Thursday, March 16, 2017

මගී ආරක්ෂාව ගැන නොසිතන්නේ ඇයි ?

මගී ආරක්ෂාව ගැන මේ තරම් නොසිතන රටක් මම දැක නැත්තේ.. මීට වඩා අන්ත රටවල් වල මම ඇවිද නැති නිසා වෙන්න ඇති.
මෙහෙම හිතුනේ කාලයක් තිස්සේ නගරයේ තැනින් තැන, බෝක්කු තැනීම්,  ගුවන් පාලම් තැනීම් සඳහා ඇති කරන ලද කැණීම් සහ මාර්ග බාධක හේතුවෙන්. 
හුදෙක් වාහන පාලනය සහ වාහන යෑම් ඊම් ගැන පමණක්ම සිතන පිරිසක් මේ ආශ්‍රිත වැඩ රාජකාරි කරන්නේ යැයි මට සිතේ. 
කොටින්ම දූලි වලා නැගෙන එවැනි තැන් වල පයින් ගමන් කරන පදිකයන් හට ඇතැම් විට මාර්ගයට බැස ගමන් කිරීමට පවා සිදුවේ. පාර අයිනේ ඇති පදික වේදිකා දැන් දකින්නට නොලැබේ... දිය පිරුණු අගල් සහ ඇතැම් තැනක බාගෙට බිඳ හෙලන ලද ගොඩනැගිලි සුන් බුන් ය. 
මේවා මෙහෙම තියෙනවාට කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැති බව වැටහෙන්නේ කිහිප ගමනක් නොව දිනපතා ඒ අසලින් යන එන අප වැන්නන්ට ය.

මේ මං සන්ධියේ පමණක් නොව , තව බොහෝ ජනාකීර්ණ පාරවල් වල පදික වේදිකා වල මිනිසුන්ට ගමන් කිරීමට නොහැකි වන සේ බාධක රැසකි. එක්කෝ වාහන නවත්වා ඇත, එසේත් නැත්නම් කුණු ගොඩවල් පුරවා ඇත. දකින හැම විටක ඒවා හැකි ලෙස ජායාරූපගත කරන්නේ, මේ රට මෙසේ විය යුතු නැතැයි සිතමිනි. ඒ ගැන යම් දිනක ලියන්නේ යැයි සිතමිනි. වැඩි වශයෙන් පාගමනින් යා හැකි දුර යන්නට පුරුදු පුහුණු වුන අප වැන්නන්ට නම් මේ කිසිම සැලසුමක් නැති ඉදි කිරීම් බිඳ හෙළීම් සහ පටු මං මාවත් ගෙන එන්නේ කළ කිරීමකි.

මාර්ග තද බදය අවම කිරීමට වෙන රටවල නම් වැඩි වශයෙන් පා පැදි සහ පයින් ගමනේ යෙදීම සෞඛ්‍යයට පවා හිතකර බව ප්‍රචාරනය කරමින් දිරි දෙන අතර අපේ රටේ මිනිසුන්ගේ මානසිකත්වය සැකසී ඇත්තේ කෙසේ හෝ වාහනයක ගමන් කිරීමට ය. නගර සැලසුම් වුනත් පදිකයින්ට හිතකර අන්දමින් සැකසී නැත. කාලයක් ඉතා පුළුල් පදික වේදිකා තනා දුන්නද දැන් යළි යළිත් ඒවා පටු වෙමින් පවතී.




මේ හුදෙක් කා දෙසවත් චෝදනා පැටවීමට හෝ වැරදි උළුප්පා වෙනත් වාසි ලබා ගැනීමට හෝ නොවේ. පදිකයින් පසුවන අපහසුතාවයන් පෙවා දීමට ය. 
ඇතැම් විට මේ ආකාරයෙන් වාහන නවත්වා ඇති පදික වේදිකා වල ගමන් කිරීමට අපට මහ පාරට අවතීර්ණ වීමට සිදුවේ. 

මේ උදාහරණ ලෙස , වෙනත් රටවල අනුගමනය කරන ක්‍රම වේදයන් වේ. යුරෝපා රටවල සංචාරය කර ඇති මා මෙවැනි ආරක්ෂිත පදික ආවරණ සහ ගොඩනැගීම් ඇති තැන් අනන්තවත් දැක ඇත.
ඇයි අපට මෙවැනි දෑ ගැන සැලකිලිමත් විය නොහැක්කේ  ? මට සිතේ.





එමෙන්ම වාහන වල පටවා නොයෙක් දෑ ගෙන යන්නන් ඒවා ගෙන යන්නේද කිසිඳු ආරක්ෂිත උපක්‍රම භාවිතයකින් නොවේ.
එවැනි අනාරක්ෂිත ආකාරයේ භාණ්ඩ ප්‍රවාහනය කරන ඇතැම් රථ මගේ කැමරාවට හසු වී ඇත.


 කැළණි විහාරය අසල ඇති පාලම මත , පෝය දිනවල එකම එක තද බදයකි.. ඒ වෙළඳුන් ඒ පාලම මත දෙපස ඇති පටු පදික වේදිකා මත වෙළඳ බඩු අටවාගෙන සිටීම නිසා ය. සැදැහැතියන් ගමන් කරන්නේ පාර මතිනි. එය කෙතරම් අනතුරුදායක දැයි කිසිවෙකුට නොවැටහෙන්නේ මන්දැයි නොතේරේ.
මෙවැනි තවත් බොහෝ දෑ දකිමින් සිටින්නෙමි. කටුනායක හයිවේ එකෙන්, දළුගම දෙසට දිවෙන ෆ්‍රී වේ මාර්ගය නුවර පාරට වැටෙන්නේ මයික්‍රෝ කොම්පැනිය අසලිනි.  මයික්‍රෝ කොම්පැනියට මදක් ඔබ්බෙන් දැන් නැගීගෙන එන කුණු කන්දකි. ඒ අසලම කුණු ඇලක් ද, ජරා ජීර්ණ වූ ඇල මාර්ගයක් ද පෙනේ. දෙමටගොඩ දුම්‍ රිය පල අසල ගුවන් පාළමේ කොළඹ දෙසට ගමන් කරද්දී වම් පැත්තේ පෙනෙන්නේ මීතොටමුල්ල කුණු කන්දයි. එය හරි හැටි එළිය නොමැති දිනක දිස්වෙන්නේ සැබෑ කන්දක් ලෙසය. මේ කුණු ප්‍රශ්නය තව ත් ඉවරයක් නැත. ඩෙංගු රෝගීන් දිනෙන් දින ඉහළ යයි. හැම දාම දෙතුන් දෙනෙක් වාට්ටුවේ අසාධ්‍ය තත්වයට පැමිණ (critical phase monitoring ) දැඩි සත්කාර ක්‍රමවේදයට ඇතුල් වේ.
මේ සියල්ල මෙසේ සිදුවෙද්දී.. අපි තනි තනිව ජීවන අරගලයේ යෙදෙන්නෙමු. ප්‍රශ්න දාහක් නොයෙක් වර නොයෙක් වෙසින් තැනින් තැන මතුවේ. ප්‍රශ්න එහෙම්ම ම තියෙද්දී අපි බොහොම ආත්මාර්ථකාමී ලෙස අපේ ගැන පමණක් බලා ගනිමින් සිටින්නෙමු.


19 comments:

  1. ජාතික රෝහලට යන පාර ඔයිට දෙවෙනි නෑ .යාන්තම් දැන් පාර පලල් කරලා පේව්මන්ට් එකක් දැම්මා පසු ගිය කාලෙ...අන්න ඒක උඩත් කඩකාරයො බඩු තියාගෙන ඒ ගමන...කොහේ මේ රට හදන්නද

    ReplyDelete
    Replies
    1. අපොයි ඒ පාරේ කොච්චර නම් කරනම් ගහලා ඇද්ද... දණිස් සීරීම්, වළලුකර උළුක්කු වීම් එක්ක ලැජ්ජාවට නොන්ඩි ගසමින් යන්තම් ඇතුලට යා ගන්නේ... හරි පරිස්සමෙන් යා යුතු පැත්තක්. කිසිම ලෙවල් එකක් නැති පේමන්ට්

      Delete
  2. කියල වැඩක් නෑ.. බේසික් ටික හදා ගන්නවත් බැරි වෙලානේ තාම අපට..

    ReplyDelete
    Replies
    1. ///බේසික් ටික හදා ගන්නවත් බැරි වෙලානේ තාම අපට..///

      රජයේ උන්දලා ටිකනම් පෙළපාලි ගිහින් හරි, වර්ජනය කරලා හරි උන්ගේ බේසික් හදා ගන්නවා...
      ඒ අතින් දස්ස මිනිස්සු... ;)

      Delete
    2. මොකුත් හැදෙන්නේ කොහොමද, හැමෝම තම තමන්ගේ පොර යුද්ධෙ නේ... පයින් යන්න බැරි ඇයි වාහනයක් නැද්ද වගේ කතා තමා ඇහෙන්නේ...

      Delete
  3. Replies
    1. වගකිවයුත්තන්ට පෙනේවා !

      Delete
  4. මේ විදියට පාරවල් වල වාහන නතර කරලා යන්න වෙලා තියෙන්නේ,පදිකයන්ට පාරේ අනාරක්ෂිතව යන්න වෙලා තියෙන්නේ අපේ නගර සැලසුම් වල තියෙන අසර්ථක භාවයන් නිසා තමයි. අඩු වශයෙන් ඉදිරියටවත් නගර සැලසුම් කරන කොට වාහන නතර කරන්න සුදුසු නැවතුම්පළවල්.පදිකයින්ට අවහිරයකින් තොරව ගමන් කරන්න පහසු පදික වේදිකා නිර්මාණය කරන්න රජය කටයුතු කරන්න ඕනේ.නැතුව හදන්නම් වාලේ හදන එක සංවර්ධනයක් වෙන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. නගර සැලසුම්කරණය ගැන උපාධි ගත්තු අයත් ඉන්නවානේ... ඇයි ඒ අයගේ දැනුම මේ සඳහා යොදවන්න බැරි. අවුරුදු ගාණක් හරි හදලා ඉවරකරනකම් මිනිස්සු දුක් විඳිය යුතු නෑ නේද.

      Delete
  5. ඕවා ගැන කතා කරලා වැරඩ්ක් නෑ

    ReplyDelete
    Replies
    1. මේවා දැක්කම අපි කතා කළ යුතුයි .

      Delete
  6. වහා ක්‍රියාත්මක වන පරිදි හැම නගරයකටම වාහන නැවතුම්පොලවල් ඉදිකරන්න ඕනෙ.විශාල ඒවා.(අඩුම ගානෙ නුවර වගේ.) ඊට සමඟාමීව පදික වේදිකා නවීකරණය කරන්න ඕනෙ.ටෙලිකොම්,විදුලිබලමණ්ඩලය,ජල සම්පත් මණ්ඩලය,මාර්ග නඩත්තු අංශ ඒක් පොදු සැලසුමක් ඇතිව වැඩකට අත ගහන්න ඕනෙ.ඊට අමතරව සයිට් සේෆ්ටි නීති තද කරලා හෙඩ් ඔෆිස් එකට දඩ ගහන්න ඕනෙ.ලස්සනට ඔව්ව හැදෙනවා එතකොට නම්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ අයට මේවා තේරෙන්නෙ නැද්ද කියලත් හිතෙනවා. මිනිස්සු කොයි තරම් දුක් විඳිනවද ! මම කියන්නේ සාමාන්‍ය මිනිස්සු. ඒ මිනිස්සුන්ගෙ චන්දෙන් උඩට ගිය අය සැපසේ ඉන්නවා. ඒක කොයි තරම් නම් පවක් ද !

      Delete
  7. අපේ ගෙදර ඉඳලා අපේ නංගිලාගෙ ගෙදරට මීටර් හාරසීයක් හෝ පන්සීයක් ඇති. නමුත් අපි කවුරුවත් පයින්වත්, පුෂ් බයිසිකලයකින්වත් ඒ ටික යන්නෙ නෑ. පයින් යන උන්ට අයින් වෙන්න තැනක් නෑ. පුෂ් බයිසිකලයත් ඒ වගේම භයානකයි.

    ReplyDelete
    Replies
    1. මටත් බයිසිකලයට ආයුබෝවන් කියන්න වුනේ ඒකයි !

      Delete
  8. ඔය වගේ ගැටළු වලින් වැඩියෙන්ම පීඩා විඳින්නෙ ධ්‍රුශ්‍යාබාධිත අපි අක්කේ. මගේ යාලුවො ගොඩ දෙනෙක් ඔය වගේ පාරෙදි කරදර වලට පත් වෙලා තියනව. මේ ලඟදිත් මගේ යාලුවෙක් පාර හදනකොට කපපු කානුවක වැටිල ගොඩාක් තුවාල වුනා. ඇත්තටම පදික වේදිකා වල වෙලඳාම් කරන කොට අපි කොහොමද සුදුසැරැයැටිය වත් පාවිච්චි කරල ආරක්ෂිතව යන්නේ.
    මේ වගේ ගැටළු ගැන කතා කරන්න ඔයා හිතපු එක හොඳයි ජයවේවා.

    ReplyDelete
  9. මගී ආරක්ෂාව ගැන මේ තරම් නොසිතන රටක් //////////////// athha

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !