Monday, May 23, 2016

කඳවුරු සටහන් - තෙතබරිත රෝග !

වෛද්‍ය කඳවුරු සටහන් අංක 1 - ගංවතුර ආශ්‍රිත රෝගාබාද ගැන සුළු කෙටි විග්‍රහයක් !‍‍

සහන සලසන්නෙත් ජීවිත යුද්ධයක් අතරින් නිසයි මේ දේ ලියන්න පමා වුනේ... අප රෝහල වෙත එන පිරිස සහ අපි ඒ පෙදෙස්වලටම ගොස් ක්‍රියාත්මක කළ සේවා වලදී අපට වැටහුන කරුණු කිහිපයක් මේ... ඔවුන්ට අවශ්‍ය ආහාර ලැබෙන බව තේරෙනවා. නමුත් සනීපාරක්ෂාව ගැන වඩාත් සිතිය යුතුයැයි සිතෙනවා.

- මා පරීක්ෂා කළ ළදරු ළමා සියල්ලන්ගේම තිබුනේ ශ්වසන ආබාධ උගුර ආශ්‍රිත සෙම් ගෙඩි තත්ව සහ හෙම්බිරිස්සාව නිසා නාසය අවහිර වීම වැනි බැරෑරුම් නොවූ තත්වයන්. පෙනහළු ආශ්‍රිත ඇදුම තත්වයන් තිබූ දරුවන් සිටියේ සුළුවෙන්.

- ඩොක්සිසයික්ලින් ම ඉල්ලන පිරිසක් හිටියා- අවුරුදු 8ට අඩු දරුවන්ට දෙන්න එපා කියලා බොහොම තදින් කීවා. ඇත්තටම එහෙම තමා CDC එකෙන් කියන්නේ.. ඉතින් පොදුවේ දරුවන්ට දෙන්න එපා කියලත් , කිරිදෙන අම්මලාට මේවා බොන්න එපා කියලත් අර ෂෙයා වන පෝස්ට් වල දැම්මනම් හොඳයි නේද කියා සිතුනා

- උණ තිබුන දරුවන්ගේ මව්වරුන් කීවේ අතට රස්නෙ දැනෙන්නේ කියලයි... ඔවුන්ට උණ මැනීමට උණ කට්ටක් තිබුනේ නෑ. ඉන්පසු අපි කළේ එක් එක් කඳවුරට උණ කටුව බැගින් ලබා දීම ය. උණ බලා එය 98.4 F- වැඩි අගයක්නම් පැරසිටමෝල් දෙන ලෙස ය. එනිසා උණ කටු ඔවුන්ට ලබා දීම අත්‍යාවශ්‍ය යැයි සිතේ.. වැහි බීරම සීතල පරිසරයකදී කොහොමත් ඔතා ඇති ළදරුවන්ගේ ශරීර උෂ්ණත්වය අත තියා බැලුවොතින් වැඩි නිසා ය. පැරසිටමෝල් නිරපරාධේ දරුවන්ට දෙන එක සුභදායක නොවන නිසා ය.

- තුවාල ඇති අය බොහෝය. දෙමාපියන් කියන්නේ වතුරේ නටනවා එහෙ මෙහෙ යනවා, තුවාල කරගන්නවා කියාය. තුවාල හොඳවීමටනම් මුළින් දරුවන් වතුරෙන් මුදවා ගත යුතුයි. ඒක අමාරු බව දන්නවා නමුත් වැසිකිළි වලවල් පවා උතුරා ඒවායේ අපද්‍රව්‍යද මිශ්‍රවී ඇති නිසා මේ වතුරේ දියබුං ගසමින් නෑම නම් යෝග්‍ය නොවේ. පෙවෙන එකත් හොඳ නැත.

-වමනය යෑම බොහෝ දරුවන්ට තිබුනි. ඒ කෑම බීම නිසා හෝ පෙර කියූ පරිදි වතුර පෙවීම නිසා විය හැකිය. ජීවනී වැනි දේවල් වලින් ලේසියෙන්ම විජලනය තත්වය පාලනය කරන්නට පුළුවනි. වමනයට විරුද්ධව දිය හැකි ඖෂධ තිබුනි.

දරුවන්ට පොදුවේ තිබුනු skin rashes දද කුෂ්ඨ , දාඩිය බිබිලි සහ වතුරේ බැස සිටි නිසා කැසීම් තිබුනු අයට aqueous cream ලබා දුන්නා... කොන්ඩිස් දමා සෝදන්න කියා කීවා...පුස් සහ බැක්ටීරියා වලට විරුද්ධව ක්‍රියාකරන ක්‍රීම් වර්ග තිබුනේ සුළුවෙන් නිසා එක ටියුබය බෙදා දෙන සිදුවුනා...

- ඩයරියා හෙවත් බඩ එළියේ යෑම වැනි තත්ව ද තිබුනි...probiotics.. පාවිච්චි කිරීමට අපහසු,  ඒවා නැති තැන් වලදී යෝගට් එකක් කන්න දෙන්න යැයි කීවෙමු.

මේ සැකවින් හඳුනාගත් ආබාධයන් ය. නාසය ට දමන normal saline nasal drops...steroidal/ anti bacterial local applications සහ nasal decongestant වැනි නහයට ඉසින්න පුළුවන් බිංදු / ස්ප්‍රේ තිබුනානම් හොඳයි සිතුනා.


කඳවුරු සටහන් අංක 2


පාචනය , වමනය, බඩ එළියේ යෑම හිස ඔසවමින් සිටී... දරුවන් ඉක්මනින් විජලනය විය හැකි බැවින් අනාථ කඳවුරු වල සිටින මව්වරුන් දැනුවත් කිරීම වටී. බොහෝ දරුවන් රෝහල් ගත කරන විට අධික ලෙස විජලනය වී තිබුනි.

වමනය කී වරක් ද? බඩ එළියේ යෑම කී වරක් ද ? සංයුතිය කුමක් ද ? ලේ හෝ රතු පැහැයට යමක් පිටවී ද? මෙවැනි ප්‍රශ්න වලට ටිකක් ලොකු දරුවන්ගෙන් නම් ඔවුන්ගෙන්ම සහ කුඩා දරුවන්ගේ නම් අම්මලාගෙන් උත්තර ලබා ගත හැකියි. බොහෝ දරුවන් සිටින්නේ ආච්චී හෝ පුංචිලා සමග ය. මව බොහෝ විට අප වෙත නො එන්නේ තව දරු පිරිසක් කෑම්ප් එකේ සිටින නිසා ය. ඉතින් මේ ආච්චිලා පුංචිලා දරුවන්ගේ සායන ඉතිහාසය නොදනී. අසාත්මිකතා allergies තියෙන්නේ මොනවාට දැයි නොදනී.

ප්‍රෝ බයොටික් පරිහරණය අපේ රටට අළුත් නොවුනත් එතරම් ප්‍රසිද්ධ නොවේ.... එයින් සිදුවෙන්නේ අපේ බඩවැල් තුල ඉන්නා හිතකර බැක්ටීරියා ( ආහාර ජීර්ණයට උදව් වන) අප ශරීරය තුලට දැමීමය. එයට හේතුව නම් බඩ එළියේ යෑමකදී බොහෝ විට සිදුවෙන්නේ අපට හිතකර අපේ බඩවැල් වල අභ්‍යන්තර ස්ථර ආරක්ශා කරන බැක්ටීරියා වර්ග අඩු වීමය. ඉතින් ඕනෑම වර්ගයක ප්‍රෝබයෝටික් නාමය යටතේ ඇති කැප්ෂුල් හෝ දිය කර සාදාගත හැකි සැෂේ පැකට් උදේ හවස පානය කිරීමෙන් ඇත්තටම වීශේෂ ඖෂධ නොමැතිව බඩ එළියේ යෑම නවතාගත හැකිය. යෝගට් වලද මේවා තිබේ.. ඇතැම් යෝගට් වර්ග වල ඒ ගැන සඳහන් වේ. බඩ එළියේ යන අයට, බැක්ටීරියා නාශක ඖෂධ ඉක්මනින් ලබා නොදෙන්නේ එහෙයිනි.

ජීවනී වැනි පානයක් විශේෂයෙන් සාදා දිය යුත්තේ විජලනයෙන් සහ ලවණ ඇඟෙන් පිටවීම වැලැක්වීමටය...පිරිසිඳු නටවා පෙරා නිවාගත් ජලය පානය කළ යුතුය.

වතුරේ වැඩි කාලයක් සිටීම නිසා වැඩිහිටි තරුණ මහළු දුවා දරුවන් සැමගේම ඇඟිලි කරු වණවී කසන්නට පටන් ගෙන ඇත. එම වතුරේ දණක් උසට ගමන් කළ අපගේද කකුල් කසන්නට පටන්ගත්තේ ඒ ආවේ ගඟේ වතුර පමණක්ම නොවන නිසා ය.

එයට විවිධ අපද්‍රව්‍ය කුණු එක් රැස් කරන කුණු කඳු සහිත පෙදෙස් වලින්, අසූචි මුත්‍රා ඉවත් කරන වලවල් වලින් ආදි බොහෝ අපද්‍රව්‍ය එකතු වී තිබේ... එනිසා දරුවන්ට අපි යන වෛද්‍ය කඳවුරු සියල්ලකදීම වතුරේ නැටුවොත් මේ දේවල් වේ යැයි බිය වැද්දීමක් කරන්න යැයි මව් පියන් ඉල්ලති.... අපි හැකි පමණ උපදෙස් දෙන්නෙමු.

දැන් වඩා අවශ්‍ය වෙන්නේ.. තුවාල සඳහා බෙහෙත් වර්ගත්... පාදවල ඇඟිලි කරු කැසීම් දද කුෂ්ඨ යනාදියට අවශ්‍ය බෙහෙත් වර්ගත්... පාචනය වමනය.. සහ බඩ එළියේ යෑමට අවශ්‍ය ප්‍රෝබයිටික් වැනි දෑ.. ය.

---------------------------------------------
doxycyclin ගැන මී උණ ගැන අපේ විශේෂඥ වෛද්‍යවරිය විසින් ක්ෂුද්‍ර ජිවී විශේෂඥ වෛද්‍යතුමිය හා සාකච්ජා කොට ලබාගත් තොරතුරු - වැරදි තොරතුරු ගොඩක් සංක්‍රමණය වෙන නිසා මුහුණු පොතේ මේ ටික ඉක්මනින් ඇඩ් කරන්න හිතුවා... මම කීප සැරයක් ඒ පෝස්ට් වලටත් පිළිතුරු ලීවා...

ඩොක්සිසයික්ලින් 200 mg බොන්න ඕනේ...සතියකට එක වරක් ! වතුරට බහින්න දවස් 3 කට කලින් හෝ වතුරට බැහැලා දවස් 3ක් ඇතුලත මේක බොන්න ඕන.
ඒ ඩෝස් එක සතියකට එක වරක් පමණයි ඒකත් වතුරෙන් මිදුනම නම් දිගටම බොන්න ඕනෙ වෙන්නෙ නෑ.
දවස් 3 කට වඩා වතුරේ බැහැලා උන්නා නම් දැන් ඉතින් වැඩක් නෑ බීවට කියලා තමා කීවේ....

ප්‍රෙග්නන්ට්/ගර්භනී අය, අවුරුදු 12 ට අඩු ළමයි සහ කිරිදෙන අම්මලා... කලින් අසාත්මික තා තිබුන අය ... ටෙට්‍රාසයික්ලින් කියන බෙහෙත් කාණ්ඩයට අසාත්මිකතා තිබුනු අය ඩොක්සි බොන්න එපා


ඩොක්සි ගන්න බැරි අය මොකද කරන්නේ ? එයාලට නිර්දේශ කරන්නේ ඇසිත්‍රොමයිසින්... azithromycin ඒක 500mg මිලිග්‍රෑම් දවසට එක වරක් දවස් 3ක් සතියට සැරයක් තමයි නිර්දේශය . හැබැයි මේකත් ගර්භනී මව්වරුන්ට හොඳ නෑ.... පොඩි දරුවන්ට ඔය 500mg දෙන්න යන්න එපා.. අවුරුදු 12 අඩු දරුවන්ට ඕනෑම බෙහෙතක් දෙන්නේ බර අනුව.. ඒ නිසා වෛද්‍යවරයෙක් හමුවෙලා දරුවාගේ බරට නියමිත මාත්‍රාව ඉල්ලා ගන්න.
හිතුමතේ බෙහෙත් ගන්න එපා... ඩොක්සි සයික්ලින් උනත් ! මේවාට කොහොමත් වෛද්‍ය නිර්දේශයක් අවශ්‍යයි. එනිසා ඕනෑම බෙහෙතක් ගන්න කලින් සෑම විටම වෛද්‍ය උපදෙස් ගන්න.


මෙසේ දැනුවත් කිරීමෙන් ඔබට මේ ගංවතුර තත්වය සමග වැඩියෙන් හිස ඔසවන රෝගාබාද ගැන වැටහීමක් ලැබෙනු ඇතැයි සිතේ...

14 comments:

  1. වටිනා සටහනක්...ඇත්තටම ප්‍රෝබයෝටික්ස් භාවිතය ගැන ලංකාවේ බොහොමයක් ජනතාවට තිබෙන දැනුවත් භාවය මදි...ඔබේ සටහන බොහෝ වටිනවා...

    ReplyDelete
  2. ඇත්තටම ඒ තැන් වලට යන ඔබ වැනි අය තමයි අවශ්‍යතා හරියටම දන්නේ. මමත් හැකි පමණ මෙහෙ දන්නා කියන හැමෝටම පණිවුඩ යැව්වා.පන්සලේ හුඟක් බඩු එකතු වෙලත් තිබුණ.ඉතාම කුඩා වැටුපක් ගන්න ගැහැණු කෙනෙක් කිව්වා එයා ඩොලර් පනහක් දුන්න කියල. මම දන්නවා ඒ මනුස්සය සත අසුව ඉතුරු කරගන්න කොච්චර පයින් යනවදකියල. එහෙම මිනිස්සු තමයි වැඩිපුර දෙන්න ඇත්තේ. ඒ මුදල් නිසි ලෙස අවශ්‍යතා අනුව නොයෙදුනොත් හරිම පව්.
    මේ රටේ මගේ යාලුවෝ කිව්වා මුදල් යවන්න ලින්ක් එකක් දෙන්න කියල. කෙනෙක් එවල තිබ්බ කප්රුක මගින් කරන වාදක ලින්ක් එක . දෙනවද නැද්ද කියල හිත හිත හිටියේ හොඳටම ප්‍රයෝජනයක් ලැබෙන දේකට ඒ මුදල් දෙන්න අවස්තාවක් බල බල. ඔයා දන්නවද එහෙම එකක්. බඩු බාහිරාදිය එකතු කරලා යවන්න ක්‍රමයක් නම් මට හොයා ගන්න අමාරුයි. කපුටන්ගෙන් තොර තැනක්. අනික් අය කෙසේ වෙතත් ලංකාවට ගිහින් ආපු සිංගප්පුරු තරුණියක් ඉන්නවා .එයා නම් අනිවාර්යෙන් දෙයි

    ReplyDelete
    Replies
    1. අක්කේ ඔයා එහෙම හිතන එකටත් බොහොම ස්තූතියි.. මං හිතන්නේ පොඩ්ඩක් මේ කලබලය අඩුවෙලා මිනිස්සු ගෙවල් වලට යන්න ගත්තම අවශ්‍යම අයට යොමු කරන්න ලේසි වෙයි. මිනිස්සුන්ට යන්න වෙලා තියෙන්නේ කිසිත් නැති ගෙවල් වලට... එනිසා එහෙම උදව් කරන එක හොඳයි අක්කේ එයාලට සෙට්ල් වෙන්න ඉස්කෝලේ යන දරුවන්ට ඒකට උදව් වෙන්න ඒවගේ දෙයක් !

      Delete
  3. ප්‍රෝබයෝටික්ස් ගැන තවත් ටිකක් විස්තර කරනවද.....

    ReplyDelete
    Replies
    1. Recent studies have shown that there are no effects from probiotics on healthy people. People having gastrointestinal issues may benefit but results are inconclusive. This is another "fad" marketing scam by the food industry.

      Delete
    2. http://www.dailymail.co.uk/health/article-3602382/We-bombarded-health-giving-foods-coconut-water-probiotics-FAD-FACT.html
      http://fortune.com/2016/05/10/probiotics-food-health-benefits/

      Delete
  4. ප්‍රයෝජනවත් ආකාරයකට උදව් කිරීමට මේ ලිපියේ කරුණු ගොඩක් උදව් වෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete
  5. කාලේ හැටියට ගොඩක් වැදගත් සටහනක්..

    අක්කේ ඔයා පහුගිය පොස්ටුවෙන් කියපු කාරණාව සම්බන්ධයෙන් විස්තර ටිකක් ඔයාට දෙන්න තියනවා..

    ReplyDelete
  6. ////දවසට එක වරක් දවස් 3ක් සතියට සැරයක් පානය කරන්න////

    බෝධිනි මෙන්න මේ තැන පොඩ්ඩක් පැහැදිලි මදිද මන්දා...

    ReplyDelete
  7. පොඩි උන්ව වතුරෙන් බේරා ගන්න එක දෙමාපියන්ට සැහෙන ප්‍ර්‍රශ්නයක් වෙන්න ඇති.මේ මිනිස්සු වෙනුවෙන් කායික මෙන්ම මානසික ප්‍ර්‍රතිකාර කරන්නත් කටයුතු කල යුතුයි.

    ReplyDelete
  8. අසරණ වුන අය වගේම උදවු කරන්න යන අයත් අවධානය යොමන්න ඕන කරුණු ටිකක්.

    ReplyDelete
  9. හුඟක් වටින පෝස්ටුවක් අක්කෙ.

    ReplyDelete
  10. මෙතනත් දැම්මා http://nelumyaya.com/?p=5922

    ReplyDelete
  11. පෝස්ට් එක දැක්කේ පස්සේ.. ෂෙයාර් කරන්න වටිනවා.. ස්තුතියි.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !