Wednesday, May 8, 2013

මේ ලේ මට නොවේ….ලෝක තැලසීමියා දිනය වෙනුවෙනි.



පසුගිය දිනක ලේ දන් දීමේ මහඟු පුණ්‍ය කර්මයක් බ්ලොග් ලියන සොහොයුරු සොහොයුරියන් අතින් සිදුවුනා මතකයි. එය නම් අසීමාන්තික පිනක්. ලේ බිඳක් නිසා ජීවිත බේරුනු අවස්ථා මගේ මේ සුළු සේවා කාලය තුල අපමණයි . ඔබ දෙන ඒ ලේ බිඳෙන් , රෝගාබාද දහස් ගණනකින් පීඩා විඳින කුඩා දරුවන්ගේ පටන් වැඩිහිටියන් දක්වා මිලියන ගණනකගේ ජීවිත සුරැකෙන බව ඔබ දන්නවාද ? සමහර විට මා මේ කියන්න යන දේ සමග මේ සම්බන්ද අත්දැකීම් ඇති අයටත් අප සමග බෙදා හදා ගත හැකි කථා බොහෝමයක් ඇතිවාට සැක නැත.



මම කායික රෝග වාට්ටුවලදී, රක්ත හීනතාවය , යකඩ ඌණතාවය, වකුගඩු රෝගය,සහ අනෙක් නොයෙකුත් රෝග නිසා ලේ මදි කමින් සිටින , මග යන්න පණ නැතිව, කය වාරු නැති දහසකුත් දෙනා ලේ පයින්ට් එකක් දෙකක් ශරීරගත කරද්දී පණ ගැසී එන අයුරු ඇස් දෙකෙන් දැක ඇත්තෙමි. ශල්‍යාගාරවලදී අධික රුධිර වහනය වෙමින් ගෙන එන පණ අදින රෝගීන් කී දාහක් නම් ලේ පයින්ට් දහය පහළොව දී බේරාගෙන ඇතිඉතින් එහෙම අවස්ථාවලදී වෛද්‍යයවරු වන අපිට ලේ පයින්ට් එකක අගය දැනෙන්නේ රෝගීන්ටත් වඩා වැඩියෙන් අපි නිතර ජීවිත බේරාගන්න අරගල කරන නිසා. සුළු කලකට රුධිර රෝග ආශ්රිත වාට්ටුවක සේවය කරන්නට ලැබුනු ඉඩකඩින් ලේ බිඳක අගය බොහෝ සේ දැනුනා. අප ශිෂ්‍ය අවධියේ සිටම බොහෝ ලෙස මුණ ගැහුනු, තැලසීමියාව, හිමොෆීලියාව , සහ අනෙක් රුධිර සෛල ආශ්‍රි රෝගාබාද වලට ලක්වූ පොඩි දරුවන්ගේ ඉඳන් වැඩිහිටියන් දක්වා බොහෝ පිරිස් මුණ ගැසුනා.

ඔබ විශ්වාස කරනවාද , ඔබ දුන් ලේ බිඳ නිසා ජීවිතය ඉදිරියට පවත්වාගෙන යන දරුවන් දැරියන් මේ මිහිමත සිටිනවා කියාලෝක තැලසීමියා දිනය යෙදී තිබෙන අද වැනි දිනක තැලසීමියා රෝගය ගැන යමක් සටහන් කරන්නටම හිතුනේ, ඔවුන්ගේ සංවේදී සිතුවිලි මෙන්ම ඔවුන්ගේ දුක්බර ලෝකයට එබිකම් කරන්න ඔබට විනාඩි කිහිපයක් වැය කරන්නට හැකි යැයි සිතුනු නිසාමයි.

තැලිසීමියා රෝගයේදී රුධිරයේ ඇති හිමෝග්ලොබින් නැමැති ඔක්සිජන් ප්රවාහනය කරන සංඝටකය ක්රමාණුකූලව නිෂ්පාදනය නොවීම හා ඉක්මනින් රතු රුධිරානු බිඳී යෑම සිදුවේ. අපේ රට පිහිටි මේ දකුණු ආසියාතික කලාපයේ මෙම ජානමගින් උරුම වෙන මේ රෝගය බහුලව දක්නට ලැබේ. අපේ සිරුරේ හැම දෙයක්ම තීරණය වෙන්නේ ජාන නිසා බව ඔබ දන්නවා ඇති. මවගෙන් සහ පියාගෙන් උරුම වෙන ජාන ,යුගලය බැගින් අප සෛල වල තිබේ. හැම යුගලයකින්ම එකක් අම්මාගෙන් සහ අනෙක තාත්තාගෙන් අපට උරුම වේ. තැලසීමියා රෝග තත්වයද අපේ සිරුර තුල ඇති රුධිරයේ හිමෝග්ලොබින් සෑදීමේදී උපකාර වෙන ජාන වල ,රෝගී ජානයක් පැමිණීම මගින් සිදුවේ. සාමාන්යයෙන් අපට නිරෝගී ජාන දෙකක් අම්මාගෙන් සහ තාත්තාගෙන් උරුම විය යුතුය. නමුත් රෝගී ජාන දෙකක් උරුම වුනෝතින් තැලිසීමියා රෝගය ඇතිවේ. නිරෝගී එක් ජානයක් සහ රෝගී ජානයක් ලැබුනොතින් ඔවුන් තැලසීමියා වාහකයෙක් බවට පත්වේ. මේ ජාන බෙදීම් සහ රෝගය වැලදෙන ආකාරය පහත රූප සටහන් වලින් පැහැදිලි වේ.

ඉතින් ඉහත රූප සටහනේ ලෙස, වාහකයන් දෙදෙනෙකු අතර ඇති වන විවාහයෙන් තැලසීමියා රෝගී දරුවෙක් බිහිවෙන්න 25% ඉඩකඩක් ඇත. සම්පූර්ණ නිරෝගී දරුවෙක් මෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන වාහක තත්වය ඇති දරුවන්ද ඇති විය හැකි වුනත්, රෝගී දරුවෙක් ඇති වීමෙන් මුළු ජීවිතයම අඳුරු වී, සාමකාමි පවුල් පසුබිම් සියල්ල දුක්කදායි වෙනවා අප ඕනෑ තරම් දැක ඇත්තෙමු. එනිසා තැලසීමියා රෝගය ඔබේ හෝ පවුලේ කෙනෙකුට ඇති නම්, හෝ වාහක තත්වයක් ඇති බවට කලින් නිර්ණය කර ඇතිනම් අනිවාර් යයෙන් ඔබේ ලේ පරීක්ෂා කරගත යුතුය. මේ රෝගය එවැනි වලක්වාගත හැකි ක්‍රම වලින් හැකි පමණ අඩු කරගැනීමට හැකි බව විශ්වාසය.

 ඈත අතීතයේදි නම් මේ රෝගයට ලක්වූ දරුවන් ජීවිතේ පළවෙනි අවුරුද්ද දෙක ඇතුලත මරණයට ලක් වුනා. නමුත් දැන් රුධිර පාරවිලයනය හෙවත් ලේ ශරීරගත කිරීම නිසා මේ දරුවන් බොහෝ කල් ජීවිතය අත්විඳිනවා. ඔබ දන්නවාද බොහෝ පවුල් වලට සිටින්නේ තමන්ගේ රෝගී දරුවා පමණක්ම කියා. මන්ද මෙය ජානමය තත්වයක් නිසා එවැනි පවුල් වලට ඉපදෙන්නට වඩා ඉඩ ඇත්තේ රෝගී දරුවන් මේ හේතුව නිසා දෙමාපියන් ඊළඟට ඉපදෙන දරුවන් මෙවැනි ඉරණමකට ගොදුරු වේ යැයි බියෙන් තම එකම රෝගී දරුවා රැක බලාගෙන සිටිනවා.

මෙහිදී මට , ජීවිතේ බොහෝ දුක්ක දෝමනස්ස වලින් හෙම්බත්ව සිටින මොහොතක අපිට වඩා දුක් විඳින කෙනෙක් දැක්කම ඇතිවන ආත්ම අනුකම්පාව බොහෝ සෙයින් දැනුනා.  ජාන මගින් මහ තැලසීමියා රෝගය ඇතිවුනු කෙනෙක්ට තම ජීවිත කාලය පුරාම රුධිරය සහ ශරීරයේ යකඩ අඩු කරන බෙහෙත් එන්නත් මගින් ශරීරගත කරගන්න වෙනවා , දවසක් ගානෙම. ඔබ හිතන්න හැමදාම එන්නත් කටු අතේ පයේ ගහගෙන බෙහෙත් විදගන්න උනොත් පොඩි වයසේ ඉඳන්ම ඒක කොයි තරම් නම් දුකක් ද ? මේ කුඩා දරුවන් එන්නත් කටු වලට බයේ මුල් කාලයේදී හඬා වැටුනත් පසුව ඔවුන්ට මෙයින් තොර ජීවිතයක් නොමැති බව තේරුම් ගත් පසු බොහොම අමාරුවෙන් ඒ දුක ඉවසන අයුරු දුටුව විට අපිටත් ඇති වෙන්නේ දුකක්.

මේ රෝගය වලක්වාගත හැකිද ?

ඔව් පුළුවනි. ඒ තැලසීමියා රෝගය ජාන මගින් උරුම වෙන නිසා. මෙය උරුම වෙන්නේ රෝගකාරක ජාන දෙකම මවගෙන් සහ පියාගෙන් දරුවෙකුට උරුමවුනොත් නිසා මවගේ සහ පියාගේ ජාන ගැලපීම මගින් මේ රෝගය ඇති දරුවෙක් ඇතිවීම වැලැක්විය හැකිය. ඒසඳහා අවශ්‍ය ජාන තාක්ෂනික පහසුකම් අපේ රටේ තැලසීමියා රෝගය සම්බන්දයෙන් ප්‍රතිකාර කරන රෝහල් වල ඒකක සහ මධ්‍යස්ථාන වලින් නොමිලේම මේ සඳහා පහසුකම් සැපයෙනවා. තැලසීමියා පොරොන්දම ගලපනවා කියා දෙයක් අද සමාජයට එකතුවී ඇත්තේද මේ නිසාය. විශේෂයින් ලේ නෑයින් අතර විවාහ වලදී මෙන්ම, මෙවැනි රෝගයක් නිර්ණය කරගත් කෙනෙක් ඔබේ පවුල් වල දුරින් නෑදෑ කෙනෙකු හෝ ඉන්නවනම් ඔබේ රුධිරය පරීක්ෂා කරගැනීම නුවණට හුරුයි. කොහොමත් මේ රෝගය බහුලවම ඇති ප්‍රදේශ වල විවාහ වලට ප්‍රථම තැලසීමියා රෝග කාරක ජාන පරීක්ෂාව කරන්නට අද වෙන විට බොහෝ අය දැනුවත් වී තිබෙනවා.

මේ කියවන ඔබට මේ ගැන වැඩි විස්තර හෝ, තමන්ට තැලසීමියා රෝගී ජාන ඇති දැයි පරීක්ෂා කරගැනීම සඳහා පහත සඳහන් ඒකක වලට යොමු විය හැකිය. 

කුරුණෑගල මහ රෝහල, තැලසීමියා ඒකකය
මහ නුවර ශීක්ෂණ රෝහල, තැලසීමියා ඒකකය
අනුරාධපුරය ශික්ෂණ රෝහල , තැලසීමියා ඒකකය
රාගම - උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මහර, පිහිටි හේමාල්ස් තැලසීමියා සහන පියස 


යන මේ තැන් වලින් ඒ පරීක්ෂණ කර ගත හැකිය.

Image credit : image 2 : http://www.sengenics.com/ Image 3. www.thenews.com.pk

19 comments:

  1. ලේ නෑයින් අතර විවාහයන් වලදී මේ ජාන හුවමාරු වීමේ සම්භාවිතාව වැඩි නිසා එහෙම අය විවාහ වෙනවා නම් මේ පරීක්ෂනය අනිවාර්‍යයෙන් කරගන්න එක හොඳයි නේද අක්කා? ඒ ටික ලිපියේ පොඩ්ඩක් හයිලයිට් වෙනවා නම් අගෙයි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලී ඒ විස්තරත් එකතු කලා..

      Delete
  2. මේක අපි වැඩ කරන මෝල්ඩිව්ස් වල ජාතික ප්‍රශ්ණයක්. මම හිතන්නේ මේ මිනිස්සු වැඩියෙම පීඩා විඳින්නේ ඔය ලෙඩෙන්. එයාලට පාට කාඩ් එකකුත් අනිවාර්යයෙන්ම දීලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි ඩූඩ්.... මේ ලෙඩෙන් පීඩා විඳින්නේ දරුවන් පමණක් නොවේ ඒ දරුවන්ගේ දෙමාපියනුත්, ඒවගේම රැක බලා ගන්නා අයත් , රෝහල් සහ රජයන් මේ හැම දෙනාම එක සේ කැපවීමෙන් ක්‍රියා කල යුතුයි නමුත් අපි වගේ තුන්වන ලෝකයේ රටක ඒවගේ තත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒකයි බොහෝ විට මේ රෝගය වලක්වාගන්න දැනුවත් කිරීම් කරලා පියවර ගන්නේ... පාට කාඩ් එකක් මෙහෙත් නිකුත් කරනවා. ඉගෙන ගන්න කාලෙට වඩා මේ ගැන ක්‍රියා කරද්දියි කොච්චර භයානකද, ඒනිසා කොයිතරම් මේ දරුවන්, වැඩිහිටියන් දුක්විඳිනවාද කියලා තේරුනේ...

      Delete
  3. දැන් නම් ඉන්නෙ මේ කොණ නේද ?

    ReplyDelete
  4. මට ලේ දෙන්න වෙලාම නැහැ... බර සම්පූර්ණ නැහැනෙ...

    මේ වගේ කාරණා ගැන දැනුවත් කරන එක හරි වැදගත් නංගි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කා... ඉස්සරහට මේ තත්වය පොඩ්ඩක් හරි අඩු කරගන්න පියවර ගන්න ඕනේ..

      Delete
  5. බොහොම වටිනා ලිපියක්. මම දන්න කෙනෙකුත් මේ ලෙඩෙන් මැරුනා.ඒත් තාම ගොඩක් අය මේ ගැන දැනුවත් මදි.

    ReplyDelete
    Replies
    1. ඔව් නිල් නෙළුම.... ඇත්තටම දැනුවත් බාවය නම් හොඳටෝම මදි. බෙහෙත් තියෙන අද වගේ කාලෙක මේ ලෙඩෙන් මැරෙන එක නම් දුකක්..

      Delete
  6. ගොඩක් වටින ලිපියක් අක්කා. සමාජය දැනුවත් විය යුතුම කාරණයක්!
    ඔන්න මගෙ සීමාවාසිකය ලබන සතියෙ පටන් ගන්නවාලු!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි... සීමාවාසිකය සොඳුරුම එකක් වේවායි පතමි... එය එසේ නොවන බව දන්නා නමුත්.

      Delete
  7. වැදගත් ලිපියක්.
    හරිම සතුටුයි මේ වගේ විස්තර බෙදා ගැනීම ගැන

    අදයි ආවේ මේ පැත්තට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සසිනි. සාදරයෙන් පිළිගන්නවා. මගේ ඉඳ හිට ලියැවීම් හරි කියවන එකට බොහෝම ස්තූතියි සසිනි.

      Delete
  8. බොහොම ස්තූතියි මේ ලිපිය පල කලාට.... ඉතාමක් වැදගත් තොරතුරු මෙහි අඩංගු වෙලා තියනවා... මට ගැටළු කීපයක් තියනවා..
    1. තැලැසීමියා රෝගය නැති දෙමව්පිය දෙපලකගේ දරුවෙකුට උනත් තැලිසීමියා රෝගය වැළදීමේ අවධානමක් තියනවා ද..?
    2. මෙම රෝගය මුලික රෝග ලක්ෂණ මොනවාද..?
    3. යකඩ ඌනතාවය සහ මෙම රෝගය අතැ සම්බන්ධයක් තිබේද..?
    4. ලේ සාම්පල පරික්ෂාවක් නොකර මෙම රෝගය හඳුනාගැනීමේ චර්යාමය වෙනස්කම් තිබේද..?

    මේ ගැටළු විසඳගන්න උදව් වෙන්න පුලුවන් නම් බොහොම පිං...

    ReplyDelete
    Replies
    1. මෙහි ආ එකට ස්තූතියි. ඔබේ ප්‍රශ්ණ වලට පිළිතුරු පිලිවෙලින් ලියන්නම්, 1. තැලැසීමියා රෝගය නැති දෙමව්පිය දෙපලකගේ දරුවෙකුට උනත් තැලිසීමියා රෝගය වැළදීමේ අවධානමක් තියනවා ද..? දෙමාපියන් තැලසීමියා රෝග වාහකයන් නම් රෝගය ඇතිවීමේ අවධානමක් තියෙනවා. නමුත් මහ තැලසීමියා රෝගය ඇති අයෙක් ඉපිද බොහොම සුළු කාලයකදී හඳුනා ගැනෙන නිසා, එය ස්ථිර ලෙස කියන්න පුළුවන් ලේ පරීෂණ මගින්ම පමණයි. දෙමාපියන් වාහකයන්නම් ඇත්තටම 25% අවධානමක් තියෙනවා. පළමු දරුවා තැලසීමියා රෝගියෙක් වී දෙවෙනි දරුවා බොහොම සෞඛ්‍යසම්පන්න විය හැකි අවස්ථාත් දැක තියෙනවා. කොහොම උනත් ස්තිර ලෙස වාහක තත්වය හඳුනා ගතහොත් , රෝගය ඇතිවීමේ දරුවෙක් ලැබීමේ අවධානම තියෙනවා.
      2. මෙම රෝගය මුලික රෝග ලක්ෂණ මොනවාද..? බොහෝ විට ඇඟ කහ වීම, ඉක්මනින් ආසාදන වලට ගොදුරු වීම වගේම, සාමාන්‍ය ලේ පරීක්ෂාවකදී රුධිරගත හිමෝග්ලොබින් මෙන්ම PCV, MCH, MCHC , MCV යන අගයන් බොහෝ ලෙස පහත වැටෙනවා. සාමාන්‍යයෙන් දරුවෙක් ඉපිද මාස 3- 6 ඇතුලත මෙවැනි දරුවන් හඳුනාගැනෙනවා.

      Delete
  9. බොහොම වැදගත් ලිපියක්... මට ගැටළු කීපයක් තියනවා... මගේ දියිණියගේ යම් යම් වෙනස් චර්යා රටාවන් මතුවෙන්න ගත්තා... ඇය හඳුන්කූරු කන්න... වැලි කන්න වගේ පෙළඹුනා.... පසුව මැයව වෛද්‍යවරයෙක් වෙත යොමුකලාම ඔහු කියලා තියෙන්නේ මැයට යම් යකඩ ඌනාතාවයක් හෝ තැලිසීමියා රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා කියලා.... මටවත් මගේ බිරිඳටවත් මෙම තැලිසීමියා රෝගය නැහැ... මගේ හෝ මගේ බිරිඳගේ පවුලේ කිසිම කෙනෙක්ට මේ රෝගය නැහැ.... දැනට එක් රුධිර පරික්ෂාවක් කරලා තියනවා.... මාස කීපයක් රුධිරය පරික්ෂා කරන්න අවශ්‍යයි කියලා තමා වෛද්‍යවරයා කියලා තියෙන්නේ....
    දෙමව්පියන්ගෙන් කාටවත් තැලිසීමියා රෝගය නැතිව එය වැළඳෙන්න ඉඩ තියනවද...?
    මුලික රෝග ලක්ෂණ මොනවාද යන්න පැහැදිලි කලොත් ගොඩක් වටිනවා...

    ReplyDelete
    Replies
    1. දෙමාපියන්ගේ රෝග ලක්ෂණ නොමැතිනම් ඔවුන් වාහකයන් විය හැකියි. මා ඉහත සඳහන් කළ ලෙස ඔවුන් වාහක තත්වයේ නම් තැලසීමියා රෝගී දරුවෙක් ඇතිවීමේ අවධානම තියෙනවා. නමුත් දෙමාපියන්ගේ HPLC රුධිර පරීක්ෂණයක් නොකොට මේ ගැන තහවුරු කරන්න බෑ. මූලික රෝග ලක්ෂණ , බර වැඩි නොවීම, වර්ධනය හීන වීම, මහන්සි ඇතිවීම, කලාන්ත් ගතිය වැනිදෑ සමග, සුදු මැලි වීම හෝ ඇඟ කහ වීම, හෝ උදරය ඉදිමීම වැනි දෑ දැකිය හැකියි. ගොඩක්ම දරුණු වුනහොත්, හර්ද ස්පන්දනය වේගවත් වීම, හුස්ම ගැනීමේ අපහසුතා සමග ඇඟ කහ විම, ඉක්මනින් ආසාදන රෝග වලට ලක් වීම ගත හැකියි. නමුත් දරුවා කුඩා කාලයේදීම යම් ලක්ෂණයක් නිසා රෝහලකට හෝ වෛද්‍යවරයෙකුට යොමු වුවහොත් මූලික රුධිර පරීක්ෂාවේදී යම් අගයන් මගින් එය සැක සහිත තත්වයක් බව අනාවරණය වේ. හිමෝග්ලොබින් අඩුවීම යකඩ ඌණතාවයේද ලක්ෂණයක්. නමුත් තැලසීමියා රෝගයේති ඇඟේ සෛල බිඳවැටෙනවා මෙන්ම , හිමෝග්ලොබින් අඩුවීම සමග ශරීරයේ යකඩ වැඩිවීම දකින්න පුළුවන්. ඒකයි ඔවුන් ශරීරයේ යකඩ අඩු කරන බෙහෙත් දෙන්නේ. ඔබට මේ ගැන සවිස්තරාත්මකව විමසීමටනම් , මහර කඩවත පිහිටි, රාගම ශීක්ෂණ රෝහලේ, තැලසීමියා සහන පියසට, හෝ කුරුණෑගල රෝහලේ පිහිටි තැලසීමියා ඒකකයට යන්න. වැඩි විස්තර සහිතව පරීක්ෂණ සියල්ල නොමිලේ කරදෙනු ඇත.

      Delete
  10. මේ රෝගය නිසා දුක් විඳින දරුවන් දෙදෙනෙකුගේ මාපිය යුවලක් මා දැනගෙන හිටියා. දරුවන්ට පවා දිනපතා එන්නත් ලබා දෙන්න වෙනවා කියන්නේ හරිම දුක හිතෙන දෙයක් . ඔය එන්නත් දීමට දිනපතාම අත සිදුරු කරන්නේ නැතිව කරන්න පුළුවන් වෙනත් දෙයක් හොයාගෙන නැද්ද ?

    ReplyDelete
  11. මම කියවපු ලිපියක තිබුනා අපේ ශරීරයේ වර්ණදේහ යූගල් 23ක් තියෙනවලු..මේ යූගල 23න් එක යූගලයක් ලිංග වර්ණ දේහ ලෙස හදුන්වනවලු.මෙම වර්ණ දේහ යූගලය තමයි ජීවියා ගේ ස්ත්‍රී පූරුෂ බව තීරණය කරන්නේ. ඉතිරි වර්ණ දේහ යූගල් 22ම පාරම්පරික විවිධ රෝග හා ලකෂණ රැගෙන එනවා. ලේ නෑ විවාහයේ දී මව ගෙන් හා පියා ගෙන් යන දෙදෙනා ගෙන් ම එකම ජාන දරුවාට ලැබුනම පරම්පරාවෙන් එන යම්කිසි රෝගයක් තිබෙනවා නම්, එම රෝගයට අදාළ ජාන මව්පිය දෙපාර්ශ්වයෙන් ම දරුවාට ලැබෙන නිසා පාරම්පරික රෝග ලකෂණ හා දුර්වලකම් එම දරුවා තුළ මතු වෙන්නට තිබෙන අවස්ථාව වැඩියිලු ...

    තැලමීසියාව විතරක් නෙවේ තව ගොඩක් රෝග මේ විදිහට ජාන ගත රෝග ගොඩට වැටෙනවා , මේ සම්බන්ධව නම් ලංකාවේ බොහෝමයක් දැනුවත් නෑ කියලා මට හිතෙනවා අක්කෝ... මම දැනන් හිටියේ නෑ රාගම තැලමීසියා සහන පියස ගැන,, දැනුවත් කිරිම ගැන ස්තූතිවන්ත වෙනවා

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !