Life, work, stress and Stories from the other end - සායනික සටහන් නොවේ, මේ ජීවිත සටහන් ගොන්නකි....
Thursday, August 13, 2020
සමීපවෙන්න !
Sunday, August 9, 2020
එහෙම කළාම මෙහෙම වෙනවද ?
Tuesday, July 14, 2020
මේ දුක හරි පොඩියි !
මහ ගින්නක පැන මියෙන්න සිතක් සිතනවා
සාගින්නද උහුලනු බෑ පොඩිවුන් අරගෙන පිම්මට
මහ දියකඳ බදා වැළඳ නිමක් සොයනවා
අනෙකා ඇවිදින මග තොට උන් විඳිනා මහ කරදර
ඒ ගැන වඩියක් හිතුවද ඔබෙන් අහනවා
උන් ඇවිදින ගව් සිය දුර උරහිස් දරණා බර පොදි
ඒ ගැන විමසා සිටි උන් නැතැයි පෙනෙනවා
සංසාරේ විඳිනා දුක මඟ සොයලා මඟ දකින්න
මුනිවරයන් දෙසූ දම් හඬ අදත් ඇහෙනවා
අනුන්ගෙ දුක දකින තැනදි බදා වැළඳ දරණ විටදි
මේ දුක් කඳ මොන පොඩීද කීයා සිතෙනවා
බෝධිනී සමරතුංග
2020 ජූලි
මිනිසුන්ගේ දුක් විඳීම් ගැන සත දෙකේ කතාවකින් පසු !
After discussing my 2 cent on "problems with a med friend.
(උපුටා ගැනීම හෝ කොපි කිරීම නොකරනු මැනවි)
ඇවිලෙන සිතකට දම්පැන් සොයමින් ඇවිදින කතරක
දහම් හඬින් මුලා කරන දනෝ
Monday, July 13, 2020
බුදුන් වඳින්නේ ප්‍රශ්න තියෙන අයද ?
මධ්‍යම රාත්‍රී දොළහ පසුවෙද්දීම රාත්‍රී වැඩමුරය භාරව සිටින වෛද්‍යවරිය වන මා වෙත දුරකථන ඇමතුමක් ලැබුනේ පැයක පමණ වූ කෙටි නින්ද හමාර කරමිනි. රාත්‍රී සේවයේ නියුතු වෛද්‍යවරයා සිටිය යුත්තේ වාට්ටුවේ වෛද්‍ය විවේක කාමරයේ ය. එහෙත් එම වාට්ටුවට වෛද්‍ය විවේක කාමරයක් නොතිබිණි. මේ වාට්ටු සංකීර්ණයම හදිසියේ හැදූ ඒවා වන නිසා ඔහොම කාමර හදන්න මතක් නොවෙන්නත් ඇති. එනිසා විටින් විට වෛද්‍ය නේවාසිකාගාරයේ සිට පෙනෙන දුරකින් පිහිටි වාට්ටුව වෙත අපට දුවන්නට සිදුවුනේ දිනක් හැර දිනක් පාසා යෙදෙන රාත්‍රී වැඩමුරය සහිත දිනවල ය.
"ඩොක්ටර්, ඇඩ්මිශන් එකක් හදිසිම එකක් නෙමේ" හෙදිය දුරකථනය ඔස්සේ පවසයි.
“ හරි මිස් මම එන්නම්” මම විදුලි පන්දම රැගෙන නේවාසිකාගාරයේ කාමරයේ සිටි අනෙක් වෛද්‍යවරිය සුවසේ නිදනු බල බලා, ශබ්ද නොනැගෙන සේ දොරවසා අගුළු දමා නික්මුනා.
මා යන විට ඇවිත් තිබුණේ නොදන්නා යම් සතෙක් විසින් සපා කෑ අයෙකු ය. ඔය අතර වාට්ටුවේ සිටින ඇදුම රෝගියෙක් වූ ජෙයපාලන් මාස්ක් එක එක අතකින් අල්ලාගෙන ඔක්සිජන් සමග නාස් කුහරය වෙත ඇදෙන දුම ආඝ්‍රහනය කරමින් සිටියේය.
ජෙයපාලන් වයස පණස් ගණන් වන ගොවියෙකි. දිර්ඝ කාලයක් ඇදුම සඳහා ඖෂධ ගනී.මේ කාලයේ පැවති වර්ෂා තත්ත්වය නිසා විටින් විට ඇදුම සහ ශ්වසන රෝගී තත්ත්වයන් සහිත අය රෝහල්ගත වේ.
මා වෙද නළාව තබා පිට පැත්තෙන් ඔහුගේ ශ්වසනය සහ ශබ්ද පරීක්ෂා කළෙමි.
ඉක්මනින් හුස්ම ගනී.. පිට කරන්නේ කීං කීං හඬ සමග හුස්ම ගත්තාට වඩා දීර්ඝ කාලයක් වැය කරමිනි. වාට්ටුවේ බහුතරය කහිමින් සෙම් සොටු පිටකරමින් සිටී. ඒ රෝග කාරක අපටද වැළඳේ, ඇතුල් වෙන රෝගීන් හට පෙති කරල් පොවමින් අපද ඒ පෙති, කරල්ම බොමින් මේ ගත කරන කාලය ගැන මදක් නතරව සිතමි.
“සුසුඛං වත ජීවාම ආතුරේසු අනාතුරා
ආතුරේසු මනුස්සාස විහරාම අනාතුරා” (ධම්ම පදය)
ආතුර වූ මිනිසුන් මැද අප අනාතුරව වෙසෙමු. ධම්ම පද ගාථාව මතකයට නැගේ. කයින් ආතුර වෙනවට වඩා දරුණු හිතින් ආතුර වෙන එක. මම මගේ හිතට එය මතක් කරදෙමින් හිත හදා ගනිමි.
සැනෙන් බිඳෙන සසලවෙන හිත්වලින් ආතුරව ගතින් ආතුරව උදව් පතා පැමිණ ඇත්තේ අපට ආගන්තුකයන් ය. ඒ මිනිසුන්ගේ සෙම් සොටු කිවිසුම් කැස්ස සමඟ අප මුහුණු මත තැවරේ. ප්‍රෙශර් මනිමින් නළාව තබමින් ඇඟේ හැම තැන අල්ලා මිරිකා ඔබ ඔබා පරීක්ෂා කරමු. දහඩිය වැකුණු ශරීර, දිනගනන් නා පිරිසිඳු නොවූ ශරීර ඇත්තන් කිසිඳු ආවරණයක් නොමැති අත්වලින් අල්ලා ලෙඩේ හොයගන්න පරීක්ෂා කරමු.
උදේ රෑ ආසාදන වලකාගන්න පෙති ගිල, රෑ පුරා ලෙඩ රෝග උත්සන්න වන අය සමග ඔට්ටු වී උදෑසන තඩිස්සු වූ නිදි නොලැබ විඩාබර ඇස් රැඳි මුහුණින් වාට්ටුව පුරා ඇවිදිමු. ක්ලිනික් දිනවල ක්ලිනික් දුවන්නෙමු.
දැන් මදක් පහසුවෙන් හුස්ම ගනිමින් ඇඳේ උඩ කොටසේ මෙට්ටයට උස්සා පහසු කර දී තිබෙන හෙයින් දැන් සැනසිල්ලේ සිටී. ඔරලෝසුවෙන් වේලාව බැලුවෙමි. පාන්දර තුනහාමාරටකිට්ටුය. ඊළඟට නිතර සොයා බලන රෝගීන් වාට්ටුවේ ඉදිරිපස කොටසේ සිටියායින් ඔවුන් ගැන සොයා බැලුවෙමි. ඩෙංගු උණ සෑදී ඩෙංගු රක්තපාත තත්ත්වය සමග පොර බදිනා, රෝගියාගේ තත්ත්වය මේ වනවිට හොඳ අතට හැරෙමින් පවතින නමුදු දවසට කිහිප පාරක් දෙවියන් සිටින අත සොයා වඳින්නට ඇඳෙන් බැස කකුල් අත පය සෝදන්නට බැරි වීම නිසා කණස්සල්ලක් ඔහුගේ හිත පෙලයි. මන්නාරම් දෙසින් ආ වැසියෙකි.
"අනේ ඩොක්ටර් මට වන්දනා කරන්න ඕනෙමයි. දැන් දවස් ගාණක්ම මට වන්දනා කරන්න බැරි උනානේ." ඔහුව පරීක්ෂා කරද්දී පවසයි.
“ඔබේ දෙවියන් තේරුම් ගනීවි ඔබ දැන් සුපුරුදු ලෙස වන්දනා කරන්න බැරි තත්ත්වයක ඉන්නේ කියලා. හිතින් සියල්ල හිතන්න තාත්තා. හිතේ භක්තියනේ වැදගත්ම. කය වෙහෙස කිරීම හොඳ නැහැ නෙව. ඇරත් මූත්‍රා බටේ එහෙ මෙහෙ උනොත්. බෑග් එක ගැටහලා තියෙන්නේ ඇඳ විට්ටමේ. ඉතින් එහෙ මෙහෙ දුවන්නැතුව ඉන්න තාත්තේ”
" ඔබවද මේ ප්‍රතිකාරද දෙවියන් දෙන උදව් දුවේ" කියමින් හේ සැනසෙයි.
අපි නාඳුනන මේ සියල්ලන්ට අම්මේ, තාත්තේ සීයේ,මාමේ, අයියේ මල්ලී යැයි කියන්නේ අපේ සංස්කෘතියේ හුරුව නිසා ය.
මෙහි වැසියන් අපට පෙරලා අම්මා හෝ අයියා යැයි පවසති. මා කලින් ලීවා මෙන් ඒ ගෞරවය හඟවන ආමන්ත්‍රනයකි. අනිත් කොන පොතේ මේ නිසා ඇතිවූ අලකලංචි ලීවා මතක් වේ.
එළිමහන් පාරෙන් රෝහල් බුදු මැදුරට ඇවිද එන්නට සිතුන නිසා මා කෙටි පාර අමතක කළාය. නිරිත දිගින් හමන සිහිල් සුළඟට නිරාවරණව ගල් කණු සතරක් අතර මැදි කර සමාධියෙන් වැඩ සිටි බුදු පිළිමය පිහිටි කොටස රාත්‍රියේද එළිය කර තිබිණි. බුදු රුව හිත නිවා සනසයි. ඉදිරිපිට අතුරා ඇති කළුගල් ටයිල් මත හිඳගත් මම සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගි වෙත්වා යැයි මෙත් වැඩුවෙමි. මළගිය ඇත්තන්ට පින් දුන්නෙමි. සියළු රෝගී හදවත් නිවී සැනහේවා යැයි මෙත් වැඩුවෙමි. මගේ හදවත පුරා ඇවිල යන ශෝකී කම්පන ය මෙවෙලෙත් අඩු වූයේ නම් නැත.
“ඔය බුදු මැදුරෙ තිස්සෙම රැඳෙන්න එපා. මිනිස්සු හිතයි ඔයාට ප්‍රශ්නයක් තියෙනවා කියලා” එක් වෛද්‍යවරයෙක් මට පැවසූයේ වෛද්‍ය නේවාසිකාගාරයේ භෝජනාගාරයේ ආහාර ගන්නා වෙලාවේදීය.
“බුදුන් වඳින්නේ ප්‍රශ්න තියෙන අයද ?” මම ඇසුවේ විමතියෙනි.
“ඔව් හොඳට බලන්න !” ඔහු කියන්නේ සමාජයේ බහුතරයකගෙන් පෙනෙනා හෝ බහුතරයක් දෙනා හිතාගෙන ඉන්නා මතයකි.
මම දෑස් ඇරලා අවට බැලුවෙමි. අඩවන් වූ දෙනෙතින් සමමෙත් සිහිලෙන් නැහැවෙමින් වැඩ හිඳින බුදු රුව මා ඉදිරිපිට ! ඊට පිටුපසින් ගේට්ටුවේ මුරකුටිය දෙසින් මුර උන්නැහේ හිස දමා බලන්නේ මේ මහා රෑ බුදුන් වඳින්නේ කවුරුන්ද කියා විය යුතුය.
බුදුන් වැඳීම හැමෝම කළ ද බුදුන් පෙන්වූ මග ගමන් ගන්නා මිනිසුන් අල්පය.
"කටින් බුදු බණ විදින මිනිස්සු තමයි භයංකරම, බුදු සරණා යී.... කියලා ෆෝන් එක තියන මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න ! ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා වෝඩ් රවුන්ඩ් එක කරමින් මේ ළඟකදි ඉඳන් බුදු මැදුරක් හැදීම වෙනුවෙන් වෙහෙසෙන අපට කීවේය.
To me, you are Buddhas. All your efforts to become enlightened are ridiculous if you don't accept this basic fact. This has to become a tacit understanding, that you are it! This is the right beginning, otherwise you go astray. This is the right beginning! Start with this vision, and don't be worried that this may create some kind of ego -- that "I am a Buddha." Don't be worried, because the whole process of The Heart Sutra will make it clear to you that the ego is the only thing that doesn't exist -- the only thing that doesn't exist! Everything else is real - the heart sutra
Friday, July 10, 2020
කලන්තේ දැමීම්
ඔවුන් අතරින් පැමිණි කෙනෙක් ඇසුවේ "ඩොක්ටර් උතුරේ අහවල් රෝහලේ වැඩකළා නේද ?" කියා ය.
මට එවිටම ඔහුව මතකයට ආවේ එහි හමුවූ හෙද සොයුරෙක් ලෙසය එහෙත් ඔහු වැඩ කළ ඒකකය මතකයට ආවේම නැත.
"තියටර් එකේ මතකද ඩොක්ටර්" ඔහු ඇසූවිට මටටක්කෙටම මතක් විය.
"ඔව්නේහැබැයි මම ඊටපසු අවුරුද්දේ මාරුව ලැබ කොළඹ ආවා" මම කීවෙමි.
මෙච්චර මේ මූඛ නහය ආවරණය කර ගනිමින් මාස්ක් දමා සිටියද අවුරුදු 8 කට පසුව වුවද ඔහු මා හඳුනාගත් හැටි පුදුමය.
අප වැඩකරන ඕනෑම තැනක සෑම අංශයකම අය හා සුහදව කටයුතු කිරීමද ඔවුන් සැම තරාතිරම් ලෙස නොව මිනිසුන් ලෙස සැලකීමද මා උගත් දහමය. ඒ සමග සහෝදරත්වයෙන් වැඩ කළ නිසා ඔවුන් සැම , ගෙවල්වලින් බොහෝ දුර බැහැර වැඩ කළ අප වෙත දයාබර වූවෝය.
ඇත්තටම ඔහුව මතකයට නැඟීමත් සමග එහි සිදුවූ සිදුවීමද මතක් වුණි. පත්වීම ලැබ තියටර් එක හෙවත් සැත්කම් කරන ශල්‍යාගාරයේ පුහුණුවට ආ ඔවුන් කිහිප දෙනෙක් අප සැත්කම් කරනු බලා සිටින්නට විය. පළමු දවසෙම ඔහු කලන්තය හැදී වැටුනේ අප සැම පුදුම කරමිනි. මන්ද ඔහු වැටෙනකම් අප දුටුවේ නැත.
එදා සියල්ලන්ටම ඔහුව බයිට් එක විය.
ඉන්පසු එළඹි දිනක වාට්ටුව බලන් හිටි මා වෙත ආ දුරකථන ඇමතුමකි. "ඩොක්ටර් ආර් කලන්තේ දැම්මා ඉක්මනින් තියටර් එකට එන්න"
කලන්තේ දමා සිටියේ සුමිතුරු වෛද්‍යවරයාය.
නිතරම විහිළුවෙන් ඉන්නා මේ සගයා, ප්‍රසව හා නාරිවේද ඒකකයේ ඉන්න බහුතරයක් දෙනා හෙදියන් සුළු සේවිකාවන් සහ වෛද්‍යවරියන් දෙදෙනා සහ රෝගීන් සියල්ල ස්ත්‍රීන් නිසා... මේක නම් ඉතින් පිටරට විකාශය වන විහිළු නාට්‍ය සීරීස් එකක් වැනි ජීවිතයක් බව කියමින් සිටියේය.
දැන් ඔහු කලන්තේ දමා ඇත.
ඉතින් එදා සිට මම ඇතුළු හෙදියන් අප සියල්ලන් බොහෝදිනක් යනකම් ඔහුට විහිළු කළේ "වැඩක් නෑ ඉතින් ඔහොම කලන්තේ දමනවානම්" කියාය. ඒවෙනකොට ශල්‍යාගාරය සහ සැත්කම් අපට ඒ තරම් හුරු පුරුදුය.
" අධි ආලෝක අර තියටර් ලයිට් එක ඔළුව මුදුනේ තියන් අලුත් සර් ට ඇසිස්ට් කරලා බලන්න" ඔළුව නම් රත් වුණා නොසෑහෙන්න"
කියමින් ඔහු නිදහසට කාරණා කීවේය.
ඉන් පසු එවැනි කාලයවැයවන සැත්කම් සඳහා අත් උදව් දීම භාර වුනේ මට ය. එහෙව් එක් දිනක තියටර් එකේ ලයිට් එක (අධි ආලෝකමත්) ඔළුව උඩින් ම විහිදෙන සැත්කම් දිනයක මට ද සිදුවුනේ ඇස් නිලංකාර වේගෙන යද්දී අසල සිටි හෙදියට යන්තම් කියා ගැනීමය.
"මිස් මට කලන්තේ වගේ"
මිස් පැමිණ මා පසු පසින් සිට ගත්තේ හරි යාවිද බලන්නය.. හරි යන පාටක් නැත.
"තව පොඩ්ඩයි මේ ටික මට කරගන්න පුළුවන්" සර් කීවෙන් මා විගහින් ශල්‍යාගාරයේ පොළොවේම හිඳ ගත්තෙමි. ඔළුව පහත් කර ගත්තෙමි මදක් හරි යාගෙන එද්දී නැගිට එළියේ හාන්සි පුටුවට ගියෙන්, සීනි සංතෘප්ත ඩෙක්ස්ට්‍රෝස් ද්‍රාවණයක්ද ටිකකින් උණු උණු කිරි තේකක්ද ලැබුනෙන් යතා තත්ත්වයට පත් වීමි.
"දිට්ඨ දම්ම වේදනීය කර්ම" වෛද්‍ය ආර් ට හිනා වූ මට ආර් පැවසුවේය. දොස්තරලා දෙන්නෙක්ම කලන්තේ දැමූ හෙයින් හේතු සෙව්වෙමු. අලුත් සර් ලයිට් මදි කියද්දී තියටර් එකේ අතිරේකව ඇති බල්බ් එකක් සහිත ලාම්පුවක් ගෙන අත් උදව් දෙන අනෙක් වෛද්‍යවරයා සිටින පැත්තෙන් අපට කෙළින් අටවන හෙයින් මේ අලකලංචිය සිදුවන බව එක හේතුවක් විය.
"තියටර් එකේ ඒ ලයිට් එක සැර වැඩී තමා. VH &R එකට ඇසිස්ට් කරද්දී කෙලින්ම ඔළුව උඩ. ඒක තමා ප්‍රශ්නේ" වෛද්‍යවරු දෙන්නෙක් කලන්තේ දැමීමට හේතුව එසේ තීන්දු විය.
උතුරු කොන සේවය කළ කාලයේ රස කතා
Thursday, July 9, 2020
ප්‍රාඩ විලී
Wednesday, July 1, 2020
ඒ කියන්නේ ඔබේ හදවත !
Sunday, June 28, 2020
මහත් නොවී ඉන්න බේත්
මම වහා නැගිට කොරිඩෝවේ කොනේම පුටුවේ සිටින ඇය වෙතට ගොස් සුව දුක් විමසා පැමිණෙමි. හිස කෙස් ගැලවී ගිය ඒ තට්ටය සහිත හිස සලුවකින් වසාගෙන බොහෝ කෘෂව සිටි ඇය සමග වදනක් කතා බහ කර ඇගේ ජීවිතය පහසු කරගැනීමට මොණර කොළ කිහිපයක් අත තබමි. ඇගේ නැන්දම්මා රෝහලේ කැළි කසල සුද්ධ පවිත්‍රකරන ඒජන්සියේ වැඩ කරන්නී ඇගේ දරුවන්ද රැක බලාගනීය.
පිළිකාව බොහෝ සෙයින් අද සමාජය වසා පැතිරෙමින් ජීවිත බොහෝමයක් විනාශකරමින් ලෝකයේ අංක එකේ මරුවා වී ඇත්තේ ඉක්මනින් පැතිර යන වසංගත රෝගයක් මෙනි. ශරීරයේ ඕනෑම තැනක අසාමාන්‍ය ලෙස සිදුවන සෛල වර්ධනයක් පිළිකාවක් ලෙස හැදින්විය හැක. අපේ රටේ බොහෝ දුරට අප දකින්නේ මුල් අවධියේදීම හඳුනාගෙන ප්‍රතිකාර කරානම් ජීවිතයට අවධානමක් නොමැතිව පිළිකා තත්ත්වය පාලනය කළ හැකිව තිබූ බව ය. බොහෝ පිරිසක් තමන්ගේ සිරුර තුළින් පිටට පෙනෙන්නට වර්ධනය වන ගැටිති, තුවාළ හෝ ගෙඩි පිළිබඳව හෝ අවදානයක් යොමු නොකරන්නෝය.
අද ලෝකයේ පිළිකා අවදානම සහ ආහාර රටාව අතර ඇති සබඳතාවය බොහෝ සෙයින් පෙන්වාදෙන අතර අපේ රටේ වැසියන් මේ ගැන දක්වන්නේ බොහෝ ඇල්මැරුණු ස්වභාවයකි.
රතු මස් සහ පිරිපහදු කළ ධාන්‍ය අධික ලෙස පරිභෝජනයද පිළිකා අවදානම වැඩි කරන බව පර් යේෂණ වලදී අනාවරණය විය. බටහිර ආහාර වේලක් (western diet) පිළිකා පර්යේෂකයන්ගේ නව අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ සැකසූ රතු මස්, පිරිපහදු කළ ධාන්‍ය වර්ග සහ සීනි අධික බීම සහ අධික සැර (spicy) ආහාර වේල්, මහා බඩවැලේ පිළිකා ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස වැඩි කරන බවය. එමෙන්ම ශරීරයේ ඇතිවන ප්‍රදාහය (inflammation) තත්ත්වයන් පිළිකා අවදානමට සෘජුවම බලපාන බවද අද පිළිගන්නා පර් යේෂණ වලින් ඔප්පු කර ඇත. ශරීරය තුළ ප්‍රදාහය පාලනය කර ගැනීම සඳහා පරිපූර්ණ ලෙස මධ්‍යධරණී ආහාර වේලකට හෙවත් ධාන්‍ය වර්ග, මේදය අවම ප්‍රෝටීන් වර්ග, මාළු, පලතුරු හා එළවළු විශාල ප්‍රමාණයක් අඩංගු ආහාර වේලකට යොමු විය යුතු බව විශේෂඥයින් පෙන්වා දේ.
පසුගිය අවුරුද්දේ ජර්මනියේ බොන් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය අයිකා ලාට්ස් විසින් කළ දේශන සැසියකට සහභාගි වීමට හැකි වුණෙන් අද ලෝකයේ සිදුවන නවීනතම පර් යේශන ගැන හැදෑරීමට හැකි විය.
“දන්නවාද අනාගතේ කොච්චර කෑවත් මහත් නොවී ඉන්න පුළුවන් !”
ඔහු එහිදී අප හා පැවසුවේ කිසි දාක මහත් නොවී සිටීමට හැකියාව සැලසෙන ජාන වෙනස් කිරීමේ පර් යේෂන දැනටමත් සාර්ථක ලෙස සිදුවෙමින් පවතින බවය. එහෙත් ඔහුගේ කණ්ඩායමේ විද්‍යාඥයින් පිරිසක් ඒ වෙනුවෙන් වැඩ කරන අතරේ තව පිරිසක් යොමු වුණේ ප්‍රජා සෞඛ්‍ය අංශය සමග එකතුවී රටේ ජීවනාලිය වන දරුවන් වෙත මේ පණිවිඩය ගෙන යෑමටය. එනම් “බටහිර ආහාර ක්‍රමයෙන් මිදීම තුළින් අධික ස්ථුලතාවය , ආසාදන, ප්‍රදාහ සහ පිළිකා යන මේවායෙන් වැලකීමට හැක” යන පණිවිඩය රටේ ඉදිරි පරම්පරාව වෙත දැඩිව කාවැද්දීම පිණිස ඔවුන් පාසැලෙන් පාසැලට යමින්, රට පුරා දරුවන් දෙමාපියන් ගුරුවරුන් දැනුවත් කරන බව ඔහු පැවසුවේය.
මා අප රටේ දරුවන් දෙස මදකට හැරෙමි. “කොහොමද ඩොක්ටර් බර අඩු කරගන්නේ” ළමා වාට්ටුවේදී හමුවූ, බර කිලෝ 80ක් වූ එක් දැරිවියකගේ වයස අවුරුදු 12 කි. එවැනි දරුවන් බොහෝ දෙනෙක් මට හමුවේ.
“රෑට තාත්තාට කියලා, කොත්තු රොටී ෆ්‍රයිඩ් රයිස් ගෙන්නා ගන්නවා.හවසට චූං පාං ත්‍රීවිල් එක එනකම් බලං ඉන්නවා” මේ ඒ අම්මලා මට නොයෙක් අයුරින් කියන කතාවල සම්පින්ඩනයයි.
“ටියුෂන් හැමදාම, ඒවයෙන් ඉඳගෙන ඉඳලා ඉඳලා එන්නේ මහ රෑට. ඉතින් ඇවිදින්න දුවන්න කාලයක් කෝ” දාහත් හැවිරිදි වියේදීම මේද අධික වීම සහ අක්මාව ඉදිමීම යන තත්ත්වයන්ට මුහුණ දෙන දුවා දරුවන් මට කොතෙක් හමුවේ.
චූං පාං රථ , හංදියේ වඩේ පැටිස් කට්ලට් කඩ දකිද්දී මට සිතෙන්නේ අප රටේ ප්‍රජා සෞඛ්‍ය ගැන අප කොයි තරම් අවම සැලකිල්ලක් යොදන්නේද කියලාය. එළවළු පළතුරු පළා වර්ග බහුල අප රටට කොයි තරම් ආහාර විවිධත්වයක් තියෙනවා දැයි මට සිතේ.
බටහිර රටවල ඇත්තෝ අපේ රටේ පැරණි ආහාර රටාව ගැන ප්‍රශංසා කරන කළ අද මුළු මහත් සමාජයම බටහිර ආහාර රටාවකට හුරුවී, ක්ෂණික නූඩල්ස්, ක්ෂණික පිටි කෑම ගිලිති. බර්ගර්, බැදපු අලපෙති, මාස ගණන් පරණ මස් වෙනුවට නැවුම් කොළ එළවලු පලා වර්ග වලින් විවිධ අමුතු කෑම හදා දරුවන් පුදුම කරවමු. මගේ මව එළවළු මාළු කේක් යැයි හඳුන්වමින්, විවිද එළවලු වර්ග තම්බා කේක් තැටියක් තට්ටු තට්ටු පුරවා කේක් ආකාරයෙන් එළවළු සහ මාළු කැවූ හැටි මතක් විය.
රටේ දරු පරපුර වැරදි ආහාර රටාවකට හුරු වෙමින් සිටින බව දැක දැක නිහඬව සිටිය නොහැකි නිසා ලියමි. ධාන්‍ය, එළවලු පළාවර්ග කන්න යැයි බල කරන්නේ නැතුව එය අපේ එදිනෙදා කෑම වේලට අනුගත කරගමු. බටහිර ආහාර වර්ග යනු සුඛෝපභෝගී ආහාරය යන මතය බැහැර කරලමු. එය පිළිකාවේ මුල ය !
සායනික සටහන් නොවේ පුවත් පත් තීරුවෙන්...
මේ කතාව පොතේ නැත එහෙත් පොතේ ඊට කලින් පලවූ සමාජීය සෞඛ්‍ය කරුණු රැගත් කතන්දර 60 ක් ඇත.
"ග්‍රන්ථ" පොත් ප්‍රකාශන සමාගම විසින් ප්‍රකාශනය කරන ලදී.
Wednesday, May 27, 2020
ගංවතුර කතා
Saturday, May 23, 2020
When it really gets ugly !
Sunday, March 8, 2020
ස්ත්‍රීත්වය - උනුන් දරා ගන්නා සුළුය
“අම්මා, ප්ලේට්ලට් නම් තවම සීයට එහා නැගලා නෑ. ඒත් සුදු රුධිරාණු වැඩි වෙන්න අරගෙන ඒක සුභ ලකුණක්. අද හවස රිපෝට් එක බලලා ඒකේ වෙනසක් තිබ්බොත් හෙට යන්න පුළුවන්”
“ලොකු දෙයක් ඩොක්ටර්. මම දැන් ආයෙම දුවලා හයට එනවා”
ඉතා කුඩා ශරීරප්‍රමාණයක් හිමි ඇය යළි දරුවාගේ ඇඳ ළඟට දුවයි. ඇගේ අම්මා දරුවා ළඟ උදේ සිට හවස් වනතෙක් ඉන්නා අතර අසල කර්මාන්ත ශාලාවක අත් උදව් සපයන ඇය නිවාඩු නැති හෙයින් රාත්‍රිය පුරා ඩෙංගු උණ සමග පොර බදනා දරුවා සමග ඔට්ටු වී, මූත්‍රා මැනිල්ලේ සිට දියර මැන මැන බොන්නට දීමත් අර දරුවාගේ කරදර ඉවසීමත් අප බලා සිටින්නේ විමතියෙනි.
උදෑසනම ඇගේ අම්මා පැමිණි සැනින් ඇය ලක ලැහැස්ති වී වැඩට යති. හවස පැමිණ දරුවාගේ ඇඳ ළඟ පුටුවක් තියාගෙන කුඩා කතන්දර පොත් කියවමින්, කටුවක් දමා නිතර ලේ ගනිමින් පරීක්ෂා කරනා අප හා උරණ වී සිටින දරුවා මේච්චල් කරගන්නට බොහෝ චාටු බස් දොඩන්නීය. හවස ගත් ලේ පරීක්ෂණ වාර්ථා ලැබුනේ මහ රෑය.
“ඔන්න ඩොක්ටර් මම අර අම්මට නිදියන්න පැදුරක් දීලා කිව්වා. දරුවත් නිදියන එකේ ඔයා ඇඳ ළඟ නිදියාගන්න කියලා” අපේ හිත හොඳ හෙදිය මා වෙත එමින් පැවසුවාය. ඒ අම්මා දින ගණනාවක් නින්දක් නොලැබ සිටි බව අපි හැමෝම දන්නා කරුණකි.
ළමා වාට්ටුවේදී ද, ප්‍රසව හා නාරිවේද වාට්ටුවේදීද , මට හමුවන ගැහැණුන් ප්‍රමාණ වූ දුක් කරදර කන්දක් පොදි බැඳ මහා මේරුව තරණය කරනු දකිමින් ඔවුන්ගේ අතොරක් නැති දරා ගැනිල්ලට යන්තම් හෝ උදව්වක් දෙමින් අපද එවන් වූ මහා බර පොදි දරාගෙන සිටින්නෙමු.
චිත්ත සන්තානයේ ඉපදෙන සිතුවිලි පුදුමාකාර ය. ගැහැණිය, තමන්ගේ ලෝකයේ ඕනෑ එපාකම් අනුව තම ජීවිතය වෙනස් කරගනී, යන මඟ සකසා ගනී. ඇතැම් විශිෂ්ඨ චිත්ත ශක්තියක් හිමි අයවලුන් තම සිතැඟි ඔස්සේ ජීවිතය සොයා යයි. අම්මා යන භූමිකාව හමුවේ ස්ත්‍රීන් තමන් මෙතෙක් යමින් සිටි මාවත අත හරින අයුරු, වෙනස් කරගන්නා අයුරු මට නිරන්තරයෙන් දකින්නට ලැබේ. මේ ලියන මම ද, ජීවිතයේ වගකීම් හමුවේ, මාතෘත්වය හමුවේ මගේ අරමුණු නවතා හෝ වෙනස් කරගෙන ඇත්තේ දරුවෙකුගේ කායික සහ මානසික වර්ධනය සඳහා මවගේ ආදරය සහ කැපවීම අවශ්‍ය බව හොඳින්ම දන්නා නිසා ය.
මට හමුවෙන බොහෝ ස්ත්‍රීන් හුදෙකලා වූවෝ ය. ඔවුන්ගේ හදවත ගැඹුරෙහි දිග පළල ගැඹුර විනිවිද පෙන්වන කතන්දර බොහෝ අප හමුවේ දිග හැරේ. මේ ලංකා සමාජය තුල හමුවෙන ස්ත්‍රී න්බොහෝ පීඩන හමුවේ ගොළුවී සිටී. සමාජය විසින් ඔවුනට හිමි කර දී ඇත්තේ එවැනි අනාරක්ෂිත බවකි.
ඇතැම් විට දරුවන් වෙනුවෙන්, දෙමාපියන් වෙනුවෙන්, සමාජයේ ජීවත් වීම වෙනුවෙන් තම සිතැඟි දෑ කප කරන අතරම නොරැඳෙන බන්දන රකින ස්ත්‍රීන් බොහෝ වෙති. ඔවුන් හුදෙකලාව තුළ නඟනා සුසුම් හඬ නෑසෙන සුළුය.
මා දකිනා ශක්තිමත්ම ජීවියා ස්ත්‍රීය වේ. එකී ස්ත්‍රිය මවක් වූ විට එම ශක්තිය දෙගුණ තෙගුණ වී ඇය තුළට ආරෝපණය වේ.
"මම රට ගියේ දරුවට හොඳින් සලකන්න එද්දි හොඳටම ලෙඩ වෙලා... අනේ ඩොක්ටර් බබාව දිගටම ක්ලිනික් ගෙනත් නෑ ගෙදර අය.. ආයෙම ක්ලිනික් දාලා දෙන්න"
තරුණ මවක් පැමිණ අප හමුවේ බැගෑපත් වේ.. අවුරුද්දකට වැඩි කාලයක් ක්ලිනික් හෙවත් සායන පරීක්ෂාවට නොපැමිණි දරුවාට මුත්‍රා ආසාධනයකට ප්‍රතිකාර කර ඉන්පසු ... සායනික පරීක්ෂාවට යොමු කරන ලදී.
" මහත්තයා නැතුව මං තනිවම දරුවා හදන්නේ " ඇය ද අප හමුවට එන්නාවූ බොහෝ කාන්තාවන් මෙන්ම තනිව අරගලයක නියුතු මවකි. සැමියා ඇය හැර ගොස් ය.
"මම මෙහෙ රස්සාවක් හොයා ගත්තා නෝනා ආයේ මම යන්නේ නෑ.. ඉන්නේ මෙච්චරයිනේ මට. " ඇය පවසන්නේ දෑස් කඳුළින් පුරවාගෙන ය.
ලංකා පොළොව මත මේ අරගලය බොහෝ වෙහෙසකර ය. කාන්තාව ගැන කතා කරද්දී බිඳී වැටෙනා ලෙහී වෙන්වෙනා පවුල් එමට ය. පවුලක් යනු මව පියා යන දෙදෙනාගේ ආදරය නිසාම නිර්මාණය විය යුත්තකි. හැඟීම් මත පදනම්ව හැඟීම් සන්තර්පනය කරන්නට යෑම තුළින්ම අද බොහෝ පවුල් සංස්ථා බිඳ වැටී ඇත. ඇතැම් විට ඒවා පවතින්නේ නාම මාත්‍රිකව පමණි. එය කෙතරම් දරුවන්ගේ මානසික වර්ධනයට බලපාන්නේදැයි අප හමුවේ දිග හැරෙන ශෝකාලාපයන් පැහැදිලි කරවයි.
“ඔබේ දරුවන්ට ආදරේ නම්, ඔවුන්ගේ මවට ආදරය කරන්න” මේ මා අන්තර්ජාලයේ දුටු ආදර්ශ පාඨයකි. අවාසනාවකට අද, නුසුදුසු පවුල් පරිසර තුල දරුවන් අතරමං වී සිටී. සියළු බර දරාගෙන ගැහැණිය හුදෙකලා අරගලයක ය.
මේ කාන්තා දිනයේ අප අමතක කරනා තවත් පැත්තක් ගැන මම අවධානය යොමු කරන්නට සිතුවා. ඒ කාන්තාව පත්වන මානසික ආතතිය හෝ අවපාත තත්ත්වයන් ගැනය. තනිව හෝ වෙන වෙනම නිහඬ අරගලයක යෙදී සිටීමෙන් හෙම්බත් වන අම්මලා, උදව් ඉල්ලද්දී...ඒ ගැන සැලකිලිමත් වන සමාජයක් නැති තරම් ය. අන්තර්ජාලය තුළ ඇති සමාජ මාධ්‍ය ජාලාවල නාමිකව හෝ නිර්නාමිකව ඔවුන් මේ වියවුල් කඳුළු අකුරු කරනු දැකීම මහත් වූ කම්පනයකි. අහිතකර විෂකුරු සමාජ පරිසර තුළ ඔවුන් තව දුරටත් වියවුලට පත්වනවා මිස එයින් මිදෙන්නට මංපෙත් විවර වෙන්නේම නැති තරම් ය.
රටක පැවැත්ම එහි ජීවත් වෙන රට වැසියාගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා සුබ දායක වන ලෙස අප වෙනස් කරගන්නේ කෙසේ ද?
ගැහැණියක හෝ මිනිසෙක් වේවා, පවතින ආර්ථික සාමාජීය ගැටළු සහ අවපාතයන් සේරමත් සමග වගකීම් සහිත බැරෑරුම් රැකියාවක් කරද්දී මනසට අත් වන ආතතිය බොහෝය. ඒවා බොහෝ කායික රෝග කෙරෙහිද බලපාති.
දරුවා හෝ දරුවන් ද සමග සියදිවි නසාගන්නා මව්වරුන් ගැන අපට වසරකට කිහිප වරක් අසන්නට ලැබේ. මා මනෝවෛද්‍ය වාට්ටු තුළ සේවය කරද්දී එසේ සියදිවි නසා ගැන්මට තැත් කළ ස්ත්‍රීන් කිහිප දෙනෙකු මට මුණ ගැසී තිබේ.
සියළු දුක්වේදනා හමුවේ අවසන මව්වරුන් මෙලෙස දරුවන් හා දිවි නහගන්නා තත්වයට පත් වන්නේ නම් එය කොයි තරම් බරපතල කාරණයක් දැයි සමාජයක් වශයෙන් අපට දැනිය යුතු ප්‍රබල කාරණයකි.
තනිව වෙහෙසෙන මව්වරුන් බොහෝ ය. බොහෝ විට සිදුවෙන්නේ හිතේ ඇතිවන්නාවූ තුවාල සමග ඒවා සුව වීමටවත් කාලයක් හෝ ඉඩක් නොදී, ඇය කළ යුතු, වගකීම් , යුතුකම් ගැන කියමින් , “රටේ ලෝකේ හැමෝම කරනවා, ඉතින් ඔබත් කළ යුතුයි” කියා තවත් තෙරපීම ය.
සියල්ල ඉවසාගෙන කරනවා ඇරෙන්න විසඳුමක් නොදෙන සමාජයක අවසන ඔවුන් පුපුරා යෑමට ඉඩකඩ බොහෝය. බෝ නොවන රෝගවලින් ආතුර වූ සමාජයක, ගැහැණිය ද ඒවාට බොහෝ ඉක්මනින් ගොදුරු වෙන්නේ, තමා ගැන බලා ගන්නේ නැති නිසාය. උදේ රැයින් නැගිට දරුවන් වෙනුවෙන් වෙහෙසෙන, අම්මලා එක්කෝ එකතැන ඉඳගෙන වැඩය, නැත්නම් ගමනේ ය. අප සමාජයේද බොහෝ පිරිසක් දියවැඩියාව අධික රුධිර පීඩනය සහ ශරීරයේ මේද අධිකභාවය නිසා ඇතිවන රෝගාබාදවලින් පෙලෙති. අධි ස්ථුල බව බොහෝ කාන්තාවන් කෙරෙන් දක්නට ලැබෙන්නේ ඔවුන් තමා ගැන බලාගන්නේ නැති නිසාම යැයි සිතේ. වයසටවඩා වයස්ගත වූ බවක් පෙන්නුම් කරන්නේ ඔවුන් දරා ඉන්න බොහෝ දුක් දෝමනස්සයන් පිරි ජීවිත තුලින්ද එකතු කරන්නාවූ පීඩාකාරි තත්ත්වයන් නිසාය.
පවුලක ආදායම් සපයන්නා වීම, ස්වාමියා රහිතව දරුවන් උස්මහත් කිරීමට සිදුවීම ,රැකියා විරහිත භාවය, දීර්ඝ කාලීනව බලපවත්නා මානසික සහ කායික රෝගාබාද වැනි මේ කරුණු ගැන වඩා විවෘතව කතා කළ හැකි තැනක් හෝ ක්‍රමයක් අපට තිබිය යුතුය. විශේෂයෙන්ම ස්ත්‍රීන් සේවයක කරනා තමන්ගේ සේවා ස්ථානයේ වැඩ කරන අය සඳහා, මනෝ වෛද්‍ය උපදෙස් සහ තක්සේරු කිරීම් සිදු කළ යුතුය. සමාජයේ හෝ ප්‍රදේශයේ, ක්ෂේත්‍ර රැකියාවෙහි නියුතු පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා, ප්‍රදේශය බාර ප්‍රාදේශීය සෞඛ්‍ය සායනයේ වෛද්‍ය සායනය වෙත සියලු පවුල් වල ඇති ප්‍රශ්න සහ ගැටළු ගැන දැන ගැන්මට ලැබෙන යාන්ත්‍රණයක් ඇති කළ යුතුය. විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී පවුල් සහ අහිතකර සමාජ පරිසරවල ජීවත්වන , ඔවුන්ගේ මානසික ගැටළු සහ සාමාජීය ගැටළු ගැන
සමාජය මනෝ වෛද්‍ය ගැටළු සහ ඒවාට සහයෝගය සොයා යන්න ඔවුන්ගේ හිතේ මනෝ ව්‍යාධි ගැන ඇති භීතිකාව ඉවත් කළ යුතුය. එවිට මානසික ගැටළු හංගා ගැනීමට වෙර දරන භාවය අඩු වෙනු ඇත.
සියල්ල අපහසු වූ සමාජයක ගැහැණුන් උනුන් වෙනුවෙන් සහයෝගය දැක්වීමට, උනුන් තලා පෙලීමට නොව වැටෙන තැනදී නැගිටුවාගැනීමට ස්ත්‍රීන් ලෙස අප පුරුදු පුහුණු විය යුතුය. ගැහැණිය අසරණවන, අඩම්තෙට්ටම්වලට ලක්වන කවර හෝ මොහොතකදී තවත් ඔවුන් පීඩනයට පත් කිරීමට නොව ඒ ඉන්නා කරදරෙන් මුදා නිදහස් කිරීමට හැකි සහයෝගිතා යාන්ත්‍රණයක් මේ ස්මාජයේ සකස් විය යුතුමයැයි මට සිතේ.
ලෝක කාන්තා දිනය සමරන එක් දවසක ගැහැණිය වෙනුවෙන් මේ ලියනා ලිවීම් හුදෙකලා නොවී දිනෙන් දින , එකිනෙකා වෙනුවෙන් වෙහෙසෙන, ඔසවා දරා සනසන සමාජ වටපිටාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශක්තියක් සපයනු ඇතැයි ද දරා ගැනීම් අපහසුම කාලයක අපි උනුන් වෙනුවෙන් දරා ගැනීමට වෙහෙසිය යුතුයැයි ද මම තරයේ විශ්වාස කරන්නෙමි.