Sunday, March 5, 2017

ඇයට තිබුනේ මගේ නමමයි... ලාවන්‍යා !

එයාට තිබ්බේ මගේ නම මයි... හිතන්නකෝ ලාවන්‍යා කියලා.
ඉතින් ලාවන්‍යා ඇඩ්මිට් උන වෙලේ ඉඳන් වාට්ටුවේ ඉන්න කට්ටිය අන්ද මන්ද වෙනවා.
"මෙන්න ඩොක්ටර්ගේ රිපෝට් ඇවිත්..." ඇතැම් විට නම නිසා මට එහෙම කියනවා.
එහෙම කියන ගමන් බී එච් ටී එක චෙක් කරලා. "ආ ඩොක්ටර්ගේ නෙමෙයි " කියලත් කියනවා එසැනින්.
ලාවන්‍යාගේ මොළේ ස්කෑන් සහ මොළයේ ස්නායුගත ක්‍රියාකාරිත්වය ගැන පරීක්ෂා කරන EEG ස්කෑන් එකේ රිපෝට් ආවමත් ඔක්කොමලා ආයෙම කලබල වෙලා. එතකොට ලාවන්‍යා ගෙදරත් ගිහින්. "ඩොක්ටර් මොකද මේ ඊ ඊ ජී කළේ... වගේ සිතුවිලි එක්ක. දෙවෙනි නම තිබුනත්, ක්ලිනික් එකේ ලෙඩ්ඩු බලමින් හිටි මට කෝල් කරලා අහනවා " ඩොක්ටර් ඊ ඊ ජී එකක් කරාද " කියලත්. ඒ තරම් කලබල වෙනවා නම ගොඩක් ඇසෙන නමක් නොවන නිසා.

ඉතින් ලාවන්‍යා අපිට හමුවෙනකොට එයා හිටියේ කොහොමත් බර අඩු, කේඬෑරි අත පය එක්ක. වැඩීමේ දුර්වලතා එක්ක. ෆිට් එකක් සෑදී මුලින්ම ඇඩ්මිට් කළ විටත් මම තමා මුලින්ම බැලුවෙත්.

"අම්මෙ අර ඩොක්ටර්ට තියෙන්නෙ මගෙ නමමයි" ඇයත් එහෙම කියලා තිබුනා.
"ඩොක්ටර් ගේ නමත් මේකම නේ" අම්මත් ඇසුවා.

මම කතා කරන විදිහ නිසා ද මන්දා ලාවන්‍යා මා එක්ක ගොඩක් හිතවත් උනා.
ඒ වෙනකොටත් එකම පන්තියේ දෙපාරක් සිටි නිසා, නිතර ෆිට් එක හැදෙන නිසා, ලියන එක හෙමින් නිසා වගේ බොහෝ දේවල් නිසා ලාවන්‍යා ගේ පාසැල් ගමන කඩින් කඩ සිදු වුනේ.
"ෂා අද නම් සුදු වෙලා. .... උස ගිහින්. දැන් ලස්සන වෙලා .. ආ මෙයා කනවා නේද හොඳට. එහෙම නේද මෙහෙම නේද කියමින් " මගේ අර ආටෝප කතාවට ලාවන්‍යාගේ මුහුණ විකසිත වෙනවා. හරි අහිංසකව හිනා වෙනවා.

නිතර හැමෝ එක්කම තරහ ගන්න, තමන්ගෙම කොණ්ඩෙ අහුරු පිටින් කඩා ගන්න, අම්මාට ගහන , වද දෙන, රෑ වෙනකම් ටීවී බලන්න වලිකන, කොළ කෑලි කටේ දමා ගිලින... මේ පැංචිගේ වැඩ ගැන කතා බස් කරන එකත් ඒවාට පිළියම් සොයන එකත් අතිශය සංකීර්ණ එකක් වුනා.

කොහොම හරි පාසැලේ වැඩ කටයුතු සොයා බලන්න පොත් බෑග් එකම ගෙනෙන්න කියා විශේෂඥ වෛද්‍යතුමිය ඒ සියල්ල පරීක්ෂා කරමින් ඇයට වැඩ පවරමින්, පැයක් දෙකක් තිස්සේ ඇගේ අවබෝධතා මට්ටම සහ හැකියාවන් බලා කියා ගත්තා.

මේ දරුවාට යම් කිසි සහනයක් ලබා දිය යුතුයි කියා පාසැලටත් ලියුම් යැව්වා. ඊට අමතරව තමන්ටම හානි කරගනිමින් අනුන් හා උදහස් වෙන පහර දෙන වැඩ නිසා ඒවාට පිළියමක් ලෙස මනෝ වෛද්‍ය අංශයේ වෛද්‍යවරයාටද යොමු කළා. ඔහු දරුවන් හා කතා බස් කරන්න බොහෝ සමත් පුද්ගලයෙක්.
ඔහොම නිතරම ෆිට් එක හැදෙන ගතිය පාලනය කරන්න අපිට හැකියාවක් ලැබුනා... අවුරුදු දෙකකට කළින් හැදුනු අන්තිම ෆිට් එක දැන් මේ වෙනකොට නැත්තටම නැති තරම්.
ක්ලිනික් එකට ආවොත් මගේ ළඟ ඉන්න ලෙඩුන් අයින් වෙනකම් ඉඳලා අම්මා එක්ක කොහොම හරි මාවම පෙන්වලා මා ළඟට එන බවක් පෙනෙන්න තිබුනා. ඒක ඒ අම්මත් කීවා. ඇයට අවශ්‍ය විදිහට මා කතා කරනවත් ඇති. අම්මා නගන චෝදනා වලට මම දරුවා අම්මා ඉදිරිපිට අපහසුතාවයට පත් නොකර හැකි තාක් සාමාන්‍ය කරණය කරන්න ඉගෙන ගත්තේ මගේ විශේෂඥ වෛද්‍යවරියගෙන්.
මෑතකදී අළුතින් පේන්ට් කරපු ඇඳන් වල පහුවදා පොඩ්ඩෙක් චෝක් එකකින් පාට කරලා... අපි ඉතින් ආයේ ඇන්දොත් ටිකට් කපන්නේ නෑ වගේ එකක් ලාවට කිව්වා.
විශේෂඥ වෛද්‍යවරිය ගත් කටටම කීවනේ "කමක් නෑ ඔයා ඕනෙ තැනක අඳින්න අපි ගෙදර යවනවා" කියලා
අර දරුවට හෙන විශාල හිනාවක් ගියා. පස්සෙ අපිට ඇය කියලා දුන්නා දරුවන්ගේ පරිකල්පන ශක්තිය සහ ඔවුන්ට යමක් එපා කියන මට්ටම ගැන. විශේෂයෙන් ඔය නිර්මාණශීලී දේවල් දරුවෙක්ට කරන්න එපා කියන එක භයානකයි කියන එකත්. කොහේ ඇන්දත් කමක් නෑ කියලා හිතන්න කීවා. වාට්ටු වගේද දරුවෙක්ගේ පරිකල්පන නිර්මාණශීලීත්වය.
මට මතකයි අපි පොඩි කාලෙත් ගෙදර බිත්ති පුරා ඇන්දා කියලා.

කොහොම හරි දැන් අපේ ලාවන්‍යා ත් මා එක්ක බොහොම කුළුපගු වුනා. ඇයට මම වගේ වෙන්න ඕනේ බවක් වැටහුනා. අම්මා කිව්වා මා ගැන කියලා ඒ විදිහට මම කියූවා කියලා දේවල් කරනවා කියලත්.

ඉතින් මම කියනවා " ආ මම නම් ඔය වයසෙ මෙහෙම තරහ ගත්තෙ නෑ.. මම නම් අම්මට උදව් කළා. අම්මා පව් නේ " ඔය වගේ දේවල් කියනවා.

කොහොම හරි ළඟදී දැන ගත්තා එයාගේ වැඩ හොඳයි කියලා. හොඳට ලකුණු ගන්න බවත්, අර තරහ යෑම් ගොඩක් අඩු බවත්. දැන් බරත් වැඩිවෙලා අපේ පෝෂණවේදී වෛද්‍යවරියගේ අනුදැනුම මත ආහාර වේලත් වෙනස් කරලා.
"ආ දැන් ලස්සන වෙලා.."
"ෂා උස ගිහින්, සුදු වෙලා..." වගේ දේවල් මම කියද්දී ඇගේ මුහුණ මලක් වගේ ලස්සනයි.

ඒ එක්කම දුක පැත්තකුත් ආරංචි උනා. මෙයා මෙච්චර කල් හිටියේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් කොටසේ ලු. ඉතින් වෙන දරුවෙක්ගේ පොතක් බලාගෙන ලු ලියන්නේ ටීච කියන ඒවා. නමුත් දැන් ලාවන්‍යා හොඳින් ලකුණු ගන්න නිසා අර දරුවන්ගේ දෙමාපියන්ට රිදිලා. ඔවුන් ළමයින්ට කියනවලු ලාවන්‍යාට උදව් කරන්න එපා කියලා
ඒ එක්කම අර පිටපත් කරගන්න ළඟ ඉන්න ළමයගේ පොතේ ඒ ළමයා වැරදියට ලියනවලු. පොතක් හදිසියකට අතපසු වුන වැඩ කරගන්න ඉල්ලුවත් දෙන්නේ නෑලු. ඉතින් ලාවන්‍යාගේ අම්මට දැන් නිතර ඉස්කෝලේ ගිහින් ඒ වෙනුවට මෙයාට උදව් කරන්න සිදුවෙලා. ඒකට කලාපෙන් පවා අවසර අරගෙන.

ඒවගේම ලාවන්‍යා අඩු කාලයකදී දැඩි සීග්‍ර වර්ධනයකින් හොඳ අතට හැරුණු නිසා අප ඒකකයට තවත් එවැනි දුර්වලතා ඇති දරුවන් යොමු කරාලු ඒ පාසැලේ ගුරුතුමී.
මට ඇති දුක දරුවන්ගේ සිත් වලට තරඟය ඇතුල් කරලා මේ දරුවාට උදව් කරමින් හිටි දරුවන්ගේ අම්මලා අප්පලා.. දැන් ලාවන්‍යා හොඳින් වැඩ කරද්දී තමන්ගේ දරුවන් අභිබවා යාවි යැයි බියෙන් කටයුතු කිරීම ය.

තවම ලාවන්‍යාගේ කියවන විට ලිවීම වේගවත් නැති නිසා ළඟ ඉන්න ළමයගෙන් බලාගෙන ලු ලියන්නේ. ඉතින් දැන් අම්මා ඉස්කෝලෙ යනවා ඒ වෙනුවට දරුවා වෙනුවෙන්.

"ඩොක්ටර්ස්ලා නිසා තමා මෙයා මේ තරම් ඉක්මනින් හරි ගියේ" ඇගේ බරත් වැඩි වෙලා, අතුරු ආබාධත් අඩු වෙලා, පාසැල් වැඩත් හොඳින් කරන නිසා අම්මා අපට ස්තූති කරනවා.
" නෑ අම්මා අපිට පුළුවන් උපදෙස් දෙන්න විතරයි. ඒක ඔයාගේ කැපවීම ම තමා. අම්මා මේ තරම් මේ දරුවාට උදව් නොකළා නම් කොහොමද මේ දරුවා මේ තරම් ඉක්මනින් හොඳ වෙන්නෙ. ඔයාගේ ජයග්‍රහණය මේක ඔයාගේ මහන්සිය" මම ඒ මව අස්වැසුවෙමි.

ගුරුතුමිය නම් බොහෝ උදව් කරන බව ද, ඇය නිසාම ඔවුන් කියවන වේගය අඩු වෙන් පිටපත් ලිවීම සඳහා කියවන බවද ඒ අම්මා කීවා.
දවසට මිනිත්තු 10 පමණ ගෙදරදී කියවන විට ලිවීම කරන්න යැයි මම මවට උපදෙස් දුන්නා. හෙමින් හෙමින් කියවන වේගේ වැඩි කරමින් ඇය ඒ සඳහා හුරු කළ හැකි බවද මා පෙන්වා දුන්නා.
අවශ්‍ය නම් තව ටිකක් කල් බලා පාසැලේ සියලු දෙමාපියන් අමතන්න අවස්ථාවක් ලබා ගැනීමත් කළ යුතු වේ යැයි මට සිතුනා. දරුවන්ගේ සිත් මල් වගේ. ඒ මල් කැකුළු කඩා පොඩි කර දමන්නේ ඔවුන්ගේ සිත් වලට කැළි කසළ එකතු කරන්නේ වැඩිහිටියන් ය. තමන්ගේ දරුවාට වඩා හොඳින් වැඩ කරන දරුවන් කෙරෙහි ද්වේශයෙන් පසුවෙන ඔවුන් තමන්ගේ දරුවා හදා ගන්නට , උනන්දු කරන්නට වෙහෙස නොවී අනෙක් දරුවාගේ ඉගෙනුම කඩා කප්පල් කරන්න වෙහෙසෙයි. මේ මරා ගැනිල්ල ඉවර වෙන්නේ කවදා ද ?

මම මේ ඒකකයෙන් ගියත් මගේ වර්ණනා කිරීම් හමුවේ විකසිත වෙන ලාවන්‍යාගේ හිනාව මට හැමදාම මතක තියේවි.
අම්මාගේ සායෙන් අදිමින් මගේ පෝළිමටම එන්න මාන බලන මේ පොඩි එකීව කොහොමත් මතක තියේවි.

11 comments:

  1. ලාවණ්‍යට ලැබුනා වගේ දොස්තරවරු, අම්මලා, ගුරුවරු නොලැබීම තුළ රටේ ලමයි යන්ත්‍ර බවට පත්වෙලා. එකම වෙනස උන්ගෙ හංදිවලට ග්‍රීස් ගහන්න නිපල් හයිකරලා නැතිඑක ඉතරයි.

    ReplyDelete
  2. මේ කැපවීම හැම තැනකම තියනවා නම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද නංගී.....මට සමීප ක්ෂේත්‍රයක් නිසා මේක මටත් ගොඩක් දැනුනා

    ReplyDelete
  3. මට දැන ගන්ට ඕනේ මේ කතාව ඇත්තම එකක් ද නැද්ද කියන එක...
    මොකද ටිකක් විතර මේ හා සමාන අත්දැකීමක් මටත් තියෙනවා...

    ReplyDelete
  4. ළමා සිත් හරිම අවිහින්සකයි.. ඒත් ඒ සිත්වලට ආත්මාර්ථය, අන් අය හඹා යෑම වගේ දේ ඇතුලු කරන්නේ වැඩිහිටියෝ... අනිත් අයට උදවු කරන්න වගේ දේවල් කියන දෙමාපියෝ කොච්චර අඩුද.. ඉතින් අද ළමයි මානුශීය ගතිවලින් අඩු පරහිතකාමී ළමුන් නොවන එක අහන්න දෙයක්ද...

    මට මතකයි මං පුංචි කාලේ ගෙදර බිත්තියක් වෙන් කරලා තිබුනා ඇති තරම් ලියන්න.. අඳින්න.. අද ළමයිට බිත්තිවල අඳින්න දෙන්නනෑනෙ.. පරිකල්පන හැකියාව වයිට් බෝඩ් එකකට කොටු කරනවා...
    මේ සටහන කියවනකොට මට මගේ අම්මගෙ කැපවීම මතක් උනා අක්කේ.. මම උසස්පෙළ කරනකොට අම්ම රෑ පැයක් දෙකක්වත් පොත්, ප්‍රශ්න පත්‍ර කියවනවා... කොච්චර කියෙවුවද කියුවොත් අන්තිම වෙනකොට අම්මටත් විභාගෙට වාඩි වෙන්න පුලුවන්.... ඒ කැපවීම ගැන කියන්න මට වචන මදි..

    ඔයාගේ කාර්ය, කැපවීමත් විශිෂ්ඨයි අක්කේ...


    ReplyDelete
  5. ඔහුන්ව තේරුම් අරන් ඔහුනට අවශ්ෂ්‍ය මාර්ගෝඋපදේශය සැපයීම පැසසිය යුතුයි

    ReplyDelete
  6. ළමයි එක්ක ගණුදෙනුවත් ලේසි නෑ,,කම්මැලි කමට කමෙන්ට් නොකලට ඉස්සර වගේම අනිත් කොනට පූස්ට් එකක් වැටුනු ගමන්ම එනෝ

    ReplyDelete
    Replies
    1. Thankyou dilan ... kamaknehe comment nokalata kiyawanawane

      Delete
  7. ඔයා ගෙ කැප වීමට මගේ සුබපැතුම්. කෙනෙක් ගෙ අනාගතයක් හරි පාරට ගන්නව කියන්නෙ ලොකු පිනක්
    ඔයාට හදවතින්ම මම සුබපතනව අක්කේ.

    ReplyDelete
    Replies
    1. මට නම් හිතෙන්නෙ ඒ අම්මගේ කැපවීම තමා කියල. අපි කරන්නෙ උපදෙස් දෙන එකනේ. සමහර අම්මලට නම් අපි කොච්චර කීවත් කිසිම උනන්දුවක් නෑ දරුවන්ට කැප වෙන්න.

      Delete
  8. හරි සතුටුයි.මෙච්චර ජයග්‍රහණ ගත්තු ඒ පොඩ්ඩි මොන බාධක ආවත් ජිවිතේ අනෙක් ඉලක්කත් හොඳින් ජය ගනීවි.

    ReplyDelete
    Replies
    1. මට අපේ රටේ හැටි නිසා මේ ළමයින්ගේ ජීවිත ගැන බයක් තියෙනවා. ආ මට කියන්නම බැරි උනානේ පොඩ්ඩි චෙෆ් කෙනෙක් වෙන්න ලු කැමති...

      Delete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !