Sunday, October 24, 2021

තෝරාගැනීම් !


අනෝජා (අනවර්ථ නමකි) බොහොම අමාරුවෙන් ඉගෙන ගත්ත දැරියක්. ඇය අපේ වාට්ටුවට ඇතුල් කරලා තිබුනේ වෛරස් උණ නිසා. මේ දවස් වල වගේම ඒ දවස් වලත් වෛරස් උණ තිබුනා, වාට්ටු පිරී ගියා.

අනෝජා හිටියේ අපිට පේන මානේ ඇඳක. ඒ දවස් වල මම වාට්ටුවේ වැඩ ඉවර කරලා මොකක් හරි බරසාර පොතක් කියවනවා. බොහෝ විට වෛද්‍ය විද්‍යාව සම්බන්ද පොතක්. අපිට එහෙම පොත් ගොන්නක්ම මිතුරෙක් ගෙනත් දුන්නා ඉස්සරහට එන එක්සෑම් වලට පාඩම් කරන්න කියලා.

"ඩොක්ටර් ඉංග්‍රීසියෙන්ද කියවන්නේ" අනෝජා එක වෙලාවක ඇහුවා.
"ඔව් අපිට ලියන්නත් කියවන්නත් ඔක්කොම කරන්න තියෙන්නෙ ඉංග්‍රීසියෙන්" මම පැහැදිලි කළා.
"මට අමාරුම ඉංග්‍රීසි" අනෝජා කීවේ මූණ ඇද කරමින්.
"ඒක ඇත්ත මට ඕක හිතාගන්න පුළුවන්. ඉංග්‍රීසි කොහොමත් අපිට උගන්වන පොත පත නම් ස්ටෑන්ඩර්ඩ් මදි... ඊටත් වඩා ගුරු හිඟයත් තියෙනවානේ" ඒ එක්කම මම ඒ කාලේ දැක්කා එයාලගේ සිලබස් වෙනස් විත්තිය.
"ඒත් අනෝජා ඔයා දන්නවද මම පිටරට ඉගෙනගත් කාලේ පළමු ඉංග්‍රීසියෙන් තිබ්බ ලෙක්චර් එකට ගිහින් එළියට ඇවිත් ඇඬුවා" 
දෑස් විසල් කරමින් ඈ මදෙස බලයි.
" මොකද සුද්දොත් කතා කරන්නේ ඇක්සන්ට් එකකට... අපිට ඒ ඇක්සන්ට් එක තේරෙන්න කාලයක් ගියා. මං ඒ ඇහෙන විදියටම ලියාගෙන ගෙදර ඇවිත් වචන හොයා ගත්තා. අමාරු නෑ එහෙම ඉගෙන ගනිද්දී...ඩික්ශනරියක් පාවිච්චි කරන්න. අපි පොඩි කාලේ ඉංග්‍රිසි ටීවී චැනල් එහෙම බලන්න තිබ්බේ නෑ." 

ඔහොම ඉන්න අතරේ අනෝජා කියනවා පොඩි කාලේ කොයි තරම් අමාරුවෙන්ද පාඩම් කරේ කියලත්.
සමහර දවසට ගෙවල් අත ඇරලා කොහේ හරි නෑයෝ ඉන්න දිහාක ගිහින් එද්දී සති ගණන් පාසැල් පැවැත්වුනේ නැතිලු. අනෝජා ගේ අක්කා සංවිධානෙට බැඳුන නිසා ගෙදර අනික් කුඩා වුන්ට ඉන්න දීලා තිබුනා. 
"ඩොක්ටර් ඔයා කොහොමද ගෙදර නැතුව ඉන්නේ" අනෝජා කැඩිච්ච සිංහලෙන් අහනවා.

"ජීවිතේ අපිට එක එක කාලෙට එක එක විදිහේ තෝරා ගැනීම් කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ තෝරාගැනීම් එක්ක අපිට කොහොම හරි ඉන්න වෙනවා. Its a choice anoja, we just have no other option but to live with our choices" 

"ඒමද..." අනෝජා බර කල්පනාවක ආයෙමත්.

"ඩොක්ටර් ඒ තෝරා ගැනීම හොඳ ද?" අනෝජා ඉංග්‍රිසියෙන් අහනවා.

"I dont know dear. I just love what I do thats all that matters" මම ඇයට උත්තර දෙනවා ඉංග්‍රීසියෙන්. එහි තේරුම " මම දන්නෙ නෑ දරුවා, මම කරන දේ කැමැත්තෙන් කරනවා ඒක තමයි වැදගත් !"

මට මේ කුඩා ගැහැණු දරුවන්ගේ කතා මතක් වුණේ මෑතකදී මට මුහුණ දෙන්නට සිදුවුණු සිදුවීම් මාලාවක් නිසා. මිනිස්සු කොයි තරම් නම් තමන්ගේ ආසාවල් සහ කැමැත්තවල් නිසා අනුන් පෙළනවාද කියා මම අත් දුටුවා. ඉතින් මේ මතකයන් අළුත් කරන්නට හිතුනා.

බ්ලොග් ලියමන අමතක කරේ නැති වුනත් රැස පුවත් පතේ ලියන "සායනික සටහන් නොවේ"තීරුව ලියන්න සිදුවෙන නිසා ලියන්න ගත කරන කුඩා කාලය ඒ වෙනුවෙන් යොදවන්න සිදුවුණා.

ඒ ගැන ඇත්තෙ සුපහන් සිතුවිලි සමුදායක් ! 

මීට බොහෝ කලක සිට අපි ලියන ඒවා ඇස ගැටුණු පත්තර මිතුරන් නිසා ඒවා පුවත් පත් වල පල වුණා. නමුත් රැස පුවත් පත පටන් ගත් කාලයේ පටන් එහි තීරුවක් ලියන්න යැයි ආරාධනා කරමින් මට නිරතුරු මතක් කිරීම් එවමින් මංජුල සමරසිංහ මල්ලී මා ලවා කෙසේ හෝ තීරුව ලියවා ගත්තා. ටිකෙන් ටික පාඨක ප්‍රතිචාර සුබාශිංසන සමග වචන 650 හේ තීරු අවුරුදු දෙකක්ම පුවත්පත නවත්වනකම්ම ලීවා. මේ දවස්වල පස් තාච්චි පෙරළන්න ඉගෙන ගන්න නිසා, බ්ලොග් ලියන්න වෙලාවක් වෙන්කරගන්නවා හිතලාම.

ජීවිතය යනු තෝරාගැනීම් රොත්තක් ! ඇතැම් තෝරාගැනීම් හිතකරවූ ඒවා, ඇතැම් තෝරාගැනීම් ජීවිතේට අවාසනාව ගෙන ආවා. හැබැයි පාඩම් ඉගෙන ගත්තා. ඉදිරියේ වෙන්න තිබුණු විනාශ වැළැකුවා. එනිසා අවසානයේ ජීවිතයේ බොහෝ තෝරා ගැනීම් ගැන ලියන්නට ඇත්තේ ද මා අනෝජාට කී දෙයම ය.
"මම කරන දේ කැමැත්තෙන් කරනවා එයයි වැදගත් !"
,,📷 දුක, සතුට බෙදා ගත් උතුරු කොන වැව් ඉවුර. 2010 දී....

20 comments:

  1. හිතන්න බොහෝ දේ ලබා දුන්න ලිපියක්. ඔබගේ අධයාපන කටයුතු ඉටුවේවා යැයි පතනවා.ස්තූතියි.🙏👌🤔

    ReplyDelete
  2. පස් තාච්චි පෙරලනවා කිව්වාම හිතුනේ නව නිවසක් හදන්න අරන් දෝ කියලා. අපි ඉතිං ටියුබ් ලයිට් නේ පස්සේ මිටර් උනා. පාඩම් වැඩ අස්සේ බ්ලොගය ලියනවාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. නෑ.. තාම ටියුබ් ලැයිට්.. තාම පත්තු වුණේ නෑ 😒😒

      Delete
  3. ඒ දැරිවි හොඳට ඉගෙන ගන්න ඇති. දැං හොඳ තැනක ඇති.
    සමහර ගුරුවරු හොඳට උගන්නද්දි සමහරු උගන්නන්නෙ උගන්නන්ට ඕන නිසා. තවත් අය ඒ අයට විශේෂිත කීප දෙනෙක්ට උගන්නනව. අනික් අයට උගන්නන එක මඟාරිනව
    විවිධාකාරය්.

    ReplyDelete
  4. 2020 මුල මම යාපනේ ගියාම අමාරු දෙයකට වුනේ පාරක් හෝ ස්ථාන විස්තරයක් දැනගැනීම. හුගදෙනෙකුට ඉංග්‍රීසි හා සිංහල බෑ. මම අහල තිබුනෙ ඉස්සර යාපනේ බහුතරයට ඉංග්‍රීසි පුලුවන් කියල.
    යුද්ධෙන් වුන තවත් අහිතකර අතුරු ඵලයක්. ඉඉගනගත්ත අය පිටරට.

    ReplyDelete
    Replies
    1. දෙපැත්තෙන්ම, බැටකාපු මිනිස්සු.යුද්ධෙ ඉවර වුනත්, තුවාල සුව වෙන්න කාළයක් යාවි. මෙතන ඔය ගැන විස්තර ටිකක් තියෙනවා.
      https://yapanepemwathi.blogspot.com/2021/10/02-2.html

      කොහොමද, ප්‍රාජේට මේක මිස් වුනේ?🤔

      Delete
    2. ගූගල් ට්‍රාන්ස්ලේට්, ගූගල් මැප් පාවිච්චි කරන්න.

      Delete
    3. D.G.M. Bassa thank you for coming this way and pointing out that blog too.

      Delete
    4. @බස්තුමා,
      බාගයක් වැරැද්ද මගෙනෙ. මේ තරම් පොඩි රටක මේතරම් කාලයක් ජීවත්වෙලා මෙහෙ තියන බාසාවන් තුනෙන් එකක් මට බැරිවීම.
      (ඔබතුමාගෙ ෆ්‍රෙන්ච් අමතක කරමු)

      Delete
    5. ඕං ෆ්‍රෙන්ච් කිව්වාම, මට මතක් වුනේ " ආනන්ද භවන් එකට වැදී තෝසෙ ගිලිනවා" සිංදුව නෙව? සම්භාවය ගණයට වැටෙන්නෙ නැතුව ඇති, ඒකට මොකෑ, හොම්බට අනින්නැහෙ, වදින එකම මඳෑ?🙏😊😂

      Delete
    6. ආනන්ද භවන් එකේ කොහෙද සෑනො, (සොරි සොරි සෑනගෙ ෆ්‍රෙන්ඩ් කියල කරෙක්ට් වෙන්ඩෝනැ ) ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්!

      ජයවේවා!

      Delete
    7. හැට්ටර් සෑර්, අපේ ප්‍රාජේ සෑර් ෆ්‍රෙන්ච් කිව්වෙ. මහිතේ "Pardon my french" වගේ එකකට වෙන්ටෑ. අවුල නෑ,ඒක "Pardon my french fries" කියලම දාගන්ට.😊

      ප්‍රාජේට මතකද මන්දා, සෑනා කියන්නෙ පූසට.😂

      Delete
  5. “Every test in our life makes us bitter or better, every problem comes to break us or make us. The choice is ours whether we become victim or victor.” Anonymous

    ReplyDelete
  6. බොහෝ කාලෙකට ඉස්සර, නරියෙක් මාධ්‍ය ආයතනයක වැඩ කලා. සිංගප්පූරුව සමඟ සබදකම් තිබුන එහි, සිංගප්පූරු ජාතික බොසාලත් හිටියා. එක බොසෙක්, මීටිමක් අවසානයේ නොවරදවාම මෙහෙම කියනවා" ඤැක් ඤුක් ඤැඤැක් හුක් හුචැක්" කියලා. අපි, දැණුම් තේරුම් ඇති එකෙක්ගෙන් ඇහැව්වා" මොකක්ද බාං, මේකා ඒ අන්තිමට කියන්නෙ" කියලා. ඒ කියල තියෙන්නෙ "correct me , if I'm wrong" කියලලු.

    ReplyDelete
    Replies
    1. That’s hilarious.
      මේ‍ පැත්තෙ ආවට ස්තුතියි….

      Delete
  7. Docට කියන්ඩ, ඔය සන්තෑසියම මටත් උනානෙ. ඉස්කෝලෙ යනකාලෙ ඉංගිරිසි උගන්නන වෙලාවට අපිට හරියට 'අතිරේක' වැඩ. අනිත් සබ්ජෙක්ට් වලට කියලත් අඩුවක් නෑ ඉතින්.
    කොයිමින් කොයිම හරි ටිකක් උඩට ඉගෙනගන්ඩ ගියාම, ලැචර්ස් තනිකරම ඉංග්‍රීසි. මේ මම සැලුනද? ඕනෙනං ජර්මන් වලින් ඉගැන්නුවත් අහගෙන ඉන්නව.
    කේස් එක ආවේ ඩොක් පළමුවෙනිම ටියුට් කැලෑසියෙදි. Calculate the PD between A and B කියල පොඩි සේකිට් එහෙකුත් ඇඳළම පස්නේ. වටපිටේ හැමෝම කස කස ගාල ගාන හදනවා. කවුරුහරි කෙනෙක් What is PD කියල අහන්ඩ තරම් බ්‍රේව් උනා. Oh, it is the potential difference කියල උත්තරෙත් හැරෙන තැපෑලෙන්ම ආව. දැන් වැඩේ තවත් බරපතලයි. What the hell is (මොන හු.... ඕක නැණ පමණින් හොඳ සුද්ද සිංහලෙන් හිතාගන්ඩකො )this potential difference? පස්සේ අල්ලපු තැන ගැන හදන විදිය හොරෙං බලපුවම අඩේ මේ කියල තියෙන්නේ අර 'විභව අන්තරේ' නේ. ඒ නම නං මතකයි අපිට භෞතික විද්‍යාවට ඉගැන්නුව කියල
    මේ ලඟදි මේ කතාව මගේ කොල්ලත් එක්ක කියල මං කිව්වා මට නං හිතුනෙම What kind of shit I got into කියලයි.
    වනේ වන හතුරෙකුටවත් වෙන්ඩ එපා මේ වගේ දෙයක්. එනිවේ මේක සැටිපිකෙට් ඇත්ත කතාව මේ මටම වෙච්චි.

    All the best for the PG. It is not fun. But you will do it.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. Hattor, අපිත් ෆිසික්ස් සම්‍බන්ද ඔය වචන වලදි අමාරුවේ‍ වැටුනා. වෙලාවට ඒවා පසුව වැඩිය ඔ‍න වුනෙ නෑ. Thank you for the wishes…
      situation has improved massively as I enjoy what i study.

      Delete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !