Sunday, August 9, 2020

එහෙම කළාම මෙහෙම වෙනවද ?

හතේ අපේ පොත නමින් දරුවන්ට ලිංගික අධ්‍යාපනය සපයන පොතක් නිර්මාණය වී ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන් සහ ක්ශේත්‍රයේ ප්‍රවීන අධ්‍යාපන විශේෂඥයින් මගිනි. ඒ පොතට ඇති වූ සමාජ විරෝදය හමුවේ එය අද ඉවත් කරගැනීමට සිදුවී තිබේ.
ඉතා කුඩා වයසේදිම බරපතල ලිංගික අපචාරවලට ලක්වුණු දරුවන් දැරිවියන් මට හමුවෙන්නේ රෝහල් වාට්ටු තුළදීය. දරුවන් මෙලෙස අපයෝජනයට ලක්කරන වැඩිහිටියා බොහෝ දුරට ඔවුන්ගේ නිවසේ සිටින තමන්ගේම කෙනෙකි. අප හමුවේ දිගහරින කතන්දරවලින් කියැවෙන්නේ මේ දරුවන් තමන්ට සිදුවෙන්නේ කුමක්දැයි නොදැන සිටි නිසාම බිය නිසාම හෝ ඇබ්බැහිය නිසාම ඒ දෙයට ඉඩ දී ඇති බවය.  තමන්ගේ නිවසට එන නෑයින් දරුවන් සමග නිදිකිරීම පවා කොයිතරම් භයානකදැයි අන්තර්ජාල සටහනකින් පැහැදිලි කර තිබුණි.

නංගිගේ බඩ ලොකු වෙනවා යැයි පවසමින් භාහිර රෝගී අංශයට පැමිණි අක්කා නගෝ දෙදෙනා ප්‍රසව හා නාරිවේද වාට්ටුවට ඇතුල් කර තිබිණි. ඒ දැරියගේ වයස අවුරුදු 13 කි. අක්කා ගෙදර ගොස් නංගිගේ බඩේ සති 20 ක කළලයක් වැඩෙමින් පවතින බව පැවසූ විට පියා ගෙල වැලලාගෙන දිවි නසාගෙන තිබුණි. මව මැදපෙරදිග ගිහින් ය. අම්මාගේ ගවුම ඇඳගෙන තමා ළඟ නිදියන්න එන්න යැයි තාත්තා පවසන බව ඇය කීවාය. තමන්ගේ අක්කාට මේ දෙය නොකියන ලෙසද බිය වැද්දූ තාත්තා තමන්ට සිදු කරන්නේ කුමක්ද ඇය නොදැන සිටියාය. තාත්තා මරාගත්තේ අප යැයි ඇය බැන වැදුනාය. ඒ ඇයට තාත්තා කළ.සංහදියේ තරම මේ ළපටි දැරියට නොතේරුණු නිසාය. දරුවා ලැබුණු පසුද  දුටුවේ හවස පහට ඇඳ උඩ ඉඳගෙන වාට්ටුවේ රූපවාහිනය දෙස හැරී කාටූන් බලන දැරිවියකි.

අවුරුදු 12 ක දැරියක අප හමුවට පැමිණියේ කඩේ මුදලාලි නොයෙක් තෑගි දෙමින් ඇයට කරන ලද සෙල්ලම නිසාය. ඇය ඒ ලොසින්ජර ටොපි ටිපි ටිප් පැකට් එකට ඇය සමග කරන සෙල්ලම කුමක්දැයි නොදැන සිටියා මෙන්ම එය ඉවසා සිටිය බව පැවසුවාය. ඇය යුද්ධය අවසානයේ ඉතිරි වූ මිත්තණිය සෙවනේ සිටි අතර කිසිවෙකුට මේ ගැන පවසා තිබුණේ නැත. එහෙම වුනාම මෙහෙම වෙනවා ? බබාලා එන්නේ එහෙමද ? කියමින් ඇය සසල වූවාය. ඇය ප්‍රසව වේදනාවෙන් කෑමොර දුන් හැටි මට අදටත් මතක ය.
2012 දී ලෝක විනාසය වෙනවා යැයි පැතිරුණු ආරංචියකි. ඒ එක්කම අප හමුවට ගෙන ආ නව යොවුන් වියේ දැරියන් කිහිප දෙනෙකි. වැඩිහිටි පිරිමි ළමෝ මෙය විනෝදයක් බවද ලෝක විනාශය වෙන්න කලින් මේ විනෝදය ලැබිය යුතු බවද පවසා ඔවුන් පාළු නිවසක් වෙත රැගෙන ගොස් තිබිණි. 
ඔවුන් කිසිවෙක් මේ කරන්නේ කුමක්ද කියාවත් දැන සිටියේ නැත. අතුරු ප්‍රතිඵල දැන සිටියේ නැත.

බොහෝ විට උතුරු කොනේදී දැරිවියන්ට ලිංගික අධ්‍යාපනය ගැන කියා දෙන්නට සිදුවුණේ අපට ය.වයස 16 සිට එක්ව ජීවත් විය හැකියැයි කියනා රටක එසේ ඉක්මනින්ම දරුවන් ලබා තනිවූ දැරියන් ගැන කතන්දර රැසක් මට ලියන්නට හැකිය.

ළමයින්ට මේවා කියා දිය යුතු වයස කවරක්දැයි ඇතැමෙක් අසයි.  යමක් වැටහෙන කතා කරන්න හැකි තේරුම් ගත හැකි වයසේ කුඩා ඩ්ජරුවන්ට පවා තමන් අනවශ්‍ය ලෙස අතගාන්නට බලපෑම් කරන්නට ඇඳුම් උනන්නට තැත් කරන වැඩිහිටියන් ගැන සරලව තේරුම් කරදී එවන් මොහොතවලින් බේරෙන්නට දෙමාපියන්ට වැඩිහිටියන්ට ඒ ගැන කියන්නට දරුවන් හුරු කළ යුතු නොවේද ? 

නාන්න ළිඳට ගෙන ගිය තාත්තා තමන්ගේ අඟපසඟ අතගෑ බව අවුරුදු පහක දැරිවියක අප හමුවේ පැවසුවේ ඇය අම්මාත් සමග රෝහල්ගතකර ඇති අවස්ථාවේදීය ඒ තාත්තා ඇයට කල ලිංගික අපචාරවලට එරෙහිව මව පොලිසී ගිය නිසාය.

කණ රිදෙනවායැයි ඇඩ්මිට් කළ දරුවා පසුව කීවේ විදුහල්පති කණට ගැසූ බවත් පන්තියට පැමිණ මහත දරුවන්ගේ බඩ, පසුපස ප්‍රදේශය මිරිකන බවත් තමන්ගේ බඩ මිරිකූ බවත් ය. 
බාලවයස්කාර දැරියන් දරුවන් බස් රථ තුළදී හිංසනයට ලක්වේ. “ජැක් ගැසීම” ගැන මා දැන ගත්තේ බස් රථයේ එලෙස හේත්තුවන්නට ආ මිනිසෙක් නිසාය. මේ සමජයේ අමනයින් දරුවන් පෙලා දමන්නන්, ලිංගික අප්චාර කරන්නන් බහුලය. ඔවුන් නිදැල්ලේ සිටී. අපචාරයට ලක්වන දරුවා හෝ දැරිය නැවත ඒ පාපතරයා සිටින ගෙදරටම ඇතැම්විට බාරදෙන්නට හෝ යැවීමට සිදුවේ. 
අප ජීවිත කාලය තුළ හමුවන අනන්තවත් මෙවැනි කතා ලියා ඔබ හමුවට ගෙන එන්නේ කැඩී බිඳී යන හිත හදාගෙන රාජකාරිය විතරක් කරන්න කියන බලපෑම් මගහරිමිනි. 
ඔවුන් හැකි අයුරින් දැනුවත් කරමු. ඔවුන්ගේ ශරීරය ගැන, එහි සිදුවන වෙනස්කම් ගැන, ඒ ඒ වයස්වලදී ඔවුන්ට සිදුවන, දැනෙන දේ ගැන හරියාකාර තොරතුරු සහ අධ්‍යාපනයක් නොදීමෙන්   ඔවුන්ට වැරදි තොරතුරු මෙන්ම වැරදි ආකාරයේ අත්දැකීම් ලැබිය හැකිය.
ස්ත්‍රී/ළමා දූෂකයින් ගැන වෙන රටවල තිබෙන්නාක් මෙන් registry අපේ රටේ තිබෙනවාද ? 

මෙවන් අධමයන් වෙනුවෙන් අප කළ යුත්තේ සමාජ විරෝදයක් ගෙන ඒමය. එහෙත් ඒ වෙනුවට අපේ රටේ  ඉන්නේ එවැන්නන් ඔසවා පාර්ලිමේන්තුවට යවන අපූරු මිනිසුන් ය. 
පාසැල තුළින් මේවා කියා දෙන්නේ නැති බව බොහෝ දේවලින් පැහැදිලි වේ. එනිසා එවැනි දෑ ගැන වෛද්‍යවරුන් මගින් හෝ පාසැල් දරුවන් දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සකසන්නට කාලය පැමිණ ඇතැයි සිතේ. 
ඔබේදරුවා සුරක්ෂිත ද ? 

වෛද්‍ය බෝධිනී සමරතුංග
රැස සායනික සටහන් නොවේ තීරුවෙන්

4 comments:

  1. හතේ අපේ පොතට විරුද්ධව නැගී හිටි පළමු පාර්ශවය කවුද කියලා මම ආයි මතක් කරන්න අවශ්‍ය නැහැ නේද. අන්න ඒ අයට අපිම දීලා තියෙන සිවිල් බලය හමුවේ දේශපාලන අධිකාරියත් පස්ස ගහනවා. ඒ වගේම පාසැලේදී විද්‍යාව විෂය යටතේ වත් හරියට ඒ පිළිබඳව දැනුවත් කරන්නේ නැහැ. හේතුව ගුරුවරුන් පවා ඒ පාඩම ලිස්සා යවන නිසා. මේක කරන්න පුළුවන් වෙන ක්‍රමයක් තියෙනවා. වෛද්‍ය වරයෙකු හෝ මහජන සෞඛ්‍ය හෙදිය ලවා ඒ දැනුම ලබාදීම.ඒ අයට පාසැලට ගිහින් ඒ දැනුවත් කිරීම කරන්න පුළුවන්.මිශ්‍ර පාසැලක නම් පිරිමි ළමයින්ට හා ගැහැණු ළමයින් ට. වෙනවෙනම පන්ති දෙකක් කරන්න පුළුවන්. හැබැයි අර මම කිව්ව අයගේ විරෝධය මැඩ පවත්වන්න පුළුවන් ඔයාට අතින් වෙලා තියන දේවල් වල සංඛ්‍යා ලේඛන ප්‍රසිද්ධියට පත් කලොත්.

    ReplyDelete
  2. ලංකාවේ මෙතක් බිහිවූ පෙරටුගාමී ම අධ්‍යාපන ඇමති වරයා අඛිල විරාජ්. ඔහු අධ්‍යාපනය වෙනුවෙන් බොහෝ ඉදිරි පියවර තැබුවා. ස්මාර්ට් ක්ලාස් රුම්, ටැබ්, ගුරුවරුන්ට ලිහිල් ඇඳුම් වගේ ඒවා අතර හතේ අපේ පොත කියන්නේ ඉතාම වටිනා වැඩක්. එහෙව් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට ජනතාව දක්වන ප්‍රතිචාරය අපි දන්නවනේ. ලංකාවේ මිනිස්සු තමයි මුලින් හැදෙන්න ඕනි. ඊට පස්සේ රට හැදෙයි.

    ReplyDelete
  3. අධ්‍යාපනය හා ජනමාධ්‍ය දැනුවත් කිරීම තමයි කෙටිකාලීන විසදුම. දීර්‍ග කාලිණව බැලුවොත් මේ දේ බොහෝ ආර්‍තික හා සමාජ පසුගාමීත්වය නිසයි.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !