Thursday, June 15, 2017

කටකාරිලා දෙන්නයි බොහොම සොඳුරු හෝරා කිහිපයයි !

අද මට හරිම කටකාර දැරියක් මුණ ගැහුනා... ඒ ගැන ලියූ සටහනත් එකතුකරන්න හිතුවා.

Met the most talkative 7 year old today who made me speechless...

මොකද්ද ඩොක්ටර් මගෙ බඩ රිදෙනවා
ලේ එකක්වත් බලන්නකෝ
ස්කෑන් එකත් නෝමල් ලු, අරයගෙත් නෝමල්ලු, මම හිතන්නෙ මැශින් එක කැඩිලද කොහෙද...

මම : ඇයි ඒ ?

"ඉතින් මගෙ බඩ තාම රිදෙනවනේ මැශිම හොඳනම් ලෙඩේ පේනවනේ...

ආයෙ ටිකකින්
" මේ ඔයාට ඔය බටේ දිගේ ලෙඩ ඇහෙනවද ?"

"නෑ පුතේ සද්ද ඇහෙනවා"

" අම්මෝ මම හිතන ඒවත් ඇහෙනවා ඇති" තමන්ටම කියා ගනී...

මට නම් හිතෙන් හොඳටම හිනා...
"අම්මෙ මම ඩොක්ටර් කෙනෙක් වෙනවා, එතකොට මටත් අහන්න පුළුවන් බටෙන් "  ඇය ජයග්‍රාහී හිනාවක් ඇතිව අම්මාට කියයි.
"ඇත්තටම බඩ රිදෙනවා හොඳේ මම රඟපාලා තෑගි ගන්නද ? ඔයාලා මට සල්ලි දෙනවද මෙහෙමෙම රිදෙනවා කිව්වම නෑනේ ... ඉතින් මං ඇත්තම ඇත්ත කියන්නෙ ඩොක්ටර් ඇන්ටි."
"මේ මං මේ බෙහෙතත් බිව්වා කලින් අර අතන ඩොක්ටර් ඩ--න් පෙතිත් දුන්නා ඒත් හරිගියෙ නෑමයි"
මොකද අනේ රිදෙනවා කීවම බඩම ඔබන්නේ ... එබුවම රිදෙනව කියලවත් දන්නැද්ද
දැන් ඔයා මේ බඩ ඔබන තුන් වෙනිඩොක්ටර් මේක නවතින්නෙ කවද්ද ... කිව්ව ගමන් ඔක්කොමලා කරන්නේ බඩ ඔබන එක"

ඔහොම කතා ගොන්නකින් පස්සෙ
මම වෝඩ් රවුන්ඩ් ඉවර වෙලා මේ පැංචි එහෙ මෙහෙ යද්දි අඬගහලා නලාව දාලා දුන්නා කන් දෙකට....
හාට් එකේ සද්දෙ අහන්න දුන්නා එයාගෙම. බඩරිදෙන නිසා බඩේ සද්දෙ අහන්න දුන්නා... ෂූ ෂූ ගානවා කියලා හරි සතුටක් ලැබුනා ඒ කෙල්ලට. බඩ ඇතුලේ මුහුදක් ඇතිය කියලා මිස්ලා හිනා වුනා. ඔන්න මම රවුන්ඩ් ඉවර වෙලා යනකොට මේ කෙල්ල අල්ලපු ඇඳන් වලටත් කියවලා ... මට ඇහෙනවා

" ඒ ඩොක්ටර් ඇන්ටී විතරයි මට නළාව දුන්නේ සද්ද අහන්න ...බඩ ඇතුලෙ හෝ ගානා පොකුණ වගේ" ඒ අස්සේ මට කෑ ගහනවා "ඩොක්ටර් ඇන්ටි තැන්ක් යූ, ගුඩ් නයිට් " කියලා .
හැබැයි ඇත්තම කථාව ඒ කෙල්ලගේ උත්තර වලට මම නිරුත්තර වුනු වාර අනන්තයි.
......................................................

 සැබෑ ආදරය ගැනත් යමක් ලියන්නයි කියා හිතුනා... ඒත් අපි දකින හැම තැනම බොරුවම තියෙන නිසා ඔය වචනෙත් නිකම් බොරුවක්ම කියලයි හිතුනේ...

ආදරය කියන්නේ මොන වගේ දෙයක්දැයි නොදැන ආදරය අපි නොයෙක් හැඩහුරුකම් වලින් සොයනවා. ඇහෙන් අල්ලාගන්නා දේට ආදරේ කරනවා. නෙත පිනවන හිත සනසන දේ තුලින් ආදරේ සොයනවා. ඒත් දෙනෙත් නැති හිත් වල පූදින ආදරය හුදෙක් වෙනත් මානයක් කරා මාව ගෙන යනවා.

කසුන් - සත්‍යා ...ජීවිතයේ බාධක වැටකඩොළු වලට අභියෝග කළ අපේ ආදරණීය බ්ලොග් රචක රචිකා යුවලගේ මංගල උත්සවයට ආරාධනා ලැබුනම ... මොන කරදර මැද්දේ හෝ යනවා මයි කියා හිතුවේ...උන් දෙන්නා ඒ තරම් මට ලෙංගතු නිසා මයි.... කොහේ දී කටහඬ ඇහුනත් "බෝධිනි අක්කා" අනිත් කොන.. කියමින් අතින් අල්ලා ගන්නා ඒ ලෙංගතු කමට...

ආදරයේ හැඩ තල නොයෙක් අයුරින් මම දුටුවා...ඒ හැම විටම මම එහි භෞතිකමය හැඩය මිසක් අධ්‍යාත්මික හැඩයක් දුටුවේ නෑ. තමන්ට ඕනෑ ලෙස වෙනස් කරගන්න මිසක් තියෙන ඒ හැඩ තල වලට ආදරය කරන්න කිසිවෙක් පෙළඹුනේ නෑ. එහෙම ලෝකයක දැන උගත් නමුත් "කේන්දර අවුල්" නිසා හැර යන මිනිසුන් මෙන් ම.... දුෂ්කර කාලයේදී හැරයන මිනිසුන්ද .... බොහෝ අකටයුතුකම් කර හැර යන මිනිසුන්ද ....
අනුන්ගේ දුකක්  කඳුළක් වෙහෙසක් නොදැනෙන මිනිසුන්ද දැක ඇත්තෙමි. 

එහෙව් ලොවක,
ඔවුන් සොඳුරු ලෙස ලෝකය විඳින අයුරු මා හදවතින්ම වින්දා
මගේ ඇස් වලින් දැක්කා...
මගේ හදවත පතුලේ මහා ලොකු බරක් අත හැර
ජීවිතේ අත් නොහැර ඉන්නට
ජීවිතේ වටිනාකම මට පසක් කළ...
ඒ මොහොත මට වටිනවා මහ මෙරක් තරම්
කටකාරි නගා ඇතුළු සියළු දෙනා හමුවූ ඒ දිනය හරි සොඳුරුයි...

Wednesday, June 7, 2017

හද සසල කළ ඒ තැන !

"අම්මා බබාගේ හර්ද ස්පන්දන වේගෙ අඩු වෙනවා , ඒ එක්කම මේ ඇතුලේ වතුර පාට හරි නෑ බබාට ඇතුලෙම කක්කා ගිහින් වගේ. ඔයාගේ ගැබ් ගෙලේ ප්‍රමාණය බබාට එන්න තරම් ලොකු වෙලා තුනී වෙලා නෑ. එනිසා අපි සීසර් කරනවා" අම්මාට එහෙම පැහැදිලි කර දුන්නා. ඒ අම්මා ඒ වෙනකොටත් හිටියේ ප්‍රසව වේදනාවෙන් බොහෝ වෙලා තිස්සේ ප්‍රසූතිකාගාරයේ.

"අනේ ඩොක්ටර් , ...මගෙ මහත්තයා කැමති නෑ සීසර් කරනවට, අනේ එයාගෙන් අහන්න ඩොක්ටර් එළියේ ඇති... " අඩු වෙන පොඩි හදවතක කම්පනය හමුවේ කිසිම අම්මා කෙනෙක් එහෙම දෙයක් කියන්නේ නෑ... අපිට කොහොම හරි ළමයා බේරන්න කියනවා මිසක. අනික සමහරු වේදනාවට කෑ ගහන්නේ, " ඩොක්ටර් සීසර් කරන්න සීසර් කරන්න " කියලා
ඒ එක්කෙනෙකුටවත් සීසර් කරාට පස්සෙ , සාමාන්‍ය ප්‍රසූතියකට වඩා වැඩි කාලයක් විඳවන්න වෙන බව මතක් වෙන්නේ නෑ.
 මේ අම්මා එහෙම කිව්වාම මම හෙදිය දිහා බැලුවා.... ඒ ඇගේ තුන්වෙනි හෝ හතරවෙනි දරු උපත.
"එහෙම කියනවා සමහරු ඩොක්ටර් එයාලගේ ආගමේ ප්‍රශ්නයක් ඒක "
ඊළඟට ඒ තාත්තාගෙන් ලැබී තිබුනේ ඔහුත් ආගමේ නියමයන්ට පටහැනි දෙයක් නොකරන බව ය. සීසර් කරන්න නම් එපා !ඔහු කීවාලු.

"මවගේ හෝ දරුවගේ ජීවිතයට හානි වුනත් සීසර් කරනවට අකමැතියි ! කියලා එක්තරා ආගමක ඒ තාත්තා   BHT එකේ පවා ලියලා අත්සන් කළා.
 මට මතක් වුනා, ලේ ගන්න බෑ ආගමට පටහැනී කියලා, අඩු හිමෝග්ලොබින් අගයක් සහිතව උනත් මැරුණත් කමක් නෑ කියලා බලෙන් ටිකට් කපාගෙන ගිය අම්මා ! අපේ විශේෂඥ වෛද්‍යවරයෙක් කීවා එහෙම ආගමක් නිසා ඔවුන්ට මවක් මැරෙන්න ඉඩ දෙන්න වුනා කියලා එංගලන්තෙදි.... ඒ ආගමේ නීති එහෙමලු.

 අම්මා ලේබර් රූම් හිටියේ ගැබ් ගෙල විශාල වීම බබාට එන්න ප්‍රමාණවත් නෑ බබාගේ හාට් බීට් එක අඩු වෙමින් තිබුනේ... ඩොප්ලර් එකෙන් අම්මටත් ඇහුනා ඒක.

මම ඇවිත් කීවා අම්මට " මෙහෙම වුනොත් ඔයාට බබා නැතිවෙන්න යන්නේ කියලා.  අපි දැනන් හිටියා මවගේ හෝ දරුවාගේ ජීවිතයට හානි වෙනවානම් අපිට සීසර් හෝ මොන ක්‍රමයකින් හරි ජීවිත බේරන්න පුළුවන් ලෙස මනුස්ස නීතිය වඩා බලවත් බව.
නමුත් ඒ අම්මා එකපාරම කීවා" මට දරුවා ඕනේ... ඩොක්ටර් කමක් නෑ සීසර් කරන්න මම අත්සන් කරනවා" කියලා, අර තාත්තා අත්සන් කරපු තැනට පහළින් අම්මා අත්සන් කළා !
 ඒ පාර සීසර් කලා. බබා ඉක්මනින් ප්‍රකෘති වුනා. වාසනාවකට ඒ බබාගේ නම් මෙකෝනියම් මිශ්‍රවුනු තරල වලින් ඇතිවන සංකූලතා තිබුනේ නෑ.
දරුවා පරීක්ෂා කරද්දී එයා මගේ ග්ලවුස් දැමූ අත අල්ලා ගත්තා හරි හයියෙන්... තැන්ක් යූ කියනවා වගේ මට හිතුනා ( සමහර වෙලාවට බොළඳ දේවල් හිතෙනවා). මම මේ කතාව නොලීවට ඒ අත් දෙකේ  ෆොටෝ එක මුහුණු පොතේ දැම්මා. " strong grip... tried to hold on but I have to let go" කියලා. (photo credit goes to a nursing officer)

  අලුත් බබා එක්ක මමයි මිඩ් වයිෆ් මිසුයි අම්මා ළඟට ගියාම අම්මා කීවා " දෙවියන්ට ස්තූති වේවා " කියලා...
මම මද සිනහවෙන් හිටියා.. ඇය දකින දෙවියන් සහ අපි දකින කර්මය  කියන මේ හැම වචනයක් අවසානයේ මම දකින්නේ මනුස්සකම නිසා....

ඒ බබාගේ අම්මා සමහර විට කවදාවත් කියන එකක් නෑ... එයාගේ ජීවිතේ බේරුවේ ඇයයි කියලා. එහෙම නැත්නම් අපි වෙන්නත් ඉඩ තිබ්බා. එහෙම වුනානම් ගොඩක් ඉදිරි ප්‍රශ්න අපිට එන්න තිබ්බා. හැබැයි ඒ තාත්තාව නම් ඒ වාට්ටුවේ වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරයා එහෙම අමතලා තිබ්බා. ඔහු ඒ ප්‍රශ්නෙ එතනින් එහාට ගෙනිච්චේ නෑ. 

Friday, June 2, 2017

ගං වතුර ගඟේ වතුරම නොවේ ! ඇස් උඩ තියන් අපේ දෙසුම් ඇසූ මිනිසුන්

කුඩා කාලයේ නම් මට මතක ගංවතුරකට තිබුනේ අපි දහයේ හෝ නමයේ ඉඳෙද්දී මුළු කොළඹම යට වුන ගංවතුර... අඩි කිහිපයක් පමණයි එහිදිත් යට වුනේ. අගනුවර මහල් නිවාසෙක සිටි අපට නම් කිසි බලපෑමක් වුනේ නෑ එනමුත් පහළ තට්ටුවල අයට නම් වතුර ගෙවල් තුලට දමා තිබුනා.
ඒ වතුරේ උනත් දියබුං ගැහිලි, ඇවිදිලි එහෙම කරන්න ලැබුනේ නෑ. මොකද ඒ වෙනකොටත් අපි තේරුම් ගත්තා, එහි භයානක කම. අසල ගලා බසින කුණු ඇලේ කැත කුණු පවා මේ වතුරට මිශ්‍රවී ඇතැයි කියමින් අම්මා අපව බිය වැද්දූ හැටි මතකයි.
"නින්ද යන්න බෙහෙතක් දෙන්න බැරිද ඩොක්ටර්..." මවක් මගෙන් අසද්දී මට හිතුනේ මේ ගලාගෙන ආ වතුරට ඇගේ හිත ගත පෑරිලා කියලයි,
"ඒ මොකෝ අම්මා" මම වික්ෂිප්ත වී ඇසුවෙමි.
"මට නෙමේ මෙයාලට" ඇය හිසින් තම පිරිමි දරුවන් දෙදෙනා පෙන්වමින් කියන්නට විය 
"බේර ගන්න බෑ ඩොක්ටර් වතුරෙමයි. කොහොම හරි පනිනවා." ඇය පැවසූ කතාව මට කිහිප දෙනෙක්ම පැවසීය.
මේ දෙවැනි සායනය විය. මෙහි පැමිණ ඉඳගත් විගස මා දුටුවේ... චුරු චුරු වැහි බීරම තිබුනත් පාරේ උඩුකය වැසෙන්නට ඇඳුමක් පවා නොඇඳි කකුල් දෙක හොඳටෝම තෙතබරිත වූ පොඩ්ඩෙකි. 
"මොකෝ මේ මෙහෙ එන්න" ඔහු අඬ ගා ගතිමි.
" කෝ ඇඳුම්. මොකද මේ ෂර්ට් එකක් නැත්තේ. සීතලයි නේද ?"
අන්තිම සායනය පැවැත්වූ තැන
ජායාරූපය මා විසින් ගත් එකකි. 
"ගෙදර යටවෙලා. ඇඳුම් ගෙදර" ඔහු එහෙන් මෙහෙන් උත්තර දී ඉස්සෙකු මෙන් පනින්නට සූදානම් වේ. එහෙ මෙහෙ බලන සැනින් අතුරුදන් වී සිටියේය.
නැවත අහම්බෙන් පාර දෙසින් දුටු විට අඬගා ගත්තෙමි.
"කෝ අම්මාට එන්න කියන්න." 
"අම්මා... උඩහ ගෙදරක" කියාගෙන ඔහු යළි දිව ගියේය. 
"එහෙනම් ඇඳුමක් කොහෙන් හරි හොයාගෙන ඇඳගන්න ඕනේ නැත්නම් අපි හොයලා දෙමු" එතන සිටි, බෙහෙත් සහ සියළු අත්‍යාවශ්‍ය දෑ සපයමින් වෛද්‍ය කඳවුරු සංවිධානය කළ තිලිණ හිරිපිටිය, සුනෙත් සංජීව, මංජුල සමරසේකර මල්ලිලාට කීවෙමි. 

ගංවතුර සමග හිස ඔසවන රෝගාබාධ ගැන මම විශාල විස්තරයක් ලීවෙමි. ඒ ගිය අවුරුද්දේ ලියූ ලිපියට තවත් දෑ එකතු කරමිනි. දිනමිණ පුවත් පතේ මෙන්න මෙදින ද, roar.lk හි එහි ඉංග්‍රීසි කරුණු දැක්වීමෙහි ලිපියට උපුටාගැනීමක් ද, බොහෝ සෙයින් මුහුණු පොත හරහා බෙදා ගැනීමක්ද දකින්නට ලැබිණි.
එනමුත් මෙවැනි ගම්මාන වල මිනිසුන් තවම විශාල වශයෙන් මේ වතුරෙන් ප්‍රවේසම් වීම ගැන දක්වන ආකල්පය අඩුය. 

දරුවන් ගං වතුරේ දියබුං ගසද්දී, හුදු විනෝදයක් සේ සලකන පිරිසක්ද වේ. 
ගිය අවුරුද්දේ ක්ල්නික් කරන්න ගොස් බෝට්ටු වලින් ගොස් ගොඩ බැස්සේ වතුරට ය. අපට ද මී උණට ගන්නා බෙහෙත් නොගත්ත බව මතක් වුනේ රෑ බෝ වී සායන ඉවර කරද්දී ය. 
ඉතින් සාමාන්‍ය මිනිසුන්ට ඒ ගැන අවබෝදයක් කොයින්ද?

සුළු කාලයක් වතුරේ බැස සිටි අපේ කකුල් ද කසන්නට විය. 
පොදුවේ එවැනි දද කුෂ්ඨ බිබිලි බහුලව දකින්නට ලැබිනි. සමහර පැරණි තුවාල පෑරී ඕජස් ගලමින් තිබිනි, ඉතින් අපට තුවාල පිරිසිඳු කරන ස්ථානයක් ද පවත්වන්නට සිදු විය. කකුලක් කපන ලද දියවැඩියා රෝගියෙක් ගේ නිවසටම ගිය හිතවත් වෛද්‍ය තරිඳු, තුවාලයේ වැසුම් ගලවා එය පරීක්ෂා කර බලා බෙහෙත් දමා වෙළුම්පටි වලින් වෙලන ලද්දේ එහි තත්වය හොඳ නැති බවත් වහා රෝහල්ගත විය යුතු බවත් කියමිනි. එයින් ශ්‍රාවය වුනු සැරව ප්‍රමාණය දුටු අපටද වැටහුනේ රෝහල් ගත වීම වඩාත් උචිත බවය.

හමේ රෝග පැතිරේ -
  මේ සායන දෙකේදීම අපට බහුලව දකින්න ලැබුනේ හමේ ආසාදන තත්වයන් ය. එය අර විෂ වතුර ට බැසීම නිසා ය. වැඩිහිටියන්ට වතුරට බහිනවා ඇරෙන්න විකල්පයක් නොමැත. ඔවුන් බඩු මුට්ටු රැගෙන දුවා දරුවන් රැකගෙන පැමිණියේද කරවටක් වතුරේ ගිලෙමිනි. 

ඉතින් වෛද්‍යවරුන් ලෙස සහභාගි වූ මම ද, වෛද්‍ය තරිඳු, වෛද්‍ය අමිල, වෛද්‍ය වාසනා යන මේ සියළු දෙනා අඩුවක් නොමැතිව, ගංවතුර සහ ඒ ආශ්‍රිත රෝග ගැන අවට සිටියවුන් සහ පැමිණි අය දැනුවත් කළා.

ඔය එන වතුරේ එන්නේ, හුදෙක් ගං දිය පමණක් නොවේ. රසායන පොහොර යෙදූ කුඹුරු වගා බිම් සෝදාගෙන ඒවාද, වැසිකිළි වල වල් අසූචි මළ මූත්‍ර සෝදාගෙන ඒවාද, ගව ඌරු කුකුල් ගොවිපලවල නම් ඒ සතුන්ගේ මළ මූත්‍රා ද, මඩ කාණු කුණු එක් රැස් වීම් වැනිදෑ ද අඩු නැතිව එයට එකතු වී තිබේ. ‍

"ඉතින් අපි ඒ වතුර බීවේ නෑ.." පණ්ඩිත පැංචෙක් පවසයි.

"වතුර පෙවෙන්නම ඕනෙ නෑ, වතුරේ ඉන්න ඇහැටවත් නොපෙනෙන බැක්ටීරියා, දිලීර, පණුවෝ එහෙම හමේ කුඩා සිදුරු මගින් ඇඟට ඇතුල් වෙනවා. ආ තව ඔයාලගේ තියෙනවනේ තුවාල ඔය කකුල් අත පයේ ඒවයෙනුත් ඔවුන් ඇඟට ඇතුල් වෙනවා. " කියද්දී නම් කිහිප දෙනෙක් නැමී තමන්ගේ තුවාල පරීක්ෂා කරනු දුටුවා.

"දැක්කද? ඇහුනද ? " කියමින් අම්මලා, තම කියන දේ නාහන කොළු පැටවුන්ට ඇඟිල්ලෙන් අනිමින් තරවටු කරන අයුරුත් දුටුවා. 

වතුරේ  ඇවිදිද්දි, උල් කටු ඇන, වීදුරු ඇනිච්ච පිරිස් ද හිටියා. වැඩිහිටියන්නම් ටෙටනස් ප්‍රතිවිෂ එන්නත විදගෙන තිබුනේවත් නෑ. ඔවුන්ටද එහි වැදගත් කම පැහැදිලි කර, වහාම ළඟම රෝහලට යන්නට උපදෙස් දුන්නේ අප ළඟ එන්නත් නොතිබුණු නිසාමයි.

හමේ ආසාදන සඳහා ගිය අවුරුද්දේ ගංවතුර කාලේ ලැබූ අත් දැකීම් සමග, අප දුටුවා, බැක්ටීරියා නාශක anti bacterial,  දිලීර නාශක anti fungal and , අසාත්මිකතා නසන anti allergic යන මේ ක්‍රියා තුනම සම්පූර්ණ වන ගුණ ඇති ක්‍රීම් වර්ග ඉක්මන් ප්‍රතිඵල ලබා දෙන බව. ඉතින් එවැනි ක්‍රීම් වර්ග ගෙන එන්නට තිලිණ සහ සුනෙත් මල්ලිලා යුහුසුළු වුනා. ඇතැම් තුවාල සඳහා බැක්ටීරියා නාශක පමණක් දෙන්න වුනේ ඒවායේ තත්වය ගැන සැලකිල්ලට ගනිමින්.
එමෙන්ම අසාත්මිකතා අඩු කරන, විවිධ ආලේපන වර්ග ද අපට ඔවුන් ලබා දුන්නා ( acqous cream , calamine lotion)  
බොහෝ සෙයින් උගුර නාසය ආශ්‍රිත සෙම් රෝග පැතිරීමක් දකින්න ලැබුනා. උණ තත්වය ඇති කුඩා දරුවන්ට පැරසිටමෝල් පොවා තිබුනේ අතේ මිම්මට උණ බලමිනි. 
උණ කටුවකින් උණ බැලීමේ වැදගත්කම කියා දෙමින් නියමිත මාත්‍රාව ගන්නා හැටි කියා දෙමින් ඔවුන් දැනුවත් කරද්දී අප වෙත උණ කටු කිහිපයක් රැගෙන අර මල්ලිලා නැවත පැමිණියා. උණ බලන රසදිය කටු අම්මලාට ලබා දුන්නා.
සායන වලට යා ගත නොහැකි වී, ඉන්සියුලින් නොමැතිව සිටි රෝගීන් දෙදෙනෙකු වෙත එය ගෙනැවිත් මාත්‍රාව ලියා දුන් අතර, එම රෝගීන් ඒවා එන්නත් කරගන්න දැනුවත් වී සිටියා. 
අවුරුදු අසූවක පමණ ආච්චී කෙනෙක් දඩිබිඩියේ කඩිසරව එහෙ මෙහෙ දුවමින් සිටියා. ඇය පැමිණියේ ප්‍රෙශර් බලා ගන්න. රුධිර පීඩනය හුඟක් ඉහළ බව කී විට. "ගංවතුර බලන්න අන්න අරහේට ඇවිද්දා. උදේ පෙති බොන්න අමතක වුනා" යැයි කීවා. පොත බලා ඇගේ මාත්‍රාවට බෙහෙත් ලබා දී එතැන රඳවාගෙන රුධිර පීඩනය මදක් හෝ අඩුවෙන්නේ දැයි පරීක්ෂා කර යැව්වා. මන්ද එක පාර එය අඩු කිරීමේදී නොයෙක් සංකූලතා ඇති විය හැකි නිසා. 

ඔය අතර මට මතක් වුනේ,  මම උතුරේ වැඩ කරද්දී ඉගෙන ගත් දෙයක්...

අපට සිටි විශේෂඥ වෛද්‍යවරයා ලංකාවට පැමිණි විගස එහි පත්වීම අරන් ආපු ඩොක්ටර් සම්පත් ඥානරත්න, සුව නොවන සැත්කම් තුවාලයකට කෝමාරිකා මදය දමා දින තුනක් පමණ එලෙස මදය ආලේප කර එම සැරව සහ ඕජස් ඉවත් වෙන විට සහ ඉන්පසු මැහුම් දැමූ එම තුවාලය සුව අතට හැරුණු හැටි අප දුටුවා... විශේෂඥ වෛද්‍යවරයා හෝ අප කෝමාරිකා වලට කියන දමිල වචනය නොදැන සිටි නිසා අන්තර්ජාලයෙන් කෝමාරිකා ශාකයක රූප සටහනක් ගෙන ඔවුන්ට පෙන්වා දෙමින් එය ගෙන්වා ගත්තා. තුවාල දද කුෂ්ඨ සඳහා එය අගනා බවත් මතක් වුනා

මගේ දරුවාට පවා දාඩිය බිබිළි ආසාදන ඇති වූ විට මා ගෙවත්‍තෙන් කඩා ගන්නා කෝමාරිකා කොළයක මදය ගානවා. දින දෙකෙන් සියළු දේ සුව විය.
ආලේපන වර්ග හිඟ තැන් බොහෝය. එනමුත් ආසාදිත තුවාල සඳහා විෂබීජ නාශකයක් අවශ්‍ය වේ. ආයුර්වේද වෛද්‍ය මතයද ඔවුන් කෝමාරිකා සුලබව භාවිතා කරන බව ය. 

අප සහභාගී වුණු සායන වලදී ද එක ටියුබ් එකක් බෙදා දෙන්නට හෝ පවුලකට එකක් වශයෙන් දෙන්නට පවා සිදු වුන නිසා, මෙවැනි ආලේපන වල අඩුවක් වෙළඳපලේ දක්නට ලැබෙන නිසාත්, ඇතැම් සායන වල මේවා ඇත්තේම නැති නිසාත් යන කරුණු නිසා අප ගෙදර දොර පහසුවෙන් ලබා ගත හැකි ස්වභාවික විෂබීජ නාශක ගුණ ඇති දෑ ගැන දැනුවත් වීම වටී. 

චාන්දනී මෙන්ඩිස් මහත්මිය පැවසුවේ, නිදිකුම්භා තැම්බූ වතුර වලින් තුවාල සෝදන බවත් කහ දියර වල විෂබීජ නාශක ගුණය ඇති බවත් ය. 

මෙවැනි අත්හදා බැලීම් කරමින් අපේ අය තුවාල වැඩි කරගනීදෝ කියා මට ද සිතුනේ මේ ගැන ඇති වුණු සංවාදයේදී විශේෂඥ ප්‍රජා වෛද්‍ය උත්පලා මහත්මිය එය පෙන්වා දුන් විට ය.  ඇය පැවසූ ලෙස, මෙය නව සෛල ජනනය කරන නමුත් එහි තිබෙන තෙතමනය බැක්ටීරියා වර්ධනයට රුකුලක් වේවිදැයි සිතිනි. මෙවැනි දේ කරමින් අපේ මිනිසුන් නිසි ප්‍රතිකාර නොගෙන සිටී දැයි සැකයක් ද මටද ඇති වුනා.

ආයුර්වේද වෛද්‍ය මනෝජ් මහතා සහ වෛද්‍ය පවන් මහතා ඒ ගැන දීර්ඝ ලෙස කරුණු දැක්වූ අතර ඔවුන්ගේ මතය නම් කෝමාරිකා විෂබීජ නාශක ගුණ ඇති ඖෂධයක් බවය.
එනිසා අප මතක තබා ගත යුතුයි දද කුශ්ඨ වැනි දෑ තුවාල ආදියට වෛද්‍යවරයෙකුගේ නිර්දේශය අවශ්‍ය බවත්, සැරව ගලමින් කසමින් දිය බුබුළු දමමින් තිබෙන්නේ නම් ඒවා වැඩි වෙන්නට ප්‍රථම වෛද්‍ය උපදෙස් සහ බෙහෙත් ලබා ගත යුතු බවත් යන මේ කරුණු ය . 

මේ අතර අපේ වාට්ටුව ද පිරී ඉතිරී යමින් ඩෙංගුද, පාචනය වමනය බඩ එළියේ යෑම් ද ඩෙංගු නොවන නමුත් එසේ හැසිරෙන වෛරස් උණ ද අඩු නැතිව යහමින් තිබේ.
ඩෙංගු ගැන විමසුම අඩු වුනා දෝ යැයි මට සිතේ. ඔයින් මෙයින් දින දෙක තුනක් මට ද වෛරස් උණ සහ වමනය වැළඳී  අකර්මන්‍ය ව ඇඳ උඩ තපින්නට සිදු වුනේ.... වඩුවාගේ ගෙදර පුටුව නෑ වගේ, වමනයට දෙන පෙත්තක් හෝ පැරසිටමෝල් පෙත්තක් මා ළඟ නැති බවද පසක් කරමිනි. යන්තම් දරුවාට ගෙනැවිත් තිබූ සිරප් වලින් රැය ගෙවාගෙන පසුවදා වාට්ටුවේ වැඩ ට ද ගියේ නිවාඩු ගැනීමේ අපහසුතා ඇති නිසා ය.

වෛද්‍ය බෝධිනි සමරතුංග
(මේ ලිපි උපුටා ගන්නේ නම් ඒ බව මට දැනුම් දී අවසර ලබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි)

පළමු ලිපිය... https://anithkona.blogspot.com/2017/05/blog-post.html

Friday, May 26, 2017

ගංවතුර ආයෙමත් ! කියවන්න කරුණු ටිකක් !

ඩොක්සිසයික්ලින් මී උණ සහ ගංවතුර ගැන මේ ගිය අවුරුද්දේ දුන්න උපදෙස් - මේ සැරෙත් ඕනෙ වෙයි නේ... ගිය පාර මේවා ලියන්න ප්‍රමාද වුනා. අපිත් බීවේ වතුරට බැස්සාට පස්සෙ.

---------------------------------------------
doxycyclin ගැන මී උණ ගැන අපේ විශේෂඥ වෛද්‍යවරිය විසින් ක්ෂුද්‍ර ජිවී විශේෂඥ වෛද්‍යතුමිය හා සාකච්ජා කොට ලබාගත් තොරතුරු - (වැරදි තොරතුරු ගොඩක් සංක්‍රමණය වෙන නිසා මුහුණු පොතේ මේ ටික ඉක්මනින් ඇඩ් කරන්න හිතුවා...)

වෛද්‍ය නිර්දේශය මත ඩොක්සිසයික්ලින් 200 mg බොන්න ඕනේ...සතියකට එක වරක් ! වතුරට බහින්න දවස් 3 කට කලින් හෝ වතුරට බැහැලා දවස් 3ක් ඇතුලත මේක බොන්න ඕන.
ඒ ඩෝස් එක සතියකට එක වරක් පමණයි ඒකත් වතුරෙන් මිදුනම නම් දිගටම බොන්න ඕනෙ වෙන්නෙ නෑ.
දවස් 3 කට වඩා වතුරේ බැහැලා උන්නා නම් දැන් ඉතින් වැඩක් නෑ බීවට කියලා තමා කීවේ....
ප්‍රෙග්නන්ට්/ගර්භනී අය, අවුරුදු 12 ට අඩු ළමයි සහ කිරිදෙන අම්මලා... කලින් අසාත්මික තා තිබුන අය ... ටෙට්‍රාසයික්ලින් කියන බෙහෙත් කාණ්ඩයට අසාත්මිකතා තිබුනු අය ඩොක්සි බොන්න එපා

ඩොක්සි ගන්න බැරි අය මොකද කරන්නේ ? එයාලට නිර්දේශ කරන්නේ ඇසිත්‍රොමයිසින්... azithromycin ඒක 500mg මිලිග්‍රෑම් දවසට එක වරක් දවස් 3ක් සතියට සැරයක් තමයි නිර්දේශය . හැබැයි මේකත් ගර්භනී මව්වරුන්ට හොඳ නෑ.... පොඩි දරුවන්ට ඔය 500mg දෙන්න යන්න එපා.. අවුරුදු 12 අඩු දරුවන්ට ඕනෑම බෙහෙතක් දෙන්නේ බර අනුව.. ඒ නිසා වෛද්‍යවරයෙක් හමුවෙලා දරුවාගේ බරට නියමිත මාත්‍රාව ඉල්ලා ගන්න.

හිතුමතේ බෙහෙත් ගන්න එපා... ඩොක්සි සයික්ලින් උනත් ! මේවාට කොහොමත් වෛද්‍ය නිර්දේශයක් අවශ්‍යයි. එනිසා ඕනෑම බෙහෙතක් ගන්න කලින් සෑම විටම වෛද්‍ය උපදෙස් ගන්න.

මෙසේ දැනුවත් කිරීමෙන් ඔබට මේ ගංවතුර තත්වය සමග වැඩියෙන් හිස ඔසවන රෝගාබාද ගැන වැටහීමක් ලැබෙනු ඇතැයි සිතේ...

වෛද්‍ය කඳවුරු සටහන් - ගංවතුර ආශ්‍රිත රෝගාබාද ගැන සුළු කෙටි විග්‍රහයක් !‍‍

සහන සලසන්නෙත් ජීවිත යුද්ධයක් අතරින් නිසයි මේ දේ ලියන්න පමා වුනේ... අප රෝහල වෙත එන පිරිස සහ අපි ඒ පෙදෙස්වලටම ගොස් ක්‍රියාත්මක කළ සේවා වලදී අපට වැටහුන කරුණු කිහිපයක් මේ... ඔවුන්ට අවශ්‍ය ආහාර ලැබෙන බව තේරෙනවා. නමුත් සනීපාරක්ෂාව ගැන වඩාත් සිතිය යුතුයැයි සිතෙනවා.

ශ්වසන ආබාධ - මා පරීක්ෂා කළ ළදරු ළමා සියල්ලන්ගේම තිබුනේ ශ්වසන ආබාධ උගුර ආශ්‍රිත සෙම් ගෙඩි තත්ව සහ හෙම්බිරිස්සාව නිසා නාසය අවහිර වීම වැනි බැරෑරුම් නොවූ තත්වයන්. පෙනහළු ආශ්‍රිත ඇදුම තත්වයන් තිබූ දරුවන් සිටියේ සුළුවෙන්.

මී උණ - ඩොක්සිසයික්ලින් ම ඉල්ලන පිරිසක් හිටියා- අවුරුදු 8ට අඩු දරුවන්ට දෙන්න එපා කියලා බොහොම තදින් කීවා. ඇත්තටම එහෙම තමා CDC එකෙන් කියන්නේ.. ඉතින් පොදුවේ දරුවන්ට දෙන්න එපා කියලත් , කිරිදෙන අම්මලාට මේවා බොන්න එපා කියලත් අර ෂෙයා වන පෝස්ට් වල දැම්මනම් හොඳයි නේද කියා සිතුනා

උණ - උණ තිබුන දරුවන්ගේ මව්වරුන් කීවේ අතට රස්නෙ දැනෙන්නේ කියලයි... ඔවුන්ට උණ මැනීමට උණ කට්ටක් තිබුනේ නෑ. ඉන්පසු අපි කළේ එක් එක් කඳවුරට උණ කටුව බැගින් ලබා දීම ය. උණ බලා එය 98.4 F- වැඩි අගයක්නම් පැරසිටමෝල් දෙන ලෙස ය. එනිසා උණ කටු ඔවුන්ට ලබා දීම අත්‍යාවශ්‍ය යැයි සිතේ.. වැහි බීරම සීතල පරිසරයකදී කොහොමත් ඔතා ඇති ළදරුවන්ගේ ශරීර උෂ්ණත්වය අත තියා බැලුවොතින් වැඩි නිසා ය. පැරසිටමෝල් නිරපරාධේ දරුවන්ට දෙන එක සුභදායක නොවන නිසා ය.

තුවාල - තුවාල ඇති අය බොහෝය. දෙමාපියන් කියන්නේ වතුරේ නටනවා එහෙ මෙහෙ යනවා, තුවාල කරගන්නවා කියාය. තුවාල හොඳවීමටනම් මුළින් දරුවන් වතුරෙන් මුදවා ගත යුතුයි. ඒක අමාරු බව දන්නවා නමුත් වැසිකිළි වලවල් පවා උතුරා ඒවායේ අපද්‍රව්‍යද මිශ්‍රවී ඇති නිසා මේ වතුරේ දියබුං ගසමින් නෑම නම් යෝග්‍ය නොවේ. පෙවෙන එකත් හොඳ නැත.

Rash , දද කුෂ්ඨ - පොදුවේ තිබුනු skin rashes දද කුෂ්ඨ , දාඩිය බිබිලි සහ වතුරේ බැස සිටි නිසා කැසීම් තිබුනු අයට aqueous cream ලබා දුන්නා... කොන්ඩිස් දමා සෝදන්න කියා කීවා...පුස් සහ බැක්ටීරියා වලට විරුද්ධව ක්‍රියාකරන ක්‍රීම් වර්ග තිබුනේ සුළුවෙන් නිසා එක ටියුබය බෙදා දෙන සිදුවුනා...

බඩ එළියේ යෑම - ඩයරියා හෙවත් බඩ එළියේ යෑම වැනි තත්ව ද තිබුනි...probiotics.. පාවිච්චි කිරීමට අපහසු, ඒවා නැති තැන් වලදී යෝගට් එකක් කන්න දෙන්න යැයි කීවෙමු.

වමනය - පාචනය , වමනය, බඩ එළියේ යෑම හිස ඔසවමින් සිටී... දරුවන් ඉක්මනින් විජලනය විය හැකි බැවින් අනාථ කඳවුරු වල සිටින මව්වරුන් දැනුවත් කිරීම වටී. බොහෝ දරුවන් රෝහල් ගත කරන විට අධික ලෙස විජලනය වී තිබුනි.
වමනය යෑම බොහෝ දරුවන්ට තිබුනි. ඒ කෑම බීම නිසා හෝ පෙර කියූ පරිදි වතුර පෙවීම නිසා විය හැකිය. ජීවනී වැනි දේවල් වලින් ලේසියෙන්ම විජලනය තත්වය පාලනය කරන්නට පුළුවනි.

වමනය කී වරක් ද? බඩ එළියේ යෑම කී වරක් ද ? සංයුතිය කුමක් ද ? ලේ හෝ රතු පැහැයට යමක් පිටවී ද? මෙවැනි ප්‍රශ්න වලට ටිකක් ලොකු දරුවන්ගෙන් නම් ඔවුන්ගෙන්ම සහ කුඩා දරුවන්ගේ නම් අම්මලාගෙන් උත්තර ලබා ගත හැකියි. බොහෝ දරුවන් සිටින්නේ ආච්චී හෝ පුංචිලා සමග ය. මව බොහෝ විට අප වෙත නො එන්නේ තව දරු පිරිසක් කෑම්ප් එකේ සිටින නිසා ය. ඉතින් මේ ආච්චිලා පුංචිලා දරුවන්ගේ සායන ඉතිහාසය නොදනී. අසාත්මිකතා allergies තියෙන්නේ මොනවාට දැයි නොදනී.

ප්‍රෝ බයොටික් පරිහරණය අපේ රටට අළුත් නොවුනත් එතරම් ප්‍රසිද්ධ නොවේ.... එයින් සිදුවෙන්නේ අපේ බඩවැල් තුල ඉන්නා හිතකර බැක්ටීරියා ( ආහාර ජීර්ණයට උදව් වන) අප ශරීරය තුලට දැමීමය. එයට හේතුව නම් බඩ එළියේ යෑමකදී බොහෝ විට සිදුවෙන්නේ අපට හිතකර අපේ බඩවැල් වල අභ්‍යන්තර ස්ථර ආරක්ශා කරන බැක්ටීරියා වර්ග අඩු වීමය. ඉතින් ඕනෑම වර්ගයක ප්‍රෝබයෝටික් නාමය යටතේ ඇති කැප්ෂුල් හෝ දිය කර සාදාගත හැකි සැෂේ පැකට් උදේ හවස පානය කිරීමෙන් ඇත්තටම වීශේෂ ඖෂධ නොමැතිව බඩ එළියේ යෑම නවතාගත හැකිය. යෝගට් වලද මේවා තිබේ.. ඇතැම් යෝගට් වර්ග වල ඒ ගැන සඳහන් වේ. බඩ එළියේ යන අයට, බැක්ටීරියා නාශක ඖෂධ ඉක්මනින් ලබා නොදෙන්නේ එහෙයිනි.

ජීවනී වැනි පානයක් විශේෂයෙන් සාදා දිය යුත්තේ විජලනයෙන් සහ ලවණ ඇඟෙන් පිටවීම වැලැක්වීමටය...පිරිසිඳු නටවා පෙරා නිවාගත් ජලය පානය කළ යුතුය.

මාස පහ හෝ හයට වැඩි ළදරුවන්ට ළදරු කිරිපිටි දෙන්නේ නම් ඔබ පාවිච්චිකරන ළදරු බෝතල් හොඳින් තම්බා ගත යුතුයි. ඒ සඳහා පහසුකම් නැත්තේ නම් සකස් කර ගත හැකි බත් කැඳ සහ පෙරහන් ගා ගත් කැබළි ආහාර දෙන්නේ නම් වඩා හොඳය. අපිරිසිඳු බෝතල් යොදාගැනිම නිසා ළදරුවන්ට දරුවන්ට බඩ එළිය පාචනය වැනි දෑ බෝ විය හැක. එනිසා ඔබ මව් කිරි දෙන්නේ නම් එය දිගටම කරන්න. පිටි කිරි දෙන්නේ නම් බෝතල් ජීවානුහරණය (sterilizing ) සහ තම්බා ගැනීම වැනි පහසුකම් ඇති තෙක් එය නවතා මව් කිරි පමණක් සෙසු ආහාර සමග දිය යුතුය...

වතුරේ විෂ - වතුරේ වැඩි කාලයක් සිටීම නිසා වැඩිහිටි තරුණ මහළු දුවා දරුවන් සැමගේම ඇඟිලි කරු වණවී කසන්නට පටන් ගෙන ඇත. එම වතුරේ දණක් උසට ගමන් කළ අපගේද කකුල් කසන්නට පටන්ගත්තේ ඒ ආවේ ගඟේ වතුර පමණක්ම නොවන නිසා ය.
එයට විවිධ අපද්‍රව්‍ය කුණු එක් රැස් කරන කුණු කඳු සහිත පෙදෙස් වලින්, අසූචි මුත්‍රා ඉවත් කරන වලවල් වලින් ආදි බොහෝ අපද්‍රව්‍ය එකතු වී තිබේ... එනිසා දරුවන්ට අපි යන වෛද්‍ය කඳවුරු සියල්ලකදීම වතුරේ නැටුවොත් මේ දේවල් වේ යැයි බිය වැද්දීමක් කරන්න යැයි මව් පියන් ඉල්ලති.... අපි හැකි පමණ උපදෙස් දෙන්නෙමු. දරුවන්ට වතුරේ සෙල්ලම් කරනන් දෙන්න එපා !

වෛද්‍ය බෝධිනි සමරතුංග
Article By Dr. Bodhini Samaratunga

Sunday, May 14, 2017

වතුකරයේ දෝංකාරය...

නාගම්මා හෙමි හෙමින් සාරිය අඳිමින් ලෑස්ති වුනේ ගමේ යන්නයි. ඒත් ඇයට යන්නට කිසි ප්‍රියතාවයක් තිබුනේ නෑ. කොඳු ඇටයේ ප්‍රශ්නයට අඳින ගර්ඩල් එකත් ඊට උඩින් සාරියත් පටලවාගෙන ඇය වතුකරයේ ඇගේ නිවස වෙත යන්නේ, ක්ලිනික් කාඩ් , එක්ස් රේ කොළ රැගෙන නැවත පැමිණීමටයි.
"මම නෝනා ළඟ මැරෙනකම් වැටිලා ඉන්නම් දුව ළඟටනම් යන්න බෑ" ඇය මගේ මව හා පවසයි.

නාගම්මා මෙහි පැමිණියේ නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කිරීමට ය. නමුත් මා සහ මගේ මව දුටුවේ, ඇය කොන්දේ අමාරුවකින් පසුවන බවය. ඇගේ අමාරුකම් නිසා අප බර වැඩ නොකරන ලෙසත්, සුළු වැඩ කරන ලෙසත් බර උස්සන්නේ නැතිව ඉන්නා ලෙසත් නිතර කියමින් ඇගේ අමාරුකම් අඩු කරන්නට යුහුසුළු වුනා. මගේ මව ඇයට කොඳු අමාරුවට තෙල් බෙහෙත් පවා ගාන්න යැයි දෙමින් මා ලව්වා ද බෙහෙත් ගෙන්වා දුන්නා. ද
"දුව ගහනවා බනිනවා, හම්බ කරලා සල්ලි එවපන් කියනවා" අනෙක් මෙහෙකාරිය වන ඇගේ ගමේම කෙනෙක් වන තරුණිය අප හමුවේ පැවසීය. "මම බැන්නා දුවට ෆෝන් එක අරන්, අත පය හොඳට තියෙන උඹෙ මිනිහට කියලා හම්බකරගනින්, මේ කොන්ද කැඩිච්ච වයසක ගෑනිට ඉන්න දෙන්න , කොන්දක් නැද්ද ඔය ගෙදර මිනිස්සුන්ට" කියලා.
දරුවන්ගේ දරුවන් ඔසවා බලා කවා පොවා ඇති දැඩි කළ නිසා කොන්දේ අමාරුව යැයි ඇය පවසයි. නමුත් ඔවුන්ට නහින දෙහින කාලේ වුව ද නිදහසේ ගත කළ නොහැකි ය.
වතුකරයේ බහුතරයක් පිරිස කම්කරුවන් ලෙස ද, මෙහෙකරුවන් ලෙසද සේවය කරති.

අප හමුවේ නිරන්තරයෙන් මෙවැනි කතා දිග හැරේ. බොහෝ වයස්ගත අම්මලා තාත්තලා හරි හම්බ කරන්නේ තවමත් තම දරුවන්ට මුණුපුරන්ටය. ඔවුන්ව කොළඹ රටේ රස්සාවට පිටමං කරන්නේ අත පය හතර හොඳින් තිබෙන වැඩුණු දරුවන් ය.
එක්කෝ තිබෙන්නේ වත්තේ දළු කැඩීම ය. නැත්නම් මෙවැනි මෙහෙකාරකම් සොයා පැමිණීම ය. මෙහෙකරුවන් ගෙන එන අයවලුන් යැයි පිරිසක් ද මේ ගම් වල සිටිති. තැරැව්කරුවන් මෙන් ඔවුන්ද රුපියල් පන්දහසක් හෝ දහ දහසක් එක් මෙහෙකරුවෙක් සැපයීම් වෙනුවෙන් ලබා ගනී. ඇතැම් අය ගෙන එන්නේ ලෙඩ ගානේ ඉන්නා ගෙවල් වලට බරක් වූ වයස්ගත වූවන්‍ ය. ඔවුන් පැමිණි විට ඔවුන්ගේ සියළු ලෙඩ දුක් කරදර වලට බෙහෙත් හේත් කරන්නටද සිදුවේ.
මගේ මවට නම් මා සිටින නිසා මෙහෙම පැමිණෙන අය ගේ බෙහෙත් හේත් කිරීම් ආදිය පහසුවේ. මම ඉතින් ඔවුන්ට අපේ රෝහලේ ක්ලිනික් කාඩ් සාදවා සියළු රෝගාබාද වලට බෙහෙත් හේත් සහ රසායනික පරීක්ෂන පහසුකම් සියල්ල සිදුකර දෙමි.
තවත් පිරිසක් වන්නේ තනිව දරු බර දරන සැමියා අත් හැර දැමූ ගැහැණුන් ය. ඔවුන්ද කීප දෙනෙක් නොයෙක් වර අප වෙත මෙහෙකාරකම් කරන්නට පැමිණියෝය.

ඉන් එකියක් වන සීලා, දරු තිදෙනෙක්ගේ මවකි. ඇය දරුවන් තම මවට බාරදී පැමිණ තිබුනේ ඇගේ සැමියා යැයි අපට හඳුන්වන ලද මිනිසෙක් සමග ය. පසුව ආරංචි වුනේ සැමියා ඇය අත හැර තවත් බාල වයස්කාර කෙල්ලක හා පවුල් කන බව ය. නිරන්තරයෙන් පොලිසීවල පැමිණිලි කරන ඔවුන්ගේ කලබගෑනි වලට ගමේ යන්නට ඕනෑ යයි නිවාඩු ගන්නා නිසා ඇය ගේ සේවය අත් හිටවන්නට සිදු වීනි.
තව කෙනෙක් පැමිණියේ... "මිනිසුන් හා නිදියලා හරි මට සල්ලි හොයන් වරෙන්" යැයි පැවසූ බීමත් සැමියාගෙන් බේරීම සඳහා ය. ඇය උපයන සියල්ල හූරා කෑවේ ඒ මිනිසාය. දරුවන් තිදෙනා නැන්දම්මා ළඟ දමා පැමිණි මේ අයගේ කඳුළු ගංගා අප හමුවේ ගලා යයි. අපි සංවේදී වී බොහෝ උදව් උපකාර කරමින් ඔවුන්ගේ දුකට පිහිටවන්නට හැකි සියළු උදව් කරන්නෙමු.

මේ එන කිසිවෙකුත් රැකියාවක් ඕනෑ යැයි ඕනෑකමින් නොපැමිණෙයි. ඔවුන්ට ඕනෑ මදකට හෝ සල්ලි ස්වල්පයක් සොයාගෙන ඔවුන්ගේ වත්මන් ප්‍රශ්න වලට තාවකාලික විසඳුමක් ලබා ගැනීමට ය.
ඇතැමෙක් එන්නේ මසක් හෝ දෙකක් වැඩ කර සල්ලි කීයක් හරි හම්බ කරගෙන තැරැව්කරුවන් හරහා තව කොහේ හෝ වැඩක් සොයා ගැනීමටය. තැරැව්කරුවන්ටද එය කදිම ය. ඔවූන්ට මසකින් දෙකකින් ආයෙත් සල්ලි උපයා ගත හැකිය.

එහෙත් රැකියාවක දැඩි ඕනෑ කමින් පැමිණි එක් දරු මවක් වන සුසීලා තවමත් අප හා රැඳී සිටී. ඇගේ කතාවත් ඉතා දුක්බරය. සැමියා ඇය අත හැර ගොසිනි. දරුවා වැඩෙන්නේ කුඩම්මා ළඟ ය. විටින් විට දරුවා අසනීප වේ. ඒ අර කුඩම්මා කන්න බොන්න නොදී සිටීම හෝ පිළුණු ආහාර දීම, කොහේ හරි තනිව ඇවිදින්නට ගිහින් වැටී තුවාල වීම වැනි දේ හරහා ය. මා ඉතින් එවිට එහි දිසා රෝහලට කෝල් දමා සුව දුක් විමසා මෙහෙන් මේ කෙල්ල යන තෙක් දරුවා ගැන සොයා බලන අතර මසකට සැරයක් ඇය එසේ දිව ගොස් පැමිණෙයි.
ඒජන්සි කරුවෝද නොයෙක් නූල් සූත්තර කාරයන් ය. අප්‍රිය සහගතම කොටසකි. අප නම් එක් වරක් එලෙස ඒජන්සියක සහය පැතුවද ඔවුන් ලබා දුන් කෙනා කළේ මට අරක බෑ මේක බෑ, මෙහෙම බෑ කියමින් අයිස්ලන්තයෙන් බට අයෙක් මෙන් සිටීම ද, ගෙදර නොයෙක් ප්‍රශ්න කියමින් ගමේ යෑම ද වේ. අන්තිමේ අප ඇය ද ඒජන්සියද අමතක කර දැමුවේ නැවත ඒවායින් කිසිවෙක් නොගන්නේ යැයි අදිටන් කරමිනි.
(නම් ගම් මනංකල්පිතය)

Saturday, May 6, 2017

දැන් ඉතින් බෑග් පැක් කරන් ගෙදර යමු - 2

මතකනේ බෑග් පැක් කරන් ගෙදර යන්න හිතපු සිද්ධිය.... ඒකේ ඉතිරිය ලියන්න ටිකක් වේලා ගතවුනා.
මේ පළමු කොටස https://anithkona.blogspot.com/2017/04/blog-post_29.html
 දැන් ලියන්න හිතුවේ එදා නවත්තපු තැනින් ඉස්සරහට...
මතකනේ අපට එන්න කීවා ... විශේෂ මීටිමක් කියලා.
අපි රැස්වීම් ශාලාවට යද්දී, ලොකු ලොක්කන් සියලුදෙනා රැස්වී සිටියා. ඔවුන්ගේ මුහුණු ඉතා බැරෑරුම් බොහොම කරදරකාරී ස්වභාවයක් පෙන්නුම් කළේ.
එහි ඉඳන් ඉන්න අපේ සගයන්ගෙන් මොකද කියා ඇහුවම "ඇයි දන්නැද්ද ? පෝස්ටරෙ ගැන" වගේ දේවල් ඇහුවා. වාට්ටුවල සිටි අපි කාටවත් ඒ ගැන කිසිම වැටහීමක් තිබුනේ නෑ.

ඒ එක්කම
"අපි එන්න කීවේ විශේෂ ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා, " පාලක තුමා බොහොම සීරුවට වචන එකතු කළා
"අද උදෑසන වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරයේ... (තනිකඩ වෛද්‍යවරුන්ට සහ වෛද්‍යවරියන්ට වෙනම නේවාසිකාගාර දෙකක් පැවතියා. පවුල් වුන අයට නම් ගෙවල් දී තිබුනා)"ටිකක් විශාල දමිල බසින් පරිගණක අකුරු ලියනය කරවන ලද ඒ 4 සයිස් කොළයක් පෙන්වමින් ඔහු පවසන්නට වුනා.
ඔව් එදා උදෑසනම තනිකඩ වෛද්‍යවරු ඉන්න නේවාසිකාගාරයේ ප්‍රධාන දොර හරිද්දිම එහි දොරේ අලවා තිබුණු පෝස්ටරයේ මෙසේ ලියැවී තිබුනාලු... අවුරුදු ගණනාවක් මේ පළාත් වල වර්ජනයක් තිබුනේ නෑ, සිංහල වෛද්‍යවරු ආවම තමා වර්ජනය කළේ. වහාම සිංහල ම්ලේච්ජ දොස්තරලා මෙහෙන් පිටවෙලා යන්න නැත්නම් අපි කරන දේ බොහොම දරුණු වෙයි.

 ඒක පට්ටපල් බොරුවක්. මම මීට අවුරුද්දකට කළින් මීට පහළින් තිබුණු මහ රෝහලේ වැඩ කරද්දිත් වර්ජන කීපයක් දියත් උනා, අනේ මේ රෝහලත් ඒවට එකතු උනා.
"සිංහල ම්ලේච්ජ දොස්තරලා ගෙදර පලයව් " මෙන්න මෙහෙම අන්තිමට ලියා තිබුනා.

නිවාඩු ගන්නේ නැතුව යන්නේ නැතුව එක දිගට සේවා මුර අතිකාල ගෙවීම්වලටත් වැඩියෙන් වැඩ කරමින් අපි මෙහෙ කන කට්ට එක්ක බැලුවම මේක  කියවද්දි බොහෝ අය අත් කම්මුල් වල තියාගෙන oh my god, අනේ අපොයි, ඕහ් කියමින් කම්පා වුනා.

මේක නම් කොහෙත්ම ඊයේ බෙහෙත් ගන්න ආපු කෙනෙක්ගේ වැඩක් නොවේ. මොකද, මාතෘ සායනය මානසික සායනය පැවැත්වූවා. බාහිර රෝගී අංශයේ අයත් ඒවගේම අමාරුම ලෙඩුන් හදිසි සත්කාර ඒකකයට අරන් බෙහෙත් දී ඩිස්චාච් කර තිබුනා. ඉතින් අපහසුවකට කියා පත් වුන කෙනෙක් හෝ දොස් කියමින් හැසිරුණු කෙනෙක් එහි සිටියේ නෑ.

දමිළ ජාතික විශේෂඥ වෛද්‍යවරියක් වෙව්ලමින් කතා කරන්නට වුනේ " කවුරු නමුත් ඊයේ සිද්ධියෙන් දේශපාලනික ප්‍රශ්නයක් ඇති කරන්න යන්නේ. මේ වන්නියේ හදවත, මෙහි නැවත ප්‍රශ්න ඇති වුනොත් ඒක ජාත්‍යාන්තරයට යන්නේ වෙනත් මුහුණු වරකින්. කාටද මෙහෙම ලියන්න පුළුවන්, මේ සිංහල දමිළ මුස්ලිම් ඔක්කොම වෛද්‍යවරු ඉන්නවා, සිංහල පිරිස වැඩියි තමා නමුත් කිසිම රෝගීන් හෝ වෛද්‍යවරුන් අතර මේ වන තෙක් කිසිම ආරවුලක් සිදු වෙලා නෑ." ඇය බොහෝ දුක් වුනා.
මෙහෙ පිරිස සාමාන්‍යයෙන් ඕනෑම ප්‍රශ්නයකදී වෛද්‍ය අධිකාරී වෙත යෑමට පෙළඹුනා. එනිසා මේක රෝගියෙක් හෝ රෝගීන් විසින් කරන ලද්දක් නොවන බව වැටහුනා.
එහෙත් අර අච්චර බරපතල ලෙස මුරදමාගෙන ඉන්න රෝහල් මුර උන්නැහේලාගේ ඇස් වහලා නේවාසිකාගාරයට පැමිණ දොරක මෙවැනි දෙයක් අලවන්න නම් ඇතුලෙන් උදව්වක් තියෙන්න ඕනෑ ය කියලත් හිතුනා.
ඒවගේම මේ වර්ජනය දියත් වුනේ දෙස්පළුවෙක්ට විරෝධය පාන්න නිසා ඔවුන්ගේ මැදිහත් වීමකුත් ඇති යැයි සිතුනා.

ඉතින් ඔය ඔක්කොම අවසානේ ඇත්තටම ජීවිත බියක් නාවා නම් ඔබ පුදුම විය යුතුයි. දැඩි නිහඬ බව සමග අප හිටියේ කරන්නෙ කුමක්දැයි සිතමිනි. අපේ නේවාසිකාගාරයේ නම් තනි කාමර පෙළක් දොරවල් ඇරෙන්නේ විවෘත කොරිඩෝවකටය. එහි අවසානයේ සින්ක් එකක් හයි කර ඇත.

 හාත් පස නිරාවරණය වෙන්නේ එපිටින් ඇත්තේ කැලෑ රොදක් මෙන්ම ගම්මානය ය. අප කෑම කා අත සෝදාගන්නත් , තේ බී කෝප්ප සෝදන්නත් එන්නේ මෙතැනටය. එතැන පමණක් එළිය වන අතර හාත් පස ඝණ කළුවර ය. ඉන් එක පසෙක ඇත්තේ පොදු වැසිකිළි නාන කාමර ය. මේ කොරිඩෝ දිගට නයි පොළොඟුන් පවා ඇදී යයි. ඇතැම් විට කකුලක සීතලට යමක් දැනුනොත් බලනව විට ඉන්නේ ඉතා කුඩා ගස් ගෙම්බෙකු ඇලවිලාය... ඉතින් මෙහෙම තැනක අපිට ජීවිත හානි වන යමක් කරන්න ඕනෑ ලෙස පුළුවන.
සමහරු කීවේ එක හෙලාම අප රෝහල අත් හැර යා යුතු බවයි. නමුත් මෙහි පැහැදිලිව ඇත්තේ පළිගැනීමක් සහ බැරෑරුම් යමක් සිදු කිරීම සඳහා කොනිති ගැන්වීමක් යැයි අපට එවෙලේ සිතුනේම නැත. බොහෝ දෙනෙක් හට කතා කරගැනීමටත් නොහැකි සේ භය බිරාන්ත වී සිටිනු දක්නට ලැබින.

"ඔයාලා ගන්න තීරණයක් කිසි ප්‍රශ්නයක් නෑ, නමුත් මේක ගැන කතා කරන්න තව පැය කිහිපයකින් , මේ ප්‍රදේශය භාර මූලික පුද්ගලයා එනවා. " විශේෂඥ වෛද්‍යවරයෙක් එහෙම කීවා. " අපි කෝකටත් බලමු එයාලා කියන්නේ මොකක්ද කියලා"
ඔය අතරේ දැඩි ලෙස කලබල වෙන අය පැවසුවේ, අනිවාරය‍යෙන් ගෙදර යමු කියා ය. හිතන්න වෛද්‍යවරු  40ක් පමණ බෑග් සියල්ල් පැක් කරගෙන රෝහලෙන් පිට වෙනවා. රෝහලේ වෛද්‍යවරු කී දෙනෙක් ඉතිරි වේවි ද ? මේ පළාත ගම් බිම් නිසා ඉන්නා 4ක් හෝ 5 ක් වැනි සුළු පිරිසක් ඉතිරි වේවි, විශේෂඥ වෛද්‍යවරු පවා  පිටවෙන්න සිදුවෙනවා ඔවුන් ද සිංහල  අය.
අප මෙහි සේවය කළ මේ කාලය පුරාවට සිංහල හෝ දමිළ යැයි බෙදීමක් ඇති වුනේ නෑ. දැන් අපට බෙදා වෙන් කර ඉතින් පලයව් කියා කියන්නත් පෙළඹිලා.
අන්තිමේ අපි වටහා ගත්තා රෝහලක් තනි කරනවා කියන එකේ බැරෑරුම්කම. ඒවගේම මේකෙන් රටේ තත්වයට වෙන හානිය. මෙහෙම දේවල් මීට පෙර ත් සිදුවී තිබුනා. ඒ වෛද්‍යවරයෙක් ත්‍රස්තයින් විසින් මරාදැමීමත් සමග උතුරු නැගෙනහිර වෛද්‍යවරුන් ඒ පළාත් වලින් ඉවත් විම වැනි සිදුවීමක්. මට දින වකවානු මතක නැත.
කොහොම උනත් ගෙවල්වල මිනිස්සු කලබල කරන්නේ නැතුව ඉමු කියලත් කතා වුනා. මොකද අපෙන් කිලෝ මීටර 700 පමණ ඈතින් ඉන්න ඔවුන් මෙවැනි දේකින් බොහෝ සේ කලබල වන බව අපි අත්දැකීමෙන් දන්නා නිසාය.

මේ අතර මේ ප්‍රශ්නය දන්වා සමථයකට පත් කරන්න මැදිහත් වුණු, හමුදා නායක තැන, කලබල වී බොහොම අවුලෙන් සිටි අප සියල්ලන් වෙත රාත්‍රී ආහාරය ගෙන එන්නත් අමතක කළේ නෑ. ඔහු අප සැම රැස් කර මෙහෙම කීවා.
"මේක මෙහෙ මනුස්සයෙක් කරා වෙන්න බෑ. එදා ආපු මිනිස්සුන්ට මේ වර්ජනයේ අරමුණත් බෙහෙත් ගන්න ආව අයට කරදරයක් නැතිව අවශ්‍යතා බලා කියා උදව් කිරීමත් සිදුවුන නිසා, මේ මිනිස්සුන්ට රෝහල ගැන මේ තරම් වෛරයක් එන්න විදිහක් නෑ. අනික ස්ට්‍රයික් කළේ සිංහල වෛද්‍යවරු පමණක් නොවෙයිනේ. මේක තනිකර කලබලයක් ඇති කරලා උතුර අස්ථාවරයි කියලා ප්‍රචාරයක් ගෙනියන්න කරපු දෙයක්. වෛද්‍යවරු රෝහලක් අත ඇරලා යනවා කියන එක උතුරේ යුද්ධෙ ආයෙ පටන් ගන්නවා වගේ දෙයක් අදහසින් ප්‍රචාරය කරන්නත් පුළුවන් මොකද මේක ඔවුන්ගේ හදවත. " ඔහු පැහැදිලි කළා.

"මේක ලොකු දෙයක් කරලා ප්‍රචාරනය වුනොත් වාසි වෙන්නේ මේකෙන් දේශපාලන වාසි හෝ තමන්ගේ පටු අරමුණු ඉටු කරගන්න හදන අයට ම තමා. අසරණ වෙන්නේ මෙහෙ මිනිස්සු, රෝගීන්, මොකද ආයෙම වෛද්‍යවරු ගෙන්වා ගන්න බොහොම අමාරු වෙන්න පුළුවන් " ඔහු නැවත පැවසුවා.
අන්තිමේ මම අර පසුගිය කොටසේ කියූ ලෙස ත්‍රිවිද හමුදාව මැදිහත් වී, අපට ආරක්ෂාව දැඩි ලෙස පනවා, අපේ ජීවිත වගකීම ඔවුන් මත පවරා ගත්තා.
උදේ හවස හමුදා වලින් අවට සෝදිසි කිරීම් සිදු වුනා. අප වටා ආරක්ෂාවක් ඇති බව වැටහුනා. මීට පෙර රෝහලේ එලෙස හමුදාවෙන් සිටියේ නැත.
අපි ත් පෝස්ටරය ගැන සිදුවීම ගෙවල්වල යනකම් ඒ උදවියටවත් පැවසුවේ නෑ. මම නැවත දකුණට පත්වීම් ලැබ පැමිණෙන්නේ මේ සිදුවීම වෙලත් අවුරුදු 2කට පසුව.
ඒවනතෙක් කිසිම විටක අපිට මෙහෙම පෝස්ටරයක් හෝ කලබලයක් සිදුවුනෙත් නෑ. අපේ නේවාසිකාගාර මාරු වුනෙත් නෑ.
 හැබැයි අර කොරිඩෝවේ සින්ක් එකේ කෝප්ප හෝදනකොට හෝ අත සෝදාගන්න කට්ට කරුවල රාත්‍රියේ එන විට, රෝහලට රාත්‍රී වැඩ මුරයට යන්න වෙන විට, හදිසි අවස්ථා වල දෙවැනි රාත්‍රී සේවා වෛද්‍යවරයා ඕනෑ වී කැඳවීම් ලැබෙන විට අර පෝස්ටරය මතක් වී තිගැස්සීමක් ඇති වෙනවා.
ගෙදර පලයව් කීවට සිංහල දොස්තරලා ගියෙත් නෑ.... ආයේ එහෙම සිදුවීමක් සිදුවුනෙත් නෑ !

පසුව ආරංචි වුනා, එය දේශපාලන මැදිහත් වීමකින් ඇලවුණු එකක් බව !

Monday, May 1, 2017

සුබ ගමන් විචාරකතුමා !

විචාරක ...
අසමි හොයමි දකිමි... ඔන්න ඔහොම නමක් මම මුළින් දැක්කේ... 
මම ද අනවර්ථ නමකින් හෙමි හෙමින් ලියූ අනිත්කොන බ්ලොග් එකේ, හැම කතාවකටම වගේ ප්‍රතිචාරයක් දක්වන විචාරක මහතා ගේ ලියමන් තුලින් මා දැන ගත් දෑ බොහෝ ය. 
ඔහුගේ දියණියද වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලද බව සඳහන් කළා මතකය.
වෛද්‍ය රුවන් ජයතුංගයන් රචිත සංග්‍රාමයට පසු, පොත ගැන සඳහන් කරමින් මා මනෝවිද්‍යාත්මක පොත් පත් වෙත යොමු කළේ ඔහුය. 
නමුත්, පුද්ගලිකව මා ඔහු දැන හෝ දැක හඳුනගෙන නොසිටියෙමි.
ඔහුගේ ලෙඩ දුක් ගැන දැන ගත්තේ බ්ලොග් සම්මාන උළෙලෙහිදීය. දුරකථනය ඔස්සේ ඔහු පැවසුවේ ඔහු සමග කතා බස් කරන්නට එන ලෙසය. විදෙස් ගත වූ නිසා එය නොහැකි වු අතර මා පමා වූවා වැඩිය.
ඔහුගේ සුව දුක් විමසීමට කුරුණෑගල රෝහලට කතා කළ විට ඔහුගේම සිසුවියක් වූ දැනට එහි සිස්ටර් කෙනෙක් වන මහත්මියක් බොහෝ සෙයින් කුළුපගුවී කතා බස් කර ඔහුට ලැබුන සම්මානය ගැන ඔවුන්ද බොහෝ සතුටු වන බව පැවසුවා. දින තුනකට කළින් ඇය මා ඇමතුවත් මා විදෙස්ගතවී සිටින නිසා ඒමට නොහැකි බව මා දැන්වූවා.
බ්ලොග් ලියන පිරිසෙන් ඔහු වැනි. වැඩිහිටියන් ගැන මගේ ඇත්තේ ගෞරවයක් , නිරතුරු ඔවදන් දෙමින්, අප දිරිමත් කරමින් බොහෝ නිහතමානී ලෙස හැසිරුණු අයෙකි.
බොහෝ අය ප්‍රිය කරන චරිතයකි.
බ්ලොග් පිටුව හරවත්, දැනුම් සම්බාරයක් රැගත් තැනකි.
ඉතින් ඔබෙ නික්ම යෑමෙන් ඇති වුන හිඩැස මහත් සේ දැනේ.
ආයුබෝවන් විචාරකතුමා....විචා මාමා
we miss you !