Friday, May 13, 2016

ඔහුට පාසැලක් !


මේ දිනවල චුරු චුරු වැස්ස ඉවරයක් නෑ.... ඒ එක්කම පහුගිය ටිකේ නිහඬව සිටි මදුරු රෑන් වලටත් ආයේ පණ ඇවිත්... සතියකට දෙතුන් දෙනෙක් බැගින් ඩෙංගු වැළඳුනු පොඩිත්තනුත් රෝහල් ගත වෙනවා.... දස වියැති පැංචෙක් අප වෙත එවා තිබුනේ මගේ ඩියුටි වෙලාවක ය. ඉතින් ඔහු මුලින්ම බැලූ වෛද්‍යවරයා වුනෙත් මම ය. බුද්ධි හීන තාවය ඇති කරවන සින්ඩ්‍රෝමයක ලක්ෂන ඔහු වෙතින් පෙන්නුම් කරන බව දුටු විටම මට වැටහුනි.

"පරණ පොත්, ක්ලිනික් කාඩ් මොකුත් හදිසියට ගෙනාවේ නෑ" මවගෙන් සුපුරුදු වදන් පෙළක් ඇසුනි.
තමන්ගේ දරුවාගේ රෝග නිධාන සහිත කාඩ් තූන්ඩු පරිස්සම් කරගෙන ඉන්නේ එහෙමත් කෙනෙක්. බොහෝ අයට ඒ සඳහා නිදහසට කාරණා බොහෝමයි. ඉතින් මේ කියන පුතාත් මවත් මා අසල පුටුවල හිඳුවා ගෙන රෝග ඉතිහාසය ලියාගන්නට වෙර දරන අතරේ මම දුටුවේ ඔහු බොහොම කලබලයෙන් සිටි බවයි. උණ බලන්න කිහිල්ලේ තියා තිබුනු උණ කටුව රඳවාගෙන ඉන්න අම්මා සෑහෙන උත්සහයක නිරත වුනා.

"දවස් පහක් විතර උණ... " ඒ මව පැවසූවා ය. 

"දැනුත් 103 ' C ට උණ ඩොක්ටර්" ඩිජිටල් උණ කටුවේ නාදය එක්ක හෙදිය පරීක්ෂා කර බලා මට පැවසූවාය.

"හුස්ම ගන්න පුතේ... පහළ හෙලන්න " ඔහුට නොවැටහේ යැයි සිතුනු නමුත් මා එසේ කියද්දී ඔහු හුස්ම ඉහළ පහළ හෙළුවේය. 
ඒ කියන්නේ තේරුම් කරන්න අපහසු තරමට ඔහුගේ තත්වය දුබල නොවන බවයි.

"දරුවා ඉපදුනේ අහවල් දිහා... එහෙදී තමා හඳුනගත්තේ පුතාගේ වෙනස් කම්... දැන් අපි ඉන්නේ මේ රෝහලට කිට්ටු මේ නගරයේ... මේ මගේ ගම. මහත්තයා ඇක්සිඩන්ට් එකක් වෙලා ඔළුව ඔපරේෂන් කරලා සිහියක් නෑ... එයා ට මානසික වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා. මෙයාට වැඩිමල් දුව ඕ ලෙවල් වලින් පස්සේ ඉස්කෝලෙ ගියේ නෑ ගාමන්ට් එකකට යනවා.. මමත් ගාමන්ට් එකක වැඩ කරන්නේ.. දරුවා බලන් ඉන්නේ මගේ අම්මා, දරුවා ඉස්කෝලෙකට යැව්වා අවුරුදු දෙකක් අරහේ ඉන්නකොට නමුත් අපට ඇතිවුනු ප්‍රශ්න නිසා මෙහෙ ආවට පස්සේ යවාගන්න බැරි උනා. දැනටත් මහත්තයා රස්සාවක් කරන්නේ නෑ... එයා උන්නු ගමන් අත්වැඩ කුලීවැඩ කරලා කීයක් හරි හොයාගෙන දිනපතා බොනවා... සැරපරුෂයි ගහනවා බනිනව..."
මේ ඇගේ කතාවේ සංෂිප්තයක්...මම මෙහෙම ලියන්නේ ඇයි කියා ඔබ හිතාවි... ඒ හේතුව පසුව ලියන්නම්.උණ සඳහා ප්‍රතිකාර කරමින් ඒ සමගම, රුධිර පරීක්ෂණ වාර්ථා හදිසි ලේබලය යටතේ යැවුයේ.. දරුවාගේ පෙනහළු වලින් සෙම් රෝග ලක්ෂන ඇසුනු නිසා ය. හිතුවා වගේම... රුධිර පට්ටිකා තිබුනේ ඉතා පහළ අගයක... 80 000ට අඩුවෙන්... ඒ කියන්නේ ඩෙංගු උණ රෝගයේ අවධානම් අවධිය එළඹ ඇති බව අපට වැටහුනි.... ඉන්පසු ගතවන පැය හතලිස් අට තුල රුධිර පට්ටිකා වල අගය පහල බැස්සේ 20 000 ටත් අඩුවෙන් ... ඒ එක්කම ඔහුගේ පෙනහළු වලින් එපිට ප්ළූරා පටල අතර අවකාශයේ පවා තරල පිරී තිබුනු බව අප පරීක්ෂාවන් වලදී දැනුන නිසා ස්කෑන් පරීක්ෂන එක්ස් කිරණ පරීක්ෂන මගින් සනාථ විනි.

මා රාත්‍රී සේවය කළ ඒ දිනයේදී... දැඩි සත්කාර ඒකකයක ට ඇතුල් කරන්නට පවා අවධානම බොහෝ සෙයින් තිබුනු හෙයින් ළමා රෝහල ඇතුලු අගනුවර බොහෝ රෝහල් වලට කතා කොට දැඩි සත්කාර ඒකක ඇඳන් නොමැති බව දැනගත්තා. ( දැඩි සත්කාර ඒකකයක් හෝ නොමේරූ ළදරු ඒකකයක් නොමැති අප රෝහල වැනි මූලික රෝහල් වලින් අසාධ්‍ය රෝගීන් මහ රෝහල් වලට ඇතුල් කරන්නට යාමේදී මෙවැනි ඇඳන් නොමැති තත්වයන් කොතෙකුත් ඇතිවේ.) මීට කලින් වතාවක මෙකෝනියම් තරලය පෙනහළු වලට ඇතුල් වී තිබුනු ඉපදුනු විට හුස්ම නොගත් පැංචෙක් ගේ දිවි බේරාගෙන, නොමේරූ ළදරු ඒකකයක හෝ ළදරු දැඩි සත්කාර ඒකකයක ඇඳක් ලැබෙන තුරු... පැය තුනක් ඇම්බෝ කරමින් ( කෘතිම ශ්වසනය) දෙමින් අප වින්දේ දැඩි අපහසු තාවයකි. වාසනාවට පැය තුනකින් පමණ පසු ඇඳක් ලැබුනු නිසා ඔහුව අගනුවරින් පිට රෝහලකට මාරු කර යැවිනි.

 ඉතින් දින දෙකක් පුරා රුධිර පාරවිලයනය කරමින්... ශරීරයෙන් පිටවන සහ ඇතුල් කරන තරල සහ ද්‍රාවණ මට්ටම් ගණනය කරමින් ( input out put chart / fluid quota) රුධිර පරීක්ෂා කරමින් දැඩි අවධානම් තත්වයෙන් ඔහු මුදවා ගත්තෝය.

ඉන්පසු එළඹියේ තවත් ප්‍රශ්නයකි. මේ දරුවා තනිව ඇඳුම් හැඳ පැළඳ ගන්නා බවත්, අපි කතා කරද්දී තේරෙන බවත් විධාන නියම කරන දෑ වලට ප්‍රතිචාර දක්වන බවත් අපට දැනුනි.

"අම්මේ , මේ බබාට හරියට අධ්‍යාපනයක් පුනුරුත්තාපනයක් ලැබුනානම් මෙයා හොඳ මට්ටමකට ඒවි තනියම වැඩකරගෙන තේරුම් කරගන්න තරම්.... " අපි ඇයට කීවෙමු.

"මට උදේ ඇරලලා මම වැඩ ඉවර වෙන වෙලාවට පහට පමණ අරගන්න පුළුවන්. මේ අවට පාසැලක් තියේනම් හොඳයි ඩොක්ටර්.. මම දන්නෙ නෑ එහෙම හොයාගන්නෙ කොහොමද කියලත්. මේ පවුලම බලා ගන්න වැඩ කරන්නේ මම නේ" 

නිසි දැනුම් තේරුම් කමක් නොතිබුනත්... දරුවා සමග ඒ දින පහ හයේ ඇය විශාල දුකක් වින්දා. දරුවා ඔහුගේ අමාරුකම් විඳදරා ගන්නට බැරි වෙනකොට මේ අම්මට තමයි කරදර කරමින් ඇඳේ දඟලමින් සිටියේ.. මුත්‍රා පිට නොවුනු තරම් වුනු දිනයේ මුත්‍රා බටයක් ඇතුල් කළ විට එය ගලවා ගන්නටම උත්සහ කළ දරුවාගේ අත් දෙකත් අල්ලාගෙන දරුවා මේච්චල් කරගත් ඇය ගේ මුවින් කෝපසහගත වදනක් හෝ හැඟුමක් වත් පිට වුනේ නෑ. එය අපට බොහෝ පුදුමයක් ගෙන දුන්නා...

මේ තරම් ඉවසීමක් සහ උපේක්ෂාවක් ඇති අම්මෙක් මා දුටුවාමයි... තමන්ට ඉන්න අමාරු වෙන විට අවධානම් තත්වයේ සිටින අත දරුවන්ගේ පවා බලෙන් ටිකට් කපන් යන මව්වරුන් දැක ඇති මට, දරුවා කරදර කරනවා කියමින් අපට කරදර කරන , නින්ද යන්න මොකුත් දෙන්න යැයි නොකියා කියන මව්වරුන් සිටින කලෙක මේ මවගේ ඉවසීම සහ දරාගැනීම මට පුදුමයක් ගෙන ආවා. 

දැන් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මහත් වූ උපකාරයක්. මේ දරුවාට ආබාධ සහිත දරුවන් ඉගෙනුම ලබන පාසැලක දරුවා නවත්වා උගන්වන්න උනත් මව සූදානම් හැබැයි ඇයට පුද්ගලික මුදල් වියදමට හැකියාවක් නෑ.. මා ඒ සඳහා පත් කර ඇතැයි සිතෙන නිලධාරීන් සිටින ප්‍රාදේශීය කාර්යාලයට කතා කලත් එහි ටෙලිෆෝන් ඔපරේටර් වරයා එවැනි නිලධාරීන් සිටින බව පැවසුවත් ඒ යොමු කළ අංකයෙන් නම් දුරකථන අංකයට පිළිතුරු ලැබුනේ නැත. එනිසා රජයේ හෝ සංවිධානයක් මගින් කරගෙන යන හෝ එවන් තැනක් ගැන හොයා බලා දන්වන්නේ නම් එය අගනේය. 
එහි දරුවා දිනය පුරාම හෝ මවට පැමිණ රැගෙන යන තෙක් රැඳවිය හැකි තැනක් වීම අවශ්‍ය ය. ළමා නිවාසයකට හෝ අනාථ නිවාසයක දරුවා රැඳවීම ඇයට අවශ්‍ය නොවේ.. දැනටත් ඇගේ මව දරුවා සමග නිවසේ රැඳේ. ඒ තරම් දුක් කන්දක් උහුලගෙන මනස විකල් සැමියාගෙන් උපකාරයක් නොමැතිව දරු පවුල ගොඩගන්න වෙර දරන ඇයට ඇගේ දරුවා යම් මට්ටමකට හසුරුවාගන්න හැකි අධ්‍යාපන ක්‍රමයක් සකස් කළ හැකිනම් එය අපට කළ හැකි උපකාරයක් බව අපට වැටහුනි.

මට අමතක වුනා ප්‍රදේශය සඳහන් කරන්න - කඩුවෙල සිට අංගොඩ දක්වා පෙදෙස.. තලාහේන බත්තරමුල්ල උනත් කමක් නෑ.. ලෝ ලෙවල් එක ආශ්‍රිතව උනත් කමක් නෑ...

උපකාරයක් කරන්න කාත් කවුරුත්ම නොමැති කළ මිනිසුන් අසරණ වෙන්නේ කෙසේදැයි මා සේවය පටන් ගත් දා සිටම අත් දකිමි. ඔවුන්ගේ දුකට පිහිටක් වෙන්නට යමක් කළ යුතු යැයි සිතෙන්නේ එහෙයිනි.

22 comments:

  1. අක්කේ ඒ අම්මට කොලඹ අවට උනාට ප්‍රශ්නයක් නැති වෙයිද??

    ReplyDelete
    Replies
    1. මට අමතක වුනා ප්‍රදේශය සඳහන් කරන්න - කඩුවෙල සිට අංගොඩ දක්වා පෙදෙස.. තලාහේන බත්තරමුල්ල උනත් කමක් නෑ.. ලෝ ලෙවල් එක ආශ්‍රිතව උනත් කමක් නෑ...

      Delete
    2. හරි අක්කේ.. පෝස්ටුව දැක්කගමන් හොයන්න පටන්ගත්තා.. ඒ වගේ තැනක් ලැබුන ගමන් ඔයාට පනිවිඩේ දෙනම්..

      Delete
  2. අක්කේ මට මේ අම්මා ඉන්න ප්‍රදේශය කියන්න පුලුවන්ද?? එතකොට තවත් ලේසි..

    ReplyDelete
  3. ඒ අයට උදව් කරන්න පුළුවන් විදියක් අනිවාර්‍යයින්ම ලැබේවි අක්කේ... එහෙම අවස්ථාවකදි ඒ අය ගොඩක් අසරණ වෙනවා.. ඉතින් ඒ අයට සරණක් වෙන්න වෙර දරන ඔබට බොහොම පින්!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නංගී ගොඩක් අයට මේ අසරණ කම තේරෙන්නෙ නෑ...

      Delete
  4. මේ එක කතාවක්... තවත් මේ වගේ කතා කොච්චර ඇද්ද.. මම කනගාටු වෙනවා ලංකාවේ ඉන්න බැරි වුන එක ගැන... ඒත් රාගම පුනුරැත්තාපන රෝහලේ ඉන්න මගේ හොදම යාළුවා නිසා මට ළමයින්ට උදව් කරන්න ලැබිලා තියෙනවා ඒ පලවෙනි අවස්තාව මේ ලින්ක් https://shanu1987.blogspot.it/2015/10/73.html?m=1 එකෙන් බලන්න අක්කා.. ඔය දරැවට ඉක්මනින් ඒ අම්මා බලාපොරෙත්තු වන තැනක් ලැබෙන්න කියලා පතනවා!

    ReplyDelete
    Replies
    1. ඒකනම් හරිම හොඳ දෙයක් නංගී... ලංකාවේ ඉන්න අයට වඩා ලංකාවෙන් පිට ඉන්න ඔයාලා මේ දේවල් ගැන සංවේදී වැඩි කියලයි මට හිතෙන්නේ... ඒකනේ පුළුවන් හැම විටම උදව් උපකාර කරන්නේ, මේ අම්මා අපෙන් කිසිම වෙනත් උදව්වක් ඉල්ලුවේ නෑ... පාසැලක් සොයා දෙන්න කියා පමණයි ඉල්ලුවේ.

      Delete
  5. ඉස්කෝලයක් හොයන වැඩේට මහන්සි වෙලා උදවු කරන්න නම් මට අමාරුයි. ඊට පස්සේ ඉස්කෝලේ යන්න අවශ්‍ය දේකදි නම් මට උදව් කරන්න පුළුවනි.

    ඉක්මනට ඒ දරුවට ඉස්කෝලයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලී... එයා බොහෝම දිරිය ඇති අම්මෙක්. කොච්චර දරිද්‍රතාවයෙන් පෙළුනත් කිසිම වාණිජ උදව්වක් ඉල්ලුවේ නෑ, සාමන්‍යයෙන් කෙනෙක් බලන්නේ එහෙම උදව්වෙන්න පිරිස ඉන්නවනම් වැඩිපුර උදව් ඉල්ලන්නනේ...මේ අම්මා අපෙන් කිසිම වෙනත් උදව්වක් ඉල්ලුවේ නෑ... පාසැලක් සොයා දෙන්න කියා පමණයි ඉල්ලුවේ.

      Delete
  6. ඔයා දන්නවද ඔයා මාව වෙනස් කළා නංගි එක්තරා විදිහකට. මතකද මන්දා. දැන් මම කට හරි උදව් කරද්දී ඔයාව මතක් කරනවා.
    උදව් අවශ්‍ය අය දුර බැහැර නොව අපේ ලඟම ඉන්නට හැකි. ඉතා පොහොසත් සිංගප්පූරුවේ දුම්රිය නැවතුමක් ළඟ සිංදු කියන ටිෂු විකුණන මිනිස්සු දැක්කම මට ඔයාව මතක් වෙනවා.
    පෙරේදා මම මේ කිව වගේ අම්මා කෙනක් දැක්ක. කුලී රථ නැවතුමේ.අවුරුදු දාසයක පමණ පිරිමි ළමයෙක් එක්ක. ළමයා එක පාරටම බය වෙලා . අම්මගේ ඇඳුම් ඉරෙන තරමට අල්ලාගෙන කකුල් වලින් අම්මව හිර කරගෙන.මේ රටේ මිනිස්සු මැෂින් වගේ කියල හුඟක් අය කිව්වට එතන හිටිය හුඟ දෙනෙක් අම්මට උදව් කළා. අර ළමයා සන්සුන් වෙනකම්.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ මතකයි... ඒක නම් අද අහන්න ලැබුනු හොඳම හොඳ දෙය ! you made my day ! ඒ එක්කම අනේ අර දරුවා වගේ දරුවන් එක්ක බොහොම උපේක්ෂාවෙන් බලා කියා ගන්නා මව්වරු තමා බෝසත්වරු මට හිතෙන්නේ. ඔහොම සින්ඩ්‍රෝමික ළමයි බොහෝමයක් අපේ ක්ලිනික් එනවා. මට ඔවුන් ගැන විශාල භක්තියක් ඇත්තේ. හිනා මූණෙන්ම ඉන්නේ... එහෙම නැති ළමයින්ගේ අම්මලා නම් අපොයි මැසිවිලි, බැනිලි දරුවන්ට රැවිලි ගෙරවිලි, ඉවරයක් නෑ.

      Delete
  7. //තමන්ගේ දරුවාගේ රෝග නිධාන සහිත කාඩ් තූන්ඩු පරිස්සම් කරගෙන ඉන්නේ එහෙමත් කෙනෙක්. /

    ඇයි අපි ඒම නැහැ කියලද කියන්නෙ? විජ්ජාභූෂණ ලොක්කා දීපු පලවෙනි තුන්ඩුවේ, ස්කෑන් එකේ ඉදලම අද වෙනකල් හැම ප්‍රෙෂ්ක්‍රිප්ෂන් එකක්ම ෆයිල් කරල තියෙන්නෙ. ආරක්ෂාවට මෙන්ම ආසාවට ;)

    //ඔහු හුස්ම ඉහළ පහළ හෙලුවාය.// ??? ඒ අස්සෙ මූ ඇවිත් වැරදිත් හෙයනවා නේ??




    මට පොත් පත් වගේ දේවල් ගන්න උදව් කරන්න පුලුවන්, මාව බුකියෙන් දැනුවත් කරන්ටෝ !!


    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. හරි මල්ලි කියන්නම් ස්තූතී !

      Delete
  8. ලිපිය කියෙව්ව අක්කේ. මේ වගේ දේකදි උදව් කරන්න පුලුවන් මට්ටමකනං මං තාම නෑ. සමාවෙන්න. ඒ හින්ද දරුවගෙ ගැටළුවට ඉක්මනින් හොඳ විසඳුමක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව මුළු හිතින්ම.

    ReplyDelete
  9. ඒ අම්මගේ ඉවසීම නම් පුදුමාකාරයි අක්කේ අක්ක කිව්වත් වගේ, අක්කේ ඒ අම්මට බත්තරමුල්ලේ ඉන්ද්‍රජෝති විද්‍යාලයට ගොස් විමසා බලන්න පුළුවන් වෙයිද?

    ReplyDelete
    Replies
    1. හරි මල්ලී මම මේක අහන්නම් සොයා බලන්නම් ! ස්තූතියි

      Delete
  10. දුක් විඳලා විඳලා පදම් උන හෙම්බත් උන අම්මලා ඉන්නවා.ඔවුන්ගේ ජීවන අරගලයට පොඩි හරි සහයෝගයක් දෙන එක අපේ යුතුකමක්.ඇයට අවශ්‍ය සහාය ලැබෙයි කියා ප්‍රාර්තනා කරනවා.
    ජයවේවා..!!

    ReplyDelete
  11. මම නැවතිලා ඉන්න ගෙවල් කිට්ටුව අම්ම කෙනෙක් ඉන්නවා අවුරුදු 23 ක විතර මෙවැනි දුවක් රැක බලා ගන්න. එයා නම් එක ම තැන. කෑ ගහනවා ඇර වෙන කිසිම දෙයක් කරගන්න බෑ. ඒ රෝගී දරුව නිසා තාත්තත් දාල ගිහින් දැන් වෙන විවාහයක් කරගෙන. ඒ අම්ම පුදුම කැපකිරීමක් කරන්නෙ.. කිසිම ගමනක් යන්න විදියක් නැහැ. තරුණ වයසෙදිම මනුස්සයත් දාලා ගිහින්. ආර්ථික ප්‍රශ්න... මේ සියල්ලත් එක්ක ඒ අම්මා ජීවිතේට මුහුණ දෙන විදිය හිතාගන්න බැරි තරම්...

    මේ පැත්තෙන් මං දන්න කියන තැනක් නැහැ නංගි.. අහල බලන්නවත්... සහයක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  12. I can recommend Chithralane school for the special child and chithralane Resource Centre for this kid. It's a charitable foundation and they might not charge any money most probably and also helping low income families in lot of ways. you can follow this link and can find other information about it http://www.chitralane.org/Childrens-resource-centre. these are the tel no +94 112 503 906 / +94 112 582 758
    They are providing vocational training, special education and other therapy services for need.

    ReplyDelete
  13. මට මෙහෙම හිතෙනව... සාමාන්‍ය ළමයින් ඉන්න අම්මලට ඒ ළමයින්ගෙ අනාගතේ ගැන මාර බයක් තියෙන්නෙ.. සමාජයට, තත්වයට ගැලපෙන්න ඉගෙනගන්න, රස්සාවක් කරන්න, කසාදයක් බැඳගන්න... ඕවා ඉක්මණට කරගන්න අවුරුදු 2 ඉඳල මොන්ටිසෝරි යවන්න ගන්නවා... කොච්චර බලාපොරොත්තු ගොඩක්ද.. ඒත් අසාමාන්‍ය දරුවන් ඉන්න අම්මල දුක් විඳල දුක් විඳල ඒ ළමයගේ මූණෙ හිනාවක් දකින එකත් වාසනාවක් කියල හිතනව... ඇඳුමක් තනියෙන් ඇඳගන්න අවුරදු ගානක් උත්සාහ කරල ඒ දේ කළාම රටක් රාජ්ජයක් හම්බුනා වගේ සතුටු වෙනව.. මහ ලොකු බලාපොරොත්තු නෑ... පුංචි දේත් සතුටක්... ( සමහර වෙලාවට මට හිතෙනව සාපේක්ෂව ඒ ළමයි මාර වාසනාවන්තයි කියල..)

    ඔය පැත්ත ගැන එච්චර දැනුමක් නෑ... ඒත් මාත් හොයලා බලන්නම්...

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !