Sunday, May 14, 2017

වතුකරයේ දෝංකාරය...

නාගම්මා හෙමි හෙමින් සාරිය අඳිමින් ලෑස්ති වුනේ ගමේ යන්නයි. ඒත් ඇයට යන්නට කිසි ප්‍රියතාවයක් තිබුනේ නෑ. කොඳු ඇටයේ ප්‍රශ්නයට අඳින ගර්ඩල් එකත් ඊට උඩින් සාරියත් පටලවාගෙන ඇය වතුකරයේ ඇගේ නිවස වෙත යන්නේ, ක්ලිනික් කාඩ් , එක්ස් රේ කොළ රැගෙන නැවත පැමිණීමටයි.
"මම නෝනා ළඟ මැරෙනකම් වැටිලා ඉන්නම් දුව ළඟටනම් යන්න බෑ" ඇය මගේ මව හා පවසයි.

නාගම්මා මෙහි පැමිණියේ නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කිරීමට ය. නමුත් මා සහ මගේ මව දුටුවේ, ඇය කොන්දේ අමාරුවකින් පසුවන බවය. ඇගේ අමාරුකම් නිසා අප බර වැඩ නොකරන ලෙසත්, සුළු වැඩ කරන ලෙසත් බර උස්සන්නේ නැතිව ඉන්නා ලෙසත් නිතර කියමින් ඇගේ අමාරුකම් අඩු කරන්නට යුහුසුළු වුනා. මගේ මව ඇයට කොඳු අමාරුවට තෙල් බෙහෙත් පවා ගාන්න යැයි දෙමින් මා ලව්වා ද බෙහෙත් ගෙන්වා දුන්නා. ද
"දුව ගහනවා බනිනවා, හම්බ කරලා සල්ලි එවපන් කියනවා" අනෙක් මෙහෙකාරිය වන ඇගේ ගමේම කෙනෙක් වන තරුණිය අප හමුවේ පැවසීය. "මම බැන්නා දුවට ෆෝන් එක අරන්, අත පය හොඳට තියෙන උඹෙ මිනිහට කියලා හම්බකරගනින්, මේ කොන්ද කැඩිච්ච වයසක ගෑනිට ඉන්න දෙන්න , කොන්දක් නැද්ද ඔය ගෙදර මිනිස්සුන්ට" කියලා.
දරුවන්ගේ දරුවන් ඔසවා බලා කවා පොවා ඇති දැඩි කළ නිසා කොන්දේ අමාරුව යැයි ඇය පවසයි. නමුත් ඔවුන්ට නහින දෙහින කාලේ වුව ද නිදහසේ ගත කළ නොහැකි ය.
වතුකරයේ බහුතරයක් පිරිස කම්කරුවන් ලෙස ද, මෙහෙකරුවන් ලෙසද සේවය කරති.

අප හමුවේ නිරන්තරයෙන් මෙවැනි කතා දිග හැරේ. බොහෝ වයස්ගත අම්මලා තාත්තලා හරි හම්බ කරන්නේ තවමත් තම දරුවන්ට මුණුපුරන්ටය. ඔවුන්ව කොළඹ රටේ රස්සාවට පිටමං කරන්නේ අත පය හතර හොඳින් තිබෙන වැඩුණු දරුවන් ය.
එක්කෝ තිබෙන්නේ වත්තේ දළු කැඩීම ය. නැත්නම් මෙවැනි මෙහෙකාරකම් සොයා පැමිණීම ය. මෙහෙකරුවන් ගෙන එන අයවලුන් යැයි පිරිසක් ද මේ ගම් වල සිටිති. තැරැව්කරුවන් මෙන් ඔවුන්ද රුපියල් පන්දහසක් හෝ දහ දහසක් එක් මෙහෙකරුවෙක් සැපයීම් වෙනුවෙන් ලබා ගනී. ඇතැම් අය ගෙන එන්නේ ලෙඩ ගානේ ඉන්නා ගෙවල් වලට බරක් වූ වයස්ගත වූවන්‍ ය. ඔවුන් පැමිණි විට ඔවුන්ගේ සියළු ලෙඩ දුක් කරදර වලට බෙහෙත් හේත් කරන්නටද සිදුවේ.
මගේ මවට නම් මා සිටින නිසා මෙහෙම පැමිණෙන අය ගේ බෙහෙත් හේත් කිරීම් ආදිය පහසුවේ. මම ඉතින් ඔවුන්ට අපේ රෝහලේ ක්ලිනික් කාඩ් සාදවා සියළු රෝගාබාද වලට බෙහෙත් හේත් සහ රසායනික පරීක්ෂන පහසුකම් සියල්ල සිදුකර දෙමි.
තවත් පිරිසක් වන්නේ තනිව දරු බර දරන සැමියා අත් හැර දැමූ ගැහැණුන් ය. ඔවුන්ද කීප දෙනෙක් නොයෙක් වර අප වෙත මෙහෙකාරකම් කරන්නට පැමිණියෝය.

ඉන් එකියක් වන සීලා, දරු තිදෙනෙක්ගේ මවකි. ඇය දරුවන් තම මවට බාරදී පැමිණ තිබුනේ ඇගේ සැමියා යැයි අපට හඳුන්වන ලද මිනිසෙක් සමග ය. පසුව ආරංචි වුනේ සැමියා ඇය අත හැර තවත් බාල වයස්කාර කෙල්ලක හා පවුල් කන බව ය. නිරන්තරයෙන් පොලිසීවල පැමිණිලි කරන ඔවුන්ගේ කලබගෑනි වලට ගමේ යන්නට ඕනෑ යයි නිවාඩු ගන්නා නිසා ඇය ගේ සේවය අත් හිටවන්නට සිදු වීනි.
තව කෙනෙක් පැමිණියේ... "මිනිසුන් හා නිදියලා හරි මට සල්ලි හොයන් වරෙන්" යැයි පැවසූ බීමත් සැමියාගෙන් බේරීම සඳහා ය. ඇය උපයන සියල්ල හූරා කෑවේ ඒ මිනිසාය. දරුවන් තිදෙනා නැන්දම්මා ළඟ දමා පැමිණි මේ අයගේ කඳුළු ගංගා අප හමුවේ ගලා යයි. අපි සංවේදී වී බොහෝ උදව් උපකාර කරමින් ඔවුන්ගේ දුකට පිහිටවන්නට හැකි සියළු උදව් කරන්නෙමු.

මේ එන කිසිවෙකුත් රැකියාවක් ඕනෑ යැයි ඕනෑකමින් නොපැමිණෙයි. ඔවුන්ට ඕනෑ මදකට හෝ සල්ලි ස්වල්පයක් සොයාගෙන ඔවුන්ගේ වත්මන් ප්‍රශ්න වලට තාවකාලික විසඳුමක් ලබා ගැනීමට ය.
ඇතැමෙක් එන්නේ මසක් හෝ දෙකක් වැඩ කර සල්ලි කීයක් හරි හම්බ කරගෙන තැරැව්කරුවන් හරහා තව කොහේ හෝ වැඩක් සොයා ගැනීමටය. තැරැව්කරුවන්ටද එය කදිම ය. ඔවූන්ට මසකින් දෙකකින් ආයෙත් සල්ලි උපයා ගත හැකිය.

එහෙත් රැකියාවක දැඩි ඕනෑ කමින් පැමිණි එක් දරු මවක් වන සුසීලා තවමත් අප හා රැඳී සිටී. ඇගේ කතාවත් ඉතා දුක්බරය. සැමියා ඇය අත හැර ගොසිනි. දරුවා වැඩෙන්නේ කුඩම්මා ළඟ ය. විටින් විට දරුවා අසනීප වේ. ඒ අර කුඩම්මා කන්න බොන්න නොදී සිටීම හෝ පිළුණු ආහාර දීම, කොහේ හරි තනිව ඇවිදින්නට ගිහින් වැටී තුවාල වීම වැනි දේ හරහා ය. මා ඉතින් එවිට එහි දිසා රෝහලට කෝල් දමා සුව දුක් විමසා මෙහෙන් මේ කෙල්ල යන තෙක් දරුවා ගැන සොයා බලන අතර මසකට සැරයක් ඇය එසේ දිව ගොස් පැමිණෙයි.
ඒජන්සි කරුවෝද නොයෙක් නූල් සූත්තර කාරයන් ය. අප්‍රිය සහගතම කොටසකි. අප නම් එක් වරක් එලෙස ඒජන්සියක සහය පැතුවද ඔවුන් ලබා දුන් කෙනා කළේ මට අරක බෑ මේක බෑ, මෙහෙම බෑ කියමින් අයිස්ලන්තයෙන් බට අයෙක් මෙන් සිටීම ද, ගෙදර නොයෙක් ප්‍රශ්න කියමින් ගමේ යෑම ද වේ. අන්තිමේ අප ඇය ද ඒජන්සියද අමතක කර දැමුවේ නැවත ඒවායින් කිසිවෙක් නොගන්නේ යැයි අදිටන් කරමිනි.
(නම් ගම් මනංකල්පිතය)

8 comments:

  1. මේ ලිපිය මම හොඳින්ම දන්නා තවත් සිද්ධියක් මතක් කලා. එම පවුල වතුකරයෙන් නෙමෙයි. පියා හැරගියත් තම දරුවන් 5 දෙනා ලොකු මහත් කල අම්මා කෙනෙක් ගැන. ඇයට අවුරුදු 55 දී පමණ එංගලන්තයේ ළමයෙකු බලාගැනීමේ රැකියාවක් ලැබුණා. අවුරුදු කිහිපයකට පසුව ලංකාවට පැමිණි පසුව එක පුතෙක් ඔහුට ඉඩමක් ගෙන ගෙයක් සාදා ගැනීමට ඇයගේ මුදල් වැය කලා. එම නිසා ඇය නැවත එම රටට ගියා. දෙවෙනි වර ආපසු ආවිට තවත් දරුවෙක් ඒ දේම කලා. ඔවුන්ගේ 'කරදර' මවට කියන විට ඇයගේ හිත උණු වී සියළුම මුදල් ඔවුන්ට දෙනවා. අවුරුදු 65 පමණ වනවිට ඇයට නැවත යාමට හැකි සෞඛ්‍ය තත්ත්වයක් තිබුනේ නැහැ. විවාහවී දරුවන් පවා සිටි ඇයගේ දරුවන්ට මවගේ අපහසුව කිසිම ප්‍රශ්ණයක් වුණේ නැහැ. ඇය නැවත නැවත විදේශ ගත කර එම මුදල් සූරා ගැනීම දිගටම කෙරුණා. අවසන් වර ඇය එම රටේදී වැටී ඉතා දුර්වල පුද්ගලයෙකු ලෙස ආපසු ආවා. මුදල් ගත් ළමයින්ට ඉන් පසුව අයගෙන් ප්‍රයෝජනයක් තිබුණේ නැහැ. ඇයගෙන් උදව් නොගත් දියණියක් පමණක් ඇයව ඉතා අපහසුවෙන් අවසාන වසර කීපය බලාගත්තා. අද ඇය ජීවතුන් අතර නැහැ.

    ReplyDelete
    Replies
    1. අප වෙත පැමිණි බොහෝ අයගේ ප්‍රශ්න ඔහොමයි... දුව බන්දලා දීලා දුවට හම්බ කරලා.. අන්තිමේ පුතා බන්දන්න ආයෙම මෙහෙකාරකමේ යන ජෝඩුවකුත් හිටියා.

      Delete
  2. මිනිසුන් ජීවත් වනේන කරන අරගයයේ පැතිකඩ දෙකක්ම මේ කතාවෙන් ඉතා හොඳට පැහැදිලි වෙනවා. ජීවිතේ ඔහොම තමයි ඉතින්.

    ReplyDelete
  3. අපේම මිනිසුන් කොටසකගෙ දුුක කඳුල විවර කර දුන්නාට ස්තුතියි ... ඔවුන් වෙනුවෙන් එවන් උපකාරයක් කරන්නට පෙළඹීම අගය කරමි.

    ReplyDelete
  4. නැතිමුත් විරිය වයසට ගිය පසු මවක
    දුවපුත් නිසා වැඩකරගෙන යයි දුකක
    ඇතිමුත් චරිත මේ ලෙස අපෙ සමාජෙක
    සෙවුමුත් පිළියමක් දී ගන්නට නොහැක....

    ජයවේවා!!!

    ReplyDelete
  5. මේ රටේ වැඩියෙන්ම දුක් විදින්නේ වතුකරේ ජනතාව වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ සෞභග්‍යතම නගරයක් වෙච්ච බම්බලපිටිය ස්ටේශන් එක පිටි පස්සෙ මිනිස්සුත් එක්ක සැසදුවොත් කොහොමද? වතුකරයේ මිනිස්සු ඉන්නෙ ද්‍රිව්‍ය ලෝකෙක නේද?

      Delete
  6. තුන්වෙනි ලෝකේ රටක සැබෑ ජීවන අරගලය

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !