Tuesday, June 11, 2013

මම මැරුණම මට තනියම ඉන්න වෙයිද ?

" මට බයයි....මම මැරුණම මෝචරියට ගියාම මට තනියමද ඉන්න වෙන්නේ අනිත් මළ මිනී එක්ක" කුඩා දැරිවියක් අසයි. එක අතක ඇත්තේ පැය විසි හතර පුරා හෙමින් හෙමින් ශරීර ගත කරන රුධිරයේ යකඩ ඉවත් කරන ඖෂධය රැගත් රැඳවුම හෙවත් අයි වී ස්ටෑන්ඩ් එකයි. ඔවුන් රෝද සහිත එය තල්ලු කරගෙන වාට්ටුව පුරා ඇවිදියි. අප මේසය අසලට එයි.

සමහර විට ඔවුන් අප හා ඔවුන්ගේ දුක සතුට හැඟීම් දැනීම් කියන්නේ, අප ඔවුන් ගේ ජීවිත වල ගැවසෙන කෙනෙක් නොවන නිසා වෙන්න පුළුවන්, සමහර විට අපි හොඳ ඇහුම්කන්දෙන්නන් බවට පත්වී ඇති නිසා වෙන්නත් පුළුවන්... එහෙම නැත්නම් අපිට කීවාම යම්කිසි සහනයක් ලැබෙයි කියලත් හිතනවා වෙන්න පුළුවන්. දවස පුරාම නන්නාඳුනන මෙන්ම නිතර දකින නිසා හඳුනන, බෙහෙත් කරන නිසා හඳුනන අයගේ දුක් ගැනවිලි මැසිවිලි, කරදර කම් කටොළු වලට කන් දීලා ඔද්දල් වෙච්ච හිතත් කරගහගෙන ගෙදර යන්නේ.... ඉතින් හවස හතරට අපේ වැඩ කාලය අවසන් වුනත්, සියළු වැඩ ඉවර වෙද්දී හවස 5 , 6 සමහර විට 7 ත් පසු වෙලා. මේ දවස් වල අහස අඳුරුම අඳූරුයි, කොයි මොහොතේ හරි කඩන් වැටෙන්න බලන් ඉන්නේ.ේ

  "මාත් ආසයි ඩොක්ටර් බඳින්න, දරුවෝ හදන්න...ලස්සනට ගෙයක් දොරක් හදාගෙන ඉන්න, මට ලස්සනට මහන්න පුළුවන් , හොඳට උයන්නත් පුළුවන්, ඒත් කවුද අපිව බඳින්න කැමති වෙන්නේ "

මා ඉදිරියේ ඉන්න මේ යෞවනිය බිමට බර කරගත්තු මුහුණින් කියද්දී මගේ හිත පුරා දැනුනේ අසීමිත දුකක්.

 "පුංචි කාලේ අම්මා අපිව උස්සගෙන ගිහින් බලෙන් බෙහෙත් විද්දේ... එයා අපිව ජිවත් කරපු නිසානේ ඩොක්ටර් අද අපි මෙහෙම හරි ඔළුව උස්සගෙන ඉන්නේ. " ඔව් මෙහි එන යන දරු දැරියන් හැමෝගෙම දෙමාපියන් වයස මාස තුන හතරේ සිට තම කිරි කැටි දරුවාද ඔසවාගෙන රෝහලේ දින ගනන් ගත කරපු දුක් බර කාල වකවානු ගෙවා ඇත්තේ. අද නව යෞවන වියේ පසුවන ඔවුන් තනිවම ඇවිත් තම බෙහෙත් ප්‍රතිකාර කරගන්නවා. ඔවුන් ජීවත් වෙනවා දකින, ඔවුන්ට කුඩා කල සිට ප්‍රතිකාර කළ මෙහි සිටින ජේෂ්ඨ වෛද්‍යවරිය පැවසුවේ, ඔවුන් ජීවත් වෙනවා දකින විට දැනෙන සතුට ඇයට කියා නිම කළ නොහැකි බවයි.

" ගෙදර ඔහේ ඉන්න එකත් එපාවෙලා. අපිට කොහෙන්ද ඩොක්ටර් රස්සා... එහෙම රස්සාවක් දෙනවානම් ඒකොම්පැනියේ බොස් ට තැලසීමියා තියෙන්න ඕනේ"

ඇය පැවසූ විට මා මොහොතකට ගල් ගැසුනා. සමාජය ඔවුන්ව කොයි තරම් අසරණ කරලා ඇද්ද ? ඇය පවසන්නේ ඔවුන්ට රස්සාවක් දෙන්න තරම් අනුකම්පා කරන්නේ තැලසීමියා වැළඳී ඒ රෝගයෙන් විඳිනා දුක දන්නා හඳුනන කෙනෙකුම වන්නට ඕනෑ බවයි. එකල සමාජයේ මේ පිළිබඳව තිබුන දැනුවත් බව අඩු නිසා , සමහර පවුල් වල දෙමාපියන් තමන් රෝග වාහකයන් බව නොදැනීම නිසා බොහෝ පවුල් වලට තැලසීමියා රෝගී දරුවන් දෙතුන් දෙනා සිටියා. හැබැයි අද ඒ දෙමාපියන්ගේ සහ වෛද්‍යවරුන්ගේ කැපවීම නිසා ඒ දරුවන් යෞවනත්වය විඳින වයස දක්වා උස්මහත් වී සිටිනවා. අධ්‍යාපනය පවා බොහෝ සෙයින් ඔවුන්ට පාඩු වී තිබුනා. සමහරු වැළඳුනු අතුරු ආබාධ නිසා වූ කරදර නිසා පාසැල් නොගොස් තිබුනා.

බොහෝ කාලෙකට කලින් මාරාන්තික රෝගයක් වුනු මෙය, ඉක්මනින් මැරෙන ළමයින් යයි හංවඩු ගැසුනු මොවුන් නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුව සමග ඇතිවුනු නව ඖෂධ ක්‍රම නිසා අතුරු ආබාධ රහිතව හෝ අවමව ජීවීතය පවත්වාගෙන යාමට හැකි වෙලා තියෙනවා. ඒත් මාසෙකට සැරයක් රෝහල් ගත වීමද , ඉක්මනින් ආසාදන වලට ගොදුරු වීමේ ප්‍රවනතාවයද ඔවුන්ට තියෙනවා. ඕනෑම සුළු ආසාදනයකින් පවා නිසි ප්‍රතිකාර සිදු නොවුනහොත් මියයන්න පවා පුළුවන් බව ඔවුන් ලබා තිබෙන අත් දැකීම් වලින්ම දන්නවා. ඒ එසේ මිය ගිය ඔවුන්ගේ යහළුවන්ගේ මතක සහ ඔවුන්ට විඳින්න සිදුවුනු රෝගාබාද නිසාය.

 මේ ළඟදී දානෙකට මේ වාට්ටුවට වැඩි හාමුදුරුවන් වහන්සේ නමක්, මේ දරුවන් අමතා දේශනයක් කරන ලදී. එය අවසානයේ අප වෙත පැමිණි එක් දැරිවියක් පැවසුවේ...
"හාමුදුරුවෝ බණට කීවානේ ඩොක්ටර්ලා ටත් ලෙඩ හැදෙනවා කියලා. අනේ මං මේ වෙනකම් හිතුවේ ඩොක්ටර්ලාට ලෙඩ හැදෙන්නෙම නෑ කියලනේ"අප ලෙඩ දුක් හැදෙන්නේ නැති අමුතුම සුපිරි මනුස්සයන් පිරිසක් යැයි ඇය සිතාගෙන සිටී. වෙලාවක මටත් හිතෙනවා, මට සියළු රෝගීන්ගේ ලෙඩ දුක් කරදර සියල්ල එක මොහොතින් නැති කරන්න මට සුපිරි සුව කිරීමේ හැකියාවක් සහිත ශක්තියක් ලැබුනානම් කියලා.

මම ඇයට මා කලකට පෙර පීඩා විඳි රෝග තත්වය ගැන පැහැදිලි කළෙමි. " අනේ පව් නේද ඩොක්ටර් අර අලුත් ඩොක්ටර්, එයාටත් සනීප නැති වෙලානේ.." යැයි මා ගැන බොහෝ දුකින් ඇය අනෙක් වෛද්‍යවරිය හා පවසමින් දුක් වී තිබුනේ, තමන්ගේ රෝග තත්වය මොහොතකට අමතක කරමිනි.
"ඩොක්ටර්ගේ වයසේම වෙන්න ඇති මම" ඔවුන්ට පුතා යනුවෙන් මම ආමන්ත්‍රණය කරන නිසා එක් අයෙක් පවසයි. වැඩීම අඩු නිසා උසින් මෙන්ම මුහුණුවරින්ද ඔවුන් පාසල් යන වයසේ කුඩා දරුවන් බඳුය. (මෙම රෝගය ගැන පෙර ලිපියකින් ලීවෙමි, "මේ ලේ මට නොවේ " කියවන්න)

 "ඩොක්ටර් මට ලොකු වෙද්දි ලොකු වෙද්දි දැනෙද්දි මේ ජීවිතේ හැටි මේ ලෙඩෙන් ගැලවිල්ලක් නැති හැටි...සාමාන්‍ය ජීවිතයක් නැති හැටි මට කලකිරුනා, මම දිවි නහ ගන්නත් හිතුවා" මා ඉදිරියේ ඉන්න යෞවනයා කඳුළු පිරි දෑසින් පවසයි. "මම ඒ තුලින් තේරුම් ගත්තා ජීවිතේ කියන්නේ මොකද්ද කියලා. මේ තාවකාලික ජීවිතේ ගැන අවබෝදයක් නැතිව අපි කොයි තරම් පුහු වැඩකට නැති විච්චූරණ පස්සෙද දුවන්නේ කියලා. ඒ කාලේ මං හිතුවේ මට මේ ලෝකේ අන්තිම දරුණුම දේ වුන කෙනෙක් කියලා.
මේ ලෙඩේ ගැන, බෙහෙත් ගැන, මේ විඳින කරදරේ ගැන මට ලොකු තරහවක් තිබ්බේ. ඒත් අන්තිමට මට අවබෝධ වුනා, මේ සියල්ල තාවකාලික බව. මේ විඳීම්, දැනීම්, මේ රෝගය උනත්. මට ඒ ලැබුන දැනීම නිසා මම හිතන්නේ මට වුන හොඳම දේ මට මේ ලෙඩේ හැදුන එකයි ඩොක්ටර්. දැන් මේක නිට්ටාවට හොඳ කරන්න බෙහෙතක් තියෙනවා කිව්වත් මට ඕනෙ නෑ ඒක"

ඔහුගේ දුක්බර කතා පුවත මා හා පැවසුවත් මම මෙහි එය සටහන් කරන්නේ නෑ. මන්ද අකුරු කරගත නොහැකි තරම් ඒවා ලියන මගේ හිතට මේ තරම් කම්පනයක් ඇති කලාක් මෙන්ම කියවන ඔබේ හිතටත් බර වැඩි වෙනු ඇති බැවිනි. ඔවුන් බොහෝ ශක්තිමත් සිත් ඇත්තන් බවද , මට ඔවුන් විඳි දුක කොහොමටත් දරා ගන්නට බැරි බවද ඒ අතින් ඔවුන් ඉතා උසස් ශක්තිමත් අය බවද කතා බහ කරන විට මම ඔවුන් හා පවසමි. ඔවුන්ගේ දුක දරාගෙන ඔවුන් යන ගමන ප්‍රශංසා කරන්නෙමි.

ජීවිතය යනු විටෙක  මහා කම්පනයකි... එය මා යන මාවතේ හැල හැප්පීම් මෙන්ම හමුවෙන සියළු දෙන  මවෙත ගෙන එන දුක් කම්කටොළු හා බැඳි කම්පනයන් ය... මේ දුක් කරදර විඳීම් දැනීම් ඔස්සේ එය කොයිම විටකවත් සොඳුරු නොවේ යැයි මට සිතේ. ඔද්දල් වී ගිය හිත පොඩ්ඩකට හෝ සුවපත් කරන ඔබේ දයාබරත්වය රැඳි කමෙන්ටුවක් බොහෝ සෙයින් උපකාරී වෙනවාමයි.... කිසි දිනය හමු නොවූ නොදන්නා ඔබ , මෙහි රැඳී අකුරු කර, මොහොතක් හෝ මිඩංගු කර මා වෙනුවෙන් පුද කරන ඒ සහෝදරකමට , තනි තනිව ස්තූති කරන්නට බැරිවීම ගැන සමාවෙන්න.

Wednesday, May 8, 2013

මේ ලේ මට නොවේ….ලෝක තැලසීමියා දිනය වෙනුවෙනි.



පසුගිය දිනක ලේ දන් දීමේ මහඟු පුණ්‍ය කර්මයක් බ්ලොග් ලියන සොහොයුරු සොහොයුරියන් අතින් සිදුවුනා මතකයි. එය නම් අසීමාන්තික පිනක්. ලේ බිඳක් නිසා ජීවිත බේරුනු අවස්ථා මගේ මේ සුළු සේවා කාලය තුල අපමණයි . ඔබ දෙන ඒ ලේ බිඳෙන් , රෝගාබාද දහස් ගණනකින් පීඩා විඳින කුඩා දරුවන්ගේ පටන් වැඩිහිටියන් දක්වා මිලියන ගණනකගේ ජීවිත සුරැකෙන බව ඔබ දන්නවාද ? සමහර විට මා මේ කියන්න යන දේ සමග මේ සම්බන්ද අත්දැකීම් ඇති අයටත් අප සමග බෙදා හදා ගත හැකි කථා බොහෝමයක් ඇතිවාට සැක නැත.



මම කායික රෝග වාට්ටුවලදී, රක්ත හීනතාවය , යකඩ ඌණතාවය, වකුගඩු රෝගය,සහ අනෙක් නොයෙකුත් රෝග නිසා ලේ මදි කමින් සිටින , මග යන්න පණ නැතිව, කය වාරු නැති දහසකුත් දෙනා ලේ පයින්ට් එකක් දෙකක් ශරීරගත කරද්දී පණ ගැසී එන අයුරු ඇස් දෙකෙන් දැක ඇත්තෙමි. ශල්‍යාගාරවලදී අධික රුධිර වහනය වෙමින් ගෙන එන පණ අදින රෝගීන් කී දාහක් නම් ලේ පයින්ට් දහය පහළොව දී බේරාගෙන ඇතිඉතින් එහෙම අවස්ථාවලදී වෛද්‍යයවරු වන අපිට ලේ පයින්ට් එකක අගය දැනෙන්නේ රෝගීන්ටත් වඩා වැඩියෙන් අපි නිතර ජීවිත බේරාගන්න අරගල කරන නිසා. සුළු කලකට රුධිර රෝග ආශ්රිත වාට්ටුවක සේවය කරන්නට ලැබුනු ඉඩකඩින් ලේ බිඳක අගය බොහෝ සේ දැනුනා. අප ශිෂ්‍ය අවධියේ සිටම බොහෝ ලෙස මුණ ගැහුනු, තැලසීමියාව, හිමොෆීලියාව , සහ අනෙක් රුධිර සෛල ආශ්‍රි රෝගාබාද වලට ලක්වූ පොඩි දරුවන්ගේ ඉඳන් වැඩිහිටියන් දක්වා බොහෝ පිරිස් මුණ ගැසුනා.

ඔබ විශ්වාස කරනවාද , ඔබ දුන් ලේ බිඳ නිසා ජීවිතය ඉදිරියට පවත්වාගෙන යන දරුවන් දැරියන් මේ මිහිමත සිටිනවා කියාලෝක තැලසීමියා දිනය යෙදී තිබෙන අද වැනි දිනක තැලසීමියා රෝගය ගැන යමක් සටහන් කරන්නටම හිතුනේ, ඔවුන්ගේ සංවේදී සිතුවිලි මෙන්ම ඔවුන්ගේ දුක්බර ලෝකයට එබිකම් කරන්න ඔබට විනාඩි කිහිපයක් වැය කරන්නට හැකි යැයි සිතුනු නිසාමයි.

තැලිසීමියා රෝගයේදී රුධිරයේ ඇති හිමෝග්ලොබින් නැමැති ඔක්සිජන් ප්රවාහනය කරන සංඝටකය ක්රමාණුකූලව නිෂ්පාදනය නොවීම හා ඉක්මනින් රතු රුධිරානු බිඳී යෑම සිදුවේ. අපේ රට පිහිටි මේ දකුණු ආසියාතික කලාපයේ මෙම ජානමගින් උරුම වෙන මේ රෝගය බහුලව දක්නට ලැබේ. අපේ සිරුරේ හැම දෙයක්ම තීරණය වෙන්නේ ජාන නිසා බව ඔබ දන්නවා ඇති. මවගෙන් සහ පියාගෙන් උරුම වෙන ජාන ,යුගලය බැගින් අප සෛල වල තිබේ. හැම යුගලයකින්ම එකක් අම්මාගෙන් සහ අනෙක තාත්තාගෙන් අපට උරුම වේ. තැලසීමියා රෝග තත්වයද අපේ සිරුර තුල ඇති රුධිරයේ හිමෝග්ලොබින් සෑදීමේදී උපකාර වෙන ජාන වල ,රෝගී ජානයක් පැමිණීම මගින් සිදුවේ. සාමාන්යයෙන් අපට නිරෝගී ජාන දෙකක් අම්මාගෙන් සහ තාත්තාගෙන් උරුම විය යුතුය. නමුත් රෝගී ජාන දෙකක් උරුම වුනෝතින් තැලිසීමියා රෝගය ඇතිවේ. නිරෝගී එක් ජානයක් සහ රෝගී ජානයක් ලැබුනොතින් ඔවුන් තැලසීමියා වාහකයෙක් බවට පත්වේ. මේ ජාන බෙදීම් සහ රෝගය වැලදෙන ආකාරය පහත රූප සටහන් වලින් පැහැදිලි වේ.

ඉතින් ඉහත රූප සටහනේ ලෙස, වාහකයන් දෙදෙනෙකු අතර ඇති වන විවාහයෙන් තැලසීමියා රෝගී දරුවෙක් බිහිවෙන්න 25% ඉඩකඩක් ඇත. සම්පූර්ණ නිරෝගී දරුවෙක් මෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන වාහක තත්වය ඇති දරුවන්ද ඇති විය හැකි වුනත්, රෝගී දරුවෙක් ඇති වීමෙන් මුළු ජීවිතයම අඳුරු වී, සාමකාමි පවුල් පසුබිම් සියල්ල දුක්කදායි වෙනවා අප ඕනෑ තරම් දැක ඇත්තෙමු. එනිසා තැලසීමියා රෝගය ඔබේ හෝ පවුලේ කෙනෙකුට ඇති නම්, හෝ වාහක තත්වයක් ඇති බවට කලින් නිර්ණය කර ඇතිනම් අනිවාර් යයෙන් ඔබේ ලේ පරීක්ෂා කරගත යුතුය. මේ රෝගය එවැනි වලක්වාගත හැකි ක්‍රම වලින් හැකි පමණ අඩු කරගැනීමට හැකි බව විශ්වාසය.

 ඈත අතීතයේදි නම් මේ රෝගයට ලක්වූ දරුවන් ජීවිතේ පළවෙනි අවුරුද්ද දෙක ඇතුලත මරණයට ලක් වුනා. නමුත් දැන් රුධිර පාරවිලයනය හෙවත් ලේ ශරීරගත කිරීම නිසා මේ දරුවන් බොහෝ කල් ජීවිතය අත්විඳිනවා. ඔබ දන්නවාද බොහෝ පවුල් වලට සිටින්නේ තමන්ගේ රෝගී දරුවා පමණක්ම කියා. මන්ද මෙය ජානමය තත්වයක් නිසා එවැනි පවුල් වලට ඉපදෙන්නට වඩා ඉඩ ඇත්තේ රෝගී දරුවන් මේ හේතුව නිසා දෙමාපියන් ඊළඟට ඉපදෙන දරුවන් මෙවැනි ඉරණමකට ගොදුරු වේ යැයි බියෙන් තම එකම රෝගී දරුවා රැක බලාගෙන සිටිනවා.

මෙහිදී මට , ජීවිතේ බොහෝ දුක්ක දෝමනස්ස වලින් හෙම්බත්ව සිටින මොහොතක අපිට වඩා දුක් විඳින කෙනෙක් දැක්කම ඇතිවන ආත්ම අනුකම්පාව බොහෝ සෙයින් දැනුනා.  ජාන මගින් මහ තැලසීමියා රෝගය ඇතිවුනු කෙනෙක්ට තම ජීවිත කාලය පුරාම රුධිරය සහ ශරීරයේ යකඩ අඩු කරන බෙහෙත් එන්නත් මගින් ශරීරගත කරගන්න වෙනවා , දවසක් ගානෙම. ඔබ හිතන්න හැමදාම එන්නත් කටු අතේ පයේ ගහගෙන බෙහෙත් විදගන්න උනොත් පොඩි වයසේ ඉඳන්ම ඒක කොයි තරම් නම් දුකක් ද ? මේ කුඩා දරුවන් එන්නත් කටු වලට බයේ මුල් කාලයේදී හඬා වැටුනත් පසුව ඔවුන්ට මෙයින් තොර ජීවිතයක් නොමැති බව තේරුම් ගත් පසු බොහොම අමාරුවෙන් ඒ දුක ඉවසන අයුරු දුටුව විට අපිටත් ඇති වෙන්නේ දුකක්.

මේ රෝගය වලක්වාගත හැකිද ?

ඔව් පුළුවනි. ඒ තැලසීමියා රෝගය ජාන මගින් උරුම වෙන නිසා. මෙය උරුම වෙන්නේ රෝගකාරක ජාන දෙකම මවගෙන් සහ පියාගෙන් දරුවෙකුට උරුමවුනොත් නිසා මවගේ සහ පියාගේ ජාන ගැලපීම මගින් මේ රෝගය ඇති දරුවෙක් ඇතිවීම වැලැක්විය හැකිය. ඒසඳහා අවශ්‍ය ජාන තාක්ෂනික පහසුකම් අපේ රටේ තැලසීමියා රෝගය සම්බන්දයෙන් ප්‍රතිකාර කරන රෝහල් වල ඒකක සහ මධ්‍යස්ථාන වලින් නොමිලේම මේ සඳහා පහසුකම් සැපයෙනවා. තැලසීමියා පොරොන්දම ගලපනවා කියා දෙයක් අද සමාජයට එකතුවී ඇත්තේද මේ නිසාය. විශේෂයින් ලේ නෑයින් අතර විවාහ වලදී මෙන්ම, මෙවැනි රෝගයක් නිර්ණය කරගත් කෙනෙක් ඔබේ පවුල් වල දුරින් නෑදෑ කෙනෙකු හෝ ඉන්නවනම් ඔබේ රුධිරය පරීක්ෂා කරගැනීම නුවණට හුරුයි. කොහොමත් මේ රෝගය බහුලවම ඇති ප්‍රදේශ වල විවාහ වලට ප්‍රථම තැලසීමියා රෝග කාරක ජාන පරීක්ෂාව කරන්නට අද වෙන විට බොහෝ අය දැනුවත් වී තිබෙනවා.

මේ කියවන ඔබට මේ ගැන වැඩි විස්තර හෝ, තමන්ට තැලසීමියා රෝගී ජාන ඇති දැයි පරීක්ෂා කරගැනීම සඳහා පහත සඳහන් ඒකක වලට යොමු විය හැකිය. 

කුරුණෑගල මහ රෝහල, තැලසීමියා ඒකකය
මහ නුවර ශීක්ෂණ රෝහල, තැලසීමියා ඒකකය
අනුරාධපුරය ශික්ෂණ රෝහල , තැලසීමියා ඒකකය
රාගම - උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මහර, පිහිටි හේමාල්ස් තැලසීමියා සහන පියස 


යන මේ තැන් වලින් ඒ පරීක්ෂණ කර ගත හැකිය.

Image credit : image 2 : http://www.sengenics.com/ Image 3. www.thenews.com.pk

Thursday, April 18, 2013

කැඩුනු වෙද නළාව සහ හැදුනු හිත


කොළඹ 7 ධර්මපාල මාවත දිගේ ගිණි අව්වේ ඇවිදින්න වුනා...ගත පුරා දහඩිය බේරෙනකොට මට මතක් වුනේ, මෙච්චර ඉගෙන ගත්තු අපි සොච්චම් පඩියක් අරගෙන සේවය කරද්දී, ඉගෙන නොගත්තු අය රටට සේවය කරන රිසියෙන් ඉන්ටර් කූලර් වල යන හැටි ගැනයි. 

අවුරුදු 7 කට පස්සෙ මගෙ වෙද නලාව කැඩුනා. ඒක හොඳ ලිට්මන් එකක්. මොන තරම් පරිස්සමෙන් පාවිච්චි කරාද කියලා දන්නේ මම. (ඒක අරන් දුන්නේ මගේ පියා. එතකොට මම තුන් වෙනි අවුරුද්දේ ඉගෙන ගනිමින් හිටියේ)  

ඉතින් අපේ ස්කෑන් යන්ත්‍රය තියෙන කාමරයේ පොඩි මේසයේ කොණක තියපු වෙද නලාව බිම වැටිලා බෙල් එක කොටසේ රිම් එක ගැලවිලා ගියහම හිතුනේ... ඒකත් එහෙම උනා නේද ? කියලා. කොහොමත් සියලු සංස්කාරයෝ නැසෙන සුළු උනත් ස්ටෙත් එකක් නැතුව වැඩ කරන්න පුළුවන් කමක් නෑ. ක්ලිනික් දවසට අපි හරි අමාරුවක වැටෙන්නේ. මොකද හතර පස් දෙනෙක් ම, එන්නේ ස්ටෙත් එක නැතිව . ඒකත් කමක් නෑ ගෙදර ආවම , අනේ පුතේ ප්‍රෙෂර් බලන්න කියලා අහල පහල ඇන්ටිලා අන්කල්ලා එනකොට දැන් මාස තුන හතරක්ම කීවේ නලාව කැඩිලා කියලා. අන්තිමට මම හිතුවා දැන් නම් නලාව හදා ගන්නම ඕනේ කියලා. කොහොම හරි , කොළඹ රටේ වාහනයක් එළවලා නැති මට.. සිද්ධ වෙනවා බස් එකේ යන්න ( අනිත් කොණේ මට තිබුනේ බයිසිකලයක් නේ).

අපේ ගෙදර අයට මම කොළඹ තනියම ඇවිදීම ගැන එතරම් මනාපයක් තිබුනේ නෑ. ඒත් සමහරු කියන්නේ... අච්චර අර දුර ඉන්නත් පුළුවන් තනියම , එන්නත් පුළුවන් තනියම. මේ ටවුමට ගිහින් එන ටිකට මොකද ඔච්චර බය කියලයි.

කොහොම හරි කොල්ලුපිටියේ පුද්ගලික රෝහලක ලෙඩින් සිටි අක්කගෙ බබාවත් බලාගෙන, එළියට බැස්සම තමයි මට තේරුණේ ඒක කොයි තරම් අමාරුද කියලා.

ඔන්න මමත් නැග්ගා බස් එකක... මට යන්න තිබුනේ ධර්මපාල මාවතට ටවුන් හෝල් එක කිට්ටුවට එනකම් ෆාමසි තුන හතරක් චෙක් කරන්න වෙන නිසා, බෙල් එක කොටසේ කැඩුනු කොටස් ටික විතරක් ගන්න. මේක ටිකක් විශේෂයි මොකද, මේ මගේ පළමු ස්ටෙතසය. මෙය ලැබෙනකම් මම පාවිච්චි කලේ ලාභ බොහොම ප්රාතමික වෙද නළාවක්. දැන් ඉතින් අව්වයි කියලා නොගිහින් ඉන්න යෑ.

බස් යන පාරවල් වෙනස් කරපු බව වැටහුනේ, එක පාරක් නැගපු බස් එක, ටවුන්හෝල් වෙනුවට බම්බලපිටිය පැත්තට හැරෙව්වමයි, අනිත් බස් එක ටවුන් හෝල් යන්නේ නැත නෙළුම් පොකුණ ළඟින්නම් බස්සවන්නම් කියූවමයි. වැඩි හොඳට, පයින් යන්නම් කියලා, මහජන පුස්තකාලය ළගින් බැහැ ගත්තා. ඉස්සරනම් මහජන පුස්තකාලය මට ලෝකයම වගෙයි. ඒ කාලේ බොහොම කලබගෑනි පිරුණු පරිසරයක ජීවත් වුනු මට නිස්කලංකව පාඩම් කරගන්න උපකාරී වුනේ මෙහි තිබෙන පාඩම් ශාලාවයි. තනි තනිව කොටු කරලා තිබෙන මේසෙකට වෙලා බොහොම නිවි සැනසිල්ලේ පාඩම් වැඩ කරගන්න පුළුවන් කම තිබුනා. ඒ කාලේ මාසෙකටම එහි යන්න ප්‍රවේශ පත්‍රය වුනේ රුපියල් 10 යි. අපිට දැන් කාලේ දරුවන්ට තරම් මහා ලොකු හීන ගොඩක් හෝ අරමුණු ගොඩක් තිබ්බේ නෑ. ඉස්සෙල්ලම සා පෙල, ඊට පස්සෙ උසස් පෙළ, දැන්නම් අර විභාග මේ විභාග , නැටුම් පන්ති, මියුසික් පන්ති ලන්ඩන් එක්සෑම් කියලා කොයිතරම් නම් දේවල් ගොඩක් ඇද්ද.

ඒ මතකයන් එක්ක කොහොම හරි ටවුන් හෝල් ආසන්නයේ වෛද්‍ය උපකරණ විකුණන කඩයට ගිහින් වෙද නළාවේ කැඩුනු කොටස් මිලදී ගත්තා. ඒ අයටත් පුදුමයි මෙච්චර කාලයක් වෙද නළාව පැවැතීම ගැන. හැබැයි පාටනම් වෙනස් වෙලා. කඩේ හිටපු ගෑණු ළමයා කිව්වේ " මෙච්චර කාලයක් මේක පරිස්සම් වුන එක නම් වාසනාවක්" කියලයි.

වාසනාවක් තමයි ! රට විනාස කරලා උපයාගන්න මිලියන ගණනක් මුදල් හෝ සැප පහසු යාන වාහන නොතිබුනාට... නොදන්නා කෙනෙකුගේ ජීවිතය තමන්ගේ වගේ හිතලා ක්‍රියාකරලා, වෙහෙසිලා හම්බවෙන සොච්චමේ අගය මට වැටහුනා.

වෙහෙසකර දවසක අවසානයේ තමන්ගේ හර්ද සාක්ෂිය එක්ක ගණුදෙනු කරද්දී තමන් ගැන අභිමානයක් , සතුටක් හිතට දැනෙනවානම් ඒකම තමයි උපයා ගත්තු හොඳම දේ කියලා මට වැටහුනා. ඒකත් කොයි තරම් වාසනාවක්ද ?

Thursday, March 28, 2013

ඔවුන් මනුස්සකම ඉගෙන ගත්තේ අපෙන්....


"අක්කා මම උසස් පෙළ ලියලා දැන් ප්‍රින්ටින්ග් ප්‍රෙස් එකක වැඩ කරනවා." ඒ කිව්වේ දන්නා හඳුනන දෙමළ මල්ලී කෙනෙක්. කලකට කලින් අනිත්කොණ රෝහලේ වැඩ කරද්දී පුනුරුත්ථාපනය වෙච්චි ළමා සොල්දාදුවන්ගෙන් කෙනෙක්. මතකද මම ලීවා ඕස්ට්‍රේලියානුවන්ගේ අත්පොලසන් සහ අපරාජිතන්හතුරු හිත් මිතුරු කළ බෙහෙත,  ජීවිතය සොයා  .

 "ඔයාට බය හිතුනේ නැද්ද ? ඒ අය එක්ක කතා කරන්න" යෙහෙළියක් අහනවා දවසක්.
"මොකටද ?"
 "කොච්චර උනත් තුවක්කු අරගෙන යුද්ධ කරපු අයනේ" ඇය කියයි.
 "එගෙම උනත් ඒ අය ඒකාලේ පොඩි ළමයි, ඒ අයව හරි මගට ගන්න අපි මග පෙන්නුවා. දැන් එයාලා සන්තෝස වෙනවා ඒ ගැන."

අසනීප වුනත් නොලියා ඉන්නේ කොහොමද...ඩූඩ් අයියා කිව්ව නිසාම ඉංග්‍රිසි ලිපි වලට වෙනම බ්ලොග් එකක් පටන් ගත්තා.monsoon bliss කියලා... මෝසම් වැස්සට කවුද අකමැති... ඒ අතරේ අසනීප වුන නිසා මාසෙකට වඩා නිවාඩු ඉන්නත් වුනා. ජීවිතේ පළමු වතාවට රෝහල්ගත වෙන්නත් වුනා. ඒකනම් හරිම හාස්‍යජනකයි. මම මගේ රෝහලේ මගෙම වාට්ටුවේ රෝගියෙක් වුනා. කමක් නෑ පූරුවේ කර්ම තමයි. ඒ එක්කම කරපු හොඳ සේරම උදව් වෙන්න ඇති ජීවිතේ බේරෙන්නත්.

" අක්කේ අපේ පොත හදනවද?"

 "ඔව් මල්ලී මට සමාවෙන්න මේ තරම් කාලයක් ගත වුන එකට... ඒක එකලසක් කරන්න අපිට වෙලාව හොයාගන්න බැරි වුනා"
"කමක් නෑ.. අක්කේ ඔයාට කොහොමද ?"
සිංහලෙන් ඔවුන් ෆේස් බුක් ගිනුම ඔස්සේ අසයි. "මට සනීප නෑ මම දැන් ඉස්පිරිතාලේ ඉන්නේ...  ඔන්න ඉතින් අසනීප කාලය පුරාම ඔවුන් සැරෙන් සැරේ දුක සැප විමසයි.
"ඔයාට දැන් හොඳද අක්කේ... "

 ළඟම යහළුවන් වුනත් එකට වැඩ කරන දොස්තරලා වුනත් නෑයින් වුනත් මට මොකද වුනේ කියා දැන දැනත් කොහොමද කියා වචනෙකින් නොවිමසන කල මාස කිහිපයක් ඔවුන් හට උදව් කළ සිංහල අක්කා ගැන ඔවුන් වද වේ. සුව දුක් සොයා බලයි.

"ඔයාට බය නැද්ද ෆේස් බුක් එකෙත් ඇඩ් කරගන්න..." ඊනියා වර්ගවාදී අදහස් පමණක්ම හිත් වල ඇති අය කවදා මනුස්සකමක් ගැන ඉගෙන ගනියිද ?

"නෑ මට බය නෑ... මොකද, ත්‍රස්ත්වාදී අදහස් පමණක් කවා පොවා තුවක්කු අතට දීලා අනුන් මරන්නට හදපු ඒ දරුවන්ගේ කුඩා මොළ වලට මනුස්සකම ආදරය කරුණාව ඉගැන්නුවේ අපි නිසා... අපෙන් ඉගෙන ගත්තු මනුස්සකම එයාලගෙන් ආයේ ගිලිහෙන්නේ නෑ."

 මොන තරම් වෛර කරන කෙනෙක්ට උනත් මෛත්‍රීය කරුණාව පතුරන්න, තමන්ගේ හිත හදා ගැනීම වඩා උසස් උතුම් කාර් යය බව වටහා දෙන්න අපට පුළුවන් වුනා. අනුන්ට ගහන්නට අත උස්සනවා වෙනුවට ඒ අයට නැගී හිටින්නට අත දෙන කෙනෙක් වෙන්න උගන්වන්න පුළුවන් වීම. අනික් අයගේ දුක දැනෙන අය වීමට පුළුවන් වීම ගැන මට දැනෙන්නේ සිහින් ආඩම්බරයක්. ඒ සියල්ලෝම ඔවුන් ගැන හොඳ කතා කරන නිසාය. ඔවුන්ගේ පොත දෙමළ බසින් දැනටමත් පිටවී තිබේ.  එහි තිබෙන්නේ ඔවුන් කුඩා කල සිට විඳි දුක් සහ යුද්ධය නිමා වූ පසු ඔවුන් වින්ද සැනසීම සහ සතුටයි. එහි සියල්ල සිංහලට හැරවීම කලත් තවම පොත එකලසක් කරන්න නිවාඩුවක් හොයාගන්න බැරිවීම දුකක්. !


 "ඉක්මනින් මම ඔයාලගේ පොත සිංහලෙන් හදනවා" මම ඔවුන්ට පැවසීමි.
 "අක්කා ඉස්සෙල්ලා සනීප වෙලා ඉන්න" එක් අයෙක් පවසයි.