Thursday, October 6, 2011

වෙන්කටේෂ් නැවතත් ළිඳට පැන්නේය....

වැඩ වැඩිවෙනවත් එක්කම වෙහෙසත් එක්ක හිතේ කලබලයත් වැඩී උනා. Stress, depression... ඔය වගේ ඒවට සාත්තු කරන අපිටත් ඒක අඩු වැඩියෙන් එන එක පුදුමයක් නොවේ කියලත් හිතුනා... නෙට් එන්න බැරි උනා. නෙට් එන්න ඕනෑකමක් ආවත් නිතර විදුලි කප්පාදුව නිසා අපට ඕනෑ වෙලාවට එන්න පුළුවන් කමක් තිබුනෙම නෑ. ලියන්නවත් බැරි තරම් හිත වෙහෙස වුනා. සේරම උනේ අපේ ඒකකයේ වෛද්‍යවරු කිහිපදෙනෙක් මාසයක සම්මන්ත්‍රණ සහ වැඩමුළුවකට පිටරට ගිය නිසා.
ඒ අතර තුර එක්තරා රාත්‍රීයකදී අප වාට්ටුවට දූරකථන ඇමතුමක් ආවා.

"ඩොක්ටර් අවුට් කෝල් එකක් "

නාද වෙන හඬින්ම කෝල් එකේ වගතුග කියන්න පුළුවන් මිස් එහෙම කියනවත් එක්කම මම අනිත් පසින් රිසීවරය ගත්තා.
" අනේ ඩොක්ටර් පුතාට ෆිට් එක හැදිලා වැටුනා කීප ගමනක්. තුවාලත් උනා මොකද කරන්නේ මම වෙන්කටේෂ් ගේ අම්මා" හඬමින් කතා කළ වෙන්කටේෂ් ගේ අම්මා ට මා පැවසුවේ හැකි ඉක්මනින් ඔහුව රෝහල් ගත කරන ලෙසයි.

වලිප්පුව නමින් හඳුන්වන epilepsy යන රෝගී තත්වය සමගම යන මානසික රෝග තත්වයද ඇති මේ තරුණයා මට මුලින්ම මුණ ගැසුනේ "ඇඟ කසනවා " යැයි හඬමින් පැමිණ අප කායික රෝග වාට්ටුවේ ප්‍රතිකාර ගත් නිසාය. දිගින් දීගටම එසේ පැමිණෙන ඔහුගේ  නිතර හැදෙන ෆිට් එක හෙවත් වලිප්පුවටද අවශ්‍ය ප්‍රතිකර්ම කරන අතරවාරයේ මානසික තත්වයේ දුර්වලතා තිබෙන බව හඳුනා ගත් අපි ඔහු මානසික සායනය වෙත යොමූ කළෙමු.

මට නැවත ඔහු මුණ ගැහෙන්නේ මානසික රෝග ඒකකයේ වැඩ බලන්නට සිදු වූ කාලයේය.
හොඳටම කලබල වී හඬමින්ද කියවමින් ද සිටි ඔහු අප වෙත ගෙන ආවේ පොලිසියයි. අඩි 6 උස , ඉතා පැහැපත් සමක් ඇති ප්‍රියමනාප සිනහවක් ඇති 29 හැවිරිදි මේ තරුණයා දුටු විට සීහිවෙන්නේ උතුරු ඉන්දියානු නළුවෙකි. ඒතරම් ඔහු කඩවසම්‍ ය.

"මේ මොකද  වෙන්කටේෂ් ?" මම ඇසුවෙමි.

"වඳින්නම් ඩොක්ටර් මට ගෙදර යන්න බෑ . මම ගෙදර හිටියොත් මාව මිනී මරුවෙක් කරන්න තමයි. "

කුඩා කළ සිට අවුරුදු විසි ගණනක් වෙනතුරු ඔවූන් හැදී වැඩුනේ කඳුරට වතු ආශ්‍රිත ප්‍රදේශයකය. එහෙයින් සිංහල කතා කරයි. ඔහුට සිටින්නේ අක්කා කෙනෙකු පමණයි. සා පෙළ කර අවසානයේ ඔහු ඒ ප්‍රදේශයේ ප්‍රසිද්ධ සිංහල දේශපාලකතුමෙකුගේ ගෙදර සේවය කර ඇත. යුද්ධය නිමවී නැවත ඉඩම් ලැබීම හේතුවෙන් ඔවූන් මේ කොණ පදිංචියට පැමිණ තිබේ. අක්කාගේ මහත්තයා හෙවත් තම මස්සිනා විසින් නිතර පහරදීම් සහ කායික වදහිංසා වලට ලක් කිරීම හේතුවෙන් හේ දැඩි මානසික අසහනයකින් පෙලෙන බව කියයි.
තම සොයුරියට පවා නොසලකන ඒ මනුස්සයා කෙසේ හෝ මරණ බවට සපත කරයි. නිතර දිවි නසා ගැනීමට තැත් කර තිබුනු ඔහු, ළිඳට පැනීම, ගෙල වැල ලා ගැනීම හෝ වැවට දිව යෑම බොහෝ විට කළත් ඔහූගේ වෑයම සාර්ථක නොවූයේ කවුරු හරී හැම විටම ඔහු ගැන විමසිලිමත්ව සිටිය නිසාය.
එවර ඔහු වැඩි කාලයක් සිටියේ රෝහලේය. අක්කා සහ අම්මා නිතර පැමිණ ඉහ අත් බදාගෙන වැලපෙයි. මෙතරම් ප්‍රියමනාප හොඳ තරුණයෙකුට මෙසේ වීම ඉතා දුක්බරය. ඔහුගේ අක්කාගෙන් පසුගිය විස්තර විමසන කල පැවසුවේ...

"මම මහත්තයගෙන් වෙන්වෙලා ආවේ. මගේ මල්ලිට , මගේ පවුලට ඒ මිනිහා දුන්නෙ දුකම විතරයි. මල්ලිට අපි කසාද හොයනවා. ගෑණු ළමයින්ගේ පවුල් වලින් ඉක්මනින් කැමති වෙනවා. ඒත් මල්ලි ගිහින් ඒ අයට කියනවා එයාට මානසික අසනීපයක් තියෙනවා එනිසා ඒකත් එක්ක එයා එක්ක ඉන්න කැමති නම් විතරක් බඳින්න කියලා, ඉතින් ඒ අය කැමති වෙන්නේ නෑ"

"ඒ මොකද වෙන්කටේෂ්..." මම දිනක් විමසුවෙමී.

"එයාලා පව්නෙ ඩොක්ටර් අපේ ගෙදර අය මං ගැන ඇත්ත කියන්නේ නැතුව බන්දලා දෙන්න යන්නේ. ඒ ළමයා මට ලෙඩ කියලා දන්නේ නැතුව මාව බැන්දොත් පවුනේ ඩොක්ටර්"
දහස් ගණන් රැවටිලි කාරයන්. බොරු බේගල් කාරයන් සිටින මේ මහ පොළව උඩ හේ සත්‍යවාදීව කල් ගෙවයි. ඒ නිසාම දූක් විඳී.

"මට රස්සාවක් හොයලා දෙන්න පිං සිද්ධ වෙයි. මම අම්මයි අක්කයි බලාගෙන ඉන්නම්" ඔහුගේ මව සහ අක්කා මුළු පවුලම නඩත්තු කරන්නේ කුලී වැඩ කිරීමෙනි.
මීට පෙර කවරෙකු හෝ රස්සාවක් සොයා දෙන විට ඔහු ගේ ඇත්ත කියන්නට යෑම නිසා ඔහුට රැකියාව අහිමි වෙයි. හැම දේටම හරස් වන්නේ ඔහුගේ මානසික රෝගී තත්වයයි.

ඔහොම රෝහලේ ඉන්න එක දිනක් පාන්දර අපි වාට්ටූවට ගිය විට ඔහු පැමිණ මගේ පය පාමුල වැඳ වැටිනී.

"මේ මොකද මේ "

 "ඩොක්ටර් මම හැම එකෙක්ම මරලා මාත් මැරෙනවා "

හැමදාම කියන දේ නිසා අපි සුපුරුදු පරිදි ඔහුව අස්වසමින් කතා කළෙමු. ඒ අතර හෙද සොයුරන් හා සුළු සේවකයන් රෝගී වාට්ටුවේ ඔහුගේ ඇඳ සහ කබඩ් පරීක්ෂා කිරීමට යුහුසුළු විය. සිතුවා නිවැරදිය. මෙට්ටය යට තිබුනේ කඩු ආකාරයෙන් කැඩී ගිය වීදුරු කැබලි ගොඩකි. ඔහුට බොහෝ සේ අවවාද කර අප පැවසුවේ ඔහුව ජීවත් කරන්න අපිට උදව් වෙන්න කියාය.

එවැනි දිවි නසා ගන්න සිතුවිලි තිබෙන රෝගීන් ගැන වාට්ටුවේ සැවොම දැඩි විමසිලිමත් බාවයෙන් සිටිති. ආයෙත් දිනක වෙන්කටේෂ් ඇඳේ නොසිටි නිසා විමසිලිමත් වූ අප දුටුවේ ඇඳේ එළා තිබූ රෙද්දෙන් ගෙල වැලලා මියයන්නට තැත් කරමින් වැසිකිලියක ඔහු සීටි බවයි.
නමුත් වාසනාවකට කිසිවක් සිදු නොවිනි. අන්තිමේ මහ රෝහල වෙත සීටී ස්කෑන් සහ EEG වැනි පරීක්ෂණ සඳහාද යොමු කළ ඔහු උපදේශන කණ්ඩායමේ සහ වෛද්‍යවරුන් වන අපේ උපදේශනය සහ ඖෂධ මගින් ටීකෙන් ටික සුවය ලබමින් සිටියාය.
ගෙදර යන්නට හැකි තරමට සුව වූ ඔහු යන දවසේ අපේ සහ හෙදි සොයුරු සොයුරියන්ගේ දෙපා මුල වැඳ වැටිනි.
අඩි 6 පමණ උස මේ දේහ දාරී තරුණයා අප දෙපා මුල වැඳ වැටෙමින් පැවසුවේ "මගේ ජීවිතෙන් මම ඔයාලට ණය ගැතියි. මාව බේරගත්තට " කියාය. "තෙරුවන් සරණයි ගිහින් හොඳින් ඉන්න" අපි ද ඔහුට සුභ පැතුවෙමු.

නමුත් එසේ ගිය ඔහූ සතියක් පාසා අප හමුවට පැමිණ වාර්ථා කරන්නට සැලසුමක් ක්‍රියාත්මක කෙරිනි. එහෙව් සති කිහිපයකින් පසුය අර මා පෙර කියූ දුරකථන ඇමතුම පැමීණියේ.
ඉක්මනීන් රෝහල් ගත කළ ඔහු වලිප්පුව සඳහා දී තිබූ බෙහෙත් වඩි දින දෙක තුනක්ක් පාව්විච්චි නොකළ බවත්, මානසික රෝග ඖෂධ සියල්ල වීසි කළ බවත් අප දැන ගත්තේ මවගෙනි. එදින උදෑසන ඔහුගේ මාමා සමග බහින් බස් වූ ඔහු ළිඳට පැන දිවි නසා ගන්නට තැත් කර ඇත.

"අපි ආයෙත් හිටපූ තැනමයි !" අපිට සිතුනා.බොහෝ රෝගීන් සම්බන්දයෙන් මේ තත්වය මෙසේයි. ඔවුන් රෝහල් ගත වී සිටිද්දී නිවැරදි ලෙස බෙහෙත් ලැබීම සහ උපදේශනය , සාමකාමී වටපිටාව යන දේවල් හේතුවෙන් ඔවුන් ට හොඳින් සුව වේ. නමුත් ගෙවල් වලට ගිය විගස ආයෙත් සීයලු රෝග උත්සන්න වේ. ගෙවල් වල දී රණ්ඩු සරුවල් සහ මානසික පීඩනය වැඩියැයි මට සිතේ.

"වෙන්කටේෂ් ඇයි මෙහෙම කරගත්තේ. අපිට පොරොන්දු වෙලා ගියේ හොඳට ඉන්නවා කියලා නේද "
ඔහුගේ සූපුරුදු සිනහව මුහුණ මත ඇඳේ...

" ඔව් ඩොක්ටර්. මම හොඳට හිටියා බෙහෙත් බිව්වා. අහල පහල අය මම මිදුලේ ඉන්නකොටත් විහිළු කරනවා වෙරි වගේ මොකද කියලා. මේ බෙහෙත් වලට ටිකක් නිදිමත එනවනේ. මාමා ඇවිත් අම්මලට කිව්වා එහෙ උත්සවයක් තියෙනවා එන්න කියලා. මමත් එන්න හැදුවම ... මෙයා ලෙඩා මෙයා ඇවිත් එහෙ මොනවා කරයිද දන්නේ නෑ , එක්ක එන්න එපා කිව්වා.... මට දුක හිතුනා. මං නිසානේ අම්මටත් අක්කටත් කරදර නෑදෑයින් මෙහෙම කියන්නේ. ඒ හිංදා මං ළිඳට පැන්නා ...."

10 comments:

  1. මේ කතාව කියවද්දි ඇහැට නැගෙන කඳුල සඟවන්න මට නම් ඕනි නැහැ. ඇත්තටම මානසික රෝගියෙක් ඉන්න පවුලට, අසල්වැසියන්ට සහ ගමට තියෙන මහා භාරදූර වගකීම පැහැර හැරීම ම තමයි ඒ රෝගියා සුවපත් වෙන්න තියෙන ඉඩ අඩු කරන්නෙත් !

    ReplyDelete
  2. මේ කොටස මගේ සිතුවිලි පවුරට දැමු අලුත් ලිපියෙන්. සමාජය තමයි මිනිසුන්ව මානසික රෝගීන් කරන්නේ.
    "පිස්සා..
    මං අකමැතිම වචනය.. අපි කාට කාටත් යම් තරමක මානසික ආබාද තියෙනවා. ඔවුව අඩු වැඩි වෙන විදිහ නොදැන අපිට වඩා ටිකක් වෙනස් විදිහට හිතන වැඩකරන කෙනාට අපි පිස්සයි කියනවා. මානසික ආබාදත් සාරීරික ආබාද වගේ තමයි.. වයසට යනකොට කල්පනාව අඩුවෙනවා. ලෙඩ වෙනවා හොඳ වෙනවා. ලෙඩේ හොඳ උනාම එයාට ලෙඩා කියන්නේ නැහැනේ. එහෙනම් ඇයි මානසික ලෙඩෙකුට අපහාස කරන්නේ ? සාමාන්ය රෝහලට ලෙඩ්ඩුන් කොටුව කියන්නේ නැහැනේ ඉතින් ඇයි මානසික රෝහලට පිස්සන් කොටුව කියන්නේ ?
    අපි ඔක්කොම මැරෙන්න කලින් ඔයින් එකකට හරි ගොඩකට හරි ඔක්කොටම හරි යටත් වෙනවා. හොඳයි නැද්ද ?"

    ReplyDelete
  3. හරිම දුක හිතෙන කතාවක්. මේ වගේ ලෙඩ්ඩු රෝහලෙන් නිකමුනාට පසු, ආදරයෙන්, බලාගන්නා සාමකාමී වටපිටාවක් අවශ්‍යයි නේද? ඒ අයට පිහිටවෙන වෙන ක්‍රමයක් ඇත්තෙන්ම ඇත්තේ නැද්ද?

    ReplyDelete
  4. අපේ රටේ ප්‍රතිකාර මගින් සුව කළ හැකි සරළ මානසික ගැටළු ඇත්තන් පවා “පිස්සන් “ කරන්නේ අපේ සමාජයමයි ..රෝහලක මානසික සායනයකට ගියත් “එයාට පිස්සු“ යන වපරැහින් බලන්නට පෙළඹෙනු මානුෂීය හැඟිම් අතින් දුප්පත් , පිස්සන් නිසා මේ අහිංසකයින් නැවත නැවත සමාජයෙන් කොන්වෙමින් , තවත් පහත හෙලන්නටයි අපේ බොහෝ දෙනාගේ කැමැත්ත . මානසික ප්‍රතිකාරයක් ලබන්නෙක් දිහා මේ stigmatize කිරීම ...(හංවඩු ගැහීම)කරන මහත්තුරු නෝනලා ..ඇස් කණ්නාඩියක් දාගෙන ඉන්න කෙනෙක්ට “එයා ඇස් පෙන්නැති එකෙක් “ කියල කොන් කරන්නේ නැහැ තතසමහර විට නැති පෞරුෂයක් මවා දෙනවා ...ඒත් “ඇස් කණ්නාඩිය පළඳින්නෙත් ලෙඩෙක් බව නොහැඟිමයි පුදුමේ ..
    සමාජය සිතිය යුතු දෙයක් ගැන සුන්දර පදවැලක් ..ස්තුතියි වූ වෙහෙසට.

    ReplyDelete
  5. අත්දැකීමක් ඇති නිසා , වැඩිදුර කාරණා ලිවිමට නොසිතේ........

    ReplyDelete
  6. ඉස්සර 'තම තම නැණ පමණින්' ලියා අප අතරින් සමුගත් කුමුදු පින්තු මුළු ජීවිත කාලය ම වලිප්පුවෙන් පීඩා විඳි අයෙක්. අන්තිමට ලියපු සටහනක මානසික පීඩාව ගැන යාන්තමින් සඳහන් කරනවා මට මතක විදියට.

    මේ රටවල් වල නම් එහෙම රෝගී තත්වයන් ඇති අය, පවුලෙ අය එකතු වෙලා එකිනෙකාට උදව් කරගන්න සංවිධාන පිහිටුවා ගන්නවා. වලිප්පුව හැදීම වළක්වා ගත හැකි ක්‍රම ගැන දැනගන්න ඔවුන් නිතර තොරතුරු බෙදා ගන්නවා. රෝගය ගැන වෙන කාටවත් ම වඩා වැටහෙන්නෙ ඒ රෝගයෙන් පීඩා විඳින අයෙක්.

    My Sister's Keeper කියවලා ඇත්නම් එහි සඳහන් වෙන නීතිඥයාට ද වලිප්පුව ඇති අයෙක්. ඔහුගේ බල්ලා පුහුණුව ලැබ තියෙන්නෙ වලිප්පුව එන්න කළින් බුරලා දැනුම් දෙන්න. ඉන් වලිප්පුව පාලනය කරගන්න හැකි බෙහෙත් ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තනිකම, පාළුව හා වලිප්පුව හැදුනාම ඇතිවන බිය මඟ හරවා ගන්නත් පුහුණු කරපු බල්ලා නිසා ලැබෙනවා. Seizure Service Dog: www.4pawsforability.org/seizuredogs.html

    මේ තවත් ක්‍රමයක්: Vagus nerve stimulation (VNS) is a technique used to treat epilepsy. It involves implanting a pacemaker-like device that generates pulses of electricity to stimulate the vagus nerve. The vagus nerve is one of the 12 cranial nerves, the paired nerves that attach to the undersurface of the brain and relay information to and from the brain.

    Vagus කියන්නෙ ලතින් වලින් wandering යන්නට.

    ReplyDelete
  7. මේ වගේ රෝහීන් කොපමණ පොරොන්දු දී ගෙදර ගියත් ආපහු හිටපු ආගාධයටම යන බව සත්‍යයක්. ඒ නිසා ඒකට පිලියම නිතරම ඒ රෝගියා පිලිබඳව සෙවිල්ලෙන් සිටීමයි. දෙන්නා වූ ඖෂාධ වලින් සෛල විපරිත වීම වලක්වන්න බැහැ. ඒ නිසා දුෂ්ට වූ සමාජයකින් ගැරහුම් ලබන බව ඒකාන්තයි. ඒ නිසා මානසික සමාජ අංශයක් (Emergency mental flying squad) තිබිය යුතුමයි. වෛද්‍ය වරියක් හැටියට ඒ සියල්ල ඔබට කල නොහැකි බව අපි සියල්ලෝම දනිමු. ඒ නිසා වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ලබාගෙන මේ රෝගීන් ගැන නිති පතා සොයා බැලීම පිණිස හදිසි ඒකකයක් පිහිටුවා ගෙන ඒ ඒකකයට බලතල ලබා දීමෙන් මේ තත්වයන් අවම කර ගත හැකියි. දැන් දැන් නොයෙක් නොයෙක් ඒකක වල ඖෂධ වලින් රෝගය මැඩ පවත්වා ගෙන විදර්ශනා වැනි භාවනා උගන්වන මධ්‍යස්ථාන පිහිටුවා යහපත් ප්‍රතිපල ලබාගන්නා බවද වාර්තා වෙයි. එවැනි දේවල් අපේ ශ්‍රී ලංකාවට ලඟා වීමට කොපමණ කලක් ගත වේදැයි කිව නොහැක. ප්‍රායෝගික වශයෙන් හදිසි ඒකක (emergency flying squads) යම්කිසි ප්‍රමාණයකින් ක්‍රියාත්මක වන බව නම් මට ප්‍රකාශ කල හැක. (අනේ නෝනා පිලිතුරු සපයන විට මට නමින් අමතන්නේ නැතිව වෙනදා පුරුදු පරිදි සරත් මාමා කියා අමතන්න.)

    ReplyDelete
  8. weni - ඒ වාට්ටු වල නිතරම දුටුවේ ඒවගේ සිදුවීම් තමයි.

    ලංකාප්‍රිය - ඔබේ කතාව 100% හරි,

    podi kumarihami - පිහීටවෙන ක්‍රමයක් හදන්න ඕනේ සමාජය විසින්ම තමයි. රෝහල් වල ඒක්කයන් මගින් බොහෝ දුරට follow up and rehabilitation සිදු කරනවා.

    මහේෂ් නිශාන්ත - ඇස් කණ්නාඩි පැළඳීම විලාසිතාවක් වෙලා. ඒක ආබාධයක් හැටියට ගනන් ගන්නෙවත් නෑ. නමුත් මෙවැනි රෝගීන් සමාජය නිසා දැඩි පීඩනයට පත්වෙනවා,

    ReplyDelete
  9. සොඳුරු සිත - අත්දැකීම කතාවකින් බෙදා ගනු ඇතැයි සිතමි.

    අරුනි අක්කා - වලිප්පුවට දෙන බෙහෙත් හිඟ ඇතැම් විට නැති තැන , බල්ලන් ගැන කුමන කතා ද. මේ දවස් වල එක බෙහෙතක් නැති වීම නිසා රෝගීන් අනේක විදි දුක් විඳිනවා. මෙහෙ රෝගීන්ගේ හිතවතුන් ගෙදර අය එකතුවෙලා උදව් කරන්න සංගම් පිහිටවනු වෙනුවට රෝගියා කොහේ හරි නිවාසෙක නවත්තන්න තමයි හොයා බලන්නේ..

    සරත් මාමා - ස්තූතියි. ගරුත්වය නිසා මහතා කීවේ. අපේ රටේ නම් ඔය විදර්ශනා භාවනා මුලින් ඉගැන්විය යුත්තේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේම සිටින අයටය

    ReplyDelete
  10. ස්කිසොෆ්‍රේනියා ... වචනය දැකල බය උනා.. ඇවිත් බැලුව මොකක් ද මේ කියලා. දැන් මතකයි... ස්තූතියි ඔබට

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !