Thursday, November 21, 2013

අනිත් කොණෙන් මේ කොණට



කැමැත්තෙන් යමක් කරනවානම් වෙහෙසක් දැනෙන්නේම නැති තරම්. මා බොහෝ දෑ කළත් ඉක්මනින් වෙහෙසට පත්නොවීමට හේතුවත් එයයි මට සිතේ. රෝහල් වාට්ටු තුලම දවසේ බොහෝ වේලාවක් ගතකරන අපට සෑම දිනකම නැවුම් අත්දැකීම් රැසක් අප ජීවිතයට එකතු කරවයි. ලෙඩවීම රෝගී වීම බොහෝ දුකක් වුනත් නිරෝගී වී ගෙවල් දොරවල් බලා සිනා මුවින් පිටවී යන මිනිසුන් දුටු විට හිත පුරා ඇතිවන්නේ කියා නිමකල නොහැකි සතුටකි. ඒ වගේම බලාපොරොත්තු සුන්වූ සිතින් බොහෝ දුක් කරපින්නාගෙන ගෙවල් බලා යන පිරිසද අඩු නැත.

කවදාවත් සැලැස්මක් නැති ජීවිතේ බොහෝ කරදර දුක් දෝමනස්සයන් මග හැර සැහැල්ලුවෙන් සතුටෙන් සිටින්නට උත්සහ කරන සෑම දිනක් අග මේ මතකයන් බෙදා ගන්නට කියාගන්නට මේ බ්ලොග් පිටුව තිබීම ඒ දුෂ්කර කාලයේදී සැනසිල්ලක් වුනා... ජීවිත ජීවත් කරවන්නට තතනන්නන්ගෙන් කෙනෙකු වන මම මගේ අත්දැකීම් මෙලෙස සටහන් කරන්නේ විශේෂ පිරිසකගේ ඉල්ලීම මත.

අප විශේෂඥ වෛද්‍යතුමා මා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ පටන් සඟරා වලට ලියන බව දැනගෙන මා හට මේ දුක්ඛදායී ජීවිත ගැන ලැබෙන අත්දැකීම් ගැන අන්‍ අයටද දැනගන්න යමක් තිබෙන නිසා ලියන්නට යැයි කී නිසාත්, මගේ රූමා හෙවත් අනෙක් සහෘද වෛද්‍යවරිය සහ අපේ වෛද්‍ය අක්කලා අයියලා ලිව්වාද ? ලියනවාද ? ලියන්න ! යැයි නිරන්තරයෙන් කන් කෙඳිරි ගෑ නිසාත් මුහුණු පොත හරහා බ්ලොග් වලට පිවිස මේවා ගැන ලබාගත් දැනුම නිසාත් මේ සටහන් මෙසේ ලියැවුනා....

අගනුවරින් ඈත එහා කොණේ පිහිටි ප්‍රධාන ආරෝග්‍යශාලාවක එක්තරා වපසරියක එහෙ මෙහෙ යමින් ගතකරපු ජිවිතේ හරියට නැග්මක් බැස්මක් වක ගැසීමක් හෝ ගල් පර නැතිව ගලායන ගංගාවක් වගේ තිබුනා. නුහුරු පරිසරයක හිටියත් අපි සියල්ලෝම හැමදාම හවසට ටවුමට ගිහින් , වැව ළඟටත් ඇවිදලා එන්නේ හිත සැහැල්ලු කරගන්නත් එක්කමයි.ඒ එක්කම සංසාර පුරුද්දට වගේ එකතු වුන යහළුවන් පිරිස නිසා මේ අවට සිරි නරඹන්නත් පරිසරය හා සහගාමී වන්නත් හැකිවුනා. ලිවීම පුරුද්දක් කරගත් නිසා නොලියා ඉන්නත් බැරි තරම්.

බොහෝම සුන්දර ඒත් වැඩ අදික ටිකක් විතර දුෂ්කර කාලයක් ගත කරලා, යලිත් මේ කොණේ ප්‍රධානම රෝහලකට මාරුවීමක් ලැබී පැමිණෙන්නට වුනා. මගේ පවුලේ අයට නම් ඒක බොහෝම සතුටක්. මටත් එක්තරා විදිහකින් අස්වැසීමක් වුනා, මගෙම පවුලේ අය හා ජීවත් වෙන්න, නෑදෑ හිත මිතුරන්ගේ බණකට, දානයකට, මගුලකට, සාදයකට සහභාගි වෙන්න පුළුවන් වුනා.... කිලෝමීටර් ගණනාවක් අනිත් කොණට ගිහින් ඇවිත් හෙම්බත් වෙන ඒ ප්‍රවාහන කටයුතු නිසා නොවෙන්නම් , අනිත්කොණ රෝහලේම ඉන්නත් හිත් දුන්නා... එහෙම හිටපු අයත් ඉන්නවා....  කොහොමින් කොහොම හරි, මෙහෙ ආ පසු පුරුදු වුන දෙමළ වෙනුවට සිංහලෙන්ම කතා කරන්නත්, ඉඳ හිට මුණ ගැහෙන දෙමළ පිරිසට දෙමළින් කතා කරන්නත් සිදු වුනා... මෙහෙ රෝහලේ ක්ලිනික් පෝළිමේ සිටින අම්මලා තාත්තලා අපිට නොතේරෙනවායැයි සිතා දෙමළෙන් කතා වෙන දේවල් වටහාගෙන ඒවාට උත්තර දී...ඔවුන් පුදුමයට පත් කරවන්නත් වෙනවා... වෙහෙසකරම වැඩේ, හැමදාම නොයෙක් දේ අසාගෙන පැමිණෙන හිතවතුන්, නෑදෑයින් නිසා රෝහල පුරා දුවන්න සිදු වීමයි. (රෝහල පුරා දුවන්නේ ඔවුන්ව හමුවීමටයි) හරියට මම එනකම්ම ඉඳලා හැමෝම ලෙඩ වෙනවා වගේ.... කවුරුන් හරි කතා කරත් ඒ මගේ දුක සැප අහන්න නෙමෙයි, ඔවුන්ගේ සුව දුක් ලෙඩ රෝග වලට බෙහෙතක් අහගන්නයි. ඒත් රෝහලේ බොහෝ අය, වගේම මගේ මිතුරන් ඒ දේ සුබදායක විදිහට දුටුවේ නෑ. අයියෝ ඇයි ඔහොම වෙහෙසෙන්නේ... හැමදාම කවුරු හරි නිසා එහෙ මෙහෙ දුවනවා,ඔයාට නම් පිස්සු...... යැයි අවලාද ඇසුනු වාර අනන්තයි. ඒ ගැන බොහෝ දුකින් මගේ පියාට කියූ විට තමයි ඔහු මගේ හිත හැදුවේ... "කවුරුත් ළඟට ඔහොම ඔය විදියට පිරිසක් ඇදී එන්නේ නැතුව ඇති, ඒක ලොකු පිනක් පුතේ " කියමින්...

ඊයේ පෙරේදා මගෙන් ඇයි දැන් ලියන්නේම නැත්තේ කියා ඇසූ යහළුවෙක් ට මා කියූවේ
"ඒ තරම් නිදහසක් නෑනේ දැන්, හැම තිස්සේම වැඩ, එක්කෝ රෝහලේ , ගෙදර ආ පසු ගෙදර වැඩ, අනිත් කොණ සිටි කාලයේ තරම් සුන්දර කාලයක් ආයේ එන එකක් නෑ" කියාය.

"මතකද මම කිව්වා ඔයා ඔහොම කියයි කියලා..." යහළුවා පැවසීය.

මෙහි ආවත් අනිත් කොණ කතා අඩු නැතිව තවම මතකයේ තියෙනවා.... එනිසා අනිවාර් යයෙන් ඉඩ ලැබුනු වෙලාවලදී මේ බ්ලොග් පිටුවේ ඒ මතකයන් ලියැවේවි.


අර මගේ බයිසිකලයනම්, අනිත්කොණෙන් මෙකොණට ගෙන ආවා, ඒත් දැන්  ගෙදර මුල්ලක පුස් කනවා... මතකනේ  " අහෝ A 9 සහ බයිසිකල් පදින දොස්තරලා "ලිපියේ සඳහන් කළා.

" ඕක එහෙම පදින්න එපා පාරේ, බස් එකක් යට තමයි නවතින්න වෙන්නේ," ගෙදරින් සත්තමක් ආවා.
" අපෝ බයිසිකලයක්ද පැද්දේ.... මෙහෙ එහෙම පදින්න එපා ඔන්න, තත්වයට හොඳ නෑ" එහෙමත් කිව්වා සමහරු.... ගෙදරට පෙනෙන දුරින් පිහිටි රෝහලට පයින් ඇවිදිද්දී... " වාහනයක් නැද්ද ඩොක්ටර්, ලයිසන් නැද්ද , ඇයි පයින්, යමු මම ඇරලවන්නම් " යැයි කියන පිරිසද අඩු නෑ.... මිනිත්තු 10 ඇවිදින එක කොයි තරම් හොඳද කියා නොදැනෙන අය එක්ක කතා කරලා වැඩක් නෑ... "ණය වෙලා හරි කාර් එකක් ගන්න, සමාජ තත්වෙට ඒක වටිනවා" ඔහොමත් කියනවා සමහරු....

ඇත්තටම වාහනයක් තියෙන එක පහසුවක් තමයි, දුර ගමන් යන්න, පයින් යා නොහැකි දුරක් යෑමට එහෙම, ඒත් ,  කිලෝ මීටරයක් විතර දුරක් යන්න වාහනයක් මොකටද ?
සියල්ල තාවකාලික ලොවක, පවතින යථාර්තය තේරුම් ගත නොහැකි අයට යමක් තේරුම් කිරීම අපහසු නිසා සිනහවකින් පමණක් ඒවාට පිළිතුරු දෙනවා....

22 comments:

  1. Anith kona is a not only a blog that I seen in the net, it has something collect to our life .go ahead doctor and keep writing we are pleasure to read your article's.

    ReplyDelete
    Replies
    1. thanks.. ur encouragements are highly appreciated...

      Delete
  2. Good Luck Akka, Continue your good work! May God Bless you!

    ReplyDelete
    Replies
    1. thanks malli...hope you'll joing us soon...

      Delete
  3. ඕක එක විදියක යථාර්තයක්. දොස්තර කෙනෙක් කිව්වම එක පාරටම සුඛෝපභෝගී රූපයක් මැවෙනව වෙන්නැති. ඒ නිසා වෙන්නැති ඔහොම සම්මත ගොඩ නැඟිල තියෙන්නෙ. ඔය කියන සම්මත ලෝකෙ අපේ අවශ්‍යතාවයන් පිලිගන්නෙ හරි අඩුවෙන්. ඒ ලෝකෙට ඕනි හැම දෙයක්ම සම්මත පිළිවෙලටම තියෙනව දකින්න. අනේ මන්දා... :(
    මම මට රිසි මම නොව,
    ලෝකෙට රිසි මම...

    ReplyDelete
    Replies
    1. හරියටම හරි අසෙනි... එක විදිහකට මේ සමාජය මෙහෙම හැදුනේ නිවහල් චින්තන රටාවක් නැති නිසාදෝ කියලත් හිතෙනවා. ඒ අතින් බටහිර රටවල් හරිම නිදහස්...රස්සාවල් නිසා , කුල නිසා, ආගම දහම, අධ්‍යාපනය නිසා උස් මිටිකම් ඇති කරගැනීම මෝඩකමක්...

      Delete
  4. පයින් ඇවිදීම, බයිසිකල් පැදීම, වාහනයක් ගැනීම වගේ කාරණා ගැන ඔයා හිතන්නෙත් මං හිතන විදියටමයි නංගි... බ්ලොග් එක පාලු වෙන්න දෙන්න එපා.. ඉදහිට හරි ලියන්න. අපි බලන් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කා.... එහෙම හිතන එකත් ලොකු දෙයක් ,නිතර ලියන්න උත්සහ කරන්නම්

      Delete
  5. හැමදාම එනවා.. කියවලා හිත පුරවාගන්නවා. එතකොට හෙට එච්චර අඳුරු නොවෙයි කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. හැමදාම ලියූ විට දකින ඔබේ දිරිගැන්වීම්, සවියක් සිතට ! ඒත් මේ සමාජය යන අත බලනකොට හෙට අඳුරුයැයි මට සිතේ

      Delete
  6. මිනිසුන් අතර ගැවසෙන්නට ලැබෙන අයට අපූරු අත්දැකීම් හැමවිටම ලැබෙනව.. ඒ අතරිනුත් ඔබේ වෘත්තිය නිසා ඔබට ලැබෙන එවන් අත්දැකීම් සුවිශේෂ යි.. ඒ ඔබට මිනිසුන් හා ගැවසෙන්නට වන්නේ ඔවුන් ජීවිතයේ යම් කටුක අවස්ථාවකට මුහුණ දී ඇති විටෙක නිසා... ඒ නිසා ඔබ තබන සටහන් මිනිසුන් ගැන උනන්දුව ඇති කාහටත් කියවීමට වටිනා සටහන්... වෙලාව තියෙන හැටියට ලියන්න...නලිනිත් දැන් ලියනව අඩුයි...මහේෂුත් ලියන්නෙම නැති ගානයි...

    ReplyDelete
    Replies
    1. උනන්දුව උද් යෝගය තියාගෙන ඉන්න හරිම අපහසුයි මේ සමාජ ක්‍රමය අතරේ හැල හැප්පීම් වෙනකොට සපතේරු , ඒත් මේ සටහන් කා අතට හරි පත් කල යුතුයැයි සිතේ... ඔව් දැන් හැමෝටම රයිටර්ස් බ්ලොක් එකක් ඇවිත් වගේ....

      Delete
  7. ඔබේ පියා ඔබට දුන්න අවවාදය මට හිතෙන හැටියටනම් වැරදියි.පොදු සමාජයක ජීවත්වන විට අප අනුගමනය කල යුතු නීති රීති තිබෙනවා නේද.ඒවා තිබෙන්නේ යම් අයට අසාදාරනයක් වීම වැලැක්වීමටයි.මා ඉස්පිරිතාලයකට ගිහින් ඇදුරුම්කමක් හරහා බෙහෙත් ගත්තොත් පොලිමේ මට පිටුපසින් සිටින අයට වන්නේ අසාදාරනයක් නොවේද

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසත් එසේ විය හැකියි... ඒත් පවුලේ වෛද්‍යවරයෙක් ඉන්න එක බොහෝ දෙනෙක්ට ලොකු දෙයක් වෙලා.... වැඩ ඉක්මනින් කරගන්න මෙන්ම සුළු සේවකයන්ගේ ගෝරනාඩු වලට අකමැති වීමත් එක් හේතුවක්... පෝළිම් ගැන නම් කියලා වැඩක් නෑ... ඒක තමයි පුද්ගලික රෝහල් මේ තරම් වැඩි වෙන්නේ... හැකියාව ඇති අය ඒවාට ගොසින් බෙහෙත් ගන්නවා... සමාජේ අසරණ දුප්පත් පිරිසක් , අන්තිමට මේ තර්ජන ගර්ජන මැදින් බෙහෙත් ගැනීමට පෝළිම් වල.

      ඔබ හිතනවා නිවැරදියි... නමුත් ඔබ නොදැන සිටි කරුණ තමයි බොහෝ ඉස්පිරිතාල වල කාර් යය මණ්ඩලයේ අයට (STAFF) වෙනම පෝළිමක් තිබෙන බව, අප රෝහලේත් එසේයි. එනිසා අන් අයට හානියක් වෙන්නේ නෑ. මා වෙත පැමිණෙන ඕනෑම අයෙකුට මගේ සේවය ලබා දෙනවා. ඒක දැනුම් හැඳුනුම් කියා වෙනසක් නොමැත.

      Delete
    2. මා ඔබට මා දන්නා කරුනක් කියන්නම්.බදුල්ල මහ රොහලේ ඉදිරිපස හට් එකක් තියෙන්වා.දුර පලාත්වල ලෙඩ්ඩු සමහර විට රැට නිදාගන්නෙ එහි.පසුවදාට සායනයට යන්නට.මුලු රැයක් සීතලේ හිටිය ලෙඩෙක් පොලිමේ සිටිද්දී වෙන කෙනෙක් කලින් ගියහම ඔහුට මොන වගේ අදහසක් ඇතිවෙන්නට පුලුවන්ද
      ස්ටාෆ් පොලිම කියන්නේ ඉතා අකටයුතුකම් සිදුවෙන තැනක් නේද.එක්තරා මාතෘ රොහලක පැකේජ් ක්රලමයක් පවා තුබුනා කියා මා අසා තිබෙනවා.සුලු සේවකයාට මුලින්ම අදාල මුදලක් දිය යුතුයි. ඔහු මාස නමයම අදාල රොගියා ස්ටාෆ් කියා ඇතුලට යවනවා
      මා මේ ඔබට සිතන්නට කරුනු ඉදිරිපත්කරනවා පමනයි

      Delete
    3. පුද්ගලික සායනයට ගියත් මමත් මගෙ බිරිඳත් යන්නේ ඉන්න දොස්තර කවුද කියල අහලයි.. සමහරදාට විඳගෙන ඉන්නවා අපි කැමති කෙනා එනකල්. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්.. රෝග විනිශ්චය වඩා හොඳ නිසාම නෙවෙයි.. මනුස්සකම නිසා..

      Delete
    4. ඔබ කියන දේට එකඟයි.... මේ ක්‍රමය නැති කළ යුතුමයි...මුළු සිස්ටම් එකේම අවුලක් තියෙනවා. ඒක විසඳන්න පුළුවන්නම් බොහොම හොඳයි...මගෙන් බෙහෙතක් ගැනීමටම , මගේ උදව් බලාපොරොත්තුවෙන් එන දන්නා හඳුනන අය නිසා හිත වෙහෙස වුනත් ඒක පිනක් යැයි සිතන ලෙස කියූ අයුරුයි පැවසුවේ.... ඔබ මේ දේ වැරදියට වටහාගෙන තිබෙන නිසා කීවේ... මම වාට්ටුවල වැඩකරන වෛද්‍යවරයෙක් මිස බාහිර රෝගී අංශයේ හෝ පෝළිම් ගැසෙන තැන් වල වැඩ නොකරන්නෙමි. නමුත් ඒ තැන්වලදී බොහෝ සෙයින් සිදුවන අකටයුතුකම් දැක ඇත්තෙමි. අධ්‍යාපනයක් කොහොම ලැබුනත්, ආචාර ධර්ම , සාරධර්ම වැනි දේ අමුතුවෙන් කියා දිය යුතු කාලයක් මේ.... මේ නිසා කතිකාවක් ඇතිවුන එක ගැන බොහොම සතුටුයි..රෝගී පෝළිම් ගැන අත්දැකීම් ඉස්සරහට ලියන්නම්...

      Delete
    5. මෙන්න පෝළිම් ගැන මා ලියූ ලිපියක් 2010 උතුරේ සේවය කරද්දී... http://anithkona.blogspot.com/2011/08/blog-post_06.html
      "ක්ලිනික් පටන් ගන්නේ උදේ 8 උනත් මේ රෝගීන් පාන්දර 5 සිට රෝහල් පෝලිම් වල. සමහරු බස් අල්ලා ගන්න බැරි නිසා ඊට කලින් දිනයේ පැමින රෝහලේ කොරිඩෝ දිගට තැන තැන නිදා ගෙන. අනේ සමහර වේලාවට වාට්ටුවේ ඇඳන් වැඩිපුර තියේනම් කතා කරලා දෙන්න ගිහින් සේවකයින්ගෙන් නෝක්කාඩු අහගත්තු වෙලාවලුත් නැත්තේම නෑ. රෝහල කියන්නේ ඉතින් නවාතැන්පලක් නෙමෙයිලු නේ !.
      ඔන්න ක්ලිනික් එකට අපි යනකොට, ඒ කාමරේ දොරත් අහුරගෙන ලෙඩ්ඩු පිරිලා.. ඉඩ දෙන්න ඉඩ දෙන්න කියාගෙන යද්දි ඉතින් වාසනාවකට ස්ටෙත් එක කරේ තියෙන්නේ නැත්නම් අපිවත් ඇදලා අරගෙන පෝලිමට දානවා සිකුරුයි.
      ඊළඟට ඉතින් එක දිගට බලාගෙන බලාගෙන යනවා, ප්‍රෙෂර් බලලා කොහොමද අහලා, පරීක්ෂන කරලා නම් ඒවා බලලා, බෙහෙත් අඩු වැඩි කරලා, නැත්නම් ඒවම ලියලා ඔක්කොම කරලා කොහොම හරි අපි එක්කෙනෙක් ලෙඩ්ඩු 100 වඩා බලනවා. ඒ අතරේ අපේ සුළු සේවකයින් මහා රෝගී ජන ගංගාව එහා මෙහා කරන්න සත්තම දාන එකත් ඇහෙනවා. පව්නේ ලෙඩ්ඩු. ඉතින් ඒකටත් මොනවා හරි කියනවා. කොහොම හරි පැය ගණන් පෝලිමේ ඉඳලා හිටගෙන ඉඳලා, බැණගෙන දොඩාගෙන අපි ළඟට එද්දි ප්‍රෙෂර් තියෙන අයගේ ප්‍රෙෂර් දෙගුණ තෙගුණ වෙලා.... ඊළඟට සමහරුන්ට කැරකිල්ල, උදේ ඉඳන් කාලා නෑනේ......

      Delete
    6. සරත් ලන්කාප්රි්ය මහතා,
      මා දොස්තර නොනා අපහසුතාවට පත් කරනවා නොවෙයි.කරුනු කිහිපයක් ඉදිරිපත් කලා පමනයි.සරත් මහතා කියා ඇති කරුන තාක්ශනික පැත්තෙන් වැරදියි.මා දන්නා තරමින් දියුනු සමාජ තත්වයන් යටතේ වය්ද්ය ප්රාතිකාර කරන්නේ protocol හරහා යි.එවිට යම් දෙයක් සදහා කල යුතු දේවල් වෙනම සදහන් කර තිබෙනවා.මේ හරහා දොස්තරවරු හොද නරක කියා වර්ග කිරීම අවම කර තිබෙනවා.මන්ද සියලුම අය කල යුතු එකම දෙයක් නිසා.දොස්තර නොනා මට වඩා හොදින් මේවා දන්නවා ඇති.මා අසා ඇති තරමින් ලන්කාවේ මෙය නොකරන්නේ පවුද්ගලික වය්ද්ය කටයුතු වලට මෙමගින් බලපැමක් ඇතිවන නිසායි

      Delete
  8. අක්ක කිව්වත් වගේ හැමෝටම රයිටර්ස් බ්ලොක් එකක් ඇවිත් වගේ නම් තමයි. අනිත් කොණ ජීවිතයට, මිනිස්සුනට අපි පුදුම විදියට හැඩගැහෙනවා, ඒ කොච්ච්රද කිව්වොත් ආයෙත් මෙහේ දාලා අර ගෙන්දගම් පොළවට ආයෙ යන්නත් අමාරුයි වගේ. අපිටත් තව ටික කාලෙකින් ඉක්මනට මෙහෙන් යන්න පුළුවන් වේවි කියලා ආරංචියක් ආව. ගම් පළාතට යන්නත් ඕන තමා. ඒත් හදිස්සියේම යන්නත් හිතක් නෑ නෑ වගේ

    ReplyDelete
  9. I remember long ago I had seen in a Tv program playing a violin the world famous Sri Lankan Engineer Doctor Kulasingha it was a great moment for me to seen a engrained ability's that peoples has a deferent and divergent capabilities. also I have seen your effort something you are trying to say and think to the peoples and the community through your blog. well-done Doctor you are doing best and go ahead we are looking forward to read your article's. I have read your all article's that you had posted up to now.

    ReplyDelete
  10. ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක්! ඔන්න ආවා.. ස්තූතියි තරුරසී ට පාර පෙන්නුවට.. මේ පෝස්ටුවත් ඊට පසු ලියපු පෝස්ටු ඔක්කොමත් එක දිගට කියෙව්වා.. ඉතුරු ටිකත් හෙට දිහාටවත් කියවන්න හිතාන ඉන්නවා.. බොහොම අගෙයි වෙදැදුරු තුමිය.. ඔය වෘත්තීයේ යෙදිලා ඉන්න මගෙත් යහළුවන් බොහොමයක් ඉන්න නිසා වෛද්‍යවරුන් සම්භන්දයෙන් ඇති පොදු මතයට වඩා සාදාරණ විනිශ්චයක් මට තියෙනව.. එ අතරිනුත් ඔබ වැන්නියක් විශේෂයි. මොකද කොච්චර හිත ඇතුලෙන් පොලොවෙ පය ගහල ඉන්න උත්සහ කරත් ගොඩක් දෙනෙක් සාමාජීය බලපෑම මත 'ස්ටේටස්' රකින්නත් උත්සාහ කරනවා.. ඔබ බොහොම නිදහසේ වෘත්තීය ජීවිතයත් හෘද සාක්ශියත් සමබරව ඉදිරියට ගෙන යන බව පේනවා.. දැන (දැක ) ගැනීමට ලැබීම සතුටක්.. දිගටම හරවත්ව ලියන්න ආසිරි!

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !