Saturday, April 29, 2017

දැන් ඉතින් බෑග් පැක් කරන් ගෙදර යමු !

"දැන් ඉතින් බෑග් පැක් කරන් ගෙදර යමු " කෙනෙක් එහෙම කියමින් කොරිඩෝවේ එහෙ මෙහෙ ගියා.
"එහෙම ගිහින් කොහොමද ? එතකොට හොස්පිටල් එක ?" තව කෙනෙක් විමසිලිමත් වුනා.
 "දැන් ඕගොල්ලො පරිස්සමට ක්වාටර්ස් එකට ගිහින් ඉන්න. ගෙදර යන්න ඕනෙ නම් ලෑස්ති වෙන්න" එහෙමත් කීවා කලබල වුන කෙනෙක්..

රෑ හතට විතර කෝල් එකක් එනවා මම දන්න නම්බර් එකකින්... අපේ පවුලේ හිතවතෙක් වන ඒ මහතා රැකියාව කළේ මේ ප්‍රදේශයේ බව දැනගෙන හිටියට කතා බහ කළාට ඔහුගේ තරාතිරම වත් මම දැනගෙන හිටියේ නෑ ඕන්.

"පුතා මොකක්ද හොස්පිටල් එකේ ප්‍රශ්නෙ ?"
"ආ අන්කල්ටත් ආරංචි වුනා ද ?" මම සිදුවූ දේ සහ දැන් තත්වය පැහැදිලි කරමින් , "මේ ප්‍රදේශයේ නායක නිලධාරී තැන එනවලු දැන් සාකච්ජාවකට,  ඔක්කොම ඩොක්ටර්ස්ලා එන්න ඕනෙ නෑ කියලා, අපිට කීව නිසා ආවේ නෑ. අර කට්ටිය රැස් වෙලා ඉන්නවා. අපි දැන් ක්වාටර්ස් එකේ"

"එතකොට ගෙදර ගියා කීවේ ඩොක්ටර්ස්ලා" ඔහු තවත් ප්‍රශ්නයක් ඇහුවා.

"මම හිතන්නේ කොහොමත් අද නිවාඩු යන්න හිටියේ ඔය කියන කෙනා සහ තව කෙනෙක්, ඒ දෙන්නා ඔය සුපුරුදු නිවාඩුවට ගියේ"
"මයි ගෝඩ්, කොළඹට නිව්ස් එක ගිහින් තියෙන්නේ ඩොක්ටර්ස්ලා හොස්පිටල් එක අත ඇරලා යනවා කියලානේ" මට සිනහා නැගුනි. කවුරු හරි ප්‍රශ්නෙ ලොකු බැරෑරුම් කරන්න හිතාන,  කියන්න ඇත්තේ,අපි මේවා අත ඇරලා යනවා කියලා වෙන්නැති... මෙවැනි සුළු දේ මහ දේවල් කරන පිරිස් නිසා ප්‍රශ්න කලබල සහ සටන් දක්වා පැතිරෙනවා කියලා නම් තේරෙනවා.

"මම ගේට්ටුව ගාව ඉන්නේ පුතා අපි ක්වර්ටර්ස් එක ළඟ නවත්වන්නම් එළියට එන්න"
"ආ අන්කල් අර සාකච්ජාවටද එන්නේ ? අර මෙහෙ ලොක්කා එනවා කීව"
"ඒ මම තමා" ඔහු කී විට, මට පුදුම සිතිනි ඔහු ඒ ගැන මින් පෙර සඳහනක් හෝ කර තිබුනේ නැත.

අඩේ.. මම දැනන් නොසිටිය මේ ප්‍රදේශයේ හමුදා ප්‍රධානියා ඔහුය. මෙතරම් නිහතමානී අයෙක් මා ජීවිතය පුරාවට දැක නොතිබිනි. ඒ ප්‍රදේශයේ පිරිස පවා ඔහු ගැන හරි පැහැදීමකින් සිටි අතර, ආරවුල් වලදී පවා හමුදා මූලස්ථානයේ සහය පැතූ අයුරු ගැන කතන්දර බොහෝ ය. අර අනාථ නිවාසයේ දරුවන් මාමා කියමින් දිව ඇවිත් වඩා ගන්නට අත් දිගු කළේ මොහුට ය. අනිත්කොන ට ඕස්ට්‍රේලියාවෙන් එවූ බඩු ගොන්නක්... මා එයින් මාරුවීම් ලබා ආවට පසුව ලැබුන නිසා, මා එහි නොසිටි නිසා,  ඒවා බාරගෙන බෙදා දී තිබුනෙත් මේ මහත්මයා ප්‍රමුඛ හමුදා පිරිසම ය.

හාත් පස වසා ගත් සැඳෑ කළුවරය, ගේට්ටුව අසල ඇති ලයිට් කණුවේ බල්බයෙන් මලානික එළියක් විහිදුවයි.
මම විගහින් ගේට්ටුව ළඟට ගියෙමි. ඩිෆෙන්ඩර් රථ දෙකක් පැමිණ, එකකින් බැස්සේ අපේ හිතවත් අන්කල් ය. ඔහු බසිනවාත් සමගම සෙබළු කිහිප දෙනෙක් බැස වට විය.

දැන් මේ කියවන ඔබ හැම හිතනවා ඇති මේ අලකලංචිය මොකක්ද කියලා. මම මෙතෙක් මේක නොලියා හිටිය කතා ගොන්නෙන් එකක්.  මීට අවුරුදු ගානකට කලින් වෙච්ච දෙයක් නිසා , දැන් ලීවට කමක් නෑ කියල හිතුනේ. අපි කලබල නොවූ නිසා මේ කිසිවකින්, කිසිම ආකාරයේ පුවතක් මැවුනේ නෑ. එනිසා ලෝක ප්‍රවෘත්තියක් වෙලා, රටේ අවුලක් ඇති කරන්නට පවා තිබුණු සිද්ධියක් ඉබේම නිවී ගියා.

අනිත්කොන කියන්නේ කොහොමත් ලෝක අවධානය ඉහළින්ම තිබුනු පෙදෙසක් නේ. ඉතින් මේ අනිත් කොනේ යුද්ධෙ ඉවර උනත් එක්ක එහි ගිය වෛද්‍ය බැටෑලියන් එක මම හිතන්නේ සීයකට වැඩී. මම අයිති උනේ එහි හදවත වගේ තිබුනු අග නගරේ මහ රෝහලට පත් වුනු 30ක වගේ වෛද්‍ය පිරිසකට.

සුපුරුදු පරිදි අපි ඉතින් වැඩ රාජකාරි වල යෙදෙනකොට, රෑ වාට්ටු වටයට පවා සියළු වෛද්‍යවරු එනකොට අපේ විශේෂඥ වෛද්‍යවරයත් දින කිහිපයක් බලලා කීවා " මොකද මේ හැමෝම හැම තිස්සෙම වාට්ටුවේ... ඔයාලා හැමෝම එන්න ඕනේ නෑ, හතරෙන් පස්සෙ රෑට ඔන්කෝල් එක්කෙනා හිටියම ඇති" කියලා

"අනේ සර් කාමරේ උන්නත් කරන්න වෙන වැඩක් නෑනේ. " ඔන්න ඕකයි අපේ උත්තරේ... අපිට වාට්ටුව නිකම් ගෙදර වගේ.

ඔය අතරේ අපිට ආරංචි වෙනවා, මීටත් උඩින් තියෙන මහ රෝහලේ විශේෂඥ වෛද්‍යාවරයෙක්ට, දේශපාලන බුවෙක් පහර දීලා කියලා... ඒකත් ඔය රෝහලේ ටෙන්ඩර් ප්‍රශ්නෙකට දෙස්පළුවෙක් අත පෙවිමක්ලු, ඒ වෙලාවේ ඒකට විශේෂඥ වෛද්‍යවරයා විරුද්ධ වෙලා. එතෙන්දි තමා ඔහුට දෙස්පළුවා පහරදීලා තියෙන්නේ.  ඉතින් මේකට විරුද්ධතාවය පාන්න ඊළඟ දවසේ මුළු ද්‍රිස්තික්කයේම රෝහල් වල වෛද්‍යවරු සංඛේත වැඩ වර්ජනයක නිරත වෙන්න කියලත් අපට පණිවිඩයක් ආවා.

කොහොමත් ඔය වර්ජන කීවට රෝහලේ බාහිර රෝගී අංශයේ බෙහෙත් නොදෙන එක විතරයි වෙන්නේ. හැබැයි මේ රෝහලක වර්ජනයක් නම් පැය දෙක තුන බස් වල එන රෝගීන්, බොහෝ ඈත ඉඳන් රුපියල් සීයක් කුලී වැඩ කරලා හොයන් එන අසරණ රෝගීන් නිසා ඔවුන්ව රෝහල්ගත කරලා හෝ බෙහෙත් ටික දීලා යවන්නත් ක්‍රමවේද සකසනවා.

එදින උදේ සාකච්ජාවේදී අපේ ඒකකයේ (ප්‍රසව හා නාරිවේද) විශේෂඥ වෛද්‍යවරයා සහ අපි වෛද්‍යවරු තුන් දෙනා ට තිබුනේ ගර්භනී මව්වරුන්ගේ ක්ලිනික් එක. සතියට සැරයක් පවත්වන මේ ක්ලිනික් එකට සීයකට වඩා පිරිසක් පැමිණෙනවා. "මේක මිස් වුනොත්, අපිට ආයේ මේ අය හමුවෙන්නේ මාසෙකින්නේ... මේ ගොල්ලොන්ට එන යන දවස් නොකීවොත් සමහර විට අමාරු වෙනකම්ම එන එකකුත් නෑ. මාතෘ මරණ කීපයක් තමා සිද්ධවෙන්නේ , එනිසා මම නම් ක්ලිනික් එක කරනවා, මොකද කියන්නේ ඕගොල්ලො ?" සර් ඇසුවා.
"හරි , අපිත් ලෑස්තියි. " අපි තුන්දෙනාම එකඟ වුනා. කොයි තරම් ජිවිත සහ මරණ අතර අවධානම් ඇති ඒකකයක්ද කියනවා නම් ඇතැම් දිනක අපි එක දිගට පැය විසි හතරක් වැඩ කරන වෙලාවලුත් තිබුනා... ඒ පිට රෝහල් වලින් එවන හදිසි අවස්තා එක්කමයි. දවසක් උදේ ඉඳන් රෑ හය හත වෙද්දි...මාත් අනෙක් වෛද්‍යවරයාත්... සීසර් සැත්කම් දහයක් කර තිබුනා. ඇතැම් විට සහය වෙන්න වෛද්‍යවරයෙක් නැති නිසා හෙද හෙදියන් සමග සැත්කම් සිදු කළේ. අපේ විශේෂඥ වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ නිසා, කිසිම බියක් නැතිව වැඩ කළ කාලයක්.

සැත්කම් මේසය මට වඩා උස නිසා බොහෝ විට එයට යකඩ ආධාරකයක් මත සිටගන්න පවා සිදුවෙනවා. මම වැරෙන් ගැට දමමින් මසද්දී, "ඕවා ලේසියෙන් ගැලවෙන්නෙ නෑ ගෑණු ගැට නේ" කියමින් විහිළු කරමින් අප වෙහෙසකර තත්වයෙන් මුදන්නට පවා ඔහු අවට සැරි සරමින් උත්සහ කරනවා. අදටත් සැමරුමක් සේ මගේ දකුණු අතේ මැහුම් මහද්දී, ඉඳිකටුව රඳවන අඬුව වදින තැන ඇතිවුනු කරගැටය ඉතිරි වී තිබෙනවා.

ප්‍රසූතිකාගාරයේ වුනත් දිනකට දරු උපත් දහයක් වත් උපරිම සිදු වෙනවා, (හෝ ඊට වැඩී) ඉතින් ඒ හැමෝගෙම කැපුම් තුවාල මහන්නෙත් අපිමයි. මැහුම් එළියට නොපෙන්නෙන්න මහන්න උපරිම උත්සහය ගන්නා අපේ මැහුමක් ආසාධනය වෙලා මෙහි නැවත කිසිවෙක් පැමිණියේ නැත.
ඒතරම් දුෂ්කර අවධියක... අපිට වර්ජනයක් කරනවා කියන එක විහිළුවක් වුනා. නමුත් විරෝධතාවයක් ලෙස එය කළ යුතු වුනා.
අප එ නිසා සියළු ගර්භනී මව්වරුන් , අපේ වාට්ටුවට ගෙන්වා ගත්තා. මානසික රෝග සම්බන්ද වෛද්‍යවරයාත්, ඔහුගේ රෝගීන් බලන බව කීවා. ඉතින් අපි අපේ වාට්ටුව පිටුපස කොරිඩෝවට ගර්භණී මව්වරුන් ගෙන්වාගෙන, එතැන තිබූ ස්කෑන් රූම් එකේ ඔවුන්ව පරීක්ෂා කරමින් සායනය පැවැත්වූවා. වාට්ටුවේ මිස්ලත් මිඩ් වයිෆ් මිස්ලත් හරි හරියට උදව් වුනා.

මීට කළින් මා සේවය කළ මනෝ වෛද්‍ය වාට්ටු වලදිත් වැඩ වර්ජන වලදී අපි සායනය නම් අත හැරියේ නෑ. මනෝ ව්‍යාධියෙන් පසුවෙන පුද්ගලයින්ට එය තවත් බරක් සහ ප්‍රශ්න රැසක් නිසා අපි අපේ සායන පැවැත්වූවා. ඔවුන්ට ගෙදරින් පිටවෙන්න ඇති එකම කාරණයත් සායනය පැවැත්වෙන දිනය.. ඒවගේම ඔවුන්ගේ බෙහෙත් ටික ඒ අයට මාසයක් ජීවිතේ පවත්වාගෙන යන්න තියෙන අමෘතය වගේ. බොහෝ අය බෙහෙත් වලටම ජීවිතේ බාරදීලා හිටියේ. සමහරුන්ට සුව වෙන්න කිසිම උවමනාවක් තිබුනේ නෑ. ඇතැම් විට රෝහල් ඖෂධාගාරයෙන් නිකුත් කරන සුපුරුදු බෙහෙතක පාට හෝ හැඩය වෙනස් වෙලා තිබුනත්, ඒ අය නැවත පෙති මුල් උස්සගෙන අපි ළඟට දුවන් එන පුරුද්දක් තිබුනා.

 රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වුවද පැවසුවේ, නිසි සුදුසුම ආකාරයෙන් වර්ජන දිනයේ කිසිම නේවාසික රෝගියෙකුට හෝ හදිසි අවශ්‍යතා ඇති අයට අකටයුත්තක් නොවන සේ සේවය කරන්න කියා මිසක සේවය අත් හරින්න කියා නොවේ.

ඔයින් මෙයින් වර්ජනය පැවැත්වූ දින ගෙවුන නමුත් අපිට නම් එය සුපුරුදු පරිදි වැඩ රාජකාරි බහුල දිනයක් වුනා. පත්තර සහ මීඩියා වලින්ද බාහිර රෝගී අංශය වැඩ නැති බව වාර්ථාකර තිබුනා.
එනමුත්  පසුවදා වෛද්‍යවරුන් සියල්ලන්ට රැස්වීම් ශාලාවට රැස් වෙන්න කියා හදිසි පණිවිඩයක් ආවා.
ඒකත් වර්ජනය සම්බන්ධ මොකක් හරි වෙන්න ඇති කියලා අපි හිතුවේ....
ඒත් අන්තිමේ අපි හිතුවේ වත් නැති තරම් දරුණු දෙයක් අහන්න ලැබුනේ...
ඉතිරිය ඊළඟ පෝස්ට් එකෙන් ලියන්නම්....

14 comments:

  1. ඉතුරු කොටස එනකල් අපි බලං හිටිමු.

    දේශපාලනක්ඤයො අත ගැහුවොත් එතැන යට සල්ලි කුට්ටියක් ඇති. ඒ කුට්ටිය හිර කරන ඕනෑම අතක් ආරක්ශිත නෑ.

    එහෙම උනත් මනුස්ස පරාණයක වටිනාකම දන්න පිරිසක් ඒ කොනේ හිටපු එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඉතිරි එක සෑහෙන්න පරිස්සමෙන් පෙරලා කිරලා මැනලා ලියන්න ඕනේ කතාවක්නේ... පොඩ්ඩක් වෙලා ගන්නවා !

      Delete
  2. මගදි කුතුහලය තියන්න එපල්ල අප්ප

    ReplyDelete
    Replies
    1. මමත් හිතුවා... ඔන්නොහේ පොඩ්ඩක් කුතුහලේ අවුස්සලා බලන්න !

      Delete
  3. ආසාවෙන් කියෙව්වා .ඉතිරිය ලියන්න .

    ReplyDelete
    Replies
    1. මේ ටිකේ වැඩ වැඩි නිසා ඉක්මනින් ලියන්නම් විවේකයක් ලද සැනින්

      Delete
  4. හෑඃ අර මොකෑ අර කදිර ගිනිකසයා වගේ මේ පැත්තට දුවං එන්නේ.....

    ඒ දවස් වල මුවංපැලැස්ස රෑ 8.30ට පටන් ගත්තු එක රෑ 9.00 ට ඉවර වෙන්නේ ඔන්න ඔහොම මුදියංසේ මාමා හරි වෙද මාමා හරි කෑ ගහලයි.
    එතකොට අපි සතියක් ඊලඟ සඳුදා වෙනකල් බලන් ඉන්නවා අර කදිරා දුවං ආවේ ඇයි කියලා දැන ගන්න.
    නිකමට ඒක කිව්වේ හොඳේ

    දෙස්පළුවා - අළුත් අපූරු වචනයක් මමත් මේක ඉදිරියේදි පාවිච්චි කරයි.

    ඉතිරි කොටස කියවලාම බලමු.

    ReplyDelete
    Replies
    1. හා හා, මම ඉතින් මේ දවස් වල වැඩ ගොන්නක හිර වෙලා... ඒකයි ඉතිරිටික ලියන්න ප්‍රමාද වෙන්නේ. ඔව් ඒක මමත් කාගෙන් හරි අහගත්ත වචනයක්... හැබැයි ගැලපෙනවා නේහ්

      Delete
  5. අපූරු අත්දැකීම් ගොන්නක්නේ...ඉතින් ලියන්න ...කියවන්න ආසාවෙන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ලියන්නම් හැකි ඉක්මනින්..

      Delete
  6. +++++

    දෙවියන් වැනි වෛද්‍යවරුන් සිටින වෘත්තියක හොඳ නම ගොමා සංවිධානය කන්නේ ඇයි.

    ReplyDelete
  7. මහ රෝහලේ විශේෂඥ වෛද්‍යාවරයෙක්ට, දේශපාලන බුවෙක් පහර දීලා කියලා../////////වරක් බාහිර රෝගී අංශයේදී එක් ප්‍රාදේශ්‍ය සභා මන්ත්‍රීවරයෙක් රෝහලේ කම්කරුවන් දෙදෙනෙකුට තර්ජනය කරනු මට ඇසුණි. මෙය සමථයකට පත් කිරීමට ගිය මටද මන්ත්‍රීවරයා රැස්පොට් දැමීය​. එකල වයස අවුරුදු 29 ක තරුණ වෛද්‍යවරයෙකු වූ මට දේශපාලකයන් ගේ රැස්පොට් වගක් නොවීය​. මම ප්‍රාදේශීය මන්ත්‍රීවරයා බෙල්ලෙන් අල්ලගෙන පහරක් දීමට යත්ම සහකාර වෛද්‍ය නිලධාරී ප්‍රේමරත්න මහතාත් ඩිස්පැන්සරියේ රන්ජිතුත් මගේ අතේ එල්ලීම නිසා මන්ත්‍රීවරයාගේ මුහුනත් තහඩුව බේරුනි.

    මන්ත්‍රීවරයා යන්නට ගිය අතර ඔහු විසින් කරන ලද ක්‍රියාවට විරෝධයක් වශයෙන් මම රෝහලේ වර්ජනයක් ආරම්භ කලෙමි. මා සමග මුළු රෝහල් කාර්‍ය මණ්ඩලයද එලියට ආහ​. අවසානයේ මන්ත්‍රීවරයා හසලක පොලිස් ස්ථානාධිපති අබේසිංහ මහතා ඉදිරියේ රෝහල් කාර්‍ය මණ්ඩලයෙන් සමාව ගැනීමෙන් පසු වර්ජනය නිම විය​.

    අද කාලයේ නවක වෛද්‍යවරුන්ට මා විසින් එදා කල ක්‍රියාව කිරීම​ මම අනුමත නොකරමි. ප්‍රාදේශීය මන්ත්‍රීවරයා නූගත් මැරයෙක් වුවත් ඔහුගේ බෙල්ලෙන් අල්ලා පහර දීමට යාම ගැන අද මට ඇත්තේ පශ්චාත්තාපයකි. සංවාදයෙන් එය විසඳා ගත හැකිව තිබුණි. එකල මෙන් නොව අද කාලයේ සෞඛ්‍ය බලදාරීන් දේශපාලනීකරණයවී අවසන් ය​. ඒ කාලයේ මෙන් දේශපාලකයන්ට හිස නොනැමූ වෛද්‍ය එල් බී දෙනුවර වැනි සෞඛ්‍ය අධ්‍යක්‍ෂකවරු අද දිනයේ නොමැත​. එසේම දේශපාලකයන් මිනීමරුවන් වෙති. ඔවුන් මුහුණට මුහුණ නොගැටී කුලී මිනීමරුවන් එවති.

    ReplyDelete
  8. දැන් ඉතින් බලාගෙන ඉන්නෙපැයි..
    ජයවේවා..!!

    ReplyDelete
  9. හොද වෙලාවට අන්තිම එක බලන්න කලින් මේකට ආවෙ

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !