Wednesday, December 15, 2021

ත්‍රීපෝෂ පැකට් දෙක

ත්‍රී පෝෂ පැකට් දෙකකට බුද්ධත්වය පැතීම....

this was written in 2014 ....

රජයේ මාතෘ සායන වලදී නොමිලේ දෙන අර ත්‍රීපෝෂ පැකට් දෙක මොන තරම් නම් වටිනවාද කියලා තේරුම් ගියේ මට මෑතකදී. (2014) 

මා වැඩ කරන ළමා සායනයේදී දරුවන්ට පෝෂණ ඌනතා ඇතැයි කියා ත්‍රිපෝෂ ලබා ගැනීමට කොයි තරම් නම් අම්මලා අපට ආයාචනා කරනවාද ? නමුත් නිසි බර උස ඇති දරුවන්ට බොරුවට ලියුම් ලබා දිය නොහැකි බව කියා ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන්නට වුනේ එහෙම ක්‍රමවේදයක් නොමැති නිසාමයි. එනමුත් අඩු ආර්ථික මට්ටමක් සහිත ඔවුන් හට මේ ත්‍රිපෝෂ පැකට් දෙක ගෙදර ඉන්නා කුඩා වුන් රොත්තකගේ බඩගින්න නිවන යාන්ත්‍රනයකි.

මා ගැබිනි අවධියේ රෝහලේ පැවති මාතෘ සායනයේ රෙජිස්ටර් වෙන්නට සිදුවිනි. ඒ නීතිය එහෙමමය. වාට්ටුවේ වැඩ කරන අතර තුර අල්ලපු ගොඩනැගිල්ලේ සායනයට ගිහින් එන්න පුළුවන් වීම එක්තරා විදියක පහසුවකි. 

එහිදී ගැබිනි මව්වරුන්ට ත්‍රීපෝෂ, ෆෝලික් ඇසිඩ් පෙති, යකඩ පෙති විටමින් සී නොමිලේ මසක් ගානේ ලබා දේ

පළමු සායනයේදීම , මා ඔවුන්ට පැවසුවේ… මට එම දීමනාව අනවශ්‍ය බවය. ඒ මට මහා ලොකුවට පෝෂණය සපයාගන්න ධනස්කන්ධයක් හිමි නිසා නම් නොවේ. 

රජයෙන් ලැබෙන වැටුපෙන් ඒ දේවල් ලබා ගන්නට පුළුවන් කමක් මට තියෙන නිසාත් මගේ පුද්ගලික ප්‍රින්සිපල්ස් අනුව මට අවැසි දේ මට සපයා ගන්නට තරම් මුදලක් අතට ලැබෙද්දී ඒ නිකම් ලැබෙන දේ මට වඩා අසරණ කෙනෙක් වෙනුවෙන් වෙන් කිරීම යෙහෙකැයි සිතන්නට පුරුදු වී ඇති නිසාත් ය. මා සායනයෙන් විටමින් පෙත්තක්වත් ලබා ගන්නේ නැත. 

 මා එම දීමනාව අනවශ්‍ය බව කීවාට, ගැබිනි මට වෙන් කර ඇති කොටස කොහොමත් ලැබෙන බවක් ඔවුන් කීවෝය. “ අනේ මිස් මෙතනට එන දරුවෝ ගොඩක් ඉන්න ගැබිනි අම්මෙක්ට ඔය ත්‍රීපෝෂ ටික දෙන්න..” මගේ කටෙන් පිටවෙනවාත් සමගම අසල සිටි දෙදෙනෙක් දිව ආවෝය. “අනේ ඩොක්ටර්ට එපා නම් අපිට ඒක දෙන්න ලැබෙන්න ඉන්න දරුවටත් පින් මගෙ රත්තරන් මැඩම්… ඔය ආදී ලෙස පින්සෙන්ඩු වෙමින් බුදු බව පවා ප්‍රාර්ථනා කරන්නට විය. ඒ ත්‍රීපෝෂ පැකට් දෙකකට ! 

 දැන් ඔවුන් මා  සායනයට යන සෑම මසකම මට ලැබෙන දීමනාව ලබා ගනී.  අසනීප නිසා එහි යන්නට බැරි වුන පසුගිය දිනෙක කෙනෙක් පැමිණ මගේ කාඩ්පත රැගෙන ගොස් ඒවා ලබාගෙන නැවත කාඩ් පත මට ගෙනැවිත් දුන්නේ පින් සිද්ධ වෙනවා යැයි මතක් කරමිනි. දැන් ඒ පැකට් දෙකට බැල්ම දාන පිරිසද වැඩිය. අයියෝ මැඩම් මට දෙන්න තිබුනානේ.. ඇතැමෙක් පවසයි. .  සමහරු අර උන්දැලාගෙන් ඒ ගැන විමසයි. ඔවුන් මට ඇමතුම් දේ “ මැඩම්ට ඕනෙද පැකට් දෙක අහවලා කියනවා මැඩම්ට දෙන්න කියලා”… “නෑ මට ඕනෑ නෑ. මං ඉල්ලුවෙත් නෑ.. ඕනෑ කෙනෙක් ඕනේ දෙයක් කරගන්න”  . 

 මා ඇතැම් විට අපේ paediatric සායන හමාර කොට වාට්ටුවට එන ටිකට පාර දිගේ දිව එන ගැබිනි මව්වරුන් මුණ ගැසේ... ඔවුන් සිතන්නේ මා සායනයට ගොස් පැමිණෙන ගැබිණි මවක් කියාය. "අද ත්‍රීපෝෂ දීලා ඉවරද ?" , "තවම ත්‍රීපෝෂ දෙනවද " ඔවුන් මගෙන් විමසයි. ඒ කිසිඳු අම්මා කෙනෙක් ත්‍රීපෝෂ ගෙනියන්නේ ඔවුන්ගේ පෝෂණය සඳහානම් නොවේ... ගෙදර සිටින අන් දරුවන්ගේ කුස පිරවීමටය.. මොකක්ද මේ රටට උනේ ! 

8 comments:

  1. ඒ දවස්වල රජයේ රෝහල් වල ත්‍රිපෝෂ බෙදීමේදී බොහෝ අක්‍රමිකතා වුණු බව අසා තිබෙනවා. ඒ වගේම ඒ කාලයේ ත්‍රිපෝෂ හරිම ජනප්‍රිය ආහාරයක්.

    ReplyDelete
  2. උනේ කියනවට වඩා කරගත්තෙ කියල ඇහුවනම් වඩා හරි.. ත්‍රිපෝෂ පැකට් දෙකක් නිසා සතියක් විතර පොඩි උන් නිස්කානසුවේ කුස පුරවගන්න ගෙවල් තියෙනවා. ඒ අතර ඒ අම්මලා හිතන්නෙ මාසෙ ඉතුරු දින ටික කොහොමද ගෙවා ගන්නෙ කියල...

    ReplyDelete
  3. වේල් දෙක තුන නොකා තම ළමයි ගැන හිතන අම්මාවරු මට හමුවෙලා තියෙනවා. ඒ අතර ත්‍රිපෝෂ පැකට් පවා ගෙදර හෝ නොදිය යුතු අයට දෙන නර්ස් නොනාවරු ගැනත් අහල තියෙනවා.

    ReplyDelete
  4. මේවා හිත පාරවන කථා! ඔබ කල සද්ක්‍රියාවට වඩා ඔවුන්ගේ අසර්න භාවය හද පාරවයි!

    ReplyDelete
  5. මේවා හිත පාරවන කථා! ඔබ කල සද්ක්‍රියාවට වඩා ඔවුන්ගේ අසර්න භාවය හද පාරවයි!

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !