Monday, October 11, 2021

ළමයින්ටයි පාට පාට

2019 මැයි මස ලියූ පුවත්පත් ලිපියකි

විවිධාකාරයේ ඉස්ලාම් ආගමික පාසල් පසුගිය කාලයේ සිදුවීම් පෙළ සමඟ කරළියට ආවේය. විවිධ වූ සංස්කෘතීන්, ආගම් හා ජාතීන් රැසක් ඇති මේ කුඩා දිවයිනට මේ සා විසල් බෙදීමක් සැඟවීමක් කුමටදැයි මට සිතේ. මේ සියල්ල අවුරුදු කිහිපයක් තුළ මේ රට බිලිගත් ආගමික අන්තවාදයේ බිහිසුණුකමය.

දිවයිනේ සියලුම දරුවන් කෙරෙහි එකම නීති රීති පද්ධතියක් ක්‍රියාත්මක කළ යුතුය. නමුත් විසි එක්වන සියවසේ තාක්ෂණයේ හිනිපෙත්තෙහි සිටින්නාවූ මේ සමාජයේ මෑතක සිදු වුණු පුපුරා යෑම් තුළින් හෙළිවූයේ කුමක්ද? අපේ රටේම මුස්ලිම් ජාතික ඇතැම් දරුවන් පිරිසක් සෙසු දරුවන් විඳින්නා වූ ළමා කාලය නොලබන බවය. අධ්‍යාපන රටාව නොලැබෙන බවය. ඇතැම් ඉහළ පාන්තික දරුවන් මේ සියල්ල ලබන අතර අන්තවාදය දැඩිව ක්‍රියාත්මක වන ඇතැම් පෙදෙස්වල සහ මුස්ලිම් ජන සමාජවල මේ දරුවන් වෙනස් වූ ජීවන ක්‍රමයකට බලෙන් ඇද දමා ඇති බවත් දක්නට ලැබේ.

මට අවුරුදු 18දී මුල් වරට රටේ නැඟෙනහිර පෙදෙසට හෙවත් අක්කරෛපත්තුව ප්‍රදේශයට යෑමට ලැබුණේ එහි සේවය කළ ඥාතියකුගේ සුවදුක් බැලීමටය. ඉන්පසු වාර්ෂිකව එහි යන්නට එනන්ට සිදු වූයේ දීඝවාපී චෛත්‍යය වැඳ පුදා ගැන්මටය. ඒ යන ගමන්වලදී හමු වූ මුස්ලිම් ජාතික මිනිසුන් වෙතින් කියැවුණේ අමුතු කතාය. අප ගිය එක ගෙදරක දරුවන් දෙදෙනකුගේ අම්මා කෙනෙකු සිටි අතර ඇයත් මගේ වයසේමයි කී විට මා පුදුමයට පත් වුණෙමි.

"ඔයා මගෙ වයසෙමයි. ඔයාට දරුවන් දෙන්නෙකුත් ඉන්නවා. ඒත් මම ඒ ලෙවල් කළා විතරයි." කියා මම කම්පා වුණෙමි.

මගේ කතා අහගෙන සිටි ඒ ගෙදර ආච්චි කෙනෙකු සිනාසෙමින් පැවසුවේ එය මේ එතරම් පුදුම විය යුතු දෙයක් නොවන බවය. ඇය තවදුරටත් පැවසුවේ ඇයව විවාහ කර දුන්නේ අවුරුදු 11දී පමණ බවත් ඇය ඒ වනවිට මල්වර වී නොසිටි බවත්ය. ඇය විවාහ කරගත්තේ අවුරුදු විසි ගණනක් වයස පුරුෂයෙකි.

මගේ නළලට එසැවුණු විසල් වූ දෑස් හමුවේ ඇය පැවසුවේ වැඩිවිය පැමිණෙන තුරු නැන්දම්මා ළඟ නිදාගත් බවත් අවුරුදු 13දී වැඩිවිය පැමිණුණු අතර අවුරුදු 15 පමණ වනවිට පළමු දරුවාද ලැබුණු බවත්ය. මගේ හිත අවුරුදු ගණනාවක් පෙළූ මේ පුවත ඉන්පසු මාගේ දෑස් හමුවේ රඟදෙන්නට පටන් ගත්තේ උතුරු කොන සේවය කරද්දීය.

අගනුවර කතෝලික පාසලක ඉගෙනුම ලැබූ මගේ මිතුරියන් සිහිවිය. මුස්ලිම් ජාතික මිතුරියන් හතර දෙනෙකු පමණ සිටි අතර ඔවුන් මුහුණු ආවරණය නොකර පාසලේ විවිධාකාර වූ ක්‍රීඩාවල යෙදුණු, ජාතික තලයේ ක්‍රීඩා කණ්ඩායම් නියෝජනය කළ අය වූහ. ඔවුන් කිසිවෙක් අඩු වයසෙන් විවාහ වූයේ හෝ ඉගෙනීම නතර කළේ නැත. සමහරෙක් ප්‍රබල දේශපාලන පවුල් පසුබිමක් තිබූ අය වූහ.

එදා දහඅට වියැති දැරියකව සිටි මා නැඟෙනහිර පළාතේ වැඩිහිටියන් සමඟද ඉන්පසු විසි අට වියැති වෛද්‍යවරියක්ව උතුරේ රෝහල්වල හමුවන ළමා මවුවරුන් දුටු විටද තර්ක කළෙමි. "හයක් හතරක් නොතේරෙන දරුවන්ට එහෙම කරන එක වැරදියි. මෙහෙම රටක එහෙම වෙන්න දෙනවා නම් ඒක කොයි තරම් වැරදිද?" මම එහෙම කියන විට ඒ වැඩිහිටියන්ගෙන් ලැබුණේ එකම උත්තරයකි. "ඒක අපේ ආගමික, ජාතික සංස්කෘතිය, ඒක නීතියෙන් තහනම් නෑ." යන්නයි.

පණ්ඩුල නයන බණ්ඩාර සොයුරා මුහුණුෙපොතේ ඉතා වැදගත් කරුණක් ලියා තිබුණි. අවුරුදු 12ක, 13ක, 15ක වශයෙන් දැරිවියන් එකම රටේ සමාජ දෙකක හැදී වැඩෙන අයුරු සහ ඉස්ලාම් අන්තවාදය ඔස්සේ ඔවුන් මුහුණ දෙන ඛේදාන්තය ඔහු පෙන්වා දී තිබුණේය. මම ඒ ඛේදාන්තය දෑසින් දැක්කෙමි. කොළඹ මගේ යෙහෙළියන් අප මෙන් සාමාන්‍ය ජීවිත ගත කරද්දී, උපාධි ලබද්දී එහෙ දැරිවියෝ අවුරුදු 14න් විවාහ වී දරුවන් කරපින්නාගෙන සිටියෝය.

එහෙත් හැම විටම අපට ආගමික හෝ ජාතික සංහිඳියාව යන වචන හමුවේ නිහඬ වෙන්නට සිදු විය. මා මේ ලියන්නේ කිසිදු ආගමකට හෝ ජාතියකට විරුද්ධව නොවේ. එහෙත් ළමා ළපටි දැරිවියන්ගේ ඉගෙනුම ඔවුන් ළමා වියේදීම වැඩිහිටියන් කරන්නට. දරා ගන්නට බැරි තරම් හිංසා විඳින්නට සැකසුණු පසුබිම ඉවත් කරවනු උදෙසාය. සංහිඳියාව කියා ළමා අපචාර, දූෂණ, හිංසාවලට ඉඩදෙන මෙවැනි ආගමික නීතිරීති ශිෂ්ට ජන සමාජයකට අවශ්‍ය නොවේ.

මා දන්නා තරමින් රටේ සියලු දරු දැරියන් අවුරුදු 18ක වැඩිහිටියන් වන තෙක් ඔවුන් ගැන විශාල වගකීමක් ඒ රටේ රජයටත් තිබේ. එසේ නම් කාන්තා හා ළමා ආරක්ෂක කාර්යාංශ මඟින් මේ ගැන කිසිවක් නොකරන්නේ ඇයි? අමු අමුවේ උල්ලංඝනය වන ළමා මානව හිමිකම් ගැන කිසිවෙක් කටක් අරින්නැත්තේ ඇයි?

එකිනෙකාට විවෘත වූ සමාජයක් සැදුණේ නම් අද වනවිට අසල්වැසියා කෙරෙහි සැකයෙන් කෝපයෙන් බලන්නට තරම් මේ සා විනාශයක් සිදුවෙයිද?

ආගමික අන්තවාදය යනු මහත් සේ පිළිකුල් කර ඉවත දැමිය යුතු විෂඝෝර සර්පයෙකි. එය විද්වත් මුස්ලිම් සමාජයෙන් සිදුවනවා නම් රටේ අනාගතය වෙනුවෙන් මතු දරු පරපුර වෙනුවෙන් සිදු කරන්නාවූ විසල් මෙහෙවරකි.

[වෛද්‍ය බෝධිනී සමරතුංග]

http://resa.lk/රැස-තීරුව/2019/may/03/10776/ළමයින්ටයි-පාට-පාට

4 comments:

  1. ආගමික අන්තවාදය යනු මහත් සේ පිළිකුල් කර ඉවත දැමිය යුතු විෂඝෝර සර්පයෙකි. එය විද්වත් මුස්ලිම් සමාජයෙන් සිදුවනවා නම් රටේ අනාගතය වෙනුවෙන් මතු දරු පරපුර වෙනුවෙන් සිදු කරන්නාවූ විසල් මෙහෙවරකි.////

    මම හිතන්නෑ. එයාල යන්නෙම පස්සට. අර උඩම කියල තියේ වගේ බලයක් තියේ නං ඔළුව උස්සල ඉදියි. නැත්තං ඉවරයි. ඕක හුඟක් තියෙන්නෙ පුත්තලං අක්කරෙයිපත්තු වගේ ඩොටේ කියල කියන මහා සාමාජයෙන් ඈත් වුණ පැති වල. නගර බදව හරි අඩුයි

    ReplyDelete
  2. මෙතන සමාජ පන්තිය නිසා ඇති වන වෙනස අනිත් හැම ක්ෂේත්‍රයකම වගෙත් තියෙනවා නොවේද?

    ඉහල පන්ති වල අයට නීතිරීති පැනවීමට හෝ බල කිරීමට කවුරුත් නොමැති අතර පහල පන්තිය මතම සියල්ල පැටවෙන ආකාරයක් දැකිය හැකි නොවේද?

    ආගමේ නාමයෙන් ගොඩක් අපරාධ කරනකොට ඒක කතා කරන්නෙ නෑ නෙ. ප්‍රශ්නයක් වෙලා ඔඩු දිව්වොත් විතරයි කතා කරන්නෙ.(පාස්කු ප්‍රහාරෙ ගැහුවට පස්සෙ) ඊට කලින් ඉදලා එතනට එන්න ඕනි පසුබිම හැදෙන්න ඕනි.
    ඒවා ගැන සෙවිල්ලක්වත් නෑ.

    ලංකාවේ මිනිස්සු බහුතරයකට ප්‍රශ්නෙ තියෙන්නෙ ඔතන නෙමෙයි. ඒකයි ඕවා ගැන කතා නොකරන්නෙ

    ReplyDelete
  3. සංවේදී සටහනක්.හරිම සමබරව ලියා තිබෙනවා.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !