Thursday, February 9, 2017

ජීවිත බේරාගන්න ඉගෙන ගන්න !

මට මුල සිටම ලැබුනේ වඩා හොඳින් අපට උගන්වන... අප ව හොඳ මිනිසුන් , හොඳ හදවතක් ඇති වෛද්‍යවරුන් කරවන්න පොළඹවන සුළු විශේෂඥ වෛද්‍යවරුන් ය.
"ඉගෙන ගන්න ! විභාග සඳහාම නොවේ... දිනයක් ඒවි රෝගියාගේ මරණයත් ජීවිතයත් තීරණය කරන එකම සාධකය ඔබ වන ! අන්න එදාට ජීවිතයක් බේරා ගැනීම වෙනුවෙන් ඉගෙන ගන්න ! 

මේ කියමන මගේ හිතේ හැමදාම දෝංකාර දුන්නා.
සෙනග උතුරන වාට්ටු වල සීමාවාසික පත්වීම් කරන එක තරම් ජීවිතය දියාරු කරන එපා කරවන කාලයක් තවත් නෑ.
හරියට කන්න බොන්න වෙලාවක් නෑ. 
රෙදි හෝදගන්න උයා පිහා ගන්න වෙලාවක් නෑ... මෙස් එකෙන් කාලා ජීවත් වුණු බොහොම දුෂ්කර කාලයක්.
රාත්‍රී සේවා මුරය වෙලාවේ බොහෝ දුරට රෝහලේම ඉන්නේ ඔබ විතරක් වෙන්න පුළුවන්. උදව් ඉල්ලන්න පුළුවන් උනත් අන් වෛද්‍යවරු රෝහලෙන් පිට ගෙවල් වල නිදනවා වෙන්න පුළුවන්. එවෙලෙට රෝගියාගේ ජීවිතය රඳා පවතින්නේ ඔබ අතේ. 
මා මෙතෙක් ඕනෑ තරම් රිසසිටේෂන් හෙවත්... සිහි ගැන්වීම් හෝ නැවත ප්‍රකෘති කිරීම් ඕනෑ තරම් කර ඇත්තෙමි... අලුත උපදින බිළිඳුන්ද ඇතුලත්ව... එනමුත් ඒ සෑමවිටම විශේෂඥ වෛද්‍යවරයාට හෝ ජේෂ්ඨ වෛද්‍යවරයාට දුරකථන ඇමතුම දුන්නේ රෝගියා ප්‍රකෘතිගන්වා අවසන් වී ඔහු ගේ ජීවිත අවධානම බැහැර කර ඔහු /ඇය යථා තත්වයට පත් කර පසුය.  ඒ සඳහා ගත කළ හැකි කාලය මැනෙන්නේ තත්පර සහ මිනිත්තු මගිනි.

අන්න ඒ නිසයි වෛද්‍ය විද්‍යාල වල විභාග අමාරු.. වෛද්‍ය විද්‍යාව අමාරු යැයි කියා කියන්නේ. දැඩි ආතතියක් වෛද්‍ය සිසුන් මත පටවන්නේ. සීමාවාසිකයේ පටන් දැඩි නීති රීති සහ ඇනුම් බැනුම් මෙන්ම අධික ක්‍රියාකාරිත්වයකින් පුහුණු විය යුත්තේ අන්න ඒ නිසයි.
මේ පශ්චාත් සීමාවාසික කාලයේ... ප්‍රසව හා නාරිවේද වාට්ටු තුල ජේයේෂ්ඨ වෛද්‍යවරියක් ලෙස සේවය කරන කාලයේ සිදුවුනු සංසිද්ධියකි.
එඳින ඉරිදා දිනයකි. ඔන් කෝල් හෙවත් වාට්ටුව භාරව සිටි එකම වෛද්‍යවරයා මම වීමි. දෙවෙනි වැඩ බාර වෛද්‍යවරයාට කතා කළ හැක්කේ අවශ්‍ය වූ විටදී පමණය. පුරා දින කිහිපයක් වැඩමුළු පවත්වන්නට මෙහි ආ ප්‍රසව හා නාරිවේද විශේෂඥයින් පිරිස අප රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා සමග සම්මන්ත්‍රනයක සිටින්නේ මීට සුළු දුරක ඇති ප්‍රාදේශීය සෞඛ්‍ය කාර් යාලයේ ය. දුරකථන ඇමතුමකින් ගෙන්වා ගත හැකි දුරක ය.  වාට්ටු වල කිසිඳු විශේෂ යමක් සිදු නොවේ. 
මට ඇමතුම ලැබෙන්නේ... හදිසි ප්‍රතිකාර ඒකකයෙනි.
"වලිප්පුව සෑදුනු මවක්, ඔව් සති තිස් හතරක් පමණ වයස දරු ගැබක් සමග මේ දැන් අහවල් රෝහලෙන් ගෙනාවා ඉක්මනින් එන්න" ඇය එහි එවා තිබුනේ ප්‍රාදේශීය රෝහලකිනි.
මා දිව ගියේ ගර්භනී කාලයේ අධික රුධිර පීඩනය සමග එන වලිප්පුව ( eclampsia , pre- eclampsia, )  මවටද දරුවාටද අහිතකර ය. ජීවිත නැතිවීමේ දැඩි අවදානයක් පවතී. එවෙලෙට ඉතා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුය.
මා එහි දිව යන විට අත්‍යාවශ්‍ය මෙවලමක් වූ පිනඩ් එක හෙවත් මව් කුස තුල දරුවාගේ හර්ද ස්පන්ධනය අසන කුඩා පුනීලයක් වැනි ලෝහයෙන් සෑදූ මෙවලමත් රැගෙන යමි. 
මා ගිය ගමන් දුටුවේ ඒ මව අසල ඒ මේ අත කැරකෙමින් සිටින වෙදනලාවක් කරේ එල්ලා ගත් වෛද්‍යවරයෙකි.

ඒ වන විටත් එම මව සිටියේ බොහෝ අමාරුවෙනි. පැයකට ආසන්න වෙලාවක් ඇම්බියුලන්ස් රථයක ගැස්සෙමින් පැද්දෙමින් අබලන් පාරවල් වල එන්නත් ඇති. දැන් ඇත්තේ කඩිනමින් අවශ්‍ය ප්‍රතිකර්ම සිදුකිරීමය. මම වහා ඒ මව පරීක්ශා කළෙමි. පිනාඩය උදරය මත තබා ඇගේ දරුවාගේ හර්ද ස්පන්දනය ගණනය කළෙමි. එහි වැරැද්දක් නොමැත. වහා පිළියෙල කළ යුතු ඖෂධ මාත්‍රා ගැන පැහැදිලි කිරීමෙන් පසු ඒවා රුධිරගත කරන්නට හෙද නිළදාරීන් යුහුසුළු කරමින් රුධිර පරීක්ෂන සහ හදිසි සීසර් සැත්කමකට අවශ්‍ය වන පරීක්ෂන සඳහා රුධිර සාම්පල ගැනීමටද කියා විශේෂඥ වෛද්‍යවරයා අමතා  උපදෙස් පැතීය. ඇයගේ රුධිර පීඩනය ඉතා ඉහළ අගයක් ගනී. දැනට දෙපාරක් ෆිට් එක හෙවත් වලිප්පුව සෑදී තිබුනි. විශේෂඥ මතය වූයේ වහා සීසර් සැත්කම සිදුකොට දරුවා එළියට ගැනීමය. එවිට මේ තත්වයෙන් මව මුදවාගත හැකි වේ. නොමේරූ ළදරු ඒකකය අමතා එම වෛද්‍යවරයා දැනුවත් කර, ඉන්කියුබේටරයක් ලැහැස්ති කරන්නට දැන්වූයේ දරුවා අඩු සති ගණනක නිසා ය.

ඉතින් මෙවැනි සියලු දේ එක දිගටම සිදු කළ යුත්තේ වාට්ටුව භාරව සිටින වෛද්‍යවරයා විසිනි. එය බොහෝ විට වෛද්‍යවරු කිහිපදෙනෙක් පමණක් සේවය කරන රෝහල් වල සිදුවන දෙයකි. එ කල සිටියේ අපි හතර දෙනෙක් පමණි එයින්ද එක් අයෙකු සති අන්තයේ නිවාඩු ගොසිනි. එනිසා සීමාවාසිකය නම් වන මහ එපා ම කරපු දුෂ්කර කාල සීමාවේ නිසි ලෙස පුහුණුවක් ලැබිය යුතුම වේ. අවශ්‍ය මොහොතේ අවශ්‍ය පියවර සුදුසුම පියවර ගැනීමට වාට්ටුවේ සේවයේ නියුතු වෛද්‍යවරයා හට හැකි විය යුතුය. මේ වන තෙක් අපට සිටි ගුරුවරු අප පුහුණු කළේ හොඳ වෛද්‍යවරයෙක් වීම තමා වටින්නේ එයයි සාර්ථකත්වය කියා කියමිනි.

ඉතින් පුද්ගලික වෛද්‍ය විද්‍යාල හෝ රජයේ වෛද්‍ය විද්‍යාල තුලින් බිහි වෙන වෛද්‍යවරු  ඔවුන් සැබැවින්ම හොඳ වෛද්‍යවරයෙක්ද කියා ඔවුන්ටම තමා ගැන තක්සේරුවක් තිබිය යුතුයි.

එවැනි සිදුවීම් ඕනෑ තරම් වේ. එකල  මහ රෝහලක සේවය කළ සමයේ, ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍යවරයෙක් සිටියේ අප රෝහලේ පමණි. එවිට සැම දිස්ත්‍රික්කයකම හදිසි කටයුතු සියල්ල සැත්කම් සියල්ල අප වෙත එවයි. විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අනුදැනුම සහ අධීක්ශනය නොමැතිව සෙසු වෛද්‍යවරුන්ට සැත්කම් සිදුකිරීමට අවසරයක් නැත. එක් දිනක් අවසානයේ අප දුටුවේ ඒ වන විට අප පැය විසි හතරක් තුල සීසර් සැත්කම් 10ක් පමණ සිදු කර තිබුනු බවය. ඉන් 5 ක්ම ප්‍රාදේශීය රෝහල් වලින් එවූ හදිසි තත්වයන් ය. දෙකක්ම කෝඩ් ප්‍රොලැප්ස් හෙවත් දරුවාගේ පෙකිණි වැල ප්‍රසූත මාර්ගයෙන් පිටට කලින්ම පැමිණි අවස්ථාය. එවිට සාමාන්‍ය ආකාරයෙන් දරු උපත සිදු වීම දරුවාගේ ජීවිතයට තර්ජනයකි. යොඔනි මාර්ගය පරීක්ශා කර බලන වෛද්‍ය වරයා විසින් හඳුනාගත යුතු තත්වයකි. දරු උපතකදී හිස ප්‍රථමයෙන් ඒම සාමාන්‍යයෙන් පහසු දරු උපතක් සිදු වීමට ප්‍රමාණවත්ය. නමුත් එහිද විවිධ වූ රටා තිබේ. මේ එළියට එන කොටස හඳුනා ගන්නේ වෛද්‍යවරයා විසින් තම ඇඟිලි තුඩු දෙකක් මගින් පරීක්ශා කිරීමෙනි. එහිදී පුහුණුව නොලැබුනොත් නිසි කළ අවධානම හඳුනාගන්න බැරි වීමෙන් ජීවිත දෙකක් අහිමි වෙන්නට වුවද පුළුවන.

කොතරම් පොත් පත් දැනුම තිබුනත් ප්‍රායෝගිකව ඒ දේවල් හසුරුවාගැනීමට මෙන්ම භාවිතා කිරීමට හැකි ලෙස තම පුහුණුව ලැබිය යුතුයි. සීමාවාසික කාලය පුරා පැය විසිහතරම වාට්ටු වල රැඳෙමින් සියලු වැඩ කටයුතු ඉටු කරන්නට සිදුවීමෙන්ම ඒ පන්නරය ලැබේ. නමුත් වාසනාවකට සියලු කර්තව්‍යයන්ට ඉහළින් ජේ ්‍ය්ෂ්ඨ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සිටිති. එනිසා සීමාවාසික වෛද්‍යවරුන් නිරන්තරයෙන් අධීක්ෂනය යටතේ මග පෙන්වීම් යටතේ සිටී.  එයින් පසු ලියාපදිංචි වෛද්‍යවරයෙක් වුන පසු තමන් හට  ඇතැම්විට විශේෂඥ වෛද්‍යවරු නොමැති රෝහල් වල සේවය කරන්නට සිදු වෙනවා ඇති. අපට ද එවැනි අවස්ථා බොහෝ ලෙස හමු වී තිබිනි.  ප්‍රසව හා නාරි ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයා නිවාඩු ගිය විට සියලු සැත්කම් නවත්වන අතර හදිසි තත්වයන් කිසිවක් සිදු නොකරයි. නමුත්  ජීවිත අවධානමක් ඇති වෙලාවට ශල්‍ය වෛද්‍යවරයාගේ අධීක්ශනය යටතේ සැත්කම් සිදු කර ජීවිත බේරා ගැනීමට සිදුවේ. එම අවස්ථාව තෝරා බේරා ගැනීමට තරම් වෛද්‍යවරයෙක් දක්ෂ විය යුතුය.
මන්ද... කොයිම හෝ වෙලාවක් එනවා රෝගියාගේ ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක පුරුක වෛද්‍යවරයා බවට පත් වන. අන්න ඒ මොහොතේ තමන්ට පසුතැවිලි විය නොහැකි ලෙස සේවය කිරීමට හැකියාවක් ඔබ සතුවිය යුතුය.

11 comments:

  1. පෞද්ගලික වෛද්‍ය පුහුණුව පිළිබඳව ඔබ දක්වන ආකල්පය අගය කරනවා. එපා නොකියා හරියට හදා ගන්න කියන තැන තමයි මාත් ඉන්නේ. වෛද්‍යවරු සම්බන්දව මගේ ලොකු ගෞරවයක් තිබුනා/ තියෙනවා.. ඒත් සමහරු විහින් එය නැති කර ගන්නවා.

    වෛද්‍යවරු එපා වෙන්න ඕනෙනම් ඔබ වෛද්‍යවරියක් බව නොකියා රෑ අටට දහයට විතර ලෙඩෙක්ව ඇතුලත් කරන්න කරාපිටිය රෝහලට ගිහින් බලන්න.

    ReplyDelete
  2. අැත්තටම දැනුම ෙකාතරම් ලබා ගත්තත්, ඒ්ක ක්‍රියාවට ෙයාදවන්න ෙහාද පුහුණුවක් ඔ්න.. ඒ්කෙන් පරණ ෙදාස්තරල ෙලෙඩා දැක්ක ගමන් ෙබ්ත් ලියන්ෙන්

    ReplyDelete
  3. හොඳ විස්තර කිරීමක්...

    ReplyDelete
  4. අපූරු සටහන අක්කේ....

    ReplyDelete
  5. මම මේ දවස් ටිකේ ඉන්දියාවේ. අපේ උන්ට උන හැදිලා මෙහෙ ඩොකා ලඟට බේත් ගන්න ගියා. මේකා අඩුම තරමේ දොස්තර නලාවවත් තියලා බැලුවේ නෑ. බේත් ලියලා ඉවරයි. දුන්න බේත් ටිකක බොන්නෙත් බයෙන්. ඇයි බං මොන ලෙඩකට ලියපු බේතක්ද කවුද දන්නේ.

    ReplyDelete
  6. //අන්න ඒ නිසයි වෛද්‍ය විද්‍යාල වල විභාග අමාරු.. වෛද්‍ය විද්‍යාව අමාරු යැයි කියා කියන්නේ. දැඩි ආතතියක් වෛද්‍ය සිසුන් මත පටවන්නේ// බෝධිනී හුඟක් වෙලාවට හොඳ සමරන ශක්තියක් තියනවා නම් හොඳට කට පාඩම් කරන්නත් පුලුවන්නම් බොහෝ විභාග සමත් වෙන්න පුළුවන් නේද? අනික දැඩි ආතතියක් සහිතව ඉගෙනේ ගන්න වෛද්‍ය වෘත්තීය විතරක් නොවේ. විභග කාලෙට අපට තිබ්බ ආතතිය විස්තර කරනන් අමාරුයි. හුගනක් වෛද්‍ය සිසුන්ට මුල් අවුරුද්දේ දෙකේ ඇති ගණිතය ඔවුන්ට කියා දුන්න මට මතකයි.
    සමස්තයක් වශයෙන් ප්‍රමිතියක් තිබිය යුතුය කියන ඔබේ මතයට මම එකඟයි.

    ReplyDelete
    Replies
    1. matanam hithenawa doctor kenekuta හොඳ සමරන ශක්තියක් ona kiyala.google search karala balanna bane.ethakota leda marila tiyei.

      Delete
  7. බොහොම වටිනා විස්තරයක්. මේ සාරවත් තැනට එන්න අවස්ථාව ලැබුණේ නෙළුම්යායේ උපකාරයෙන්

    ReplyDelete
  8. ඕනෑම රැකියාවක යෙදෙන්නේ ඊට ඇත්තම ආශා කරන , තමා කරන රැකියාව හරියට කරන අයනම් ඒ අය රාජ්‍ය ආවේ රාජ්‍ය විශ්ව විද්යලයකින්ද , විදේශීය විශ්ව විද්යලයකින්ද , පුද්ගලික විශ්ව විදයලයකින්ද කියන එක වැදගත් වන්නේ නෑ. ඔබ කියන්නා වගේම ප්‍රයෝගික පුහුණුව සහ වෙලාවට හරිදේ කිරීමේ "සායනික ඉව" දියුණු කරගන්න මේ හැමෝටම පුළුවන් .MBBS දොස්තරවරුන් "මරුවන් " ලෙස දකිමින් බ්ලොග් පොස්ට් පිට බ්ලොග් පොස්ට් ලියවෙනවා දැක්කා. ඒත් ඔය කියන හැම කණ්ඩායමකම "තම රාජකාරිය හරියට කරන, ඊට ආශාවෙන් වැඩ කරන මිනිස්සු ඉන්නවා. පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ පිලේ පවා එවැනි අය ඉන්නවා. පුද්ගලික අධ්‍යාපනය ලබපු, විදේශ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබපු , ඒ කාලේ "දෙවැනි දොස්තර මහත්වරු" කියපු කණ්ඩායමේ ඇතුළු හැමතැනම. රෝගියාගේ පැත්තෙන් වැදගත් විය යුත්තේ දොස්තර වරයාගේ /වරියගේ ආකල්ප, චර්යා රටාව සහ ඔවුන්ට සේවය සලසන ආකාරය මිස රැකියාවට ආවේ මොන පාරෙන්ද කියන එක නොවේ ..

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !