අප වසන ගම් පෙදෙසේ නිවසට අත් උදව්වට යන එන ස්ත්‍රියක් වේ. ගම ම වෛද්‍ය උපදෙස් ලබා ගන්නේ ඇය අතේ පණිවිඩ එවීමෙනි. මගෙන් අසා දැනගෙන එන්න යැයි දිනකට ප්‍රශ්න දෙක තුනක්වත් මට ලැබේ.
"නෝනා අර අපේ අර අහවල් කෙනාගේ දුවගෙ බබා දැන් මාසයක් විතර වෙනවා. මව්කිරි දෙන්නෙ නෑ පිටිකිරි දෙන්නෙ කියලා අහන් එන්න කීවා හොඳ පිටි වර්ගයක්" මම තුෂ්නිම්භූත වීමි. එදාවේල අමාරුවෙන් ගෙවා ගන්නා කුලී වැඩ කරන මේ මිනිසුන් ආර්ථික වශයෙන් සවි ශක්තිමත් නැත.
" මව්කිරි නොදෙන්නේ ඒ අම්මාගේ කිරි නැද්ද ?"
" අම්මට හොඳට කිරි තියෙනවා. ඒ බබා නිතරම කක්කා පොඩ්ඩ පොඩ්ඩ දමන නිසා නැන්දම්මා කීවලු ඒ අම්මට දියවැඩියාව නිසයි එහෙම වෙන්නේ එනිසා මව් කිරි දෙන්න හොඳ නෑ බබාට කියලා" මෙවැනි දෑ ඇසීම අපට අමුතු නැත. විවිධ වූ විශ්වාසයන්ගෙන් ගහන සමාජයක හිතකර මෙන්ම අහිතකර උපදෙස්ද මෙලෙස ඇසේ.
" ළදරුවන්ට කොහොමත් කක්කා පොඩ්ඩ පොඩ්ඩ යනවා. කහිද්දී, කිඹිහුම් යද්දී... එහෙම තමයි. ඒකෙන් ඒ අම්මට දියවැඩියාව තියෙනවා කියන්න බෑ"
" ආ එයාගේ නැන්දම්මා තමයි එහෙම කරන්න කියලා තියෙන්නේ"
" අම්මට දියවැඩියාව තිබුනත් කිරි දෙන්න ඕනේ දරුවට. දියවැඩියාව තිබුන අම්මලා උනත් දරුවට කිරි නොදී ඉන්න කියලා එහෙම කතාවක් කොහෙවත් නෑ" මම පැහැදිලි කළෙමි.
"ඒ අම්මට වයස කීයද ?"
"අවුරුදු 20ක් ඇති"
" අනේ තරුණ ළමයෙක්නේ... දියවැඩියාව බබා ලැබෙන්න ඉද්දී චෙක් කරනවා, දියවැඩියාව හැදෙන්න විවිද හේතු සාධක ගොඩක් තියෙනවා. ඒකට වෙනම පරීක්ෂණ තියෙනව. බබා නිතර කක්කා දානවා කියලා අම්මට දියවැඩියාව කියන්න බෑ, එහෙම කියලා අම්මගේ මව්කිරි නවත්වන්න කියලා නිර්නායක කොහේවත් නෑ" මම පැහැදිලි කළෙමි..
" ඇරත්, මාස 6ක් වෙනකම් අනිවාර් යයෙන් මව් කිරි පමණක් දෙන්න ඕනේ.. දරුවෙක්ට හොඳින් වැඩෙන්න එයාලගේ ප්‍රතිශක්තියට ලෙඩරෝග වලින් වැලකෙන්න මව්කිරි ඕනෑ." ඇයට පැහැදිලි කළෙමි
" ආ මං කියන්නම්.. අපරාදේ එයාලා පිටිකිරි දෙන්න හදනවා" කියමින් ඇය පණිවිඩය රැගෙන ගියාය.
ඒ මම ඇසූ බොහොම වෙනස් ජාතියේ කතාගොන්නෙන් එකකි.
කිරි පිටි සම්බන්දයෙන් අමුතු කතා ඇහෙන මේ කාලයේදී වෛද්‍යවරියක් සහ මවක් ලෙස මම ද මෙවැනි උපදෙස් මටද කියන්නට එන සමාජයක ජීවත්වන නිසා මව්වරුන් වෙත ඇති මෙවැනි බලපෑම් ගැන හොඳාකාරවම දනිමි.
අවුරුදු ගණනාවක් ළමා වාට්ටු වල සේවය කර ඇත්තෙමි. මව් කිරි ප්‍රවර්ධනය සහ ස්තාපනය පිළිබඳව උපදේශකයෙක් ලෙස වැඩමුළු වලට පවා සහභාගි වීමි. මව් කිරිදීමේ වැදගත්කම අවබෝද කර ගත්තෙමි.
දරුවෙක් වැඩෙද්දී මාස හයක සිට ඝණ ආහාරවලට හුරු පුරුදු කිරීම අදවන විට සියළු දෙනා පුරුද්දක් වශයෙන් කරති. අවුරුදු 1- 2 පමණ වන විට මව් කිරි දීම ද අත්‍යාවශ්‍ය නොවන බව ද දරුවාට අවශ්‍ය පෝෂණකොටස් ලැබෙන්නේ ඝණ ආහාරවලින් බවද ඉගෙන ඇත්තෙමි.
“බර වැඩි වෙන්න පිටි එකක්වත් ලියලා දෙන්න ඩොක්ටර්” යැයි සායනවලදී අපට අනන්තවත් මව්වරු ආයාචනා කරති. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේදය බහුල ආහාරවේලකින් ලැබෙන පෝෂණයට සම කරන්නට කිරිපිටි වලින් නොහැකි බව අප ඔවුනට වටහා දෙන්නෙමු.
ඇමෙරිකාවේ වෙසෙන ජිම් ක්වික් යනු වේගයෙන් කියවීම, මතකය වැඩිදියුණු කිරීම සහ ප්‍රශස්ත මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විශේෂඥයෙකි ඔහු රටවල් 150 කට අධික සංඛ්‍යාවක සෑම වයස් කාණ්ඩයකම සහ සෑම වෘත්තියකම නියැලී සිටින්නන් සඳහා වේගවත් ඉගෙනීමේ ක්‍රම පිළිබඳ වැඩමුළු සහ පුහුණු කිරීම් සිදු කරයි. මෑතක ඔහු සිදු කරන ලද මතක ශක්තිය වැඩි කිරීම පිළිබඳ වැඩමුළුවකදී ඔහු පැවසුවේ, මොළයේ වර්ධනය සිදු කරන මොළයට හිතකර කෑම වර්ග පිළිබඳවය. ගොටු කොළ, අලිගැට පේර, බ්‍රොක්කලි, පොල් තෙල්, බිත්තර, සැමන් මාළු, කහ, වෝල් නට් සහ ඩාක් චොකලට් මේ ලැයිස්තුවේ අන්තර්ගතය. ගොටු කොළ රිසි සේ වැවෙන, පොල් තෙල්ද ඇති මේ රටේ මව්වරුන් මේවා ගැන දැනුවත් නැත. සත්ත්ව හෝ ශාක මේදය අඩංගුමාජරින් හෝ මේද තැවරුම් බටර් යැයි කියා භාවිතා කරති. දරුවන් හට බර වැඩි කර ගන්නයැයි නොයෙක් තැන ඇසෙන දෑ ගෙනැවිත් ගිල්ලති.
දරුවෙකුගේ වර්ධනය සිදුවෙන මූලික වයස්කාණ්ඩ වලදී නිසි පෝෂණයක් සහිත කෑම වර්ග ලබා දිය යුතුය. ප්‍රෝටීන බහුල ආහාර මෙන්ම පළාවර්ගද බොහෝ සෙයින් අප ආහාරවට්ටෝරු වලින් ඇත්වී ඇති බව මට වැටහේ.
ගෙවත්තේ පෝච්චියක ගොටු කොළ හෝ නිවිති වවාගත හැකි බව මා ප්‍රායෝගිකව දනිමි. දිනපතා කොළ දහයක් සෝදා ලියා දරුවාගේ කෑමවේලට එකතුකළ හැක. දරුවන් යනු පුහුණු කරගත හැකි පිරිසකි. දිනපතා මෙවැනි පෝෂණයක් සහිත ආහාරවේලක් දරුවාට දීමෙන් ඇත්තටම ඔවුන් ඒ දේට හුරුවන බව මම දන්නේ මගේ දරුවා සම්බන්දයෙන් මට ඇති අත්දැකීමෙනි. අමු තක්කාලි, රතු ලූණු සහ කොළ පැහැති පළා වර්ග කොයි තරම් හිතකර දැයි බොහෝ බටහිර රටවල ලිපි මගින් සාකච්ජා කෙරේ. මුරුංගා කොළ මිටක්, කතුරු මුරුංගා කොළ මිටක්, ගොටු කොළ මිටක් එකතුකරගැනීම තුළින් අත්වන වාසි, නොයෙක් පෝෂණ ඇතැයි කියමින් ගිල්ලන පෝෂණ පැකට් හෝ ද්‍රාවණ තුළින් ලබා ගැනීම අපහසුය.
සායනික සටහන් නොවේ- වෛද්‍ය බෝධිනී සමරතුංග
From newspaper column
No comments:
Post a Comment
ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !