Tuesday, January 31, 2017

බොරු නොකියන දරුවෝ....නොකන ළමයින්ගේ අම්මලාට

උදෑසනම පැමිණෙන ත්‍රීවීල් රථයකි. වැඩමුරය අවසාන වෙන්න ඔන්න මෙන් තියා ආවේ කවුරුන්ද මගේ සිත විමසිලිමත් විය. ගැහැනියක් පාසැල් නිල ඇඳුම සහිත දරුවෙක් ඉන් එළියට ගනු දැක මමද විගහින් එදෙසට දිව ගියෙමි.

උදෑසන පාසැලේදී ක්ලාන්ත වී ඇද වැටුණු දරුවෙකි.
ඉක්මනින් ඔහු පරීක්ෂා කරන අතරේ දරුවා කියන්නේ තවම උදෑසන ආහාරයවත් කෑවේ නැති බවයි. අසල සිටියේ පාසැලේ දරුවන් බලා ගන්න පැමිණෙන මවකි. ඇය මේ දරුවා ගැන කිසිත් නොදනී.

"උදේට කන්නේම නැද්ද ?"

"නෑ"

"කිරි , තේ ?"

"නෑ" දරුවාගෙන් ඉතා කෙටි උත්තර ලැබේ.

" හරි එහෙනම් ඊයේ රෑ මොනවද කෑවේ ? " දරුවාගේ ආහාර පුරුදු ගැන මට නම් ඇති වුනේ පුදුමයකි එනිසාම වඩා වැඩියෙන් ප්‍රශ්න කරන්නට සිදු වුනා. " රෑ කෑවේ පරිප්පුයි බතුයි. " දරුවා පිළිතුරු දුන්නේය. අප වෙත එන බොහෝ දරුවන් දැඩි ආර්ථික අපහසුතා ඇති පවුල් වලින් පැවත එන්නන් ය. ඔවුන්ගේ ගෙවල් වල ඉදෙන බත හොදි ගැන විමසූ විට සැලෙන්නේ අපේ හිත් ය. බොහෝ දරුවන්ට උදෑසන ආහාරය ලෙස තේ එකක් වත් නොලැබෙයි. රටක් ලෙස අප සිටින තැන වැටහෙන්න මෙවැනි සමාජයේ බහුතරය ගැවසෙන තැන් වල සේවය කළ යුතුයැයි මට සිතේ.

ඇතැම් දරුවන් හට පාසැලෙන් උදේ ආහාරය ලැබෙන බව පවසයි. එයද උදෑසන නමය පසු වී ලැබෙන බවක් වැටහේ.

ඉතින් පරිප්පුයි බතුයි කන දරුවන් ප්‍රමාණය සමග බර ප්‍රස්තාර වල අඩු බර කොටසේම තිත් පේළි ඇඳෙන මේ කාලයේ... ඇතැම් මධ්‍යම පාන්තික දරුවන් පිරිසක් ක්ෂණික ආහාර සහ පිෂ්ඨය සහිත කෙටි කෑම බීම කා බී දවසෙන් වැඩි කාලයක් පුටු මත ගත කර අධි ස්ථූලතාවයට පත් වී ඇති බවද මම කිව යුතුම ය.

ඉන් පැය බාගයක් පමණ ගත වන තැන පැමිණියේ අර දරුවාගේ මව ය.

ඇයගෙන් ප්‍රශ්න කිරීමද සිදු කළ යුත්තේ සායන ඉතිහාසය ලියන කොටසේ දරුවාගේ මුල් කාලයේ රෝගාබාද සහ වර්ධනය ගැන අදහසක් ගැනීමට ය.

"දරුවා හොඳට කෑම බීම ගන්නවද අම්මා ? " සුපුරුදු ප්‍රශ්නය වෙනත් ආකාරයකින් ඇයට යොමු කළෙමි.

"ඔව් මම කවනවා. කන්න නම් අකමැතී.. එනිසා කොහොම හරි බත් කටක් දෙකක් කවනවා උදේට. "

"අද උදේ කෑවද?"

" මම කිරි එකක් හදලා පෙව්වා..."

"ඊයේ රෑ මොනවද කෑවේ "

"බතුයි මස් මාළු පිනි ..."

දරුවා කියන්නේ උදේට කිසිවක් නොකෑ බව ය. කිරි එකක් බොන්නේත් නැති බව ය.

"ඊයේ රෑට වත් බත් කෑවද අම්මා... මොනවා එක්කද කෑවේ ?"

" බතුයි බෝංචියි මාළුයි.... "

බොහෝ මිනිසුන් තමන්ගේ අඟහිඟතා සඟවන්නේ ලැජ්ජාවට විය යුතු ය. රටක් වශයෙන් මෙවැනි බොහෝ පෝෂණ ඌණතා මෙන්ම අඩු බර සහ අධි බර නිසා ද රෝගී තත්වයන් උදගත වන දරුවන් බොහෝමයක් සිටින සමාජයක අනාගත පරම්පරාවම රෝගීන් වීමෙන් රටක ආර්ථිකයට ඇති වන හානිය කෙතරම් දැයි ඔබ සිතා බලන්න. සෞඛ්‍යය අංශය නිදහස් නොමිලේ ප්‍රතිකාර ක්‍රමයක් පවතින අප රටට මෙවැනි රෝගී ශ්‍රම බලකායක් තුලින් ඇති කරන තත්වය සිතා බලන්න.

ඔය අතර ගෙන එන තව දරුවෙක් කලාන්ත බව පවසයි, පරීක්ෂා කරද්දී මා දුටුවේ ඔහුගේ ඉනේ තඩි සුරයකි... දවස් 3 උණ බවත් කිසිත් නොකන බවත් පවසයි. රුධිර සාම්පලයේ රිපෝට් එක කියන්නේ නීරක්තිය ඇති බවය ... දරුවා කන්න අප්‍රිය බවත් කවා ගන්න අමාරු බවත් පවසන අම්මාත් බර පොතේ පහලට දිවෙන බර ලකුනුත් කියා පාන්නේ මේ නොදැනුවත්කම සහ නො සැලකිල්ලය. දරුවන්ට කවන්න අපහසුය ඒ බව මාත් දනිමි.

මෙවැනි දරුවන් නිතර ලෙඩ වීම සුලභ ය. ඒ ඔවුන්ගේ ඇඟේ නිසි පෝෂනයක් හෝ ප්‍රතිශක්තියක් නොමැති හෙයිනි. ගිල්ලවන්නේ දරුවන්ට නොසුදුසු දෑය. සෑම දරුවෙක්ගේම අතේ බිස්කට්ටුවක් නොවරදී. මේ බොහෝමයක් මව්වරුන් රැකියාවක නොයෙදෙන අය ය. ඔවුන්ට කවා පොවා දරුවන් බලා ගැනීමට ඇති තරම් වේලාව තිබෙන බවද මට දැනේ.

නමුත් ඔවුන්ගෙන් එය සාර්ථකව ඉටු නොවන බව මට දැනේ. අමාරුවෙන් නිදා ඉන්නා දරුවන් කර පින්නාගෙන අර රූපවාහිනී යන්ත්‍රය ඇති කොටසට ගාටන මව්වරු දකින මට සිතෙන්නේ මොවුන් නිවෙස් වලද මෙයාකාරයෙන් සිටින බව ය.

දරුවන් ලෙඩ වෙන විට තමන්ගේ චර් යා රටා ගැන විමසුමක් නොකර කට්ටඬි පසු පස යමින් සුර යන්ත්‍ර සාදා බෙල්ලේ එල්ලයි... ඒවා බොහෝ විට දරුවාගේම දත් පහරට කටට දියවී තැලුණු ඒවා බවට පත් වේ. යන්ත්‍රයේ සියල්ල නවතින්නේ දරුවාගේ බඩේ ය. විෂ සහිත තෙල් දියර නොදමා ඇතැයි අපි උපකල්පනය කරමු. නැත්නම් අර දරුවන්ට දැමූ යන්ත්‍රයම දරුවන්ගේ විනාශයට මුල් වේ.
"අම්මා උයන ඒවා රස නෑ"
"එකම කෑම කන්න බෑ"
වැනි වදන් මව්වරුන් ඉදිරිපිටම දරුවන් පවසා සිටී.

 ඔවුන්ට කන බොන හැටි කියා දෙන්නට පශ්චාත් උපාධිය පෝෂන අංශයෙන් ලබා ගත් වෛද්‍යවරියක් ද අපට සිටී. ඇය මේ අය සමග පැය ගණන් කතා බස් කොට උපදෙස් සිංහලෙන්ම ලියා කියා දෙනු මට දකින්න ලැබේ. ඇතැමෙක් බොහෝ උනන්දුවෙන් අසා දැන වෙනස් කම් සිදු කොට තම දරුවන්ගේ බර සහ අනෙක් ප්‍රශ්න විසඳාගනී. තව සමහරු නම් ඉන්පසු මේ දෙස එන්නේම නැත.

ඇතැම් දරුවන්ගේ ආහාර රටා ගැන විමසද්දී .. මව්වරු ද දරුවන්ද ඇත්ත කියන්නේ කියා විමතියක් ඇති වේ.

දරුවෙක්ට ආහාර දීමේදී සැලකිය යුතු කරුණු කීපයක් මෙසේ ලියා තබමි

මාස 6න් පසු අමතර ආහාර දීම යනු පිටි කිරි දීම නොවේ.

එම ළදරුවන්ට මුළින් බත් කැඳ, පෙරහන් ගාන ලද බත්, තැම්බූ එළවළු, හූරා පොඩි කරන ලද පළතුරු වැනි දෑ දීම යි වැදගත්. නමුත් අපේ මව්වරු කරන්නේ ඔය රූපවාහිනීයේ පෙන්වන තලප පවුඩර් පැකට් දිය කරමින් අර දරුවාට කවා පෙවීමයි, මේවා අමතර ආහාර නොවේ. කෙටි ආහාරයි. දරුවෙක්ට නිසි පෝෂනය ලැබෙන්නේ ස්වභාවික ආහාර තුලින් බව මව්වරුන් වටහා ගත යුතු වේ. බතල, වට්ටක්කා, අල කැරට් වැනි දෑ තම්බා පෙරහන් ගා එක දිගට එකම ආහාරය දින කීපයක් දිය යුතු බව අන්තර්ජාලය තුලින් මා දුටුවා. එවිට දරුවා එම රසට පුරුදු වන බවක් එහි දක්වා තිබුනා.

එමෙන්ම ඕනෑම ආහාරයක් දරුවෙක් ප්‍රථම වතාවේදී කටින් ඉවත දැමීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු කරයි. නමුත් දරුවන්ද පුරුදු පුහුණු වෙන පිරිසක්. එනිසා එක වරම අත හැර නොදමා දිගින් දිගටම කැවීම සිදු කළ යුතුයි. අද බත් ප්‍රතික්ෂේප කරන දරුවා ඊළඟ වේලේදී එය අපූරුවට ගිල දමනු මා දැක අත්විඳ ඇත්තේ මටද දෑවුරුදු පොඩ්ඩෙක් සිටින බැවිනි. ( babies need training and they need time tables too)

කන්නේ නෑ කන්නේ නෑ කියමින් කන් කෙඳිරි ගෑම මම ද කළ ඇත්තෙමි. බත් මාළු කොළ වර්ග එළවලු කන්නේ නැත්නම් සියල්ල කැබලි කර කුඩාවට කපා හෝ බිත්තරයක් ගෙන එයට මුසු කොට ඔම්ලට් එකක් ලෙස සාදා දෙන්න ... කට්ලට් එකක් ලෙස සාදා දෙන්න. අපූරුවට ගිල දමනු ඇත.

බත් ටිකක් තෙල් හෝ බටර් පොඩ්ඩක් දමා තෙම්පරාදු කර දෙන්න. ඔවුන් කැමැත්තෙන් කනවා ඇති.  මගේ මව තව අපූරු ක්‍රමයක් අනුගමන ය කළා. එළවලු බත් කේක් සෑදීම. ඇය කරන්නේ කේක් තැටියකටම තැම්බූ බත් අල එළවළු මස් මාළු තට්ටු පිට තට්ටු බැගින් අතුරා බිත්තර , පාන්කුඩු ආවරණයක් යොදා එය බේක් කර ගැනීමයි ( එකළ අපට තිබුනේ ගෑස් ලිප මත තබන පෙට්ටියක් වැනි තහඩු ආවරනය කි. එය 80 ගණන් වල ප්‍රසිද්ධ මෙවලමකි)
අර තට්ටු තට්ටු එළවළු බත් මාළු මස් සහිත කේක් එකෙන් කෑල්ලක් එපා කියන්නේ නම් නැත. එහි අඩංගු දෑ ගැන එකල වැටහීමක් තිබුනේ නම් නැත.
පළතුරු බීම සාදා දීම වෙනුවට පළතුරු කපා කැබලි ලෙස දීම තුලින් පෝෂනය රැකෙන බව පැවසේ. 

මෙවැනි විජ්ජා උපක්‍රම බොහොමයක් අන්තර්ජාලය තුල හමුවේ. මම නිතර අම්මලාට කියන්නේ නිර්මාණශීලී වෙන්න කියා ය. පළතුරු කපා කැබලි දරුවන්ටම අතින් ගෙන කන්නට සලස්වන්න. අවුරුද්ද පසු වන විටම දරුවන්ට නිදහසේ තනිව කන්න බත් එළවළු මිශ්‍රකර තබන්න ඔවුන් අපූරුවට කන බව ඔබට වැටහෙනු ඇත. ඔව් ටිකක් හැඩි කරන ගතියක් සහ ඉවත දමන බව ද මම නොදන්නවා නොවේ. නමුත් විශේෂඥ වෛද්‍ය මතය නම් රවට්ට රවට්ටා.. වත්ත පුරා දුවමින් කෑම ගුලි කර ගිල්ලනු වෙනුවට දරුවා මේසයේ ඉන්දවා පිඟානක ආහාර ලබා දිමෙන් දරුවා කෑම සමග විනය ඉගෙන ගන්නා බව ය. 
එම කෑම පිඟානේ පළතුරු මගින් හෝ එළවළු මගින්  විවිධ රටා සාදා රූප සාදා පිළිගන්වන්න දරුවන්ට විනෝදය ගෙන දෙන අතරම ඔවුන් එය ප්‍රතික්ෂේප නොකරනු ඇත.

මේ දක්වා ඇත්තේ එවැනි උදාහරණ කීපයක්. පහත ලින්ක් පරීක්ෂා කර බලන්න.


මම මේ ක්‍රම අත් හදා බැලුවෙමි. සාර්ථක ය !

5 comments:

  1. අපූරු ලිපිය.. වෛද්‍යවරියක් විතරක් නෙවෙයි හොඳ අම්මා කෙනෙක් විදියටත්...

    ReplyDelete
  2. ඇත්තෙන්ම මේ සටහන හරිම වැදගත්...මගේ පොඩි පුතා දැන් 9 ශ්‍රේණියේ...ඔහුගේ පන්තියේ පවා මෙවන් සංකූලතා ඇති දරුවන් ඉන්නවා...දෙමව්පියන් කෙතෙක් මේ ගැන සැලකිලිමත් විය යුතුද යන්න මේ ලිපිය කියා දෙනවා...ස්තුතියි නංගී

    ReplyDelete
  3. මොනව කියන්නද මංද. අර වගේ අම්මල නං ඕන තරං දැකල තියෙයි.

    ReplyDelete
  4. ඉරට්ටෙ බත් ඇටේ අමුනලා හූනට කවන ගමන් අපේ මල්ලිට බත් කවනවා මට මතකයි අම්මා.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !