Friday, October 22, 2021

ඔව්‍ මං ඩ්‍රැකියුලාගේ නංගි !

 ලේ බැංකුවේ රස කතා....


ලේ බැංකුවේ වැඩ කරන අපි හැමෝටම මේ කාලය හරිම කලබල , අවිනිශ්චිත , ආතතිය පිරි කාලයක් බව ඔබ දන්නවා. මගේ වැඩේ ලියන එක. අපේ රුධිර පාරවිලයන සේවයේ පිටුවෙන් ! 
ඒ අතර මේ කතා රුධිර දායක අපේ ලේ  නෑදෑයෝ එක්ක බෙදාගන්න හිතුවා. මේ මට වෙච්ච වැඩ.

කතාව 1.
ගූගල් දෙයියාට අපේ පාර මිස් වුණු නිසා කවදාවත් ටැක්සි එකකට හරියට ලොකේශන් දෙන්න බෑ. ඉතින් ලේසියට ආසන්නම ලෑන්ඩ් මාර්ක් එක වන කනත්ත මාක් කරනවා. යන තැන නම් හරියට මාක් කරගන්න පුළුවන්. 
අදත් ලේ දන් දීමක්...

"මිස් ඉන්නේ කනත්තේ, යන්නේ ලේ බැංකුවට... 😁😁😁"
මට උදේම හිනාවක් මතක් කළ ත්‍රීවීල් අන්කල් කීවා.

"ඔව් ඔව් මං ඩ්‍රැකියුලාගේ නංගී 😊 " මාත් හිනාවට එකතු වුණා....

කතාව 2

කොවිඩ්‍ එක්ක සැරෙන් සැරේ ලේ එකතු කිරීම්‍ අඩු වෙද්දි රටටම ඔනෑ ලේ හොයන්න බෙදා හරින්න පුදුම මහන්සියක් වෙන්නේ අපි හැමෝම. එහෙම කාලෙක ගෙදර ඇවිත් මූණ නරක් කරගෙන ඉන්න මා දුටු අප්පච්චී මෙහෙම අහනවා.

අප්පච්චී : මොකද ලොකු දුව 

මම: මහන්සියි මටනම් එපා වෙලා අප්පච්චී

අප්පච්චී : ඒ මොකද ?

මම : ලේ අඩුයි..

අප්පච්චී : ඕක තමයි කියන්නේ.. ඉතින් හරියට කෑමක් කන එකක් යෑ... කන බොන ටික හරියට කන්න ඕනේ..ලේ අඩු ඒකයි.

මම : අයියෝ බනින්න එපා.....මගේ නෙමෙයි .... ලේ බැංකුවේ...

අප්පච්චී : ඉතින් හරියට කියන්න එපැයි ...රටේ ලේ කියලා...

කතාව 3

ලංකවේ සුළුතරයක් හැරුණු කොට බහුතරයක් බොහොම පරාර්ථකාමී මිනිස්සු.
මනුස්සකම් පිරුණු හොඳ මිනිස්සු.

මට ඒක හොඳටම මතක් වෙන්නේ ලේ දන් දීමේ කඳවුරුවලදී, අපේ රුධිර මධ්‍යස්ථානයකදී...
" හා එහෙනම් සේරම හරි අපි ලේ ටිකක් දීලා බලමු නේද " හිනාවෙන් මම අපේ දායක මහත්මයෙක්ට කියනවා.
" ඇයි ටිකක් ගන්නකෝ ඔක්කොම වුණත්. ඇත්තටම කියන්නේ පැකට් දෙකක් ගමු " 
අනේ අපේ රුධිර දායක මහත්මයා කියන්නේ මුහුණ පුරා හිනාවක් සමඟ.


සමහර මිනිස්සුන්ගෙන් රුධිරය ගන්න බැරි අවස්ථා එනවා. හොඳ නොවූ තුවාල , උණ කැස්ස හෙම්බිරිස්සාව, නිදා ගෙන ඇත්තේ සුළු වේලාවක් හෝ කෑම නොකෑම වගේ හේතු. මම ඉතින් මුලින්ම ඔවුන්ට ඇතිවිය හැකි කරදර ගැන කියද්දී
 "ඒකට කමක් නෑ ගන්නකෝ ඩොක්ටර් මට හානියක් වුනාට කමක් නෑ " කියලා බහුතරයක් කියනවා. 
සමහරු ආවේගශීලි වෙනවා. "මම පෙන්නුව හින්දනේ තුවාලේ දැක්කේ" කියලා.
ඒ තරම් පරිත්‍යාගශීලී මිනිසුන් ! එයාලව අමාරුවෙ දාලා ලේ ගන්න බෑ කියලා තවත් පැහැදිලිකරලා තුවාල හෝ ආසාදන තත්ව තිබේ නම් ඒ නිසා ලේ පරිත්‍යාගයත් අපතේ යා හැකියි කීවම ඔන්න පොඩ්ඩක් අපි කියන දේ අහනවා. 
මම පසුගිය දිනවල හිටපු යුරෝපීය රටේ නම් ලේ පයින්ට් එකකට පරිත්‍යාග කරන අයට අවශ්‍යනම් සල්ලිත් දෙනවා. ඉතින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට ඒක අමතර ආදායමක්. අපේ රටේ සියයට සීයක්ම රුධිර පරිත්‍යාග දානයක් හෙවත් රුධිර පරිත්‍යාගයක්ම නොමිලේම සිදු කරන බව අසා ඔවුන් පුදුම වුණා. එතැනදී සියළු ආගම් වල උදවියගේ ආගම දහමට ඇති නැඹුරුව වගේම මිනිසුන්ගේ පරාර්ථකාමීබව ගැන ද කතා බස් කළා. 
ඇත්තටම අපේ රටේ මිනිස්සු අනුන් ගැන හිතනවා. එදිනෙදා වැඩ අස්සේ තමන් ගැන වැඩිපුර හිතුවත් මේ වගේ වෙලාවක් ලැබුනම ඒ අය හිතන්න ගන්නවා ඇති
එහෙම තමා බහුතරයක්...පරිත්‍යාගශීලී පරාර්ථකාමී මිනිස්සු !
එහෙම මිනිස්සු හරි සුන්දරයි !

ඔබත් මේ මොහොතේ ළඟම තිබෙන ලේ බැංකුවට හෝ රුධිර මධ්‍යස්ථානයට යන්න හැකිනම් ගිහින් රුධිරය පරිත්‍යාග කරන්න.

 බොහෝ රුධිර මධ්‍යස්ථාන සහ ලේ බැංකු රෝහල් පරිශ්‍රයෙන් පිට වාට්ටු සමග ගැටෙන්නේ නැති තැන්වල පිහිටාතිබෙන්නේ.
බොහෝ අලුතෙන් හැදූ ලේ බැංකු ගොඩනැගිලි ගේට්ටුව අසලම,රොහලෙන් පිට වෙනත් ගේට්ටුවකින් සම්බද වන ලෙස පවතී.( උදාහරණ මහ රෝහල- කොළඹ , රාගම, කුරුණෑගල , අනුරාධපුර , මහරගම....)

නාරහෙන්පිට රුධිර මධ්‍යස්ථානය සහ කඹුරුගමුව දකුණු රුධිර මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ රෝහලක  නොවේ.
අප රෝහල් සහ මධ්‍යස්ථානවල කාර් යය මණ්ඩලයේ සියල්ලන්ම වාගේ ප්‍රතිශක්තිකරණ එන්නත දෙවන මාත්‍රාවත් ලබාගෙන අවසන්.ඔවුන් ඔබ හමුවට එන්නේ මුහුණු ආවරණ සහ ආරක්ෂිත ඇඳුම් මෙවලම් ඇඳගෙනය. ඉතින් සෞඛ්‍යාරක්ෂිතව රුධිර දානයට ඔබට පහසුකම් ඇත.

වෛද්‍ය බෝධිනී සමරතුංග 
නාරහෙන්පිට ජාතික  රුධිර මධ්‍යස්ථානයෙ වැඩ කරන කාලේ ලියපුවා…..
📷 රුධිර ගබඩාවේ බෙදා හැරීමේ කට්ටිය....

12 comments:

  1. මං අවුරුදු ගානක් සති 9කට වරක් ලේ දන් දුන්නා ඒ පිටරටක සේවය කල කාලේ. ඒකෙන් ලැබෙන තෘප්තිය වෙනම එකක්, ලියන්න කියන්න විදියක් තේරෙන්නේ නැති. අබුඩාබියේ මං දැක්ක හොඳ දෙයක් තමයි එරට වැසියන් බහුලව මේ සද්කාර්යයට සහය දෙනවා, ඒ රටේ සම්පූර්ණ ලේ බැංකුවම දුවන්නේ ස්වේච්ඡා පරිත්‍යාග වලින්.

    දවසක් ලංකාවේ රෝගියෙක් වෙනුවෙන් ලේ අවශ්‍ය බව දොස්තරවරු කිව්වා, මම ලෙඩාව අඳුනන්නේ නැහැ. ඒ කාලේ මම ස්වේච්ඡාවෙන් ස්පෙෂලයිස්ඩ් හොස්පිටල් එහෙක යම් යම් කටයුතු වලට දායකවෙනවා, ආරංචිය ලැබුනත් කරකියා ගත හැකි දෙයක් නොවිය. එය පාසැල් ස්මර් හොලිඩේ නිසා හිතවත් බොහෝ දෙනා පවුල් පිටින් ලංකාවට ගිහින් හිටි කාලයකි. ලෙඩා වෙනුවෙන් වෛද්‍යවරුන් හමුවුනා, "...ඒක ප්‍රශ්ණයක් කරගන්න එපා හොස්පිටල් එකෙන් ලේ සූදානම් කරයි, බ්ලඩ් බැංකුව හරහා" මට හිතා ගන්න බැහැ, පසුවදා ම ලේ බැංකුවට ගිහින් රෙජිස්ටර් වුනා.

    තව එක් අවස්ථා කීහිපයක දී ලංකාවේ හිතවත් අය හා පවුලේ අය මුහුණ දුන හදිසි රෝගී තත්වයන් හමුවේ ඔවුනට උපකාර/සෙත පතා ලේ දීපු වාර කීපයක් තියෙනවා, ඒ වගේම පල ද ලැබුනා. දැන් ලේ දන් දෙන්න බැරිවීම ගැන අත්තටම දුකයි.

    ReplyDelete
  2. https://www.blogger.com/profile/13548791376241693480

    ReplyDelete
    Replies
    1. මාත් ටොපිකෙ දැක්ක ගමන්ම හිතුවෙ ඩ්‍රැකාව මෙතන්ට ඇදල දාන්ඩ 😃😃😃🙈

      Delete
    2. එයාව දන්නවද මන්දා ! බලාන්නම්‍….
      අපි අඩුවෙන් ලිවට බ්‍ලොග් කට්‍ටිය තවම ඉන්නවා නේ

      Delete
  3. අවම අවුරුද්දකට දෙවතාවක් හරි මෙහෙ ලේ දෙන කඳවුරු තියේ. ඇත්තටම අපේ මිනිස්සු හරි වෙනස්. මොනා වුණත් දෙන්න පුලුවන් දෙයක් තියේ නං කාගෙන හරි දෙනව. අනික් පැත්තත් එමම තමා. ගන්න පුලුවන් දෙයක් තියේ නං ඒකත් කෝම හරි ගන්නව. 😃😃

    මරු කතන්දර ටික. 😍😍

    ReplyDelete
  4. උඩ ඩ්රකි ගේ නංගි කතාව මරු. මම නම් ලේ දීල නැහැ. තියෙන්න එපැයි දෙන්න. හොඳ වැඩක් කරන හැමෝටම

    ReplyDelete
    Replies
    1. මටත් දෙන්න උනේම නෑ. හිමොග්ලොබින අඩු නිසා….

      Delete
  5. මගෙනුත් ගන්න... ලේ.

    ReplyDelete
    Replies
    1. ගන්‍න බැරි හෙතුව විද්‍යාත්මකයි….
      තමන් ලේ සිරුරට අරන් තිබබොත් පාරවිලයනයක් ලෙස … අවුරුද්දකට පසුව තමා ලේ දෙන්න පුලුවන්
      ඩ්‍රැකි ඉතින් ලේ බොන නිසා කොහෙත්ම සුදුසු නෑ

      Delete
  6. 👌🙏😂😊🤣

    //ගූගල් දෙයියාට අපේ පාර මිස් වුණු නිසා....//
    හ්ම්...මේක වෙනමම ලිපියක් ලිවීමට තරම් මාතෘකාවක්.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !