Wednesday, April 5, 2017

උණ වලිප්පුවට මොකද කරන්නේ ?

"ඉක්මනින් එන්න ඩොක්ටර් බබෙක් ඇරෙස්ට් වෙලා " හදිසි ප්‍රතිකාර අංශයට ඒ වගේ හදිසි තත්වයන් ඇති වුනාම එහි සිටින ඩොක්ටර්ට අමතරව ළමා වාට්ටුවල වැඩ රාජකාරි කරන අපිවත් කැන්දාගන්නවා ඉක්මනින්. එතකොට දරුවෙක් ගැන කොහොමත් හොඳම අවශ්‍යම දේ ඒ සම්බන්ද වැඩි පුහුණුව ලැබූ අත්දැකීම් බහුල අප ඒකකයේ කෙනෙක් ගෙන්වා ගැනීමයි.
මීට පෙරද කීප වරක් එහි ගොස් ඇත්තෙමි.
මා යන විටත් ඔවුන් දරුවා වම් අතට හරවා , ගුද මාර්ගය ඔස්සේ දරුවාට වලිප්පුව පාලනයට දිය යුතු , ඩයසෙපෑම් නම් බෙහෙත ඇතුලත් කර තිබේ. නමුත් ෆිට් එක නැවතුනේ නැති නිසා පසුව එය එන්නතක් ආකාරයෙන් දෙන විට දරුවාගේ ශ්වසනය සහ හර්ද ස්පන්දනය අඩු වී තිබේ. නමුත් පැය දෙක තුනකදී දරුවා යථා තත්වයට පත් විනි.

වලිප්පුව (seizure) කියන රෝගය ගත්තම ඒකෙත් විවිධ ප්‍රබේද තියෙනවා, සරල, උණ සහිතව,  සංකීර්ණ උණ සහිතව සහ ඇතැම් විට උණ රහිතව. මේ තත්වයන්ගෙන් වැඩි වශයෙන් සිදු වෙන්නේ, අධික ශරීර උෂ්ණත්වය සමග මුළු ඇඟම  හෝ අත් , පය වෙන වෙනම හෝ ,   රිද්මයානුකූලව චලනය වෙමින් ඇස් උඩ යමින් දරුවා දරදඬු වෙමින් ටික වේලාවකට සිහි විසඥ වීමය.
ඒවගේම එවිට කටින් සෙම වැනි ශ්‍රාවයක් පිට විය හැක.
මළ මූත්‍රා පිට විය හැක.

මේවායේ වරිගීකරණය අපි සිදු කරන්නේ ලක්ෂන අනුව ය. මෙය ඇති වීමට හේතුව තවමත් පැහැදිලිව විස්තර නොවන අතර එය අධික උෂ්නත්වයට අප ශරීරය ප්‍රතික්‍රියා දක්වන ආකාරයක් බව පැවසේ. සත්වයින් යොදා කරන ලද පරීක්ෂන වලදි එයට සයිටොකයින් (cytokines) නම් සෛල වලින් පිටවන කුඩා අංශු සහ ඒ ආශ්‍රිත පද්ධතිය ( cytokine network)  බලපාන බවත්, ස්නායු අතර සන්නිවේදනයට මෙය බලපෑම් කරන බවත් සොයාගෙන ඇත. කොහොමත් දරුවන් කුඩා කළ වලිප්පු තත්වය ඇති වීමට මොළයේ දරා ගැනීමේ ශක්තිය අඩු වීමත් හේතු වෙනවා ( seizure threshold ). මෙය කොහෙත්ම බය විය යුතු තත්වයක් නොවන බවයි මගේ වැටහීම.

බොහෝ විට මේ වලිප්පුවට ප්‍රධාන  හේතුව වෛරස බැක්ටීරියා ආදී ආසාධන යි. ඒ වගේම පවුලේ අනිත් අයගේ රෝග ඉතිහාසයේ එවැනි වලිප්පු තත්වයන් තිබේනම්, දරුවන්ටද එය ඇති විය හැක. ඇතැම් විට මොළය සම්බන්ධ ආසාධන තත්වයන් වලදී ද ඇති විය හැක. මීට අමතරව මොළයට ඔක්සිජන් සැපයුම අඩාල වුන අවස්ථාවලදීද වලිප්පු තත්වයන් උණ රහිතව ද ඇති විය හැක.

දරුවාට පළමු වර උණ වලිප්පුව සෑදී ඇති නිසා මවට, පියාට  හෝ ගෙදර අයට ඒ සම්බන්ද අත්දැකීමක් නැත. ඔවුන් දරුවා ඔසවාගෙන ගෙන ඇවිත් තිබුනේද කෙළින් අතටය.

ඇතැම් විට අප වෙත ගෙන එන දරුවන් ට නැවත වාට්ටුවේදී  දිව හැපී තිබෙනු දකින මව්වරුන් බොහෝ සසල වේ. ඇතැම් අය වැඩිහිටි උපදෙසින් කටට යකඩ ඇණ , ලී කැබලි දමා දත් පූට්ටුවීම නවත්වන්න උත්සහ කර තිබේ. ඇතැම් දරුවන්ට උණ වලිප්පුව හැදුනම මව්වරුන් ක්ලාන්ත වේ. එහෙමත් නැත්නම් ඉහ අත් බදා වැලපේ.
 කළ යුත්තේ මේ කිසිවක් නොවේ...... ෆිට් එකක් ආවම මොකද කරන්නේ කියන එක පැහැදිලි කරන්න අම්මලාට කියවන්න මවිසින් රචිත අත් පත්‍රිකාවෙහි සටහනක් මෙහි පල කරන්නට සිතුනා. ප්‍රයෝජනවත් වේයැයි සිතුනා.
මෙන්න ඒ පත්‍රිකාව

උණ වලිප්පුව හෙවත් උණ සමග එන ෆිට් එකකදී කළ යුතු දේ...


උණ සමග එන වලිප්පුව, දරුවන් කුඩා කාලයේ දී ඇති විය හැකි තත්වයක්, වයස මාස 6 සිට අවුරුදු 6 දක්වා දරුවන්ට උණ සමග මේ තත්වය ඇති විය හැක.


සිදු කළ යුතු දෑ

· එවිට දරුවාව වම් පැත්තට හරවා, සුමට මතුපිටක හාන්සි කරවන්න.

· මුහුණ පැත්තකට හැරවීම වැදගත් එවිට වමනය, සෙම පිටතට පැමිණීම පහසු කරවන අතර ශ්වසන මාර්ගය අවහිර නොවේ. (නැතහොත් හුස්ම හිර විය හැකිය)

· දරුවා අසලම සිටින්න.

· දරුවාගේ වලිප්පු ලක්ෂණ පටන් ගත් වේලාව සහ අවසන් වුනු වේලාව, කොපමණ වේලාවක් පැවතියේද යන්න නිවැරදිව සටහන් කරගන්න.

· දරුවාගේ ඉරියව් සහ චලනයන් නිරීක්ෂණය කරන්න. (ඇස් උඩ යෑම, එක අතක්, පයක් හෝ සම්පූර්ණ ශරීරය චලනය වීම)

· මිනිත්තු 5 කට වඩා ෆිට් එක තිබේ නම් ළඟම ඇති රෝහලට දරුවා රැගෙන යන්න.

· බෙහෙත් හෝ වෙනයම් කිසිම දෙයක් ෆිට් එක වෙලාවේ දරුවාගේ කටට ඇතුල් කරන්න එපා. දිව හැපීම සිදු වුවද මොනයම් දෙයක් හෝ ඔබේ අතවත්, දරුවාගේ කට තුළට නොදමන්න. ‍



· සාමාන්‍යයෙන් වලිප්පුව තත්වය මිනිත්තු 5-10 වැනි කාලයක් තුල සමනය වේ. එසේ නොමැති නම් වැඩි දුර ප්‍රතිකාර දිය යුතු වේ.

(මේ කරුණු හරි වැරදි බලා , අනුමත කළේ අප විශේෂඥ වෛද්‍යතුමියයි)

photos from  : https://kidsaid.com.au  and http://www.aboutkidshealth.ca//En

9 comments:

  1. ගෙදර ළදරුවෙක් දෙන්නෙක් සිටින තැන
    අදර මව් පියන් නිති සිටි යුතුය දැන
    නිතර මෙම ලිපිය කියවා දැණුම ගෙන
    ගෙදර ළදරු සුව දැණුමෙන් හොයනු මැන.......

    වටිනා ලිපියක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. මේ වගේ සටහන් ඉතාම වටිනවා නංගී...

    ReplyDelete
  3. ඩොක්ටර් කලින් එකේදිත් මං කියන්න හැදුවේ.. මේ වගේ දේවල් වල සාරාංශය ගැබ් වෙච්චි, හොදට ඇහ යන ආකාරයට පින්තුරයක් හදලා දාන්න.. පෝස්ට් එකත් එක්කම.. විශාල ලිපි කියවනව වගේම ධාරණය කරගත යුතු දේ පැහැදිලිව දැක්වුවම හුගක් අය ඒක ඔලුවට ගන්නවා.. ජය වේවා

    ReplyDelete
  4. අත්දැකලා තියෙනවා. බොහොම වටිනා ලිපියක් බෝධිනී

    ReplyDelete
  5. මේ වගේ පොඩි සටහන් වලින් අපි ගොඩක් දේ ඉගෙන ගන්නවා.බොහොම ස්තුතියි බෝධිනී අක්කාටත් ඒවගේම විශේෂඥ වෛද්‍යතුමියටත්.

    වම් පැත්තට හරවන්න විශේෂ හේතුවක් ඇති නේද ?ගර්භනී අම්මලාටත් කියනවා නේද වම් ඇලයට නිදා ගන්න කියලා එහෙම.

    ReplyDelete
  6. බොහොම වටිනා ලිපියක් .... Thanks

    ReplyDelete
  7. වැදගත් සටහනක්. හදිසි තත්වයකදී ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේදැයි හුඟ දෙනෙකුට අවබෝධයක් නෑ. සරළ උදාහරණ කිහිපයක් ගත්තොත් හදිසි අනතුරුවලදී රෝගීන් රෝහල්වලට යැවීම, දරුවෙකුගේ උගුරේ යමක් සිරවූ විට කලයුතු දේවල් වැනි දෑ....

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !