Tuesday, May 12, 2015

DNR වීම.

රෝග දුක් රජයනා පුරවර - මොටද සැනසුම් සුසුම් හරි බර...

රෝහල්වල ලු දකින්න පුළුවන් හදවතින්ම කෙරෙන යාඥා ... අහිමි වීම් ගැන ඒ තරම් දැනුනු තැනක් තවත් නම් නැතුව ඇති... මරණය හමුවේ සටන් වදින , ඇතැම් විට දිනන ඇතැම් විට පරදින ඇතැම් විට සටන අත් හර දමන්නට සිදුවන, DNR - Do not resuscitate ලේබලය සහිත ඇඳ ඉහපත් නිසා පණ අදින ලෙඩුන් බල බලා මරණයට දිනන්නට ඉඩ දී බලාගෙන ඉන්න වීම. මේ සියල්ලම අපේ ජීවිතේ කොටසක් වගේ... අප රෝහල් වල, රෝගියා හෝ ඥාතීන් විසින් විශේෂඥ වෛද්‍යවරයා දැනුවත් කර, අසාධ්‍ය වුනොතින් දිගින් දිගටම, පණ ගන්වන ක්‍රියාවලියේ යෙදෙන්නට එපා යැයි හෙවත්  do not resuscitate කියා ඉල්ලා තිබුනොතින් එවැන්නන්... අසාධ්‍ය වූ විට අපට ඔවුන්ට සැනසිල්ලේ ඒ ගමන යන තෙක් බලා ඉනන්ට සිදුවේ. බොහෝ විට මේ ලෙස ඉල්ලන්නේ දිගු කාලයක් රෝගාබාද වලින් දුක් විඳි පිරිසයි. ඇතැම් විට රෝගාබාද සමග බොහෝ මහළු වයසේ සිටින අයද, ඔවුන්ගේ ඥාතීන් දුවා දරුවන් මෙවැනි ඉල්ලීම් කරනවා. එහි තීරණය විශේෂඥ වෛද්‍යවරයා අතේ ය.

මධ්‍යම රාත්‍රී දොළහ පසුවෙද්දීම රාත්‍රී සේවයේ යෙදී සිටින මා වෙත දුරකථන ඇමතුමක් ලැබුනේ පැයක පමණ කෙටි නින්ද හමාර කරමින්. රාත්‍රී සේවයේ නියුතු වෛද්‍යවරයා සිටිය යුත්තේ වාට්ටුවේ වෛද්‍ය විවේක කාමරයේ ය.

"ඩොක්ටර් අර බෙඩ් 2 එකේ රුක්මනී පේෂන්ට් ගේ සැචුරේෂන් ඩ්‍රොප් වෙනවා, එයාගේ දුව කලබල වෙලා ඩොක්ටර්ට එන්න කියන්නලු... ඒත් ඩොක්ටර් ඩී එන් ආර් නිසා අපි මොකද කරන්නේ. තව වෙලා තියෙනවා. " හෙදිය පවසයි.

රුක්මනී (අනවර්ථ නමකි) හැත්තෑ වියේ පසු වේ. හෘද රෝග මෙන්ම වකුගඩු රෝගයෙන්ද දැඩි ලෙස පීඩා විඳ දැන් අවසාන අදියරේ සිටින්නියකි. වකුගඩු දෙකම අක්‍රිය වී ඇත. සෑම රෝහල්ගතවීමකදීම ඇයගේ දරුවන් බොහෝමයක් පැමිණ යයි. බොහෝ කල් දුක් විඳි ඇයගේ පැතුම වූයේ, නැවත පණ ගන්වන්නේ නැතිව මියැදෙන්නයි. ඒ බව සෑම රෝහල් ගතවීමකදීම අප වෙත දැනුම් දෙයි. ඇගේ දරුවන්ගේ පැතුම ද දුක් නොවිඳ මව ට සැපවත් මරණයක් අත් වීමය.

ඇය දින දෙකක් තිස්සේ සිටින්නේ සිහියක් නොමැතිවය. ඇස් ඇර බලන්නේද නැත. මූත්‍රා පිටවෙන්නේ නැත. රුධිරයේ අහිතකර එන්සයිම වල අගයන් විශාල ලෙස ඉහළ ගොස් තිබේ. බෙහෙත් කිසිවකට දැන් කළ හැක්කක් නොමැති වී ඇත. ඇය දුර්වල හදවතින්, හුස්ම ගන්නට බැරි තරම් දුබල පෙනහළු වලින් අවසන් හුස්ම හෙලයි. තම මවගේ අවසාන මොහොතේ ළඟ සිටින දියණිය හඬා වැලපේ. ඇය සම්බන්ධ කර ඇති මොනිටර් වල තිර මත කෙමෙන් වියැකෙන හර්ද ස්පන්දනයද, හුස්ම ගැනීමද නිසල වුන විට , මරණය සිදුවූ වෙලාව ලියා තැබීමට සිදුවේ. එතෙක් කිසිවක් කළ නොහැක.

පාන්දර 2 පසුවෙද්දී ඇගේ ජීවිත සටන නිමා විය. පරීක්ෂා කිරීම  අතරතුර මතක් වෙන්නේ මද සිනහවෙන් අපේ කරදරකාරී පරීක්ෂා කිරීම් ගැන විහිළු කරන ඇයගේ මුහුණයි. අත්තම්මා කෙනෙක් සේ අපට සමීපව සිටි අයෙකි. නිතර වාට්ටුවට ආ අයෙකි. මගේ දෑසට කඳුළු නැගෙන්නේ පෘතග්ජන නිසාවෙනි. සටහන් කිරීම ෆෝම් පිරවීම, මරණ සහතිකය පිරවීම යන මේවා හමාර කර නැවත විවේක කාමරය වෙත එද්දී කොරිඩෝව දිගට අද්දමින් ඇවිදින පා හඬක් මතුවේ. කොරිඩෝවේ කිසිවෙකුත් නැත. මා පමණි. නිදිවරා සිටින නිසා වෙන් දැයි සිතමින් යද්දී නැවත මා පිටුපසින් එම හඬ පැමිණේ. හිත ගැස්සෙයි.

වාට්ටුවේ සුළු සේවකයන්, ඇටෙන්ඩන්ලා කියන හොල්මන් කතා සිහිවේ. හවස 6න් පසු ඔවුන් කොහේ යතත් යන්නේ තවකෙකු සමගය. ලේ පරීක්ෂා කිරීමට යැවූ සාම්පල සමග ගිය කෙනෙකු සිහි විසඥ වූ අයුරුත්, තල්ලු කල, ඇඳෙන් බිමට ඇද දැමූ කතාත් එමටය. ඒ සියල්ල දැන් සිහිවේ.  ආ වේගයෙන්ම නැවත වාට්ටුව වෙත ගිය මට දකින්න ලැබෙන්නේ තිරයකින් වසා ඇති ඇගේ ඇඳ පිහිටි තැනයි.

 "ඇයි ඩොක්ටර්" හෙදිය කලබල වේ.
"නෑ නිකම් "  මගේ කතා හමුවේ ඔවුන් කලබල කරන්නේ කුමටද ?

 පාන්දර 3 පසුවී ඇත. එළිමහන් පාරෙන් රෝහල් බුදු මැදුරට ගියෙමි. නිරාවරණව ගල් කණු සතරක් අතර මැදි කර සමාධියෙන් වැඩ සිටි බුදු පිළිමය හිත නිවා සනසයි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගි වෙත්වා. මෙත් වැඩුවෙමි. මළගිය ඇත්තන්ට පින් දුන්නෙමි... නැවත නේවාසිකාගාරයට ගියෙමි. පසුව මා අතින් මෙසේ ලියැවෙයි.

ගව් ගනන් දුව ඇවිද හෙලූ දහඩිය බෝම
නැවතිලා ජීවිතය අතරමග නොකියාම
ඉනූ කඳුලැලි නිමක් දකින්නට නැත තාම
අවසාන හුස්ම පොද අතැර යන්නේ කොහොම

27 comments:

  1. Read whole blog.. very touching. . You simply adding meaning to the life with these small small stories. .

    ReplyDelete
    Replies
    1. Thanks Shan lovely to receive ur feedback !

      Delete
  2. This is simply beautiful writing !!!

    ReplyDelete
    Replies
    1. thank you .. great to see that uve read !

      Delete
  3. නැවත නැවත කියෙව්වත් නැවුම් බවක් දැනෙන විස්තර . රෝගීන් වෙනුවෙන් මෙතරම් කැපවුන වෛද්‍යවරියකගේම අතින් ලියවෙන අනුවේදනීය කතා නිසා හිතට බොහොම දැනෙනවා .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම්... ඒත් ජීවිතේ අනෙකුත් ප්‍රශ්න එක්ක රෝගීන් වෙනුවෙන් වැය කරන්න තියෙන්නේ සේවා කාලය පමණක්ම වෙලා :(

      Delete
  4. හ්ම්ම්ම්... ඇස් දෙක තෙත් වුනා අක්කා.. ගොඩක් සංවේදී සටහනක්.

    ReplyDelete
    Replies
    1. මලා, මේක ලියන්නේ ගෑල්ලමෙක්ද ??

      Delete
    2. ස්තූතියි බස්සී.. ගොඩක් සංවේදී වෙනවා මේවගේ අවස්ථා නිසා.

      Delete
    3. නි මෝ... ඔව් ඔව් ඒත් එහෙම උනාම මැරෙන්නේ මොකෝ...

      Delete
  5. ගොඩාක්ම සංවේදී ලියමනක්
    කවිය අර සියල්ලම කැටි කර කියනවා

    දිනපතා මෙහෙම දේ වලට මුහුණ දෙනකොට යුධ බිමේ සොල්දාදුවෙකුගෙ වගේ දොස්තරලාගේ හිතුත් අසංවේදී වෙනවද?
    අපට හැඟෙන්නේ එහෙමයි...
    අපට අපේ ලෙඩා පමණයි - ඔබලා සිය දහස් එබඳු අය දැක තිබෙන බව අපට පේන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ටිකෙන් ටික අසංවේදී වෙන බවක් වැටහුනා. අපේ ගෙදර අයත් කීවා.. දැන් වෙනස් කියලා පර්සෙප්ෂන්ස්...

      Delete
  6. දොස්තර කෙනෙක්ට සංවේදී හදවතක් ( සහකම්පනය වන) තිබීමේ ආදීනව එහෙම වෙන්න ඇති. කාලයත් එක්ක පරිනත වනවිට එය 'හරි යනවා' කියන්නේ ඒක වෙන්නත් ඇති...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත කාලයක් එක්ක හැල හැප්පීම්, සහ වෘත්තීය වශයෙන් එන වෙහෙසකර බව නිසා සාමාන්‍ය බවට පත්වෙනවා... බොහෝ අයට මරණය පසුව කම්පිත දෙයක් නොවෙනවා...

      Delete
  7. ඔහොම දොස්තර වරු හරි හිගයි.. ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ! එහෙම දොස්තරවරුන්ට ජය !

      Delete
  8. ඉතින් අනිත් කොණ DNR වලට සංවේදියි, නමුත් විරුද්ධද? ඒ ගැනත් කියවෙයි කියලා මම බලාහිටියේ.

    ඒ වගේම පහුගිය පෝස්ට් එකේ රාජ් දාපු කමෙන්ට් එකට මොකක්ද කියන්නේ කියලා මමබලාගෙන හිටියේ මගෙත් 2cent worth idea එක එතනට ඔබපු නිසයි. :D

    ReplyDelete
    Replies
    1. මටත් ඕනෑ උනා ඒවා ලියන්න ඒත් වැඩ රාජකාරි අදිකයි. හොඳ නිදහස් මානසිකත්වයකින් තමා ඒවගේ කන්ට්‍රොවර්ෂල් ටොපික්ස් සාකච්ඡා කරන්න ඕනෑ.. ඒකට මම උත්තර දුන්නා.. ඒකටත් නිදහසේ උත්තරයක් ලියන්න හිටියේ දැන් ඉතින් රැපිඩ් උත්තරයක් දුන්නා..

      Delete
  9. දොස්තර හදවතක මෛත්‍රී රිද්මය

    ReplyDelete
  10. The DNR request can obviously be made by the patient but who else, if any, could make that request if the patient is not conscious or not in a proper state of mind at admission? Also, does the hospital ask the patient whether he/she wishes to make such a request?

    ReplyDelete
  11. හුඟක්ම අසංවේදී නොවී ඉන්නා වෙදදුරන්ද ලොව ඇති බව

    ReplyDelete
  12. අනුන්ගේ දුක තමුන්ගේ දුකක් සේ දැනීම දුලබ ගතියක්. ඒත් ඒක සමහර වෙලාවට සාපයක් වගෙයි.. කලහැකි දේ සීමිතයි සමහර වෙලාවට කලහැකි දෙයක් ඇත්තේම නැහැ. අන්න ඒ වෙලාවට සංවේදී හදවතක් තිබීම සාපයක් වෙනවා. හොඳයි බොරුද මං කියන්නෙ ?

    ReplyDelete
  13. කොවූර් මහත්මිය මිය ගිය විට පත්තරේ දාන්නට ගිය දැන්වීමේ තිබිලා තියෙනවා, ජීවත් වෙන කිසිවෙකුට පෙනෙන කිසිම ආත්මයක් හෝ අවතාරයක් ඉතුරු නොකර ඇය මිය ගිය බව. පත්තරකාරයෝ බෑ කියලා ඒක දාන්න.

    ඇයි අවතාර කතා විකුණාගෙන කන්න බැරිවෙනවා නේ!

    ReplyDelete
  14. මටත් වෘතීය ජීවිතේ කරන්න දකින්න අපහසුම දේවලින් එකක් අක්කා. ඒ අය විඳින වේදනාව ගැන නොහිත ඉන්න පුලුවන් උනා නම් කියල හිතෙනවා ඒ වෙලාවට.

    ReplyDelete
  15. ටික කාලයක්, සමහරවිට දවසක් දෙකක් වුණත් හුරු පුරුදු වුණු සමහර රෝගීන් ගැන අවුරුදු ගානක් ගිහිල්ලත් මතක් කරමින් දුක් වෙනවා අපේ ස්ටාෆ් එක. සමහරවිට ඒ අසීරු දවස්වලදි ඒ අයට කිට්ටුවෙන්ම සිටිමින්, වැඩ කටයුතු කරන්නෙ අපේ අය වීම නිසා වෙන්නැති.
    හොල්මන් කතානම් නැති ඉස්පිරිතාලයක් නෑ නේද? මට තාම පෙනිලා නෑනෙ.

    ReplyDelete
  16. දවසම රෝගීන් එක්ක ගත කරමින් වුවත් මෙවැනි අදහස් බෙදා ගන්නට විවේකයක් සොයා ගැනීම හරිම වටිනවා.

    ReplyDelete
  17. Beautiful writing bodi! U jus had me there!.....Sent me down memory lane.....The countless number of DNR'S and the failed CPRS ....yet u never get used to letting go of a patient!!......

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !