Wednesday, September 14, 2011

ස්ටෙත් එක අරන් රෝහලට ආ තරුණිය...

තමන් වෛද්‍යවරියක යැයි කියා ගන්නා, කොළඹ වෛද්‍ය පීඨයෙන් ඉගෙන ගත් බව කියූ ඉංග්‍රීසි හෝ සිංහල තියා වෛද්‍ය විද්‍යාවේ වචන කීපයක් හැරෙන්න මෙලෝ මගුලක් නොදන්නා තරුණියක් රෝහලට ස්ටෙතසයක් රැගෙන පැමිණ සති කිහිපයක් තිස්සේ , වෛද්‍යවරියක ලෙස රඟපෑමේ යෙදෙද්දී , වෛද්‍යවරුන් වන අපම ඇයව අල්ලා ගත් අන්දම පෙර ලිපියකින් විස්තර කළෙමි. නොකියවූ අයට ලින්ක් එක  මෙන්න !

"ඔබ වෛද්‍යවරියක් බව ඔප්පු කිරීමට හැඳුනුම්පතක් තිබේද ?" අපි ඇසුවෙමු.
එවැන්නක් නැතී බව ද ගෙදර ඇතී බවද  ඒ තබා ජාතික හැඳූනුම්පතව්වත් ඇය ළඟ නැති බව ඇය පවසයි. සියලූ කතා බහ දමිළ බසිනි.
එසේනම් අප ලොකු දොස්තර මහතා හමුවිමට අප සමග එනවාදැයි ඇගෙන් ඇසූ විට එයටද ඇය එකඟ වුනාය. ඇය ගේ මහා බර බෑග් එකත් රැගෙන අපි වෛද්‍ය අධිකාරී තුමා වෙත ගියෙමු, යන අතරතුර පහළ තට්ටුවේ පිහිටි හමුදා පිරිස් සිටි මේසය වෙතද මෙවැනි සැක කටයුතු කෙනෙක් රැගෙන අපි යන හෙයින් හදිස්සියක් වුනොතින් ඉක්මනින් පැමිණෙන ලෙස දැන්වූවෙමු.
"මේකේ බෝම්බ ද දන්නේ නෑ" අමාරුවෙන් ඇගේ බෑගය රැගෙන යමින් සිටි මගෙන් එය ඉල්ලාගත් අයියා පැවසුවේය.
කිසිදාක දැක නොමැති තරුණියක් වෛද්‍ය අධිකාරී තුමා වෙත රැගෙන යනවා මෙන්ම, ඇය පැන යා හැකි නිසා,  ඇගේ බෑගයද ඉල්ලාගෙන ඔසවාගෙන යමින් සීටී අප ගැන මට පුදුම සිතිනි. පසුගිය කාලයේ නම් මෙවැනි කෙනෙක් දුටු පමණින් කත බස් කිරීම පවා අසලටවත් නොගොස් බියෙන් තැති ගැනීමට පුරුදු වී සිටි අපටනම් දැන් එවැනි බියක් කිසි විටෙකත් නොදැනෙයි. 

ඉරිදා මධ්‍යහනද පසුවී තිබිනි, සර් එනතුරු අපට ඇය සමග රැඳෙන්නට සිදු විනි. ඒ අතර තුර අපි දිගටම ප්‍රශ්ණ කරගෙන ගියෙමු. දන්නා හඳුනන හැමටම කෝල් කරමින් , ඇය සඳහන් කළ ඇගේ නමින් මේ අවුරුදු 10 ටම එවැනි සිසුවියක් කොළඹ හෝ යාපනය විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලැබ නොමැති බව සහතික කර ගත්තෙමු. ඒ බව ඇයට කියද්දී පවා ඇය පැවසුවේ, නෑ මම කොළඹ ෆැකල්ටි එකේමයි ඉගෙන ගත්තේ.  අහවල් ඉස්පිරිතාලේ ෆ්‍රී ඉන්ටර්ස් කරනවා, ෆාමටෝලොජික් නෝට් ඉල්ල ගැනීමට මෙහි ආවේ" කියමිනි. ( ඇය සඳහන් කල ෆ්‍රී ඉන්ටර්ස් යනු සීමාවාසික පත්වීම් ලැබෙන්න කලින් වෛද්‍යවරුන් හඳුන්වන නම ය pre - intern , ඇය ෆාමටොලොජික් කියා කීවේ අප pharmacology යනුවෙන් හඳුන්වන විෂය ය. ඇය මේ වචන කොහෙන් හෝ අසා කියවනා මිස දැනගෙන කියවන්නක් නොවන බව අපට වැටහිනි )

"හරි එහෙනම් අවසාන විභාගයට කරපු විෂයන් ටික කියන්නකෝ " අපේ කෙනෙක් විමසයි.

"බයෝ කෙමිස්ටි, මයික්‍රොබයොලොජි, ෆිසියොලොජි, ෆාමටොලොජික් " ඇය පැවසීය.

අප සියල්ලන්ටම මැයනම් කොහෙන් හෝ අසා දැන ගත් දෙයක් මිස කොළඹ තියා මොනම ෆැකල්ටියකවත් ඉගෙන ගෙන නොමැති බව වැටහිනි. අවසාන වසරේදී කරනු ලබන විෂයන් ඇය සඳහන් කළ ඒවා නොවේ. ඒ සියලු විෂයන් කරන්නේ පළමු වර්ෂ දෙක තුලදීය.

හරි කොළඹ ෆැකල්ටි එකේ අසවල් විෂය උගන්වන ප්‍රොෆෙසර්ගේ නම මොකද්ද?
තව කෙනෙක් ඇසුවේය. " සුසන්තිකා " ඇය පිළිතුරු දුන්නාය.
"කවුද සුසන්තිකා..... සුසන්තිකා ජයසිංහද ? " අයියා විමසුවේය.
"ඔව් ඔව් සුසන්තිකා ජයසිංහ" ඇය යුහුසුළුව පිළිතුරු දුන්නාය. ඇයට මද අස්වැසිල්ලක් දැනුනු බව මුහුණින් පෙනිනි. ඒ ඇය කියූ දෙය හරි ගියා යැයි ඇය සිතූ නිසාය. නමුත් අප නම් සිනහ නොවී සිටියේ ඉතා වැර වෑයමිනි.
"අනේ මම ගෙදර යන්න ඕනේ මම ඇත්ත කියන්නේ. මම ඩොක්ටර් කෙනෙක් තමයි. මේ මගේ ස්ටෙප් එක"
වෙද නළාව පෙන්වමින් ස්ටෙප් එක කියද්දිනම් අපිට සිනහව වලක්වාගත නොහැකි විය.

අප අසන ප්‍රශ්ණ හමුවේ තමන්ගේ බොරු හෙළි වන බව දැනගත් ඈ අඬන්නට විය.

ඉන්පසු දිගින් දිගටම අපි ඇයට පැවසුවේ ඇය වෛද්‍යවරියක නොවන බව අපට වැටහී අවසාන බවයි. එමෙන්ම ඇය සේවය කරනවායැයි කී අදාල රෝහල් වලට දුරකථනයෙන් කතා කොට දැනගත්තේ එහෙම ප්‍රී ඉන්ටර්න් කිසීවෙක් ඒවායේ වැඩ නොකරන බවයි. මේ තැනැත්තිය ඇත්ත සඟවන බව වැටහෙද්දී අප කළේ පොලිසිය වෙත බාර දීමය. එහිදී ඇගේ සත්‍ය නම් ගම් සහ විස්තර දැන ගන්නට ලැබිනි. ඒ වගේම ලොජ් වල රිසිට් , බිල්පත් බොහෝමයක් දැකගන්නට ලැබිනි. යාපනය පුස්ථකාලයෙන් සොරකම් කරන ලද ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ මහ බරැති ඉංග්‍රීසි පොතක්ද විය. එතෙක් යන එන තැන මිනිසුන්ව මුලා කිරීමට එයද යොදාගත් බවට සැක නැත. නිරන්තරයෙන් ඇගේ දුරකතථනයට කතා කල එක අයෙක් පැවසූවේ. ඇය වෛද්‍යවරියක් බව පැවසූ බවය, ඇය බස් එකේ ගිහින් තිබුනේත් ස්ටෙතස්කෝප් එක අතේ අරගෙනය.
ඒ කතා කල පුද්ගලයා අන්තිමට විමසුවේ "ඇත්තටම එයා ඩොක්ටර් කෙනෙක්ද ?" කියායි.

වෛද්‍යවරුන්ගේ ආපන ශාලාවෙන් ආහාර ගෙන තිබුනේද ස්ටෙතස්කෝප් එකේ පිහිටෙනි. එමෙන්ම රෝහලේ ඇය සැරි සැරූ වාට්ටු ගැනද ටිකෙන් ටික රෝහල් කාර්යය මණ්ඩලයෙන් හෙළි විනි.  ඇතැම් වාට්ටුවල සිටින දොස්තරලාගේ නම් ගම් විමසා ටෙලිෆෝන් නොම්මර පවා ඇය ඉල්ලාගෙන දුරකථනයට දමාගෙන තිබුනේ , අර ස්ටෙත් එක මගින් අපේ හෙදි සොයුරියන්වත් රවට්ටමිනි.  ස්ටෙත් එකක් නොව උපාධි සහතිකය අතේ අරන් ආවත් පිට කෙනෙක්ට රෝහලේ වාට්ටුවල දොස්තරලාගෙ නම් ගම් හෝ දුරකථන නොම්මර නොදෙන ලෙස අපි ඔවුන්ව දැනුවත් කළෙමු

මට සිතෙන්නේ සමහර විටක ඇය මානසික රෝගයකින් පෙලෙන්නියක් විය හැකිය. සමහර විට අප නොදන්නා ජාවාරමක් ස්ටෙත් එකත් පොතත් සමග වෛද්‍යවරියක ලෙස සමාජයේ පෙනී සිටිමින් කලාද සැක නැත. එයින් අපේ සිත් වලටනම් අවිනිශ්චිත බවක් සහ බියක් ඇතුල් විනි. ඕනෑම රෝහලක මෙසේ විය හැකිය. මෙසේ රඟපා ඕනෑ තරම් ලෙඩුන් අසරණයින් මෙන්ම සමාජයේ ඕනෑම ක්ෂේත්‍රයක අය මුලා කල හැකි නොවේද ?

හරියට උපාධියක්වත් නැතිව බෙහෙත් කරන හොර වෛද්‍යවරුන් හෙවත් quacks ලා ඕනෑ තරම් ලංකාවේ හතර දිග් භාගයේ සිටිති.  එවන් හොරුන් ගේ බොරු වෙදකම් නිසා ලෙඩ උත්සන්න වී අන්තිමට රජයේ රෝහල් වලට ගෙනෙන රෝගීන් ගණන විශාලය.

නළාවක් අතින් ගත් පමණින් කිසිවෙක් වෛද්‍යවරයෙකු නොවන බව මහජනයා වටහා ගත යුතුය.වෙද සිසුන් නම් සුදු කෝට් එක පිටින් එහෙ මෙහෙ පාරවල් දීගෙත් යන වග අපි දැක ඇත්තෙමු. නමුත් මා දන්නා තරමින් වෛද්‍යවරුන් කිසිවෙක් ස්ටෙත් එක බෙල්ලේ එල්ලාගෙන පාරේ ගමන් කරන්නේ නැත.
එමෙන්ම අහිංසක රෝගීන් බලන්න එන සෙනගට සත්තම දාන අතරෙම රෝහලේ වැඩකරන වෛද්‍යවරුන් කවුරුන්ද ඊළඟට අමුත්තන් දුටුවොත් කරන්නේ මොනවාද යන්න ගැන සැලකිලිමත් වෙන ලෙස අපි ආරක්ෂක මහතුන්ටද හොඳ දේශනාවක් කළෙමු. පෙර කලෙක මෙවැනි සිදුවීමක් උනානම් අප සියලු දෙනා භය බිරාන්තවෙනවා නො අනුමානය.

කොහොම උනත් තවමත් අපට තිබෙන නොවිසඳුන ප්‍රශ්ණය ඇය වෙස් වලාගෙන පැමිණියේ ඇයි යන්න යි.
ඇය නිදහස් කරන්නේ නම්, මානසික රෝග ඒකකය වෙත යොමු කරන ලෙස අපි පොලිසියෙන් ඉල්ලා සිටියෙමු. මන්ද කිසිඳු චෝදනාවක් නැත්නම් ඇය කළ රඟපෑම නිසැකවම හාරා අවුස්සා සොයා බැලිය යුතුය. එය මානසික රෝගයක් විය හැකිය.

18 comments:

  1. ළමයින් හොරකම් කරන්න ආව කෙනෙක්ද? මොකක් නමුත් හොර ජාවාරමකට එන යන කෙනෙක් වෙන්න ඕන.

    ReplyDelete
  2. විනාශකාරි ක්‍රියාවකට ආවා කියලා හිතන්න අමාරුයි, මම හිතන්නෙ මානසික ප්‍රශ්ණයක්, හැබැයි මහ විනාශයක් වෙන්න නම් තිබුනා.

    මම හිතුවෙ වෛද්‍යවරු වගේ ඇඳුම් ඇඳගන වාට්ටු ඇතුලට ගිහින් ලෙඩ්ඩුන්ගෙ ඔක්සිජන් බට ගලවන්නෙ, විශ එන්නත් කරන්නෙ හින්දි චිත්‍රපටි වල විතරයි කියලා..බලන කොට ඒවා පියවි ලෝකෙත් වෙන්න පුළුවන්නෙ.......

    ReplyDelete
  3. නලිනි - ඔව් අක්කේ මේකේ අගක් මුලක් හොයාගත්තු ගමන් විස්තර ලියන්නම්. මොකක් හර්‍රි ජාවාරමක් තමයි. මාස 2 තිස්සේ ගැවසිලා තියෙනවා වගෙයි.
    ලකී - ඇත්තටම අපිටත් ඇතිවෙච්ච බය ඒකම තමයි අපේ වාට්ටුවලට ගිහින් උනත් ලෙඩෙක් බලනවා වගේ ඕනෙ දෙයක් කරන්න පුළුවන්නේ.

    ReplyDelete
  4. ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක මිනිස් අවයව වෙලඳාමක් ගැන කාලයක් අහන්න ලැබුනා. . ..

    උපන් ගමන් දරුවෝ ජාවරම් කරන අය ගැන අහන්න ලැබුනා. . .

    මේ වගේ වෙද නලාවක් අතේ තියාගෙන කෙනෙක්ට ජාතික රෝහලක නිදහසේ වසර දෙකක් විතර කාලයක් ගැවසෙන්න පුලුවන් කම තිබ්බා නම් ඒ කතා හුදු කටකතා පමනක්ම නොවේදෝ කියලා හිතෙනවා . . .

    ස්තූතියි ලිපියට . . .

    රෝහලක රෝගියෙක් ලෙස නේවාසිකව ඉන්නකොට විතරක් නෙමෙයි පොඩි ලෙඩකට බෙහෙතක් ගන්න ගියත් පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න එක හොඳයි කියලා හිතුනා

    ReplyDelete
  5. හැබැයි ඒ තරම් ලොකු විනාශයක් කරන්න පුලුවන් විදිහෙ කෙනෙක් නෙවේ වගේ , මානසික රෝගියෙක් කියලයි හිතෙන්නෙ....... , අපරාදයක් කරන කෙනෙක් ඔයිට වඩා පරිස්සම්.

    ReplyDelete
  6. මටත් හිතෙන්නෙ එයා මානසික රෝගියෙක් කියල,දොස්තර කෙනෙක් වෙන්න ආසාවෙන් ඉදලා ඒ අවස්ථාව මග හැරීම නිසා මෙහෙම උනා වෙන්න බැරිද?හොර වැඩක්,අපරාධයක් කරන්න ආවානම් මේට වඩා සුදානම් වෙලානේ එන්නෙ.

    කෝකටත් ඔයාල කරපු වැඩේ හරි.නැත්තම් මොනවයින් මොනව වෙයිද දන්නෙනෑ.බය හිතුනේ නැද්ද අර මල්ල අරන් යන්න.බැරිවෙලාවත් බෝම්බයක් වත් තිබුනොත් කියල.:)

    ReplyDelete
  7. කරපු වෑඩේ නම් හරියට හරි,නමුත් පොලිසිය විසින් හරියටම මේ පුද්ගලයා පෑමිනියේ කුම දෙයක් සදහාදයි පරීක්ශන මගින් නිරාවරනය කරගත යුතුයි මොකද ඇ එම අවස්තාවේ හෑසිරුනු අයුරු අනුව අපට මානසික රෝගියෙක් කියලා පෙර නිගමනයකට එන්න අමාරුයි,
    වර්තමාන සමාජයේ වෙන දේවල් බෑලුවාම අපි එහෙම නිගමනයකට එනවා නම් අපරාදකාරයින්ට පෑන යන්න හොද හිඩසක් ඒක.....

    ReplyDelete
  8. moral of the story :

    නලාවක් අතේ තිබුන පලියට ඒ දොස්තරයෙක් හෝ නයි නටවන්නෙක් නොවේ.

    ReplyDelete
  9. මටත් හිතෙන්නෙ මෙයා මානසික අභාධයකින් පෙලෙන කෙනෙක් කියලා.
    වෛද්‍යවරියක් වීමේ අශාවකින් පෙළුනු කෙනෙක් වෙන්නැති..

    ReplyDelete
  10. මොනව හරි මගඩියකට ආපු කෙනෙක් වෙන්න ඇති..අපෙ ඔෆිස් එකෙත් ඔහොම ලොක්කෙක්ගෙ රියදුරෙක් කියල එකෙක් අපේ සෙක්ශන් එකේ රවුන් ගහන්න ආවා..අපි ඇත්තටම ඒ ලොක්කව අඳුරන නිසා හම්බ වෙච්ච වෙලාවක ඇහුවා..එහෙම මනුස්සෙක් ගැන එයා දන්නෙවත් නැහැ.බැලින්නම් මානසික රෝගියෙක් එක පැත්තකින්..පොලිසියට අල්ලල දුන්න..

    ReplyDelete
  11. ලංකාවේ psychopaths ලා ගැන මොනවා ද කරන්නෙ? මම ඒ ගැන ලියන්න අදහසින් ඉන්නවා. තාම ඉඩක් ලැබුනෙ නැහැ.

    ReplyDelete
  12. මෙය බොහෝ දුරට මානසික රෝගී තත්වයක් නිසා ඇති වූ බව සිතිය හැක.
    නීති විරෝදී ක්‍රියා වලට එන පුද්ගලයන් තම වැඩේ කර ගන්නේ නැතුව නිකන් මස දෙකක් බල සිටියා යයි සිතිය නොහැක.
    ලංකාවේ psychopaths ලා ගැන ලිපියක් දොස්තර රුවන් ජයතුංග මහතා විසින් LANKAWEB අඩවියේ පල කර තිබුනා මතකය.

    ReplyDelete
  13. පව්..පොඩි කාලේ ඉදන්ම වෛද්‍යවරියක් වෙන්න කැමැත්තෙන් ඉදලා ඒක ඉටු නොවුන නිසා සිදුවුනු මානසික ගැටලුවක්ද දන්නෙ නෑ...ඒත් අනික් අයගෙ විස්තර එකතුකිරීම වැනි දේවල් නිසා මෙයා ආවෙ කාටහරි අනතුරක් කරන්නද දන්නෑ...

    ReplyDelete
  14. අපේ ඉස්පිරිතාලේ ළඟ ඉන්නවා හොර වෙදෙක්. සාමාන්‍යයෙන් ඕනම ලෙඩකට බෙහෙත් ජාති 9 ක් දෙනවා. ශුවර් ශොට් එකනෙ. මිනිස්සු යනවා පෝලීමේ. තනියම ගිහින් මැරෙනවනම් බැරිය. පොඩි එවුනුත් අරන් යන්නේ.

    ReplyDelete
  15. බය හිතෙනවනේ :O

    ReplyDelete
  16. මට හිතෙන්නේ ඩොක්ටර් කෙනෙක් වෙන්න හිතාගෙන සෑහෙන මහන්සිවෙලා එය ලබාගන්න නොහැකි විමෙන් බලාපොරොත්තු සුන්වෙලා අනතුරුව ඇතිවෙච්චි මානසික රොගී තත්වයකින් පෙළෙන්නියක් කියලයි. එයා දැනුත් හිතන් ඉන්නෙ තමා දොස්තර කෙනෙක් කියල නෙ. බාගවෙලාවට එයගේ හීනෙ තිබුනෙත් එවගේ ස්ටෙත් එකක් කරේ දාගෙන රෝහලේ යන්න වෙන්න ඇති. අනුකම්පාත් හිතෙනව එහෙම හිතනකොට..

    ReplyDelete
  17. හේතුව කුමක් වුවත් ඈ ගැන සොයා බැලිය යුතුමයි

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !