Thursday, August 13, 2020

සමීපවෙන්න !

"ජීවිතේ නැති කරගන්න හිතෙනවා. ඔබට කරදරයක් නොවෙයිනම් මට කතා කරන්නපුළුවන්ද ? "
මෙසේ අසමින් මා සමග කතා බස් කළ යොවුන් දියණිය බොහෝ සංකා සංවේදනා බහුල කරදරකාරී දිවියක් ගත කරන බව පැවසුවාය. ඇයට ඕනෑ වුණේ කතාබස් කරන්නට, ඇය පෙළන ප්‍රශ්නය කියන්නට කෙනෙකි. 
ඇය සිටියේ උසස්පෙළ පන්තියේ ය. එවැනි දරුවන් මා හමුවේ ඔවුන්ගේ මානසික අවපීඩනයන් මුදා හැරියේ ගෙදරදී මේ ගැන කතා බස් කරන්නට කෙනෙක් නැතැයි කියමිනි.
නව යොවුන් වියේ දරු දැරියන් මෙන්ම පාසැල් යන දරුවන්ද දැන් දැන් ආතතියට ලක්ව විශාදයේ ලක්ෂන පෙන්නුම් කරන බව පෙනෙන්නට තිබේ.

නහඹර විය කියා අපි බස් වහරේ හඳුන්වන teen age / යොවුන් වියේ පසුවන දරුවන් ඉඳහිට "නාහෙට අහන්නේ" නැතිව ක්‍රියා කිරීම අපේක්ෂා කළ යුතු වුවද, විශාදය යනු වෙනස්ම දෙයකි. මේ වයස්වල දරුවන්ට ඇතිවන මානසික අවපීඩනයේ ඍනාත්මක අතුරු බලපෑම් ශෝකජනක මනෝභාවයන්ගෙන් ඔබ්බට පැතිරෙන අතර අද ඒවා වැඩි වන බවක් දක්නට ලැබේ. විශාදය කියා අප හඳුන්වන depression නම් තත්වයට පත්විය හැකිවන අතර මේ නිසා ඔබේ දරුවාගේ පෞරුෂත්වයේ සාරය විනාශ විය හැක. 
මේ මනෝභාවයන් තුළදී නිරන්තරයෙන් අධික දුකක්, බලාපොරොත්තු සුන්වීමක් හෝ කෝපයක් ඇති කරවන සුළුය. බොහෝ කැරලිකාර හා සෞඛ්‍ය සම්පන්න නොවන හැසිරීම් හෝ යෞවනයන් තුළ ඇති ආකල්ප විශාදියේ ඇඟවුම් විය හැකිය. 
යෞවනයන් තුළින් විශාදය හෝ මානසික අවපීඩනය පෙන්වන සුළු ලක්ෂණ කිහිපයක් අපට හඳුනා ගත හැක. මේ ලක්ෂන තුළින් ඔවුන් පත්ව ඇති ගැටළු සහගත තත්ත්වයන් මග හරවා ගැනීමට “ක්‍රියා කරන” අයුරු අපට වටහා ගත හැක.

පාසලේදී ගැටළු තත්ත්වයන් ඇතිවීම  - මානසික අවපීඩනය නිසා අවදානය දීමේ අපහසුතාවයක් ඇති කරන අතර මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කරේ.  පාසැලේදී, මෙය දුර්වල පැමිණීම, ශ්‍රේණි පහත වැටීම හෝ කලින් හොඳින් වැඩකළ ශිෂ්‍යයෙකුගේ පාසල් වැඩ දුර්වල වීම සහ කණස්සළු ස්වභාවය් සිටීම වැනි දේ තුළින් පෙන්නුම් කෙරේ.

පලා යාම - මානසික අවපීඩනයෙන් පෙළෙන බොහෝ යෞවනයන් නිවසින් පලා යති. එවැනි උත්සාහයන් සාමාන්‍යයෙන් උපකාර ඉල්ලා කරනා වැලපීමකි. මට හමුවූ එවන් අවුරුදු දහහතරේ දරුවෙක් අධික ලෙස කෝපයට පත්වූ විට නිවසෙන් පලා ගොස් දින ගණන් අසල්වැසි නෑදෑගෙවල්වල සිටින බව ඔහුගේ මෑණියන් පැවසුවාය. එහෙත් එය් හේතු සොයන්න හෝ දරුවාට උදව් දෙන්න වැඩිහිටියන් ප්‍රමාද වී තිබුණි.

මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතයට යොමුවීම යෞවනයන් තම මානසික අවපීඩනය අඩු කරගැනීමට යොමුවන තවත් අනිසි ක්‍රියාවකි.  තමන් පෙලනා මනෝභාවයගෙන් තාවකාලික අත්මිදීම සඳහා මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කළ හැකිය. අවාසනාවකට මෙන්, මත්ද්‍රව්‍ය භාවිතය ඇබ්බැහියක් වන ආකාරයට නරක අතට හැරේ.

හීනමානය  හෝ තමන් ගැන බොහොම දුර්වල ආත්ම අභිමානයක් ඇතිවීමද මෙහිදී දරුවන් තුළින් දක්නට ලැබේ.. මානසික අවපීඩනයෙන් කැත, ලැජ්ජාව, අසාර්ථකත්වය සහ නුසුදුසුකම වැනි හැඟීම් ඇති කළ හැකිය.

ස්මාර්ට්ෆෝන් ඇබ්බැහිය - යෞවනයන් ඔවුන්ගේ ගැටලුවලින් මිදීමට දුරකථන භාවිතය සහ අන්තර්ජාල සමාජ ජාලා භාවිතා කිරීමට පෙළඹේ   යා හැකි නමුත් ඇබ්බැහිය තුළින් විශාදය තත්ත්වය තවත් දරුණු කළහැක.

නොසැලකිලිමත් සමාජ හැසිරීම- මානසික අවපීඩනයෙන් පෙළෙන යෞවනයන් නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, අධික ලෙස මත්පැන් පානය කිරීම සහ අනාරක්ෂිත ලිංගික හැසිරීම වැනි භයානක හෝ අධි අවදානම් සහිත හැසිරීම් වල නිරත විය හැකිය.
සමහර යෞවනයන් ආක්‍රමණශීලී හා ප්‍රචණ්ඩකාරී විය හැකිය. නව යොවුන් වියේ ඇතිවන මානසික අවපීඩනයන් විශාදය වැනි තත්ත්වයන් , ආහාර ගැනීමේ අක්‍රමිකතා සහ ස්වයං-හානි කරගැනීම වැනි මානසික සෞඛ්‍ය ගැටලු ගණනාවක් සමඟ සම්බන්ධ වේ. මානසික අවපීඩනය ඔබේ දරුවාට ඉමහත් වේදනාවක් ගෙන දෙන අතර එදිනෙදා පවුල් ජීවිතය කඩාකප්පල් කරයි. ඔබේ දරුවාට සුවයක් දැනීමට උපකාර කිරීම සඳහා ඔබට කළ හැකි බොහෝ දේ ඇත. පළමු පියවර වන්නේ දරුවන් තුළ ඇතිවන මානසික අර්බුද කෙබඳුදැයි අධ්‍යනය කිරීමය. ඉගෙන ගැනීම ඒ තුළින්, ඉහත දැක්වූ අනතුරු ඇඟවීමේ සලකුණු දුටුවහොත් කුමක් කළ යුතුද යන්නද වටහා ගත යුතුය.
මා සමග කතා කළ දරුවන් දෙදෙනාගේම පවුල් පරිසරය තුළ ඔවුන්ට තමන්ගේ මානසික පීඩනයන් දරාගත හැකි කතා කළ හැකි වැඩිහිටියෙක් නොවීය. මව පියා රැකියාවට යනවිට ඔවුන් ඇති දැඩි වෙන්නේ මෙහෙකාරිය හෝ ආච්චී සීයා සමගය. දරුවන් සමග ගතකරන කාලය අඩු වීම සහ මුල් අවස්ථාවලදී  ඔවුන්ගේ ප්‍රශ්න ගැන දෙමාපියන් දරුණු දැඩි ස්වරූපයෙන් කටයුතු කිරීම නිසා ඔවුන් දෙමාපියන්ට කියන්නට බියක් දැක්වීම බොහෝ අවස්ථාවලදී පෙනේ.
හොඳින් සවන් දීම - මේ දරුවන්ට මේ තත්ත්වයෙන් මිදෙන්නට උපකාරවන දෙයකි. ඔවුන්ගේ හිත පෙලන දේ ගැන විවෘතව කතා කළ හැකි පරිසරයක් නිවසේ ඇති කළ හැක්කේ වැඩිහිටියන් වන අපට ය. ඔවුන්ගේ හැඟීම් අවඥාවට ලක් කරන සුළු ප්‍රකාශ නිකුත් කළ යුතු නොවන අතර දෙමාපියන් වශයෙන් මේ ලක්ශන හඳුනාගත් සැනින් ඒ ගැන වඩා අත්දැකීම් ඇති මනෝවෛද්‍යවරයෙක් හා සාකච්ජා කිරීම සුදුසු වේ. එවැනි උපදේශනය තුළින් වඩා සාර්ථක ලෙස ඔවුන්ගේ ජීවිත හැඩගස්වාගත හැකිය.
අදරණීය දෙමාපියනි, වැඩී උස්මහත්වන ඔබේ දරුවා  දෙස බලන්න, සවන් දෙන්න ඔවුන්ට සමීප වෙන්න !

No comments:

Post a Comment

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !