Friday, December 10, 2021

මා....

සිත් බිඳුණු පණ සිඳුණු යුද්ධයේ ශෝකාලාපය‍

උතුරු කොන කතාවක් කියවද්දී උතුරු කොන ගත කළ අවුරුදු හතරක කාලය මගේ මනසෙහි ඇඳෙන්නේ නිරායාසයෙනි. ඒ සමගම හිතෙන් ඇසෙනා සංගීතවත් ගීතයකි. ඒ බෙනට් රත්නායකයන්ගේ “ඉර හඳ යට” චිත්‍රපටයේ එන, මේ ඉරහඳ යටදීම ආදරේ කරන්න ජීවිතේ විඳින්න.. ගීතයේ සංගීත කණ්ඩයයි. 
මා නවකථාව කියැවූයේ මේ අපූරු සංගීතය මගේ මනසේ නිරන්තරයෙන් නින්නාද වෙද්දීය. 
උතුර දකුණ බේදබින්න කළ යුද්ධයේ අතුරු ප්‍රතිඵල අපි අදටත් අත් විඳින්නෙමු. ඒ ගැන නිරන්තරයෙන් ලියන්නෙමු. 
මොරටුවේ ග්‍රන්ථ පොත් හල වෙත සැප්තැම්බරයේ ගිය ගමනේදී මා පොත රැගෙන ආවෙමි. “ආ අක්කාට කියවන්න මේක නියමයි.” කීවේ බ්ලොග් ලිවීම නිසාම සහෝදරයන් වූ දසුන් සමීර මල්ලීය.”මා කියලා නවකතාවක් කියෙව්වා...ඩොක්ටර්වමයි මතක් වෙන්නේ...” පවි ජයවර්ධන සොයුරිය මුහුණු පොත මත ලියූ කමෙන්ටුවකින් මගේ කියවීමේ ආශාව තීව්‍ර විය. එතෙක් කියවමින් සිටි පොතට සමුදී මා නමැති පොත එක හුස්මට කියවන්නට වීමි.

සරල බස් වහර සහ කියවන්නා වෙහෙසට පත් නොකරන ලෙස කතාව ගලා යෑම අපූරුවට හසුරුවන කතුවරයෙක් ලෙස මා චූලාභය ශාන්ත කුමාර හේරත් මහතා හඳුනාගෙන සිටියේ සූරිය කුසුම නවකතාවෙනි. පොත අතින් බිම තියන්නට බැරිවෙන්නට එකින් එක වචන පුරුද්දන ආකාර ළගන්නා සුළුය. 

දවස් දෙකෙන් පොත කියවා හමාර කළේ පොත කියවන්නට වූ තැනේ සිට එහි අවසානයක් දකින තෙක් හිතේ ඇතිවූ කුතුහලය හේතුවෙනි. අතීතය තුළ වැලලීගිය මේ වෛද්‍යවරියගේ කතන්දරය මේ සා බැරෑරුම් , ඛේදනීය එකක් වේයැයි කිසිවිටක මම ද නොසිතුවෙමි.

දෙමළාට, දෙමළ වීම නිසා ඇති ප්‍රශ්නය කුමක්දැයි අසන මිනිසුන් හට දිය හැකි පිළිතුරක් “මා” යන අපූර්ව කෘතියෙන් පෙන්වා දේ. 83 ජූලි කලබලයේ සිට මේ රටට අනවශ්‍ය ඛේදනීය තත්ත්වයක් නිර්මාණය කරමින් එදා මුළු මහත් දේශයක මලගම ලියා දෙන්නට සමස්ථ දේශපාලන යාන්ත්‍රණයට හැකිවූ අයුරු අපි කොතෙකුත් කතන්දර මගින් දැක බලා කියවා ඇත. “මා” ඒ සිදුවීම ඉතා සියුම් ලෙස ග්‍රහණය කරන ලද කෘතියකි. ත්‍රස්තවාදී යාන්ත්‍රණය අප බැහැර කළ යුත්තේ ඇයි දැයි කියන්නට මට බොහෝ ජීවමාන සාක්ෂි හමුවූයේ උතුරු කොනේදීය. “මා” නවකතාව කියවද්දී මට ඒ කතා චරිත සංසිද්ධීන් මනසෙහි මැවී පෙනේ. පසුබිමින් ඇසෙන්නේ මානව සුවඳේ වෙලෙන්නට අඬ ගසන මේ ඉර හඳ යටදී ආදරේ පමණක්ම විඳිය යුතු බව අපට වඩ වඩාත් පසක් කරවන ඒ චිත්‍රපට ගීතයයි. 

“ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක් පුතේ. අපි කොයි තරම් ප්ලෑන් කළත් ජීවිතේට මුහුණ දෙනක්ට ඒ ප්ලෑන් වෙනස් වෙනවා..” කවිතා තමන්ගේ ශෝචනීය අතීතය සිහිපත් කරමින් පවසන්නීය. 
ඒකට තමා ජීවිතේ කියන්නේ… මා සේවය කර සමුදුන් වන්නිය ගැන මතක අවුස්සමින් හිතන්නට මානුෂීය කාරණා රැසක් ඉතිරි කළ “මා” පොත ලීවාට ඔබට බොහෝ ස්තූතිකරමි. එය ප්‍රබන්දයක් වුවද වන්නියේ අමාරුම කාලයක ජීවත් වූ මට එයට සමීප බොහෝ කතන්දර මතක් වූ අතර ඒවා මෙහි එන ඇතැම් සිදුවීම් හා සමපාත වූයේ පුදුමාකාර ලෙස ය.

වෛද්‍ය නේවාසිකාගාරයට බෝම්බයක් අටවන්නට එය ගෙන ආ කොටි ත්‍රස්තවාදියා අතින් එය ගේට්ටුවට මෙපිටින් පුපුරාගොස් තිබුණේ ඔහුගේ අත්වැරැද්දකිනි. ඒ වන විට ඔහුගේ සොයුරිය එහි වෛද්‍යවරියක ලෙස සේවය කළ බවද අක්කා හමුවීමට නිතර පැමිණි බව ද ඇසුණි. මේ යුද්ධයේ එවන් අපහසු සහෝදර බැඳුම් අනන්තවත් හමුවිණි. අත් අඩංගුවේ පසුවන තම සොයුරා හමුවීමට දකුණු කොනේ සිට පැමිණෙන වෛද්‍ය සොයුරාද මට මතක් විණි. එමෙන්ම ත්‍රස්තවාදයට උල්පන්දම් දෙමින් රටබෙදන්නට වුවමනා යුද්ධයේදි එපිට සිටගත් වෛද්‍යවරුන් ද, එපිට රෝහල් පණ ගන්වා එහිම සේවය කළ වෛද්‍යවරුන්ද වෛද්‍යවරියන්ද මට සිහිවේ. අවසාන සටනේදී මුලතීව් කැලයේ, නන්දිකඩාල් කලපුවේ ජීවිත රැකගත් පිරිස පසුව මට හමුවිණි. හිසෙහි යකඩ කැබැලිද හිතෙහි බොහෝ දුක් වැලපිලිද රැගත් ඔවුන් සුවපත් වෙන්නට බොහෝ කල් ගත විය. පාසැලක පරිගණක කාමරය ශල්‍යාගාරයක් බවට පත් කර සිසේරියන් සැත්කම් කළ සහෝදර වෛද්‍යවරයා, ඔවුන්ව බලෙන් රඳවාගෙන මිනිස් පළිහක් ලෙස සිවිල් වැසියන්ද කිලිනොච්චි රෝහලේ සියළුම බඩු බාහිරාදියද සමඟ එහි සේවය කළ සියල්ලන්ද රැගෙන තැනින් තැන යමින් හමුදාව විසින් ඔවුන්ව මුදාගන්නා තෙක් ගත කළ කාලය සිහිපත් කරන්නේය. මුලතිව් කැලයේ වෛද්‍ය සේවා ලබා දෙමින් කවිතා සහ අරුල් ජීවිත බේරාගැනීමේ යුද්ධයේ කොටස් කරුවන් වූ හැටි “මා” පොතෙන් කියවද්දී නැවත නැවතත් මා දෑස් අභියස ඒ අතීත කතා මැවී පෙනේ. යුධ වැදුණු සමාජය තුළ ඇත්තේ මේ කතාවෙහි ලියැවී ඇති දුක කඳුළ සහ අහිමිවීමම ය.

එදා මෙන්ම අදත් අළු යට ඇති ගිනි පුළිඟු මෙන් ඕනෑම මොහොතක බුර බුරා නැගෙන්නට හැකි ජාතිවාදී ගිනි සුලභය. මවකට පුතෙක් වෙන්කරන්නට, දෙහදක බැඳි ආදරයක් සැක කරන්නට ත්‍රස්තවාදය නම් බල ලෝභී මර්දනකාරී ඒ යාන්ත්‍රණයට හැකි වූ අයුරු මේ කතන්දරයෙන් කියැවේ. උතුරේ දෙමළා ද දකුණේ සිංහලයාද මුසල්මානුවාද ත්‍රස්තවාදයෙන් බොහෝ පීඩා වින්දෝය. කුඩා කාලයේදීම මව පියා අහිමි වූ දරු දැරියන්ද, දරුවන් අහිමි වූ මව්පියන්ද, කේඬෑරි අත්වලින් ආයුධ ඔසවාගෙන නොතේරෙන යුද්ධයක කොටස් කරුවන් වූ දරුවන්ද මට හමුවී තිබේ.

“යුද්ධයක් ආයේ එපා පුතේ” යැයි අපේ අනාගත පරම්පරාවට දයාර්දයෙන් ඉල්ලා සිටීමට මේ අවුරුදු තිහකටත් වැඩි යුදයේ ශෝචනීය මතක, අහිමිවීම් සහ ඛේදවාචක ප්‍රමාණවත් යැයි මට සිතේ.මේ කතාව ප්‍රබන්දයක් වුවද මේ හා සමාන කතන්දර අපි දශක ගණනාවක් මුළුල්ලේ ඇසුවෙමු වින්ඳෙමු අත් දුටුවෙමු. “මා “ නවකතාවෙහි කැටි වූ මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ අප හදවතට වඩාත් දැනෙන්නේ එහෙයිනි. 
බෝධිනී සමරතුංග- 2019

7 comments:

  1. ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ "බ්ලොග් සඟරා" කොලමේ දක්වා ඇත! දැනට නොලියවෙන බ්ලොග් 848 ක් ඇතුළුව බ්ලොග් 1140ක් කරා යොමුවිය හැකි අපගේ සින්ඩියට ගොඩ වැදී බලන්න! අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය තුලින් ප්‍රචාරයක් ලබා දෙන්නේනම් එය අපට මහත්වූ උපකාරයක් සේ දැනේ!

    ReplyDelete
  2. අනිත් කොනවත් තවම නොකියවපු මම :(

    ReplyDelete
  3. කියවන්න හිතුනා. ස්තූතියි පෙන්වා දුන්නට

    ReplyDelete
  4. සටහන අපූරුයි...
    මම ඕක බාගයක් කියවල නැවැත්තුව. අනේ මංද. ආයෙ හිමීට ට්‍රයි එකක් දෙන්ඩෝන

    ReplyDelete
  5. බ්ලොග් කලාවට තවම නවකයෙකු වන මා හට අනිත් කොන සතු සෑම කථාවකම
    එකහුස්මට කියවා නිම කලෙමි.........
    පින්..... ඔබ තුමියට ජීවිතයේ පළමුවරට බ්ලොග් අත් පොත් තැබුවේ ......අනිත් කෝනය ......
    බොඳ වූ නෙතින් කියවූ වාර ද නැතුවා නොවේ .....................
    හදවතින් ලොව එලිය බලන්නට ................
    සියලු මනුසතුන්ට සිත් පහල වේවා ....................

    ReplyDelete
  6. බ්ලොග් කලාවට තවම නවකයෙකු වන මා හට අනිත් කොන සතු සෑම කථාවකම
    එකහුස්මට කියවා නිම කලෙමි.........
    පින්..... ඔබ තුමියට ජීවිතයේ පළමුවරට බ්ලොග් අත් පොත් තැබුවේ ......අනිත් කෝනය ......
    බොඳ වූ නෙතින් කියවූ වාර ද නැතුවා නොවේ .....................
    හදවතින් ලොව එලිය බලන්නට ................
    සියලු මනුසතුන්ට සිත් පහල වේවා ....................

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !