Tuesday, March 21, 2017

මට, ඔහු නැවත හමුවිය....

ඉතින් මට ඔහු නැවත මුණ ගැසුනේ අහම්බෙනි.

දවල් කෑමට මා අප නේවාසිකාගාරය වෙත දිව ගොස්, නැවත පැමිණියේ පයින් ය. (බයිසිකලයක් පදින මම) රෝහලේ ඇතුල් වීමේ ගේට්ටුවේ සිට රෝහල දෙසට පැමිණෙමින් සිටියදී.... ඔවුන් දෙදෙනෙක් මා පසු පස එන බව මට තේරුනි.

රෝහලේ කොරිඩෝවේද මොවුන් පැමිණේ. දැන් දැන් මට අරවා මේවා කියමින් මේ තරුණ කොළු ගැටව් දෙදෙනා මා පසු පස පැමිණේ. ඔවුන් සිතන්නේ මා ද ඔවුන්ගේ වයසේ කෙනෙකු ලෙස ය. හමේ පාටේ වෙනස හෝ ඇඳුම නිසා ද එසේ සිතනවා වෙන්නට පුළුවන්.

"කරුණාකර ඔහොම හැසිරෙන්න එපා. " මම ඔවුන්ට රවා බලා බැරි තැන කීවේ දැන් ඔවුන් මා සමග පඩිපෙළද නගිමින් සිටින නිසාය. ලෙඩුන් බලන්න අමුත්තන්ට වෙන්වූ වේලාව අවසන් වී පැයකුත් ගත වී ඇත.

කියන කියුම් ආදර වැකි දරන් ඉන්න බැරි තරමට වැඩි වෙද්දී මම හැරී නැවත පඩිපෙළ බැස්සෙමි. එතනින් කොරිඩෝවට පිවිසෙද්දීම සිටියේ අප රෝහලේ සෙකියුරිටි මහතෙකි.

"මෙන්න මේ දෙන්නා .. මොකද බලන්න. " මම කීවේ එපමණයි. අර තරුණයින් දෙදෙන මොනවදෝ කියා ඔහු සමග බහින් බස් වෙද්දී මා එතැනින් ඉවත් වී උඩට ගියෙමි. උන් දෙන්නා අල්ලාගෙන පොළිස් පෝස්ට් එක වෙත යනු දුටු විට තිගැස්මක් ඇති විය.

සිංහල වෛද්‍යවරුන්ට ගෙදර පල කියලා පෝස්ටරයක් ගැසුවේත් මේ රෝහලේම ය. හා එහෙනම් යමු ගෙවල් වල කියා සිතූ වෛද්‍යවරුන්ට ඉන් පසු සිදුවූයේ නොසිතූ දෙයකි.... එය ලොකු කතාවක් නිසා ඒක වෙනම පෝස්ට් එකක ලියන එක හොඳයි කියා සිතේ.

නැවත වැඩ හමාර කර මා කොරිඩෝවේ යද්දී මා දෙසට දිව ආවේ අර කොළු ගැටව් දෙදෙනා සමග හුරු පුරුදු මුහුණකි. බෙල්ලේ වූ සලකුණෙන් මම ඔහු හැඳින ගතිමි.


"ඩොක්ටර්... මෙහෙ "

"ආනේ... කරුණන් ( අනවර්ථ නමකි ) දැන් අඳුරගන්න බැරි තරම් වෙනස් වෙලා නේ..." මම කීවෙමි. උතුරු අහසේ දම් තැඹිලි පැහැ ගන්වමින් හිරු බැස යන්න කිට්ටු ය.

"මේ ඩොක්ටර් මේ දෙන්නා ඩොක්ටර් කෙනෙක් කියලා දන්නැතුව ඩොක්ටර්ට විහිළු කළේ... ඒකට සමාවෙන්න කියන්න බලාගෙන හිටියේ"

ඔවුන්ගේ මුහුණු වලින් දිස් වූයේ කලින් මෙන් කෙළිලොල් දඟකාර බවක් නොවේ... බයාදු බියගුලු බවකි.

කොහෙදෝ ඉඳන් එතැනට පැමිණි මුර සේවක මහතා ද "ඩොක්ටර් ස්ටෙත් එක බෙල්ලේ දාගෙන යන්න එන්න" යැයි කීවේ. මා කිසිම විටක පුරුද්දට එහෙම නොකරන නිසාය. මම නම් ඕක තිස්සේම එහෙ මෙහෙ ගෙනියන්න බැරි නිසා අපෙ වාට්ටුවේ මේසයේම තියා එමි.

"හරි හැබැයි එහෙම කාටවත් කරදරයක් වෙන්න හැසිරෙන්න එපා. ගෑණු අයට ගෞරවයෙන් සලකන්න පුරුදු වෙන්න. කිසිම කෙනෙක් ඔයාලගෙ සෙල්ලම් බඩු නෙමෙයි" මෙන්න මේවගේ තේරුමක් එන ඒවා මම කීවා පුළුවන් දෙමළ පාවිච්චි කරලා. කරුණන් බොහොම ලෙංගතු හිනාවක් මුහුණේ රඳවාගෙන සිටියේය

"ඒකනේ මේ ඩොක්ටර් මම දන්නේ අහවල් ඉස්පිරිතාලේ ඉඳන්...." කළින් මේ උතුරු කොනේම තව රෝහලක වැඩකරද්දී කරුණන් හමුවූ කතාව ඔහු මතක් කරේ අර තරුණයන් දෙදෙනාට ය. බොහෝ මිනිසුන් මේ නගර කිහිපයේම ඇවිදින නිසා ඔවුන්ට මා මතකය. ජීවිතයේ බොහෝ පීඩාකාරී අවදියක, මේ මිනිසුන්ගේ ලෙංගතු බව නිසා තවත් මෙහි රැඳුනා මිසක කැමැත්තෙන් රැඳෙන පිරිස බොහෝ අඩුය.

"දැන් කොහොමද කරුණන්.. බටේ ගැලෙව්වේ කොයි කාලෙද ?" මට මතක තිබුනේ බෙල්ලෙන් ඇතුල් කළ ප්ලාස්ටික් නළ මාර්ගයක ආධාරයෙන් හුස්ම ගනිමින්...කතා කළ කරුණන් වය. දැන් ඒ බටය නැත, කැළලක් පමණක් පෙනේ.

"හොඳටම හොඳ වුනා ඩොක්ටර්, දැන් මේ අසලම ඉන්නේ. නිතර එනවා මෙහෙ මනෝ සායනය ට, දන්නැද්ද ඉතින්... " ඔහු හිනා වුනේ මා ඔහුගේ ඉතිහාසය හොඳින් දන්නා නිසාය.

"ඩොක්ටර් මගෙ කතාව ලියන්න.." යැයි ඇවිටිලි කළේ මනෝ වෛද්‍ය ඒකකයේ මම අර බැටරි බසිමින් සිටි ලැප්ටොප් එක අටවගෙන ඉන්දුගේ කතා ලියද්දී ය. නමුත් මට එය කරන්නට බැරි විය. බාගෙට ලියූ කතාවට එකතු කරන්නට මේ උඩ කොටස මතක් වුනේ අද ය.

ඔහු මුළින් මුණ ගැසුනේ, කායික වාට්ටුවේ දී ය. කෘමිනාශක බී ජීවිතේ නැති කරගන්න උත්සහ කර තිබිනි. මේ යොවුන් වයසේ කොලු කුරුට්ටෝ නිතර ඔහොම එන්නේ ආදර පළ හිලව් වලටය. පොඩි උන් එන්නේ අම්මලාට් වැඩිහිටියන්ට පාඩම් උගන්වන්න තමන් ම කෘමිනාශක පානය කරගනිමිනි. ඒ ගැන එකල පෝස්ට් කීපයක්ම ලීවා මතක ය.


කරුණන් ගේ කතාව වෙනස් ය. ඔහුට පවුලේ සියල්ලන් අහිමි වුනේ යුද්ධයෙනි. ඔහුට සිටියේ නෑදෑ වන බාප්පා කෙනෙකු පමණි.

ඔහු මොහුව කඩේක වැඩට යොදවා තිබිණි. එතැන මුදලාලි එක්ක බහින් බස් වී කෘමිනාශක පානය කර තිබිණි.

දෙවන දින මොහුගේ තත්වය බරපතල විය. තමන් අසල දෙවඟනන් රැඳී සිටින බවත් අහසේ වළාකුළු මත පාවෙන බවත් කීවේ අප විශේෂඥ වෛද්‍යතුමියට ය. දැඩි සත්කාර ඒකකයේදී ශ්වසන අපහසුතා නිසා.. බෙල්ලේ ශ්වාසනාලය ඇති කොටසේ සිදුරක් සාදා බටයක් දමන්නට සිදුවුනේ, නිරන්තර ශ්වසන අපහසුව නිසාය.

ඔහු එහි දින ගණනාවක් ද ඉන්පසු කායික වාට්ටුවේද ගත කර තිබිනි.

නැවත හමුවෙන්නේ මනෝ වෛද්‍ය ඒකකය තුල ය. කඩේ මුදලාලි සමග ආරෝවකිනි. ඔහු මරණ බවට සපත කරයි. බාප්පා සමග රණ්ඩුවකි. ඉතින් මේවා සමනය කරන්නට බොහෝ කතා කියා දිය යුතුය. ඔවුන්ට කියන කතා අසා මිස්ලා කියන්නේ "ඩොක්ටර් කොච්චරවත් කියන අවවාද කතන්දර අහලා අපි හැදෙනවා" කියලයි.

මනෝ ව්‍යාදියකින් පෙලෙන , විශාදිය හොඳටම ඇති මේ දරුවන්ට අවවාද කිරීම ගඟට ඉණි කපනවා වැනි ය. කරුණන් ගේ තත්වය ද එසේම ය. දෙමාපිය සොයුරු සොයුරියන් නැතිව මොහු තනිවී සිටී. ඔවුන් කෙදිනක හෝ හමුවේවි දැයි ඔහු විටෙක කල්පනා කරයි. මේ යුද්ධයකින් පසු ඇතිවන අතුරු ප්‍රතිඵලය ය. සමස්ථ ජන සමාජයම පුපුරා යෑමකට ලක් වූයේ අවුරුදු ගණනක සිට ය. එය වැලැක්විය හැකි දෙයක් නොවේ. ඒ විඳීම් සහ අහිමි වීම් සියල්ලන්ට එක ලෙස දැනිනි. ඇතැම් අය ඒවා හමුවේ ගල් ගැහුණු හිත් ඇතිව සිටි අතර ඇතැම්හු පුපුරා හැලින.
"ඩොක්ටර්ට තේරෙන්නෙ නෑ තනි වුනාම දැනෙන දේ" ඔහු මා හා පවසයි. " මට කාත් කවුරුවත් නෑ. "
 "මට හොඳට තේරෙනවා කරුණන්,  මේ මමත් තනියෙම ඉන්නේ.. මගේ අයත් මෙහි නෑනේ. අනික අපිට වගකීම් එහෙමත් දරන්න වෙලානේ"
"අනේ ඕගොල්ලොන්ගෙ දැනීම් "
හෝ
"ඩොක්ටර්ට මොන තනියක් ද" වගේ යමක් කියවමින් අප අසලින් ඉවත් වේ.

ඉතින් ඒ සා විසල් කාලයක් අප හමුවේ සිටි කරුණන් දැන් වැඩ කිසිත් නොකර බාප්පා ගේ නිවස්නයේ හෝ රෝහල් භූමිය තුල දවස ගෙවයි. මා හමුවෙන්නේ එවිට ය.

"ඩොක්ටර් දන්නෙ නෑ මේ කොල්ලෝ.. ඩොක්ටර් පොඩි නිසා තේරෙන්නෙ නෑ. මොනවා හරි ප්‍රශ්නයක් නම් මට කියන්න.." බෙල්ලේ අර බටය නොපෙනෙන්න කළින් බැඳ තිබූ ලේන්සුව නැත. දැන් බටය ද නොමැත.

"ඉතින් මොකද කාරුණන් කරන්න ඉන්නේ"

"මට තවම සනීප මදි ඩොක්ටර්"

"මේ හොඳට ඉන්නේ... ඔන්න මනස්ගාත අමතක කරලා රස්සාවක් කරන්න.." මම කියද්දී අර සුපුරුදු හීන් සිනහවෙන් පිළිතුරු දුන්නේ ඔහු " මගෙ ඔළුව හරි නෑ නේ" කියා ය.

මෙහි මට හමුවෙන බොහෝ දෙනෙක්, ඔවුන් ගත කළ කටුක කාලය නිසා කයින් මෙන්ම මනසින් රෝගී වී සිටී. කරුණන් ඔහුගේ සියලු සිදුවීම් වලට බාප්පාට හෝ කඩේ මුදලාලිල බණිමින් කල් ගන්නාක් මෙන්, අප ද අපේ කරදර අනුන් නිසා සිදුවූ බව සිතමින් කල් ගත කරනු මා අනන්තවත් දැක අසා තිබේ.

නමුත් කළ යුත්තේ එය නොවේ. අප අපටම අවංක වීම ය. අප අතින් වැරදි සිදුවන බව වටහා ගැනීම ය. අප අපට සමාව දීම ය. තනිව සිත තනා ගත යුතුම ය.

මා ඔහුට මට වැටහෙන අයුරින් කර්මය සහ භවය ගැන කීවේ, ආයෙත් ජීවිතය වරද්දවා ගන්න මෙවැනන්ට ගත වෙන්නේ සුළු මොහොතක් නිසා ය.

අපේ හිත හදා ගත යුත්තේ අපම ය. නැත්නම් දිනක පසු තැවිලි වෙන්නට සිදුවෙන්නේ අපටම ය.


12 comments:

  1. මෙවැනි හැසිරීම් ඉතා ගුජුප්සාජනකයි

    ReplyDelete
    Replies
    1. කොහොම හැසිරීම් ද ?

      Delete
    2. හරවත් යමක් රසවත්ව ලියල.සරල සුගම ේඛන ශෛලියක්. කියවන්න ආස හිතෙනව.

      Delete
  2. අපේ හිත හදාගත යුත්තේ අපමය..මටත් ඔහොම අය අනන්තවත් හමු වෙනවා නංගී...වචනයකින් හෝ හිත් සුවපත් කරන්නට ඇත් නම් එය කොච්චර වටිනවද

    ReplyDelete
  3. කොල්ලෝ කොල්ලෝමයි නේද? දොස්තර නෝනා වුණත් හැඩකාර කෙල්ලක්නේ. ඉතිං එහෙම කරන්න ඇති. :)

    මානසිකව අසමබර ව ඉන්නා ඔවුන්ට ඔයාගේ වචන කොච්චර හොඳට දැනෙන්න ඇතිද? ඒ වචන වලින් කීදෙනෙක් සුවපත් වන්න ඇතිද? ඒ සද්ක්‍රියාව ම ඔයාට නිරතුරු පිහිට වනවා ඇති

    ReplyDelete
  4. ඔබ අපව හැමදාම "අනිත් කොනට" (මිනිසාගේ) එක්ක යනවා

    ReplyDelete
    Replies
    1. අනිත්කොන දී මම ජීවිතය දැක්කා... ජීවිතය ඉගෙන ගත්තා... ජීවිතය වෙනස් කර ගත්තා !

      Delete
  5. //අපේ හිත හදා ගත යුත්තේ අපම ය. නැත්නම් දිනක පසු තැවිලි වෙන්නට සිදුවෙන්නේ අපටම ය.//
    වටිනා ආදුරුසයක් නෝනේ...

    ReplyDelete
  6. අක්කා හරිම ලස්සනට ලියලා මේ සිදුවීමත් අනික්වා වගේම. කරුණන්ලාගේ විවිධ වේෂයන් උතුරු කොණේත් දකුණු කොණේත් ජීවත් වෙනවා.එකම අහසක් යට එකම පොළොවක් උඩ. දැන් මේ රබර් පටිය ඇදිලා ඉවරයි ප්‍රත්‍යස්ථත සීමාව පනිනකල්ම අවුරුදු 30ක් එක දිගට. ඒක නිසා වෙන්න ඇති යථා තත්වයට පත්වෙන්න ප්‍රමාදවෙන්නේ.අපිට ඉවසීමෙන් බලන් ඉන්න වෙනවා.හැබැයි බලු දේශපාලකයෝ අද ගැන විතරක් හිතලා රබර් පටිය තව අදිනකොට අපේ පරම්පරා කීයකට ඒ යථා තත්වය එළඹෙන දවස ගැන උපේක්ෂාවෙන් බලා ඉන්න වෙයිද කියන එකයි මගේ කණගාටුව.

    ReplyDelete
    Replies
    1. ඔයා හරි නංගි ඒ රබර් පටිය ඇදුනු දුර වැඩී... කොටින්ම උගත් කියන පරම්පරාව තමා දැන් මේ බෙදිල්ලට අර අඳින්නේ. එහෙ සාමාන්‍ය මිනිස්සුන්ට ඕනෙ නිදහසේ ඉන්න !

      Delete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !