Thursday, January 6, 2022

බයිසිකල් පැදීම....ලෝකයේ කතා

බයිසිකල් පැදීම..
(විදුසර ලිපි අංක 3, 2022 ජනවාරි පස් වැනි දා)
වෛද්‍ය බෝදිනි සමරතුංග

යුද්ධය අවසාන වූ සමයේ උතුරු ප්‍රදේශයේ මහ රෝහලක සේවය කරන කාලයේ අප නගරයෙන් ඔබ්බෙහි වූ ගම්මානවල පැවැති ජංගම වෛද්‍ය කඳවුරුවලට සහභාගි වුණා. විශාල වූ උදර සහිත, මන්ද පෝෂණයෙන් පෙළුණු දරුවන් දැකීම එකල සුලබ දසුනක්. එහෙත් ඉන් වසර ගණනාවකට පසු අග නගරය ආශ්‍රිත රෝහල්වල දී අප කෙමෙන් කෙමෙන් දුටුවේ අධි ස්ථුලතාවය සහිත නමුදු පෝෂණ ඌනතා තිබූ දරුවනුයි.         

“කොහොම ද මම බර අඩු කරගන්නෙ?” එසේ අසමින් සිටි මා ඉදිරියෙ සිටිය යෟවනයා අධික ලෙස ස්ථුලතාවයට පත් වී, ඒ නිසා ම බෝ නො වන රෝග ගණයට වැටෙන දියවැඩියාව වැළඳීමේ අවදානමක් පෙන්නුම් කළා. උසට සරිලන බර (BMI) හෝ නියමිත ඉන වට ප්‍රමාණය (waist circumference) යන මේවා මඟින් මැන බලා රෝගී තත්ත්වයන්ට ලක් වීමේ අවදානම සොයා බලන්නට හැකියාව තිබෙනවා. ළමා වාට්ටු සායනවල දී උස සහ බර සලකුණු කරද්දී එහි වෙනසක් පෙන්නුම් කරන දරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කළ විට පෙනී යන්නේ, අහිතකර ආහාර රටා සහ ශරීර ක්‍රියාකාරකම් නොමැති වීම මෙම තත්ත්වයන්ට හේතු වන බවයි.     

දිගු කාලයක් හිඳගෙන සිටීම නිසා දරුවන් පමණක් නො වේ වැඩිහිටියන් ද බොහෝ සෙයින් අචල ජීවිතයක් ගත කරනු අද දක්නට හැකියි. මේ අචල ජීවන රටාව එහෙමත් නැත්නම් එක තැනකට වෙලා දිගු කාලයක් සිටීමේ ආදීනව දැඩි ලෙස ලෝකය ගිල ගනිමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නේ ඒ හා බැඳුණු රෝග ගණනාවක් ලොව පුරා මරණවලට වගකියන නිසයි. වර්තමානයේ ශාරීරික ක්‍රියා කාරකම්වල යෙදීම සෞඛ්‍ය ප්‍රතිලාභයක් ලෙස හැඳින්වෙනවා. එමෙන් ම මා මීට පෙර සුව මඟ මතක ලිපිවල සඳහන් කළ පරිදි තිරසාර සංවර්ධන අරමුණු සඳහා ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීම සහ එක තැන රැඳී ඉන්නා කාලය අඩු කිරීම ඇතුළත් වෙන්නේ එ තුළින් සෞඛ්‍ය අංශයේ මෙන් ම එසේ නො වන අරමුණු බොහොමයක් සාක්ෂාත් කරගැනීමට මඟ පාදමින්. 

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ සතියකට මිනිත්තු 150ක පමණ ප්‍රමාණවත් ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදෙනවා නම් අකාලයේ ඇති වන මරණ අනුපාතය 10%කින් අඩු කළ හැකි බවයි. නවීන ලෝකයේ තාක්ෂණික දියුණුව සහ තොරතුරු හුවමාරුව කොයි තරම් වැඩි අගයක පැවතිය ද භෞතිකමය වශයෙන් අක්‍රිය නිසා එය සෞඛ්‍යය කෙරෙහි අනිටු විපාක ඇති කරනවා. 
දරුවන් බොහෝ දෙනෙක් පාසල් තුළ වැඩි කාලයක් ගත කරන්නේ හිඳගෙන. ඉන් පසු අමතර පන්ති හෙවත් ටියුෂන් ගන්නේ ද හිඳගෙනයි. දවසෙන් වැඩි කාලයක් පාඩම් සඳහා ගත කරනා ඔවුන් හට ව්‍යායාම සඳහා කාලයක් ඉතිරි වන්නේ නැහැ. සමහර දරුවන් ශරීර සුවතා ව්‍යායාම සඳහා ජිම් එකකට වැනි විශේෂිත තැනකට යන නමුත් නිසි ව්‍යායාම පිළිබඳව හැදෑරීමක් හෝ මඟ පෙන්වීමක් නැති තරම්. ආහාර රටාව වුවත් සුවදායී නැහැ. ක්ෂණික ආහාර සහ පිෂ්ටය අධික තෙල් සහිත ආහාර දරුවන් අතර ප්‍රචලිතයි.  තිරසාර සංවර්ධනය ඇති කරන ශාරීරික ව්‍යායාම් ගැන පර්යේෂණ පත්‍රිකාවක් පළ කරන ඊවදරබ්ර් ඇතුළු පිරිස පවසන්නේ නිසි ශාරීරික ක්‍රියාකාරකම් කළමනාකරණය තුළින් බලශක්ති අර්බුදයට පවා විසඳුමක් ලැබෙන බවයි. ඒ තමන්ගේ දිනපතා ගමනාගමනය සඳහා පා පැදි භාවිතය හෝ පා ගමන් තුළින් ඉන්ධන දහනය නිසා ඇති වන හරිතාගාර 
වායු දූෂණය අවම වන නිසා. එනමුදු ලෝකයේ සෑම රටක් ම පා පැදි හෝ පා ගමන් සඳහා සුරක්ෂිත භාවයක් ඇති තැන් නො වෙයි. මෙහි දී, අනාරක්ෂිත මං තීරු, දවසේ සෑම කාලයක ම ආරක්ෂිතව ඇවිදිය නො හැකි සමාජ තත්ත්වයන් ඇති නගර නිසා, හෝ ආබාධිත තත්ත්වයන් නිසා මිනිසුන් පාගමන් හෝ පා පැදි භාවිතයෙන් වැළකී සිටිනවා. තවත් සමාජයන්හි සංස්කෘතික ජීවන ක්‍රම, ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඇති කරනා බෙදීම් නිසා ශාරීරික ක්‍රියාකාරකම් කිරීම සීමා වී තිබෙනවා.      
මා වෛද්‍යවරියක ලෙස උතුරු කොන රෝහලේ සේවය කරන කාලයේ භාවිත කළේ පා පැදියක්. එය මගේ ප්‍රථම සහ එක ම වාහනය වුණා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල බොහෝ පිරිසකගේ ප්‍රවාහන මෙවලම පා පැදිය වූ නිසා එය අපහසුවකින් තොර ව පරිහරණය කළ හැකි වූවා.  
“වෛද්‍යවරියක වී බයිසිකලයක් පදින්න ලැජ්ජා නැද්ද?” එසේ විමසුවේ ඇතැම් දකුණු කොන මිතුරන්.
එවන් වූ සමාජ ආකල්ප නිසා හිරු එළිය අවුරුද්ද පුරා ම ලැබෙන ශ්‍රී ලංකාව වැනි රටවල වුව ද ශරීරයට සුවය ගෙන දෙන පා පැදි භාවිතයෙන් සමාජය ඈත් වී සිටිනවා. පා පැදි භාවිතය තුළින් ඇති වන ප්‍රතිලාභ රැස දන්නේ නම් අප සමාජය වැඩි වැඩියෙන් පා පැදිය වෙත යොමු වනු ඇතැයි මට සිතෙනවා. මා දකින යුරෝපීය රටවල බයිසිකලයක් පැදගෙන රෝහලට හෝ වැඩපළට යෑම හරි ම සුලබ දසුනක්. වසරෙන් බාගයක් ම හිමෙන් වැසී යන මේ රටවල වුව ද බයිසිකල් මං තීරු පැය විසි හතර පුරා එළිය කරන අතර ඒවායේ හිම දිය වෙන්නට විදුලියෙන් උණුසුම් කරන බව ද දැකිය හැකියි. ඉතින් දැඩි හිම පතනයක් තිබිය දී වුව ද නගරය ආශ්‍රිත පා පැදි සහ ඇවිදින මං තීරු ඉතා පහසුවෙන් ආරක්ෂිත ව ගමන් කළ හැකි ලෙස පවතිනවා. දියුණු සමාජයන්හි එසේ වැඩි වැඩියෙන් ශාරීරික ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කරද්දී දියුණු වෙමින් පවතින රටවල වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන්නේ රෝද හතරේ වාහනයක් ගැනීමටයි. ඇමෙරිකාව, කැනඩාව වැනි රටවල ආයතන ශරීර සුවතා ව්‍යායාම මධ්‍යස්ථාන (ජිම්) සඳහා අවුරුද්ද පුරා නොමිලේ භාවිත කිරීමට පහසුකම් සපයන අතර එවන් ආයතන සඳහා බදු සහන පවා ලබා දෙන බව සඳහන් වෙනවා. අධි රුධිර පීඩනය, හෘද රෝග මෙන් ම දියවැඩියාව වැනි බෝ නො වන රෝගවලින් වැළකීම සඳහා ද ශරීර සුවතා ක්‍රියාකාරකම්වල යෙදීම උපයෝගී වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ශාරීරික ව්‍යායාම හෝ ක්‍රියාකාරකම් සඳහා ලෝකයේ රටවල ජාතික ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම උදෙසා ඔවුන් ක්‍රමවේද සකස් කර මූලිකත්වය ගෙන ඇති බවයි. ශාරීරික ක්‍රියාකාරකම් සඳහා ආරක්ෂිත ස්ථාන නිර්මාණය කිරීම, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ ක්‍රියාශීලී පුද්ගලයන් නිර්මාණය කිරීම උදෙසා මහජනතාව දැනුවත් කිරීම මඟින් වත්මන් සහ අනාගත පරම්පරාවන් හට බෝ නො වන රෝගවලින් ඇති අනිටු ප්‍රතිඵල මැඬපැවැත්වීමට හැකි වනු ඇති. එමඟින් බොහෝ  තිරසාර සංවර්ධන අරමුණු  සාක්ෂාත් කරගැනීමට හැකියි. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට බයිසිකල් පැදීම දිරිමත් කිරීම සහ ආරක්ෂිත පාපැදි මාර්ග හඳුන්වා දීමෙන් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකි අතර බලශක්ති පරිභෝජනය, අධික කාබන්ඩයොක්සයිඩ් විමෝචනය, ඛනිජ ඉන්ධන පරිභෝජනය සහ මාර්ග තදබදයට ද එය විසඳුමක්. කොතෙක් මේ ගැන ලීව ද පා පැදි සඳහා වෙන් වූ මංතීරු නොමැති විට නගර තුළ පා පැදි ගමන භයංකර යැයි මට සිතෙනවා. බොහෝ දියුණු රටවල පවා පා පැදි සඳහා වෙන ම මං තීරු සකස් වී තිබෙනු දක්නට හැකියි. 

Ride For Life Sri Lanka වැනි සමාජ මාධ්‍ය සමූහ සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් තුළින් අප රට පා පැදි ගමනාගමනය ස්ථාපිත කිරීම උදෙසා සාමූහික ප්‍රයත්නයන් ක්‍රියාත්මක කරනා බව පෙනෙනවා. මේ සටහන් කියවන දුවා දරුවන් වෙත කෙරෙන ආයාචනය නම් ශරීර ක්‍රියාකාරකම් හෙවත් ව්‍යායාම්වල යෙදීම අනිවාර්යයෙන් සිදු කිරීමට කුඩා කල සිට ම පුරුදු විය යුතු ය කියායි. ඒ සඳහා විශේෂ මධ්‍යස්ථානයකට හෙවත් ජිම් එකකට යෑම අත්‍යවශ්‍ය වන්නේ නැති බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. බයිසිකල් පැදීම, යෝගා ව්‍යායාම, සුම්බා වැනි නර්තන ව්‍යායාම ක්‍රම හෝ අධික වේගයෙන් ඇවිදීම, දුරකථන සංවාදවල නිරත වන අතරෙහි ඇවිදීම, ගෙදර දොර පිරිසිදු කිරීම් වුව ද අධි බලයක් යොදා කිරීම තුළින් නිසි ශාරීරික ව්‍යායාම පරාසයක් කරගත හැකියි. දිනකට එවැනි අධි ක්‍රියාශීලී මිනිත්තු 30ක් ඔබට ශරීර සුවතාවය ඇති කරන බව පර්යේෂකයන්ගේ මතයයි.

පසුව ලියමි... දැඩි රස්නය හෝ වැහි ඇති දිනවල පවා බයිසිකල් ධාවනය කරගෙන වැඩට හෝ ඉස්කෝලෙ පැමිණෙන අය සඳහා වැහි කබා හෝ ඇඳුම් මාරු කර ගන්නට ස්ථාන සකස් විය යුතු ය. ඒ සඳහා ප්‍රමාණවත් සංවිධාන හෝ ආයතන සවියක් ලැබීය යුතුය. 

වැඩි දුර කියවීම සඳහා

Bjornara et al., (2016) Is there such a thing as sustainable physical activity? DOI:10.1111/sms.12669 

WHO Report (2017)  towards more physical activity, https://www.euro.who.int/data/assets/pdf_file/0018/353043/2017_WHO_Report_FINAL_WEB.pdf
            
Ride for life සමූහයේ ලින්ක් එක-  https://www.facebook.com/groups/1004298936724795/?ref=share

පසුගිය විදුසර පුවත් පත් කලාප සඳහා http://www.vidusara.com/

No comments:

Post a Comment

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !