැක්කක් නොමැති වී ඇත. ඇය දුර්වල හදවතින්, හුස්ම ගන්නට බැරි තරම් දුබල පෙනහළු වලින් අවසන් හුස්ම හෙලයි. තම මවගේ අවසාන මොහොතේ ළඟ සිටින දියණිය හඬා වැලපේ. ඇය සම්බන්ධ කර ඇති මොනිටර් වල තිර මත කෙමෙන් වියැකෙන හර්ද ස්පන්දනයද, හුස්ම ගැනීමද නිසල වුන විට , මරණය සිදුවූ වෙලාව ලියා තැබීමට සිදුවේ. එතෙක් කිසිවක් කළ නොහැක.

පාන්දර 2 පසුවෙද්දී ඇගේ ජීවිත සටන නිමා විය. පරීක්ෂා කිරීම  අතරතුර මතක් වෙන්නේ මද සිනහවෙන් අපේ කරදරකාරී පරීක්ෂා කිරීම් ගැන විහිළු කරන ඇයගේ මුහුණයි. අත්තම්මා කෙනෙක් සේ අපට සමීපව සිටි අයෙකි. නිතර වාට්ටුවට ආ අයෙකි. මගේ දෑසට කඳුළු නැගෙන්නේ පෘතග්ජන නිසාවෙනි. සටහන් කිරීම ෆෝම් පිරවීම, මරණ සහතිකය පිරවීම යන මේවා හමාර කර නැවත විවේක කාමරය වෙත එද්දී කොරිඩෝව දිගට අද්දමින් ඇවිදින පා හඬක් මතුවේ. කොරිඩෝවේ කිසිවෙකුත් නැත. මා පමණි. නිදිවරා සිටින නිසා වෙන් දැයි සිතමින් යද්දී නැවත මා පිටුපසින් එම හඬ පැමිණේ. හිත ගැස්සෙයි.

වාට්ටුවේ සුළු සේවකයන්, ඇටෙන්ඩන්ලා කියන හොල්මන් කතා සිහිවේ. හවස 6න් පසු ඔවුන් කොහේ යතත් යන්නේ තවකෙකු සමගය. ලේ පරීක්ෂා කිරීමට යැවූ සාම්පල සමග ගිය කෙනෙකු සිහි විසඥ වූ අයුරුත්, තල්ලු කල, ඇඳෙන් බිමට ඇද දැමූ කතාත් එමටය. ඒ සියල්ල දැන් සිහිවේ.  ආ වේගයෙන්ම නැවත වාට්ටුව වෙත ගිය මට දකින්න ලැබෙන්නේ තිරයකින් වසා ඇති ඇගේ ඇඳ පිහිටි තැනයි.

 "ඇයි ඩොක්ටර්" හෙදිය කලබල වේ.
"නෑ නිකම් "  මගේ කතා හමුවේ ඔවුන් කලබල කරන්නේ කුමටද ?

 පාන්දර 3 පසුවී ඇත. එළිමහන් පාරෙන් රෝහල් බුදු මැදුරට ගියෙමි. නිරාවරණව ගල් කණු සතරක් අතර මැදි කර සමාධියෙන් වැඩ සිටි බුදු පිළිමය හිත නිවා සනසයි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගි වෙත්වා. මෙත් වැඩුවෙමි. මළගිය ඇත්තන්ට පින් දුන්නෙමි... නැවත නේවාසිකාගාරයට ගියෙමි. පසුව මා අතින් මෙසේ ලියැවෙයි.

ගව් ගනන් දුව ඇවිද හෙලූ දහඩිය බෝම
නැවතිලා ජීවිතය අතරමග නොකියාම
ඉනූ කඳුලැලි නිමක් දකින්නට නැත තාම
අවසාන හුස්ම පොද අතැර යන්නේ කොහොම

Tuesday, May 5, 2015

මේ බෙහෙත නැද්ද ?

ඉස්පිරිතාලය එකම දුක් ගොඩකි. ඔවුන්ගේ රෝගාබාද වලට පිළියම් සොයා පැමිණි ගමන් , විඳින දුක් කරදර අප හා පවසති. ඒවා ඇහුම්කන් දෙනවා මිසක සියල්ලන්ටම පිළිසරණක් වන්නට අපට නොහැකිය. ඒ අප පත්ව ඇති තත්වය නිසාය. ලෙඩක් දුකක් වුන වහා රජයේ රෝහල් වලින් නොමිලේ වෙදකම සැපයූවත් බෙහෙත් හේත් අහේනිය නිසා ෆාමසියෙන් මිලදී ගන්න යැයි තුන්ඩු ලැබෙන විට ඔවුන් පත් වෙන්නේ බොහෝ අසීරු තත්වයකටය. දිනක් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ෆාමසියකින් බෙහෙතක් ලබා ගැනීමට ගිය එක්‍තරා වෛද්‍යවරියකට එහි කවුන්ටරය වෙත තුන්ඩුවක් දිගු කරමින් සිටි සීයා කෙනෙක් හා ඖෂධ වේදියා අතර වූ කතා බහ ඇසෙන්න්ට විය.

“මා ළඟ එච්චර ගාණක් නෑ. රුපියල් සීයකට හරියන්න දෙන්න” සීයා පවසයි.

“ මේ එක කරලක් රුපියල් 23ක් වෙනවා, දවස් 5 කට ලියලා තියෙන්නේ හැබැයි එස් පී සී එකේ එක නම් රුපියල් 3.25 යි ඒක දෙන්නම්”

“නෑ ඔය නමම තියෙන බෙහෙතම ගන්න කීවා” සීයා පවසයි.

වෛද්‍යවරිය හඳුනන ඖෂධ වේදියා ඇය දෙසට හැරී. “ ඩොක්ටර් මේ බෙහෙත් දෙකේ වෙනසක් නෑනේ..” ඇයට තුන්ඩුව පෙන්වයි.

“ මම දියවැඩියා ක්ලිනික් එකට එන්නේ නෝනා, කකුලේ තුවාලෙට මේ බෙහෙත ලියලා දුන්නා” සීයා පැහැදිලි කරයි. එය 

තුවාලවලට දෙන ඇන්ටිබයොටික් එකකි. එය සුලභව රෝහල් වල තිබේ. ඔහුට මේ තුන්ඩුව ලියා දී තිබුනේත් රජයේ රෝහලක සායනයකිනි. දියවැඩියා පෙත්තද පිටින් ගන්න යැයි ලියා දී තිබිනි.

“මේවයේ වෙනසක් නෑ තාත්තා. එස්. පී. සී. එක ගාණ අඩුයි” වෛද්‍යවරිය කරුණු පැහැදිලි කර දෙන්නට උත්සහා ගත්තේ ඔහු කෙරෙහි අනුකම්පාවෙනි.

එස් පී සී (SPC) යනු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ බෙහෙත්‍ ය. ඒවායේ මිල සාධාරණය.

“වෙන ඒවා අරන් තුවාලේ හොඳ වුනේ නැත්නම්….මං ළඟ රුපියල් එකසිය විස්සයි තියෙන්නේ. දවස් දෙක තුනකට බෙහෙත් අරන් , ආයෙ ඇවිත් ගන්නම්” ඔහු විස්වාස කරන්නේ ලියා දුන් බෙහෙතම ගත යුතු බවය. ඉන් තුවාලය හොඳ වේයැයි ඔහුගේ මනසට කිඳා බැස තිබේ. ඖෂධවේදියාට පිංසෙන්ඩු වෙයි.

“දවස් දෙක තුනකටනම් බෑ එක දවසකට වගේ ගන්න පුළුවන්” ඔහු පවසයි.

“හා එක දවසකට දෙන්න මං ඇවිත් ඉතුරුවා ගන්නම්” මහළු වයසේ ඔහු විඳින දුක් කරදර මැනැවින් ඒ කඳුළු පිරි දෙනෙත් කියා පෑවේය. සීයා රුපියල් එකසිය විස්සක් සාක්කුවෙන් ඇද එදෙස බල බලා කල්පනා කර ඉන්පසු රුපියල් විස්සක් සාක්කුවට දමා ගත්තේය.

වෛද්‍යවරිය ක්ෂණික තීරණයක් ගෙන ඖෂධවේදියා ඈ දෙසට කැඳවා ඔහුට අවශ්‍ය බෙහෙත ඇගේ බිලට ඇතුල් කරන ලෙස පැවසීය.

“ ආ සීයේ ඔක්කොම බෙහෙත් ටික… අර නෝනා අරන් දුන්නා…” වෛද්‍යවරිය බිල් ගෙවන කවුන්ටරයේ සිටින අතර ඖෂධවේදියා පවසනු ඇයට ඇසිනි.

කඳුළු පිසමින් ඔහු පිටව යන අතර වෛද්‍යවරිය ළඟ නැවතී “ ගොඩාක් පින් දුවේ” යැයි පැවසුවේය. 

 මෙවැනි සිදුවීම් නිසා අප හිත් සංවේදී වේ. දෑසට කඳුළු පිරේ. මොවුන්ගේ විශ්‍රාමික වයසේ නිදහසේ බෙහෙත් හේත් ලබා ගැනීමට ක්‍රමවේදයක් ඇවැසි වේ යැයි මට සිතේ. රෝගියාගේ සමාජ තත්වය සහ ආර්ථික අපහසුතා විශ්ලේෂණය කර වඩා සහනදායි ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු වේ යැයි මට සිතේ. රෝහල් වලද ඖෂධ ඉවර වෙනකම් ඉන්නේ නැතුව කලින් ඇනවුම් කර ලබාගෙන ඒවා නිකුත් කරන ක්‍රමයක් ඇති කළ යුතුය. 

මීට පෙර කිහිප වතාවක් මේ ගැන බ්ලොග් ලිපි ලියා ඇත්තෙමි... බෙහෙත් නැති වෙනකොට ... එවැනි ලිපියකි. 

Wednesday, April 29, 2015

කිරි මිරිකන නහය අදින ආච්චිලා....

 ලියන්න බොහෝ දේ හිතට දැනෙනකොට.. මේ කතාව ලියන්නම ඕනේයැයි හිතත් හිතනකොට..බ්ලොග් එකක් තිබුනා යැයි යාන්තම් මතකෙට නැගෙනකොට.... ගතවෙන කාර් යය බහුල සොඳුරු එහෙත් නිදි වර්ජිත කාලයේ, වේලාව සමග සටනේ යෙදෙනකොට.... මට බ්ලොග් එකක් තිබුනු බවත් බ්ලොග් ලියූ බවත් දැන් නොලියන බවත් මතක් කර දුන් සොඳුරු සහෘදයින් නිසාම මතකෙට නැගෙන අනිත් කොන කතා හෙමි හෙමින් අකුරු කරමි.


නොනවත්වා හඬන කිරි දරුවෙක් සමග ඇය අප වාට්ටුව වෙත එවා තිබිනි. "මොකද උනේ අම්මා" අපේ ප්‍රශ්න හමුවේ ඇය දරුවා හැඳ සිටි කුඩා බබා ගවුම ගලවා දරුවාගේ පපුව අපට පෙන්නුවාය. මේ දින පහක් වයසැති ළදරුවාගේ කුඩා පපු පෙදෙස ඉහළට එසැවී රතු වී තිබිනි.. බැලූ බැල්මට ආසාදනයක ලක්ශන මෙන්ම ඇතුලේ සැරව පිරී ඇති අයුරුත් දකින්න ලැබිනි. මසකට කීප වරක් මෙලෙස ඉදිමුනු කුඩා පපු පෙදෙස් සහිත ළදරුවන් රැගෙන එන මව්වරු බොහෝය. ඒ හැමෝගෙම ඇත්තේ එකම කතාවකි.

මුලදී මා කෙලින්ම අසන්නේ " කවුද කලේ ඇයි කලේ වශයෙනි."  එවිට ඔවුන් බිය වී "නෑ අපි නම් ඇල්ලුවේවත් නෑ "යයි පවසති.
නමුත් මගේ හිතවත් හෙද සොයුරියක් පැවසුවේ "ඩොක්ටර් ඔහොම අහලා බෑ. අහන්න ඇයි අම්මා කිරි මිරිකුවේ නැද්ද ? " කියලා, එතකොට පැනලා උත්තර දෙයි.. යනුවෙනි.
මා ඒ ක්‍රමය අත් හදා බැලුවෙමි. හැමෝම හරි හරියට ඔවුන් කළ දේ පවසයි.

" ඔව් ඩොක්ටර් මිරිකලා ඇරියා"
 " කවුද එහෙම කරන්න කීවේ ?"
" අපේ අම්මා/ ආච්චී/ නැන්දම්මා" යනුවෙන් බොහෝමයක් උත්තර දේ.

කුඩා ළදරුවන් නහවද්දී, අපේ ආච්චිලාට හරි හරි වැඩ තිබේ. පියයුරු පෙදෙස මිරිකා කිරි ඉවත් කිරීම ඉන් එකකි, කකුල් වල බකල යැවීම, නහය ඇද ඇද මුක්කන් යැවීම තව එකකි, පෙකනියට , පිරිමි දරුවන්ගේ වෘශණ කෝෂ වලට ගම්මිරිස් පිබීම තව එකකි. මේවායේ ප්‍රති විපාක අප අඩුවැඩි නැතිව විඳින බව පමණක් මට පෙනේ. කිරි මිරිකූ ආච්චිලා පෙරටු කොටගෙන පැමිණෙන අම්මලා ට එසේ නොකරන ලෙස උපදෙස් දෙන්නට වෙන විට දරුවාට සිදුවිය හැකි කරදර සියල්ල සිදුව අවසානය.

 පෙර කල පටන් පැවති මේ සිරිත මෙසේ කරන්න එපා යැයි දැන් කොතෙකුත් අවවාද දුන්නද පැරැන්නෝ ඒවා ඒ අයුරින් කරන්නට තතනති. අවසන කුඩා ළදරුවන්ගේ පියයුරු පෙදෙස් ආසාදනයට ලක්ව, කැපුම් කෙටුම් සැත්කම් කරන්නට සිදුවේ.අලුත උපන් බිළිඳුන්ගේ මෙලෙස පියයුරු වලින් කිරි පැහැති ශ්‍රාවයක් ගැලීම සාමාන්‍ය තත්වයක්. මෙය රෝගයක් නොවේ. මවගේ තියෙන හෝමෝන දරුවාට යන නිසා මෙවැනි තත්වයන් ඇතිවේ. අපේ රටේ මේ ආච්චි අම්මලා ඒවා මිරිකා ඉවත් කරන්න ගිහින් අර කුඩා කිරිසප්පයා ආසාදන රැසකට ලක් කරයි. සනීපාරක්ෂක ක්‍රම හරි හැටි භාවිතයක් නොමැති, පිරිසිඳුකමක් නැති වෙනවිට ආසාදන සෑදෙන්න මග සැලසෙනවා.

එතකොට ඒ ගැන දෙන්න තියෙන උපදෙස තමයි " එතැන අල්ලන්න එපා... බබා නහවා, පිරිසිඳුව තියන්න. මොකුත් වෙන්නේ නෑ. ඉදිමී ඇත්නම් හෝ බලන් ඉන්න බැරිමනම් වෛද්‍යවරයෙක්ට පෙන්වන්න. කිසිවෙකුට මිරිකන්න දෙන්න එපා"

අප වසන ගම් පෙදෙසේ නිවසට අත් උදව්වට යන එන ස්ත්‍රියක් වේ. ගම ම වෛද්‍ය උපදෙස් ලබා ගන්නේ ඇය අතේ පණිවිඩ එවීමෙනි. දොස්තර නෝනාගෙන් අසා දැනගෙන එන්න යැයි දිනකට ප්‍රශ්න දෙක තුනක්වත් මට ලැබේ.

"ඩොක්ටර් අර අපේ අර අහවල් කෙනාගේ දුවගෙ බබා දැන් මාසයක් විතර වෙනවා.. මව්කිරි දෙන්නෙ නෑ පිටිකිරි දෙන්නෙ කියලා අහන් එන්න කීවා හොඳ පිටි වර්ගයක්"  මම තුෂ්නිම්භූත වීමි. එදාවේල අමාරුවෙන් ගෙවා ගන්නා කුලී වැඩ කරන මේ මිනිස්සුන් කොහොමද ළදරු පිටි වර්ග මිලදී ගන්නේ ?

 " මව්කිරි නොදෙන්නේ ඒ අම්මාගේ කිරි නැද්ද ?"

" අම්මට හොඳට කිරි තියෙනවා. ඒ බබා නිතරම කක්කා පොඩ්ඩ පොඩ්ඩ දමන නිසා නැන්දම්මා කීවලු ඒ අම්මට දියවැඩියාව නිසයි එහෙම වෙන්නේ එනිසා මව් කිරි දෙන්න හොඳ නෑ බබාට කියලා"
බුදු අම්මේ ! එහෙම උපදෙසක්නම් මම ඇහුවමයි

" ළදරුවන්ට කොහොමත් කක්කා පොඩ්ඩ පොඩ්ඩ යනවා. කහිද්දී, කිඹිහුම් යද්දී... එහෙම තමයි. ඒ අම්මට දියවැඩියාව කියලා ඒක නිසා කියන්න බෑ" (අනේ මන්දා මේ මිනිස්සු, කොහෙන් ගොතාගන්න දේවල්දැයි සිතින් සිතමින්)

 " ආ එයාගේ නැන්දම්මා තමයි එහෙම කරන්න කියලා තියෙන්නේ"

" අම්මට දියවැඩියාව තිබුනත් කිරි දෙන්න ඕනේ දරුවට. දියවැඩියාව තිබුන අම්මලා උනත් දරුවට කිරි නොදී ඉන්න කියලා එහෙම කතාවක් කොහෙවත් නෑ"  මම පැහැදිලි කළෙමි.
"ඒ අම්මට වයස කීයද ?"

"අවුරුදු 20ක් ඇති"

 " අනේ තරුණ ළමයෙක්නේ... දියවැඩියාව බබා ලැබෙන්න ඉද්දී චෙක් කරනවා, බබා කක්කා දාන එකෙන් අම්මට දියවැඩියාව කියන්න බෑ" මම පැහැදිලි කළෙමි..

" ඇරත්, මාස 6ක් වෙනකම් අනිවාර් යයෙන් මව් කිරි පමණක් දෙන්න ඕනේ.. දරුවෙක්ට හොඳින් වැඩෙන්න එයාලගේ ප්‍රතිශක්තියට ලෙඩරෝග වලින් වැලකෙන්න මව්කිරි ඕනෑ."

" ආ මං කියන්නම්.. අපරාදේ එයාලා පිටිකිරි දෙන්න හදනවා" කියමින් ඇය පණිවිඩය රැගෙන ගියාය.
 ඔය මම අහපු අන්දභූතම කතා අතරින් එකකි. නැන්දම්මලා ආච්චි අම්මලා ඔවැනි පණ්ඩිත කතා ගොතනවා පමණක් නොවේ ඒවා අත්හදා බලන්නත් යනවෝය.

ඒ අතරේ අප සායනයට  අවුරුද්දක පමණ දරුවෙක් රැගෙන මවක් පැමිණියා. ඇය අත තිබූ බාහිර රෝගී අංශයෙන් එවන යොමු කරන කොළයේ සටහන් වුනේ " මුක්කන් නහයක් නිසා දරුවා මන්ද බුද්ධික යැයි කරදරෙන් " යන්න ය.

 " මොකක්ද ප්‍රශ්නෙ අම්මේ" මගේ සුපුරුදු ප්‍රශ්නය හමුවේ ඇය ඇගේ කතන්දරය දිග හරින්නට විය.
" දරුවගේ නාහෙ මුක්කන් කියලා හැමෝම කියනවා. මගෙත් මහත්තයාගෙත් එහෙම නෑ. එයාගේ අම්මා කියන්නේ මන්ද් බුද්ධික ළමයිගෙ මෙහෙමයි කියලා "  ඒ අම්මා කියන්නේ බරපතල කාරණාවකි.

"එතකොට තව ළමයි ඉන්නවද ?"

ඔව් එක්කෙනෙක් ඉන්නවා අවුරුදු පහක".

එහෙම මුක්කන් බවක් මා හට දකින්නට නොලැබිනි. ඉන්පසු මා දරුවාගේ වර්ධනය සම්බන්ද ප්‍රශ්න කීපයක් ඇසුවේ කායික සහ මානසික වර්ධනයේ දුර්වලතා ඇත්දැයි දැන ගැනීමටයි. දැන් ඒවාත් එසේ නොවන බවත් දරුවා සාමාන්‍ය වර්ධනයක් සහිත බවත් වැටහෙද්දී ඇගේ ඇස් වල කඳුළුත් පිරී තිබිනි. මෙය මීට වඩා දරුණු ලෙසින් ඇයට මේ ගැටළුව බලපා ඇතැයි මට සිතිනි.

 "කෝ අනිත් බබා. මහත්තයත් ආවද ?  එන්න කියන්න" යැයි ඔවුන් ගෙන්වා ගත්තෙමි. මේ කුඩා දරුවාගේ නහයට සමාන නහයක් ඔහුටද පිහිටා තිබිනි. ඒ තාත්තා සමග වැඩිහිටි ගැහැණු කෙනෙකුත් පැමිණියාය. " මගේ අම්මා " අර සැමියා වහා පැවසුවේය.

"මේ දරුවගේ මුක්කන් ගතියක් නෑ. මේ බලන්න මේ දරුවො දෙන්නගෙම නාහේ එක වගේ.. මේ අම්මගෙ නහයත් පොඩි කාලේ මෙහෙම තියෙන්න ඇත්තේ. ලොකු වෙනකොට හරි යයි අම්මේ" යැයි ඔවුන් අස්වසද්දී අර නැන්දම්මා පැවසුවේ " අපේ පැත්තේ කාටවත් මෙහෙම නහයවල් නෑ.. " යනුවෙනියි.

 ඉන්පසු මගේ පැහැදිලි කිරීම් හමුවේ " කොහෙද මේ අලුත් තාලේ එය දරුවන්ගේ නහයවල් ඇදලා හදන්නේ නෑනේ" යැයි කීවාය.

ප්‍රශ්නය තිබුනේ කාටදැයි දැන් පැහැදිලිය. කෙනෙකුගේ හැඩරුව තීරණය වෙන්නේ ජාන වලින් යැයි අපි දනිමු නමුත් ලංකාවේ ආත්තම්මලා නහය කට කකුල් සියල්ල එහෙ මෙහෙ කරමින් ඇද හදන්නේ එහෙම නොවුනොත් මහ විශාල විනාසයක් සිදුවෙනවාක් මෙනි.  ආත්තම්මා කෙනෙකු නහයක් ඇද මිරිකා, දරුවාට හුස්ම ගැනීමට නොහැකිවී ජංජාලයක් සිදුවූ කතාවක් මතකයට නැගේ. මගේ කුඩා දරුවා නහවද්දී ගම් ගොඩේ කවරෙක් හෝ සිටයහොත් කිරි මිරිකන්නේ නැද්දැයි අසයි...කකුල් බකල යවන්න යැයි පවසයි. ඒවා කර දෙන්නත් ඉදිරිපත් වේ. වෛද්‍ය මතය පැහැදිලි කර දුන් පසු කර බාගෙන සිටී.

පොත් පත් වල හැටියට ළමයි හදනවා යැයි.. ඉන්ටනෙට් එකෙන් බලා ළමයි හදනවා යැයි ඇනුම් පද ද ඇසේ...

පින්තූරේ ගත්තේ - http://healthimpactnews.com/wp-content/uploads/sites/2/2012/03/Newborn_baby.jpg