Friday, September 20, 2013

අනිත්කොණේ අපි දෙමළ උගත් හැටි...

මනසට ආහාර.....මුහුනු පොතේන් බෙදා ගැනීමක්
රාජ්‍ය සේවකයො හැටියට අපිටත් අපි රජයේ පත්වීම අරගෙන අවුරුදු 2 ඇතුලත ස්ථීර වීම් සහ උසස් වීම් සඳහා පරිපාලන සම්බන්ද විභාගයකට මුහුණ දෙන්න
වෙනවා. හොඳ වේලාවට අපට සීමාවාසික කාලයේ මේ විභාගයට මුහුණ දෙන්න අවශ්‍ය නැත්තේ. එහෙම උනානම් අර මහා වැඩ කන්දත් එක්ක කොහොම කරන්නද ? මේ ළඟදි දවසක රටේ තැන තැන විසිරිලා හිටපු අපි සමහරෙක්ට එකට එක්කාසු වෙන්න චාන්ස් එකක් ආවා මීටිමක් නිසා. අගනුවරට කිට්ටුව සේවය කරපු මගේ හුඟක් යාළුවන්ට තිබ්බ ප්‍රශ්නේ තමයි ඔය විභාගෙට අවශ්‍ය දෙමළ බස කොහොම ඉගෙන ගන්නද කියලා. රටේ අනිත් කොණේ වැඩ කරපු දෙමළ බස පුරුදු පුහුණු වුන අපටනම් ඉතින් ඒක එතරම් ප්‍රශ්නයක් වුනේ නෑ. වෙලාවට එහෙම තැනක වැඩ කලේ කියලයි හිතුනේ.

වචනෙන් වචනේ දෙමළ අහුලගෙන කතා කරන අපිට හිනාවෙන්න අපේ යහළුවෙක් වන සීලන් නැති වුනාට සීලන් සිංහල කතා කරනකොට ශිෂ්‍යයින් කාලේ අපි සෑහෙන්න හිනා වුනා.
සීලන් , කාසල් රෝහලේ සායනීක පුහුණුවකදී අම්මා කෙනෙකුට කහින්න ඉගැන්නු හැටි මතක් වුනා. සීලන් සිංහල කතාකරන්නේ අහුලමිනි. රෝගියෙකුගේ ගැටිති, ඉදිමිච්චි තැන් පෙන්වා "ඒක මොනාද ?" කියලා අසද්දී අපි හිනාව නවත්තා ගත්තේ අමාරුවෙනි.
සායනයකදී , බඩේ තිබුනු හර්නියා එකක් පරීක්ෂා කරන්න ගිහින් "අම්මේ කහින්න" වෙනුවට "අම්මේ කහන්න" යැයි කියූ විට අර අම්මා හොල්මන් වී "කොහේ කහන්නද කියලා ඇසූ හැටිත් සීලන්ට ඒ විත්තිය නො ඇසී ආයෙත් "අම්මේ කහන්න හොඳට.. "යැයි සද්දෙන් පැවුසූ හැටිත් අර අම්මාගෙන් යමක් අහගන්නට කළින් , එය ඇසුනු අපි ළඟට ගොස් සීලන්ට ඒ ගැන පැහැදිලි කර අයුරුත් මතක් වෙද්දී දැනුත් මගේ මුවගට සිනහවක් නැගෙන්නේ නිරායාසයෙන්මයි.

 මම අනිත්කොණ යද්දී දෙමළ කතාකරන්න බැරි වුනෙන් හිත දෙගිඩියාවෙන් පෙළුනා. අපේ ජේෂ්ඨ වෛද්‍යවරයාත්, "දෙමළ බැරුව මෙහෙ වැඩ කරන්නේ කොහොමද ? ඉක්මනින් ඉගෙන ගන්න වෙයි , නැත්නම් ට්‍රාන්සර් එකක් අරගෙන දකුණට යන්න වෙයි" කියා අපේ සිතේ බිය තවත් වැඩි කලා. මේ රටේ ගොඩක් ප්‍රශ්ණ වලට මුල ජාතීන් අතර හොඳ සන්නිවේදන මාධ්‍යයක් වන මේ භාෂාව නොදැනීම කියලත් මට හිතුනා. සියයට අනූ අටක්ම දෙමළ පුර වැසියන් වසන ප්‍රදේශයක පළාතේම මහ රෝහලක සේවය කරන්න වුනහම අනිවාර්‍යයෙන් දෙමළ බස කතා කරන්නම වෙනවා. නැත්නම් රෝගීන්ගෙන් සායනික ඉතිහාසය ගැනීමේ සිට සායනික වටය සඳහාත්, පරිවර්ථක කෙනෙකුගේ සහය ලබාගන්න වෙනවා, ඒත් මේ පරිවර්ථකලත් අපූරු වැඩ කරලා අපේ සමහරුන්ට වැරදි ලෙඩ කියා තිබෙනවා පසුව ආරංචි වුනා.

මගේ පියාගෙන් ලැබුනේ අපූරු උපදෙසක්. "පුතේ මමත් කාලයක් තිස්සේ හිතුවේ දෙමළ ඉගෙන ගත්තානම් කොයි තරම් හොඳද කියලා.... ඒක මේ රටේ ජීවත් වෙන්න ගොඩක් වැදගත් වෙනවා. මේ ප්‍රශ්ණ බොහොමයකට මුල ඔය වගේ සුළු දේවල් තමයි. පුළුවන්නම් ඉගෙන ගන්න " කියලයි. ඒ වෙද්දි මම දැනන් උන්නේ වාංග පෝංග, ඔන්ඩු රෙන්ඩු මූන්ඩු නාල විතරමයි. ඉස්කෝලෙදිවත් ඉගෙන ගත්තෙ නෑ.. මං හිතන්නේ අපේ කාලේ ඒ දෙමළ විෂයය අනිවාර්‍යය නෑති නිසා අපිට ඉගෙන ගන්න පුළුවන් උනේ නෑ. මෙහෙන් යද්දී සිංහලෙන් දෙමළ උගනිමු පොත් කීපයක් ගෙනිච්චත්,වාට්ටුවල පීරී ඉතිරී යන රෝගී ගංගාවත් එක්ක මොන දෙමළ ඉගෙන ගන්නවද ... මම කලේ දෙමළ පුළුවන් සිංහල ඇටෙන්ඩන් කෙනෙක්ගේ සහය අරගෙන ලෙඩුන්ගෙන් අහන්න ඕනෙම ටික කොලේක ලියා ගත්තා... ඊට පස්සේ එයාලා දෙන්න පුළුවන් උත්තරත් ලියා ගත්තා. කටපාඩම් කරා.... කොළේ තියෙන ටික කීප සැරයක් ලෙඩුන් සිය ගණනකගෙන් අහද්දී නිකම්ම මතකේ හිටියා. එයාලා කියන උත්තර වල නොදන්නා වචන එවෙලෙම අහගෙන ලියාගත්තා...ඊට පස්සේ වචන අමුණන හැටි ඉගෙන ගත්තා... ඒ කියන්නේ , අපි උනත් කතා බහ කරද්දී පාවිච්චි කරන.... "ඉතින්, එතකොට, එහෙම නැත්නම්, ඊට පස්සේ, සමහර විට, ආයෙම, එහෙම කරොත්... වගේ ඒවා ටික ඉගෙන ගත්තම බොහොම ලේසි උනා වැඩේ... අතීත අනාගත වර්ථමාන යෙදුම්... අග වෙනස් වෙන හැටි .. ඒවානම් වරද්ද වරද්ද තමයි ඉගෙන ගත්තේ....

ඔන්න වෙලාවකට ආම්බල , පෝම්බල ,වචන දෙක ... පටලැවෙනවා, (ගෑණු පිරිමි) , කට්ටිල ( ඇඳ ) කුට්ටිල ( කාමරය ) පටලැවෙනවා. රෝගියාට ඇඳට නගින්න කීවම, සමහරු මොන කාමරයටද යන්නේ අහනවා.... බලද්දී මමයි පටලවන් තිබුනේ... ඔන්න ඔහොම කොහොම හරි සායනයේදී උනත් දෙන උපදෙස් ටික හොඳින් කටපාඩම් කරගෙන මතකේ තිබ්බා... එහෙම නිතරම භාවිතා කරද්දී දෙමළ බස හොඳටම හුරු වුනා. සති කිහිපයකින් අපට දමිළ ජාතික විශේෂඥ වෛද්‍යවරයෙක් පැමිණියා. මම ඔහුගේ සහයට ක්ලිනික් එකේ ඉන්න විට දෙමළ රෝගීන්ට දෙමළෙන්ම උපදෙස් දෙන විට ඔහු ඒ දෙස පුදුමයෙන් බලා ඉඳ,
"මෙහෙ ඇවිත් කොපමණ කල්ද?" ඇසුවා. මාසයක් පමණ බව පැවසූවිට, ඔහු එහි සිටි දෙමළ වෛද්‍යවරුන්ගෙන් ඇසුවේ ඔවුන්ට සිංහල පුළුවන්ද කියලයි. බැරි බව කී විට, මසකින් දෙමළ බස හොඳින් හසුරුවන එක ගැන මට ප්‍රශංසා කරා.
 "බලන්න මේ මිනිස්සු මෙහෙ ඇවිත් දෙමළ ඉගෙන ගෙන වැඩත් කරනවා ඔයාලට සිංහල ඉගෙන ගන්න කිසි උනන්දුවක් නෑ. සිංහල පළාතක වැඩ කරන්න උනොත් කොහොමද ?" කියා ඔහු ඔවුන්ගෙන් ඇසුවේය. හෙදියන්, සාත්තු සේවක , සේවිකාවන් සියලු දෙන දෙමළ බස පමණක් කතා කල නිසා දුරකථනයෙන් වුනත් රෝගියෙක් ගැන පවසන්නේ දමිළ භාෂාවෙන් පමණි. මා ඒ බාධකය ජය ගෙන තිබූ නිසා මට ඔවුන් හා හොඳින් කතා බස් කරන්නට හැකි වුනි. මීට එහා ප්‍රාදේශීය රෝහල් වලින් රෝගීන් පැමිනි විට ඔවුන් හා පැමිණි වෛද්‍යවරුන්, "ඔබේ උපන්ගම මෙහෙද ?"  අසන්නට විය.

 ඒකෙන් මගේ උච්චාරණය හරි බව මට වැටහිනි. දිනක් රෝගියෙක් අසාධ්‍ය වි මීට එහා පිහිටි මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යැවීමට ගිය විට ඇම්බියුලන්ස් රථයේ ප්‍රමාදයකට මා දෙමළෙන් අවශ්‍යතාවය  අසල සිටි ඔවර්සියර් වෙත පැවසූ අතර ඇම්බියුලන්ස් රථයේ රියැදුරාටද ඔහුගේ බසින්ම අවශ්‍ය කාරණය පැවසූයේ ඒතරමට අපට අනිත්කොණ සිටියදී ඒ වැසියන්ගේ බාසාව හුරුවී තිබීම නිසාය. රෝගියා බාරදී ආපසු එන ගමනේදි... රියදුරු මහතා විමසුවේ " ඩොක්ටර් තරහ ගන්න එපා මෙහෙම  අහනවට.. ඩොක්ටර් දෙමළද ? සිංහල ද? "
 "මම සිංහල. ඇයි එහෙම ඇහුවේ" මම විමතියෙන් ඇසුවෙමි.
 " ඩොක්ටර් දෙමළ කතා කරද්දී කියන්න බෑ සිංහල කියලා... මූණත් මේ පැත්තේ පාට නිසා...මම හිතුවේ ඩොක්ටර්ගේ ගම මෙහෙ කියලා"
මට දැනුනේ සතුටකි. ඒ ඔවුන්ගේ බස ඔවුන් වාගෙම හසුරුවන්නට මට හැකි වීම නිසයි. බසයක වුනත්, කඩපලේ වුනත් මට වෙනසක් නොදැනිනි. ඒ භාෂාව නිසා මට ඔවුන්ගේ සමාජය තුලට යෑම පහසු විනි. යුද්ධය ඉවර වූ අලුත අපි එහි ගිය නිසා එහි වාට්ටු වල එකිනෙකා අතර ඇතිවූ නොයෙක් තේරුම් නොගැනීම්, හැල හැප්පීම් වැනි දේ නවත්වන්න එය කදිම රුකුලක් විය.

හදිසි ලෙඩෙක් අරගෙන අගනුවර රෝහලකට ගිය විට, එහි වෛද්‍යවරයා දමිල ජාතිකයෙක් වූයෙන් මා අනිත්කොණේ බව පවසා ඔහු හා කතා බස් කර එන්නට යද්දී, හෙදි සොයුරියන් ඇසුවේ " ඩොක්ටර් දෙමළද ? " කියාය. " මම සිංහල " යැයි පැවසූවිට ඔවුන් කීවේ " අර ඩොක්ටර් එක්කත් දෙමෙළෙන් කතා කල නිසා අපි හිතුවේ ඩොක්ටර් දෙමළ කියලා, ඒත් සිංහල නමක් නිසා අහන්න හිතුනේ" මාසෙන් දවස් කිහිපයක් හැර මුළු මාසය පුරා ඒ බසින් කතා කරන විට දෙමළ හුරු වීම පුදුමයක් නොවේ. දුෂ්කර සේවයෙන් පසු ට්‍රාන්සර් ලබා කොළඹ පැමිණි විට වුවද මුල් කාලයේ නොදැනීම දමිළ බසින් කතා බස් කෙරුනේ ඒනිසා වෙන්නට පුළුවනි. එමෙන්ම දැන් වුනත් වාට්ටුවට පැමිණෙන සිංහල නොතේරෙනම පිරිස් කැඩිච්ච සිංහලෙන් කතා කරද්දී මම ඔවුන්ගේ බසින් කතා කරන විට මුහුණේ ඇති වන සිනහව දකින්නට මම බොහෝ සෙයින් ප්‍රිය කරමි. රාජ්‍ය සේවකයින් හැටියට රටේ ජන සමාජ වල භාවිතා කෙරෙන සියලු භාෂා දැන ගැනීම අප රාජකාරි පහසු කරවන්නක් විය.

18 comments:

  1. මොන භාෂාව හරි ඇක්සෙන්ට් එකක් නැතිව ස්වදේෂිකයෙක් වගේ කතා කරන්න පුලුවන් වෙන එක ලොකු ජයග්‍රහණයක්. නමුත් දැන් ආපහු සිංහලත් සිංහල ඇක්සෙන්ට් එකකින්ම කතා කරන්න හුරු වෙන්න.

    තව දෙයක් තමයි අනිත් කොණ, දෙමල අයගෙත් සිංහල ඉගෙනගන්න ඇති අකමැත්ත. මෙහෙ ඉන්නවා මධ්‍යම කඳුකරයෙන් ආපු ද්‍රවිඩ පුද්ගලයෙක්, බේකරියක වැඩ කරන. එයා සිංහලෙන් කතා කරන්න බලවත් අකමැත්තක් දක්වනවා විතරක් නෙවෙයි, මට කතා කරන්න පාවිච්චි කරන්නේ මෙහෙ භාෂාව. ජීවිත කාලයක් ලංකාවේ ඉඳලා සිංහල වචනයක්වත් බැරි පුද්ගලයා, අවුරුදු හතර පහකින් මෙහෙ භාෂාව චතුරව කතාකරන එක පුදුමයි නේද?

    ReplyDelete
  2. මේ අනවබෝධයන්ට ලොකුම හේතුවත් එකිනෙකා තේරුම් නොගැනීම තමයි. තේරුම් ගන්න සන්නිවේදනය කරන්න ඕන. ඒකට භාෂාව ඕන. භාෂාවක වැදගත්කම ගැන මාත් හොඳට දන්නවා. මොකද අපිත් මෙහෙ ලෙඩ්ඩුත් එක්ක වැඩකරන්න ඕන මෙහෙ භාෂාවෙන්! මේ දවසවල නිවාඩුයි වගේ! :)

    ReplyDelete
  3. මටත් නම් ඔයා ගැන හරි ආඩම්බරයි අනිත්...මටත් ආසයි දෙමළ ඉගෙනගන්ට. මෙහේ යාලුවෝ එක්ක කීප පාරක් ට්‍රයි කලත් එයාලා හිනාවෙනවා ...හේතුව දෙමළ, සිංහල භාෂා කිසිවක් මෙහේදි අවශ්‍ය නොවීම වෙන්ට ඇති.

    දෙමළ අය හොඳට සිංහල කතා කරද්දි අපිට එයාලගේ භාෂාව බෑ නේද කියලා හිතෙනකොට මටත් ටිකක් ලැජ්ජයි. ඉන්දියාවේ මිනිස්සුන්ට ගොඩක් ප්‍රාන්ත භාෂා කතා කල හැකි. අපිට තමා රටේ භාෂා දෙක තුනක් තිබිලා ඒවා බැරි. කීවත් වගේ මිනිස්සු එකිනෙකා එක්ක මිශ්‍ර උණා නම් රටේ තියෙන සමහර ප්‍රශ්න ඇති නොවෙන්ට ඉඩ තිබුණා.

    ReplyDelete
  4. Replies
    1. ස්තූතියි කතන්දර...

      Delete
  5. ඔබේ සේවය ඉහලින්ම අගය කරනවා. අපේ සමහර අයගේ ආකල්පය වන්නේ දෙමල ඉගෙනගැනීම තම තත්වයට මදිකමක් කියලයි. අවාසනාවකට දෙමල දන්නා සිංහල අයගේ ගනනට වඩා සිංහල දන්නා දෙමල අයගේ ගණන වැඩියි.

    මේ භාෂා ප්‍රශ්නය විසඳාගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් භාෂා පුහුණු මධ්‍යස්ථානයක් පිහිටවූවා. (කොත්මලේ)එහි ගුරුවරුන් වන්නේ සිවිල් අය. ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසීයේ අය ඉතා සාර්ථකව ඒ පුහුණුව ලැබුවා. අදටත් ලබනවා. ඇත්තටම සිංහල දෙමල ජාතීන් දෙකට එකිනෙකාගේ භාෂාව සහ සංස්කෘතිය තේරුම්ගන්න පුළුවන් වුනානම් මේ යුද්දය ඇතිවෙන්නේ නැහැ. මේ ජාතීන් දෙක අතර විවාහ සම්බන්ධතා වර්ධනය වුනානම් බොහොමයක් ප්‍රශ්න විසඳෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක... ඒක තමයි. ජාතින් එකට සම්මිශ්‍රණය විය යුතුයි. ඒත් දැන් දැන් සිංහල වෛද්‍යවරු අඩුවෙන් ඒ පැතිවලට යන්නේ මොකද ඒ පැතිවල සිටින වෛද්‍යවරු බොහොම කැමැත්තෙන් ඒ පුරප්පාඩු වලට ඉල්ලුම් කරන නිසා, දැන් යුද්ධයත් ඉවර නිසා හැමෝම කැමති ගම්පලාත්වල ඉන්න.

      Delete
  6. සමහර වෙලාවට දෙමළ ඉගෙන නොගත්ත එකේ පාඩුව ගොඩක් දැනෙනවා..ස්තුතියි අනිත් කොණ
    තවත් අවස්ථාවක් ආවොත් දෙමල ඉගෙන ගන්න එක මග අරින්නේ නැහැ කියලා හිතා ගත්තා..

    ReplyDelete
  7. අක්කගෙ ලිපිය කියවනකොට මට දැනුනේ පහුගිය කාලෙ දිහා ආපසු හැරිලා බලනව වගේ. ඔයවගේ අත්දැකීම් ඕන තරම් තියනවා. මගේ නම් තාම ඇක්සන්ට් එක අක්කගෙ තරම් හැදිලා නැති වුනත් ගැට ගහං යන්න පූළුවන් තත්වයක තියනව.. ඒත් මම දෙමළද කියල අහපු අයත් ඉන්නව. ආම්බල, පෝම්බල දෙක ඉස්සර මටත් පැටළුනා තමා. ඒකටත් ක්‍රමයක් මම සොයා ගත්තා . ඒතමා "පොම්බුලේ මගේ පොම්බුලේ" සිංදුව (ඒකෙ පොම්බුලේ කියන්නේ ගෑනු කෙනාටනෙ). ආයෙත් ගම් පළාතට මාරු වෙලා ගියාම දෙමළ ඔක්කෝම අමතක වෙලා යනව කියන්නෙ ඇත්තද අක්කේ? ඊලඟ අවුරුදෙ අපිටත් මේ ඉගෙන ගනිපුව අමතක වෙලා යයිද දන්නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි දැන්නම් ගොඩක් අමතක වෙලා... සමහර විට හීනෙන් දෙමළ කතා කරනවා මතකයි අනිත්කොණ රෝහලේ සිදුවීම් සමග. මල්ලි මාත් ඔය පෝම්බලේ මගේ පෝම්බලේ සිංදුව තමයි යොදා ගත්තේ මතක තියාගන්න... බලන්නකෝ ඒකෙත් හැටි. අනිත්කොණ ගැන ලියන්න ගත්තු එකෙන් මගේ මතකය අලුත් වෙනවා වගේම අපේ ජීවිත ගැන අනික් අය එක්ක බෙදා ගන්නත් පුළුවන්වෙනවනේ.. කොහොමද මේ දවස් වල ජන්ද වැඩ නිසා වැඩ බහුලද රෝහලේ ?

      Delete
    2. නෑ නෑ චන්දෙ කියල එහෙම ලොකුවට කචල් දාගනිපු අය ආවෙ නෑ... ඇරත් 70%- 80% විතර අය එකම පැත්තට කතිරෙ ගහපු හින්ද කචල් දාගන්නෙ කවුරු එක්කද? මනාප පොරේ මේ අයට තවම එච්චර පුරුදු නැතිවා වාගේ

      Delete
  8. දෙමළ බස ඉගනිම පහසුයි... ඒත් උපි උන්නදුවක් නෑ..ඒ අතින් ඔබ විහිෂ්ඨයෙක්.. ආඩම්බරයි අමාරුවෙන් හෝ ඉගනගෙන මේ රටේ ම මිනිසුන් කොටසක් වෙනුවෙන් සේවය කිඍම පිළිබඳව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දයානන්ද රත්නායක, ඇත්තටම වෙන විකල්පයක් නෑ එවැනි පැත්තක ඉන්නකොට... ඒකෙන්නම් ලොකු හොඳක් වුනේ.

      Delete
  9. ඉස්සර එම් එච් එම් අශ් රෆ් මහත්මයා අපේ ඇමතිවෙල හිටි කාලෙ එයාගෙ ප්‍රසිද්ධ කියමනක් තිබුනා. ඒ තමයි එක් බාසාවක් දන්න කෙනා තුනෙන් එකේ ලාංකිකයා. දෙකක් දන්න එක්කෙනා තුනෙන් දෙකේ ලාංකිකයා තුනක් දන්න කෙනා තමයි නියම ශ්‍රීලාංකිකයා කියලා. ඔහුට භාෂා තුනම පිළිබඳ හොඳ පරිචයක් තිබුණා. ඔබට ලැබුණ අවස්ථාව මටත් ලැබුනානම් මම සතු‍ටුවෙනව. මම තුනෙන් දෙකේ ලාංකිකයෙක්.. ඔබ නියම ශ්‍රීලාංකිකයෙක්..

    ReplyDelete
  10. WOW this is the best article I went through for years. I wish you all the best and encourage to contribute more and more with your valuable time.

    ReplyDelete
  11. වෛද්‍ය තුමියනි, ඔබේ වටිනා ලිපි එකතුව දෙවන වරටද කියවුවෙමි එපමණක්ද නොව ඒවා මගේ මිතුරනටද කියවීමට මගේ ම්හුණු පොතේ ඔබේ වෙබ් අඩවි වපසරිය පල කලෙමි .
    එමෙන්ම ඔබේ මුහුණු පොතට ඔබේ රසිකයෙක් වශයෙන් සංවාදයේ යෙදෙන්නට කැමැත්තෙන් සිටිමි .ගාමිණී ඒකනායක නම් වූ මම නෛජිරියාවේ සේවය කරන්නෙක්මි .ඔබට ජය .

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !