( විදුසර පුවත් පත දෙසැම්බර් 8 )
“බයො ගැස් බස් ඒක හරි අපූරු සංකල්පයක් ප්‍රොෆෙසර්, මං හිතන්නේ ආහාර නාස්තියට ඒක හොඳ විසඳුමක්” තිරසාර සංවර්ධන ගෝලීය අරමුණු ගැන ප්‍රථම දේශනය තිබූ වේලාවේ තරුණ ප්‍රජා වෛද්‍ය අංශයෙ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් එසේ තම අදහස් ප්‍රකාශ කළේය.
“නෑ ඒක හොඳ විසඳුමක් නෙමේ මම නම් ඒකට කැමති නෑ.” ඒ තමා කතිකාචාර්‍යවරියගෙ පිළිතුර.
ඉවත දමන ආහාර වලින් වාහන දුවන එක ඇයි හොඳ නොවෙන්නේ ? අප හැමට ඇගේ පිළිතුර ගෙන ආවේ විමතියකි. යුරෝපයේ එවැනි බස් රථ බහුලව දක්නට ලැබේ. එය ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටවලින් පැමිණි අපට පුදුමයක් ගෙන දුන්නේ, අප රටේ ආහාර හිඟය සහ ආහාර නාස්තිය පවතින නමුදු කැළි කසල බැහැර කරන්න නියමිත යාන්ත්‍රණයක් නැතිව, ඒවා යම් භූමියක ගොඩ ගසනවා මිසක එයින් ඵලදායි යමක් සිදු නොවන නිසා ය. එම බස් රථ වල “bio gas bus” කියා සටහන් කර තිබේ.
ඇය එසේ කියන්නට හේතුව පැහැදිලි කරගන්නට කලින් “තිරසාර සංවර්ධනය” කියන දේ නිතර ඇහෙන නිසා ඒ ගැන පැහැදිලි කරගනිමු. කාලයක් තිස්සේම අපි කාලගුණ විපර්යාස ,වසංගත, සම්පත් බෙදී යාමේ විෂමතා වගෙ දෙවල් ගැන දිගින් දිගටම ඇඟිලි දිගු කළේ සංවර්ධනය නාමයෙන් සිදු කරනා සම්පත් විනාශයන්වලට. මේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය යම් ක්‍රියාන්විතයක් දියත් කරන්නෙ1983 දී ඒ ගැන ක්‍රියා කරන්නට බ්‍රැන්ඩ්ට්ලන්ඩ් කොමිසම ( Brundtland Commission )පත් කිරීම මගින්. එහි වාර්ථාව එළි දක්වන්නෙ 1987 දී. ලොකයෙ වර්තමාන පැවැත්ම සහ අනාගතයෙ සැකැස්ම ගැන එහිදී පුළුල් ලෙස සාකච්ජා කර තිබේ.
තිරසාරත්වය යනු පෘථිවිය සහ එහි සම්පත් මගින් වර්තමාන අවශ්‍යතා සපුරාලන අතරම අනාගත පරම්පරාව සඳහා ද ඒවා සුරකින ආකාරය වන අතර මෙහිදී සංවර්ධන ක්‍රියාවලීන් හුදෙක් ආර්ථික ප්‍රතිලාබ ගැන පමණක් අරමුණු නොකර, සාමාජීය සහ පාරිසරික සුරක්ෂිතභාවය සමඟ සිදු කරන ආකාරය පිළිබඳ පුළුල් ලෙස විස්තර කෙරේ. අද වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය තිරසාර සංවර්ධන ඉලක්ක, Sustainable Development Goals (SDGs) 17 සහ ඒ ඔස්සේ ප්‍රවේශ 169 මගින් සමාජය, පරිසරය සහ ආර්ථිකය එකට යා වුණු සංවර්ධනය පිළිබඳ සහ ඒ ආශ්‍රිත ගැටළු විසඳීම සඳහා පරිපූර්ණ ප්‍රවේශයක් ගෙන ඇත. ස්වභාවික සම්පත්වලින් පරිසරය ආරක්ෂා කර ගනිමින් සමාජ ප්‍රගතිය සහ ආර්ථික සංවර්ධනය ළඟා කර ගත හැකි ආකාරය මේ දක්වා පැවති සම්මේලන සහ සම්මුතීන් පිළිබඳ ලිපි ලේඛණ පෙන්වා දේ.
මේ අරමුණු සියල්ල 2030 දී සාක්ෂාත් කරන්නට ඒ සඳහා අවශ්‍ය විධිවිධාන සකසන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානය මුලික වී ඇත . සමාජ අසමතුලිතතා, කුසගින්න, දරිද්‍රතාවය යන මේවා අද බොහෝ රටවල් බැට කන ගැටළු වන අතර ඒවා අවසන් කිරීමට ගෝලීය මැදිහත්වීම තුළින් ලබා ගන්නට හැකි බවට විශ්වාසයක් තිබේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම, හරිතාගාර වායු විමෝචනය වැනි දේවල් මානව වර්ගයාට වර්තමානයෙදී සහ අනාගතයේදි දැඩිව බලපාන බවද ඒ නිසා සිදුවන කාළගුණ විපර්යාසයන් නිසා අවතැන් වීම්, බව භෝග ගොවි තැන් සහ වගාවන් විනාශ කරන බවද වර්තමානයේ පවා අපට දකින්නට ලැබේ. ඉතින් මේ ගැන වගකීම් සහිතව මැදිහත් වීමක් කරන්නට අවශ්‍ය බව මේ ඉලක්ක ඔස්සේ සාකච්ජා කෙරේ. අප රටේ පවා, සංවර්ධනය යැයි කියමින් සිදු කරනා ලද විවිධ ගොඩ නැගීම් නිසා ජල ගැලුම්, නාය යෑම් වැනි හදිසි ස්වභාවික විපත් සිදුවෙනවා ඔබ පසුගිය කාලයේ අත් දකින්නට ඇති. එපමණක් නොවේ මේ නිසා බෝවන රෝගවල පැතිරීම ද බහුල විය හැක. එවන් ස්වභාවික ව්‍යසන නිසා මූලික අවශ්‍යතා වන ආහාර, නිවාස, පිරිසිඳු ජලය වැනි දෑ සපයා ගැනීමේ ගැටළු පැන නගින අතර එනිසා දේශපාලනික අස්ථාවර භාවයන් සහ ආර්ථික අවපාතයන් ඇතිවේ. තිරසාර සංවර්ධනය සමඟ බැඳුනු 2030 අරමුණු කරගත් එක්සත් ජාතීන්ගේ ගෝලීය සම්මුතිය තුලින් නිසි දේශපාලන නායකත්ව ප්‍රතිපත්ති සඳහා රාමුව සහ ක්‍රියාකාරී සැලසුම් ස්ථාපිත කරන්නට සහ දේශපාලන, සෞඛ්‍ය, අධ්‍යාපන, ආර්ථික සැලසුම් මඟින් මැදිහත්වී ඇත.
තිරසාර සංවර්ධන අරමුණු අතර ආහාර හිඟය වැලැක්වීම මෙන්ම ආහාර නාස්තිය අවම කිරීම සඳහාද කටයුතු සිදු කෙරේ. ලෝකයේම මිනිසුන්ට සපයන්නට තරම් ආහාර ලෝකය තුල නිපදවෙන නමුත්, ඒවා නිසි ලෙස බෙදා හැරීමක් හෝ භාවිතයක් නැති කම නිසා ආහාර නාස්තියක් සිදුවේ. ඉතින් කතිකාචාර්‍ය තුමිය මුලදී පැවසූ, ඉවත දමන ආහාර වලින් නිපදවන බයෝ මීතේන් වායුව යොදාගෙන ධාවනය වන බස් රථ නිසා ආහාර නාස්තියට හොඳ පිළිතුරක් නොවන බව ය. ඉවත දමන ආහාර මගින් මීතෙන් වායුව නිපදවනවා වෙනුවට ඒ අහාර මිනිසුන්ගේ පරිභෝජනය සඳහා භාවිතා කිරීම මගින් තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් වන බව ඇය අපට වටහා දෙන්නේ ඔවුන් ක්‍රියාත්මක කරන ආහාර නාස්තිය වළක්වන ව්‍යාපෘතියක් මගිනි. තොග වෙළෙඳ පලෙන් හෝ සුපිරි වෙළඳ සැල් වලින්, ඉවත දමන්නට ආසන්න කල් ඉකුත් වෙන්නට ළඟ ආහාර මළු සාදා (food bag) අඩු මුදලකට අඩු ආදායම් ලාභී පවුල්වලට ලබා දීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කර තිබේ. එනිසා වෙළඳපලින් කුණු කූඩෙට දමන ආහාර නාස්තිය අඩු වී, ඒ වෙනුවට තව දුරටත් එම ආහාර පරිභෝජනය සඳහා යොදා ගැනීමට හැකි වී තිබේ.
“බයෝ ගෑස් හදනවා වෙනුවට , ආහාර හිඟය ඇති දැනෙන තැනකට ඒ ආහාර ටික නාස්ති නොවෙන්න පාවිච්චි කරවන එක තමයි වඩා හොඳ තිරසාර අරමුණ” කථිකාචාර්යවරිය පැහැදිලි කළාය.
ඉතා ඉක්මනින් ආහාර පරිහරණය කළ යුතු වුවත් ඉතා අඩු මුදලකට අවුරුද්ද පුරා මේ ආහාර මළු ලැබෙන එක අඩු ආදායම්ලාභී පවුල්වලට බොහොම සහනයක් ගෙන දී තිබේ. ඇත්තටම මිනිස් අවශ්‍යතාවය සඳහා නිපදවන ආහාර කුණු කූඩයට යන එක වළක්වාලීම තුලින් ආහාර අර්බුදයට යම් සහනයක් ගෙන එනවා නේද ? එය ලංකාව වගේ රටක අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක කරන්න හැකිනම් අප රටේ බහුතරයකට සහනයක් ගෙන දේවි කියා මට සිතේ. එමෙන්ම ඉහත පැවසූ මීතේන් වායුව සකස් කරන්නට ඉවත දමන ආහාර කුණු යොදා ගත්තද ඒ ආහාර වුවද ඉවත නොදමා පාවිච්චි කළ හැකිනම් එය අප වර්ථමාන ආහාර අර්බුදයට යම් තරමක සහනයක් ගෙන එනවා මෙන්ම ඉදිරි පරම්පරාවට ස්වභාවික සම්පත් සංරක්ෂණය කර තැබීමට පවා රුකුලක් වේවි. 2030 තිරසාර සංවර්ධන ඉලක්ක සමග සහ-සම්බන්දව, සියලු සංවර්ධන ක්‍රියාත්මක කිරීම මගින් පාරිසරික, සාමාජීය සහ ආර්ථික යන මේ සියළු ඒකක සහ-සම්බන්ද කර ගැනීමට අවකාශ ලැබේ. සෞඛ්‍ය-අධ්‍යන විශ්ව විද්‍යාල පිවිසුමේ සකස් කර ඇති මේ නත්තල් ගසේ තෑගි පාර්සල්, වර්තමානයට සහ අනාගතයට සුභ දායි පණිවිඩයක් ගෙන එන හොඳම සුභ පැතුම ලෙස මට දැනෙන්නේ එහෙයිනි.
වැඩි දුර කියවන්න
එක්සත් ජාතීන්ගේ සංවිධානය – තිර සාර සංවර්ධන ඉලක්ක https://sdgs.un.org/goals
විදුසර මා ඒ කාලයේ ආසාවෙන් කියැවූ පුවත්පතක් .ඊට ලිපි කිහිපයක් පරිවර්තනය කල බවත් මතකයි. ඔබේ ලිපිය හරිම කාලෝචිතයි. දිගටම ඔබේ ලිපි පෙලක් කියවන්න බලාගෙන ඉන්නවා. සුබ පැතුම්. ඔබට ජය.
ReplyDeleteඔක්කොම කියෙව්වාම තමයි, ඒක හරියටම තේරුනේ.🤔
ReplyDelete++++++++++++🙏👌😊
++++++++++++
ReplyDelete