Saturday, August 30, 2025

එක අතකට පුදුමයි නේද ?

 


පශ්චාත් උපාධිය අවසන් වූ සතියේ අපේ මහාචාර්යවරු එක්ක භෝජන සංග්
රහයක් පැවැත්වුණා. ඒකෙදි එකිනෙකා ඉදිරියේදී තමන්ගේ අරමුණු සහ මේ කළ කී දෑ වලින් කොහොමද ලෝකයට තමන්ගේ රටට, ප්රජාවට ආලෝකයක් ගෙන එන දෙයක් කරන්නේ කියලා කතා වුණා. මේ ලද ප්රජා සෞඛ්ය අංශයේ අධ්යාපනය නම් මිල කළ නොහැකියි. මට එනිසා දැනටමත් මගේ රටේ විවිධ ප්රජා වැඩසටහන් සහ පර්යේෂණ සඳහා දායක වෙන්න හැකිවෙලා තියෙනවා.

දැන් මේ සමුගැනීමේ උත්සවයේ දී අප්රිකාවේ සහ ආසියාවේ විවිධ රටවල සිට ආ පිරිස ඒ අයගේ රටවල හැටි සහ කරන්න ඕනේ අප්රමාණ දේ ගැන කියනවා. බොහෝ වෙලාවට ඇතැම් වැඩමුළු වලදී කඳුළු වැටුණු අවස්ථා මං මීට පෙර ලියලා තියෙනවා
ඒත් යුරෝපයේ සිට මෙහි ආ ඉගෙන ගත් අය ට නම් තමන්ගේ රටවල් ගොඩ නැංවීමේ ආතතියක් තිබුණේ නෑ.

යුරෝපයේ සංවර්ධිත රටක අයෙක් කීවේ

" මේ සමහර අදහස් දැක්වූ අයට වගේ රටේ අඩුපාඩු හෝ නැවත ගිහින් මගේ රටේ මෙහෙම දේවල් කරන්න කියලා එකක් මට මතක් වෙන්නේ නෑ. එහෙම අහේනියක්, අවුලක් පීඩනයක් මගේ රට විසින් මට ඇති කරලා නෑ. ඒක එක අතකට පුදුමයි නේද ? "
කියලා...
ඒක අතකට පුදුමයි නේද... ???

පුදුම වෙන්න දෙයක් නෑ. රාජ්‍යයක වගකීම සහ පුරවැසි අයිතීන් කියන දේවල් සුරකින රටවල් වල මිනිස්සුන්ට ආයේ වංචා දූෂණ අක්‍රමිකතා හෝ බංකොලොත් ක්‍රමවේද ගැන කරදර වෙන්න ඕනේ නෑ ! රට පුරවැසියන් වෙනුවෙන් සේවා සැපයීම් මූලික කරගෙන යාන්ත්රණය සකස් වී තිබෙනකොට ජීවන ක්රමය පහසුවෙනවා හිතකර වෙනවා.
නෑ නෑ මං නම් ඕවාට මොකුත් කියන්නේ ගියේ නෑ. හැබැයි ඉතින් මට නම් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් තිබුනේ නෑ. ලංකාව ගැන නිව්ස් වලින් ඇති තරම් කියලා තිබුණ නිසා ඔක්කොමලා ඒවා දන්නවනේ. උන්නුගමන් පිටට උරහිසට තට්ටුවක් දාලා කට්ටිය ශෝකය ප්රකාශ කරලා අහනවා ගෙදර මිනිස්සු හොඳින් ද කියලා.
මං ඉතින් කිව්වා මේ ඉගෙනීම දැනටත් සෞඛ්ය සහ සාමාජීය ප්රශ්න ගැන ප්රජාව දැනුවත් කිරීමේ ලොකු උවමනා ඉත්තෑවෙක් ඉන්න මට කොයි තරම් නම් වැදගත් වුණාද කියන එක !


පින්තූරය ෆේස්බුක් එකෙන්
බෝ. සමරතුංග

Wednesday, August 27, 2025

මගේ පස්සෙන් එන්න - Reviews..





කියූ ලෙසම ජීවක පස්සෙන් ගියෙමි.

කිසිවෙක් 'මගේ පස්සෙන් එන්න' යැයි කියූ පමණින් එසේ කළ නොහැක. එසේ යෑමට පෙර සිතීමට තවත්‍ කරුණු කාරණා රැසකි.

මා එසේ කළ යුත්තේ ඇයි? මට එසේ කිරීමෙන් කුමක් සිදුවිය හැකිද ? ආදී බෙහෝ කරුණු විසඳාගත් පසු සුදුසු නම් හෝ මා කැමති නම් පමණක් එසේ පස්සෙන් යායුතුයැයි මම සිතමි .
නමුත් පසුගිය දිනක සාමාජ මාධ්‍ය හරහා "මගේ පස්සෙන් එන්න" යැයි කී බෝ ගේ අකුරු ඇමුණුම පසු පස මම එ කිසිවක් නොවිමසා යන්නට තීරණය කළෙමි. ඇය මා හා කතා බහ කර ඇතත් කිසි දින හමුවී නැත. එනමුදු එසේ යෑමට කිරීමට තීරණය කළෙමි. එකම සීමාකාරී සාධකය වූයේ රාජකාරීමය වශයෙන් ඇතිව තිබූ යම් යම් හේතූ සාධක නිසා කාලය සොයා ගැනීමෙ බාධාව පමණි. තත්වය තරමක් යහපත් වූහෙයින් ඔබේ පස්සෙන් ආවෙමි.

බාච්චු වත්තේ ජීවක තමා පසු පස එන්නයැයි අබා හෙවත් ආරණ්‍යාට කීවේ කතාව අවසානයේ දී වුවද මම මෙම කෘතියේ මුල් පිටුවේ සිටම ජීවක පසුපස ගියෙමි. වටපිට බැලිමි. ඔවුන්ගේ කතාබහට සවන් දුනිමි. අතීතය හාරා ඇවිස්සීමි.

එසේ යන අතරතුර, වර්තමානයේ අප ඇස්පනාපිට සිදුවන, එසේම ඉදිරියටත් සිදුවෙමින් පවතින , අතීතයේදී ද සිදුවුන, ඒ නිසාම වටිනා ජීවිත අහිමි කළ ඖෂධ හා මත් ද්‍රව්‍ය ජාවාරම වටා ගෙතී ඇති කතා පුවතක් කියවා රසවිඳීමි. නීරස පරිසරයක සිට ගොඩ නැගෙනා මෙම කතාව රසට ලියවී ඇත. එක් එක් චරිත වල මුවට නංවා ඇති දෙබස් අතර බෝ කියන්නට තතන පණිවිඩ හොඳින් හඳූනා ගතිමි.හේතුව එය හොඳින් හඳුනා ගැනීමට පහසුය. එසේම පැහැදිළිය.

ලෝකයේ උතුම්රට ලෙස කියවෙනා, වියළි දණ්ඩක් වුවද පැළවෙනා, සංවර්ධිත රටක් වීමට සියළු මූලික වටපිටාවක් තිබුණද සදහටම සංවර්ධනය වෙමින් පවතින රටක ලේබලය මෙරටට හිමි කරඇති තට්ටු මාරු ක්‍රමයට මාරුවෙමින් යන දූෂිත දේශපාලන වටපිටාව පිළිබඳ ඇය මේ කතාව තුළ වරින් වර මතක් කර දෙයි.
ජනා අමුතුම චරිතයකි. විටක ඒ චරිතය තුළ මට බෝ ඔබවම දැකිය හැක. ඒ ඇය වෛද්‍ය වරියක් ලෙසින් දරනා මත හා අදහස් නිසා විය යුතුය. තවත් විටක මට අබා තුළ ඔබ ඊටත් වඩා හොඳින් දැකගැනීමට හැකිවී දැයි සිතේ.
ඒ ඇය ලියනා මෙන්ම දරනා මත හා අදහස් නිසාවෙනි
ජීවක හෙවත් ජීවා වෙනමම චරිතයකි. ඒ තුළ ඔබ වෙනසක් කිරීමට කැමති යෞවනයකුගේ සිතුවිලි මනාව ගොඩ නගා ඉදිරිපත් කරයි. මුල් පරිච්ජේද කීපයේදී ඔහු හැඟීම් දැනීම් නැති එනම් අපේ වචන වලින් කියනවානම් මෙලෝ රහක් නැති මහා සීතල චරිතයක් දැයි සිතෙන නමුත් එසේ වූයේ ඇයිදැයි දැනගත් පසු අප තුළ ඔහු කෙරෙහි අනුකම්පාවක් මෙන්ම භක්තියක් ඇතිවීම, ඔබ කතාව ගොඩනගා ඇති ආකාරය අනුව නිතැතින්ම ඇතිවේ.

විශ්ව විද්‍යාලයක් යනු වෙනමම සංස්කෘතියකි. එහි ඇත්කේ වෙනමම භාෂා භාවිතයකි. එහි ඇත්තේ වෙනමම හැසිරීම් රටාවකි.ඔබ එය ඉතාම හොඳින් අධ්‍යයනය කර මෙම කෘතිය තුළ දෙබස් මෙන්ම සිද්ධි ගොඩ නැගීමේදී යොදාගෙන ඇති ආකාරය අගය කළ යුතුමය. කිහිළි කරු භාවිතා කරමින් එන සිසුවෙකු පිළිබඳ සිදුවීම ඉතාම හොඳ උදාහරණයක් ලෙස දැක්විය හැක. එසේම සිසුන් අතර කතා බහේදී ඒ මුවගට නගා ඇති දෙබස් රැසක ඒ බව පැහැදිළිව දැකිය හැක.

බාච්චුවත්තේ වටපිටාව මෙන්ම එහි ඇති අනාරක්ෂිතව බව විවිධ සිද්ධි සිදුවීම් මෙන්ම දෙබස් හරහා ඔබ පාඨකයාට වක්‍රව නමුත් මනාව ඉදිරිපත් කිරිමට ඔබ සමත්වී ඇත. අනුත්තරා හා ලිලියන් සම්බන්ධ සිදුවීම, ශාලාවේ වහළයට වැලි ගැසීම මෙන්ම එහි සිදුවූ පොලිස් වෙඩි තැබීම හා තවත් කල්ලියක වෙඩි තැබීම වැනි සිදුවීම් හරහා බාච්චුවත්ත යනු ලේසි පාසූ තැනක් නොවන බව පැහැදිළිව කියා පෑමට ඔබ සමත්වී ඇත.
ඔබ කියන්නට තනනා ,අපට අවබෝධ කරවන්නට තනනා මේ අකටයුතුකම් මෙන්ම සුඳු ඇඳගත් කළු චරිතවල රඟපෑම්, හෙටත් ලෝකය තුළ මෙන්ම මේ කුඩා රටතුළත් ද මෙලසින්ම ක්‍රියාත්මකවනු ඇත.
 
අපට තව ජීවකලා ,අබා ලා මෙන්ම ජනාලා අවැසිය. මෙම කෘතිය ඒ පිළිබඳ දැනුවත් කිරීමකි. සිහි කැඳවීමකි.
ඔබට තවතවත් මෙවැනි සාහිත්‍යමය නිර්මාණ ඉදිරිපත් කිරීමට මෙන්ම ඔබ සිතනා පතනා වෙනස සිදුකිරීමට අවැසි හඬක් නැගීමට අවස්ථාව ශක්තිය ලැබේවායැයි පතමි.

මනෝරි ගමගේ
(මග)

මහාචාර්‍ය මනෝරි ගමගේ මහත්මිය විසින් පොත කියවා ලියන ලද මේ සටහන මෙහි බෙදා ගන්නේ මගේ පස්සෙන් එන්න පොත ගැන අදහසක් බෙදා ගැනීමටය. 

Tuesday, August 19, 2025

ඉහළ අහසේ කෙනෙක් ලෙඩ වුණොත් ?


ඉහළ අහසේ පැය එකොළහක ගුවන් ගමනක් අතර තුර " වෛද්යවරයෙක් ඉන්නවා නම් කරුණාකර අපේ ස්ටාෆ් එකේ අයට ඔබව හඳුන්වා දෙන්න" කියා ඇසුනේ අඩ නින්ද අතර තුරය....
ගුවන් සේවිකාවක වෙත ගොස් පැවසූයේ මා වෛද්යවරයෙක් බව ය. ඔවුන්ට මගේ ලියාපදිංචි විස්තර ID එකද ඕනෑ විය. හදිසි ප්රතිකාර මෙවලම් මල්ල අරින්න ලියාපදිංචිය ලත් වෛද්ය වරයෙක් උවමනාය. එසේ නැත්නම් ඔවුන් ළඟම ගුවන් තොටුපලක් වෙත ගොස් රෝගියා බාර දෙන්නේ ලු. හයේ හතරේ ඉලන්දාරියෙක් පොළොවේ දිගා වි ගුවන් යානා බඳට කකුල් දෙක තබාගෙන සිටි.
සිහි නැතිවී නොමැත. හිස කැරකෙන බවක් කියයි. යානාවට ආ වෙලාවේ ඉඳන් නිදාගත්තා මිසක කෑවෙත් බිව්වෙත් නැති බව කියයි.
දශකයක්ම වැඩ කළේ emergency හෙවත් හදිසි අවස්ථා මූණ ගැහෙන කායික රෝග , ප්රසව හා නාරි වේද සහ ළමා රෝග වාට්ටු තුළ ය. බොහෝ වෙලාවට රෝහල් වාට්ටුවට සහ හදිසි ප්රතිකාර ඒකකය සඳහා රාත්රිය පුරා Oncall සිටින්නේ තමන් පමණකි. සිහි නැතිවීම් ෆිට් එක වගේම සුළු හදිසි අවස්ථා ලේ දැන් දීමේ කඳවුරු තුළ දී ද මදි නොකියන්න සිදුවෙන නිසා හුරු පුරුදුය. හැම අවුරුද්දකම යාවත්කාලීන කරගන්නා දැනුම, වැඩමුළු නිසාද ප්රායෝගිකව මුහුණ දීමට සිදුවීම නිසා ද ඕනෙම හදිසි තත්ත්වයක් බලා කියා ගන්න හැකිය.
මුළු යානාවටම හිටියේ මා පමණි... මම දැන් ප්රජා වෛද්ය අංශයේ බවත් එහෙත් තත්ත්වය බලා යම් උදව්වක් විය හැකි බවත් පවසා එහි ගොස් අවශ්ය දෑ සිදු කළෙමි.
නාඩි, හෘදය, ඇස හිස ඇතුළු සියලු බේසික් පර්යේෂණ ටික කර ඉන්පසු අර අපිට පමණක් අරින්න පුළුවන් මෙවල්ම් පෙට්ටිය ඇර ප්රේශර් සීනි බලා. ප් රේශර් අඩුවී තිබුණු හෙයින් (90/50) නැගිටලා වතුර බොමු නැත්නම් තව අඩු වුනොතින් කැනියූලා දාලා iv දෙන්න වෙන බව කීවෙමි. එය සඳහා මෙහි අවකාශයක් නැති බව ද කීවෙමි. කොලුවා එකපාරක් වතුර බී නැවත ඇල වුනේය.... ටිකකින් හරි යාගෙන එන බව දැනිණි ඉදගෙන වතුර කෝප්ප දෙකක් ජුස් කෝප්පයක් බිව්වේය.
ටිකක් හරියාගෙන එද්දී ඔහුගේ විස්තර කීවේය. ස්තුති කළේය.
🔶 මිනිසුන් ගුවන් ගමන්වලදී ක්ලාන්ත වන්නේ ඇයි?
ක්ලාන්ත වීම ඇත්ත වශයෙන්ම ගුවන් යානයක වඩාත් පොදු හදිසි රෝගී තත්ත්වයක් බවයි කියන්නේ. එය වායු කුටියේ පීඩන වෙනස්කම් නිසා මොළයට ඔක්සිජන් අඩුවීම, දිගු වේලාවක් වාඩි වී සිටීමෙන් පසු ඉතා වේගයෙන් නැගී සිටීම නිසා හෝ, විජලනය වීම හෝ Vasovagal Syncope නමින් හඳුන්වන තත්වයක් නිසා විය හැක.
🔶 ගුවන් යානයකදී ක්ලාන්ත වීමෙන් වළක්වා ගැනීමට තවත් උපදෙස් කිහිපයක් මෙන්න:
ගුවන් ගමනට පෙර සහ අතරතුර හොඳින් ද්රාවණ ලබාගෙන විජලනය වීම වලක්වා ගන්න. මත්නොවන ද්රාවණ වීම වැදගත්.
නිසි කලට ආහාර සහ ඔබේ සුපුරුදු ඖෂධ තිබෙන්නේ නම් අරගන්න.
හැකි සෑම විටම නැගිට ඇවිදින්න පහසු ආසනයක වාඩි වන්න.නිතර නැගිට ඇවිදින්න.
ඔබේ පහළ පාදවල රුධිරය සංසරණය වීම සඳහා වාඩි වී සිටින විටද ව්යායාම කරන්න.
සැහැල්ලු ඇඳුම් අඳින්න.
අසනීපයක් දැනෙන පළමු සංඥාවේදී, ඇමතුම් බොත්තම ඔබා ඒ ගැන ගුවන් සේවක පිරිස දැනුවත් කරන්න.
ඔබේ ශරීරයේ සීනි මට්ටම ගැන සැලකිලිමත් වෙන්න. පැය ගණනාවක් යන ගුවන් ගමනක් නම් අනිවර්යයෙන්ම ආහාර ගන්න.
සීමාවාසික යේ පටන් අසීමිත රෝගී කන්දක් එක්ක වැඩ කළ , කායික රෝග වාට්ටුවක තනියම (එකම සීමාවාසික දොස්තර) මාස දෙකක් භාරව වැඩකටයුතු කළ කාලය මේ ලියන මොහොතේ මතක් විය. ඒ දුෂ්කර කාල අපිව වඩා සුපරික්ෂාකාරී වෛද්යවරුන් කළා නොවේද කියා සිතේ.
රෝගී වූ කෙනා පරීක්ෂා කර මා කී ආකාරයට උදව් උපකාර සත්කාර කරන්නට ගුවන් සේවා නිලධාරිනීයන් ද යුහුසුළු ව උදව් විය. ඔහුට බිස්නස් ක්ලාස් එකේ දිග ඇරපු ඇඳක සුව පහසු ලෙස ගමන් කළ හැකි විය. එ නිසා යාන්තම් ලෙඩ වූ කෙනාගේ තත්ත්වය හරි ගියේ ය. නිරුපද්රිතව ගමන නිම කළ අතර emergency landing අවශ්ය නොවීය.
ඉතින් දැන් මේ සිදුවීම සිදුවී කාලයක් ගෙවී ගොස් ඇති නිසා මතකය පිණිස ලියා තබමි.
මට මතකයි ...වෛද්ය ශිෂ්ය කාලයේ මම අහපු දෙයක් ..
"රෝගියා සහ ජීවිතය අතර තීරණාත්මක සාධකය ඔබ වෙන මොහොතක් ඒවි ! එනිසා හරියට ඉගෙන ගන්න ! " කියා.
ඒ මොහොත කොයි වෙලේ උදා වේවිද දන්නේ නෑ....
මේ එහෙම අවස්ථාවක්. ඔබ වෛද්යවරයෙක් නම් කඩපිලේද, මහ මගද නිවසෙද ගුවන්යානාවෙද කියා වෙනසක් නැත . මිනිසුන් ජීවත් කරන්න අත්යාවශ්ය මොහොතේ ඔබ ඒ දේ කළ යුතුම ය. මොකද ඔබ බැඳී ඉන්නවා ඕනෙම මොහොතක ජීවිත සුරකින්න.
මීට කලින් දිල්ලි ගුවන්තොටුපලේ දී transit පෝලිමේ ඉන්නකොට වලිප්පු ව ඇති වූ රෝගියෙක් මැනේජ් කළ හැටි සායනික සටහන් නොවේ පොතේ මා ලියා ඇත. එදා ගුවන් යානාවටම වෛද්යවරයෙකු ලෙස සෞඛ්ය සේවකයකුට හිටියේ මා පමණි.
මෙවර මේ ඔක්කොම ඉවර වෙලා incident form පුරවන්නත් වුණා. ඒවානම් අපිට පුරුදුයිනේ ... වෛද්යවරයෙක් ලෙස වැඩ කරන ඕනෑම මොහොතක ඉස්සෙල්ලා රෝගියා බේරාගෙන පසුව පුරවන්න ලිපි ලේඛන හෝ ඇඳ ඉහපත් තිබෙනවා. ලේ දන් දීමේ කඳවුරු වලත් මෙහෙම හදිසි අවස්ථා වුනෝතින් ඒ ගැන පුරවන්න ෆෝර්ම් තිබෙනවා. ඉතින් මෙවෙලේ මම ඒ පුරවපු ෆෝර්ම් එකෙන් කොපියක් මටත් ලැබෙනවා. ඒක තමා මේ අමුණා තියෙන්නේ. ලියූ කොටස් මකා දමා....
ඒවගේ මොහොතවල් වලදී ජීවිතය රැක ගැනීම සඳහා ඔබේ අධ්යාපනය සහ පුහුණුව හරි හැටි කරගන්න ! යාවත්කාලීන වෙන්න !
තමන්ගේ ආත්ම විශ්වාසය ගොඩ නංවා ගන්න.
පසුව ලියමි. (කමෙන්ට් එකකින්)
මං හිතන්නේ ඒ මොහොතවල් ඉදිරිපත් වීම තම තමන්ගේ කැමැත්ත. ඒවගේම තමා කේනෙක් තමන්ගේ වපසරිය capacity එකත් පැහැදිලිව කියන්න ඕනේ. මගේ මහාචාර්යවරිය මේ කතා අහලා කීවේ... එයා යන එනකොට එහෙම කතා කරානම් එයා එවෙලේ මොනා කරන්නද දන්නේ නෑ කියා...මොකද එයා වෛද්යවරියක වුණත් අවුරුදු තිස් ගානක්ම ප්රජා වෛද්ය අංශයේ විශ්වවිද්යාලයේ උගන්වන පර්යේෂණ කරන ඕවා නිසා ලෙඩ්ඩු බලලා ඉමර්ජන්සි මැනේජ් කරලා නැති නිසා. ඒකයි තමන්ගේ capacity එක තමන් දැනගන්න ඕනේ. මමත් මගේ ලෙවල් එකට හැකි දේවල් කළේ.
අනික මේ වෙලාවේ මොනවා හරි වුණොත් වගකීම සේරම අපි මත. එකත් එන added risk එකක්... ලංකාවේ වගේ තමා පණ බේරුවොත් දෙයියා. නැත්නම් අපේ මැනේජ් මන්ට් එක වුණත් ප්රශ්නකාරී වෙන්න පුළුවන්.
So volunteering is risky at times. It's a personal choice I guess.
වෛද්ය බෝධිනී සමරතුංග
( කොපි නොකරනු මැනවි ඒ වෙනුවට අවශ්ය නම් මේ ලින්ක් එක ශෙයා කරනු මැනවි)

Wednesday, August 13, 2025

ඩිජිටල් ආරක්ෂාව !




“ සමාජ ජාල ගෘප් එකක පොඩි ළමයින්ගේ පින්තූර දමමින්, ලිංගික ක්රියා කිරීම ගැන ෆැන්ටසයිස් කරමින් පෝස්ට් ලියනවා. අනේ ඒ දරුවෝ සමහරු ස්කූල් යුනිෆෝම් එකෙන්. සමහරු අවුරුදු දෙකේ තුනේ දරුවෝ. මේ ගෘප් එක පේජ් රිපෝට් කළාට හරිගියේ නෑ මේකට මොකක්ද කරන්න පුළුවන්.”
ඒ මීට අවුරුදු දෙක තුනකට කලින් විශ්ව විද්යාල තරුණියක් මා අමතා කියන සිත කම්පාවන සුළු පුවතකි. ළමා ආරක්ෂණය පිළිබඳව කටයුතු කරන බොහෝ පාර්ශව වල මැදිහත් වීමෙන් සයිබර් අපරාද පිළිබඳව කටයුතු කිරීම ඒ තරම් ප්රචලිත නොමැති කාලයක වුණත් ඔවුන් ඉක්මනින් ක්රියාත්මක වී මේ කටයුතු සිදු කළ පුද්ගලයින් අත් අඩංගුවට ගත් බව පුවත් මගින් පළ වී තිබුණි. මෙවැනි ක්රියා සිදු කරන සමාජ මාධ්ය ජාලා පිටු හෝ සමූහ වල පලවෙන පින්තූර බොහෝමයක් දෙමාපියන් හෝ වැඩිහිටියන් විසින් සමාජ මාධ්යයේ පළ කළ ඒවා ය. දැන් අවුරුදු ගණනාවකට පසුව මානව අයිතිවාසිකම් සහ අනෙකාගේ පුද්ගලිකත්වය ගැන විස්තර සහ තොරතුරු ඕනෑ තරම් ප්රචලිත කාලයක වුවද ආචාර ධර්ම හෝ මානව හිමිකම් ගැන අවබෝදයක් ලංකා සමාජයේ නැති බව පෙනේ. මේවන විට අප රටේ පාසැල් බොහෝමයක් සමාජ මාධ්ය අවකාශ තුළ පිටු හෝ සමූහ පවත්වාගෙන යනු දක්නට ලැබේ. ඒවායේ එම පාසැලේ දරුවන්ගේ පින්තූර පල කරනු දක්නට ලැබේ.
මේ ලියන මා වුවද මේ දේවල් ගැන දැනුවත් වුණේ මේ ගැන කටයුතු කරන සමාජ මාධ්ය ක්රියාකාරීන්ගේ අදහස් සහ යුරෝපා සමාජයේ පවතින නීති රීති ගැන දැනුවත් වූ පසුවය. රෝගී සත්කාරයේදී හෝ සමාජය දැනුවත් කරනා වැඩ කටයුතු වලදී තමන් උත්කර්ෂයට නංවාගැනීම පිණිස ඇතැම්විට අවට සිටින දරුවන් මිනිසුන් මේ අයගේ මුහුණු සහිත ජායාරූප අන්තර්ජාලය තුළ පලකරන විට මේ ගැන අවබෝදයෙන් ක්රියා කරන්නේ කවුරුන්ද ?
සමාජ මාධ්යවල දරුවන්ගේ ඡායාරූප පළ කිරීම ඉතා අවිහිංසක ක්රියාවක් ලෙස පෙනෙන නමුත් එය අවදානම් විය හැකි හේතු කිහිපයක් තිබේ. දරුවන්ගේ පින්තූර අන්තර්ජාලය හරහා බෙදා ගැනීමට පෙර අප දෙවරක් සිතිය යුත්තේ මන්ද යන්න නැවත ලියා දැනුවත් කළ යුතු බව සිතේ.
දරුවන්ගේ පෞද්ගලිකත්වය සහ කැමැත්ත යන මේ දේවල් ගැන සැලකිල්ලක් දැක්විය යුතුය. සමහර වැඩිහිටියන් පවා සිතන්නේ දරුවන්ගේ කැමැත්ත ලබා ගැන්ම ප්රමාණවත් බවය. එහෙත් දරුවෙකුට හෝ ඔවුන්ගේ භාරකරුවන්ට ඒ සඳහා කැමැත්ත ලබා දිය හැකි යැයි සිතුවද දරුවන් ඉගෙනුම ලබන පාසල් තුලදී වුවද දරුවන්ට ඔවුන්ගේ ඡායාරූප බෙදා ගැනීමට දැනුවත් කැමැත්ත ලබා දිය නොහැකි බවද රාජ්ය භාරකාරත්වය යටතේ පවතින ආයතන හෙවත් රෝහල්, රජයේ කාර්යාල හෝ පාසල් තුළ කිසිවෙකුගේ උවමනාවට ජායාරූපගත කිරීම හෝ පටිගත කිරීම සිදුකළ නොහැකි බවද අප දැනුවත් වීම වටී.
එමෙන්ම දෙමාපියන් හෝ වැඩිහිටියන් තමන්ගේ හෝ තමන්ගේ නොවන දරුවන්ගේ වුවද පින්තූර වීඩියෝ අන්තර්ජාලය තුළ බෙදා හැරියද අද හානිකර නොවන ලෙස පෙනෙන දේ මතු දිනක දරුවන්ව අපහසුතාවයට පත් කළ හැකිය. ඇතැම් විට ජීවිතයේ පසුකාලීනව ඔවුන්ට බලපෑ හැකිය. යමක් පොදු අවකාශවල බෙදා ගත් පසු, එය සම්පූර්ණයෙන්ම ඉවත්කිරීම පවා කළ නොහැක්කකි. වැඩිහිටි සමාජය දරුවන්ට සුරක්ෂිත එකක් බව එක හෙළා පැවසිය හැකි නොවේ. ඇතැම් විට අන්තර්ජාල හෝ සමාජ ජාල තුළ මේ දත්ත ගබඩා වන අතර ඒවා නාඳුනන පිරිස් වෙත නිරාවරණය විය හැකිය. ඇතැම් විට අවුරුදු ගණනාවකට පසුව වුවද ආගන්තුකයින් හට මෙම දත්ත වෙත ප්රවේශ විය හැකිය.
ඔබ විසින් එකතු කරන ජායාරූප හෝ වීඩියෝ අනිසි ලෙස භාගත කරගෙන නුසුදුසු ලෙස භාවිතා කළ හැක. මා ඉහත සඳහන් කළ පරිදි ඉතා පහත් පෙළේ අනිසි වෙබ් අඩවි ඒවා භාවිතා කළ හැක. කනගාටුවට කරුණක් නම්, දරුවන් කෙරෙහි කායික හිංසන සිදු කරන මිනිසුන් වෙත අන්තර්ජාලය ඔස්සෙ මේ ජායාරූප හෝ දරුවන් නිරාවරණය වන බව ය. ඇතැම් දරුවන් පසු කාලීනව, තම ජීවිත බොහෝ පිරිසක් වෙත නිරාවරණය වන බව හෝ සමාජ ජාලා තුළ අන්තර්ගතයක් බවට පත් කරන බව හැඟී දෙමාපියන් හෝ වැඩිහිටියන් සමඟ ගැටුම් ඇතිකරගත් පුවත් මා දැක ඇත. මෙය දරුවන්ගේ ආත්ම අභිමානය සහ පුද්ගලිකත්වයේ සීමාවන් උල්ලංඝනය කරන අතර අනන්යතාවය පිළිබඳ ඔවුන්ගේ අවබෝධයට අනිසි ලෙස බලපානු ඇත.
ඇතැම් විට ඔබ සමාජ ජාලවල පළ කරන සමූහ පින්තූරවල සිටින දරුවන් සහ මිනිස්සුන් අපහසු, කරදරකාරී, භයානක පරිසරවලින් මිදී වෙනත් රටක රැකවරණය ලබා සැඟවී සිටින අය විය හැක. ඔබේ ක්රියාවෙන් ඔවුන්ගේ රහස්යභාවය අහෝසි විය හැක. ජීවත්වෙන ස්ථාන හෝ ගැවසෙන ස්ථාන ටැග් කිරීම මගින් ස්ථාන දත්ත අමුණා තිබිය හැකිය. විශේෂයෙන් ස්මාර්ට් ජංගම දුරකතනයකින් එවන් දෑ සිදුවේ. මෙහි භයානක බව වැඩිහිටියන් හට නොපෙනේ. එමඟින් නොදැනුවත්වම දරුවා ජීවත් වන පෙදෙස, පාසල හෝ සෙල්ලම් කරන ස්ථානය නාඳුනන පුද්ගලයින් වෙත හෙළිවෙනු ඇත. දරුවන් අනාරක්ෂිත කරන්නේ වැඩිහිටියන්ගේ මේ නොදැනුවත්භාවයයි.
එනිසා ඔබේ හෝ ඔබේ නොවන දරුවන්ගේ පින්තූර සමාජ මාධ්යවල දැමීමෙන් වලකින්න. ඔබේම දරුවන්ගේ වුණත් පුද්ගලිකත්වය ( privacy) සුරකින්න. පුද්ගලිකත්වය ගැන, මානව හිමිකම් ගැන ලංකාවේ නිසි අවබෝධයක් නොමැති වුවද වෙනත් බොහෝ රටවල වැඩිහිටි මෙන්ම ළමයින්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් නීති රීති පවතී.
මේ තත්ත්වයම රෝගීන් ගැවසෙන රෝහල් තුළද දක්නට ලැබේ. ඇතැම්විට රෝගී සත්කාරය සිදුකරන අයුරු අවට අයෙක් වීඩියෝ කර සමාජ මාධ්ය තුළ දමනු පෙනේ. අවාසනාවට මේ දේ සෞඛ්ය සේවකයන් විසින් ද සිදු කරන බව දකින අතර රාජ්ය ආයතනයක් වන රෝහල් තුළ තුළ රෝගී සත්කාරය හෝ ඒ සිදු කරන දේ, රෝගීන් සමග ජායාරූප හෝ පටිගත කිරීම නීති විරෝධී කටයුත්තකි. ඒ එමගින් රෝගීන්ගේ මෙන්ම සෞඛ්ය සේවකයින්ගේද පුද්ගලිකත්වය ට හානි දායක වන නිසාය. සෞඛ්ය අමාත්යාංශය හෝ වෛද්ය සභාව රෝගීන් ගේ පුද්ගලිකත්වය මෙන්ම සෞඛ්ය සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි පටිගත කිරීම්වලට එරෙහිව නීති ක්රියාත්මක කළ යුතුය. එහෙත් ඇතැම් විට අධ්යාපනික දේ සඳහා රෝගීන් ගේ අවසරය ඇතිව වීඩියෝ රෙකෝඩ් කිරීම හෝ පින්තූර ගැනීම කෙරේ. එවිට එම දත්ත නෛතික රාමුවකට යටත් ව ලිඛිත අවසරය ලබා ගැන්ම සිදුවේ. රෝහල් ආශ්රිත පටිගත කිරීම් ප්රසිද්ධ මාධ්යවල පල කරද්දී ඒ සඳහා නීතිරීති සහ අවසර ගැනීමේ ක්රමවේද පවතී.
ලංකාවේ දරුවන්ගේ ආරක්ෂාව මෙන්ම ඕනෑම පුද්ගලයකුගේ ඩිජිටල් දත්තවල සුරක්ෂිතභාව්ය වෙනුවෙන් නොයෙකුත් නීති රීති පවතී (Personal Data Protection ACT No. 9, Computer crimes Act No. 24, Online safety act No.9 ). එමෙන්ම අධ්යාපන අමාත්යාංශය විසින් සමාජ මාධ්ය යෙදවුම් භාවිතය වෙනුවෙන් මාර්ගෝපදේශ ප්රමාණයක් ලිඛිතව 2024 නොවැම්බර් මස ඉදිරිපත් කළ බවද මතක් වේ.

දරුවන්ගේ සහභාගීත්වයෙන් තොරව වැඩිහිටියන් විසින් ඔවුන්ගේ අනාගත ඩිජිටල් පැවැත්ම හැඩගස්වමින් සිටිනු දක්නට ලැබෙන මේ කාලයේ දරුවන්ගේ පින්තූර හෝ වීඩියෝ ඩිජිටල් අවකාශ තුළ බෙදා ගනිද්දී ඒ සෑම ඡායාරූපයක්ම දරුවෙකුගේ ඩිජිටල් අනන්යතාවයට දායක වෙන බව මතක තබා ගත යුතුය. එසේ නිරාවරණය වීම ඔවුන් තෝරා නොගත් එකකි. අනාගතයේ මේ දත්ත කෙලෙස ඔවුන් කෙරෙහි බලපානු ඇතිදැයි ඔබ හෝ මා නොදන්නා නිසා මේ ගැන දැනුවත්වීම සහ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම වටිනවා යැයි සිතේ.
වෛද්ය බෝධිනී සමරතුංග
Mawbima, 17/4/2025 පුවත්පතේ පල විය.

Tuesday, August 12, 2025

Some times the world finds you !


மருத்துவக் குறிப்புகள் அல்லாதவை
මරුත්තුවක් කුරිප්පුගල් අල්ලාදවෛ
Maruththuvak kurippugal allaadhavai
Tamil translation of my third book සායනික සටහන් නොවේ "None clinical prescriptions" translated by M.rishan Shareef published in India , Chennai by Vamsi Publications



📷 By Vaishnavi.

India reads my book ! ඉන්දියාවද කියවන සායනික සටහන් නොවේ.
Tamil translation of My third book "Sayanika Satahan Nove"
The book consist of 60 stories where medical facts are incorporated in story form. The stories not only bear medical problems but societal problems and highly sensitive issues that need to be addressed and discussed.
මා විසින් රචිත සායනික සටහන් නොවේ පොතේ දමිළ පරිවර්තනය, ශ්රී ලාංකික ලේඛක රිශාන් ෂරීෆ් විසින් පරිවර්තනය කර ඉන්දියාවේ පල කරන ලදී

மருத்துவக் குறிப்புகள் அல்லாதவை
මරුත්තුවක් කුරිප්පුගල් අල්ලාදවෛ
Maruththuvak kurippugal allaadhavai

අකුරු ලියන්නට ආ ගමනේ අතින් අල්ලා ඉහළට තල්ලු කරපූ මිනිසුන් අතර ගොඩක් මේ බ්ලොග් අවකාශයේත් ඉන්නවා .... මගේ ආදරය සහ ගෞරවය ඔයාලා හැමෝටම තියෙනවා. ඒ වගේම සෞඛ්ය සේවය තුළ නොයෙක් වැඩවලදී මා සමඟ වැඩ කළ, ප්රශ්න ඇතිවූ හැම වේලේම මා වෙනුවෙන් කතා කළ පෙනී සිටි වෘත්තිය සගයන් මෙහි ඉන්නවා. ඒ හැමෝටම ස්තූතියි.
මගේ සිංහල පොත ගත්තු අකුරක් ලියා පොත ප්රමෝට් කරපු හැම කෙනෙක්ම, මට වචනයක් ලියා මගේ පොත් ගැන කතා කළ ඒ හැමෝම ආදරෙන් මතක් කරනවා. You know who you are....
පොත මොනවගේද කියලා දැනගන්න හැකියි මගේ නමින් ඇති FB page එකේ සිංහල පොත කියැවූ සහෘදයින් ලියා ඇති අප්රමාණ විචාර සහ අදහස් සටහන් මඟින්.
බ්ලොග් සටහන් update කරන්න කාලෙකින් බැරි වුනා. මෙහි එන එක අඩුවුනා වගේම easternnotes.com කියලා මා සහ තවත් ලේඛකයන් ලියන සටහන් එකතු කරන්නට අවකාශයක් සකස් කරගත් නිසා. ඒත් මෑතක ලැබුණු නිවාඩුවේ බ්ලොග් පැත්තෙත් එන්න හිතුවා බොහෝ මතක් කිරීම් එක්ක.

සායනික සටහන් නොවේ සිංහල පොතේ දැන් යන්නේ තුන්වෙනි මුද්‍රණය. non fiction book එකක් මේ තරම් දුර තුන්වෙනි මුද්රණය දක්වා ඒවි කියන එක මට පුදුමයක්. ඒ පොත ප්‍රකාශනය කරන්නේ ග්‍රන්ථ පබ්ලිෂර්ස්, එහි අධිපති තනෝජා - දසුන්, දසුන් මල්ලී හමුවෙන්නෙත් ඈත අතීතයේ බ්ලොග් ලියන්න පටන් ගත් නිසා. බ්ලොග් ආයේ ලියන්න ආවෙත් අජිත් ධර්මකීර්ති අයියා මගේ අලුත් පොත ගැන ලියූ සටහන සහ දසුන් ෆේස් බුක් එකේ කළ මතක් කිරීමක් නිසා


පුරවැසි හෘද සාක්ෂිය...

 දූෂණ වංචා වලට එරෙහි වෙන්න වගේම ඒවායේ බලපෑමෙන් ඉවත්ව ඉන්න හෘද සාක්ෂියක් සහිත පුරවැසියන් නිර්මාණය වෙන්නේ කෙසේද ?

රජයේ සේවකයෝ අත්සනක් ගහන්න, ෆයිල් එකක් පාස් කරන්න ඉදිකිරීම් අනුමත කරන්න අල්ලස් ගන්න හැටි, ඒවා නොයෙක් ආකාරයෙන් ගන්න හැටි කොතෙකුත් ඇසෙනවා, ඒවා ප්රස්තුතය කරගත් චිත්රපටයේ එක් අවස්ථාවක ඉඩම් සම්බන්දයෙන් අනුමැතිය දෙන රජයේ නිලධාරිනියක්, තමන්ගේ ගෙදරට එලවළු එවන බෑග් එකේ දාලා ඒවා ලබාගෙන එද්දී අල්ලස් දූෂන වංචා වැටලීම් එකේ නිලධාරීන් ඇවිත් ඒ අල්ලස් මුදල් අල්ලා ගත්තම ඇය කියන්න ගන්නවා,
" මම ගත්තා කියන්න කොහෙද තියෙන්නෙ සාක්ෂි" කියලා එතකොට එන නිලධාරීන් පෙන්වනවා ඇයගේ දියණියම තමයි තමන්ගේ මව අල්ලස් ගන්නා හැටි දැකල ඒවා වීඩියෝ කර අල්ලස් හා දූෂන වංචා නිලධාරීන් වෙත ලබාදුන්නේ කියා.
මව දියණිය වෙත බැන වදිනවා..
"මේ මොන විනාසයක්ද ඔයා මොනවද දිනා ගන්න හදන්නේ. තමන්ගේ මව ගැන අනුකම්පාවක් ආදරයක් නැද්ද" කියල.
දුව කියනවා, "ආදරයක් ගෞරවයක් තියෙනවා අම්මා ඒකයි ඔයාව නිවැරදි කරන්නේ" කියලා
"මෙච්චර දවසක් මෙච්චර සල්ලි හම්බ කළේ මම ඔයාට, මටවත් සාරියක් හරියට ගන්නේ නැතිව මේ සියලු දේපල ඔයාට. " මේ වගේ දෙබසක් එහි කියන්නේ
ඒ දුව අහනව " මං ඔයාට හොරකම් කරන්න කිව්වාද මං වෙනුවෙන් අම්මේ? කිසිම දෙමාපියෙක් තමන්ගේ දරුවා වෙනුවෙන් රාජ්යය හොරා කන්න ඕනේ නෑ. දරුවන්ට අධ්යාපනය ලබා දෙන්න ඔවුන්ගේ සවියෙන් නැගී සිටින්න" කියලා
NO parent needs to rob a city for their child's well being ! Just educate the so that they stand on their own feet
එතකොට ඒ තාත්තා කියනවා. "මේ ඔක්කොම ඔයාගේ මංගල්ලෙ වෙනුවෙන් වියදම් කරන්නේ," කියල්ලා දින පහක මංගල ප්ලෑන් එක කියලා ඒ ආර් රහුමාන්ව සංගීතය සඳහා ගෙනෙන්නේ කියනවා.
ඒ දරුවා එවිට කියනවා " ඒ ආර් රහුමාන් ගේ සිංදු මං අයි ටියුන්ස් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නම්. මගුලක් මනමාලයෙක් මංම හොයාගන්නම්" කියලා,
මේ කතාව එන්නේ ඉන්දියන් 2 කියන චිත්රපටියේ. ඒක netflix එකෙන් මේ දවස් වල බලන්න පුළුවන්.
ඉන්දියන් කියන මූවි එකෙන් පස්සේ ඉන්දියන් 2 කියලා ඒකෙම දිගුවක් ඇවිත් තියෙනවා. මේ කතාවේ දිගින් දිගටම පෙන්වන්නේ, දූෂිත සිස්ටම් එකේ, රාජ්ය සේවයේ නොයෙක් දූෂිත වැඩ. රාජ්ය සේවා තුළ corruption නොතිබුනානම් තවමත් දියුණුවෙමින් පවතින රටවල් බොහෝමයක ජනයාගේ ජීවන තත්තවය වගේම සමස්ථ රටේම මහජන බදු මුදලින් රටේ සම්පත් වලින් පාලනය වන ගොඩ නැගෙන අධ්යාපනය සෞඛ්යය, ප්රවාහනය, යටිතල පහසුකම්, නිවාස, විදුලිය නල ජලය වගේ මේ ගොඩක් පහසුකම් ඇති කරන්න තිබුනා නොවෙද ? කියා හිතෙනවා. ඒ වගේම මේ රටවල් මේ තැන්වලට පත් කරන්න මීට කලින් රට පාලනය කළ ලොකු පොඩි සැම දෙනා සම්මාදන් වෙලා තියෙනව නේද කියලා මතක් වුණා.
ඉන්දියාවේ ජන මනසට ආමන්ත්රණය කරන්න , අවශ්යම කාලයක අවශ්යම නිර්මාණ සකස් කිරීම ඒ නිර්මාණකරුවන්ගේ ගුණය පෙන්නා දෙනව කියලත් හිතුනා.
ජවාන් වලින් පස්සේ ජන මනසට ආමන්ත්රනය කරන ඒ වගේම චිත්රපටයක් වුනත් මෙහි ත් ප්රචන්ඩ ක්රියා අඩුවක් නෑ. ඒ ගැන නම් මගේ ප්රසාදයක් නෑ.
වෛද්ය බෝධිනී සමරතුංග